11වෙනි පරිච්ඡේදය
නමස්කාරය සඳහා රැස් වෙන ස්ථාන
යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් එකට රැස් වෙන්න කියලා දෙවියන් තමන්ගේ සේවකයන්ට ආඥාවක් දීලා තියෙනවා. (හෙබ්‍රෙ. 10:23-25) ඊශ්‍රායෙල් සෙනඟ මුලින්ම දෙවියන්ට නමස්කාර කරන්න යොදාගත්තේ ‘ශුද්ධ කූඩාරම එනම් සම්මුඛ වීමේ කූඩාරමයි.’ (නික්. 39:32, 40) පස්සේ කාලෙකදී දාවිත්ගේ පුත් සලමොන් දෙවියන්ට නමස්කාර කරන්න දේවමාලිගාවක් හැදුවා. (1 රාජා. 9:3) ක්‍රි.පූ. 607දී ඒ දේවමාලිගාව විනාශ වුණාට පස්සේ යුදෙව්වන් දෙවියන්ට නමස්කාර කරන්න රැස් වුණේ සිනගෝග විදිහට හඳුන්වපු ගොඩනැඟිලිවල. හැබැයි දේවමාලිගාව ගොඩනැඟුවාට පස්සේ ඔවුන් ආයෙත් දේවමාලිගාවේ රැස් වෙන්න පටන්ගත්තා. යේසුස් සිනගෝගවලත් දේවමාලිගාවෙත් උගන්වලා තියෙනවා. (ලූක් 4:16; යොහ. 18:20) ඔහු කන්දක ඉඳලා මිනිසුන්ට උගන්වපු අවස්ථාවක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා.—මතෙ. 5:1–7:29.
2 යේසුස්ගේ මරණයෙන් පස්සේ ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් ගැන උගන්වන්න වගේම එකිනෙකාගේ ආශ්රයෙන් දිරිගැන්වීමක් ලබන්න ප්‍රසිද්ධ තැන්වලත් නිවෙස්වලත් රැස් වුණා. (ක්‍රියා 19:8, 9; රෝම 16:3, 5; කොලො. 4:15; ෆිලෙ. 2) විරුද්ධවාදිකම් ආපු අවස්ථාවලදී ඔවුන් අනිත් අයගේ අවධානයට ලක් වෙන්නේ නැති තැන්වලත් රැස් වෙලා තියෙනවා. ඔව්, දෙවියන්ට නමස්කාර කරන්න එකතු වෙන තැනකට ඇවිත් ‘යෙහෝවා දෙවි ගැන’ ඉගෙනගන්න දෙවියන්ගේ සේවකයන්ට ලොකු ආශාවක් තිබුණා.—යෙසා. 54:13.
3 අදටත් පොදු තැන්වල වගේම නිවෙස්වල ක්‍රිස්තියානි රැස්වීම් පවත්වනවා. හුඟක් වෙලාවට ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ නිවෙස්වල. තමන්ගේ නිවසේ රැස්වීම් පවත්වන්න ලැබෙන එක ඒ අය සලකන්නේ ලොකු වරප්‍රසාදයක් හැටියටයි. හුඟක් අය ඒකෙන් දිරිගැන්විලා තියෙනවා.
නමස්කාර මධ්‍යස්ථානය
4 සාක්ෂිකරුවන් මූලිකවම රැස්වීම් පවත්වන්නේ නමස්කාර මධ්‍යස්ථානවල. සාමාන්‍යයෙන් ඉඩමක් අරන් ගොඩනැඟිල්ලක් ඉදි කරලා හරි තියෙන ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කරලා හරි නමස්කාර මධ්‍යස්ථානයක් හදනවා. වියදම් අඩු කරගන්නත් ගොඩනැඟිලිවලින් උපරිම ප්‍රයෝජන ගන්නත් ඕන නිසා සභා කිහිපයක්ම එක නමස්කාර මධ්‍යස්ථානයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර ප්‍රදේශවල රැස්වීම් පවත්වන්න ශාලාවක් කුලියට ගන්න එක වඩාත් සුදුසු වෙයි. අලුත් නමස්කාර මධ්‍යස්ථාන වගේම මහා පරිමාණයෙන් අලුත්වැඩියා කරපු ශාලාවන් දෙවියන්ට කැප කරන එක වඩාත් යෝග්‍යයි. කොහොමවුණත් නමස්කාර මධ්‍යස්ථානයක ඒ තරම් අලුත්වැඩියා කටයුතු සිද්ධ වෙලා නැත්නම් ඒක කැප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
5 අනිත් අයගේ අවධානය ඇදගන්නා විදිහට නමස්කාර මධ්‍යස්ථානයක් හදන එක සුදුසු නැහැ. රටින් රටට නමස්කාර මධ්‍යස්ථාන හදලා තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒවා යොදාගන්න අරමුණ නම් වෙනස් වෙන්නේ නැහැ. (ක්‍රියා 17:24) ප්‍රදේශයට ගැළපෙන විදිහටත් කිසිම බාධාවක් නැතුව රැස්වීම්වලට ඇහුම්කන් දෙන්න පුළුවන් විදිහටත් ඒවා ගොඩනඟන්න වගබලා ගන්න ඕනේ.
6 නමස්කාර මධ්‍යස්ථානයේ හැම වියදමක්ම පියවන්නේ අදාළ සභාවේ අය දෙන සම්මාදම්වලින්. රැස්වීම්වලට එන අයගෙන් කොයිම වෙලාවකදීවත් සල්ලි එකතු කරන්නේ නැහැ. ශාලාවේ සම්මාදම් පෙට්ටියක් තියෙන නිසා සභාවේ වියදම් පියවන්න දායක වෙන්න හැමෝටම අවස්ථාව තියෙනවා. හැබැයි ඒක කරන්න ඕනෙ කැමැත්තෙන්මයි.—2 කොරි. 9:7.
7 නමස්කාර මධ්‍යස්ථානයේ වියදම් පියවන්න, ඒක පිරිසිදුව තියාගන්න වගේම හොඳින් නඩත්තු කරන්න දායක වෙන්න ලැබෙන අවස්ථාව සභාවේ හැමෝම සලකන්නේ වරප්‍රසාදයක් විදිහටයි. වැඩිමහල්ලෙක් හරි සහායක සේවකයෙක් හරි ශාලාව පිරිසිදු කරන වැඩ සැලසුම් කරනවා. සාමාන්‍යයෙන් පිරිසිදු කිරීමේ වැඩ බෙදන්නේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම්වලට. කණ්ඩායම භාර වැඩිමහල්ලා හරි ඔහුට සහාය වෙන කෙනා හරි පිරිසිදු කිරීමේදී මූලිකත්වය අරන් වැඩ කරනවා. නමස්කාර මධ්‍යස්ථානයේ ඇතුළ වගේම පිටත යෙහෝවා දෙවියන්වත් ඔහුගේ සංවිධානයත් ගෞරවයට පත් වෙන විදිහට තියෙන්න ඕනේ.
නමස්කාර මධ්‍යස්ථානයේ වියදම් පියවන්න, ඒක පිරිසිදුව තියාගන්න වගේම ඒක හොඳින් නඩත්තු කරන්න දායක වෙන්න ලැබෙන අවස්ථාව සභාවේ හැමෝම සලකන්නේ වරප්‍රසාදයක් විදිහටයි
8 සභාවන් කිහිපයක්ම එක නමස්කාර මධ්‍යස්ථානයක් පාවිච්චි කරනවා නම් ඒ සභාවල වැඩිමහල්ලන් එකතු වෙලා නමස්කාර මධ්‍යස්ථාන මෙහෙයුම් කමිටුවක් පිහිටුවනවා. නමස්කාර මධ්‍යස්ථානයටත් ඉඩමටත් අදාළ හැම කටයුත්තක්ම බලාගන්නේ ඒ කමිටුවයි. වැඩිමහල් මණ්ඩලවල සහෝදරයන් එකතු වෙලා මෙහෙයුම් කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සහෝදරයෙක්ව පත් කරනවා. ශාලාව පිරිසිදු කිරීමේ සහ නඩත්තු කිරීමේ වැඩකටයුතු බලාගන්නෙත් ඒ සඳහා අවශ්‍ය දේවල් සපයන්නෙත් වැඩිමහල් මණ්ඩලවල අධීක්ෂණය යටතේ කටයුතු කරන ඒ කමිටුවයි. ඒ වැඩකටයුතු හොඳින් වෙන්න නම් අදාළ සභාවන් සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ.
9 සභාවන් කිහිපයක්ම එකම නමස්කාර මධ්‍යස්ථානය පාවිච්චි කරද්දී රැස්වීම් පවත්වන වේලාවන් කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රේමණීයව කටයුතු කරන වැඩිමහල්ලන් හැම කාරණයක්ම සැලකිල්ලට අරගෙන තමයි ඒ වේලාවන් තීරණය කරන්නේ. (ෆිලි. 2:2-4; 1 පේතෘ. 3:8) කිසිම අවස්ථාවක එක සභාවක් වෙන සභාවක් වෙනුවෙන් තීරණ ගන්නේ නැහැ. එක සභාවකට චාරිකා සේවක එද්දී අවශ්‍ය වුණොත් අනිත් සභාවල ඒ සතියට අදාළ රැස්වීම් පවත්වන දවස් හා වේලාවන්වල යම් සකස් කිරීමක් කරනවා.
10 සභාවේ සේවා කමිටුවේ අවසරය ඇතුව නමස්කාර මධ්‍යස්ථානය විවාහයකදී වගේම අවමංගල්‍යයකදී දේශනයක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඉල්ලීමකට අවසර දෙන්න කලින් ඒ කමිටුව ඊට අදාළ හැම කාරණයක් ගැනම හොඳින් හිතලා බලනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් තීරණ දෙන්නේ ශාඛා කාර්යාලයෙන් ලැබිලා තියෙන මඟ පෙන්වීම්වලට අනුවයි.
11 ඒ වගේ දේකට අවසර ලැබුණොත් අදාළ අය සැබෑ ක්‍රිස්තියානීන්ට සුදුසු විදිහට හැම දෙයක්ම කරන්න වගබලා ගන්න ඕනේ. සභාවේ සහෝදර සහෝදරියන් අපහසුතාවට පත් වෙන විදිහටවත් යෙහෝවා දෙවියන්ට අගෞරව වන විදිහටවත් සභාවේ හොඳ නමට කැළැලක් ඇති වන විදිහටවත් කිසිම දෙයක් කරන එක සුදුසු නැහැ. (ෆිලි. 2:14, 15) ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම්වලට අනුව පුරෝගාමි පාසැල සහ පත් කළ සහෝදරයන් සඳහා පාසැල ඇතුළු නමස්කාරයට සම්බන්ධ වැඩසටහන්වලට නමස්කාර මධ්‍යස්ථානය පාවිච්චි කරන්න පුළුවන්.
12 සභාවේ හැමෝම නමස්කාර මධ්‍යස්ථානය සලකන්නේ ගෞරවනීය තැනක් විදිහටයි. ඒ නිසා අපි අඳින පළඳින විදිහෙන් සහ හැසිරෙන විදිහෙන් යෙහෝවා දෙවියන්වත් දෙවියන්ට කරන නමස්කාරයත් ගෞරවයට පත් වෙනවාද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. (දේශ. 5:1; 1 තිමෝ. 2:9, 10) ඒ සම්බන්ධයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් අපි ඇත්තටම ක්‍රිස්තියානි රැස්වීම් අගය කරන බව පෙන්වන්න පුළුවන්.
13 රැස්වීම් අතරතුරේදී හැම දෙයක්ම පිළිවෙළකට පවත්වාගන්න එක හුඟක් වැදගත්. දරුවන් දෙමාපියන් එක්ක ඉඳගන්න එක වඩාත් සුදුසුයි. අනිත් අයට බාධා වෙන්නේ නැති තැනක ඉඳගන්න කියලා කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ව දිරිගන්වන්න පුළුවන්. එතකොට දරුවාව හික්මවන්න වුණොත් නැත්නම් යම් අවශ්‍යතාවක් මතු වුණොත් අනිත් අයට බාධා වෙන්නේ නැති විදිහට දරුවාව එළියට අරන් යන්න ඒක පහසුවක් වෙයි.
14 සුදුසුකම් තියෙන සහෝදරයන්ට සභාවේ පරිවාරකයන් විදිහට වැඩ කරන වගකීම භාර දෙනවා. ඒ අය මිත්‍රශීලී, විමසිලිමත්, හිතලා බලලා වැඩ කරන අය වෙන්න ඕනේ. ඔවුන්ගේ වගකීම් අතරට අලුතින් සභාවට එන අයව ආදරෙන් පිළිගන්න එක, පරක්කු වෙලා එන අයට ඉඳගන්න තැනක් හොයලා දෙන එක, රැස්වීම්වලට එන සංඛ්‍යාව වාර්තා කරන එක වගේම ශාලාව ඇතුළේ හොඳ වාතාශ්‍රයක් සහ සුදුසු උෂ්ණත්වයක් තියෙනවාද කියලා හොයලා බලන එක ඇතුළත් වෙනවා. ඒ වගේම රැස්වීම්වලට කලින් සහ රැස්වීම්වලට පස්සේ දරුවන් එහෙ මෙහෙ දුවන එක, වේදිකාවේ සෙල්ලම් කරන එක වළක්වාගන්න පුළුවන් වෙන විදිහට පරිවාරකයන් සුදුසු අවස්ථාවලදී ඒ ගැන දෙමාපියන්ට මතක් කරනවා. සමහර අවස්ථාවලදී දරුවන් රැස්වීම් අතරතුරේදී ඊට බාධා වෙන විදිහට හැසිරෙනවා නම් ඔවුන්ව ශාලාවෙන් එළියට අරන් යන්න කියලත් පරිවාරකයන් කාරුණික විදිහට දෙමාපියන්ට කියනවා. පරිවාරක සහෝදරයන් ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන නිසා හැමෝටම රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පරිවාරකයන් විදිහට පත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම
15 පළමු සියවසේදී අගහිඟකම්වලින් පෙළුණු අය වගේම යමක්කමක් තිබුණු අයත් ක්‍රිස්තියානීන් අතරේ හිටියා. ඒ නිසා තමයි පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වේ. “ඔබට වැඩිපුර ඇති දෙයින් ඔවුන්ගේ හිඟකම පිරිමැසීමට ඔබට පුළුවන. එවිට ඔවුන්ට වැඩිපුර ඇති දෙයින් ඔබේ හිඟකමද පිරිමැසෙයි. එසේ එකිනෙකා එකිනෙකාගේ අඩුව පිරිමසන නිසා සියල්ල සම සේ බෙදී යයි.” (2 කොරි. 8:14) අදටත් ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා. නමස්කාර මධ්‍යස්ථාන හදන්න වගේම අලුත්වැඩියා කරන්න පාවිච්චි කරන්නේ ලෝකෙ පුරාම තියෙන සභාවලින් ලැබෙන සම්මාදම්. සංවිධානය විතරක් නෙවෙයි ඒ සම්මාදම්වලින් ප්‍රයෝජන ලබන සභාවනුත් ඒවා හුඟක් අගය කරනවා.
16 ශාඛා කාර්යාලය යම් කරුණු කාරණා සැලකිල්ලට අරන්, එක් එක් සභාවන් පාවිච්චි කරන්න ඕනෙ මොන නමස්කාර මධ්‍යස්ථානයද කියලා තීරණය කරනවා. ඒ වගේම අලුතින් නමස්කාර මධ්‍යස්ථාන හදන්න ඕනෙ කොහෙද, කොයි කාලයේද කියලත් අලුත්වැඩියා කරන්න ඕනෙ මොන නමස්කාර මධ්‍යස්ථානද කියලත් ශාඛා කාර්යාලය තීරණය කරනවා. ඒ විතරක් නෙවෙයි හදිසි විපත් නිසා හානි වුණු නමස්කාර මධ්‍යස්ථාන තිබුණු තත්වයට ගන්නත් සමහර අවස්ථාවලදී විපතට පත් වෙලා ඉන්න සහෝදරයන්ගේ ගෙවල් අලුත්වැඩියා කරන්නත් ශාඛා කාර්යාලයෙන් අවශ්‍ය කරන සැලසුම් යොදනවා.
17 නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න අවශ්‍ය ඉඩම් මිල දී ගන්න, හදන විදිහ සැලසුම් කරන්න, අවශ්‍ය ලියකියවිලි සූදානම් කරන්න, ඉදි කරන වැඩකටයුතු කරන්න වගේම නඩත්තු කරන්න ශාඛා කාර්යාලය ස්වේච්ඡා සේවකයන්ව යොදාගන්නවා. හුඟක් රටවල නමස්කාර මධ්‍යස්ථාන අලුතින් ඉදි කරන්න ඕන නිසා ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ සඳහා කැමැත්තෙන් ඉන්න බව්තීස්ම වුණු සුදුසුකම් තියෙන ප්‍රචාරකයන්ට පුළුවන් ඊට අදාළ අයදුම්පත පුරවලා සභාවේ සේවා කමිටුවට භාර දෙන්න. තමන්ගේම නමස්කාර මධ්‍යස්ථානය හදන අවස්ථාවලදී බව්තීස්ම වෙලා නැති ප්‍රචාරකයන්ටත් ඒ වැඩවලට හවුල් වෙන්න පුළුවන්.
සමුළු ශාලා
18 මුල් ක්‍රිස්තියානීන් හුඟක් වෙලාවට රැස් වුණේ කුඩා කණ්ඩායම් විදිහට. හැබැයි ‘විශාල පිරිසක්’ රැස් වුණු අවස්ථාවනුත් තිබුණා. (ක්‍රියා 11:26) අදටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන චාරිකා සමුළු සහ තුන්දින සමුළුවලට විශාල සෙනඟක් රැස් වෙනවා. හුඟක් වෙලාවට ඒ වගේ අවස්ථාවන්වලට ශාලාවක් කුලියට ගන්නවා. හැබැයි ඒ වගේ ස්ථානයක් නැත්නම් ඒ වෙනුවෙන් ශාලාවක් හදන්න පුළුවන්.
19 ගොඩනැඟිල්ලක් මිල දී අරන් ඒක අලුත්වැඩියා කරලා සමුළු ශාලාවක් විදිහට පාවිච්චි කරන අවස්ථාවනුත් තියෙනවා. හැබැයි හුඟක් අවස්ථාවලදී කරන්නේ අලුතින් ඉඩමක් අරන් ඒකේ ශාලාවක් ඉදි කරන එකයි. එක් එක් රටේ අවශ්‍යතාව අනුව සමුළු ශාලාවල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සමුළු ශාලාවක් හදන්න ශාඛා කාර්යාලය තීරණය කරන්නේ ඒ සඳහා යන වියදමත් ඒ ශාලාව කොයි තරම් පාවිච්චියට ගැනෙනවාද කියන කාරණයත් හොඳින් සලකලා බැලුවාට පස්සෙයි.
20 සමුළු ශාලාවන් රැකබලා ගන්නත් නඩත්තු කරන්නත් ශාඛා කාර්යාලයෙන් සහෝදරයන්ව පත් කරනවා. සමුළුවක් අවසානයේ කරන පිරිසිදු කිරීම, වසරකට දෙවතාවක් කරන විශේෂ පිරිසිදු කිරීම සහ අවශ්‍ය නඩත්තු කටයුතු කිරීම චාරිකාවන්වලට බෙදලා තියෙනවා. ඒ වැඩකටයුතුවලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න සහෝදරයන්ට පුළුවන් නම් ඒක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ ශාලාවන් පිරිසිදු කරන්න යොදන සැලසුම්වලට කැමැත්තෙන්ම සහාය වෙන්න හැම සභාවකටම පුළුවන්.—ගීතා. 110:3; මලා. 1:10.
21 සමහර අවස්ථාවලදී විවිධ පාසැල් සහ චාරිකා සේවකයන් වෙනුවෙන් තියෙන විශේෂ රැස්වීම් පවත්වන්නත් සමුළු ශාලාවන් පාවිච්චි කරනවා. නමස්කාර මධ්‍යස්ථාන වගේම සමුළු ශාලාවනුත් නමස්කාරයට කැප කරපු ශාලාවන්. ඒ නිසා සමුළු ශාලාවලට යන අවස්ථාවලදීත් අපේ ඇඳුම් පැළඳුම් වගේම අපේ හැසිරීම විනීතව තියෙන එක හුඟක් වැදගත්.
22 අපි ජීවත් වෙන මේ අවසාන කාලයේදී හුඟක් අලුත් අය දෙවියන්ගේ සංවිධානයට එකතු වෙනවා. දෙවියන්ගේ ආශීර්වාදය සංවිධානයට ලැබෙන බවට ඒක කදිම සාක්ෂියක්. (යෙසා. 60:8, 10, 11, 22) ඒ නිසා අපි නමස්කාර කටයුතු සඳහා රැස් වෙන තැන් ඉදි කරන්නත් ඒවා හොඳින් නඩත්තු කරන්නත් තියෙන සැලසුම්වලට උපරිමයෙන් සහයෝගය දෙමු. දෙවියන්ගේ විනිශ්චය දවස අද්දර ජීවත් වෙන අපිට එකිනෙකාව දිරිගන්වන්න අවස්ථාව ලබා දෙන සැපයුම් අපි ඇත්තටම අගය කරනවා කියලා ඒකෙන් පෙන්වන්න පුළුවන්.