කියවීමෙහි නියැලී සිටින්න
“මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.”—1 තිමෝති 4:13, නව අනුවාදය.
1. බයිබලය කියවීමෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ කියවීමේ හා ලිවීමේ මවිතකර හැකියාව මිනිස්වර්ගයාට දානය කර ඇත. අපට හොඳින් උපදෙස් ලබාගැනීමට හැකි වන පරිද්දෙන්, උන්වහන්සේ ස්වකීය වචනය වන බයිබලයද සපයා දී ඇත. (යෙසායා 30:20, 21) ඇත්තෙන්ම, එහි පිටු ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් වැනි දේවභයැති කුලදෙටුවන් සමඟ ‘හැසිරීමට’ අපට උපකාර කරනවා හා සමානය. සාරා, රෙබෙකා සහ පක්ෂපාත මෝවබීය රූත් වැනි දේවභක්තික ස්ත්‍රීන් “දකින්ටත්” අපට හැක. එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කන්ද උඩ දේශනාව ඉදිරිපත් කිරීම අපට ‘ඇසිය’ හැක. අප හොඳ පාඨකයන් නම්, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන ආස්වාදය හා උදාර උපදෙස් සියල්ල අප සතු විය හැක.
2. යේසුස්වහන්සේට හා සිය ප්‍රේරිතයන්ට හොඳ කියවීමේ හැකියාවක් තිබූ බව කුමකින් අඟවයිද?
2 පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට විශිෂ්ට කියවීමේ හැකියාවක් තිබූ බවට කිසිදු සැකයක් නැත, තවද උන්වහන්සේට හෙබ්‍රෙව් ලියවිලි පිළිබඳ හසළ දැනුමක් තිබූ බවට සහතිකය. එමනිසා, යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබූ විට, ඒවාට නැවත නැවතත් යොමු දැක්වූ යේසුස්වහන්සේ “ලියා තිබේ” කියා පැවසූසේක. (මතෙව් 4:4, 7, 10) නාසරෙත්හි සිනගෝගයේදී එක් අවස්ථාවක, යෙසායාගේ අනාවැකියේ කොටසක් ප්‍රසිද්ධියේ කියෙවූ උන්වහන්සේ, එය තමන්ටම අදාළ කරගත්සේක. (ලූක් 4:16-21) යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ ලියවිලිවලදී, ඔවුහු නිතර නිතර හෙබ්‍රෙව් ලියවිලි උපුටා දැක්වූහ. පේතෘස් හා යොහන්, හෙබ්‍රෙව් උසස් පාසැල්වලින් අධ්‍යාපනයක් නොලැබූ නිසා, යුදෙව් නායකයන් ඔවුන්ව අපණ්ඩිත හා නූගත් අය වශයෙන් සැලකුවත්, ඔවුන්ට හොඳ කියවීමේ හා ලිවීමේ හැකියාවක් තිබූ බව දේවානුභාවය ලත් ඔවුන්ගේ ලිපිවලින් පැහැදිලිවම ඔප්පු වේ. (ක්‍රියා 4:13) එහෙත් කියවීමේ හැකියාව සැබවින්ම වැදගත්ද?
‘ශබ්ද නඟා කියවන්නා සන්තෝෂ ලද්දෙකි’
3. ශුද්ධ ලියවිල්ල හා ක්‍රිස්තියානි ප්‍රකාශන කියවීම එතරම් වැදගත් වන්නේ මන්ද?
3 ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම ලබා අදාළ කරගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය සදා ජීවනය විය හැක. (යොහන් 17:3) එමනිසා, ශුද්ධ ලියවිලි මෙන්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය තුළින් දෙවියන්වහන්සේ සපයන ක්‍රිස්තියානි ප්‍රකාශන කියවා අධ්‍යයනය කිරීම අතිශයින් වැදගත් බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ තේරුම්ගනිති. (මතෙව් 24:45-47) ඇත්තෙන්ම, විශේෂයෙන් සැලසුම් කර තිබෙන වොච් ටවර් ප්‍රකාශන පාවිච්චි කිරීමෙන්, කියවීමටත් එනයින් දේවවචනයේ ජීවන-දායක දැනුම ලබාගැනීමටත් දහස් ගණනකට උගන්වා ඇත.
4. (අ) දේවවචනය කියවීමෙන්, අධ්‍යයනය කිරීමෙන් හා අදාළ කරගැනීමෙන් සන්තෝෂය අත්වන්නේ මන්ද? (ආ) කියවීම සම්බන්ධයෙන් පාවුල් තිමෝතිට පැවසුවේ කුමක්ද?
4 දේවවචනය කියවීම, අධ්‍යයනය කිරීම හා අදාළ කිරීමෙන් සන්තෝෂය අත් වේ. මෙය සිදු වන්නේ, අප එමගින් දෙවියන්වහන්සේව සතුටු කර, ගෞරවය දී, උන්වහන්සේගේ ආශීර්වාද ලබන අතර ප්‍රීතිය අද්දකින හෙයිනි. යෙහෝවඃවහන්සේට වුවමනා වන්නේ ස්වකීය සේවකයන් සන්තෝෂයෙන් සිටිනවා දැකීමටයි. එබැවින්, පුරාණ ඉශ්රායෙල්හි ජනයාට ස්වකීය ව්‍යවස්ථාව කියවන ලෙසට උන්වහන්සේ පූජකයන්හට ආඥා කළසේක. (ද්විතීය කථාව 31:9-12) යෙරුසලමේ එක්රැස්වී සිටි සියලු ජනයාට එස්රා නමැති පිටපත්කරන්නා සහ වෙනත් අය ව්‍යවස්ථාව කියෙවූ විට, එහි අර්ථය පැහැදිලි කරනු ලැබූ අතර, එහි ප්‍රතිඵලය “බොහෝසේ ප්‍රීති[වීම]” විය. (නෙහෙමියා 8:6-8, 12) ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් පසුව සිය හවුල් වැඩකරු වූ තිමෝතිට මෙසේ කීවේය: “මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.” (1 තිමෝති 4:13, න.අ.) තවත් පරිවර්තනයක මෙසේ කියවේ: “ශුද්ධ ලියවිලි ප්‍රසිද්ධියේ කියවීමෙහි නියැලී සිටින්න.”—නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්.
5. එළිදරව් 1:3, කියවීම සමඟ සන්තෝෂය සම්බන්ධ කරන්නේ කෙසේද?
5 දේවවචනය කියවීම හා අදාළ කරගැනීම මත අපේ සන්තෝෂය රඳා පවතින බවට වූ කාරණය එළිදරව් 1:3හි පැහැදිලි කරනු ලැබේ. එහි අපට මෙසේ පවසා තිබේ: “මේ අනාගතවාක්‍යයේ වචන [ශබ්ද නඟා, NW] කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.” එසේය, එළිදරව් මෙන්ම ශුද්ධ ලියවිල්ල පුරා ඇති දෙවියන්වහන්සේගේ අනාවැකිමය වචන අප ශබ්ද නඟා කියවිය යුතු අතර, ඒවාට ඇහුම්කන් දිය යුතුය. සැබවින්ම සන්තෝෂවත් පුද්ගලයා වූ කලි, “ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා[ය].” එහි ප්‍රතිඵලය? “ඔහු කරන සියල්ල සඵලවෙයි.” (ගීතාවලිය 1:1-3) එමනිසා, යෙහෝවඃවහන්සේගේ වචනය පෞද්ගලිකව, පවුල් වශයෙන් හා මිතුරන් සමඟ කියවා අධ්‍යයනය කිරීමට උන්වහන්සේගේ සංවිධානය අප සෑම කෙනෙකුගෙන්ම උදක්ම ඉල්ලා සිටින්නේ හොඳ හේතු ඇතුවය.
කල්පනා කිරීමට වීර්යය කොට මෙනෙහි කරන්න
6. යෝෂුවාට උපදෙස් දෙනු ලැබුවේ කුමක් කියවීමටද, තවද මෙය ප්‍රයෝජනවත් වූයේ කෙසේද?
6 දේවවචනය හා ක්‍රිස්තියානි ප්‍රකාශන කියවද්දී ඉන් උපරිමය නෙළාගැනීමට ඔබට හැකි වන්නේ කෙසේද? පුරාණ ඉශ්රායෙල්හි දේවභයැති නායක යෝෂුවා විසින් කරනු ලැබූ දෙය කිරීම ප්‍රයෝජනදායක බව ඔබ සොයාගැනීමට ඉඩ ඇත. ඔහුට මෙසේ ආඥා කර තිබිණ: “මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න [එය හීන් හඬින් කියවන්න, NW]. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය [ඔබ ඥානවන්තව ක්‍රියා කරන්නෙහිය, NW].” (යෝෂුවා 1:8) ‘හීන් හඬින් කියවීම’ යනු පහත් ස්වරයකින් ඔබටම වචන මිමිණීමයි. මෙය මතකය සඳහා උපකාරයකි, මන්දයත් ඉන් තොරතුරු මනසෙහි කාවදිනු ලබන හෙයිනි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව “රෑ දාවල්” නොහොත් නිතිපතා කියවීම යෝෂුවාට නියමිත විය. සාර්ථක වීමටත්, දෙවියන්වහන්සේ දුන් වගකීම් නිසියාකාරව ඉටු කිරීමේදී ඥානවන්තව ක්‍රියා කිරීමටත් මාර්ගය මෙය විය. දේවවචනය එලෙස නිතිපතා කියවීම, ඔබටත් ඒ හා සමාන ආකාරයකින් උපකාරවත් විය හැක.
7. අප දේවවචනය කියවන විට, ඉක්මනින් කිරීමේ අදහසින් පාලනය නොවිය යුත්තේ මන්ද?
7 දේවවචනය කියවන විට, ඉක්මනින් කිරීමේ අදහසින් පාලනය නොවන්න. බයිබලය හෝ යම් ක්‍රිස්තියානි ප්රකාශනයක් කියවීම සඳහා යම් කාලපරිච්ඡේදයක් ගත කිරීමට ඔබ සැලසුම් කර ඇත්නම්, ප්‍රමාණවත් කාලය ගැනීමට ඔබට වුවමනා විය හැක. යම් නිශ්චිත තොරතුරු සිහියේ තබාගැනීමේ අටියෙන් ඔබ අධ්‍යයනය කරන විට, මෙය විශේෂයෙන්ම වැදගත් වේ. තවද ඔබ කියවන විට, කල්පනා කිරීමට වෑයම් කරන්න. බයිබල් ලේඛකයාගේ ප්‍රකාශන විග්රහ කර බලන්න. ඔබෙන්ම මෙසේ අසන්න, ‘ඔහු ගෙනහැර දක්වන කරුණ කුමක්ද? මේ තොරතුරු සමඟ මා කුමක් කළ යුතුද?’
8. ශුද්ධ ලියවිලි කියවන විට මෙනෙහි කිරීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
8 ශුද්ධ ලියවිලි කියවන අතරතුර මෙනෙහි කිරීමටද කාලය ගන්න. බයිබල් වාර්තා මතකයේ තබාගැනීමටත්, ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමටත් මෙය ඔබට උපකාරවත් වේවි. දේවවචනය මත මෙනෙහි කොට, එමගින් ඔබේ මනසෙහි කාරණා පිහිටුවාගැනීමෙන්, හෘදයෙන්ම කතා කිරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා ඇත, මේ හේතුවෙන් අවංකව විමසන අයට පසු කලකදී ඔබ තුළ පසුතැවීමක් ඇති කළ හැකි යමක් පවසනවා වෙනුවට, කදිම උත්තර දීමට ඔබට හැකි වේවි. දේවානුභාවය ලත් හිතෝපදේශයක් මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි.”—හිතෝපදේශ 15:28.
අලුත් කරුණු පරණ ඒවා සමඟ සම්බන්ධ කරන්න
9, 10. දැනටමත් දන්නා ශුද්ධ ලියවිලිමය කාරණා සමඟ අලුත් ඒවා සම්බන්ධ කිරීමෙන්, ඔබේ බයිබල් කියවීමේ ගුණය වැඩිදියුණු විය හැක්කේ කෙසේද?
9 තමුන් වරක් දෙවියන්වහන්සේ, ස්වකීය වචනය හා අරමුණු ගැන දැන සිටියේ අල්පයක් බව බොහෝ ක්‍රිස්තියානීන් පිළිගත යුතුය. කෙසේවෙතත්, මැවීම හා මිනිසාගේ පාපයට වැටීම පටන් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාවේ අරමුණ පැහැදිලි කිරීමටත්, මෙම දුෂ්ට දේවල පිළිවෙළේ විනාශය ගැන පැවසීමටත්, පාරාදීස පොළොවක් මත සදා ජීවනය සමඟින් කීකරු මිනිස්වර්ගයා ආශීර්වාද ලබන අන්දම පෙන්වීමටත් අදදින මෙම ක්‍රිස්තියානි දේවසේවකයන්ට හැක. මෙසේ හැකි වන්නේ, මන්දයත් බයිබලය හා ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ මෙම සේවකයන් “දෙවියන්වහන්සේම පිළිබඳ වූ දැනුම” ලබා තිබෙන බැවිනි. (හිතෝපදේශ 2:1-5, NW) දැනටමත් අවබෝධ කරගෙන සිටින පරණ තොරතුරුවලට අලුත් ඒවා ක්‍රමක්‍රමයෙන් සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකි වී තිබේ.
10 ඔබ දැනටමත් දන්නා ශුද්ධ ලියවිලිමය කාරණා සමඟ අලුත් ඒවා සම්බන්ධ කිරීම ප්‍රයෝජනදායක මෙන්ම විපාකදායී විය හැක. (යෙසායා 48:17) බයිබල් නීති, ප්‍රතිපත්ති නැතහොත් යම් දුරට අපැහැදිලි අදහස් ඉදිරිපත් කරනු ලබන විට, ඔබ දැනටමත් දන්නා දේවල් සමඟ මේවා සම්බන්ධ කරගන්න. “සාරවූ වචනවල ආදෘශය” පිළිබඳව ඔබ ඉගෙන තිබෙන දේවල් සමඟ එම තොරතුරු ගළපන්න. (2 තිමෝති 1:13) දෙවියන්වහන්සේ සමඟ ඔබේ සබඳතාව ශක්තිමත් කිරීමටත්, ඔබේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමටත්, නැතහොත් අනුන් සමඟ බයිබල් සත්‍යතා බෙදාගැනීමට ඔබට සහයවීමටත් ඉවහල් විය හැකි තොරතුරු ගැන අවධානයෙන් සිටින්න.
11. හැසිරීම ගැන බයිබලය පවසන දෙයක් කියවන විට ඔබට කුමක් කළ හැකිද? පැහැදිලි කරන්න.
11 හැසිරීම ගැන බයිබලයේ පවසන යමක් කියවන විට, අදාළ ප්‍රතිපත්තිය තේරුම්ගැනීමට වෑයම් කරන්න. එමත මෙනෙහි කොට, ඒ හා සමාන තත්වයන් යටතේ ඔබ කරනු ඇති දේ ගැන තීරණයක් ගන්න. පෝතිඵර්ගේ භාර්යාව සමඟ ලිංගික දුරාචාරයේ යෙදීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කළ යාකොබ්ගේ පුත්‍ර යෝසෙප් මෙසේ ඇසීය: “මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද”? (උත්පත්ති 39:7-9) මෙම හැඟීම් දනවන වාර්තාවෙන් ඔබට මූලික ප්‍රතිපත්තියක් සොයාගත හැක—එනම් ලිංගික දුරාචාරය දෙවියන්වහන්සේට විරුද්ධව කරන පාපයක් බවය. දේවවචනයෙහි තිබෙන වෙනත් ප්‍රකාශයන් සමඟ ඔබට මෙම ප්‍රතිපත්තිය මනසින් සම්බන්ධ කළ හැකි අතර, එවන් වරදක නියැලීමේ පරීක්ෂාව ඔබ හමුවට පැමිණේ නම්, එය ඔබේ මතකයට ඒම වාසිදායක විය හැක.—1 කොරින්ති 6:9-11.
ශුද්ධ ලියවිලිමය සිද්ධීන් සිතෙහි මවාගන්න
12. බයිබල් වාර්තා කියවන විට, ඒවා සිතෙහි මවාගත යුත්තේ මන්ද?
12 ඔබේ මනසෙහි කාරණා කාවැද්දීම සඳහා, කියවන විටම සිදු වන දේ සිතෙහි මවාගැනීමට වෑයම් කරන්න. වටපිටාව, නිවෙස් හා ජනයාව මනසින් දකින්න. ඔවුන්ගේ කටහඬවලට සවන් දෙන්න. පෝරණුවක පාන් පුලුස්සන සුවඳ ආඝ්‍රාණය කරන්න. සිද්ධීන් යළි පණගන්වන්න. පුරාණ නුවරක් දැකීමට, උස් කන්දක් නැඟීමට, මැවීමේ ආශ්චර්යයන් පුදුමයෙන් නිරීක්ෂණය කිරීමට හෝ මහත් ඇදහිල්ලකින් යුත් පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ ඇසුරු කිරීමට ඔබට හැකි බැවින්, ඔබේ කියවීම හැඟීම් දනවන අද්දැකීමක් වනු නිසැකය.
13. විනිශ්චයකාරයන් 7:19-22හි වාර්තා වී තිබෙන දේ ඔබ විස්තර කරන්නේ කෙසේද?
13 ඔබ විනිශ්චයකාරයන් 7:19-22 කියවන්නෙහියයි සිතන්න. සිදු වන දේ සිතෙහි මවාගන්න. විනිශ්චයකාර ගිඩියොන් හා නිර්භීත ඉශ්රායෙල් පුරුෂයන් තුන්සියදෙනෙකු මිදියන්වරුන්ගේ කඳවුර අද්දර සිය ස්ථාන ගෙන තිබේ. වේලාව රාත්‍රී දහය පමණ වේ, එනම් “මධ්‍යම යාමයේ” මුරය පටන්ගැන්මේදීය. මිදියන්වරුන්ගේ මුරකරුවන් සිටුවා ඇති අතර, ඉශ්රායෙල්වරුන්ගේ නිදා සිටින සතුරෝ අන්ධකාරයෙන් වැසී සිටිත්. බලන්න! ගිඩියොන්ද ඔහුගේ මිනිස්සුද හොරණෑවලින් සන්නද්ධව සිටිත්. ඔවුන්ගේ වමත්වල පන්දම් සහිත විශාල කළගෙඩි තිබේ. හදිසියෙන්ම, සියදෙනෙකු බැගින් යුත් කණ්ඩායම් තුනම හොරණෑ පිඹ, කළගෙඩි බිඳදමා, පන්දම් ඔසවා, “ස්වාමීන්වහන්සේගේද ගිඩියොන්ගේද කඩුවයයි” මොරගසති. ඔබ කඳවුර දෙස බලන්නෙහිය. මිදියන්වරු පලා යමින්, කෑගැසීමට පටන්ගනිති! තුන්සියදෙනා අඛණ්ඩව සිය හොරණෑ පිඹීමෙහි යෙදෙත්ම, දෙවියන්වහන්සේ මිදියන්වරුන්ගේ කඩු ඔවුනොවුන්ටම විරුද්ධව හරවනසේක. මිදියන්වරුන්ට පලා යන්ට සලස්වා තිබෙන අතර, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට ජය අත් කර දී ඇත.
වටිනා පාඩම් ඉගෙනීම
14. දරුවෙකුට නිහතමානී වීමේ අවශ්‍යතාව ඉගැන්වීමට විනිශ්චයකාරයන් 9වන පරිච්ඡේදය භාවිත කළ හැක්කේ කෙසේද?
14 දේවවචනය කියවීමෙන් අපට පාඩම් රාශියක් උගත හැක. උදාහරණයක් වශයෙන්, ඔබේ දරුවන්ට නිහතමානී වීමේ අවශ්‍යතාව කාවැද්දීමට ඔබට වුවමනා වනවා විය හැක. මෙනිසා, ගිඩියොන්ගේ පුත් යෝතාම්ගේ අනාවැකියේ පවසන ලද දෙයෙහි කරුණ අවබෝධ කරගෙන සිතෙහි මවාගැනීම පහසු විය යුතුය. විනිශ්චයකාරයන් 9:8න් කියවීමට පටන්ගන්න. යෝතාම් මෙසේ පැවසීය: “එක් කලෙක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට [ගියේය].” එහෙත් ඔලීව වෘක්ෂය, අත්තික්කා ගස හා මිදිවැල රජු වීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් පහත් කටුඇඹිල්ල ගස පාලකයා වීමට කැමති වූයේය. ඔබේ දරුවන්ට එම වාර්තාව හඬ නඟා කියවීමෙන් පසු, සෙසු ඉශ්‍රායෙලිතයන් කෙරෙහි රජකම් කිරීමේ තනතුර නොසෙවූ වැදගත් පුද්ගලයන් වටිනා ශාකවලින් නියෝජනය වූ බව ඔබට පැහැදිලි කළ හැක. ඉන්ධන සඳහා පමණක් වටිනා කටුඇඹිල්ල ගස, උඩඟු අබිමෙලෙක්ගේ රජකම නියෝජනය කළේය, ඔහු අනුන් කෙරෙහි අධිපතිකම් කරන්ට වුවමනා වූ මිනීමරුවෙකු වුවත්, යෝතාම්ගේ අනාවැකියේ ඉටුවීමක් වශයෙන් එය කෙළවරකට පත් විය. (විනිශ්චයකාරයන් 9වන පරිච්ඡේදය) වැඩී කටුඇඹිල්ල ගසක් මෙන් වීමට කැමති වන්නේ කවර දරුවෙකුද?
15. රූත් නමැති පොතේ, පක්ෂපාතකමේ වැදගත්කම ගෙනහැර දක්වා තිබෙන්නේ කෙසේද?
15 පක්ෂපාතකමේ වැදගත්කම රූත් නමැති බයිබල් පොතෙහි පැහැදිලි කරනු ලැබේ. එම වාර්තාව හඬ නඟා කියවීමටත්, එය පවසන දේ උරාගැනීමටත්, ඔබේ පවුලේ සාමාජිකයන් මාරුවෙන් මාරුවට කාලය ගන්නවායයි සිතන්න. වැන්දඹුවක වූ තම නැන්දම්මා වන නායොමි සමඟ බෙත්ලෙහෙම බලා ගමනක යෙදෙන මෝවබීය රූත් ඔබ දකින්නෙහිය, තවද “නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වන” බව රූත් පවසනවා ඔබට ඇසේ. (රූත් 1:16) බෝවස්ගේ කෙත්වල අස්වැන්න එකතුකරන්නන් පිටුපස කරල් ඇහිඳින කඩිසර රූත්ව දැකගත හැක. ඔහු ඇයට මෙසේ ප්‍රශංසා කරනවා ඔබට ඇසේ: “මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති.” (රූත් 3:11) වැඩි කල් නොගොස් බෝවස් රූත් හා විවාහ වෙයි. මස්සිනා සමඟ විවාහ වීමේ සැලැස්මට එකඟව, බෝවස්ට දාව ඈ “නායොමිට” පුත්‍රයෙකු වදන්නීය. රූත් දාවිත්ගේද, අන්තිමේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද මුතුන්මිත්තනියක් බවට පත් වන්නීය. මෙසේ ඈ “සම්පූර්ණ විපාකයක්” ලැබුවාය. එපමණක්ද නොව, මෙම ශුද්ධ ලියවිලිමය වාර්තාව කියවන අය වැදගත් පාඩමක් ඉගෙනගනිති: යෙහෝවඃවහන්සේට පක්ෂපාත වන්න, එවිට ඔබට මහඟු ආශීර්වාද ලැබෙනු ඇත.—රූත් 2:12; 4:17-22; හිතෝපදේශ 10:22; මතෙව් 1:1, 5, 6.
16. හෙබ්‍රෙව්වන් තිදෙනා මුහුණ දුන් පරීක්ෂණය කුමක්ද, තවද අපට උපකාර කිරීමට මෙම වාර්තාවට හැක්කේ කෙසේද?
16 ශද්රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන නම් දැරූ හෙබ්‍රෙව්වන්ගේ වාර්තාව පරීක්ෂාකාරි අවස්ථාවලදී දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටීම සඳහා අපට උපකාරවත් විය හැක. දානියෙල් 3වන පරිච්ඡේදය හඬ නඟා කියවනු ලබන විට, එම සිද්ධිය සිතෙහි මවාගන්න. බබිලෝනීය නිලධාරීන් එක්රැස් කොට තිබෙන දූරා සමභූමියෙහි දැවැන්ත රන් රූපයක් තිබේ. සංගීත භාණ්ඩවල හඬ ඇසෙන විට, නෙබුකද්නෙශර් රජු පිහිටෙවු රූපයට නමස්කාර කරනු වස් ඔවුහු බිම වැටෙති. වෙනත් වචනවලින් කිවහොත්, ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ හැර අන් සියලුදෙනා එසේ කරති. රජුගේ දෙවිවරුන්ට සේවය කරන්ටවත්, රන් රූපයට නමස්කාර කිරීමටවත් තමුන්ට බැරි බව ඔවුහු ඔහුට ගෞරවාන්විතව නමුත් ඍජුව පවසති. අධික ලෙස රත් කරන ලද උදුනකට මෙම තරුණ හෙබ්රෙව්වරුන්ව හෙළනු ලැබේ. එහෙත් සිදු වන්නේ කුමක්ද? ඒ දෙස බලන රජ, මනුෂ්‍යයන් සතරදෙනෙකු දකින අතර, ඉන් එක් කෙනෙක් “දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානය.” (දානියෙල් 3:25) හෙබ්‍රෙව්වන් තිදෙනාව උදුනෙන් ඉවත් කරනු ලබන අතර, නෙබුකද්නෙශර් ඔවුන්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරයි. එම වාර්තාව සිතෙහි මවාගැනීම විපාකදායී යමක් වී ඇත. තවද පරීක්ෂා යටතේ යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් එය සපයන්නේ මොනතරම් කැපීපෙනෙන පාඩමක්ද!
පවුලක් වශයෙන් බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලබන්න
17. බයිබලය එකට කියවීමෙන් ඔබේ පවුලට උගත හැකි ප්‍රයෝජනදායක දේවල් සමහරක් කෙටියෙන් දක්වන්න.
17 ඔබ එකට බයිබලය කියවීමෙහි නිතිපතා යෙදෙනවා නම්, ඔබේ පවුලට බොහෝ ප්‍රයෝජන භුක්තිවිඳිය හැක. උත්පත්ති පොතෙන් කියවීම පටන්ගෙන, මැවීම ඔබේ සිත නමැති ඇසින් දැකීමටත්, මිනිසාගේ මුල් පාරාදීස නිවස දෙස එබී බැලීමටත් ඔබට හැක. විශ්වාසවන්ත කුලදෙටුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අද්දැකීම්වලට ඔබට හවුල් විය හැකි අතර, ඉශ්රායෙල්වරු රතු මුහුදේ වියළි බිමේ ගමන් කරත්ම ඔවුන් සමඟ යෑමටද හැක. එඬේර කොලු දාවිත් පිලිස්තීය යෝධ ගෝලියත් පරාජය කරන ආකාරය ඔබට දැකගත හැක. යෙරුසලමෙහි යෙහෝවඃවහන්සේගේ මාළිගාව ඉදි කිරීම සැලකිල්ලට ගැනීමටත්, බබිලෝනීය හමුදා විසින් එයට ගෙනෙන විනාශය දැකගැනීමටත්, ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් යටතේ එය යළි ඉදි කිරීම දැකගැනීමටත් ඔබේ පවුලට හැක. බෙත්ලෙහෙම අසල සිටි යටහත්පහත් එඬේරුන් හා එක්ව, ඔබට යේසුස්වහන්සේගේ උපත පිළිබඳ දේවදූතමය නිවේදනය ඇසිය හැක. උන්වහන්සේගේ බව්තීස්මය හා සේවය පිළිබඳ තොරතුරුද ඔබට ලබාගත හැකි අතර, මිදීමේ මිලයක් ලෙස උන්වහන්සේ තම මිනිස් ජීවිතය පුද කරන අන්දමත් ඔබට දැකගත හැක, එමෙන්ම උන්වහන්සේගේ නැවත නැඟිටීමේ ප්‍රීතියටත් සහභාගි විය හැක. ඊළඟට ප්‍රේරිත පාවුල් සමඟ ගමන් කරමින්, ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත වෙත්ම සභාවන් පිහිටුවනු ලබන අන්දම නිරීක්ෂණය කිරීමට ඔබට හැක. අනතුරුව, එළිදරව් පොත කියවද්දී ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය ඇතුළුව, අනාගතය පිළිබඳ ප්‍රේරිත යොහන්ගේ උදාර දර්ශනය රස විඳීමට ඔබට පුළුවන.
18, 19. පවුලක් වශයෙන් බයිබලය කියවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා කවරේද?
18 පවුලක් වශයෙන් ඔබ බයිබලය හඬ නඟා කියවන්නහු නම්, එය පැහැදිලිව හා උද්යෝගයෙන් කියවන්න. ශුද්ධ ලියවිල්ලේ ඇතැම් කොටස් කියවද්දී, පවුලේ එක් සාමාජිකයෙකුට—ඇතැම්විට පියාට—වාර්තාවේ සාමාන්‍ය කොටස්වල වචන කියවිය හැක. පවුලේ අනික් අයට බයිබල් චරිතයන්ගේ භූමිකා රඟදැක්විය හැකි අතර, තමුන්ට හිමි කොටස් නිසි හැඟීමෙන් කියවිය හැක.
19 පවුලක් වශයෙන් බයිබල් කියවීමෙහි ඔබ නිරත වන අතරතුර, ඔබේ කියවීමේ හැකියාව වැඩිදියුණු විය හැක. දෙවියන්වහන්සේ පිළිබඳ ඔබේ දැනුම වැඩි විය හැකි අතර, මෙය ඔබව උන්වහන්සේට වඩාත් සමීප කළ යුතුය. ආසාප් මෙසේ ගායනා කළේය: “දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.” (ගීතාවලිය 73:28) “අදෘශ්‍යමාන තැනන්වහන්සේ” එනම් යෙහෝවඃ දෙවියන්වහන්සේ “දකින්නාක්මෙන් . . . ස්ථිරව සිටි” මෝසෙස් හා සමාන වීමට මෙය ඔබේ පවුලට උපකාරවත් වේවි.—හෙබ්‍රෙව් 11:27.
කියවීම හා ක්‍රිස්තියානි සේවය
20, 21. කියවීමේ හැකියාව අපේ දේශනා කිරීමේ නියමයට සම්බන්ධව තිබෙන්නේ කෙසේද?
20 “අදෘශ්‍යමාන තැනන්වහන්සේ” නමස්කාර කිරීම සඳහා අප සතු ආශාව හොඳ පාඨකයන් වීමට අපව පෙලඹවිය යුතුය. හොඳ කියවීමේ හැකියාව දේවවචනයෙන් සාක්ෂිදැරීමට අපහට උපකාරවත් වේ. රාජ්‍ය-දේශනා කිරීමේ කර්තව්‍යය ඉටු කිරීමට එය සැබවින්ම උපකාරවත් වේ, ඇරත් යේසුස්වහන්සේ මෙසේ පැවසූ විට, සිය අනුගාමිකයන්ට එය කිරීමට නියම කළසේක: “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) යෙහෝවඃවහන්සේගේ ජනයාගේ ප්‍රධානතම කාර්යය සාක්ෂිදැරීමයි, ඇරත් එය ඉටු කිරීමට කියවීමේ හැකියාව අපට ඉවහල් වේ.
21 හොඳ පාඨකයෙකු මෙන්ම දේවවචනයෙහි දක්ෂ ගුරුවරයෙකු වීමට වෑයම අවශ්‍යය. (එපීස 6:17) එබැවින්, ‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දෙන දෙවියන්වහන්සේගේ අනුමැතිය ලත් කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරන්න.’ (2 තිමෝති 2:15, NW) කියවීමෙහි නියැලීමෙන්, ශුද්ධ ලියවිලිමය සත්‍යතාව පිළිබඳ ඔබේ දැනුමද, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට ඔබේ හැකියාවද වැඩිවර්ධනය කරගන්න.
ඔබේ පිළිතුරු කවරේද?
◻ දේවවචනය කියවීම මත සන්තෝෂය රඳා පවතින්නේ කෙසේද?
◻ බයිබලයෙන් කියවන දේ මත ඔබ මෙනෙහි කළ යුත්තේ මන්ද?
◻ ශුද්ධ ලියවිල්ල කියවන විට, සම්බන්ධ කිරීම හා සිතෙහි මවාගැනීම භාවිත කළ යුත්තේ මන්ද?
◻ බයිබල් කියවීමෙන් උගත හැකි පාඩම් සමහරක් කවරේද?
◻ පවුලක් වශයෙන් බයිබලය හඬ නඟා කියවිය යුත්තේ මන්ද, තවද කියවීම ක්‍රිස්තියානි දේවසේවය හා සම්බන්ධ වන්නේ කවර අන්දමකින්ද?
[13වන පිටුවේ පින්තූර]
පවුලක් වශයෙන් බයිබලය කියවන විට, වාර්තා සිතෙහි මවාගෙන, ඒවායෙහි වැදගත්කම ගැන මෙනෙහි කරන්න