අප සැවොම දෙවියන්වහන්සේව පැසසිය යුත්තේ මන්ද?
හලෙලූයා! ක්‍රිස්තියානි ලෝකයේ පල්ලියන්නන් බොහෝදෙනෙකු අතරෙහි මෙම වචනය ඉතා ප්‍රසිද්ධය. ඇතැම් අය තමන්ගේ ඉරු දින පූජාවේදී, එය ශබ්ද නඟා ප්‍රකාශ කරති. කෙසේවෙතත්, එම වචනයෙන් ඇත්තෙන්ම අදහස් කරන දේ දන්නේ කීයෙන් කීදෙනාද? ඇත්තවශයෙන්ම, එය “යාහ්ට ප්‍රශංසා කරන්න” යන අර්ථය ඇති හෙබ්‍රෙව් වචනයකි. එය, යෙහෝවා යන නාමය ඇති, මැවුම්කරුවාණන් පිළිබඳව පැහැදිලි, ප්‍රීතිමත් ආකාරයක ප්‍රශංසා කිරීමකි.a
“හලෙලූයා” යන වචනය බයිබලය තුළ නිතර දකින්ට තිබේ. ඒ මන්ද? දෙවියන්වහන්සේව පැසසීමට බොහෝ හේතු තිබෙන බැවිනි. යාහ් (යෙහෝවඃවහන්සේ) අතිවිශාල විශ්වයේ මැවුම්කරුවාණන් මෙන්ම පෝෂකයාණන්ද වනසේක. (ගීතාවලිය 147:4, 5; 148:3-6) පොළොවේ ජීවීන්ගේ පැවැත්මට ඉවහල් වන පරිසර පද්ධතීන් ආරම්භ කළේ උන්වහන්සේය. (ගීතාවලිය 147:8, 9; 148:7-10, 12ආ) තවද උන්වහන්සේ මනුෂ්‍යවර්ගයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනසේක. අපි උන්වහන්සේගේ කැමැත්ත කරන්නෙමු නම්, උන්වහන්සේ අපට මේ ජීවිතයේදී ආශීර්වාද කර අපට උපකාරය සපයන අතර, ඉදිරියේදී ඊටත් වඩා හොඳ ජීවිතයක බලාපොරොත්තුවක් පිළිබඳ සහතිකයක් ඉදිරිපත් කරනසේක. (ගීතාවලිය 148:11-14) මෙම වචනවලට ආනුභාවය දුන්නේ යාහ්ය (යෙහෝවඃවහන්සේය): “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.
එබැවින්, “හලෙලූයා” යන අවවාදය සියලුදෙනාටම යොමු කර තිබේ. “ස්වාමීන්ට [යාහ්ට, NW] ප්‍රශංසාකරව්.” (ගීතාවලිය 104:35, ද රෙෆරන්ස් බයිබල් පාදසටහන) කෙසේවෙතත්, සියලුදෙනාම ප්‍රතිචාරය දැක්වීමට අකමැති වීම කනගාටුවට කරුණකි. අදදින මනුෂ්‍යයෝ වේදනා විඳිමින් සිටිති. බොහෝදෙනෙක් කුසගින්නෙන්, අසනීපයෙන් හෝ හිංසා පීඩා විඳිමින් සිටිති. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතය, එසේ නැතහොත් ඔවුන්ගේ දුරාචාර ක්‍රියාමාර්ගයේ හෝ කැරලිගැසීමේ ප්‍රතිඵල නිසා, බොහෝදෙනෙක් දැඩි ශෝකය විඳදරාගෙන සිටිති. එවැනි අය දෙවියන්වහන්සේව පැසසිය යුතු යම් හේතුවක් තිබේද?
‘මට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් යෙහෝවඃවහන්සේට විතරයි’
ඔව්, හේතු තිබේ. උන්වහන්සේව දැනහඳුනා ගැනීමට, උන්වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා ඉගෙනගැනීමට හා මනුෂ්‍යයන්ට උන්වහන්සේව පැසසීමට සලස්වන ආශීර්වාද භුක්තිවිඳීමට, යෙහෝවඃවහන්සේ කිසිම විශේෂත්වයකින් තොරව සැම කෙනෙකුටම ආරාධනා කරනසේක. තවද බොහෝදෙනෙක් ප්‍රතිචාරය දක්වති. නිදසුනක් වශයෙන් ග්වාටමාලාහි ආඩ්රිආනාව සලකා බලන්න. ආඩ්රිආනා වයස අවුරුදු හතක්ව සිටියදී, ඇගේ මව මියගියාය. ඊට ටික කලකට පසු, ඇගේ පියා නිවස අතහැර ගියේය. ඇයට වයස අවුරුදු දහයක් වූ විට, ඈ ජීවත්වීම සඳහා වැඩ කිරීමට පටන්ගත්තාය. දෙවියන්වහන්සේට හා පල්ලියට සේවය කරන්න කියා ඇගේ මව ඇයට කියා තිබූ නිසා, ආඩ්රිආනා විවිධ පල්ලි කණ්ඩායම් සමඟ ආශ්‍රය කළාය; නමුත් ඇයට වයස අවුරුදු 12ක් වන විට ඈ බලාපොරොත්තු රහිත තත්වයක සිටි අතර, වීථි චන්ඩීන්ගේ කල්ලියකට එකතු වූවාය. ඈ දුම්පානය කිරීමටත්, මත්ද්‍රව්‍ය ගැනීමටත්, සොරකම් කිරීමටත් පටන්ගත්තාය. එවැනි යෞවනියකට දෙවියන්වහන්සේව පැසසීමට වුවමනා විය යුත්තේ මන්ද?
ආඩ්රිආනාගේ සහෝදරිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත් නමුත්, ආඩ්රිආනා ඇය කළ දේ විහිළුවක් හැටියට සැලකුවාය. ඒ කාලයේදී ඇගේ නැන්දා කෙනෙක් මියගියේය. ඇගේ නැන්දාගේ අවමංගල්‍යයේදී, ආඩ්රිආනා බොහෝ ප්‍රශ්න ඇතුව කලබලයට පත් වූවාය. ඇගේ නැන්දා ගියේ කොතැනකටද? ඇය සිටියේ ස්වර්ගයේද? ඇය ගිනිමය නිරයකට ගියාද? එය හරිම අවුල්සහගත දෙයක් වූයේය; තවද ඇගේ සහෝදරිය ඇයට උගන්වා තිබූ පරිදි ආඩ්රිආනා, යෙහෝවා යන දෙවියන්වහන්සේගේ නාමය පාවිච්චි කරමින් උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම සඳහා සුසාන භූමියේ පල්ලියට ගියාය.
ඉතා ඉක්මනින්ම ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින්, ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට යමින් සිටියාය. මෙය ජීවිතයේ සම්පූර්ණයෙන්ම අලුත් බලාපොරොත්තුවක් ඇයට විවෘත කර දුන් අතර, ඈ නිර්භීතව වීථි චන්ඩීන්ගේ කල්ලි සමඟ පැවැත්වූ ආශ්‍රය නතර කළාය. දැන් අවුරුදු 20ගණන්වල මැදභාගයේ පසු වන ආඩ්රිආනා මෙසේ පවසන්නීය: “යෙහෝවඃවහන්සේට තියෙන ප්‍රේමය විතරයි, මේ වගේ නරක විදිහේ ජීවිතයක් අතහරින්න මට සැලැස්සුවේ. සදාකාල ජීවනයේ බලාපොරොත්තුවක් මට දෙන්න පුළුවන් වුණේ මහත් දයාවෙන් පූර්ණ යෙහෝවඃවහන්සේට විතරයි.” දුෂ්කර අන්දමින් ජීවිතය ආරම්භ කිරීමට සිදු වුවත්, දෙවියන්වහන්සේව පැසසීමට ආඩ්රිආනාට කදිම හේතු තිබේ.
ඊටත් වඩා බලාපොරොත්තු විරහිත තත්වයක් යුක්රේන්වලින් වාර්තා වී තිබේ. මිනිසෙක්, තමාව මරණයට පත් කරන තුරු සිරගෙයි බලා සිටියි. තමාට අත් වූ ඉරණම ගැන ඔහු දුක්මුසුව සිටීද? ඔහු කලකිරී සිටින්නේද? නැත; කිසිසේත් නැත. මෑතකදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔහුව මුණගැසී, යෙහෝවඃවහන්සේ පිළිබඳ යම් දැනුමක් ඔහු ලබාගැනීමෙන් පසු, තමාගේ මව මුණගැසෙන මෙන් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා තිබිණ. ඔවුන් තමාගේ අයැදුම ඉටු කර තිබූ බව ඔහුට අසන්ට ලැබූ නිසා, දැන් ඔහු ඔවුන්ට ලිපියක් ලියමින් සිටී. ඔහු මෙසේ පවසයි: “මගේ අම්මාව මුණගැහෙන්න ගියාට ස්තූතියි. මේ පසුගිය අවුරුද්දේ මට අහන්න ලැබුණු වඩාත්ම ප්‍රීතිමත් ආරංචිය ඒකයි.”
ඔහු ගැන හා ඔහු සාක්ෂිදරා තිබූ සිරකුටියේ සිටි අනික් අය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ ලියයි: “අපිට දැන් දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙනවා; අපි ඒ ඇදහිල්ලට අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා.” ඔහු තමාගේ ලිපිය මෙසේ අවසන් කරයි: “ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලත් ඇදහිල්ල ඇති කරගන්න විදිහත් ඉගෙනගන්න අපිට උදව් කළාට ස්තූතියි. මං ජීවතුන් අතරේ හිටියොත්, මමත් ඕගොල්ලන්ට උදව් කරනවා. ඕගොල්ලෝ වගේ අය ඉන්න එකටත්, දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න වගේම උන්වහන්සේව විශ්වාස කරන්න අනික් අයට උදව් කළාටත් දෙවියන්වහන්සේට ස්තූති කරන්න ඕනෙ.” මෙම මිනිසා තමාගේ මරණ දණ්ඩනය ගැන ඇපැල් කර තිබේ. එහෙත් ඔහුව මරණයට පත් කරනු ලැබුවත්, ඔහුට සිරගෙයි අවුරුදු ගණනාවක් ගත කිරීමට සිදු වුවත්, දෙවියන්වහන්සේව පැසසීමට ඔහුට හොඳ හේතු තිබෙන බව පැහැදිලිය.
‘මං අන්ධ වුණත්, මට පේනවා’
හදිසියෙන්ම පෙනීම අහිමි වී ගිය නහඹර වියේ පසු වූ ප්රාණවත්භාවයෙන් පිරුණු යෞවනියක් පිළිබඳව දැන් සලකා බලන්න. ආර්ජන්ටිනාවේ ජීවත් වන ග්ලෝරියාට සිදු වූයේ එයයි. වයස අවුරුදු 19දී ග්ලෝරියා එකපාරටම අන්ධ වූ අතර, ඇයට කිසිදිනක ඇගේ පෙනීම නැවත ලැබුණේ නැත. වයස අවුරුදු 29දී ඈ පුරුෂයෙකු සමඟ ජීවත්වීමට පටන්ගත් අතර, වැඩි කලක් යන්ට පෙර ගර්භිණි වූවාය. ඇගේ ජීවිතයේ දැන් අර්ථවත් බවක් තිබෙන බව ඇයට හැඟිණ. එහෙත් ඇගේ දරුවා ඇයට අහිමි වූ විට, ඈ ප්‍රශ්න කරන්ට පටන්ගත්තාය. ඈ මෙසේ කල්පනා කරන්ට වූවාය: ‘ඇයි මට මෙහෙම වෙන්නේ? මම මොකක්ද කරලා තියෙන වරද? දෙවියන්වහන්සේ ඇත්තටම පවතිනවාද?’
මේ අවස්ථාවේදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියන් දෙදෙනෙක් ඇගේ නිවසට පැමිණියෝය. ඈ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් අතර, නව ලොවේදී අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවට වූ පොරොන්දුව පිළිබඳව ඉගෙනගත්තාය. (යෙසායා 35:5) ග්ලෝරියාට මොනතරම් පුදුමාකාර අපේක්ෂාවක්ද! තමන්ගේ විවාහය නීත්‍යනුකූල කිරීමට ඇගේ ස්වාමිපුරුෂයා කැමැත්ත දුන් විට ඈ විශේෂයෙන්ම සතුටු වූවාය. ඉන්පසු, ඇගේ ස්වාමිපුරුෂයා අනතුරකට භාජන වී, රෝද පුටුවකට සීමා වූ රෝගියෙක් බවට පත් වූයේය. අදදින මෙම අන්ධ ස්ත්‍රියට ජීවිකාව ගෙන යෑම සඳහා මහන්සි වී වැඩ කිරීමට සිදු වේ. මීට අමතරව, නිවසේ සෑම වැඩක් මෙන්ම, තමාගේ ස්වාමිපුරුෂයාට පෞද්ගලික සැලකිල්ල දැක්වීමටද ඇයට සිදු වේ. එහෙත් ග්ලෝරියා යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නීය! ඇයගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ උපකාරයෙන්, ඈ බ්‍රේල් බයිබලය අධ්‍යයනය කරන අතර, රාජ්‍ය ශාලාවේ පවත්වනු ලබන ක්‍රිස්තියානි රැස්වීම්වලින් මහත් දිරිගැන්වීමක් ලබන්නීය. ඈ මෙසේ පවසන්නීය: “මේක විස්තර කරන්න අමාරුයි; ඒත් මං අන්ධ වුණත්, මට ඇස් පේනවා වගෙයි.”
ඇතැම් අවස්ථාවලදී, දෙවියන්වහන්සේව පැසසීමේදී, මනුෂ්‍යයන්ට හිංසා පීඩා කරනු ලැබේ. දෙවියන්වහන්සේ පිළිබඳව ඉගෙනගනු ලැබූ විට, ක්‍රොඒෂියාවේ ස්ත්‍රියක් ඉතා සතුටු වුවත්, ඇය අලුතින් සොයාගත් ඇදහිල්ලට ඇගේ ස්වාමිපුරුෂයා විරුද්ධ වී, අවුරුද්දක් වයසැති ඔවුන්ගේ දියණියවද ඇගෙන් ගෙන ඇයව ප්‍රතික්ෂේප කළේය. ස්වාමිපුරුෂයා සහ පවුලේ අය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ, නිවසක්, රැකියාවක් හෝ තමාගේ දරුවා පවා නොමැතිව සිටීමට සිදු වූ ඈ, අසරණ තත්වයකට වැටී සිටියාය. එහෙත් තමාගේ කුඩා දියණිය වැඩිවියට පත් වන තුරු දියණිය සමඟ සීමිත සම්බන්ධයක් තිබුණත්, දෙවියන්වහන්සේට තිබූ ඇයගේ ප්‍රේමය ඇයව ඉසිලුවේය. මෙම ස්ත්‍රිය “ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක්” සොයාගෙන තිබූ අතර, එය අත්හරින්ට අදහස් කළේ නැත. (මතෙව් 13:45, 46) මෙම දුෂ්කර කාලවලදී, ඈ තමාගේ ප්‍රීතිය පවත්වාගත්තේ කෙසේද? ඈ මෙසේ පවසන්නීය: “ප්‍රීතිය දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵලයක්. පිටස්තර තත්වයන්ගෙන් ස්වාධීනව එය වර්ධනය කරගන්න පුළුවන්; එය හරියටම පිටත කාලගුණය කොයි තත්වයක තිබුණත්, පැළෑටිවලට හරිතාගාරයක වැඩෙන්න පුළුවන් වෙනවා වගෙයි.”
ෆින්ලන්තයේ වෙසෙන වයස අවුරුදු හයක් වූ මා’කස්ට, සුව කළ නොහැකි පේශි රෝගයක් වැළඳී තිබුණු බව සොයාගනු ලැබීය. ඉතා ඉක්මනින්ම ඔහුට රෝද පුටුවකට සීමා වෙන්ට සිදු විය. අවුරුදු කිහිපයකට පසු, රෝගී මනුෂ්‍යයන්ව සුව කිරීම නිසා මහත් ප්‍රසිද්ධියක් ලබමින් සිටි පෙන්තකොස්ත කෙනෙකු ළඟට ඔහුගේ මව ඔහුව ගෙන ගියාය. එහෙත් ආශ්චර්යවත් අන්දමින් කිසිදු සුව කරනු ලැබීමක් සිදු නොවිණ. එබැවින් දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු මා’කස්ගේ උනන්දුව නැති වූ අතර, ඔහු විද්‍යාව හා වෙනත් ලෞකික ක්ෂේත්රයන් අධ්‍යයනය කිරීමට පටන්ගත්තේය. ඉන්පසු, මීට අවුරුදු පහකට පමණ පෙර, රෝද පුටුවකින් ගමන් කළ ස්ත්‍රියක්, යෞවන පුරුෂයෙකු සමඟ මා’කස් ජීවත් වූ නිවසට පැමිණියාය. ඔවුහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වූහ. මා’කස් මේ වන විට අදේවවාදියෙක් වූවත්, ආගම පිළිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඔහු කිසිදු විරුද්ධත්වයක් නොදැක්වූ අතර, ඔහු ඔවුන්ට ආරාධනා කළේය.
පසුව, විවාහක යුවළක් ඔහුව මුණගැසීමට පැමිණි අතර, බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබීය. පසුකාලයකදී, බයිබල් සත්‍යයේ බලය, යම් දේවල් සම්බන්ධයෙන් මා’කස්ගේ තිබූ ආකල්පය වෙනස් කළ අතර, ඔහුගේ දුබලතාව තිබියදීත් දෙවියන්වහන්සේව පැසසීමට තමාට සැබවින්ම හේතු තිබෙන බව ඔහුට අවබෝධ වූයේය. ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “මට සත්‍යය වගේම, යෙහෝවඃවහන්සේ පාවිච්චි කරන සංවිධානය හොයාගන්න පුළුවන් වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි. මගේ ජීවිතයට දැන් නිසි එල්ලයක් වගේම අර්ථයකුත් තියෙනවා. යෙහෝවඃවහන්සේගේ රැළෙන් ඈත් වෙන්න කැමති නැති, තවත් නැති වූ බැටළුවෙක්ව හම්බ වෙලයි තිබෙන්නේ!”—මතෙව් 10:6, සසඳන්න.
සියල්ලෝම ‘යාහ්ට ප්‍රශංසා’ කරත්වා
අදදින මනුෂ්‍යයන්ට, තමන්ගේ තත්වය කුමක් වුවත්, දෙවියන්වහන්සේව පැසසීමට හේතු තිබිය හැකි බව පෙන්නුම් කරන මේවා, පැවසිය හැකි අසංඛ්‍යාත අද්දැකීම්වලින් කිහිපයක් පමණි. ප්‍රේරිත පාවුල් එය මෙලෙස පැහැදිලි කළේය: “භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය.” (1 තිමෝති 4:8) අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නෙමු නම්, උන්වහන්සේ “දැන් තිබෙන ජීවිතය ගැන . . . පොරොන්දු[ව]” ඉටු කරනවා ඇත. ඇත්තවශයෙන්ම, මෙම දේවල පිළිවෙළ තුළදී, උන්වහන්සේ දිළිඳු අයව පොහොසත් කරන්නේවත්, රෝගීන්ව යහපත් සෞඛ්‍ය තත්වයට නැවත පත් කරන්නේවත් නැත. එහෙත් උන්වහන්සේට සේවය කරන අයගේ බාහිර තත්වය කුමක් වුවත්, ප්‍රීතිය හා තෘප්තිය සොයාගන්නා පිණිස උන්වහන්සේ ඔවුන්ට ස්වකීය ආත්මය දෙනසේක. එසේය, “දැන් තිබෙන ජීවිත[යේදී]” පවා, රෝගීන්, හිංසා පීඩා ලැබූවන් හා දිළිඳුන්ට දෙවියන්වහන්සේව පැසසීමට හේතු තිබිය හැක.
එහෙත් “මතු ජීවිතය ගැන” කුමක් කිව හැකිද? ඒ හේතුවම මහත් උද්යෝගයෙන් යුක්තව දෙවියන්වහන්සේව පැසසීමට අපව සැලැස්විය යුතු නොවේද! දිළිඳුකම මුලිනුපුටා දමනු ලබන, “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකිය[න]” යෙහෝවඃ දෙවියන්වහන්සේ ‘ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන, මරණය තවත් නැති, වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නැති, පළමු දේවල් පහව ගොස් තිබෙනු ඇති’ කාලයක් ගැන සිතීමෙන් පවා අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු. (යෙසායා 33:24; එළිදරව් 21:3, 4; ගීතාවලිය 72:16) දෙවියන්වහන්සේගෙන් ලද මෙම පොරොන්දු ඔබ සලකන්නේ කෙසේද?
එල් සැල්වඩෝරයේ යෞවන පුරුෂයෙක්, මෙම දේවලින් සමහරක් පැහැදිලි කර තිබූ බයිබල් පත්‍රිකාවක් පිළිගත්තේය. එම පත්‍රිකාව තමාට දුන් සාක්ෂිකාරියට ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “නෝනා, මේ පත්‍රිකාවේ කියන දේ, අදහන්න බැරි තරම් හොඳ දෙයක්.” බොහෝදෙනෙක් ඒ ආකාරයට ප්‍රතිචාරය දක්වති. එහෙත්, මේවා විශ්වය මැවූ තැනැන්වහන්සේගේ පොරොන්දුය; උන්වහන්සේ, අපේ පොළොවේ ස්වාභාවික චක්රයන් ආරම්භ කළ හා දිළිඳු අයට මෙන්ම රෝගීන්ට ප්‍රීතිය සොයාගැනීමට උපකාර කරන තැනැන්වහන්සේය. උන්වහන්සේ පවසන දේ අපට විශ්වාස කළ හැකිය. ඉහත සඳහන් යෞවන පුරුෂයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කර මෙය සත්‍යයක් බව සොයාගත්තේය. ඔබ දැනටමත් මෙසේ කරමින් නොසිටින්නෙහි නම්, එම දෙයම කිරීමට අපි ඔබට දිරිගන්වන්නෙමු. එවිට, මෙම වත්මන් දේවල පිළිවෙළ පහව ගියායින් පසු, “හලෙලූයා” කියා මොරගැසීමට මුළු මැවිල්ලම හවුල් වෙද්දී ඔබත් එහි සිටීවා! “ජනයෙනි යාහ්ට ප්‍රශංසා කරන්න!”—ගීතාවලිය 112:1; 135:1; NW.
[පාදසටහන]
a බයිබලයෙහි, “යෙහෝවා” යන්න ඇතැම් අවස්ථාවලදී “යාහ්” වශයෙන් කෙටි කොට දක්වා තිබේ.
[5වන පිටුවේ පින්තූරය]
“හලෙලූයා” කියා මොරගැසීමට මුළු මැවිල්ලම හවුල් වෙද්දී, ඔබත් එහි සිටීවා!