ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාට හරි පාර පෙන්නනවද?
‘අප පෙන්වන ප්‍රේමය පවිත්‍ර හදවතකින්ද දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද පෙන්විය යුතුයි.’—1 තිමෝ. 1:5.
1, 2. අපිට හෘදය සාක්ෂියක් ලැබුණේ කාගෙන්ද? හෘදය සාක්ෂියක් අපිට දීලා තියෙන එක ගැන දෙවිට ස්තුති කරන්න ඕනෙ ඇයි?
යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුව. නිවැරදි තීරණ ගන්න උදව් කරන දේකුත් අපිව නිර්මාණය කරද්දීම දෙවි අපිට ලබා දුන්නා. හරි වැරැද්ද හඳුනගන්න අපිට උදව් කරන ඒ දේ අපේ හෘදය සාක්ෂියයි. ඒක හරි විදිහට පාවිච්චි කරනවා නම් හරි දේ කරන්නත් වැරදි දෙයින් වළකින්නත් අපිට පුළුවන්. හෘදය සාක්ෂියක් ඇතුව අපිව නිර්මාණය කරපු එකෙන් දෙවි අපිට ආදරෙයි, අපි සාර්ථක වෙනවා දකින්න කැමතියි කියලා ඔප්පු වෙනවා.
2 සමහරු බයිබල් ප්‍රතිපත්ති ගැන නොදන්නවා වුණත් හරි දේ කරනවා. වැරදි දේ පිළිකුල් කරනවා. (රෝම 2:14, 15 කියවන්න.) එහෙම කරන්නේ හෘදය සාක්ෂිය නිසයි. හිතන්න, මිනිසුන්ට හෘදය සාක්ෂියක් තිබුණේ නැහැ කියලා. එහෙමනම් ලෝකෙ තත්වය අදට වඩා කොයි තරම් දරුණු වෙයිද! යෙහෝවා දෙවි මිනිසුන්ට හෘදය සාක්ෂියක් දීලා තියෙන එක ගැන අපි ඔහුට මොන තරම් ස්තුති කරන්න ඕනේද!
3. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන එක සභාවේ යහපතට දායක වෙන්නේ කොහොමද?
3 වැඩිදෙනෙක් තමන්ගේ හෘදය සාක්ෂිය පුහුණු කරගන්න ඕනෙ කියලා හිතන්නේ නැහැ. ඒත් දෙවිගේ සෙනඟ නිතරම උත්සාහ කරන්නේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගන්නයි. මොකද සභාවේ එක්සත්කමට දායක වෙන්න ඒක උදව්වක්. හරි වැරැද්ද, යහපත අයහපත ගැන බයිබල් ප්‍රතිපත්ති අපිට මතක් කරලා දෙන හෘදය සාක්ෂියක් තියෙනවටයි අපි කැමති. ඒත් හෘදය සාක්ෂිය පුහුණු කරලා ඒක හොඳින් පාවිච්චි කරන්න නම් බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන විතරක් මදි. දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇල්මක් ඇති කරගන්න එකත් ඒවාවලින් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියන විශ්වාසය ඇතුව ඉන්න එකත් වැදගත්. පාවුල් මෙහෙම කිව්වා. ‘අප පෙන්වන ප්‍රේමය පවිත්‍ර හදවතකින්ද දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද පෙන්විය යුතුයි.’ (1 තිමෝ. 1:5) අපි හෘදය සාක්ෂිය පුහුණු කරලා ඒ අනුව වැඩ කරද්දී දෙවිට තියෙන ආදරේ, ඔහු ගැන තියෙන විශ්වාසය තව වැඩි වෙනවා. හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණවලින් අපිට දෙවි එක්ක කොච්චර බැඳීමක් තියෙනවද කියලත් ඔහුව සතුටු කරන්න කොච්චර වුවමනාවක් තියෙනවද කියලත් පේනවා. ඒ වගේම අපි මොන වගේ අයද කියලත් පැහැදිලි වෙනවා.
4. හෘදය සාක්ෂිය පුහුණු කරන්නේ කොහොමද?
4 හෘදය සාක්ෂිය පුහුණු කරන්න නම් අපි නිතිපතා බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ. කියවන දේ ගැන හොඳට හිතලා ඒවා අදාළ කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරන්නත් ඕනේ. ඒ කියන්නේ අපි නිකම්ම තොරතුරුවලින්, නීතිවලින් මනස පුරවගන්නවා වෙනුවට අපේ අරමුණ වෙන්න ඕනෙ යෙහෝවා දෙවිව තව තවත් දැන හඳුන ගන්න. ඔහු මොන වගේ කෙනෙක්ද, කැමති අකමැති මොනවටද කියලා තේරුම්ගන්න. එතකොට යම් තීරණයක් ගන්න වෙද්දී යෙහෝවා දෙවි ඒ කාරණය දිහා බලන විදිහ තේරුම් අරන් හරි තීරණ ගන්න හෘදය සාක්ෂිය අපිට උදව් කරයි. හෘදය සාක්ෂිය පුහුණු කරන තරමට දෙවි හිතන විදිහට හිතන්නත් අපි පුරුදු වෙනවා.
5. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
5 තීරණයක් ගන්න වෙද්දී පුහුණු කරපු හෘදය සාක්ෂියක් අපිට උදව් වෙන්නේ කොහොමද? අනිත් අයගේ හෘදය සාක්ෂියට ගරු කරන්න අපිට පුළුවන් කොහොමද? යහපත් දේවල් කරන්න අපේ හෘදය සාක්ෂිය අපිව පොලඹවන්නේ කොහොමද? ඒ ප්‍රශ්න මනසේ තියාගෙන අපිට තීරණ ගන්න වෙන කාරණා 3ක් ගැන බලමු. (1) ශරීර සෞඛ්‍යය. (2) විනෝදය. (3) දේශනා සේවය.
සාධාරණ වෙන්න
6. ශරීර සෞඛ්‍යය ගැන ගන්න වෙන්නේ මොන වගේ තීරණද?
6 ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් දේවලින් වළකින්න කියලත් අපිට තියෙන සමහර පුරුදු ගැන උදාහරණෙකට කන බොන විදිහ ගැන සැලකිලිමත් වෙන්න කියලත් බයිබලේ අපිට කියනවා. (හිතෝ. 23:20; 2 කොරි. 7:1) ඒවාට කීකරු වෙනවා නම් යම් දුරකට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වගන්න අපිට පුළුවන්. ඒත් අසනීප වෙන එක, වයසට යන එක නවත්තන්න අපිට බැහැ. ඒ නිසා ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගන්න අපිට සිද්ධ වෙනවා. සමහර රටවල බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම වගේ වෙනත් ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. විවිධ ප්‍රතිකාර ගැනත් ඒවා ගන්න එක සුදුසුද නැද්ද කියලත් අහලා අපේ සහෝදරයන් නිතරම වගේ ශාඛා කාර්යාලවලට ලිපි එවනවා.
7. ප්‍රතිකාර ගැන අපි තීරණ ගන්න ඕනෙ කොහොමද?
7 කෙනෙක් ගන්න ඕන මොන වගේ ප්රතිකාරද කියලා තීරණය කරන්න ශාඛා කාර්යාලයටවත් සභාවේ වැඩිමහල්ලන්ටවත් කිසිම අධිකාරියක් නැහැ. ගන්න ඕන තීරණය මොකක්ද කියලා කෙනෙක් ඇහුවත් ඒක කියන්න ඔවුන්ට බැහැ. (ගලා. 6:5) ඒත් ඥානවන්ත තීරණයක් ගන්න උදව් වෙන බයිබලේ සඳහන් තොරතුරු ඒ කෙනා එක්ක බෙදාගන්න වැඩිමහල්ලන්ට පුළුවන්. උදාහරණෙකට ලේවලින් වළකින්න කියලා දෙවි අපිට ආඥාවක් දීලා තියෙනවා. (ක්‍රියා 15:29) ඒ ආඥාවට අනුව සම්පූර්ණ රුධිරය භාවිත කරලා කරන ප්‍රතිකාරත් ලේවල ප්‍රධාන කොටස් 4 භාවිත කරලා කරන ප්‍රතිකාරත් පිළිගන්න බැහැ කියන එක පැහැදිලියි. ඒ අවබෝධය ලේවල ප්‍රධාන කොටස් 4න් ලබාගන්න අනුකොටස් යොදාගෙන කරන ප්‍රතිකාර පිළිගන්නවද නැද්ද කියන කාරණය ගැන බැරෑරුම්ව හිතන්නත් කෙනෙක්ට උදව් වෙනවා. එහෙම හිතුවොත් තමයි හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ.a
8. ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගන්න ෆිලිප්පි 4:5 අපිට උදව් වෙන්නේ කොහොමද?
8 හිතෝපදේශ 14:15 මෙහෙම කියනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” සමහර ලෙඩ නිට්ටාවට සුව කරන්න බැහැ. ඒත් සමහරු කියනවා යම් ප්රතිකාරවලින් ඒවා සුව කරන්න පුළුවන් කියලා. ඒත් ඒකට කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා අපි පරෙස්සම් වෙන්න ඕනේ. “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියන උපදෙස මතකයේ තියාගන්න. (ෆිලි. 4:5) දේවල් දිහා සාධාරණව බලන කෙනෙක් ශරීර සෞඛ්‍යය ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව දෙවිට කරන සේවයට මුල් තැන දෙනවා. අපි හැම වෙලාවෙම අපේ සෞඛ්‍යය ගැනම හිතහිත ඉන්න ගියොත් අපි අපේම කාරණා ගැන විතරක් හිතන අය වෙනවා. (ෆිලි. 2:4) සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ ඉන්න අපිට සීයට සීයක්ම හොඳ ශරීර සෞඛ්‍යයක් ලබන්න බැහැ. ඒ නිසා යෙහෝවා දෙවිට කරන සේවය ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ කරගන්න.—ෆිලිප්පි 1:10 කියවන්න.
9. ශරීර සෞඛ්‍යය ගැන ගන්න තීරණවලට රෝම 14:13, 19 බලපාන්නේ කොහොමද? සභාවේ එක්සත්කමට බාධාවක් වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද?
9 සාධාරණව වැඩ කරන කෙනෙක් තමන්ට හොඳයි කියලා හිතෙන දේ අනිත් අයත් කරන්න ඕනෙ කියලා හිතන්නේ නැහැ. එක රටක යුවළකට කෑම වෙනුවට ගන්න පුළුවන් බෙහෙතක් ගැනත් කෑම පාලනය කරන්න ඕන විදිහයක් ගැනත් යම් මතයක් තිබුණා. ඒ දෙන්නා තමන් කරන විදිහට කරන්න කියලා සභාවේ අනිත් අයටත් උනන්දු කළා. ඒත් ඒක අත්හදා බලලා ප්‍රතිඵල ලැබුණේ නැති නිසා හුඟක් අය අමනාප වුණා. තමන් කැමති විදිහට කරන්න ඒ යුවළට අයිතියක් තියෙනවා. ඒත් එහෙම කරන්න කියලා අනිත් අයට බල කරන්න ගියොත් ඒක සභාවේ එක්සත්කමට බලපානවා. සාධාරණව වැඩ කරන කෙනෙක් සභාවේ එක්සත්කම ඒ විදිහට අවදානමේ දායිද? රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට සමහර කෑම බීම සහ උත්සව දවස් ගැන විවිධ මත තිබුණා. පාවුල් ඒ අයට කිව්වේ මෙහෙමයි. “ඇතැම්විට කෙනෙක් අන් සියලු දවස්වලට වඩා එක දවසකට විශේෂ වැදගත්කමක් දිය හැකියි. තවත් කෙනෙක් සියලුම දවස් එක හා සමානව සලකනවා විය හැකියි. නමුත් සියලුදෙනාම තමන් කුමන දේ කළත් සිතේ සැකයක් තබා නොගෙන එය කළ යුතුයි.” අපිත් අනිත් අයගේ විශ්වාසයට හානියක් වෙන කිසිම දෙයක් නොකර ඉමු.—රෝම 14:5, 13, 15, 19, 20 කියවන්න.
10. පුද්ගලික කාරණා ගැන අනිත් අය ගන්න තීරණවලට අපි ගරු කරන්න ඕනෙ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
10 සභාවේ කෙනෙක් එයාගේ හෘදය සාක්ෂියට අනුව ගත්ත පුද්ගලික තීරණයක් ගැන සමහරවිට අපිට පුදුම හිතෙයි. ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා අපිට තේරුම්ගන්න බැරි වෙයි. ඒත් ඉක්මන් වෙලා එයාව විනිශ්චය කරන එකවත් තීරණය වෙනස් කරන්න කියලා එයාට බල කරන එකවත් සුදුසු නැහැ. සමහරවිට පුළුල්ව හිතන්න පුළුවන් විදිහට එයා එයාගේ හෘදය සාක්ෂිය තවමත් පුහුණු කරලා නැතුව ඇති. (1 කොරි. 8:11, 12) නැත්නම් සමහර කාරණා ගැන එයාගේ හෘදය සාක්ෂිය හරිම සංවේදී ඇති. අනිත් අතට අපි අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගෙන නැතුව ඇති. කොහොමවුණත් ශරීර සෞඛ්‍යය වගේ කාරණාවලදී තීරණ ගන්න ඕනෙ අපි එක් එක් කෙනා පෞද්ගලිකව. ප්‍රතිඵල මොකක් වුණත් ඒකේ වගකීම ගන්න ඕනෙත් අපි එක් එක් කෙනාමයි.
විනෝදයට කරන දේවල් ගැන තීරණ ගද්දී
11, 12. විනෝදයට කරන දේ ගැන හොඳ තීරණ ගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද?
11 යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ විනෝද වීමේ හැකියාව ඇතුවයි. ‘සිනාසෙන්න කාලයක්ද නටන්න කාලයක්ද’ තියෙනවා කියලා බයිබලෙත් කියනවා. (දේශ. 3:4) ඒත් විනෝදයට කරන හැම දෙයක්ම ප්‍රයෝජනවත්, ගතට සිතට සැහැල්ලුවක් ගේන දේවල් කියලා කියන්න බැහැ. ඒ විතරක් නෙමෙයි විනෝදය වෙනුවෙන් ඕනෑවට වඩා කාලයක් යොදවන එකෙනුත් වළකින්න ඕනේ. විනෝද වෙන්න දේවල් කරද්දී දෙවි අනුමත කරන, නියම සතුටක් ලබන්න පුළුවන් විදිහේ දේවල් තෝරගන්න හෘදය සාක්ෂිය අපිට උදව් වෙන්නේ කොහොමද?
12 “පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන” එකෙන් වළකින්න කියලා බයිබලේ කියනවා. ඒ දේවලට “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදය, සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම, බේබදුකම, ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල්” ඇතුළත්. “එවැනි දේවල් කරන අයට දෙවිගේ රාජ්‍යය උරුම නොවන බව” පාවුල් කිව්වා. (ගලා. 5:19-21) අපි ගැන හිතලා බලමු. ‘රණ්ඩුවලට බර, තරඟකාරී, ජාතිවාදී, සැහැසික ක්‍රීඩාවලින් වළකින්න කියලා මගේ හෘදය සාක්ෂිය මට කියනවද? අසභ්‍ය දේවල්, අනාචාරය, බේබදුකම, භූතවාදය වගේ දේවල් තියෙන චිත්‍රපටි බලන්න ආසාවක් ඇති වෙද්දී මගේ හෘදය සාක්ෂිය ඒ ගැන මට අනතුරු අඟවනවද?’
13. 1 තිමෝති 4:8 සහ හිතෝපදේශ 13:20 සඳහන් උපදෙස් විනෝදයට සම්බන්ධ දේවලදී අදාළ කරගන්න පුළුවන් කොහොමද?
13 විනෝදයට සම්බන්ධ කාරණාවලදී හරි තීරණ ගන්න නම් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරලා තියෙන්න ඕනේ. ඒකට බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. උදාහරණෙකට බයිබලේ කියන්නේ “ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය” කියලයි. (1 තිමෝ. 4:8) නිතිපතා ව්‍යායාම් කරද්දී ප්රබෝධයක් ලැබෙනවා වගේම හොඳ සෞඛ්‍යයක් පවත්වගන්න පුළුවන් කියලා හුඟක් අය විශ්වාස කරනවා. අපි ව්‍යායාම් කරන්න කැමති, තවත් කට්ටියක් එක්ක එකතු වෙලා කියලා හිතමු. ඕන කෙනෙක්ව ඒ කණ්ඩායමට ඇතුළත් කරගන්න එක ප්‍රශ්නයක් නැද්ද? ඒ ගැන හොඳ තීරණයක් ගන්න හිතෝපදේශ 13:20 තියෙන ප්‍රතිපත්තිය අපිට උදව් වෙනවා. එතන කියන්නේ මෙහෙමයි. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” විනෝදය සම්බන්ධ කාරණාවලදීත් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු හෘදය සාක්ෂියට එකඟව තීරණ ගන්න එක කොච්චර වැදගත්ද!
14. රෝම 14:2-4 තියෙන ප්‍රතිපත්තිය පවුලක් අදාළ කරගත්තේ කොහොමද?
14 ක්‍රිස්ටියන් සහ ඩැනියෙලා යුවළට ඉන්නේ යෞවන දුවලා දෙන්නෙක්. ක්‍රිස්ටියන් මෙහෙම කියනවා. “විනෝදයට කරන දේවල් ගැන අපි පවුලේ නමස්කාරයේදී කතා කළා. සාක්ෂිකරුවන් විදිහට අපිට කරන්න සුදුසු මොනවද නැත්තේ මොනවද කියලා අපි කතා කළා. ආශ්‍රය කරන්න තෝරගන්න පුළුවන් මොන වගේ අයවද කියලා කතා කරද්දී අපේ දුව කිව්වා ඉස්කෝලේ ඉන්න සමහර යෞවන සාක්ෂිකරුවන් විවේකය වෙලාවේ කරන සමහර දේවල් එච්චර සුදුසු නැහැ කියලා එයාට හිතෙනවා කියලා. ඒ විදිහට කරන්න එයාටත් ලොකු පීඩනයක් එනවා කියලා එයා කිව්වා. ඒ ගැන කතා කරද්දී අපි හැමෝටම හෘදය සාක්ෂියක් තියෙන නිසා අපි කරන්නේ මොනවද ඒක කරන්නේ කා එක්කද වගේ දේවල් තීරණය කරන්න ඕනෙ හෘදය සාක්ෂියෙන් දෙන මඟ පෙන්වීම්වලට අනුවයි කියලා තේරුම්ගන්න අපි එයාට උදව් කළා.”—රෝම 14:2-4 කියවන්න.
15. විනෝදය සඳහා දේවල් කරන්න සැලසුම් කරද්දී මතෙව් 6:33 අපි මතක තියාගන්න ඕනෙ ඇයි?
15 විනෝද වෙන්න ඔයා කොච්චර කාලයක් වැය කරනවද? ඔයා ජීවිතේ මුල් තැන දෙන්නේ රැස්වීම්, දේවසේවය, බයිබලේ අධ්‍යයන කරන්න වගේ දේවලටද? නැත්නම් විනෝදයටද? යේසුස් කිව්වේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය සියලු දේම ඔබට දෙනු ලැබෙයි” කියලා. (මතෙ. 6:33) ඔයාගේ කාලය පාවිච්චි කරන විදිහ ගැන සැලසුම් කරද්දී යේසුස් කියපු ඒ දේ ගැන ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාට මතක් කරනවද?
දේශනා සේවයට අපිව පොලඹවනවා
16. දේශනා සේවයේ හවුල් වෙන්න අපේ හෘදය සාක්ෂිය අපිව පොලඹවන්නේ කොහොමද?
16 හෘදය සාක්ෂිය හොඳට පුහුණු කරලා තියෙනවා නම් නරක දේවල් කරන්න එපා කියලා අනතුරු අඟවන්න විතරක් නෙමෙයි හොඳ දේවල් කරන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නත් ඒකට පුළුවන්. උදාහරණෙකට ගෙයින් ගෙට සේවයේදී වගේම හම්බ වෙන ඕනම කෙනෙක්ට ශුභාරංචිය කියන්න අපිව පොලඹවන්න ඒකට පුළුවන්. “ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම එසේ නොකළොත් එය මට මොන තරම් දුකක්ද” කියලා පාවුල් කිව්වේ ඔහු තුළ ඒ පෙලඹීම ඇති වුණු නිසයි. (1 කොරි. 9:16) පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් අපි කරන්නේ හරි දේ කියලා හෘදය සාක්ෂිය අපිට කියයි. ඒ විතරක් නෙමෙයි පාවුල් කිව්වා “සත්‍යය ප්‍රකාශ කිරීමෙන් අප දෙවි ඉදිරියේ සියලු මිනිසුන්ගේ අනුමැතිය ලබමින් ඔවුන්ට යහපත් ආදර්ශයක් වෙමු” කියලා. ඒ කියන්නේ අපි කරන දේශනා සේවය නිසා මිනිසුන්ගේ හිතේ අපි ගැන හොඳ හැඟීමක් ඇති කරන්න අපිට පුළුවන් කියන එක. සත්‍ය ආගම හඳුනගන්න ඒක එයාලට උදව්වක්.—2 කොරි. 4:2.
17. ජැක්ලින් හොඳින් පුහුණු කරපු හෘදය සාක්ෂියට එකඟව වැඩ කළේ කොහොමද?
17 වයස 16දී ජැක්ලින් ඉස්කෝලේ ඉගෙනගත්ත විෂයන්ට පරිණාමවාදය ගැන පාඩමත් ඇතුළත් වුණා. ඒ පාඩම කරද්දී එයාට දැනුණු දේ ගැන එයා මෙහෙම කියනවා. “සාමන්‍යයෙන් වෙනදා කරනවා වගේ පන්තියේ සාකච්ඡාවලට හවුල් වෙන්න මගේ හෘදය සාක්ෂිය මට ඉඩ දුන්නේ නැහැ. පරිණාමවාදයට කොයිම විදිහකින්වත් සහය වෙන්න මං කැමති වුණේ නැහැ. ඒ නිසා මං සර් ළඟට ගිහින් මගේ විශ්වාසය ගැන කිව්වා. මටත් පුදුමයි මං කියපු දේ අහලා කේන්ති ගන්නවා වෙනුවට හැම දෙයක්ම කෙනෙක් නිර්මාණය කළා කියන දේ ගැන මුළු පන්තියටම කතා කරන්න එයා මට අවස්ථාව දුන්නා.” බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු එයාගේ හෘදය සාක්ෂිය කතා කරද්දී ඒකට ඇහුම්කන් දුන්න එක ගැන එදා ජැක්ලින් කොච්චර සතුටු වෙන්න ඇද්ද! ඔයාගේ හෘදය සාක්ෂියත් හරි දේ කරන්න ඔයාව පොලඹවනවද?
18. විශ්වාසය තියන්න පුළුවන් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න එක වැදගත් ඇයි?
18 අපිට ඕනෙ යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති පිළිපදිමින් ජීවත් වෙන්න. අපේ හෘදය සාක්ෂියට පුළුවන් ඒ ඉලක්කය ජය ගන්න උදව් කරන්න. දිනපතා බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතනවා නම් ඒවා අදාළ කරගන්නවා නම් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්න අපිට පුළුවන්. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි ඔයාට දුන්න හෘදය සාක්ෂිය කියන වටිනා තෑග්ගට පුළුවන් යන්න ඕන හරි පාර මොකක්ද කියලා හැමදාම ඔයාට කියලා දෙන්න.
a 2004 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 29-31 පිටුවල සඳහන් “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න.