“සෝදිසියෙන් ඉන්න” ඕනෙ ඇයි?
“ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.”—මතෙ. 24:42.
1. කාලය ගැන, අපි අවට සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න එක වැදගත් ඇයි කියලා පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
සමුළුව පටන්ගන්න වෙලාව හරි. සභාපති වේදිකාවට ඇවිත් හැමෝවම පිළිගන්නවා. සමුළුවේ දේශන පටන්ගන්න කලින් වාදනය කරන මිහිරි සංගීතයට සවන් දෙන්න දැන් වෙලාව හරියි කියලා ඇවිත් ඉන්න අය තේරුම්ගන්න නිසා තමන්ගේ අසුන්වල ඉඳගන්නවා. ඒත් සභාපති වේදිකාවට ආවා කියලවත් සංගීතය පටන්ගත්තා කියලවත් සමහරුන්ගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. එයාලා යාළුවෝ එක්ක කතා කරකර නැත්නම් එහේ මෙහේ ඇවිදඇවිද ඉන්නේ වැඩසටහන පටන්ගන්න වෙලාව හරියි කියලා තේරුම්ගන්නේ නැති නිසයි. කාලය ගැන, අවට සිද්ධ වෙන දේවල් ගැන අපිට හරි අවබෝධයක් නැත්නම් වැදගත් දේවල් අතපසු වෙන්න පුළුවන් කියලා ඒ සිද්ධියෙන් පැහැදිලියි. ඒක අපි හිතට ගන්න එක වැදගත්. මොකද මීට කලින් කවදාවත් අද්දැකලා නැති සිදුවීමකට ළඟදීම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි සූදානමින් ඉන්න ඕන ඒ සිදුවීම මොකක්ද?
2. “සෝදිසියෙන් සිටින්න” කියලා යේසුස් අනුගාමිකයන්ට කිව්වේ ඇයි?
2 “පවතින සමාජයේ අවසානය” ගැන යේසුස් අනතුරු අඟවද්දී ඔහු කිව්වේ “නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න” කියලයි. ඊටපස්සේ කීප වතාවක්ම “සෝදිසියෙන් සිටින්න” කියලා ඔහු තම අනුගාමිකයන්ට මතක් කළා. (මතෙ. 24:3; මාක් 13:32-37 කියවන්න.) සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම යේසුස් කොච්චර කාවැද්දුවද කියලා මතෙව්ගේ වාර්තාවෙනුත් අපිට පැහැදිලි වෙනවා. ඔහු ගෝලයන්ට කිව්වේ “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ” කියලයි. ඊටපස්සේ ඔහු ආයෙත් මෙහෙම කිව්වා. “ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි.” “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ” කියලා ඔහු තවත් වතාවක් කිව්වා.—මතෙ. 24:42-44; 25:13.
3. යේසුස් දුන්න අනතුරු ඇඟවීමට අපි අවධානය දෙන්නේ ඇයි?
3 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් දුන්න අනතුරු ඇඟවීම කිසිවිටක සැහැල්ලුවට ගන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” අන්තිම කෙළවරේ කියලා අපිට නිසැකයි. “මහත් පීඩාව” පටන්ගන්න වැඩි දවසක් නැහැ. (දානි. 12:4; මතෙ. 24:21) අවසාන කාලය ගැන යේසුස් කියපු ලකුණ දැන් ඉටු වෙනවා. මිනිසුන් යුද්ධ නිසා බැට කනවා. හුඟක් අයට කන්න නැහැ. හැම තැනම වසංගත, භූමිකම්පා. ආගම් නිසා මිනිසුන් නොමඟ ගිහින්. බලන බලන තැන තියෙන්නේ බිහිසුණු දේවල්. ඒ අතරේ දෙවිගේ සෙනඟ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකෙ අස්සක් මුල්ලක් නෑර දේශනා කරනවා. (මතෙ. 24:7, 11, 12, 14; ලූක් 21:11) අපේ ස්වාමීන් වන යේසුස් දෙවිගේ අරමුණ ඉටු කරන්න ළඟදීම එනවා. ඒ දවස එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.—මාක් 13:26, 27.
ඒ දවස ළඟටම ඇවිත්!
4. (අ) හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්න දවස දැන් යේසුස් දන්නවා කියලා අපිට හිතන්න පුළුවන් ඇයි? (ආ) මහත් පීඩාව පටන්ගන්න දවස අපි දන්නේ නැති වුණත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?
4 පළවෙනි ඡේදයේ කතා කරපු සිද්ධියේදී හුඟදෙනෙක් තමන්ගේ අසුන්වලට ආවේ සමුළු සැසිවාරය පටන්ගන්න වෙලාව එයාලා දැනගෙන හිටපු නිසයි. ඒත් මහත් පීඩාව පටන්ගන්නේ මෙන්න මේ වෙලාවෙයි කියලා අපි කාටවත් හරියටම කියන්න බැහැ. යේසුස් කිව්වේ “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ” කියලයි. (මතෙ. 24:36) ඒත් දැන් නම් යේසුස් ඒ දවස ගැන දන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද හර්–මගෙදොන් යුද්ධයට නායකත්වය දෙන්නේ යේසුස්. (එළි. 19:11-16) ඒත් අපි ඒ දවස දන්නේ නැහැ. ඒ නිසයි සෝදිසියෙන් ඉන්න එක වැදගත්. මහත් පීඩාව පටන්ගන්න දවස යෙහෝවා දෙවි දැන් තීරණය කරලා ඉවරයි. ගත වෙන හැම දවසක් ගානේම අපි ඒ දවසට ළං වෙනවා. නියම කරලා තියෙන දවසට වඩා එක දවසක්වත් ‘එය ප්‍රමාද වෙන්නේ නැහැ.’ (හබක්කුක් 2:1-3 කියවන්න.) ඒ ගැන අපිට නිසැක ඇයි?
5. දෙවි කියපු දේවල් නියමිත කාලෙදී ඒ විදිහටම ඉටු වෙනවා. ඒක උදාහරණෙකින් පැහැදිලි කරන්න.
5 දෙවි දීපු අනාවැකි නියමිත කාලෙදී ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගත්ත දවස ඒකට හොඳ උදාහරණයක්. ඒ ක්‍රි.පූ. 1513 නීසාන් 14වෙනිදා. මෝසෙස් පස්සේ කාලෙක ඒ දවස ගැන කිව්වේ මෙහෙමයි. “අවුරුදු හාරසිය තිහ අවසන් වූ දවසේදී යෙහෝවා දෙවිට අයිති සේනාවක් බඳු මුළු ඊශ්‍රායෙල් ජාතියම ඊජිප්තු දේශයෙන් පිටත්ව ගියෝය.” (නික්. 12:40-42) ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට ආශීර්වාද කරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඊට හරියටම අවුරුදු 430කට කලින් ඒ කියන්නේ ක්‍රි.පූ. 1943 නීසාන් 14වෙනිදා ස්ථිර කළා. (ගලා. 3:17, 18) ඊට කාලෙකට පස්සේ දෙවි ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි. ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.” (උත්. 15:13; ක්‍රියා 7:6) ඒ අවුරුදු 400 පටන්ගත්තේ ක්‍රි.පූ. 1913දී ඉෂ්මායෙල් ඊසාක්ට හිරිහැර කරන්න පටන්ගත්ත අවස්ථාවේදියි. ඒක ඉවර වුණේ දෙවි ඊජිප්තුවෙන් ඔහුගේ සෙනඟව බේරගත්ත දවසේදියි. (උත්. 21:8-10; ගලා. 4:22-29) අවුරුදු සිය ගාණකට කලින්ම දෙවිට පුළුවන් වුණා තමන්ගේ සෙනඟව බේරගන්න දවස හරියටම කියන්න.
6. යෙහෝවා දෙවි තම සෙනඟව බේරගන්නවා කියලා අපිට නිසැක ඇයි?
6 ඊජිප්තුවෙන් බේරිලා ආපු කෙනෙක් වුණ යොෂුවා අවුරුදු ගාණකට පස්සේ අතීතය මතක් කරලා සෙනඟට මෙහෙම කිව්වා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” (යොෂු. 23:2, 14) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව මහත් පීඩාවෙන් බේරගෙන ඒ අයට පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා අපි දන්නවා. ඒත් ඒක අද්දකින්න නම් සෝදිසියෙන් ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්.
සෝදිසියෙන් ඉන්න එක අත්‍යවශ්‍යයි
7, 8. (අ) මුරකරුවන්ගේ වගකීම වුණේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (ආ) මුරකරුවන්ට නින්ද ගියොත් වෙන්න පුළුවන් හානිය උදාහරණෙකින් පැහැදිලි කරන්න.
7 සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම ගැන අතීතයේ හිටපු මුරකරුවන්ගෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. යෙරුසලම වගේ විශාල නගර ආරක්ෂා කරන්න නුවර වටේට ලොකු පවුරු හදලා තිබුණා. පවුර උඩ හිටපු මුරකරුවන්ට නුවර අවට මුළු ප්‍රදේශයම හොඳින් පේනවා. තව මුරකරුවන් පිරිසක් හිටියේ නුවර දොරටු ළඟ. ඒ තැන්වල දිවා රෑ දෙකේම මුරකරුවන් හිටියා. සතුරු උවදුරු ගැන නුවරේ වැසියන්ට දැනුම් දෙන එක එයාලගේ වගකීමයි. (යෙසා. 62:6) නිතරම අවදියෙන්, වෙන්නේ මොනවද කියලා හොඳ සෝදිසියෙන් ඉන්න එක කොච්චර වැදගත්ද කියලා එයාලා දැනගෙන හිටියා. එයාලා සෝදිසියෙන් හිටියේ නැත්නම් නුවරේ වැසියන්ට අත් වෙන්නේ ලොකු විනාශයක්.—එස. 33:6.
8 ඉතිහාසඥ ජොසීෆස්ගේ වාර්තාවට අනුව ක්‍රි.ව. 70දී රෝමවරු යෙරුසලමට ඇතුල් වුණේ නගරේ යම් පැත්තක් මුර කරමින් හිටපු අය නිදාගෙන හිටපු වෙලාවකයි. ඒ නිසා ලේසියෙන්ම නගරේට ඇතුල් වුණ රෝම සොල්දාදුවන් දේවමාලිගාවට ගිහින් ඒක ගිනිබත් කළා. මුළු යෙරුසලමම විනාශ කළා. ඒක තමයි යුදෙව් ජාතිය අද්දැක්ක දරුණුම පීඩාවේ අවසානය.
9. අද ඉන්න වැඩිදෙනෙක් තේරුම් අරන් නැත්තේ මොකක්ද?
9 අද තියෙන ආණ්ඩුත් තමන්ගේ රටේ දේශ සීමා මුර කරන්න හමුදා භටයන් සහ විවිධ ආරක්ෂිත ක්‍රම භාවිත කරනවා. රටට තර්ජනයක් වෙන අය ගැන, දේවල් ගැන ඒ භටයන් නිතරම ඉන්නේ ඇහැ ගහගෙන. ඒත් කිසිම ආණ්ඩුවක් තේරුම් අරන් නැති දෙයක් තියෙනවා. ඒ තමයි හැම ආණ්ඩුවකටම වඩා බලවත් ආණ්ඩුවක් දැන් ස්වර්ගයේ පිහිටුවලා තියෙනවා කියන දේ. ඒකේ නායකයා යේසුස්. ඒ ආණ්ඩුව ළඟදීම පොළොවේ තියෙන හැම ආණ්ඩුවක් එක්කම යුද්ධ කරනවා. (යෙසා. 9:6, 7; 56:10; දානි. 2:44) ඒ දවස එන කල් අපි උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. අපිට ඕනෙ ඒ දවසට සූදානමින් ඉන්න. ඒ නිසා බයිබලේ තියෙන අනාවැකි අපි උනන්දුවෙන් අධ්‍යයනය කරනවා වගේම දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.—ගීතා. 130:6.
පරෙස්සමින්! අවධානය බිඳෙන්න පුළුවන්
10, 11. (අ) අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොනවා ගැනද? ඒ ඇයි? (ආ) බයිබල් අනාවැකිවලට මිනිසුන් අවධානය දෙන්නේ නැත්තේ යක්ෂයාගේ බලපෑම නිසා කියලා ඔයා කියන්නේ ඇයි?
10 මුළු රැයක් පුරාම ඇහැරගෙන ඉන්න මුරකරුවෙක් ගැන හිතන්න. මධ්‍යම රාත්‍රිය පහු වෙලා අලුයම ළං වෙද්දී තමයි එයාට ඇහැරගෙන ඉන්න අමාරුම. ඒ වෙද්දී එයා ඉන්නේ හොඳටම මහන්සියෙන්. අද අපි ඉන්නෙත් දුෂ්ට සමාජයේ අවසානය අද්දර. අවසානය ළං වෙන්න වෙන්න අවදිව, සෝදිසියෙන් ඉන්න එක අමාරු වෙනවා. අපිට අවදියෙන් ඉන්න බැරි වුණොත් ඒක මොන තරම් කනගාටුදායකද! සෝදිසියෙන් ඉන්න එක අමාරු කරන දේවල් 3ක් ගැන බලමු.
11 යක්ෂයා මිනිසුන්ව රවටනවා. යේසුස් මිය යන්න ටික දවසකට කලින් “මේ ලෝකයේ පාලකයා” සාතන් කියලා ඔහුගේ ගෝලයන්ට 3 වතාවක්ම මතක් කළා. (යොහ. 12:31; 14:30; 16:11) යේසුස් දැනගෙන හිටියා සාතන් මිනිසුන්ව නොමඟ යවනවා කියලා. මිනිසුන්ව රවටන්න යක්ෂයා යොදාගන්න එක දෙයක් තමයි අසත්‍ය උගන්වන ආගම්. දුෂ්ට සමාජයේ අවසානය ළඟයි කියලා බයිබලේ තියෙන අනාවැකිවලින් හොඳින්ම පැහැදිලි වුණත් මිනිසුන්ට ඒක තේරෙන්නේ නැත්තේ ඒ නිසයි. (ශෙප. 1:14) “විශ්වාසයක් නැති එවැනි අයගේ මනස් මේ සමාජයේ දෙවියා අන්ධ කර ඇත” කියලා නම් කිසිම සැකයක් නැහැ. (2 කොරි. 4:3-6) අවසානය ළඟයි කියලත් යේසුස්ගේ පාලනය පටන් අරන් කියලත් අපි මිනිසුන්ට කොච්චර දැනුම් දුන්නත් ඒ අය ඒක කනකටවත් ගන්නේ නැත්තේ ඒ නිසයි.
12. යක්ෂයාට අපි රැවටෙන්න හොඳ නැත්තේ ඇයි?
12 අද ඉන්න හුඟක් අයට බයිබලේ තියෙන අනාවැකි ගැන කිසිම උනන්දුවක් නැහැ. ඒත් අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ. මොකද “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන්” කියලා අපි දන්න නිසා සෝදිසියෙන් ඉන්න එක හරිම වැදගත්. (1 තෙසලෝනික 5:1-6 කියවන්න.) “ඔබ නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදී” කියලා යේසුත් කිව්වා. (ලූක් 12:39, 40) සාතන් මිනිසුන්ව කොච්චර දුරට රවටනවද කියනවා නම් ලෝකෙට “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා මිනිසුන් ළඟදීම හිතන්න යනවා. ඒත් එක්කම නොසිතන මොහොතක යෙහෝවා දෙවිගේ මහත් දවස පටන්ගන්නවා. ඒක ඒ අයට අදහාගන්න බැරි දෙයක් වෙයි. අපි ගැන මොනවද කියන්න පුළුවන්? වැඩිදෙනෙක් සාතන්ට රැවටුණත් අපි රැවටෙන්නේ නැතුව ඉන්න නම් “අවදිව, හොඳ සිහිකල්පනාවෙන්” ඉන්නම ඕනේ. දිනපතා බයිබලේ කියවලා ඒ හරහා දෙවි අපිට කියන දේවල් ගැන හොඳට හිතනවා නම් ඒක කරන්න අපිට පුළුවන්.
13. දුෂ්ට සමාජය මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරලා තියෙන්නේ කොහොමද? ඒ උගුලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?
13 දුෂ්ට සමාජය මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරනවා. අද හුඟදෙනෙක්ට දෙවි ගැන දැනගන්න කිසිම වුවමනාවක් නැහැ. (මතෙ. 5:3) ඒ වෙනුවට එයාලගේ මුළු කාලය, ශ්‍රමය යොදවන්නේ මේ ලෝකය ඉදිරිපත් කරන දේවල් ලබාගන්න. (1 යොහ. 2:16) ඒ වගේම වෙන කවරදාකටත් වඩා අද විනෝද වෙන්න තියෙන දේවල කෙළවරක් නැහැ. ඒවාවලින් මිනිසුන්ව පොලඹවන්නේ හැම ආශාවක්ම තෘප්තිමත් කරගන්න කියලයි. විනෝදයෙන් තොර ජීවිතයක් නැහැ කියලා හිතන්නයි. (2 තිමෝ. 3:4) ඒ දේවල් නිසා ජීවිතේ වඩා වැදගත්ම දේ වන දෙවි එක්ක තියෙන බැඳීමට දෙන්න ඕන අවධානය වෙනතකට යොමු වෙනවා. තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගන්න මුළු අවධානය දෙනවා වෙනුවට “නින්දෙන් අවදි වෙන්න” දැන් කාලය කියලා පාවුල් කිව්වේ ඒ නිසයි.—රෝම 13:11-14.
14. ලූක් 21:34, 35 තියෙන අනතුරු ඇඟවීම මොකක්ද?
14 අපිට ඕනෙ මේ ලෝකෙ අය හිතන විදිහට හිතන්න නෙමෙයි. දෙවි හිතන විදිහට හිතන්නයි. දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ළඟදීම වෙන්න තියෙන දේවල් තේරුම්ගන්න අපිට උදව් කරලා තියෙන්නේ ඒ නිසයි.[1] (1 කොරි. 2:12) ඒත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. ජීවිතේ සාමාන්‍ය දේවල් කියලා අපි හිතන දේවලට වුණත් පුළුවන් අපේ අවධානය දෙවිට කරන සේවයෙන් අයින් කරන්න. (ලූක් 21:34, 35 කියවන්න.) ඒ වගේම අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා විශ්වාස කරන එක මෝඩ දෙයක් කියලා සමහරු අපිට කියයි. (2 පේතෘ. 3:3-7) එයාලා කියන දේවල් අහලා අධෛර්යය වෙන්න එපා. මොකද අවසානය ළඟයි කියලා කියන්න අපිට ඕන තරම් සාක්ෂි තියෙනවා. දෙවි හිතන විදිහට හිතන්න නම් අපි අත් නෑර රැස්වීම්වලට සහභාගි වෙන්න ඕනේ. අපේ සහෝදරයන්ව කිට්ටුවෙන් ඇසුරු කරන්න ඕනේ.
15. පේතෘස්, යාකොබ් සහ යොහන් අහු වුණ උගුල මොකක්ද? ඒකට අපිත් අහු වෙන්න පුළුවන් කොහොමද?
15 අපේම දුර්වලකම් අවදියෙන් ඉන්න අපිට බාධාවක්. පාපය උරුම වෙලා තියෙන නිසා මිනිසුන් අතින් දුර්වලකම් වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. යේසුස් මිය ගිය දවසේ රාත්‍රියේ වුණ දෙයක් ගැන දැන් බලමු. තමන් පරිපූර්ණ කෙනෙක් වුණත් දිගටම විශ්වාසවන්තව ඉන්න නම් තම පියාගේ උදව් අත්‍යවශ්‍යයි කියලා දැනගෙන හිටපු යේසුස්, පියා එක්ක යාච්ඤාවෙන් කතා කළා. එහෙම යාච්ඤා කරන කල් අවදිව, සෝදිසියෙන් ඉන්න කියලා ඔහු එක්ක හිටපු පේතෘස්, යාකොබ් සහ යොහන්ටත් කිව්වා. ඒත් ඒකේ වැදගත්කම එයාලා තේරුම්ගත්තේ නැහැ. වෙහෙස නිසා එයාලා ඉක්මනින්ම නින්දට වැටුණා. එදා යේසුස් හිටියෙත් හුඟක් මහන්සියෙන්. ඒත් ඔහු දිගටම අවදියෙන් ඉඳලා දෙවිට යාච්ඤා කළා. නියෝජිතයන්ට කරන්න තිබුණෙත් ඒ දේමයි.—මාක් 14:32-41.
16. ලූක් 21:36 කියන විදිහට ‘අවදිව ඉන්න’ නම් අපි මොකක් කරන්න ඕනෙ කියලද යේසුස් කිව්වේ?
16 “අවදිව” ඉඳලා ළඟදීම එන දෙවිගේ දවසට සූදානමින් ඉන්න අපිට පුළුවන් කොහොමද? හරි දේ කරන්න අපි තුළ ලොකු ආසාවක් තියෙන්න ඕනේ. ඒත් ඒ විතරක්ම මදි. මිය යන්න දවස් කීපයකට කලින් යේසුස් නියෝජිතයන්ට කිව්වේ දිගටම යෙහෝවා දෙවිගේ උදව් ඉල්ලලා යාච්ඤා කරන්න කියලයි. (ලූක් 21:36 කියවන්න.) මේ අවසාන දවස්වල සෝදිසියෙන් ඉන්න නම් අපිත් නිතරම යාච්ඤා කරන්න ඕනේ.—1 පේතෘ. 4:7.
සෝදිසියෙන් ඉන්න!
17. ළඟදීම සිද්ධ වෙන්න තියෙන දේවලට මුහුණ දෙන්න අපි ඉන්නේ සූදානමින් කියලා ඔප්පු කරන්නේ කොහොමද?
17 යේසුස් කිව්වේ අවසානය එන්නේ ‘අපි නොසිතන පැයකදී’ කියලයි. (මතෙ. 24:44) ඒ නිසා හැම වෙලාවෙම අපි ඉන්න ඕනෙ ලෑස්ති පිට. සතුට මේකයි කියලා සාතන්ගේ ලෝකෙ මවලා පෙන්නන මිරිඟුව පස්සේ යන්න දැන් කාලේ නෙමෙයි. ඒක කවදාවත් සැබෑ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සෝදිසියෙන් ඉන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවිත් යේසුත් බයිබලෙන් අපිට කියලා දෙද්දී ඒකට සවන් දෙමු. අනාවැකි ඉටු වෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉමු. දිගටම දෙවිත් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගෙන දේවරාජ්‍යයට මුල් තැන දෙමු. එතකොට අවසානය එද්දී ඒකට මුහුණ දෙන්න අපි ඉන්නේ සූදානමින් කියලා ඔප්පු කරන්න අපිට පුළුවන් වෙයි. (එළි. 22:20) අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ ඒ දේ මතයි.