සියලුදෙනා යෙහෝවාට ගෞරව කරත්වා!
“ආලෝකයෙන් යුත් ප්‍රදේශයේදී ඔවුන් යෙහෝවාට ගෞරව කළ යුතුය.”—යෙසායා 24:15, NW.
1. යෙහෝවාගේ ප්‍රොපේතවරුන් ඔහුගේ නාමය සැලකුවේ කෙසේද; මෙය, වර්තමානයේ ක්‍රිස්තියානි ලෝකය තුළ තිබෙන කුමන ආකල්පයට වඩා වෙනස්ද?
යෙහෝවා! දෙවිඳුන්ගේ සත්කීර්තිමත් නාමය එයයි! අතීතයේ විසූ විශ්වාසවන්ත ප්‍රොපේතවරුන්ට එම නාමයෙන් කතා කිරීමට වරම් ලැබීම, මොනතරම් ප්‍රීතියක් වන්ට ඇද්ද! ඔවුන් තම පරමාධිපති ස්වාමි වූ යෙහෝවාට ගෞරව කළේ ඉමහත් ප්රීතියකිනි; ඒ නාමය ඔහුව හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨ අරමුණු කරන්නා හැටියටයි. (යෙසායා 40:5; යෙරෙමියා 10:6, 10; එසකියෙල් 36:23) යෙහෝවාට ගෞරවය දීමට සුළු ප්‍රොපේතවරු පවා පසුබට වූයේ නැත. ඉන් එක්කෙනෙකි, හග්ගයි. පද 38කට පමණක් සීමා වූ හග්ගයි පොතෙහි, දෙවිඳුන්ගේ නම 35 වතාවක් පාවිච්චි කර තිබේ. යෙහෝවා යන අගනා නාමය වෙනුවට, “ස්වාමීන්වහන්සේ” යන පදවි නාමය යොදන විට එහි අනාවැකිවල කිසිම ප්‍රාණවත්කමක් නැත. ක්‍රිස්තියානි ලෝකයේ උත්කෘෂ්ට ප්‍රේරිතයන් තම බයිබල් පරිවර්තනවල කර තිබෙන්නේ ඒ දෙයයි.—2 කොරින්ති 11:5, සසඳන්න.
2, 3. (අ) ඉශ්රායෙල්හි යළි පිහිටුවීම ගැන පළ වූ පුදුම දනවන අනාවැකියක් ඉටු වූයේ කෙසේද? (ආ) යුදෙව් ඉතිරි කොටස හා ඔවුන්ගේ සගයන් සහභාගි වූයේ කුමන ප්රීතියකටද?
2 යෙසායා 12:2හි [NW], එම නාමය ස්වරූප දෙකකින් යොදා තිබේ.a එම ප්‍රොපේතවරයා මෙසේ ප්‍රකාශ කරයි: “බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් අදහමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ [යාහ් යෙහෝවා, NW] මාගේ ශක්තියත්, ගීතිකාවත් [බලයත්, NW]ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.” (නව අනුවාදය; යෙසායා 26:4, NWද බලන්න.) මෙසේ, බබිලෝනියේ වහල්කමින් ඉශ්‍රායෙල්ව මුදාගැනීමට අවුරුදු 200කට පමණ පෙර, යාහ් යෙහෝවා තම ප්‍රොපේත යෙසායා තුළින් සහතික කරමින් සිටියේ, ඔහු ඔවුන්ගේ බලවත් ගැළවුම්කාරයා වූ බවයි. එම වහල්කම පො.යු.පෙ. 607 සිට 537 දක්වා දිවයෑමට නියමිත විය. යෙසායා මෙලෙසත් ලීවේය: ‘යෙහෝවා වන මම සියල්ලම කරන්නාවූ තැනැත්තාය; . . . කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරමින්—යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනැත්තාය.’ මේ කෝරෙෂ් කියන තැනැත්තා කවුද? පුදුමයට හේතුවක් නම්, ඔහු පො.යු.පෙ. 539දී බබිලෝනිය යටපත් කළ, පර්සියාවේ කෝරෙෂ් රජු බවට ඔප්පු වීමයි.—යෙසායා 44:24, 28.
3 යෙසායා වාර්තා කළ යෙහෝවාගේ වදන් සැබෑ කරවමින්, කෝරෙෂ් වහල් වූ ඉශ්‍රායෙලයට මෙම ආඥාව නිකුත් කළේය: “ඔහුගේ මුළු සෙනඟ අතරේ කවරෙකු හෝ සිටීද, ඔහු සමඟ ඔහුගේ දෙවිඳුන් සිටීවා! ඔහු යූදාහි ඇති යෙරුසලමට ගොස්, යෙරුසලමෙහි තිබූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාගේ මාළිගාව යළි ගොඩනඟත්වා!—ඔහු සැබෑ දෙවිඳුන්ය.” අතිශයින් සන්තෝෂ වූ යුදෙව් ඉතිරි කොටසක්, ඉශ්රායෙල් නොවූ නෙතිනීම්වරුන් හා සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයන් සමඟ නැවත යෙරුසලමට පැමිණියහ. පොදු යුගයට පෙර 537දී කූඩාරම් මංගල්‍යය පැවැත්වීමටත්, යෙහෝවාට තම පූජාසනයෙහි පූජා ඔප්පු කිරීමටත් හැකි වන පරිද්දෙන් ඔවුහු කල් ඇතුව පැමිණියහ. ඊළඟ අවුරුද්දේ, දෙවන මාසයේදී, ප්‍රීතියේ මොරගැසීම් හා යෙහෝවාට කළ ප්‍රශංසා හඬ මැද, ඔවුහු දෙවන දේවමාළිගාවේ අත්තිවාරම දැමූහ.—එස්රා 1:1-4, NW; 2:1, 2, 43, 55; 3:1-6, 8, 10-13.
4. යෙසායා 35 සහ 55වන පරිච්ඡේද යථාර්ථයක් බවට පත් වූයේ කෙසේද?
4 නැවත පිහිටුවීම ගැන යෙහෝවා දුන් අනාවැකිය ඉශ්රායෙල් කෙරෙහි තේජාන්විතව ඉටුවීමට තිබුණේය: “වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය. . . . සමිඳුන්ගේ [යෙහෝවාගේ, NW] තේජාලංකාරය ද එතුමන්ගේ [අපේ දෙවිඳුන්ගේ, NW] මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.” “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙන යනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් [ප්‍රීතියෙන්, NW] ඉපිළෙයි. . . . මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”—යෙසායා 35:1, 2; 55:12, 13; න.අ.
5. ඉශ්රායෙල්හි ප්‍රීතිය කෙටි කලකට පැවතුණේ ඇයි?
5 හැබැයි, එම ප්‍රීතිය පැවතුණේ කෙටි කලකට පමණි. අවට සිටි ජනයා ආගමික වශයෙන් එක් වී දේවමාළිගාව ඉදි කිරීමෙහි සහභාගි වීමට මං සෙවූහ. මුලදී යුදෙව්වෝ ස්ථිරව සිට මෙසේ ප්‍රකාශ කළෝය: “අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට [යෙහෝවාට, NW] එය ගොඩනඟන්නෙමු.” එවිට අවට සිටි එම ජනයා අන්ත එදිරිවාදියෝ බවට පත් වූහ. ඔවුහු “ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ.” එපමණක්ද නොව, ඔවුන් කෝරෙෂ්ට පසුව පැමිණි අර්තක්ෂස්තාට තත්වය ගැන වැරදි අවබෝධයක් දුන් අතර, අර්තක්ෂස්තා දේවමාළිගාව ඉදි කිරීම මතට තහනමක් පැනෙව්වේය. (එස්රා 4:1-24, න.අ.) අවුරුදු 17කට වැඩ ඇණහිටීය. ඒ කාලයේදී යුදෙව්වන් ද්‍රව්‍යවාදී ජීවන රටාවකට ඇදවැටීම, කනගාටුවට කරුණකි.
‘සේනාවල යෙහෝවා’ කතා කරයි
6. (අ) යෙහෝවා ඉශ්රායෙල්හි තත්වයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) හග්ගයිගේ නමට තිබෙනවායයි කියන අර්ථය උචිත වන්නේ ඇයි?
6 ඒ කෙසේවෙතත්, තම වගකීම් ඉටු කිරීම සඳහා යුදෙව්වන්ව අවදි කිරීමට, ප්‍රොපේතවරුන්ව, විශේෂයෙන්ම හග්ගයි සහ සෙකරියාව යැවීමෙන්, යෙහෝවා ඉශ්රායෙල් වෙනුවෙන් ‘තම ශක්තියත් බලයත්’ විදහාපෙන්වීය. හග්ගයිගේ නමෙහි තේරුම “උත්සවයකදී උපන්” යන්න බව පෙනී යන නිසා, එය උත්සවයකට සම්බන්ධව පවතී. එසේනම්, කූඩාරම් මංගල්‍යය පැවති මාසයේ පළමු දවසේ ඔහු අනාවැකි පළ කිරීම ඇරඹීම යෝග්‍ය විය; ඒ අවස්ථාවේදී, “මුළුමනින් ප්‍රීති” වීම යුදෙව්වන්ගෙන් අපේක්ෂා කෙරිණ. (ද්විතීය කථාව 16:15) දින 112ක් පුරා දිවයන කාලපරිච්ඡේදයක් තුළදී, යෙහෝවා, හග්ගයි තුළින් පණිවිඩ හතරක් ඉදිරිපත් කළේය.—හග්ගයි 1:1; 2:1, 10, 20.
7. හග්ගයිගේ ප්රාරම්භක වදන් අපට දිරිගැන්වීමක් විය යුත්තේ කෙසේද?
7 තම අනාවැකිය හඳුන්වා දෙමින් හග්ගයි පැවසුවේ මෙයයි: “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කථාකොට.” (හග්ගයි 1:2අ) එම “සේනා” කවුරු විය හැකිද? ඔවුහු යෙහෝවාගේ දේවදූතමය සමූහයෝය; බයිබලයේ සමහරවිට ඔවුන්ව හමුදාවන් නොහොත් සන්නද්ධ බලඇණි වශයෙන් හඳුන්වා තිබෙන අවස්ථාද ඇත. (යෝබ් 1:6; 2:1; ගීතාවලිය 103:20, 21; මතෙව් 26:53) මිහිපිට සැබෑ නමස්කාරය යළි පිහිටුවීමේ අපේ වැඩයට මඟ පෙන්වීම සඳහා, පරමාධිපති ස්වාමි වූ යෙහෝවාම අදෘශ්‍යමාන වූ මෙම ස්වර්ගික බලඇණි පාවිච්චි කිරීමේ කාරණය, අදදින අපහට දිරිගැන්වීමක් නොවේද?—2 රාජාවලිය 6:15-17, සසඳන්න.
8. ඉශ්රායෙල්ට බලපා තිබුණේ කුමන ආකල්පයද; කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
8 හග්ගයිගේ පළමුවන පණිවිඩයෙහි අඩංගු වූයේ කුමක්ද? “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි” ජනයා පවසා තිබිණ. දිව්‍ය නමස්කාරය යළි පිහිටුවීම නියෝජනය කළ දේවමාළිගාව ඉදි කිරීමේ කාර්යය වෙත අන් සියල්ලට පළමුව සැලකිල්ල දැක්වීමට ඔවුන් තවදුරටත් යොමු වූයේ නැත. ඔවුන් තමුන් සඳහා මන්දිර ඉදි කිරීමෙහි නිරත වී තිබිණ. යෙහෝවාගේ නමස්කාරය සඳහා ඔවුන්ට තිබුණු උද්යෝගය ද්‍රව්‍යවාදී ආකල්පය හේතුවෙන් අඩාල වී තිබිණ. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ ආශීර්වාදය ඉවත් කර තිබිණ. ඔවුන්ගේ කෙත් තවදුරටත් සරුව නොවැඩුණු අතර, දැඩි ශීත කාලය සඳහා ඔවුන්ට ප්‍රමාණවත් ඇඳුම් පැළඳුම් තිබුණේ නැත. ඔවුන්ට ලැබුණු ආදායම සීමිත වී තිබිණ; එය හරියට හිල් ඇති පසුම්බියකට මුදල් දමනවා හා සමාන විය.—හග්ගයි 1:2ආ-6.
9. යෙහෝවා සැපයූ ප්‍රබල, වර්ධනය ගෙන දෙන අවවාද මොනවාද?
9 යෙහෝවා දෙවරක් ඔවුන්ට ප්‍රබල අවවාද දුන්නේය: “නුඹලාගේ මාර්ග සිතට ගන්න.” යෙරුසලමේ ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ද, උත්තම පූජක යෝෂුවාදb ඊට ප්‍රතිචාරයක් දක්වා, “තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත්” සවන් දීමට සෙනඟව එඩිතරව දිරිගැන්වූ අතර, “සෙනග ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] ඉදිරියෙහි භයවූවෝය.” එපමණක්ද නොව, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] පණිවිඩකාරයාවූ හග්ගයි ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] පණිවිඩයේ හැටියට සෙනගට කථාකොට: මම නුඹලා සමග සිටිමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේකැයි කීවේය.”—හග්ගයි 1:5, 7-14.
10. ඉශ්රායෙල් වෙනුවෙන් යෙහෝවා තම බලය පාවිච්චි කළේ කෙසේද?
10 යෙරුසලමේ සිටි වයෝවෘද්ධයන් සමහරෙකු, නැවත ඉදි කරන ලද දේවමාළිගාවේ තේජස, කලින් දේවමාළිගාව හා සසඳන කල “කිසිත් නැත්තාක්මෙන්” වන බව සිතන්ට ඇත. කෙසේවෙතත්, දින 51කට පසුව, යෙහෝවා දෙවන පණිවිඩයක් ප්‍රකාශ කිරීමට හග්ගයිව පෙලඹුවේය: “සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනග සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක. මක්නිසාද මම නුඹලා සමග සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක. . . . භය නොවෙන්න.” පසුකාලයේදී, ‘අහස සහ පොළොව සෙලවීමට’ තම සර්වබලධාරි බලය යොදනු ඇති යෙහෝවා, සියලු විරුද්ධවාදිකම්, රාජ්‍ය තහනමක් පවා පරදවන බවට වගබලා ගත්තේය. අවුරුදු පහක් ඇතුළත දේවමාළිගාවේ ඉදි කිරීමේ කටයුතු සාර්ථකව නිමා කෙරිණ.—හග්ගයි 2:3-6.
11. දෙවිඳුන් දෙවන දේවමාළිගාව ‘වැඩිමනත් තේජසින්’ පිරවූයේ කෙසේද?
11 එවිට පුදුම දනවන පොරොන්දුවක් ඉටු විය: “සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” (හග්ගයි 2:7) එම “ආශාවෙන දේ” නමස්කාරය සඳහා එම දේවමාළිගාවට පැමිණි ඉශ්රායෙල් නොවූ අය බව ඔප්පු වූ අතර, එසේ වූයේ ඔහුගේ මහිමාන්විත අභිමුඛයෙහි තේජස ඉන් පිළිබිඹු වූ හෙයිනි. නැවත ඉදි කළ මෙම දේවමාළිගාව සාලමොන්ගේ දවසේදී ඉදි කළ එක හා සැසඳුණේ කෙසේද? දෙවිඳුන්ගේ ප්‍රොපේතවරයා මෙසේ ප්‍රකාශ කළේය: “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” (හග්ගයි 2:9) එම අනාවැකියේ මුල් ඉටුවීම ගන්නවා නම්, නැවත ඉදි කළ දේවමාළිගාව පළමු ගෘහයට වඩා වැඩි කල් පැවතීය. මෙසියස් පො.යු. 29දී පැමිණි විට, එය ඒ වන තුරුත් පැවතීය. එපමණක්ද නොව, මෙසියස්ගේ ඇදහිල්ල අත්හළ සතුරන් පො.යු. 33දී ඔහුව ඝාතනය කරන්ට කලින්, ඔහු එහිදී සත්‍යය දේශනා කළ විට ඊට තේජස ගෙනාවේය.
12. පළමු දේවමාළිගා දෙකෙන් ඉටු වූයේ කුමන අරමුණද?
12 මෙසියස්ගේ පූජක සේවාවේ වැදගත් අංග පෙරඡායා කොට දැක්වීමෙහි හා මෙසියස් ඇත්තටම පැමිණි අවස්ථාව වන තෙක් මිහිපිට යෙහෝවාගේ නිර්මල නමස්කාරය ප්‍රාණවත්ව තබාගැනීමෙහිලා, යෙරුසලමේ තිබූ පළමු හා දෙවන දේවමාළිගාවලින් වැදගත් අරමුණක් ඉටු විය.—හෙබ්‍රෙව් 10:1
තේජවත් ආත්මික දේවමාළිගාව
13. (අ) පොදු යුගයේ 29 සිට 33 දක්වා, ආත්මික දේවමාළිගාව සම්බන්ධයෙන් ඇති වූ සිද්ධීන් මොනවාද? (ආ) මෙම වර්ධනය වීම්වලදී, යේසුගේ මිදීමේ පූජාවට හිමි වූයේ කුමන අතිවැදගත් වැඩකොටසද?
13 නැවත පිහිටුවීමක් පිළිබඳ හග්ගයිගේ අනාවැකිය පසු කාලය සඳහා වැදගත් තේරුමකින් යුක්තද? නිසැකවම! යෙරුසලමේ නැවත ගොඩනඟන ලද දේවමාළිගාව මිහිපිට සිදු කෙරෙන හැම සැබෑ නමස්කාරයක් සඳහාම කේන්ද්‍රය බවට පත් විය. එහෙත් ඉන් වඩාත් තේජසකින් යුත් ආත්මික දේවමාළිගාවක් පෙරඡායා කොට දැක්විණ. පොදු යුගයේ 29දී යොර්දාන් ගඟේ යේසුව බව්තීස්ම කළ විට, යෙහෝවා, යේසුව උත්තම පූජක හැටියට ආලේප කළ අවස්ථාවේදී, ඔහු පිට ශුද්ධාත්මය පරෙවියෙකු මෙන් පැමිණි විට, මෙම ආත්මික දේවමාළිගාව ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය. (මතෙව් 3:16) පූජනීය මරණයක් විඳීමෙන් තම භූමික දේවසේවය නිම කිරීමෙන් පසු, දේවමාළිගාවේ අතිශුද්ධස්ථානයෙන් පිළිබිඹු කෙරෙන ස්වර්ගයට යේසුව නැවත නැඟිටුවනු ලැබූ අතර, එහිදී ඔහු යෙහෝවාට තම පූජාවේ අගය පිරිනැමුවේය. මෙය මිදීමේ මිලයක් සේ ක්‍රියාත්මක වූ අතර, ඔහුගේ ගෝලයන්ගේ පාප වසා දැමුවේය; එමෙන්ම පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ පූජකයන් ලෙස ඔවුන්ව ආලේප කිරීමට එය මඟ විවෘත කළේය. මිහිපිට දේවමාළිගා මළුවේ ඔවුන් මරණය දක්වා විශ්වාසවන්තව දේවසේවයෙහි යෙදීම, අඛණ්ඩ පූජක සේවාවක් පිරිනැමීම සඳහා අනාගතයේ ස්වර්ගික නැවත නැඟිටීමකට මං සලසනු ඇත.
14. (අ) මුල් ක්‍රිස්තියානි සභාවේ ජ්වලිත ක්‍රියාකාරකම් හා බැඳී තිබුණේ කුමන ප්‍රීතියක්ද? (ආ) මෙම ප්‍රීතිය කෙටි කාලයකට පැවතුණේ ඇයි?
14 පසුතැවිලි වූ යුදෙව්වන් මෙන්ම පසුව අන්‍යජාතිකයන් දහස් ගණනක් එම ක්‍රිස්තියානි සභාවට එක්රොක් වූ අතර, පොළොව කෙරෙහි දෙවිඳුන්ගේ මතු පැමිණෙන රාජ්‍ය පාලනය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට සහභාගි වූහ. අවුරුදු 30කට පමණ පසු, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශ” වී තිබුණු බව කීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය. (කොලොස්සි 1:23) එහෙත් ප්‍රේරිතයන්ගේ අභාවයෙන් පසුව, මහත් ඇදහිල්ල අත්හැරයෑමක් ආරම්භ වූ අතර, සත්‍යාලෝකය අඳුරු වන්ට පටන්ගත්තේය. අව්‍යාජ ක්‍රිස්තියානි ධර්මය අභිභවා, මිථ්‍යා ඉගැන්වීම් හා දර්ශන මත පදනම් වූ ක්‍රිස්තියානි ලෝකයේ නිකායවාදය වර්ධනය විය.—ක්‍රියා 20:29, 30.
15, 16. (අ) වර්ෂ 1914දී අනාවැකි ඉටු වූයේ කෙසේද? (ආ) දහනවවන සියවසේ අගභාගයේ හා 20වන සියවසේ මුල්භාගයේ විශේෂයෙන් දක්නට ලැබුණේ කුමන එක්කාසු කිරීමද?
15 සියවස් ගණනාවක් ගත විය. එවිට 1870ගණන්වල, බයිබලය සියුම් ලෙස හැදෑරීමට අවංක ක්‍රිස්තියානීන්ගෙන් යුත් කණ්ඩායමක් පටන්ගත්තේය. “ජාතීන්ගේ නියම කරන ලද කාලවල” අවසානය 1914 වර්ෂයේ සිදු වන බව ශුද්ධ ලියවිල්ලෙන් දැක්වීමට ඔවුන් සමත් විය. පොළොවේ මෙසියානු රජු හැටියට “අයිතිවාසිය” ඇති තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ස්වර්ගික කිරුළු පැළඳවීමත් සමඟම, සංකේතවත් “කාලවල්” සත (අවුරුදු 2,520ක් පවතින මෘග මිනිස් පාලනය) අවසන් වූයේය. (ලූක් 21:24, NW; දානියෙල් 4:25; එසකියෙල් 21:26, 27) විශේෂයෙන් 1919 පටන්, වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සේ ප්‍රචලිත මෙම බයිබල් ශිෂ්‍යයෝ, මතු පැමිණෙන රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරා බෙදාහැරීමෙහි ක්‍රියාශීලීව නිරත වී ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සීඩාර් පොයින්ට් ඔහියෝහි සමුළුවේදී ක්‍රියාත්මක වීම සඳහා නිකුත් කරන ලද ප්‍රකාශයට, මොවුන්ගෙන් ස්වල්ප දහස් ගණනක් ප්‍රතිචාරය දැක්වූයේ 1919දීය. වර්ෂ 1935 දක්වා ඔවුන් සංඛ්‍යාවෙන් වැඩි වූ අතර, එවිට 56,153දෙනෙක් ක්ෂේත්‍ර සේවයෙහි වාර්තා කළහ. ඒ අවුරුද්දේ යේසුගේ මරණය සිහි කිරීමේ වාර්ෂික සැමරීමේදී, 52,465දෙනෙකු රොටි හා වයින් සංකේතවලට පංගුකාරයන් වී තිබුණු අතර, ඉන් ඔවුන් සංකේතවත් කළේ, යේසුස් ක්‍රිස්තුස් සමඟ යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාවේ ස්වර්ගික කොටසේ පූජකයන් වීමේ ඔවුන්ට තිබූ බලාපොරොත්තුවය. ඔහුගේ මෙසියානු රාජ්‍යයේ හවුල් රජවරුන් හැටියටත් ඔවුහු ඔහු සමඟ සේවය කිරීමට සිටිති.—ලූක් 22:29, 30; රෝම 8:15-17.
16 කෙසේවෙතත්, මෙම ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ මුළු සංඛ්‍යාව 1,44,000කට සීමා වී ඇති බව එළිදරව් 7:4-8 සහ 14:1-4 පෙන්නුම් කරන අතර, ඉන් බොහෝදෙනෙකුව මහත් ඇදහිල්ල අත්හැරයෑමේ විකාශනයට කලින් පළමුවන සියවසේදී එක්කාසු කරන ලදි. දහනවවන සියවසේ අවසානභාගයේ සිට 20වන සියවස දක්වාම යෙහෝවා මෙම කණ්ඩායම එක්කාසු කිරීම සම්පූර්ණ කිරීමෙහි නිරත වී ඇත. එම කණ්ඩායම දේවවචනය නමැති වතුරෙන් පවිත්‍ර වී, යේසුගේ සමඟි කරවන පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීමෙන් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කොට, අවසානයේදී 1,44,000දෙනාගේ සම්පූර්ණ සංඛ්‍යාව සකසන ආලේප ලත් ක්‍රිස්තියානීන් ලෙස මුද්‍රා කරනු ලබන්නෝ වෙති.
17. (අ) එක්දහස් නවසිය තිස්ගණන්වල සිට සිදු කර තිබෙන එක්කාසු කිරීම කුමක්ද? (ආ) මෙහිදී යොහන් 3:30 උනන්දුවට හේතුවක් වන්නේ ඇයි? (ලූක් 7:28ද බලන්න.)
17 ආලේප ලත් අයගේ මුළු සංඛ්‍යාව තෝරාගත්තායින් පසුව සිදු වන්නේ කුමක්ද? වර්ෂ 1935දී අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී.හි පැවැත්වූ අතිවැදගත් සමුළුවකදී, 1,44,000දෙනාගෙන් “පසු,” හඳුනාගත යුතු කණ්ඩායමක් හැටියට එළිදරව් 7:9-17හි සඳහන් “මහත් සමූහය” හඳුන්වා දෙන ලදි; එම සමූහයේ බලාපොරොත්තුව පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමයි. අභිෂේක ලත් යේසුව පැහැදිලිව හඳුන්වා දීමෙන් පසු, ‘වෙනත් බැටළුවන්ට’ අයත් කෙනෙකු වශයෙන් භූමික නැවත නැඟිටීමක් ලබන යොහන් බව්තීස්ත, මෙසියස් ගැන මෙසේ පැවසීය: “උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය.” (යොහන් 1:29; 3:30; 10:16; මතෙව් 11:11) ඒ අවස්ථාවේදී, 1,44,000දෙනාට අයත් වනු ඇති වැඩි වන සංඛ්‍යාවක් තෝරාගැනීම යේසු භාරගත් විට, මෙසියස් සඳහා ගෝලයන් සූදානම් කිරීමට වූ යොහන් බව්තීස්තගේ වැඩය නිම වෙමින් පැවතිණ. එක්දහස් නවසිය තිස්ගණන්වලදී සිදු වූයේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. ක්‍රම ක්‍රමයෙන් අඩු වූ සංඛ්‍යාවක් 1,44,000 අතර සිටීමට ‘කැඳවා, තෝරාගනු’ ලැබීය; එහෙත්, ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ‘මහත් සමූහයේ’ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමට පටන්ගත්තේය. ලෝකයේ දුෂ්ට පිළිවෙළ, අර්මගෙදොන්හිදී ඊට අත් වන අවසානය කරා ඇදී යද්දී, මෙම මහත් සමූහය දිගටම වැඩිවර්ධනය වන්නේය.—එළිදරව් 17:14ආ.
18. (අ) “දැන් ජීවත් වෙමින් සිටින මිලියන ගණනක් කිසිදා මිය නොයනු” ඇති බව අපට නිසැකව අපේක්ෂා කළ හැක්කේ ඇයි? (ආ) අප ජ්වලිතව හග්ගයි 2:4ට අවනත විය යුත්තේ ඇයි?
18 එක්දහස් නවසිය විසිගණන්වල මුල්භාගයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ කථාවකට “දැන් ජීවත් වෙමින් සිටින මිලියන ගණනක් කිසිදා මිය නොයනු ඇත” යන තේමාව තිබිණ. ඒ කාලයේ පැවති අනවශ්‍ය ශුභවාදී ස්වභාවය එයින් පිළිබිඹු වන්ට ඇත. එහෙත් අදදින, පූර්ණ විශ්වාසයක් ඇතුව එම ප්‍රකාශය කළ හැක. බයිබල් අනාවැකි ගැන වැඩි වන අවබෝධයත්, අභාවයට පත් වන මෙම ලෝකයේ වියරු වැටුණු ස්වභාවයත් ප්රබලව පෙන්නුම් කරන්නේ, සාතන්ගේ පිළිවෙළේ අවසානය ඉතාමත්ම ළඟ බවයි. වර්ෂ 1996 සඳහා සිහි කිරීමේ වාර්තාවෙන් පෙනී යන්නේ 1,29,21,933 පැමිණි බවයි; ඉන් සංකේතවලට පංගුකාරයන් වීමෙන් තම ස්වර්ගික බලාපොරොත්තුව ගැන සාක්ෂි දුන්නේ 8,757දෙනෙකු (සියයට .068ක්) පමණි. සැබෑ නමස්කාරයේ යළි පිහිටුවීම එහි නිමාව කරා ළං වේ. එහෙත් එම කාර්යයෙහි අපි කිසිදාක අලස නොවෙමු. ඔව්, හග්ගයි 2:4 මෙසේ ප්‍රකාශ කරයි: “දේශයේ සෙනග සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක. මක්නිසාද මම නුඹලා සමග සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” ද්‍රව්‍යවාදයේ හා ලෞකික ආකල්පවල මොනයම් බලපෑමක් මගින් හෝ, යෙහෝවාගේ වැඩය සඳහා අපට තිබෙන ජ්වලිතය මර්දනය නොකිරීමට අපි අදිටන් කරගනිමු!—1 යොහන් 2:15-17.
19. හග්ගයි 2:6, 7හි ඉටුවීමට අපට හවුල් විය හැක්කේ කෙසේද?
19 හග්ගයි 2:6, 7හි නවීන-දින ඉටුවීමෙහි සහභාගි වීමට වූ අපේ වරප්‍රසාදය ප්‍රීතිය දනවන්නකි: “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] මෙසේ කියනසේක: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි; සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” මෙම විසිවන සියවසේ ලෝකයේ, ගිජුකම, දූෂණය හා වෛරය හාත්පස පැතිර පවතී. ඇත්තෙන්ම එය එහි අන්තිම දවස්වලයි සිටින්නේ; ‘තම පළිගැනීමේ දවස ප්‍රකාශ කරන්ට’ තම සාක්ෂිකරුවන්ට සැලැස්වීමෙන්, යෙහෝවා එම ‘සෙලවීම’ දැනටමත් ආරම්භ කර ඇත. (යෙසායා 61:2) මෙම ප්‍රාථමික සෙලවීම උච්චාවස්ථාව අර්මගෙදොන්හිදී ලෝක විනාශයත් සමඟම සිදු වේ; නමුත් ඊට කලින්, යෙහෝවා තම සේවය සඳහා “සියලු ජාතීන් ආශාවෙන දේ”—එනම් පොළොවේ මෘදු, බැටළුගුණැති ජනයා එක්කාසු කරමින් සිටී. (යොහන් 6:44) මෙම “මහත් සමූහය” ඔහුගේ නමස්කාර ගෘහයේ භූමික මළුවෙහි දැන් ‘පරිශුද්ධ සේවය පිරිනමමින් සිටී.’—එළිදරව් 7:9, 15.
20. වැඩිම අනර්ඝත්වයකින් යුත් වස්තුව සොයාගත හැක්කේ කොතැනින්ද?
20 යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ සේවය කිරීම, වෙනත් කිසිම ද්‍රව්‍යමය වස්තුවකට වඩා අනර්ඝ ලාභයකි. (හිතෝපදේශ 2:1-6; 3:13, 14; මතෙව් 6:19-21) එපමණක්ද නොව, හග්ගයි 2:9 මෙසේ ප්‍රකාශ කරයි: “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවා, NW] කියනසේක.” අදදින අප සඳහා මෙම වචනවලින් අදහස් කරන්නේ කුමක්ද? අපේ මීළඟ ලිපියෙහි මෙය පැහැදිලි කෙරේ.
[පාදසටහන්වල]
a “යාහ් යෙහෝවා” යන යෙදුම විශේෂ අවධාරණයක් සඳහා යොදා තිබේ. ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 1248 පිටුව බලන්න.
b එස්රා සහ වෙනත් බයිබල් පොත්වල, යේෂුවා.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෙහෝවාගේ නාමය සම්බන්ධයෙන් අප ප්‍රොපේතවරුන්ගේ කුමන ආදර්ශය අනුගමනය කළ යුතුද?
◻ නැවත පිහිටුවන ලද ඉශ්රායෙල්ට යෙහෝවා දුන් බලවත් පණිවිඩයෙන් අප ලබාගන්නා දිරිගැන්වීම කුමක්ද?
◻ අදදින ක්‍රියාත්මක වන තේජාන්විත ආත්මික දේවමාළිගාව කුමක්ද?
◻ පිළිවෙළින් 19වන හා 20වන සියවස් තුළදී, කුමන එක්කාසු කිරීම් සිදු කර තිබේද; එමෙන්ම කුමන උදාර බලාපොරොත්තුවක් ඇතුවද?
[7වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ ස්වර්ගික සේනාවෝ ඔහුගේ මිහිපිට සිටින සාක්ෂිකරුවන්ට, මඟ පෙන්වීම හා උපකාර දෙති