අවසානය දක්වා විඳදරාගැනීමට ඔබට පුළුවන්
“අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු.”—හෙබ්‍රෙව් 12:1.
1, 2. විඳදරාගැනීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
මුල් සියවසේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් ලිව්වේ “නුඹලාට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] ඕනෑය” කියායි. (හෙබ්‍රෙව් 10:36) මෙම ගුණාංගයේ වැදගත්කම අවධාරණය කරමින්, ‘නුඹලාගේ ඇදහිල්ලට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] සපයාගන්න’ කියා ප්‍රේරිත පේතෘස්ද උනන්දු කළා. (2 පේතෘස් 1:5, 6) හැබැයි ඇත්තටම විඳදරාගැනීම කියන්නේ කුමක්ද?
2 “විඳදරාගන්න” සඳහා යොදා ඇති ග්‍රීක් ක්‍රියාපදය ග්‍රීක්-ඉංග්‍රීසි ශබ්ද සංග්රහයක නිර්වචනය කර ඇත්තේ “පලා යනවා වෙනුවට රැඳී සිටීම . . . තම ස්ථාවරයෙහිම සිටීම, ස්ථිරව සිටීම” ලෙසයි. “විඳදරාගැනීම” සඳහා තිබෙන ග්‍රීක් නාමපදය ගැන එක් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ පවසා ඇත: “එය වනාහි කලකිරීමකින් නොව, නමුත් නොමියෙන බලාපොරොත්තුවකින් දේවල් දරාගැනීමට ඉවහල් වන ස්වභාවයක් . . . පුද්ගලයෙක් සුළඟින් පහර ලැබ සිටියත්, තම ස්ථාවරය පවත්වාගැනීමට උපකාරවත් වන ගුණාංගයකි එය. දැඩිම පීඩාවක් වුණත් කීර්තියට පරිවර්තනය කළ හැකි ගුණයක් එහි ගැබ්ව පවතින්නේ, වේදනාවෙන් ඔබ්බට අවසාන ඉලක්කය දැකගත හැකි නිසයි.” එසේ නම්, විඳදරාගැනීම බාධක සහ දුෂ්කරතා හමුවේ ස්ථිරව සිට, බලාපොරොත්තු නැති කර නොගෙන සිටීමට උපකාරවත් වෙනවා. කාටද විශේෂයෙන්ම මෙම ගුණාංගය අවශ්‍ය වන්නේ?
3, 4. (අ) විඳදරාගැනීම ඕනෑ වන්නේ කාටද? (ආ) අප අවසානය දක්වා විඳදරාගත යුත්තේ මන්ද?
3 සියලුම ක්‍රිස්තියානීන් සංකේතවත් ආකාරයකින් විඳදරාගැනීම අවශ්‍ය කරවන ධාවන තරඟයක නිරත වෙමින් සිටිනවා. පොදු යුගයේ 65දී පමණ, ප්‍රේරිත පාවුල් තම හවුල් සේවකයෙක් මෙන්ම තම සංචාරයන්වලදී විශ්වාසවන්ත ලෙස තමා සමඟ සිටි තිමෝතිට මෙම දිරිගන්වනසුලු වදන් ලිව්වා: “මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි. මම දිවීම කෙළවරකළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.” (2 තිමෝති 4:7) “දිවීම කෙළවරකළෙමි” යන්න කීමෙන් පාවුල් ක්‍රිස්තියානි ජීවිතය නියමිත ගමන් මාර්ගයක් සහ දිනුම් කණුවක් සහිත ධාවන තරඟයකට සම කරමින් සිටියා. ඒ වෙද්දී, පාවුල් තම ධාවන තරඟයේ අවසානයට ජයග්‍රාහී ලෙස පිවිසෙමින් සිටි අතර, තම ත්‍යාගය ලැබීම දෙස ඔහු බැලුවේ ඒකාන්තවයි. ඔහු තවදුරටත් මෙසේද පැවසුවා: “මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ [ස්වාමීන්] ඒ දවසේදී මට දෙනවා ඇත.” (2 තිමෝති 4:8) පාවුල් අවසානය දක්වා විඳදරාගත් නිසා, එම ත්‍යාගය ලැබෙයි කියා ඔහුට සැකයක් තිබුණේ නැහැ. හැබැයි, අප ගැන කුමක් කිව හැකිද?
4 මෙම ධාවනය අරඹා ඇති අයට දිරිගැන්වීමක් වශයෙන්, පාවුල් මෙසේ ලිව්වා: “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු.” (හෙබ්‍රෙව් 12:1) විඳදරාගැනීම අවශ්‍ය වන මෙම මැරතන් තරඟයට ක්‍රිස්තියානීන් වශයෙන් අප පිවිසෙන්නේ යේසුස් ක්‍රිස්තුස් තුළින් අප යෙහෝවා දෙවිට කැප වෙද්දියි. ගෝලයන් වශයෙන් යන මෙම ගමනෙහි හොඳ ආරම්භයක් අවශ්‍ය වුණත්, අවසානයේදී වැදගත් වන්නේ එම ගමන් මාර්ගය නිම කිරීමයි. යේසුස් මෙසේ ප්‍රකාශ කළා: “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13) මෙම ධාවනය සාර්ථකව නිම කරන අයට ලැබෙන ත්‍යාගය සදාතනික ජීවනයයි! එබැවින්, අපගේ මනසෙහි ඉලක්කයක් තිබිය යුතුයි. එබැවින් මනසේ ඉලක්කයක් තබාගෙන අවසානය දක්වා අප විඳදරාගත යුතුයි. ඒ ඉලක්කය අත් කරගැනීමට කුමක් උපකාර වෙයිද?
නිසි පෝෂණයක්—අනිවාර්යයි
5, 6. (අ) ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී විඳදරාගැනීම සඳහා අප අවධානය දිය යුත්තේ කුමකටද? (ආ) අප ප්‍රයෝජන ගත යුත්තේ කුමන ආත්මික සැපයුම්වලින්ද? ඒ මන්ද?
5 ග්‍රීසියේ කොරින්ති නගරයට ආසන්නව, පුරාණයෙහි සුප්‍රසිද්ධ වූ ඉස්ත්මීය තරඟ පැවැත්වූ ස්ථානය පිහිටා තිබුණා. එහි පැවති මලල ක්‍රීඩා සහ වෙනත් තරඟ ගැන කොරින්තියේ සහෝදරයන්ට හොඳ අවබෝධයක් තිබූ බව පාවුල් දැනසිටියාට සැකයක් නැහැ. එම දැනුම උපයෝගි කරගනිමින්, ඔවුන් නිරතව සිටි ජීවනය සඳහා වූ ධාවනය ගැන මෙම සිහිගැන්වීම ඔහු ඉදිරිපත් කළා: “දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න.” පාවුල් ධාවන තරඟයෙන් ඉවත් නොවී අන්තිමය දක්වා ඉදිරියට දිව යෑමේ වැදගත්කම අවධාරණය කළා. එනමුත් එසේ කිරීමට ඔවුන්ට කුමක් උපකාරවත් වේවිද? “දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති [ආත්ම දමනය පවත්වති, NW].” ඔව්, පුරාණ තරඟවලට සහභාගි වූ තරඟකරුවන් දැඩි පුහුණුවක් ලැබූ අතර, තමුන් කාපු බීපු දේ සම්බන්ධයෙන් ඉමහත් සැලකිල්ලක් දැක්වූවා. තවද ජය අත් කරගැනීමේ අභිලාෂයෙන් ඔවුන් තමන්ගේ සෑම ක්‍රියාවක්ම පාලනය කළා.—1 කොරින්ති 9:24, 25.
6 ක්‍රිස්තියානීන් ඇතුල් වී සිටින ධාවන තරඟය ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් මෙම අදහස ඉදිරිපත් කළා: “ජීවනය සඳහා වූ ධාවන තරඟය තුළ විඳදරාගෙන සිටින්න නම්, ඔබේ ආත්මික පෝෂණයට අවධානයක් දෙන්න වෙනවාමයි.” ‘ඉවසිල්ලේ [විඳදරාගැනීම සපයන, NW] දෙවි’ වන යෙහෝවා අප උදෙසා සපයා ඇති ආත්මික ආහාර සලකා බලමු. (රෝම 15:6) අපට ආත්මික පෝෂණය ලබා දෙන ප්‍රධාන මාධ්‍යය ඔහුගේ වචනය වන බයිබලයයි. හොඳ බයිබල් කියවීමේ කාලසටහනක් අප පවත්වාගත යුතු නැද්ද? යෙහෝවා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් මුරටැඹ සහ පිබිදෙව්! වැනි කාලෝචිත සඟරාද, බයිබලය මත පදනම් වෙනත් ප්‍රකාශනද සපයා ඇත. (මතෙව් 24:45) මේවා උත්සාහවන්තව පාඩම් කිරීම අපට ආත්මික වශයෙන් ඉමහත් ශක්තියක් ලබා දෙයි. හැබැයි, පෞද්ගලික පාඩමටත් කාලය මිඩංගු කිරීම, එනම් ‘ප්‍රස්තාව ඇති කාලය මිල දී ගැනීම’ අවශ්‍යයි.—එපීස 5:16, NW.
7. (අ) මූලික ක්‍රිස්තියානි ඉගැන්වීම් පමණක් දැනසිටීමෙන් අප සෑහීමට පත් නොවිය යුත්තේ මන්ද? (ආ) අපට ‘මේරූභාවයට පැමිණිය’ හැක්කේ කෙසේද?
7 ක්‍රිස්තියානි ගෝලයන් වීමේ ගමන් මාර්ගයෙහි ඉවත් නොවී රැඳී සිටීමට නම්, ‘මුල් කාරණාවලින්’ සෑහීමට පත් නොවී, ‘මේරූභාවය ලබාගැනීම සඳහා වීර්යය’ [NW] කළ යුතුයි. (හෙබ්‍රෙව් 6:2) එමනිසා සත්‍යයෙහි “පළල, දිග, උස, ගැඹුර” ගැන උනන්දුවක් වර්ධනය කරගෙන, ‘සම්පූර්ණ [මේරූ, NW] තැනැත්තන්ට අයත් දැඩි ආහාරවලින්’ පෝෂණයක් ලබාගත යුතුයි. (එපීස 3:18, 19; හෙබ්‍රෙව් 5:12-14) නිදසුනක් ලෙස, මිහිපිට යේසුස්ගේ ජීවිතය පිළිබඳ විශ්වාසවන්ත වාර්තාවන් හතර වන මතෙව්, මාර්ක්, ලූක් සහ යොහන් නමැති සුවිශේෂයන් සලකා බලන්න. මෙම සුවිශේෂ වාර්තාවන් හොඳින් අධ්‍යයනය කළෝතින්, යේසුස් සිදු කළ ක්‍රියාවන් සහ ඔහු මොන වගේ පුද්ගලයෙක්ද යන වග පමණක් නොව, ඔහුගේ ක්‍රියාවන්වලට පණ පෙවූ චින්තන රටාව වුණත් තේරුම්ගන්න අපට පුළුවන්. එවිට ‘ක්‍රිස්තුස්ගේ සිත [මනස, NW]’ ඇතුව සිටින්න අපට පුළුවන් වෙයි.—1 කොරින්ති 2:16.
8. ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී ක්‍රිස්තියානි රැස්වීම් අපට උපකාර කරන්නේ කෙසේද?
8 “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු” කියමින් පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට දිරිගැන්වූවා. (හෙබ්‍රෙව් 10:24, 25) ක්‍රිස්තියානි රැස්වීම්වලින් අප මොනතරම් දිරිගැන්වීමක් ලබනවාද! අප ගැන උනන්දුවක් දක්වන, අවසානය දක්වා විඳදරාගැනීමට අපට උපකාර කරන්න කැමති ප්‍රේමනීය සහෝදර සහෝදරියන් සමඟ සිටීම මොනතරම් නැවුම්බවක් ගෙන දෙන අද්දැකීමක්ද! යෙහෝවාගෙන් ලද මෙම ප්‍රේමනීය සැපයුම සුළු කොට තකන්න අපට කොහොමටවත් බැහැ. එසේ නම්, උත්සාහවන්තව පෞද්ගලික පාඩමෙහි නිරත වීමෙන් සහ නිතිපතා රැස්වීම්වලට පැමිණීමෙන් “අවබෝධ ශක්තියෙන් පරිණත” වීමට උත්සාහ දරමු.—1 කොරින්ති 14:20, NW.
ඔබට අතහිත දෙන්න ප්‍රේක්ෂකයන්
9, 10. (අ) විඳදරාගැනීම අවශ්‍ය කරන මැරතන් තරඟයක ප්‍රේක්ෂකයන් දිරිගැන්වීමේ උල්පතක් වන්නේ කුමන ආකාරයටද? (ආ) හෙබ්‍රෙව් 12:1හි සඳහන් ‘අප වටව සිටින මහත් සාක්ෂිකාර වලාකුළ’ කුමක්ද?
9 කොහොමවුණත්, ධාවකයෙක් කොතරම් හොඳින් සූදානම්ව සිටියත්, පැකිලීමට හේතුවක් විය හැකි දේවල් අතරමඟ සිදු විය හැකියි. පාවුල් මෙම ප්රශ්නය මතු කළා: “නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?” (ගලාති 5:7) පෙනෙන ප්‍රකාරයට ගලාතියේ ඇතැම් ක්‍රිස්තියානීන් නරක ආශ්‍රයට වැටී, ජීවනය සඳහා වූ ධාවනයෙන් අහක්ව ගියා. අනික් අතට, අන්‍යයන්ගෙන් ලැබෙන සහයෝගය සහ දිරිගැන්වීම, මෙම දිවීම විඳදරාගන්න පහසු කළ හැකියි. ප්‍රේක්ෂකයන් සිටීම තරඟයක සහභාගිවන්නන්ට බලපාන අන්දමට මෙය සමාන කළ හැකියි. උද්යෝගයෙන් පිරුණු ප්‍රේක්ෂක පිරිසක් තරඟයකට තියුණු මුහුණුවරක් ලබා දෙමින්, තරඟකරුවන්ට ආරම්භයේ සිට අවසානය දක්වා අත්නෑර සිටීමට උපකාර කරනවා. බෙර ගසමින් නළා පිඹිමින් මහත් ඝෝෂාවක් ඇති කරන ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් සහ ඔල්වරසන් හඬ තරඟකරුවන්ට දිනුම්පොළ දක්වා ඇදී යන්න අවශ්‍ය අමතර තල්ලුව ලබා දිය හැකියි. ඇත්තවශයෙන්ම, ධාවන තරඟයක සහභාගිවන්නන්ට පක්ෂව සිටින ප්‍රේක්ෂක පිරිසකට පුළුවන් ඔවුන්ට ඒකාන්ත බලපෑමක් වන්න.
10 ක්‍රිස්තියානීන් ඇතුල් වී සිටින ජීවනය සඳහා වූ ධාවන තරඟයෙහි ප්‍රේක්ෂකයන් කවුද? හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇති පරිදි, ක්‍රිස්තියානි යුගයට කලින් යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගේ විස්තර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාවුල් මෙසේ ලිව්වා: “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් [වලාකුළකින්, NW] අප වටව සිටින නිසා, . . . අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු.” (හෙබ්‍රෙව් 12:1) වලාකුළක් රූපාලංකාරයක් හැටියට යොදාගත්තද, පාවුල් නියමිත ප්‍රමාණයකින් සහ හැඩයකින් යුත් පැහැදිලි ස්වරූපයක් ගන්නා වලාකුළක් විස්තර කරන ග්‍රීක් වචනය භාවිත නොකරයි. ඒ වෙනුවට ශබ්ද සංග්‍රාහක ඩබ්. ඊ. වයින්ට අනුව, පාවුල් “අහස් තලය සිසාරා විහිදී යන කිසිදු හැඩයක් නොමැති දැවැන්ත වලාකුළකට යොමු දක්වන” වචනයක් යොදාගත්තා. මහත් සාක්ෂිකාර සේනාවක් පාවුල්ගේ මනසේ තිබුණු බව පැහැදිලියි. ඒ කොතරම් විශාල සේනාවක්ද කිවහොත් දැවැන්ත වලාකුළකට සම කළ හැකියි.
11, 12. (අ) දිවීමෙහි විඳදරාගැනීමෙන් යුක්තව නිරත වන්න, ක්‍රිස්තියානි යුගයට කලින් විසූ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගේ ඔල්වරසන් හඬ අපට දිරියක් විය හැක්කේ කෙසේද? (ආ) ‘මහත් සාක්ෂිකාර සේනාවෙන්’ අපට වැඩිමනත් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?
11 ක්‍රිස්තියානි යුගයට කලින් විසූ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට වර්තමානයේ සැබෑ ප්‍රේක්ෂකයන් ලෙස කටයුතු කළ හැකිද? බැහැ. ඔවුන් නැවත-නැඟිටීමක් අපේක්ෂාවෙන් මරණ නින්දෙහි පසු වෙනවා. කොහොම වුණත්, ජීවතුන් අතර සිටියදී ඔවුන් සාර්ථක ධාවකයන්ව සිටි අතර, ඔවුන්ගේ ආදර්ශ බයිබලයේ පිටු තුළ ජීවමානව පවතිනවා. අප ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරත්ම, අපගේ මනස්වල මෙම ඇදහිලිවන්තයන් ජීවමාන විය හැකි අතර, අවසානය දක්වා දිවීමට දිරිගැන්වීමක් ලෙස ඔවුන්ගේ ඔල්වරසන් හඬ අපට ‘ඇසෙන්නත්’ පුළුවන්.—රෝම 15:4.a
12 නිදසුනකට, ලෝකයේ අපට විවෘත වන ප්රස්තාවන්වලට අපගේ සිත ඇදී යන විට, මෝසෙස් මිසරයේ ධන සම්පත් ප්‍රතික්ෂේප කළ ආකාරය සලකා බැලීම අපගේ ගමන් මාර්ගය අත්නෑර සිටීමට පෙලඹීමක් වන්නේ නැද්ද? අප හමුවට පැමිණෙන පරීක්ෂාවක් දරාගන්න අමාරු වෙද්දී, තම පුත්‍ර ඊසාක්ව ඔප්පු කරන්න කියා ආබ්‍රහම්ගෙන් ඉල්ලූ විට ඔහුට මුහුණ දෙන්න සිදු වූ දැඩි පරීක්ෂාව මතකයට නඟාගැනීම, ඇදහිල්ල උදෙසා සටනෙහි අත්නෑර සිටීමට අපට දිරිගැන්වීමක් ලබා දෙනවාට සැකයක් නැහැ. “මහත් සාක්ෂිකාර සේනාව” මෙම ගමන් මාර්ගයෙහි යෑමට අපට දිරිගැන්වීමක් වීම රඳා පවතින්නේ, අපගේ අවබෝධය නමැති ඇස්වලින් ඔවුන්ව කොතරම් පැහැදිලිව දැකගත හැකිද යන්න මතයි.
13. යෙහෝවාගේ නවීන දින සාක්ෂිකරුවන් ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී අපට අතහිත දෙන්නේ කුමන ආකාරයෙන්ද?
13 නවීන දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවකින්ද අප වට වී සිටිනවා. ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන්ම ‘මහත් සමූහයට’ අයත් පුරුෂයන් සහ ස්ත්‍රීන් ඇදහිල්ල සම්බන්ධයෙන් මොනතරම් විශිෂ්ට ආදර්ශ වී ඇද්ද! (එළිදරව් 7:9) ඔවුන්ගේ ජීවිත කතා මෙම සඟරාවෙහි සහ වෙනත් වොච් ටවර් ප්රකාශනවල අපට කලින් කලට කියවන්න ලැබෙනවා.b අවසානය දක්වා විඳදරාගැනීමට අප දිරිගැන්වීමක් ලබන්නේ ඔවුන්ගේ ඇදහිල්ල ගැන මෙනෙහි කිරීමෙනුයි. තවද යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටින කිට්ටු මිතුරන් සහ ඥාතීන්ගේ සහයෝගය ලැබීමත් මොනතරම් ආශීර්වාදයක්ද! ඔව්, ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී අපට අතහිත දෙන්න බොහෝදෙනෙක් සිටිනවා.
ඔබගේ වේගය නුවණැතිව නියම කරගන්න
14, 15. (අ) අපගේ වේගය නුවණැතිව නියම කිරීම වැදගත් වන්නේ මන්ද? (ආ) ඉලක්කයන් තැබීමේදී අප සාධාරණ විය යුත්තේ මන්ද?
14 මැරතන් තරඟයක් වැනි දිගු ධාවනයක නිරත වෙද්දී, ධාවකයෙක් තම වේගය නුවණැතිව නියම කරගත යුතුයි. “ඕනෑවට වඩා වේගයෙන් ආරම්භ කළොත්, ඔබට අසීරුතාවන්ට මුහුණ දෙන්න සිදු වෙයි” කියා නියූ යෝක් ධාවකයා (ඉංග්‍රීසියෙන්) යන සඟරාව කියයි. “බොහෝ දුරට අවසාන හැතැප්ම කිහිපයේදී සෑහෙන සටනක් දෙන්න වෙයි, එහෙම නැත්නම් තරඟයෙන් ඉවත් වෙන්න සිදු වෙයි.” එක් මැරතන් තරඟකරුවෙක් මෙසේ මතක් කරයි: “තරඟයට සූදානමක් හැටියට මම අහන්න ගිය දේශනයකදී කථිකයා මෙහෙම අවවාද කළා: ‘වේගයෙන් දුවන අය පස්සේ යන්න එපා. ඔබේම වේගයට අනුව දුවන්න. එහෙම කළේ නැත්නම්, හොඳටම හෙම්බත් වෙලා තරඟයෙන් ඉවත් වෙන්න වෙයි.’ මම මෙම උපදෙස් හිතට ගත්ත නිසා, තරඟය නිම කරන්න පුළුවන් වුණා.”
15 ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී දෙවිගේ සේවකයන් දැඩි වීර්යයක් දැරිය යුතුයි. (ලූක් 13:24) කෙසේවෙතත්, “ඉහළින් පැමිණෙන ප්‍රඥාව . . . ඉවසිලිවන්තව [සාධාරණව, NW]” තිබෙන බව ශ්‍රාවක යාකොබ් ලිව්වා. (යාකොබ් 3:17) අන්‍යයන්ගේ හොඳ ආදර්ශය තවත් වැඩියෙන් කරන්න අපට දිරිගැන්වීමක් වුවත්, සාධාරණකම අපට උපකාර කරන්නේ අපගේ හැකියාවන් සහ තත්වයන්ට ගැළපෙන ආකාරයේ යථාර්ථවාදී ඉලක්කයන් තැබීමටයි. ශුද්ධ ලියවිලි අපට මෙම සිහිගැන්වීම දී තිබෙනවා: “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.”—ගලාති 6:4, 5.
16. අපගේ වේගය නියම කිරීමට පමණ දැන ක්‍රියා කිරීම උපකාරවත් වන්නේ කෙසේද?
16 මීකා 6:8හි මෙම සිතුවිලි පුබුදුවාලන ප්රශ්නය අපෙන් අසා තිබෙනවා: ‘නුඹේ දෙවි වෙත යටහත් ලෙස හැසිරීම [පමණ දැන ගමන් කිරීමත්, NW] මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?’ පමණ දැන ක්‍රියා කිරීමට අපගේම සීමාවන් දැනසිටීම ඇතුළත් වෙනවා. දුර්වල සෞඛ්‍ය තත්වයක් හෝ මහලු වීම හේතුවෙන් දෙවිගේ සේවය තුළ අපට කරන්න පුළුවන් ප්‍රමාණයට යම් සීමාවන් පැනවී තිබෙනවාද? අපි අධෛර්යයට පත් නොවෙමු. යෙහෝවා අපගේ වෑයම් සහ පරිත්‍යාගයන් පිළිගන්නේ ‘අපට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්රකාරයටයි.’—2 කොරින්ති 8:12; සසඳන්න ලූක් 21:1-4.
ඔබගේ නෙත් ත්‍යාගය දෙසටම යොමා
17, 18. යේසුස්ට වධකණුව දරාගන්න උපකාරවත් වුණේ තම දෘෂ්ටියෙහි කුමක් තබාගැනීමද?
17 ජීවනය සඳහා වූ ධාවන තරඟය තුළ විඳදරාගැනීමේ අවශ්‍යතාව කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ගෙනහැර පාද්දී, පාවුල් ඉස්ත්මීය තරඟාවලියේ අපගේ අවධානයට යොමු විය යුතු තවත් අංගයක් සඳහන් කළා. එම තරඟයේ තරඟකරුවන් ගැන පාවුල් මෙසේ ලිව්වා: “ඔවුන් [දුවන්නේ] දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය. එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය.” (1 කොරින්ති 9:25, 26) එම ඉපැරණි තරඟාවලියේ ජයග්රාහකයාට ලැබුණේ දේවදාර හෝ වෙනත් ශාකවලින් නැතහොත් වියළි වල් සැල්දිරිවලින් සාදන ලද ඔටුන්නක්. සැබවින්ම එය “දිරන්නාවූ ඔටුන්නක්” විය. කෙසේවෙතත්, අවසානය දක්වා විඳදරාගන්නා ක්‍රිස්තියානීන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
18 අපගේ ආදර්ශක වන යේසුස් ක්‍රිස්තුස්ට යොමු දක්වමින්, ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘ඔහු වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, වධකණුව දරාගන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’ (හෙබ්‍රෙව් 12:2) යේසුස් තම භූමික ජීවිතයේ අවසානය දක්වා විඳදරාගත්තේ, වධකණුවෙන් ඔබ්බට එනම් තම විපාකය දෙස නෙත් යොමු කිරීමෙනුයි. යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමට දායක වීමෙන්, මිනිස් සංහතිය මරණයෙන් මිදීමෙන්, කීකරු මනුෂ්‍යයන්ට පාරාදීස පොළොවක නිමක් නැති ජීවිතයක් ලබා දෙමින් රජ මෙන්ම උත්තම පූජක හැටියට පාලනය කිරීමෙන් අද්දකින ප්‍රීතිය මීට ඇතුළත් වුණා.—මතෙව් 6:9, 10; 20:28; හෙබ්‍රෙව් 7:23-26.
19. ක්‍රිස්තියානි ගෝලයන් වීමේ ගමන් මඟෙහි රැඳී සිටීමට නම් අප නෙත් යොමා සිටිය යුත්තේ කුමක් මතද?
19 ක්‍රිස්තියානි ගෝලයන් වීමේ ගමන් මඟෙහි නොකඩවා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප ඉදිරියෙහි තිබෙන ප්‍රීතිය දැන් සලකා බලමු. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ සහ බයිබලයේ ඇති ජීවිත ගළවන දැනුම අන්‍යයන්ට බෙදා දීමේ සෑහීම ගෙන දෙන මහඟු වැඩය යෙහෝවා අපට දී ඇත. (මතෙව් 28:19, 20) සැබෑ දෙවි කෙරෙහි උනන්දුව ඇත්තෙකු සොයා, ජීවනය සඳහා වූ ධාවන තරඟයට ඇතුල් වන්න ඔහුට හෝ ඇයට උපකාර කිරීම මොනතරම් සතුට ගෙන දෙන්නක්ද! තවද අප දේශනා කරන ජනයාගේ ප්‍රතිචාරය කුමක් වුණත්, යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම හා බැඳි වැඩයෙහි සහභාගි වීම වරප්රසාදයකි. අප සාක්ෂිදරන බලප්‍රදේශයේ ජනයාගේ උදාසීනකම හෝ විරුද්ධවාදිකම් හමුවේ සේවයෙහි විඳදරාගෙන යෙදෙද්දී, යෙහෝවාගේ හෘදය සතුටු කිරීමේ ප්‍රීතිය අප අද්දකිනවා. (හිතෝපදේශ 27:11) තවද, ඔහු අපට පොරොන්දු වන උදාර විපාකය සදාතනික ජීවනයයි. එයින් මොනතරම් ප්‍රීතියක් ලැබේවිද! මෙම ආශීර්වාදයන් සිතේ තබාගනිමින්, අප ධාවන තරඟයෙහි නොකඩවා රැඳී සිටින්න අවශ්‍යයි.
අවසානය තව තවත් ළඟා වෙද්දී
20. අවසානය ළඟා වෙත්ම, ජීවනය සඳහා වූ ධාවන තරඟය වඩාත් අසීරු විය හැක්කේ කෙසේද?
20 ජීවනය සඳහා වූ ධාවන තරඟයේදී, අපගේ ප්‍රධාන සතුරා වන සාතන් නමැති යක්ෂයා සමඟ පොරබදින්න අපට සිදු වෙනවා. අවසානය ළඟා වෙත්ම, අපගේ වේගය අඩාල කරන්න හෝ අපව බාධාවට පත් කරන්න ඔහු දරන්නේ ප්‍රබල උත්සාහයක්. (එළිදරව් 12:12, 16ආ) යුද්ධ, සාගත, වසංගත සහ මෙම “අන්තිම කාලය” සනිටුහන් කරන වෙනත් දුෂ්කරතා සියල්ල මැද විශ්වාසවන්ත, කැප වූ රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස දිගටම කටයුතු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. (දානියෙල් 12:4; මතෙව් 24:3-14; ලූක් 21:11; 2 තිමෝති 3:1-5) විශේෂයෙන්ම අපත් දශක ගණනාවකට පෙර ධාවනය ආරම්භ කළ අයගෙන් කෙනෙක් නම්, අප සිතුවාටත් වඩා අවසානය ඈතයි කියා සමහරවිට හැඟෙන්න පුළුවන්. කෙසේවෙතත්, අවසානය පැමිණෙනවාමයි කියා දෙවිගේ වචනය අපට සහතික කරනවා. යෙහෝවා කියන්නේ එය ප්‍රමාද නොවන බවයි. ඇත්තෙන්ම දැන්, ඒ අවසානය අතළඟයි.—හබක්කුක් 2:3; 2 පේතෘස් 3:9, 10.
21. (අ) ජීවනය සඳහා වූ ධාවන තරඟයෙහි නොකඩවා නියැලෙත්ම අපව ශක්තිමත් කරන්න යන්නේ කුමක්ද? (ආ) අවසානය තව තවත් ළඟා වෙද්දී අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?
21 ජීවනය සඳහා වූ ධාවන තරඟයෙහි සාර්ථක වන්න නම්, අපගේ ආත්මික පෝෂණය සඳහා යෙහෝවා ප්‍රේමනීයව සපයා ඇති දෙයින් අප ශක්තිය ලබාගත යුතුයි. මෙම ධාවන තරඟයෙහි සහභාගි වන අපගේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ නිතිපතා ආශ්‍රය කිරීමෙන් ලබාගත හැකි දිරිගැන්වීමද අප කොහෙත්ම අතපසු නොකළ යුතුයි. අපගේ දිවීම තවත් අසීරු කිරීමට අතරමඟදී දැඩි පීඩා, නොසිතූ විරූ තත්වයන් උද්ගත වුවත්, අවසානය දක්වා අපට විඳදරාගත හැක්කේ යෙහෝවා “සාමාන්‍යය ඉක්මවූ බලය” සපයන නිසයි. (2 කොරින්ති 4:7, NW) මෙම ගමන ජයග්‍රාහී ලෙස අප අවසන් කරනවා දකින්න යෙහෝවා කැමති බව දැනසිටීම අපට මොනතරම් දිරිගැන්වීමක්ද! එසේ නම්, ස්ථිර අධිෂ්ඨානයකින් “අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන්, NW] දුවමු.” “අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු” යන්න අපගේ නිසැක විශ්වාසය කරගනිමු.—හෙබ්‍රෙව් 12:1; ගලාති 6:9.
[පාදසටහන්වල]
a හෙබ්‍රෙව් 11:1–12:3 දක්වා සාකච්ඡාවකට, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1987 ජනවාරි 15, 10-20 පිටු බලන්න.
b මෑතක පළ වූ මෙවැනි දිරිගන්වනසුලු ආදර්ශ සඳහා, මුරටැඹ 1998 ජූනි 1, 28-31 පිටු; 1998 සැප්තැම්බර් 1, 24-8 පිටු; 1999 පෙබරවාරි 1, 25-29 පිටු බලන්න.
ඔබට මතකද?
◻ අප අවසානය දක්වා විඳදරාගත යුත්තේ මන්ද?
◻ අප නොසලකා නොහැරිය යුත්තේ යෙහෝවාගේ කවර සැපයුම්ද?
◻ අපගේ වේගය නුවණැතිව නියම කිරීම වැදගත් වන්නේ මන්ද?
◻ අප ධාවන තරඟයෙහි අඛණ්ඩව රැඳී සිටිනවා නම්, අප ඉදිරියෙහි තබා ඇති ප්‍රීතිය කුමක්ද?
[18වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි රැස්වීම්වලින් දිරිගැන්වීමක් ලබන්න