අත් කරගැනීමට අසීරු සන්තෝෂය
කෝපය, කාන්සාව සහ විෂාදය යනාදිය බොහෝ කාලයක් පුරා විද්‍යාත්මක පර්යේෂණවල විෂය වී තිබෙනවා. කෙසේවෙතත්, මෑතක සිට ප්රමුඛ පෙළේ විද්‍යාඥයන් තමන්ගේ පර්යේෂණවලදී ඒකාන්ත මෙන්ම මිනිසුන් අද්දකින ප්‍රියමනාප දෙයක් වන සන්තෝෂය කෙරෙහි තමන්ගේ අවධානය යොමු කර තිබෙනවා.
මිනිසුන්ව සන්තෝෂයෙන් සිටීමට සලස්වන්නේ මොනවාද? එය ඔවුන් වඩාත් තරුණව, ධනවත්ව, සෞඛ්‍යසම්පන්නව, උසව හෝ සිහින්ව සිටියා නම් අද්දකින දෙයක්ද? සැබෑ සන්තෝෂයට යතුර කුමක්ද? ඒ ප්‍රශ්නයට උත්තර දීම අමාරු බව, නැත්නම් උත්තර දිය නොහැකි බව බොහෝදෙනෙක් සොයාගන්නවා. පුළුල් ලෙස පැතිරී තිබෙන සන්තෝෂය අද්දැකීමට අසමත් වීම සැලකිල්ලට ගැනීමේදී, සමහරවිට උත්තර දීම වඩාත් පහසු වන්නේ සන්තෝෂයට යතුර නොවන්නේ කුමක්ද යන්නට බව ඇතමෙකුට පෙනී යාවි.
බොහෝ කාලයක සිට, ප්රමුඛ පෙළේ මනෝවිද්‍යාඥයන් සන්තෝෂයේ යතුර හැටියට තමා වටා කේන්ද්‍රගත වූ තමාගේ ඕනෑ එපාකම්වලට මුල්තැන දෙන දර්ශනයක් නිර්දේශ කළා. අසන්තෝෂයෙන් සිටින මිනිසුන්ව ඔවුන් දිරිගැන්වුයේ, තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් තෘප්තිමත් කරගැනීම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසටයි. “ඔබටම ආවේණික වූ ගතිලක්ෂණවලින් සැරසී සිටින්න,” “ඔබගේ ඇතුළාන්ත හැඟීම් හඳුනාගන්න,” “ඔබගේ සැබෑ පෞද්ගලිකත්වය අවබෝධ කරගන්න” යනාදි සිත්ගන්නා වාක්යඛණ්ඩ මනෝරෝග චිකිත්සාවේදී යොදාගෙන තිබෙනවා. ඒත්, එවන් පුද්ගලවාදී ආකල්ප මගින් කල්පවතින සන්තෝෂය නොලැබෙන බවට මේ මානසිකත්වයට අනුබල දුන්නාවූ මනෝවිශේෂඥයන්ගෙන්ම සමහරදෙනෙක් දැන් එකඟ වෙනවා. නොවැළැක්විය හැකි ලෙස මමත්වය වේදනාවන්ට හා අසන්තෝෂයට මඟ පාදනවා. ආත්මාර්ථකාමිත්වය සන්තෝෂයට යතුර නොවෙයි.
අසන්තෝෂයට යතුර
සුඛවිහරණය පසුපස හඹා යෑමෙන් සන්තෝෂය ලබාගැනීමට සොයන අය එය සොයන්නේ වැරදි තැනයි. පුරාණ ඉශ්රායෙලයේ විසූ නැණවත් සාලමොන් රජුගේ ආදර්ශය සලකා බලන්න. දේශනාකාරයා නමැති බයිබල් පොතේ ඔහු මෙසේ පැහැදිලි කරනවා: “මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.” (දේශනාකාරයා 2:10) සාලමොන් ඔහුගේම ප්‍රයෝජනය සඳහා ගෙවල් ගොඩනැඟුවා, මිදිවතු වැව්වා, වතු හා උයන් සෑදුවා, දිය පොකුණු සාදාගත්තා. (දේශනාකාරයා 2:4-6) ඔහු එක්තරා අවස්ථාවකදී මෙසේ ඇසුවා: “මට වඩා හොඳට කන්නෙත් බොන්නෙත් කවුද?” (දේශනාකාරයා 2:25, NW) හොඳම ගායකයන් හා සංගීතඥයන්ගේ ගැයුම් වැයුම්වලින් ඔහු විනෝද වුණා; දේශයේ සිටි රූමත්ම කාන්තාවන් සමඟ සමීප ලෙස ඇසුරු කිරීමෙන් ඔහු සතුටු වුණා.—දේශනාකාරයා 2:8.
මෙහිදී වැදගත්ම දෙය නම්, සුඛවිහරණයට මඟ පාදන ක්‍රියාකාරකම් ගැන සැලකීමේදී ඔහු ඒවායින් වැළකී නොසිටීමයි. ජීවිතයේ අසීමිත ලෙස සතුට ගෙන දෙන දේවල් භුක්ති විඳීමෙන් පසු, ඔහු එළඹි නිගමනය කුමක්ද? ඔහු මෙසේ පැවසුවා: “මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටුමි.”—දේශනාකාරයා 2:11.
මේ නැණවත් රජු සොයාගත් දේවල් මේ දක්වා සැබෑවක් ලෙස පවතිනවා. උදාහරණයක් හැටියට එක්සත් ජනපදය වැනි ධනවත් රටක් ගැන සලකා බලන්න. පසුගිය අවුරුදු 30 පුරා, අමෙරිකානුවන් පාවිච්චි කරන රථවාහන සහ රූපවාහිනි යන්ත්‍ර වැනි ද්‍රව්‍යමය සම්පත් බොහෝදුරට දෙගුණයකින් වැඩි වී තිබෙනවා. ඒත්, මානසික-සෞඛ්‍ය ප්‍රවීණයන් පවසන විදිහට, අමෙරිකානුවන් කලින් භුක්ති විඳි සතුටට වඩා වැඩි සතුටක් භුක්ති විඳින්නේ නැහැ. එක් මූලාශ්‍රයකට අනුව, “කලින් සඳහන් කළ කාලපරිච්ඡේදය පුරාම විෂාදයෙන් පෙළෙන අයගේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. නහඹරයන්ගේ සියදිවි හානි කරගැනීම් තුන්ගුණයකින් වැඩි වී තිබෙනවා. දික්කසාදවල අනුපාතය දෙගුණයක් වෙලා.” මුදල් හා සන්තෝෂය අතර තිබෙන අන්තර් සම්බන්ධතාව ගැන විවිධ රටවල් 50කින් තෝරාගත් ජන පිරිස් අතරේ කළ අධ්‍යයනයකින් පසුව, පර්යේෂකයන් ඒ හා සමාන නිගමනවලට මෑතකදී පැමිණියා. සරලව කියනවා නම්, ඔබට බැහැ සන්තෝෂය මිල දී ගන්න.
ඊට පටහැනිව, ධනය ලුහුබැඳ යෑම අසන්තෝෂයට යතුර හැටියට යෝග්‍ය ලෙස හැඳින්විය හැකියි. ප්‍රේරිත පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා: “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.
ධනය, නිරෝගිකම, තාරුණ්‍ය, රූප ශෝභාව, බලය යනාදියටවත් මේවායේ කිසිම සම්මිශ්රණයකටවත් කල්පවතින සන්තෝෂය සහතික කළ නොහැකියි. ඇයි බැරි? මොකද අයහපත් දේවල් සිදුවීම වැළැක්වීමේ හැකියාව අපිට නැහැ. සාලමොන් රජු යෝග්‍ය ලෙස මෙසේ ලිව්වා: “නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.”—දේශනාකාරයා 9:12.
අත් කරගැනීමට අසීරු ඉලක්කයක්
විද්‍යාත්මක පර්යේෂණ කොතරම් කළත් සන්තෝෂය අත් කරගැනීම සඳහා මිනිසා විසින් පිළියෙළ කර තිබෙන සූත්‍රයක් නැතහොත් ක්‍රමඋපායක් සකස් කරගන්න බැහැ. සාලමොන් මෙසේ පැවසුවා: “මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.”—දේශනාකාරයා 9:11.
ඉහත සඳහන් වදන් සමඟ එකඟ වෙන බොහෝදෙනෙක් නිගමනය කර තිබෙන්නේ, සැබෑ සන්තෝෂයෙන් පිරි ජීවිතයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බවයි. “සන්තෝෂය කියන්නේ කල්පිත තත්වයක්” කියා එක් ප්රමුඛ ශික්ෂකයෙක් කියා සිටියා. සන්තෝෂයට යතුර ගුප්ත රහසක් බවත්, ඒ රහස පැහැදිලි කරගැනීමේ හැකියාව සහජයෙන්ම බුද්ධිමත් ගුප්ත භාවයෝගීන් කිහිපදෙනෙකුට සීමා වී තිබිය හැකි බවත් තවත් අය විශ්වාස කරනවා.
තවමත්, මිනිසුන් සන්තෝෂය සඳහා කරන සෙවිල්ලේදී විවිධාකාර ජීවන රටාවන් දිගටම අත්හදා බලනවා. ඔවුන්ට කලින් සිටි අය අසමත් වුණත්, අද බොහෝදෙනෙක් තමන් අද්දකින අසන්තෝෂයට පිළියමක් හැටියට ධනය, බලය, නිරෝගිකම හෝ සතුට ගෙන දෙන දේවල් තවමත් ලුහුබඳිනවා. කල්පවතින සන්තෝෂය කියන්නේ නිකම්ම කල්පිත තත්වයක් නොවන බවට විශ්වාසයක් බොහෝදෙනෙකුගේ ඇතුළාන්ත සිතුවිලිවල තිබෙන නිසා මේ සෙවිල්ල දිගටම සිදු වෙනවා. සන්තෝෂය අත් කරගැනීම අසීරු සිහිනයක් නොවේයයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ‘මට එය අත් කරගන්න පුළුවන් කොහොමද?’ කියා ඔබ අසාවි.