විඳදරාගැනීමෙන් යුතුව දුවන්න
“අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.”—හෙබ්‍රෙ. 12:1.
1, 2. ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය බයිබලයේ සමාන කරන්නේ කුමකටද?
බොහෝදෙනෙක් සහභාගි වන මැරතන් තරඟ ඔබ දැක ඇති. ඔවුන් අතරින් ජය ගන්නේ එක් කෙනෙක් වුණත් අනික් සියලුදෙනා ඊට සහභාගි වන්නේ තරඟය සාර්ථකව නිමා කිරීමේ අරමුණ ඇතුවයි.
2 ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය බයිබලයේ සමාන කර තිබෙන්නේද වටිනා ත්‍යාගයක් ලැබෙන ධාවන තරඟයකටයි. ක්‍රිස්තියානීන් ලෙස ජීවත් වීමට දැඩි වෙහෙසක් දරන සහ දෙවිට විශ්වාසවන්තව සිටීමට වෑයම් කරන අය ධාවන තරඟය සාර්ථකව නිමා කිරීමට වෙර දරන ධාවකයන්ට සමානයි. පාවුල් පුරාණ කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන්ට එවැනි තරඟයක් ගැන මෙසේ පැවසුවා. “ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත් ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ හොඳින් දන්නා දෙයකි. ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින් දුවන්න.”—1 කොරි. 9:24.
3. ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව සඳහන් කිරීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?
3 ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව සඳහන් කිරීමෙන් පාවුල් අදහස් කළේ ජීවනය නමැති ත්‍යාගය ලැබෙන්නේත් එක් කෙනෙකුට පමණක් බවද? නැහැ. එහිදී ඔහු අවධාරණය කළේ තරඟකරුවන්ගේ ආකල්පය ගැනයි. ඔවුන්ගේ අධිෂ්ඨානය වුණේ ජයග්‍රහණය කිරීමයි. සෑම තරඟකරුවෙක්ම හොඳින් පුහුණු වී මුළු ශක්තිය යොදා තරඟයට සහභාගි වුණේ ඒ නිසයි. ඒ හා සමානව පාවුල්ට අවශ්‍ය වුණේ සෙසු ක්‍රිස්තියානීන්ද යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා ඔවුන්ට කළ හැකි සියල්ල කිරීමෙන් ධාවන තරඟය නිමා කරනවා දකින්නයි. ඒ සෑම කෙනෙකුටම සදාකාල ජීවනය නමැති ත්‍යාගය හිමි කරගත හැකියි.
4. අප යෙදෙන ධාවන තරඟය පිළිබඳව දැන සිටිය යුතු දේවල් මොනවාද?
4 පාවුල්ගේ එම වදන් අපට දිරිගැන්වීමක්. අප ජීවත් වන ආකාරය ගැන බැරෑරුම්ව සිතා බැලීමටද එම වදන් අපව පොළඹවනවා. අප දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වෙනවා නම් අපේ බලාපොරොත්තුවට අනුව ස්වර්ගයේ හෝ පොළොවේ සදාකාල ජීවනය අපට හිමි වෙනවා. නමුත් අප යෙදී සිටින්නේ දිගු ධාවන තරඟයක වන අතර එහිදී නොයෙකුත් බාධකවලටද මුහුණ දීමට අපට සිදු වෙනවා. අප දෙවිට කරන සේවය අඩු වීමට හෝ සම්පූර්ණයෙන්ම නතර වීමට පවා ඒවා හේතු විය හැකියි. (මතෙ. 7:13, 14) සමහරුන්ට එසේ සිදු වී තිබීම කනගාටුවට කරුණක්. අප යෙදෙන ධාවන තරඟයේ මුහුණ දීමට සිදු වන බාධක මොනවාද? ඒවා ජය ගන්න පුළුවන් කොහොමද? තරඟය නිමා කර ජය ගැනීමට අපට කුමක් කළ හැකිද?
විඳදරාගැනීම අත්‍යවශ්‍යයි
5. හෙබ්‍රෙව් 12:1හි පාවුල් පැහැදිලි කළේ කුමක්ද?
5 පාවුල් යෙරුසලමේ සහ යුදයේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේද ධාවන තරඟයක් ගැන සඳහන් කළා. (හෙබ්‍රෙව් 12:1 කියවන්න.) ඔවුන් එම ධාවන තරඟයේ දිගටම යෙදී සිටිය යුත්තේ ඇයි කියාත් එය නිමා කිරීමට කළ යුත්තේ කුමක්ද කියාත් ඔහු පැහැදිලි කළා. පාවුල් එම ලිපිය ලිවීමට හේතුව සහ ඔහු ඉන් බලාපොරොත්තු වූ දේ ගැන අපි මුලින්ම සලකා බලමු. ඉන්පසු එමගින් අපට ඉගෙනගත හැකි දේ සලකා බලනවා.
6. යුදෙව් ආගමික නායකයන් උත්සාහ කළේ කුමක් කිරීමටද?
6 පාවුල් එම ලිපිය ලිව්වේ එදා සිටි ක්‍රිස්තියානීන් ඉතා දුෂ්කර කාලයක ජීවත් වූ නිසයි. ඊට එක් හේතුවක් වුණේ යුදෙව් ආගමික නායකයන් තමන්ට කීකරු විය යුතුයි කියා යෙරුසලමේ සහ යුදයේ සිටි ක්‍රිස්තියානීන්ට බල කිරීමයි. යේසුස් ආණ්ඩුවට විරුද්ධව කැරලිගැසූ බවත් ඔහු මරණ දඬුවම ලැබීමට සුදුසු අපරාධකරුවෙකු බවත් ඔවුන් මීට කලින් ජනයාට ඒත්තුගන්වා තිබුණා. ඉන්පසු ඔවුන් යේසුස්ව ඝාතනය කළා. දැන් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඔහුගේ අනුගාමිකයන් ඔහු ගැන සාක්ෂි දැරීම නතර කිරීමටයි. ක්‍රිස්තු වර්ෂ 33න් පසු ඔවුන් ආරම්භ කළ පීඩා රැල්ල ගැන ක්‍රියා පොතේ සඳහන් වී තිබෙනවා.—ක්‍රියා 4:1-3; 5:17, 18; 6:8-12; 7:59; 8:1, 3.
7. එදා සිටි ක්‍රිස්තියානීන් දුෂ්කර කාලයක ජීවත් වීමට තවත් හේතුවක් වුණේ කුමක්ද?
7 එදා සිටි ක්‍රිස්තියානීන් දුෂ්කර කාලයක ජීවත් වීමට තවත් හේතුවක් වුණේ යෙරුසලමේ විනාශය ආසන්නයේ තිබීමයි. එම විනාශයට පෙර සිදු වන දෙයක් ගැනත් තම ජීවිත ගලවාගැනීමට ඔවුන් කළ යුතු දේ ගැනත් යේසුස් ඔවුන්ට ඉතා පැහැදිලිව පැවසුවා. (ලූක් 21:20-22 කියවන්න.) ඔහු මෙසේද අනතුරු ඇඟෙව්වා. “ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. එසේ නොකළොත් අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි. එවිට හදිස්සියේම ඔබ නොසිතූ මොහොතක ඒ දවසට මුහුණ දෙන්න ඔබට සිදු වෙයි.”—ලූක් 21:34.
8. සමහර ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය දුර්වල වුණේ හෝ එය සම්පූර්ණයෙන්ම නැති වුණේ කුමන හේතු නිසාද?
8 පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට තම ලිපිය ලිව්වේ යේසුස් ඉහත සඳහන් දේ පවසා අවුරුදු 30කට පමණ පසුවයි. එම අවුරුදු 30 ඇතුළතදී ඔවුන් ක්‍රියා කළේ කොහොමද? එදිනෙදා අවශ්‍යතා සපයාගැනීම වැනි ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු නිසා සමහරුන් දෙවි ගැන දැනුම ලබාගැනීම අතපසු කර තිබුණා. ඔවුන්ට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය දුර්වල වීමට එය හේතුවක් වුණා. (හෙබ්‍රෙ. 5:11-14) යුදෙව්වන් දෙවිව විශ්වාස කරන, මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය පවත්වන අය නිසා ඔවුන් හා සමාන ජීවිතයක් ගත කිරීමේ වරදක් නැති බව සමහරුන් සිතුවා විය හැකියි. ඒ වගේම සභාවේ සිටි සමහරුන් නීතියට හා යුදෙව් චාරිත්‍රවලට කීකරු වීමට අනික් අයට බල කළා. සමහරුන් ඔවුන්ව විශ්වාස කළ අතර තවත් අය ඔවුන්ට තිබූ බිය නිසා ඒවාට කීකරු වුණා. නැවතත් දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමට පාවුල් ඔවුන්ව දිරිගැන්නුවේ කොහොමද?
9, 10. (අ) හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් කළ යුතු වුණේ කුමක්ද? (ආ) දෙවිට විශ්වාසවන්තව සිටි අය ගැන පාවුල් සඳහන් කළේ ඇයි?
9 ඔවුන්ව දිරිගැන්වීමට දෙවි පාවුල්ව පෙලඹෙව්වා. මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය ‘ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ ඡායාවක්’ බවත් ඔවුන්ගේ පාපවලට සමාව ලබාගත හැක්කේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් පමණක් බවත් ඔහු හෙබ්‍රෙව් 10වන පරිච්ඡේදයේ මුලින්ම සඳහන් කළා. යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් ඔවුන්ට විඳදරාගැනීම අවශ්‍ය බව පාවුල් පසුව මෙසේ පැහැදිලි කළා. “ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කළ පසු ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට ඔබ දිගටම විඳදරාගත යුතුයි. මන්ද, ‘ඉතා කෙටි කලකින් පැමිණෙන තැනැත්තා ප්‍රමාද නොවී පැමිණෙනු ඇත.’”—හෙබ්‍රෙ. 10:1, 36, 37.
10 “ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව” දුවන්න කියා පාවුල් 12වන පරිච්ඡේදයේද ඔවුන්ව දිරිගැන්නුවා. නමුත් ඊට පෙර තවත් වැදගත් දෙයක් හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ ඔහු වාර්තා කළා. එහි දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයකින් යුතුව ක්‍රියා කරනවා කියන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීම සඳහා ඔහු, දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ ගැන සඳහන් කළා. ‘විඳදරාගැනීම’ ගැන සඳහන් කිරීමට පෙර පාවුල් ‘විශ්වාසවන්තකම’ ගැන සඳහන් කරන්නේ ඇයි? දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව කටයුතු කිරීමට නම් ඔවුන්ට විඳදරාගැනීම හා ධෛර්යය අත්‍යවශ්‍ය බව අවධාරණය කිරීමටයි. දුෂ්කරතා විඳදරාගැනීමට හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට එම ආදර්ශ විශාල ශක්තියක් වුණා. එම ආදර්ශ ගැන සඳහන් කිරීමෙන් පසු පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා. “විශාල වලාකුළක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක් අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.”—හෙබ්‍රෙ. 12:1.
‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’
11. ‘වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහය’ ගැන කල්පනා කරද්දී අප මතක තබාගත යුත්තේ කුමක්ද?
11 යේසුස් පැමිණීමට පෙර ජීවත් වූ දෙවිගේ සේවකයන්ව පාවුල් හැඳින්නුවේ ‘අප වටා සිටින විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ ලෙසයි. ඔවුන් ජීවිත කාලය පුරාම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් පැහැදිලි වන්නේ ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවලදී පවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ක්‍රිස්තියානීන්ටත් හැකි බවයි. ‘වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයව’ දැනටමත් ජීවනයට යන ධාවන තරඟය සාර්ථකව නිමා කළ අය ලෙස හැඳින්විය හැකියි. ඔවුන්ගේ ආදර්ශය සියලුදෙනාටම විශාල දිරිගැන්වීමක්. ඔබ ඇත්තටම ධාවන තරඟයක යෙදී සිටිනවා කියා සිතන්න. දක්ෂ ධාවකයන් ඔබ යන මඟ දෙපස සිට ඔබව දිරිගන්වන විට හැකි උපරිම වෙර යොදා තරඟය අවසන් කිරීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද! හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ද පුරාණයේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශ ගැන සිතා බැලිය යුතු වුණා. ඔවුන්ට එය විශාල දිරිගැන්වීමක් මෙන්ම “තරඟය විඳදරාගැනීමෙන් යුතුව” අවසන් කිරීමට හැකි බවට මතක් කර දීමක් වුණා.
12. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
12 පාවුල් සඳහන් කළ විශ්වාසවන්ත සේවකයන්ගෙන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. ඊට හේතුව ඔවුන්ද අප හා සමාන විවිධ අභියෝගවලට මුහුණ දී තිබීමයි. නෝවා ජීවත් වුණේ එදා පැවති දුෂ්ට සමාජය දෙවි ජලගැල්මකින් විනාශ කිරීමට ආසන්න කාලයකයි. අපත් ජීවත් වන්නේ දෙවි සාතන්ගේ මේ දුෂ්ට ලෝකය විනාශ කිරීමට ඉතා ආසන්න කාලයකයි. ආබ්‍රහම්ට සහ සාරාට ඔවුන්ගේ නිවස අත්හැර වෙනත් ප්‍රදේශයකට යන ලෙස දෙවි පැවසූ අතර ඔවුන්ගෙන් ජාතියක් බිහි කරන බවට දෙවි පොරොන්දු වුණා. එය ඉටු වන තෙක් ඔවුන් ඉවසීමෙන් බලා සිටියා. දෙවි අපෙන් ඉල්ලා සිටින්නේත් අප වෙනුවෙන් ජීවත් නොවී ඔහු වෙනුවෙන් ජීවත් වන්න කියායි. එසේ කරනවා නම් ඔහු අපේ මිත්‍රයා වන බවටත් අපට ආශීර්වාද කරන බවටත් පොරොන්දු වී තිබෙනවා. පොරොන්දු දේශයට යන ගමනේදී මෝසෙස්ට භයානක ප්‍රදේශ හරහා දීර්ඝ ගමනක් යෑමට සිදු වුණා. අපටත් දෙවිගේ පොරොන්දු ඉටු වන කාලය පැමිණෙන තුරු සාතන්ගේ ලෝකයේ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා දෙවිට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ ගැන සිතා බැලීම ඉතා වැදගත්. ඔවුන් මෙන් දෙවිව සතුටු කරන දේවල් කිරීමට හා ඔහුව අසතුටු කරන දේවලින් වැළකී සිටීමට අපටත් හැකියි.—රෝම 15:4; 1 කොරි. 10:11.
තරඟය නිමා කිරීමට ඔවුන්ට උපකාරවත් වූ දේ
13. නෝවා මුහුණ දුන්නේ කුමනාකාර අභියෝගවලටද? දෙවි අණ කළ සියල්ල කිරීමට ඔහුට උපකාරවත් වුණේ කුමක්ද?
13 විඳදරාගනිමින් තරඟය අවසන් කිරීමට නෝවාට උපකාරවත් වූ දේ ගැන පාවුල් සඳහන් කළා. (හෙබ්‍රෙව් 11:7 කියවන්න.) ජලගැල්මකින් මිනිසුන් සහ සතුන් විනාශ වෙනවා නෝවා කෙදිනකවත් දැක තිබුණේ නැහැ. (උත්. 6:17) නමුත් එය සිදු විය නොහැකියි කියා ඔහු සිතුවේ නැහැ. ඊට හේතුව දෙවි පවසන සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වන බව ඔහු විශ්වාස කිරීමයි. ඒ නිසා ඔහු දෙවි අණ කළ සියල්ලට කීකරු වුණා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය” කියායි. (උත්. 6:22) නැව සෑදීම, සතුන්ව ඊට ඇතුල් කිරීම, පවුලේ අයට සහ සතුන්ට කෑම රැස් කිරීම, ජලගැල්ම ගැන අනතුරු ඇඟවීම සහ දෙවි සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට පවුලේ අයට උපකාර කිරීම වැනි බොහෝ දේ කිරීමට නෝවාට සිදු වුණා. එය පහසු දෙයක් නොවුණත් විඳදරාගනිමින් ඒ සියල්ල ඔහු කළේ දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය නිසයි. ඒ නිසා දෙවි ඔහුවත් පවුලේ අයවත් ජලගැල්මෙන් බේරාගෙන ඔවුන්ට බොහෝ සේ ආශීර්වාද කළා.
14. ආබ්‍රහම් සහ සාරා දෙවි කෙරෙහි විශ්වාසය පෙන්නුවේ කුමන අවස්ථාවලදීද? ඔවුන්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
14 ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයට’ ආබ්‍රහම් සහ සාරාද ඇතුළත් බව පාවුල් පැවසුවා. ඔවුන් ජීවත් වූ ඌර් දේශය අත්හැර වෙනත් ප්‍රදේශයකට යන ලෙස දෙවි ඔවුන්ට පැවසූ විට ඔවුන්ට විශාල වෙනස්කම් කිරීමට සිදු වුණා. ඉදිරියේදී කුමන දේවලට මුහුණ දීමට සිදු වෙයිද කියා ඔවුන් දැන සිටියේ නැහැ. නමුත් ඔවුන්ට දෙවි කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසා දුෂ්කර අවස්ථාවලදී පවා ඔවුන් දෙවිට කීකරු වුණා. ඔහු දෙවි වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළ නිසා ඔහුව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” ලෙසයි. (රෝම 4:11) ආබ්‍රහම් සහ ඔහුගේ පවුලේ අය ගැන හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් හොඳින් දැන සිටි නිසා පාවුල් සඳහන් කරන්නේ ඔහුගේ විශ්වාසවන්ත ක්‍රියා ස්වල්පයක් ගැන පමණයි. ඔහුගේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද කියා තහවුරු කරගැනීමට එය ප්‍රමාණවත්. පාවුල් ඔවුන් ගැන මෙසේ පැවසුවා. “පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත් ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය. මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වී තමන් ජීවත් වූ ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.” (හෙබ්‍රෙ. 11:13) ඔවුන්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසයත් ඔහු සමඟ තිබූ මිත්‍රත්වයත් නිසා ධාවන තරඟය විඳදරාගනිමින් දිවීමට හැකි වුණා.
15. මෝසෙස් දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේ ඇයි?
15 ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයට’ මෝසෙස්ද ඇතුළත්. ඔහු ඊජිප්තුවේ රජ මාලිගාවේ භුක්ති විඳි සැපවත් ජීවිතය අත්හැර “දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම” තෝරාගත්තා. ඊට හේතුව පාවුල් මෙසේ විස්තර කළා. ‘තමාට ලැබෙන ත්‍යාගය දෙස ඔහු ඕනෑකමින් බලා සිටියා. නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටියා.’ (හෙබ්‍රෙව් 11:24-27 කියවන්න.) ‘පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳිනවාට’ වඩා වටිනා යමක් තිබෙන බව මෝසෙස් තේරුම්ගත්තා. එනම් දෙවි සැබෑ පුද්ගලයෙක් නිසා ඔහුගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බව විශ්වාස කිරීමයි. අභියෝගවලට ධෛර්යයෙන් සහ විඳදරාගැනීමෙන් මුහුණ දීමට ඔහුට උපකාරවත් වුණේ එයයි. ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් මුදවාගෙන පොරොන්දු දේශය කරා මඟ පෙන්වීමට ඔහුට ශක්තියක් වුණෙත් එයයි.
16. පොරොන්දු දේශයට ඇතුල් වීමට නොහැකි වීම ගැන මෝසෙස් කලකිරුනේ නැති බව අප දන්නේ කොහොමද?
16 දෙවි ආබ්‍රහම්ට සහ මෝසෙස්ට දුන් පොරොන්දු ඉටු වීමට කලින් ඔවුන් මිය ගියා. පොරොන්දු දේශය අද්දරට පැමිණි අවස්ථාවේදී දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. ‘මා ඊශ්‍රායෙල්වරුන්ට ලබා දෙන දේශයට ඇතුල් වන්න ඔබට නොහැකියි. නමුත් එය දුර සිට දැකගන්න ඔබට හැකියි.’ ඊට හේතුව මෙරිබාහි ඊශ්‍රායෙල්වරුන් කැරලිගැසූ අවස්ථාවේදී මෝසෙස් සහ ආරොන් ඉතා කෝප වී කටයුතු කළ නිසා දෙවිට හිමි ගෞරවය ලබා දීමට ඔවුන්ට නොහැකි වීමයි. (ද්වි. 32:51, 52) පොරොන්දු දේශයට ඇතුල් වීමට නොහැකි වීම ගැන ඔහු කලකිරුනේවත් දෙවි තමාට අයුක්තියක් කළා කියා සිතුවේවත් නැති බව ඔහු පැවසූ මේ වචනවලින් පැහැදිලියි. “ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න. ඔබ හා සමාන සෙනඟක් නැත. යෙහෝවා දෙවි දෙන ගැලවීම අද්දකින ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි. දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.”—ද්වි. 33:29.
අපට ඉගෙනගත හැකි දේ
17, 18. (අ) ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයෙන්’ අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) ඊළඟ ලිපියෙන් අප සලකා බලන්නේ කුමක්ද?
17 ‘අප වටා සිටින විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයෙන්’ අප ඉගෙනගන්නේ අපේ ධාවන තරඟය සාර්ථකව නිමා කිරීමට නම් අපට දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් දැඩි විශ්වාසයක් තිබිය යුතු බවයි. (හෙබ්‍රෙ. 11:6) එම විශ්වාසය අප ජීවත් වන ආකාරයෙන් අනිවාර්යයෙන්ම දිස් විය යුතුයි. දෙවි ප්‍රීතිමත් අනාගතයක් අපට පොරොන්දු කර තිබෙන නිසා “නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින්” යුතුව අප යෙදී සිටින ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.—2 කොරි. 5:7.
18 අප යෙදෙන ධාවන තරඟයේදී බොහෝ අභියෝගවලට මුහුණ දීමට අපට සිදු වෙනවා. ඒ නිසා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීම පහසු දෙයක් නොවෙයි. ඒ වුණත් මේ ධාවන තරඟය සාර්ථකව නිමා කිරීමට අපට හැකි බව ස්ථිරයි! ඒ සඳහා උපකාරවත් වන තවත් තොරතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
ඔබට පැහැදිලි කළ හැකිද?
• පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත “සාක්ෂිකරුවන්” ගැන පාවුල් සඳහන් කළේ ඇයි?
• ‘අප වටා සිටින විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහය’ විඳදරාගනිමින් දිවීමට අපට ශක්තියක් වන්නේ කොහොමද?
• නෝවා, ආබ්‍රහම්, සාරා සහ මෝසෙස්ගේ ආදර්ශවලින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
[19වන පිටුවේ පින්තූරය]
ආබ්‍රහම් සහ සාරා ඌර් දේශයේ සැපවත් ජීවිතය අත්හැරීමට කැමති වුණා