දෙවිට පක්ෂපාත අය ඔහුට අනර්ඝයි
“තමාට පක්ෂපාත අයව ඔහු අත් නොහරියි. ඔවුහු සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නෝය.”—ගීතා. 37:28, නව ලොව පරිවර්තනය, NW.
1, 2. (අ) දෙවිගේ සේවකයන්ගේ පක්ෂපාතකම පරීක්ෂණයට ලක් වුණේ ක්‍රි.පූ. දහවන සියවසේදී සිදු වූ කුමන සිද්ධීන් නිසාද? (ආ) දෙවි තම පක්ෂපාත අයව ආරක්ෂා කළේ කුමන අවස්ථාවලදීද?
ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමණ ඊශ්‍රායෙල් උතුරු රාජ්‍යය හෙවත් දස ගෝත්‍රය තම නිදහස වෙනුවෙන් දකුණු රාජ්‍යයෙහි යූදා රජු වන රෙහොබොවම්ට විරුද්ධව අරගලයක් දියත් කළා. එය මහත් යුද්ධයකට පෙරළෙන්න පෙර ඔවුන්ට නිදහස ලැබුණා. දැන් ඔවුන්ගේ නව රජ යෙරොබොවම්. නමුත් දෙවිගේ සේවකයන්ට නම් මෙය තීරණාත්මක කාලයක්. ඊට හේතුව ඔවුන්ගේ නව රජ තම බලය ආරක්ෂා කරගැනීමේ යටි අරමුණ ඇතුව අලුත් නමස්කාර ක්‍රමයක් හඳුන්වා දීමයි. ඒ වගේම යටත්වැසියන් තම අණ සම්පූර්ණයෙන්ම පිළිපැදිය යුතු බවද ඔහු කියා සිටියා. මෙම අවස්ථාවේදී දෙවිගේ නමස්කාරකයන් කුමක් කරයිද? ඔවුන් දෙවිට පක්ෂපාතව සිටියිද? දහස් ගණනක් දෙනා පක්ෂපාතව සිටි අතර යෙහෝවා දෙවිද ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයුවා.—1 රාජා. 12:1-33; 2 ලේක. 11:13, 14.
2 එදා මෙන් අදත් සැබෑ නමස්කාරකයන් දෙවිට දක්වන පක්ෂපාතකම පරීක්ෂණයට ලක් වෙනවා. “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” කියා බයිබලයේ අනතුරු අඟවන්නේ ඒ නිසයි. එවැනි තත්වයක් යටතේ “ඇදහිල්ලේ ස්ථිරව සිට, ඔහුට [සාතන්ට] විරුද්ධව සිටින්න” අපට පුළුවන්ද? (1 පේතෘ. 5:8, 9) ඊට පිළිතුරු ක්‍රි.පූ 997දී සිදු වූ සිද්ධීන්වලින් තේරුම්ගත හැකියි. ඒ කාලයේදී දෙවි තම සෙනඟව අවස්ථා තුනකදී ආරක්ෂා කළා. පළමුව ඔවුන් තාඩන පීඩනවලට මුහුණ දුන් විට, දෙවෙනුව සැබෑ නමස්කාරය අත්හළ අයගේ බලපෑම්වලට ලක් වුණ විට, තුන්වෙනුව දෙවි පැවරූ අභියෝගාත්මක කාර්යයන් ඉටු කිරීමට සිදු වූ විට.—ගීතා. 37:28.
පීඩනයන්ට ලක් වන විට
3. දාවිත් රජගේ පාලනය ජනයාට පීඩාකාරී එකක් නොවුණේ ඇයි?
3 “පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති” කියා හිතෝපදේශ 29:2හි [NW] පවසනවා. නමුත් දාවිත් රජගේ පාලන කාලයේදී නම් ජනයා සුසුම්ලෑවේ නැහැ. ඔහු පරිපූර්ණ කෙනෙක් නොවුණත් ඔහුගේ පාලනය සාර්ථක වුණේ ඔහු දෙවිට පක්ෂපාතව සිටිමින් දෙවිව විශ්වාස කළ නිසයි. එමෙන්ම යෙහෝවා දෙවිද ඔහු සමඟ මෙවැනි ගිවිසුමක් කර තිබුණා. “ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය වංශයත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.” (2 සාමු. 7:16, NW) නමුත් යෙරොබොවම් රජුගේ පාලනය නම් යහපත් වුණේ නැහැ. ඊට හේතුව කුමක්ද? දෙවි ඔහුව රජ හැටියට පත් කළේ කුමන තත්වයක් යටතේද කියා අපි සලකා බලමු.
4. සලමොන්ගේ පාලන කාලයේ තිබූ ආශීර්වාද දිගටම භුක්ති විඳීමට නම් ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද?
4 දාවිත්ගේ පුත් සලමොන්ගේ පාලනයත් ඉතාමත් සාමකාමී එකක්. ඒ නිසා එය යේසුස්ගේ දහස් අවුරුදු පාලනය විස්තර කිරීමටද යොදාගත හැකියි. (ගීතා. 72:1, 17) ඒ කාලයේ නම් සලමොන්ගේ පාලනයට විරුද්ධ වීමට ගෝත්‍ර 12න් එකකටවත් කිසිම හේතුවක් තිබුණේ නැහැ. නමුත් සලමොන් රජ සහ එහි වැසියන් භුක්තිවිඳි ආශීර්වාද ලත් තත්වය දිගටම තබාගැනීමට නම් දෙවිගේ මෙම වචනවලට කීකරු විය යුතු වුණා. “ඔබ මාගේ අණ පනත්වලට කීකරු වී මා දුන් තීන්දුවලට අවනත වෙමින් මාගේ සියලු ආඥා පැවැත්වුවහොත් ඔබ ගැනත් විශේෂයෙන්ම ඔබ ගොඩනඟන මේ ගෘහය ගැනත් ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම ඉෂ්ට කරන්නෙමි. මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි. මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත්හැර නොයන්නෙමි.”—1 රාජා. 6:11-13, NW.
5, 6. සලමොන් දෙවිට පක්ෂපාත නොවීම නිසා ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?
5 නමුත් සලමොන් මහලු වියේදී සැබෑ දෙවිට පක්ෂපාත නොවී බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. (1 රාජා. 11:4-6) පසුව ඔහු දෙවිගේ අණ පනත් සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය අතර ඔහුගේ පාලනයද එන්න එන්නම ජනයාට පීඩාකාරී වුණා. ජනයා සලමොන්ගේ මරණයෙන් පසු පවා ඔහුගේ පාලනය ගැන ඔහුගේ පුත් රෙහොබොවම්ට පැමිණිලි කරමින් යම් සහනයක් බලාපොරොත්තු වුණේ ඒ නිසයි. (1 රාජා. 12:4) සලමොන් අවිශ්වාසවන්ත වූ විට දෙවි ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
6 ‘ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා දෙවරක්ම සලමොන් ඉදිරියේ ප්‍රකාශ වූ නමුත් සලමොන්ගේ සිත දෙවි වෙතින් ඈත් වී තිබූ නිසා යෙහෝවා දෙවි සලමොන් සමඟ බොහෝ සේ උදහස් වුණා.’ ඒ නිසා යෙහෝවා දෙවි තම තීරණය ඔහුට මෙසේ ප්‍රකාශ කළා. “ඔබ මාගේ ගිවිසුම කඩ කරමින් මා ඔබට දුන් පනත්වලට කීකරු නොවූ නිසා, මම අනිවාර්යයෙන්ම රාජ්‍යය ඔබේ අතින් උදුරාගෙන ඔබේ සේවකයාගේ අතට දෙමි.”—1 රාජා. 11:9-11, NW.
7. දෙවි සලමොන්ව ප්‍රතික්ෂේප කළත් තම සෙනඟව ගලවාගැනීමට කළේ කුමක්ද?
7 ඉන්පසු දෙවි, නව රජ හැටියට යෙරොබොවම්ව අභිෂේක කිරීමට අනාගතවක්තෘ අහියාව යැව්වා. ඔහු සලමොන්ගේ රාජ්‍යයේ සේවය කරමින් සිටි දක්ෂ පුද්ගලයෙක්. දෙවි නව රජෙකු පත් කළේ පීඩා විඳිමින් සිටි තම ජනයාව ගලවාගැනීමටයි. දෙවි දාවිත් සමඟ කළ ගිවිසුමට අනුව ක්‍රියා කළත් එම ගෝත්‍ර 12 කණ්ඩායම් දෙකකට බෙදෙන්න ඉඩහැරියා. ඒ අනුව ගෝත්‍ර දහයක් යෙරොබොවම්ට ලැබුණා. දාවිත්ගේ වංශයට එනම් රෙහොබොවම්ට හිමි වුණේ ගෝත්‍ර දෙකක් පමණයි. (1 රාජා. 11:29-37; 12:16, 17, 21) පසුව දෙවි යෙරොබොවම්ට මෙවැනි සහතිකයක් දුන්නා. “ඔබත් මාගේ සේවක දාවිත් මෙන්, මා ඔබට අණ කරන සියලු දේට කීකරු වී මාගේ පනත් සහ ආඥා පවත්වන්න. මා යහපත් යයි සලකන සියල්ල කර, මා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. එවිට මම ඔබ සමඟ සිටින්නෙමි. මා දාවිත්ගේ පෙළපත තුළ රජකම ස්ථිර කළාක් මෙන් ඔබේ පෙළපත තුළත් රජකම ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල්හි පාලනය මම ඔබට දෙමි.” (1 රාජා. 11:38, NW) මෙලෙස දෙවි පීඩා විඳිමින් සිටි තම සෙනඟට සහනයක් ලබා දුන්නා.
8. අද දින දෙවිගේ සේවකයන් මුහුණ දෙන පීඩා මොනවාද?
8 අද දිනත් පීඩා, හිරිහැර හා අයුක්තිය නැති තැනක් නැති තරම්. ඊට හේතුව බයිබලයේ විස්තර කර තිබෙනවා. “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශ. 8:9, NW) ගිජු ව්‍යාපාර හා දූෂිත පාලනවල ප්‍රතිඵලයක් හැටියට මිනිසුන්ට එදිනෙදා ජීවත් වීම පවා දුෂ්කර විය හැකියි. එමෙන්ම දේශපාලන, ව්‍යාපාරික හා ආගමික නායකයන් බොහෝවිට කටයුතු කරන්නේ ඉතාමත් නින්දිත ආකාරයටයි. එමනිසා ධර්මිෂ්ඨ ලොත් මෙන් අද සිටින දෙවිගේ සේවකයන්ද ‘නීතිය නොතකන සෙනඟගේ නින්දිත හැසිරීම ගැන බොහෝ සෙයින් කම්පිතව’ සිටිනවා. (2 පේතෘ. 2:7) එමෙන්ම අප දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී බොහෝවිට උඩඟු පාලකයන්ගේ විරුද්ධවාදීකම්වලටත් ලක් වෙනවා.—2 තිමෝ. 3:1-5, 12.
9. (අ) දුෂ්ට පාලන ඉවත් කිරීමට දෙවි දැනටමත් කර තිබෙන්නේ කුමක්ද? (ආ) යේසුස් සැමදාම දෙවිට පක්ෂපාතව සිටින බව අපට ස්ථිර ඇයි?
9 ඒ වුණත් දෙවි තමන්ට පක්ෂපාත අයව කෙදිනකවත් අත්හරින්නේ නැති බව අපට ස්ථිරයි. අද පවතින දුෂ්ට පාලනයන් ඉවත් කිරීමට දෙවි දැනටමත් කර තිබෙන දේවල් ගැන මදක් සිතන්න. දේවරාජ්‍යය දැනටමත් ස්වර්ගයෙහි පිහිටුවා අවසන්. යේසුස් එහි අවුරුදු සියයකට ආසන්න කාලයක් පුරා පාලනය කරමින් සිටිනවා. දෙවිට ගරුබිය දක්වන සියල්ලන්ට ඔහු ඉතා ළඟදීම සියලුම දුක් කරදරවලින් සහනයක් ලබා දීමට නියමිතයි. (එළිදරව් 11:15-18 කියවන්න.) ඒ ගැන අපට කිසි සැකයක් නැහැ. ඊට හේතුව නම් ඔහු මරණය දක්වාම දෙවිට පක්ෂපාතව සිට තමන් විශ්වාසවන්ත කෙනෙක් බව ඔප්පු කර තිබීමයි. සලමොන් මෙන් නොව යේසුස් කෙදිනකවත් තම යටත්වැසියන්ව පීඩාවට ලක් කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 7:26; 1 පේතෘ. 2:6.
10. (අ) දෙවිගේ රාජ්‍යයට අප පක්ෂපාත බව ක්‍රියාවෙන් පෙන්විය හැක්කේ කෙසේද? (ආ) අප පරීක්ෂාවන්ට මුහුණ දෙන විට අපට කුමක් ගැන ස්ථිර විය හැකිද?
10 දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. එමගින් මිනිසුන්ව පීඩනයට පත් කරන සියලුම දේවලට අවසානයක් ගෙන එනවා. ඒ නිසා අපගේ පූර්ණ පක්ෂපාතකම දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් දිය යුතුයි. අපි ලෝකයේ සියලුම අධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රතික්ෂේප කර යහපත් ක්‍රියාවල උද්යෝගයෙන් හවුල් වීමෙන් ඒ බව පෙන්වමු. (තීත. 2:12-14) එමෙන්ම මේ ලෝකයේ දූෂිත දේවලින් නොකිලිටිව සිටීමටද වගබලා ගනිමු. (2 පේතෘ. 3:14) අප කුමන පරීක්ෂාවකට මුහුණ දුන්නත් අපගේ ඇදහිල්ලට තර්ජනයක් විය හැකි ඕනෑම දෙයකින් දෙවි අපව ආරක්ෂා කරන බව ස්ථිරයි. (ගීතාවලිය 97:10 කියවන්න.) ඒ බව ගීතාවලිය 116:15හි [NW] වචනවලින්ද තහවුරු වෙනවා. “තමාට විශ්වාසවන්තව සිටි අයගේ මරණය යෙහෝවා දෙවිට නම් සුළු පටු දෙයක් නොවේ.” දෙවිට තම සෙනඟව ඉතා අනර්ඝ නිසා ඔහු ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ.
සැබෑ නමස්කාරයට තර්ජනයක් වන විට
11. යෙරොබොවම් රජ දෙවිට පක්ෂපාත නොවී ක්‍රියා කළේ කෙසේද?
11 යෙරොබොවම්ගේ පාලනයෙන් දෙවිගේ සෙනඟට යම් සහනයක් ලැබෙන්න ඇති. නමුත් ඔහු කළ සමහර දේවල් නිසා සෙනඟ දෙවිට දැක්වූ පක්ෂපාතකම පරීක්ෂණයකට ලක් වුණා. ඒ කෙසේද? දෙවි ඔහුට ලබා දී තිබූ ගෞරවය සහ වරප්‍රසාද ගැන සෑහීමට පත් නොවී තම බලය තව තවත් තහවුරු කරගන්න ඔහු ක්‍රමයක් සෙව්වා. ඒ ගැන ඔහු මෙසේ කල්පනා කළා. “ජනයා හැමදාමත් යෙරුසලමට ගිහින් යෙහෝවා දෙවිගේ ගෘහයේ පුද පූජා ඔප්පු කළොත්, ඔවුන්ගේ ස්වාමීන් වන යූදාහි රජ වන රෙහබෝවම් වෙතට නැවත ඔවුන්ගේ සිත ඇදී යන්න පුළුවන්. එහෙම වුණොත් ඔවුන් මාව මරා නැවතත් යූදාහි රජ වන රෙහබොවම්ට සේවය කරාවි.” ඊට පිළියමක් ලෙස සෙනඟට අලුත් නමස්කාර ක්‍රමයක් හඳුන්වා දීම සඳහා ඔහු රන් වස්සන් දෙදෙනෙකු සාදා ‘එක් රූපයක් බෙතෙල් නගරයේද, අනෙක් රූපය දාන් නගරයේද තැබුවා. මෙලෙස යෙරොබොවම් රජ, ජනයාව පාපයට පෙලඹෙව්වා. ජනයා වස්සාට නමස්කාර කිරීමට දාන් දක්වා ගියා. ඔහු පූජනීය ස්ථානද ගොඩනැඟුවා. ඒ ස්ථානවල සේවය කිරීමට ඔහු පත් කළ එක පූජකයෙක්වත් ලෙවී ගෝත්‍රයේ අය නෙවෙයි.’ තවදුරටත් ඔහු “ඊශ්‍රායෙල්වරුන් සඳහා නියම කරගත් උත්සවය” යූදාහි පවත්වනවා වෙනුවට එය තම රාජ්‍යය තුළ ඊට අදාළ දිනයේදීම පැවැත්වූ අතර ඔහු “සෑදූ පූජාසනය වෙත ගොස් ඒ මත පුද පූජාද සුවඳ දුම්ද ඔප්පු” කළා.—1 රාජා. 12:26-33, NW.
12. යෙරොබොවම් වසු නමස්කාරය පිහිටෙවූ විට දෙවිට පක්ෂපාත අය කළේ කුමක්ද?
12 මේ අවස්ථාවේදී එහි සිටි දෙවිට පක්ෂපාත අය කළේ කුමක්ද? පෙර සිටි ඇදහිලිවන්තයන් මෙන් එහි සිටි ලෙවීවරුන්ද හිත හිතා සිටින්නේ නැතුව ඉක්මනින්ම තීරණයක් ගත්තා. (නික්. 32:26-28; ගණන්. 35:6-8; ද්වි. 33:8, 9) එනම් තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩම් පවා අත්හැර තම පවුල් සමඟ වහාම යූදා දේශයට යෑමයි. එහි ඔවුන්ට බාධාවකින් තොරව සැබෑ නමස්කාරයේ හවුල් වීමට හැකි වුණා. (2 ලේක. 11:13, 14) එමෙන්ම යූදා දේශයේ තාවකාලිකව පදිංචි වී සිටි උතුරු රාජ්‍යයට අයත් වෙනත් ඊශ්‍රායෙල්වරුන් නැවතත් එහි නොයන්න තීරණය කළා. (2 ලේක. 10:17) දෙවි එය දුටු අතර ඉදිරි කාලවලදීත් වසු නමස්කාරය අත්හැර සැබෑ නමස්කාරය වෙතට පැමිණෙන අය සඳහා මාර්ගය විවෘත කර තිබුණා.—2 ලේක. 15:9-15.
13. අද දින සැබෑ නමස්කාරයට තර්ජනයක් එල්ල වන්නේ කුමකින්ද?
13 එදා මෙන් අදත් සැබෑ නමස්කාරයට තර්ජනයක් එල්ල කරන විවිධ තත්වයන්ට දෙවිගේ සෙනඟ මුහුණ දෙනවා. උදාහරණයකට තම රටේ තිබිය යුත්තේ තමන් අදහන ආගම පමණක් බවත් සියලුදෙනාම ඊට හවුල් විය යුතු බවත් සමහර පාලකයන් පවසා සිටිනවා. තවත් අවස්ථාවලදී සමහර පල්ලි සහ වෙනත් ආගමික නායකයන් තමන් දෙවි වෙනුවෙන් ජනයාට මඟ පෙන්වන අය බව පවසනවා. ඒ තුළින් ගෞරවය ලබාගැනීමට ඔවුන් උත්සාහ කරනවා. නමුත් යෙහෝවා දෙවි සැබෑ ක්‍රිස්තියානීන්ට මඟ පෙන්වීමට පත් කර තිබෙන්නේ එක් කණ්ඩායමක් පමණයි. ඒ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වන අතර ඔවුන්ව බයිබලයේ හඳුන්වා ඇත්තේ “රාජකීය පූජක පංතියක්” ලෙසයි.—1 පේතෘ. 2:9; එළි. 14:1-5.
14. සැබෑ නමස්කාරයට පටහැනි අදහස්වලට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
14 එදා සිටි ලෙවීවරුන් මෙන් අද සිටින දෙවිගේ සේවකයන්ද සැබෑ නමස්කාරයට පටහැනි අදහස්වලින් මුළා නොවන අතර එවැනි ඕනෑම අදහසක් වහාම ප්‍රතික්ෂේප කරනවා. (රෝම 16:17 කියවන්න.) එමෙන්ම සැබෑ නමස්කාරයට පටහැනි ක්‍රියාවලදී හැර අන් සෑම අවස්ථාවකදීම අප උසස් බලධාරීන්ට කැමැත්තෙන්ම කීකරු වෙනවා. අප දේශපාලන අරගලවලදී පැතිගන්නේද නැහැ. මේ සියල්ලෙන්ම පෙන්වන්නේ අප දේවරාජ්‍යයට පක්ෂපාත බවයි. (යොහ. 18:36; රෝම 13:1-8) එමෙන්ම දෙවිව නියෝජනය කරනවායයි පවසමින් තම ක්‍රියාවලින් දෙවිට අගෞරව කරන අයවද අප ප්‍රතික්ෂේප කරනවා.—තීත. 1:16.
15. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ අප පක්ෂපාත විය යුත්තේ ඇයි?
15 සැබෑ නමස්කාරයට ඇති වන තර්ජනවලින් තම සෙනඟව ආරක්ෂා කරන්න දෙවි පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා සාතන්ගේ දුෂ්ට ලෝකයෙන් ඉවත් වී සැබෑ නමස්කාරයේ හවුල් වීමට කැමති සියල්ලන්ටම තම සංවිධානයට ඇතුල් වීමට දෙවි අවස්ථාව ලබා දී තිබෙනවා. එය මොන තරම් වරප්‍රසාදයක්ද! (2 කොරි. 12:1-4) අපි එය ඉතා අගය කරන නිසා “තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර” දීම සඳහා යේසුස් පත් කර තිබෙන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම යටත් වෙනවා. යේසුස් “තමන් සන්තක සියල්ල” භාර දී තිබෙන්නේද ඔවුන්ටයි. (මතෙ. 24:45-47) දාස පන්තිය ගන්නා සමහර තීරණවලට හේතුව අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකි අවස්ථා තිබෙනවා. එවිට අප කලබල වී නැවතත් සාතන්ගේ දුෂ්ට ලෝකයට හැරී යන්නේ නැහැ. ඒ වෙනුවට එම කාරණා අවබෝධ කරගැනීමට දෙවි අපිට උපකාර කරන තෙක් බලා සිටිමු. ඒ අතර දාස පංතියට පක්ෂපාත වීමෙන් අපි දෙවිට පක්ෂපාත බව පෙන්වමු.
අභියෝගාත්මක පැවරුම් ඉටු කිරීමේදී
16. යූදාහි අනාගතවක්තෘවරයාට ලැබුණු අභියෝගාත්මක පැවරුම කුමක්ද?
16 යෙරොබොවම් සැබෑ නමස්කාරයට විරුද්ධ වූ නිසා දෙවිද ඔහුව ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා දෙවි යූදා දේශයේ අනාගතවක්තෘවරයෙකුව බෙතෙල්හි සිටි යෙරොබොවම්ව හමුවීමට යැව්වා. ඒ වෙලාවේදී යෙරොබොවම් සිටියේ පූජාවක් ඔප්පු කිරීමට සූදානමිනුයි. දැන් මේ රජට දෙවිගේ ප්‍රබල තීන්දුවක් ප්‍රකාශ කිරීමට අනාගතවක්තෘවරයා සූදානම්. කෙසේනමුත් එය ඔහුට අභියෝගයක් වූ බව නිසැකයි.—1 රාජා. 13:1-3.
17. දෙවි තම අනාගතවක්තෘවරයාව ආරක්ෂා කළේ කෙසේද?
17 දෙවිගේ පණිවිඩය අසා කෝපයෙන් වියරු වැටුණු යෙරොබොවම් “ඔහුව අල්ලාගන්න!” කියා කෑගැසුවා. නමුත් අසල සිටි අය ඔහුව අල්ලන්න සිතන්නත් පෙර, ‘ඒ මොහොතේම, ඔහු දිගු කළ අත සොලවන්න බැරි ලෙස ගල් ගැසුණා. ඒ සමඟම පූජාසනය දෙකට පැළී, ඒ මත තිබූ අළු විසිරී ගියා.’ පසුව තම ගල් ගැසුණු අත සුව කරන්න කියා දෙවිගෙන් අයදින මෙන් අනාගතවක්තෘවරයාගෙන් ඉල්ලා සිටින්න ඔහුට සිදු වුණා. අනාගතවක්තෘවරයා එසේ කළ අතර ඔහුගේ අත සුව වුණා. එමෙන්ම දෙවි තම අනාගතවක්තෘවරයාට වෙන්න ගිය අනතුරෙන් ඔහුව ආරක්ෂා කළා.—1 රාජා. 13:4-6, NW.
18. අප නිර්භීතව දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන විට ඔහු අපට ආරක්ෂාව සපයන්නේ කුමනාකාරවලින්ද?
18 ඒ හා සමානව අපත් දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරන විට සහ යේසුස්ගේ ගෝලයන් වීමට මිනිසුන්ට උපකාර කරන විට විරුද්ධවාදීකම්වලට මුහුණ දෙනවා. (මතෙ. 24:14; 28:19, 20) නමුත් දේවසේවය සඳහා අපට තිබෙන උද්යෝගය අඩු කිරීමට අප ඒ කිසිවකට ඉඩ දෙන්නේ නැහැ. අපිත් එම අනාගතවක්තෘවරයා මෙන් “නිර්භීතව පරිශුද්ධ සේවය පිරිනැමීමේ වරප්‍රසාදය” අගය කරමින් යෙහෝවා දෙවිට “පක්ෂපාතව” සේවය කරමු.a (ලූක් 1:74, 75) එදා මෙන් දෙවි ආශ්චර්යවත් ක්‍රියා කරයි කියා අප බලාපොරොත්තු වන්නේ නැහැ. කෙසේනමුත් ඔහු තම බලයෙන් සහ දේවදූතයන් මාර්ගයෙන් තම සේවකයන්ට ආරක්ෂාව සපයනවා. (යොහන් 14:15-17; එළිදරව් 14:6 කියවන්න.) තම පණිවිඩය නොබියව ප්‍රකාශ කරන තම සේවකයන්ව දෙවි කෙදිනකවත් අත්හරින්නේ නැහැ.—ෆිලි. 1:14, 28.
දෙවි තම පක්ෂපාත සේවකයන්ව ආරක්ෂා කරයි
19, 20. (අ) දෙවි අපව කෙදිනකවත් අත් නොහරින බව අපට ස්ථිර ඇයි? (ආ) ඊළඟ ලිපියේ අප සාකච්ඡා කරන්නේ කුමන ප්‍රශ්න ගැනද?
19 යෙහෝවා දෙවි නිතරම තමන්ට පක්ෂපාත අයට අවශ්‍ය මඟ පෙන්වීම් සහ රැකවරණය ලබා දෙන බව පැහැදිලියි. (එළි. 15:4; 16:5) “ඔහු කරන සැම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම” අපට දකින්න ලැබෙනවා. (ගීතා. 145:17, NW) ඒ අනුව බයිබලය අපට දෙවි ගැන දෙන සහතිකය මෙයයි. “[දෙවි] තමන්ට පක්ෂපාතව සිටින්නන්ගේ මාර්ගය සුරකින්නේය.” (හිතෝ. 2:8, NW) අප මෙතෙක් සලකා බැලූ ලෙස අප නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වෙද්දී, සැබෑ නමස්කාරයට බලපෑම් එල්ල වෙද්දී සහ දෙවිගේ ප්‍රබල පණිවිඩය ප්‍රකාශ කරද්දී ඔහු තම පක්ෂපාත සේවකයන්ට ආරක්ෂාව සහ මඟ පෙන්වීම් සපයන බව ස්ථිරයි.
20 නමුත් මෙහිදී වැදගත් වන්නේ අප සියලුදෙනාම පහත සඳහන් ප්‍රශ්න ගැන කල්පනා කිරීමයි. එනම් මම මුහුණ දෙන පීඩා හෝ පරීක්ෂා කුමක් වුවත් දෙවිට දිගටම පක්ෂපාතව සිටීමට මට හැක්කේ කෙසේද? දෙවි කෙරෙහි ඇති මගේ පක්ෂපාතකම ශක්තිමත් කරගන්න මට හැක්කේ කෙසේද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
[පාදසටහන]
a මෙම යූදාහි අනාගතවක්තෘවරයා දෙවිට දිගටම පක්ෂපාතව සිටියාද නැද්ද කියාත් ඔහුට සිදු වුණේ කුමක්ද කියාත් ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• පීඩාවලට ලක් වෙද්දී දෙවි තම සේවකයන්ව ආරක්ෂා කරන බව පෙන්වා ඇත්තේ කෙසේද?
• සැබෑ නමස්කාරයට තර්ජනයක් වන දේවල්වලට අප කෙසේ ප්‍රතිචාරය දැක්විය යුතුද?
• තම පක්ෂපාත සේවකයන් දේවසේවයේ යෙදෙන විට දෙවි ඔවුන්ව ආරක්ෂා කරන්නේ කෙසේද?
[5වන පිටුවේ සිතියම/පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
උතුරු රාජ්‍යය (යෙරොබොවම්)
දාන්
ෂීකෙම්
බෙතෙල්
දකුණු රාජ්‍යය (රෙහොබොවම්)
යෙරුසලම
[පින්තූරය]
යෙරොබොවම් වසු නමස්කාරය හඳුන්වා දුන් අවස්ථාවේදී දෙවි තමාට පක්ෂපාත අයව අත්හැරියේ නැහැ
[3වන පිටුවේ පින්තූරය]
සලමොන් රජ සහ වැසියන් ආශීර්වාද භුක්ති විඳිමට නම් දෙවිට කීකරු වීමට සිදු වුණා