අපගේ නමස්කාර ස්ථානය හොඳින් නඩත්තු කර තබාගනිමු
1 ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 94,000කට වඩා තිබේ. සභාවන්ගෙන් වැඩි හරියක්ම බයිබල් අධ්‍යයනය සඳහා සහ ක්‍රිස්තියානි ඇසුර සඳහා රාජ්‍ය ශාලාවකට එක්රැස් වෙන අතර, එය පවිත්‍ර නමස්කාරයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානය ලෙස සැලකේ.
2 නිතිපතා සැලැස්මකට අනුව පිරිසිදු කිරීම: රාජ්‍ය ශාලාව නඩත්තු කිරීමේ වැඩකටයුතු අපගේ පරිශුද්ධ සේවයේ අතිවැදගත් කොටසකි. අපගේ දේවසේවය පොතේ පිටු 61-2හි මෙසේ සඳහන් වෙයි. “රාජ්‍ය ශාලාවට මූල්‍යමය අතින් සහයෝගය දැක්වීම පමණක් නොව, එය පවිත්‍රව හොඳ පෙනුමකින් යුතුව නවීකරණය කරමින් තබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට ලැබීම වරප්‍රසාදයක් ලෙස සහෝදරයන් විසින් සැලකිය යුතුයි. ඇතුළතින් මෙන්ම පිටතින්ද රාජ්‍ය ශාලාව යෙහෝවාගේ සංවිධානය හොඳින් නියෝජනය කරන්නක් විය යුතුය.” රාජ්‍ය ශාලාවක් සෑම සතියකම වතා කිහිපයක් පාවිච්චි කරනු ලබන හෙයින්, එය නිතිපතා පිරිසිදු කිරීමටත් නඩත්තු කිරීමටත් අවශ්‍යතාවක් තිබේ. සාමාන්‍යයෙන් මෙය කරනු ලබන්නේ සභා රැස්වීම්වලට පැමිණෙන ස්වේච්ඡා සේවකයන් විසිනි. බයිබල් කාලවලදී මෙන්ම, අද දිනත් යෙහෝවාගේ සේවකයන් නමස්කාර ස්ථානය “හරිගැස්සීමටත් අලුත්වැඩියා කිරීමටත්” කඩිසර ලෙස ක්‍රියා කළ යුතුය.—2 ලේකම් 34:10.
3 සතිපතා රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් දැන්වීම් පුවරුවේ දැමිය යුතුයි. සෑම සතියකම සියලුම පොත් පාඩම් කණ්ඩායම් මාරුවෙන් මාරුවට ශාලාව පිරිසිදු කළ යුතු අතර, කිරීමට තිබෙන දේවල් එකිනෙක ඉටු කළ හැකිය. මීට හවුල් විය හැකි සෑම කෙනෙකුම රාජ්‍ය ශාලාව පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීමේ වරප්‍රසාදයට සතිපතා හවුල් විය යුතුය. දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ දරුවන්වද මීට හවුල් කරගත හැකි අතර, එසේ කිරීමෙන් තමන් සතුව ඇති මෙම වරප්‍රසාදය කෙරෙහි අගය පෙන්වීමට ඔවුන්ට ඉගැන්විය හැකියි. විශේෂයෙන්ම, එක් සභාවකට වඩා වැඩියෙන් රාජ්‍ය ශාලාවක් පාවිච්චි කරන විට, හොඳ සහයෝගයක් සැමගෙන් අවශ්‍ය කෙරේ. එවිට අපගේ නමස්කාරයේ මෙම අංගය පිළිබඳ වගකීම ස්වල්පදෙනෙකුගේ කර මත පමණක් වැටෙන්නේ නැත.
4 කිරීමට තිබෙන වැඩකටයුතු පිළිබඳ ලැයිස්තුවක්, විශේෂයෙන්ම උපකරණ තබා ඇති ස්ථානයේ ඇලවිය හැකියි. මෙම ලැයිස්තුවට, දූවිලි පිසදමා පිරිසිදු කිරීම, ජනේල පිරිසිදු කිරීම, කවුන්ටරවල උඩ පැත්තේ දූවිලි පිස දැමීම, කසළ භාජන හිස් කිරීම, බිම වතුරෙන් පිස දැමීම සහ කණ්ණාඩි පිරිසිදු කිරීම ඇතුළත් විය යුතු අතර, සතිපතා කළ යුතු දේවල් ගැන පැහැදිලිව සඳහන් වී තිබිය යුතුය. ඇතැම් පිරිසිදු කිරීම් කළ යුත්තේ විටින් විටය. ඒවා අතරට ලී බඩු ඔප දැමීම, පුටු, තිර රෙදි, හා විදුලි පහන් ආවරණ හොඳින් පිරිසිදු කිරීම වැනි දෑ ඇතුළත් විය හැකියි. පිරිසිදු කිරීමේදී භාවිත කෙරෙන සියලුම රසායනික ද්‍රව්‍ය ළමුන්ගෙන් වෙන් කොට තැබිය යුතු අතර, ඒවා පැහැදිලිව ලේබල් කර තිබිය යුතුය. එම රසායනික ද්‍රව්‍යයන් පාවිච්චි කළ යුතු පිළිවෙළ ගැන කෙටි පැහැදිලි කිරීමක්ද සඳහන් කර තිබිය යුතුයි.
5 රාජ්‍ය ශාලාව තුළ ආරක්ෂාව ඉතා ඉහළින් සැලකිය යුතු වැදගත් අවශ්‍යතාවකි. (ද්වි. 22:8) ඇති විය හැකි අනතුරු වළක්වාලීම පිණිස 4වන පිටුවේ තිබෙන කොටුවේ, මේ සම්බන්ධව විටින් විට පරීක්ෂා කළ යුතු යම් අයිතම් කිහිපයක් සඳහන් කොට ඇත.
6 රාජ්‍ය ශාලාව නඩත්තු කිරීම: රාජ්‍ය ශාලාව නඩත්තු කිරීම අධීක්ෂණය කිරීමේ වගකීම ඇත්තේ වැඩිමහල්ලන්ගේ මණ්ඩලයටය. සාමාන්‍යයෙන්, වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකුව පත් කෙරේ. ඔහු එදිනෙදා රාජ්‍ය ශාලාවේ ක්‍රියාකාරකම් සංවිධානය කරන අතර, එය පිරිසිදුව හොඳ තත්වයක තිබෙන බවටත් පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ප්‍රමාණවත්ව තිබෙන බවටත් වගබලා ගනී. ශාලාව තුළ හෝ ඒ අවට අනතුරු සිදු විය හැකි මොනයම් තත්වයක්වත් නොතිබීම වැදගත්ය. සභා දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකම ශාලාවක් පාවිච්චි කරන විට, ගොඩනැඟිල්ලේ සහ එහි දේපොළ බලා කියා ගැනීම සඳහා කටයුතු සංවිධානය කිරීමට යම් ක්‍රියාකාරී කමිටුවක් වැඩිමහල්ලන්ගේ මණ්ඩලය විසින් පත් කරනු ලැබේ. මෙම කමිටුව වැඩ කරන්නේ වැඩිමහල්ලන්ගේ මණ්ඩලවල මඟ පෙන්වීම යටතේය.
7 රාජ්‍ය ශාලාව හොඳින් පරීක්ෂා කිරීම වාර්ෂිකව සිදු කරනු ලැබේ. අවධානය අවශ්‍ය කරන යම් කාරණා පිළිබඳව හොඳින් විමසා බලා ඒවා සපුරාලීම පිණිස වැඩිමහල්ලන් කටයුතු පිළියෙළ කරනවා ඇත. අවශ්‍ය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කිරීම සඳහා ප්‍රචාරකයන්ට ආරාධනා කරනු ලැබිය හැකියි. සුළු සුළු දේවලට පවා සැලකිල්ල දැක්විය යුතු අතර, අවධානය යොමු කළ යුතු කාරණා සම්බන්ධයෙන් වහාම පියවර ගෙන ඒවා සපුරාලීමට හැමදෙනාම උත්සුක විය යුතුය.
8 රාජ්‍ය ශාලාව නඩත්තු කිරීම පිළිබඳව යම් උපදෙස් හෝ සහයෝගය අවශ්‍ය බව වැඩිමහල්ලන්ට හැඟේ නම්, ඔවුන්ට ශාඛා කාර්යාලය ඇමතිය හැකියි. වහලෙන් වතුර කාන්දු වීම, ජල නල පද්ධති සකස් කිරීම සහ ශබ්ද විකාශන පද්ධතියට සම්බන්ධ දේවල් වැනි කාරණා මීට ඇතුළත් විය හැකියි.
9 සභා සම්මාදම් ඥානවන්තව පාවිච්චි කිරීම: රාජ්‍ය ශාලාවේ සහ ඒ අවට වැඩවලින් වැඩි හරියක්ම කෙරෙන්නේ ස්වේච්ඡා සේවකයන් විසිනි. ඔවුන්ගේ එම ආත්ම-පරිත්‍යාගී ප්රයත්නයන් ප්‍රේමයේ කදිම ප්‍රකාශයක් වන අතර, වියදම් අඩු කරගැනීමේදී ඒවා බොහෝ සෙයින් උපකාරවත් වෙයි. කැරපොත්තන් වැනි කෘමින් විනාශ කිරීම සඳහා කෘමිනාශක ඉසීම වැනි නඩත්තු කටයුතු කිරීමට යම් කාර්මිකයෙකුගේ හෝ කොන්ත්රාත්කරුවෙකුගේ සහය අවශ්‍ය වේ නම්, වඩාත් අඩු වියදමකින් ඒවා කරගැනීමට වැඩිමහල්ලෝ ඥානවන්තව කටයුතු යොදති. ඔවුන් මෙය කරන්නේ කිරීමට තිබෙන වැඩ සහ සැපයිය යුතු උපකරණ ගැන පළමුව සවිස්තරාත්මක ලිඛිත විස්තරයක් පිළියෙළ කිරීමෙනි. සැපයුම්කරුවන් කිහිපදෙනෙකුට මෙම ලිඛිත විස්තරයේ පිටපතක් දෙනු ලබන අතර, එවිට කිරීමට තිබෙන වැඩ සහ යන වියදම ගැන අවබෝධ කරගනිමින් ඒ සඳහා ගාස්තුවක් නියම කිරීමට ඔවුන්ට හැකියි. සැපයුම්කරුවන් කිහිපදෙනෙකුගෙන් මේ සඳහා ඉදිරිපත් කරනු ලබන ලිඛිත වියදම් ලැයිස්තුව ලැබුණු පසුව, හොඳම ලැයිස්තුව ඉදිරිපත් කළ කොන්ත්‍රාත්කරු හෝ සැපයුම්කරු කවුද කියා වැඩිමහල්ලන්ට තීරණය කළ හැකියි. යම් සහෝදරයෙක් මෙම වැඩය කිරීමට හෝ නිශ්චිත මිලකට යම් යම් ද්‍රව්‍ය ගෙනැවිත් දීමට ඉදිරිපත් වුවද, මෙම ක්‍රමය අනුගමනය කළ යුතුයි.
10 දේපොළ මිලට ගැනීමේදී, බදුවලින් නිදහස් කරනු ලැබීම් සහ වට්ටම් ගැනද, ජලය, විදුලිය ආදි පොදු ප්‍රයෝජනයට ගන්නා දේවල් වඩාත් අඩු මිලට ගත හැකි නම් ඒවා ගැනද සොයා බැලීමට වැඩිමහල්ලන් සුදුසු පියවර ගත යුතුයි. සභාවන් එකකට වඩා වැඩියෙන් ශාලාව පාවිච්චි කරන විට, ක්‍රියාකාරී කමිටුව වෙනම බැංකු ගිණුමක් පවත්වාගත යුතු අතර, වැඩිමහල්ලන් මණ්ඩල සෑම එකකටම සෑම මසකම ලිඛිත මූලික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එවිට, ලැබෙන අරමුදල් වියදම් කෙරෙන්නේ කෙසේද යන්න ගැන වැඩිමහල්ලන්ව දැනුවත් කෙරේ. සභා සම්මාදම් නිසි ලෙස වියදම් කිරීම ගැන වගකීම වැඩිමහල්ලන් සතුය.
11 මහා පරිමාණයේ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියාව: රාජ්‍ය ශාලාවේ ක්‍රියාකාරිත්වය හෝ නඩත්තුව සම්බන්ධව මහා පරිමාණයෙන් යම් දෙයක් කිරීමට අවශ්‍ය බව ක්‍රියාකාරී කමිටුවට පෙනී යන්නේ නම්, කමිටුව මේ සඳහා මඟ පෙන්වීම් වැඩිමහල්ලන්ගේ මණ්ඩලවලින් ලබාගත යුතුයි. මහා පරිමාණයේ නඩත්තු කිරීමක් හෝ අලුත්වැඩියාවක් සඳහා රාජ්‍ය ශාලාව පාවිච්චි කරන සභාවල උපකාරයට අමතරව උපකාරයක් අවශ්‍ය බව තීරණය කරනු ලැබේ නම්, වැඩිමහල්ලන් ශාඛා කාර්යාලය ඇමතිය යුතුයි. මෙම සුදුසුකම් සහ අද්දැකීම් ලත් සහෝදරයන්ට හැකියි, උපකාරවත් යෝජනා සහ වැඩ සම්බන්ධව යම් අධීක්ෂණයක් සැපයීමට. විශාල වියදමක් වැය වේ නම්, ඒ සඳහා යන වියදම් ගැන නිවැරදි වාර්තාවක් ලබාගත යුතු අතර, සභාවේ අනුමැතිය ලබාගැනීම සඳහා සම්මුතියක් පිළියෙළ කළ යුතුය. —1994 පෙබරවාරි අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.
12 රාජ්‍ය ශාලාවේ එකට රැස්වීමේ වරප්‍රසාදය අපි කොතරම් ඉහළින් අගය කරන්නෙමුද! අප කිසිවිටෙකත් අපේ රැස්වීම් අතපසු නොකළ යුතුය, ඒවා සැහැල්ලුවට නොගත යුතුය. රාජ්‍ය ශාලාව රැකබලා ගැනීමට අපගේ පූර්ණ සහයෝගය දීම මගින්, අපව දිරිගැන්වීම පිණිස රැස්වීම සඳහා අපට දී තිබෙන මෙම සැපයුම ඉතා හොඳින් ප්‍රයෝජනයට ගන්නට අප සැමෝටම පිළිවන. මෙය පවිත්‍ර නමස්කාරය මහිමවත් කරන අතර යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙන එනවා ඇත. එසේනම්, අපගේ නමස්කාර ස්ථානය හොඳ තත්වයකින් තබාගැනීමට අපි අදිටන් කරගනිමු.
[Study Questions]
1. රාජ්‍ය ශාලාවකින් ඉටු වන අරමුණ කුමක්ද?
2. රාජ්‍ය ශාලාව පිරිසිදුව හා පිළිවෙළකට තබාගත යුත්තේ මන්ද?
3. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම කෙසේ සංවිධානය කළ හැකිද? මෙම වරප්‍රසාදයට හවුල් විය හැක්කේ කාටද?
4. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමේදී කළ යුත්තේ කුමක්ද කියා සභාව විසින් දැනගැනීම පිණිස කුමක් කළ යුතුද?
5. ආරක්ෂාව කොතරම් වැදගත්ද? විටින් විට පරීක්ෂා කළ යුත්තේ කිනම් කාරණාද? (4වන පිටුවේ කොටුව බලන්න.)
6. රාජ්‍ය ශාලාව නඩත්තු කිරීමේ වැඩය සම්බන්ධීකරණය කරනු ලබන්නේ කෙසේද?
7. (අ) රාජ්‍ය ශාලාව හොඳ තත්වයක තබාගැනීම සඳහා, වාර්ෂිකව කරනු ලබන්නේ මොනවාද? (ආ) කලින් කලට අවධානය දිය යුත්තේ කිනම් කාරණාවලටද? (5වන පිටුවේ කොටුව බලන්න.)
8. ශාලාව නඩත්තු කිරීම පිළිබඳව වැඩිමහල්ලන්ට ශාඛා කාර්යාලය ඇමතිය හැක්කේ කිනම් අවස්ථාවලදීද?
9. යම් කොන්ත්‍රාත්කරුවෙකුට වැඩක් භාර දීමට සිදු වන අවස්ථාවකදී කිනම් ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුද?
10. සභා අරමුදල් නිසි ලෙස යොදාගනු ලබන බවට සහතික කරනු ලබන්නේ කෙසේද?
11. මහා පරිමාණයේ නඩත්තු කටයුතු සහ අලුත්වැඩියාවන් අවශ්‍ය නම්, කුමක් කළ යුතුද?
12. රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට පැමිණීමේ වරප්‍රසාදය ගැන අපගේ අගය නිරූපණය කිරීමට අපට හැක්කේ කෙසේද?
[Box on page 4]
ආරක්ෂා පිරික්සුම් ලැයිස්තුව
◻ ගිනි නිවන උපකරණ පහසුවෙන් ගත හැකි තැනක තිබිය යුතු අතර වාර්ෂිකව නඩත්තු කළ යුතුය.
◻ පිට වෙන තැන් සහ තරප්පු පේළි පැහැදිලිව ලකුණු කළ යුතු අතර, හොඳින් එළිය දෙන විදුලි පහන් දැල්වී තිබිය යුතුය. ඒවා පහසුවෙන් පාවිච්චි කළ හැකි විය යුතු අතර, අත් ආධාරක සුරක්ෂිතව තිබිය යුතුයි.
◻ ගබඩා කාමර සහ වැසිකිළි පිරිසිදුව, පිළිවෙළකින් තිබිය යුතු අතර, වහා ඇවිළෙනසුලු දේවල්, පෞද්ගලික උපකරණ හා වෙනත් අපද්‍රව්‍යවලින් තොරව තිබිය යුතුය.
◻ වහල සහ වැහි පීලි පරීක්ෂා කළ යුතු අතර, නිතිපතා පිරිසිදු කළ යුතුයි.
◻ අඩි පාරවල් සහ වාහන නවතා තබන තැන් ආලෝකවත් කොට තිබිය යුතු අතර, ලිස්සිය හකි හෝ බිමට ඇද වැටිය හැකි බාධකවලින් තොරව තිබිය යුතුය.
◻ ශාලාවේ විදුලි පද්ධතිය හා වාතාශ්‍රය ලැබෙන ක්‍රම පරීක්ෂා කර නිසි ලෙස නඩත්තු කළ යුතුයි.
◻ බරපතළ ලෙස තෙතමනය රැඳී අනතුරු වීමට කලින්, කාන්දු වෙන තැන් වහා පරීක්ෂා කර බලා අලුත්වැඩියා කළ යුතුයි.
◻ කිසිම කෙනෙකු ශාලාවේ නොසිටින අවස්ථාවල ගොඩනැඟිල්ලට අගුලු දැමිය යුතුයි
[Box on page 5]
ගොඩනැඟිල්ල සහ දේපොළ නිසි ලෙස නඩත්තු කිරීම
◻ පිටත: වහල, පැති මඟ, බිත්තිවල තීන්ත ආලේපය, ජනේල සහ රාජ්‍ය ශාලාවේ නාම පුවරුව හොඳ තත්වයක තිබෙනවාද?
◻ වත්ත: වත්ත නිසි ලෙස නඩත්තුකර තිබෙනවාද? රාජ්‍ය ශාලාවට පිවිසෙන පාර දෙපස, වැටවල් සහ වාහන නවතන තැන් හොඳ තත්වයක තිබෙනවාද?
◻ ඇතුළත: බුමුතුරුණු, තිර රෙදි, පුටු, විදුලි ආලෝක ආවරණ, බිත්ති පින්තාරුව, පොත් පත් කැබිනට් සිත්ගන්නාසුලු තත්වයක තිබෙනවාද?
◻ උපකරණ: විදුලි රැහැන් පද්ධතිය, ශබ්ද විකාශන පද්ධතිය හා වාත්රාශය ලැබෙන මාර්ග නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද?
◻ වැසිකිළි: ඒවා පිරිසිදු තත්වයක තිබෙනවාද? එහි උපකරණ නිසි ලෙස ක්‍රියා කරනවාද?
◻ සභාව් ලියකියවිලි: භාරකාරත්වය සඳහන් ලියවිලි නිවැරදිද, තත්කාලීනද? යම් යම් සේවාවන් සඳහා ඉදිරිපත් කරන බිල්පත් සභාවේ හෝ භාරකරුවන්ගේ නමට ලියා තිබේද? ඔබ ගෙවන වරිපණම් ආගමික වරිපණම්ද, නිවාස වරිපණම්ද නැතහොත් වෙළඳ වරිපණම්ද?