යොවුන් සිතේ ගැටලු
මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?
ඔයාගේ හෘදය සාක්ෂිය සමාන කරන්න පුළුවන් මේවාවලින් මොන එකටද?
මාලිමාවකට
කණ්ණාඩියකට
යාළුවෙක්ට
විනිශ්චයකරුවෙක්ට
ඇත්තම කියනවා නම් ඔයාගේ හෘදය සාක්ෂිය ඒ හැම එකකටම සමාන කරන්න පුළුවන්. එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපියේ කතා කරනවා.
හෘදය සාක්ෂිය කියන්නේ මොකක්ද?
හෘදය සාක්ෂිය කියන්නේ හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න ඔයාට තියෙන හැකියාවට. එක බයිබල් පරිවර්තනයක කියනවා ඒක හරියට “සිත්හි ලියවී ඇති ව්‍යවස්ථාවේ නියමයන් වගේ” කියලා. (රෝම 2:15, නව අනුවාදය) ඔයාගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරලා නම් ඒකට පුළුවන් ඔයා දෙයක් කරන්න යද්දී නැත්නම් ඔයා දෙයක් කළාට පස්සේ ඒක හරිද වැරදිද කියලා ඔයාට කියන්න.
ඔයාගේ හෘදය සාක්ෂිය හරියට මාලිමාවක් වගේ. අනතුරුවලින් වැළකිලා හරි මාර්ගයේ යන්න ඒක ඔයාට මඟ පෙන්නනවා.
ඔයාගේ හෘදය සාක්ෂිය හරියට කණ්ණාඩියක් වගේ. ඔයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා ඒකෙන් පෙන්නනවා.
ඔයාගේ හෘදය සාක්ෂිය හරියට හොඳ යාළුවෙක් වගේ. ඔයා ඒකට සවන් දෙනවා නම් ඔයාට හොඳ මඟ පෙන්වීම් දීලා සාර්ථක වෙන්න ඔයාට උදව් කරන්න ඒකට පුළුවන්.
ඔයාගේ හෘදය සාක්ෂිය හරියට විනිශ්චයකරුවෙක් වගේ. ඔයා වැරදි දෙයක් කළාම ඒක ඔයාට කියනවා.
මේක මතක තියාගන්න: ඥානවන්ත තීරණ ගන්නත් ඔයා අතින් වුණු වැරදි ගැන පසුතැවිලා ඒවා හදාගන්නත් ඔයාට උදව් කරන්න ඔයාගේ හෘදය සාක්ෂියට පුළුවන්.
ඔයාගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න ඕනෙ ඇයි?
‘නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්න’ කියලා බයිබලේ අපිට කියනවා. (1 පේතෘස් 3:16) ඔයාගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරලා නැත්නම් ඒක කරන එක ලේසි නැහැ.
“මං කොහේද ඉන්නේ කියලා අහද්දී මං අම්මලාට බොරු කිව්වා. ගෙදර ආවමත් මං ඒ ගැන ඇත්ත කිව්වේ නැහැ. මුලින් මං එහෙම කරද්දී මගේ හිත මට වධ දුන්නා. ඒත් කාලයක් යද්දී මං කරන්නේ වැරැද්දක් කියලා මට දැනුණේ නැහැ.”—ජෙනිෆර්.
අන්තිමේදී දෙමාපියන්ට ඇත්ත කියන්න ජෙනිෆගේ හෘදය සාක්ෂිය එයාව පෙලඹුවා.
හිතන්න දෙයක්: හරි නම් ජෙනිෆර්ගේ හෘදය සාක්ෂිය එයාට මුලින්ම කතා කරන්න ඕනෙ එයා මොන දේ කරද්දීද?
“ගෙදරට එක මූණක් පිටට තව මූණක් පෙන්නන එක ලේසි නැහැ. එක වැරදි තීරණයක් ගන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඉඩ දුන්නාම ඊළඟ වැරදි තීරණය ගන්න එක ලේසියි.”—මැතිව්.
සමහරු එයාලගේ හෘදය සාක්ෂියට කොහොමටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. එයාලට ”කිසිම හැඟීමක් දැනීමක් නැහැ” කියලා බයිබලේ කියනවා. (එෆීස 4:19) තවත් බයිබල් පරිවර්තනයක කියන්නේ “ඒ අයට ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ” කියලා.
හිතන්න දෙයක්: වැරදි දෙයක් කළාම කෙනෙක්ගේ හිත වධ දෙන්නේ නැත්නම් ඒක හොඳ දෙයක්ද? ඒ වගේ අය අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද?
මේක මතක තියාගන්න: නිදොස් හෘදය සාක්ෂියක් පවත්වගන්න නම් ඔයා ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරලා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න පුහුණු වෙලා ඉන්න’ ඕනේ.—හෙබ්‍රෙව් 5:14.
ඔයාගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
ඔයාගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න නම් ඔයාට අනුගමනය කරන්න ප්‍රමිති තියෙන්න ඕනේ. සමහරු ජීවත් වෙන්නේ මේ අයගේ ප්‍රමිතිවලට අනුව:
පවුලේ අයගේ
එකම වයසේ අයගේ
ජනප්‍රිය පුද්ගලයන්ගේ
ඒත් ඒ ඕනෙම කෙනෙක්ගේ ප්‍රමිතිවලට වඩා අපි ජීවත් වෙන්න ඕන විදිහ ගැන බයිබලේ දීලා තියෙන ප්‍රතිපත්ති හරිම උසස්. ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලේ ලියලා තියෙන්නේ අපිව නිර්මාණය කරපු, අපිට හොඳම දේ මොකක්ද කියලා දන්න ‘දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්.’—2 තිමෝති 3:16.
මේ උදාහරණ බලන්න.
ප්‍රතිපත්තිය: “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.
විභාගයකදී කොපි කරන්න, ඔයාගේ දෙමාපියන්ට බොරු කියන්න නැත්නම් හොරකම් කරන්න ඔයාට පෙලඹීමක් එද්දී ඒ ප්‍රතිපත්තිය ඔයාගේ හෘදය සාක්ෂියට කොයි විදිහට උදව් කරයිද?
හැම කාරණයකදීම අවංකව වැඩ කරන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාව පොලඹවනවා නම් ඒක ඔයාට දැනුත් අනාගතයේදීත් උදව් වෙන්නේ කොහොමද?
ප්‍රතිපත්තිය: “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.”—1 කොරින්ති 6:18.
කාමුක දර්ශන බලන්න නැත්නම් විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඔයාට පෙලඹීමක් එද්දී ඒ ප්‍රතිපත්තිය ඔයාගේ හෘදය සාක්ෂියට කොයි විදිහට උදව් කරයිද?
වේශ්‍යාකමින් වළකින්න ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාව පොලඹවනවා නම් ඒක ඔයාට දැනුත් අනාගතයේදීත් උදව් වෙන්නේ කොහොමද?
ප්‍රතිපත්තිය: ’එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.’—එෆීස 4:32.
පවුලේ කෙනෙක් හෝ යාළුවෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රතිපත්තිය මොකක් කරන්න ඔයාව පොලඹවයිද?
අනිත් අයට කරුණාවන්තව සලකන්න දයානුකම්පාව පෙන්නන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාව පොලඹවනවා නම් ඒක ඔයාට දැනුත් අනාගතයේදීත් උදව් වෙන්නේ කොහොමද?
ප්‍රතිපත්තිය: ‘යෙහෝවා දෙවි සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කරන්නේය.’—ගීතාවලිය 11:5.
ෆිල්ම්ස්, TV වැඩසටහන්, වීඩියෝ ගේම්ස් ඔයා තෝරගද්දී ඒ ප්‍රතිපත්තිය ඔයාට කොයි විදිහෙන් උදව් කරයිද?
විනෝදය සඳහා ගහ මරාගන්න දේවල් තෝරගන්නේ නැතුව ඉන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාව පොලඹවනවා නම් ඒක ඔයාට දැනුත් අනාගතයේදීත් උදව් වෙන්නේ කොහොමද?
ඇත්ත සිදුවීමක්: “ගහ මරාගන්න දේවල් ඇතුළත් වීඩියෝ ගේම්ස් ගහන අයව මං ආශ්‍රය කළා. මාත් ඒ ගේම්ස් ගැහුවා. ඒත් ඒ වගේ ගේම්ස් ගහන්න එපා කියලා තාත්තා මට කිව්වා. ඒ නිසා මං යාළුවන්ගේ ගෙවල්වල ගියාම ඒවා ගැහුවා. ගෙදර ආවාම මං ඒ ගැන අම්මලාට මුකුත් කිව්වේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා තාත්තා මගෙන් ඇහුවත් ‘නෑ. මට කිසි ප්‍රශ්නයක් නෑ’ කියලා මං තාත්තාට කිව්වා. දවසක් මං ගීතාවලිය 11:5 කියෙව්වා. ඒක කියෙව්වාම මං කරන දේ ගැන මගේ හිත වධ දෙන්න පටන්ගත්තා. ගහ මරාගන්න දේවල් තියෙන වීඩියෝ ගේම්ස් මං ගහන එක නවත්තන්න ඕනෙ කියලා මට තේරුණා. මේ පාර නම් මං ඒක සම්පූර්ණයෙන්ම නතර කළා. මං කරපු දේ දැකලා මගේ යාළුවෙකුත් ඒ ගේම්ස් ගහන එක නතර කළා.”—ජෙරමි.
හිතන්න දෙයක්: ජෙරමිගේ හෘදය සාක්ෂිය එයාට අනතුරු අඟවන්න පටන්ගත්තේ කොයි අවස්ථාවේදීද? එයා ඒකට සවන් දෙන්න පටන්ගත්තේ කොයි අවස්ථාවේදීද? ජෙරමිගේ අද්දැකීමෙන් ඔයා මොනවාද ඉගෙනගන්නේ?
මේක මතක තියාගන්න: ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, ඔයාට වැදගත් මොනවාද කියලා ඔයාගේ හෘදය සාක්ෂිය වැඩ කරන විදිහෙන් පේනවා. ඔයා කොයි වගේ කෙනෙක් කියලාද ඔයාගේ හෘදය සාක්ෂිය කියන්නේ?