පසුගිය වසරෙන්
නන් දෙසින් වාර්තා ලොව වටා සිදුවීම්
සරණාගතයන්ට සහ සංක්‍රමණිකයන්ට ශුභාරංචිය
සරණාගතයන්ට සහ සංක්‍රමණිකයන්ට ශුභාරංචිය කියන්න ජර්මනියේ සහෝදරයන් විශේෂ වෑයමක් දරනවා. ඒ නිසා මාස 9ක් ඇතුළත විදේශ භාෂා කතා කරන කණ්ඩායම් සහ ප්‍රාථමික කණ්ඩායම් 229ක් පටන්ගන්න එයාලාට පුළුවන් වුණා. මේ අයට උදව් කරන්න හිතාගෙන ප්‍රචාරකයන් 800දෙනෙක් විතර භාෂා 13ක් ඉගෙනගන්න පටන් අරන්.
ස්ථාන 200කට වඩා වැඩි ප්‍රමාණයක තියලා තියෙන ජංගම පුවරුවලින් පොත් පත් 6,40,000ක් විතර මේ වෙනකොට බෙදා දීලා තියෙනවා. ඒ වගේම සහෝදරයන් සරණාගත කඳවුරුවලටත් ගිහින් දේශනා කරනවා.
පාලක මණ්ඩලයේ අවසර ඇතුව ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ අරාබි භාෂාව කතා කරන අය ඉන්න ප්‍රදේශ 10කට ගිහින් මාස 3ක් පුරා දේශනා කිරීමේ විශේෂ වැඩසටහනක් 2016දී සැලසුම් කළා. ඒකට රටවල් 7ක අරාබි භාෂාව කතා කරන ප්‍රචාරකයන් 700දෙනෙක් විතර හවුල් වුණා.
පාරෙන් ඇහින්ද කාසි
බෙලිස් රටේ ෆේබර්ස් පාරේ තියෙන ක්‍රියොල් භාෂාව කතා කරන සභාවේ ප්‍රචාරකයන් 50දෙනෙක් ඉන්නවා. ඒ සහෝදරයන් දුප්පත් වුණත් හරිම ත්යාගගීලීයි. මීට අවුරුදු දෙකකට කලින් එයාලා දේශනා සේවයේ යද්දී එක පාරක වැටිලා තිබුණු කාසි දැකලා ඒවා අහුලන්න පටන්ගත්තා. එයාලාට නිතරම වගේ ඒ පාරෙන් කාසි හම්බ වුණා.
කාසිවලින් වැඩි හරියක් එච්චර වටිනාකමක් නැති කාසි. ඒත් අවුරුද්ද අන්තිමට හැමෝම අහුලගත්ත කාසි එකතු කරලා බැලුවාම ඇමරිකානු ඩොලර් 225ක් එතන තිබුණා. ඊළඟ අවුරුද්දෙත් ඒ වගේම ගාණක් එයාලා එකතු කරගත්තා. සහෝදරයන් ඒ සල්ලිවලින් භාගයක් සභා සම්මාදම්වලටත් අනිත් භාගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහාත් දෙන්න තීරණය කළා.
මිලියන හතරක් ඇහුම්කන් දුන්නා
2016 මාර්තු 5වෙනිදා කියන්නේ බුරුන්ඩි රටේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අමතක නොවන දවසක්. එදා මූලස්ථාන නියෝජිතයෙක් වෙන ඇන්තනි ග්‍රිෆින්ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩසටහනක් පැවැත්තුවා. ඒක රටේ ප්‍රධාන ගුවන්විදුලි සේවාව හරහා ඕන කෙනෙක්ට අහන්න අවස්ථාව තිබුණා. ගණන් බලපු විදිහට ඒ වැඩසටහනට මිලියන 4ක් විතර ඇහුම්කන් දීලා තියෙනවා.
ඒ වැඩසටහන ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරපු එකෙන් හුඟදෙනෙක්ට දෙවි ගැන දැනගන්න අවස්ථාව ලැබුණා. හුඟක් අය ඒ වැඩසටහන අගය කළා. ඒ ගුවන්විදුලි සේවාවේ වැඩ කරපු කෙනෙක් කිව්වේ “මේ වගේ වැඩසටහන් තවත් කරනවා නම් අපි හරිම කැමතියි” කියලයි. ඒ වගේම ගුවන්විදුලි සේවයේ නිලධාරියෙක් මෙහෙම කිව්වා. “මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා. මේවායින් මිනිස්සු දෙවිට තවත් ළං වෙනවා.” බස්රථවල සහ කුලීරථවල හිටපු අය පවා මේ වැඩසටහනට ගුවන්විදුලියෙන් ඇහුම්කන් දුන්නා.
“ඔයාලාට අහන්න වෙන්නේ අපේ සංගීතය විතරයි”
2016 නේපාලයේ සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් සිහි කිරීම පවත්වන්න ශාලාවක් කුලියට ගත්තා. ඒත් පස්සේ එයාලා දැනගත්තා ශාලාවට එහා පැත්තේ සිහි කිරීම දවසෙම සංගීත සංදර්ශනයක් තියන්න යනවා කියලා.
සිහි කිරීම දවසේ උදේ ශාලාව පිරිසිදු කරද්දී සංගීත සංදර්ශනය සංවිධානය කරන කෙනෙක් ඇවිත් සහෝදරයන්ට මෙහෙම කිව්වා. “ඔයාලා රැස්වීමක් තියන්න යනවාලු නේද? ඔයාලාට අහන්න වෙන්නේ අපේ සංගීතය විතරයි.”
සංගීත සංදර්ශනය දවල් වෙද්දී පටන්ගත්තා. කිව්වා වගේම කන් අඩි පැලෙන තරම් සද්දයක් තිබුණා. සංදර්ශනය ගැන දැනගත්තාට පස්සේ සහෝදරයන් ගන්න හිතන් හිටපු ශබ්ද විකාශන යන්ත්‍රවලට වඩා ලොකු ඒවා කුලියට ගත්තත් ඒවායින් වැඩක් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී සහෝදරයන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. සිහි කිරීම පටන්ගන්න විනාඩි 30යි තිබුණේ. සංගීත සද්දෙත් හොඳටම ඇහුණා. ඒත් එකපාරටම සද්දේ නතර වුණා. බලද්දී බීපු කට්ටි දෙකක් අතර ඇති වුණු රණ්ඩුවක් නිසා පොලීසිය ඇවිත් සංගීත සංදර්ශනය නතර කරලා. ඒ නිසා සහෝදරයන්ට කිසිම බාධාවක් නැතුව සිහි කිරීම පවත්වන්න පුළුවන් වුණා.
jw.org වෙබ් අඩවිය ගැන අගය කරයි
ගියුසෙප්පේ ඉතාලියේ ස්ථාවර පුරෝගාමියෙක්. එයා ගෙදර ඉඳන් අන්තර්ජාලයට සම්බන්ධ උපදෙස් දෙන සමාගමක් එක්ක වැඩ කළා. ගිය අවුරුද්දේ 70දෙනෙක් විතර සහභාගි වුණු සමාගමේ රැස්වීමකට එයා ගියා. ප්‍රධාන විධායක නිලධාරියා කතා කළේ සමාගමේ වෙබ් අඩවිය දියුණු කරන්න, වෙන වෙබ් අඩවිවලින් ගන්න පුළුවන් අදහස් ගැනයි. ඒ වෙලාවේ එයා උදාහරණයක් හැටියට එක වෙබ් අඩවියක මුල් පිටුවක් පෙන්නුවා. තිරයේ දිස් වුණේ jw.org වෙබ් අඩවියයි. ඒක දැකලා ගියුසෙප්පේට ලොකු සතුටක් දැනුණා. ඊටපස්සේ නිලධාරියා මෙහෙම කිව්වා. “මේක තමයි ලෝකේ තියෙන හොඳම වෙබ් සයිට් එක.” එයා අපේ වෙබ් අඩවිය නිර්මාණය කරලා තියෙන විදිහ ගැන ගොඩක් හොඳ කිව්වා.
ගියුසෙප්පේ මෙහෙම කිව්වා. “වෙබ් සයිට් එක කොච්චර භාෂා ගාණකින් තියෙනවාද කියලා දැනගත්තාම මගේ සමාගමේ අය ගොඩක් පුදුම වුණා. රැස්වීම ඉවර වුණාට පස්සේ මගේ වැඩ බලන නිලධාරියා ඇවිත් හිටිය අයට මාව පෙන්නලා මෙහෙම කිව්වා. ‘දන්නවාද ගියුසෙප්පේ යෙහොවා දෙවිගේ සාක්ෂිකරුවෙක්.’ ඒ වෙලාවේ විධායක නිලධාරියා මට මෙහෙම කිව්වා. ‘ඔයාලාගේ වෙබ් අඩවිය නම් නියමයි. ගොඩක් තොරතුරු තියෙනවා. නිතරම අලුත් දේවල් ඇතුල් කරනවා. තොරතුරු හොයාගන්නත් ලේසියි. ඒකට ඔයාලා කොයි තරම් නම් මහන්සි වෙනවා ඇද්ද! ඕන කෙනෙක් කැමති එයාලාගේ වෙබ් අඩවියත් ඔයාලාගේ එක වගේ දියුණු තත්වෙකට ගේන්න.’ වෙබ් සයිට් එක නිසා හුඟදෙනෙක්ට එදා සාක්ෂිකරුවන් ගැන දැනගන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. සමාගමේ කිහිපදෙනෙක්ම මාත් එක්ක නිතර නිතර බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරනවා.”
එයා පාපන්දුවට පයින් ගැහුවා
ජෝර්ජ් ආර්ජන්ටිනාවේ ඉන්න යෞවනයෙක්. එයාට 2010දී පන්තියේ ළමයෙක්ගෙන් ශුභාරංචිය ගැන අහන්න ලැබුණා. පස්සේ එයා ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතෙන් පාඩමක් පටන්ගත්තා. ජෝර්ජ් පාපන්දු ක්‍රීඩාවටත් හරිම දක්ෂයි. ඒ නිසා ජනප්‍රිය ක්‍රීඩා සමාජයක් වෙනුවෙනුත් සෙල්ලම් කළා. 2014 අප්‍රියෙල් මාසයේදී ජර්මනියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් සෙල්ලම් කරන්න එයාට විශේෂ ආරාධනාවක් ලැබුණා. ජෝර්ජ් එක පයින් ඒ ආරාධනාව පිළිගත්තා. ජර්මනියට පිටත් වෙන්න දවස් කිහිපයකට කලින් පුදුම හිතෙන දෙයක් වුණා. ජෝර්ජ්ගේ පුහුණුකරු එයාට කතා කරලා මෙහෙම කිව්වා. “පුතා, ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නේද? මේ ගත්ත තීරණය ගැන ආයෙත් ටිකක් හිතන්න. මාත් ඔයාගේ වයසේ ඉද්දී සාක්ෂිකරුවෙක් වෙලා හිටියේ. ඔයා වගේ මටත් ආසියාවට යන්න චාන්ස් එකක් ලැබුණා. එයාලා ලොකු ලොකු දේවල් පොරොන්දු වුණා. ඒත් ඒ කියපු කිසිම දෙයක් මට ලැබුණේ නැහැ.” ජෝර්ජ් මෙහෙම කියනවා. “සර් කියපු දේ මගේ හිතට වැදුණා. මං ජර්මනියට යන්න ගත්ත තීරණය වෙනස් කළා. 2015දී මං ප්‍රචාරකයෙක් වෙලා පස්සේ බව්තීස්ම වුණා.”
“ගොඩක් වටින දෙයක් සමුළුවෙදි හම්බ වුණා”
2015 සැප්තැම්බර් මාසයේ උගන්ඩාවේ කම්පාලාවල පවත්වපු “යේසුස් වගේ වෙමු!” කියන තුන්දින සමුළුව එහේ සාක්ෂිකරුවන්ට අමතක නොවෙන එකක්. එදා පාලක මණ්ඩලයේ සහෝදර මාක් සැන්ඩසන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ලුගන්ඩා භාෂාවෙන් මුදාහැරියා.
එක බයිබල් ශිෂ්‍යයෙක් මෙහෙම කිව්වා. “පාප්වරයා රටට එන්න හිටපු නිසා හැමෝම ඒකට ලෑස්ති වෙවී හිටියේ. ඒ වැඩවලට සල්ලි එකතු කරන්න ආශීර්වාද කරපු කොන්ත වික්කා. එකක් ඇමරිකානු ඩොලර් 30යි. මිනිස්සු ඒවා ගන්න ආස වුණත් එයාලා ළඟ සල්ලි තිබ්බේ නැහැ. ඒත් මට මුදලක් වියදම් කරන්නේ නැතුව ඊට වැඩිය ගොඩක් වටින දෙයක් සමුළුවෙදි හම්බ වුණා. සමුළුවට ආපු හැම කෙනෙක්ටම බයිබලයක් ලැබුණා. අපිට කිව්වේ කැමති නම් සම්මාදමක් දාන්න කියලා විතරයි. මේ බයිබලය දුන්න එක ගැන මං යෙහෝවා දෙවිට මුළු හදවතින්ම ස්තුති කරනවා. මගේම භාෂාවෙන් බයිබලය කියවද්දී මං දෙවිට තව තවත් ළං වෙනවා.”
පොත් පත් හදන්නේ අපායේද?
කොංගෝවේ (කින්ෂාසාවල) ඉන්න ආගමික නායකයන් www.jw.org කියන සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය ගැන වැරදි තොරතුරු පැතිරෙව්වා. සාමාන්‍යයෙන් ඕනම වෙබ් අඩවි ලිපිනයක www කියන අකුරු තුන තියෙනවා. ඒත් එයාලා කිව්වේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවි ලිපිනයේ තියෙන ඒ අකුරු තුනෙන් එළිදරව් පොතේ සඳහන් 666 කියන යක්ෂයාගේ අංකය නියෝජනය වෙනවා කියලයි. (එළි. 13:18) ඒ වගේම එයාලා පල්ලියට එන අයට කිව්වා සාක්ෂිකරුවන්ගේ පොත් පත් හදන්නේ අපායේ කියලා. ඒ නිසා බයිබලය පාඩම් කරපු හුඟදෙනෙක් ඒක නතර කළා.
පුරෝගාමි යුවළක් ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. පස්සේ එයාලාත් එක්ක බයිබලය පාඩම් කරන කාන්තාවන්ට එයාලාගේ සැමියන් එක්ක කෑමකට එන්න කිව්වා. ආපු යුවළයන් තුන්දෙනාට සංග්‍රහ කරලා ‘ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ’ කියන වීඩියෝ එක පෙන්නුවා. එතකොට එයාලාට තේරුණා ආගමික නායකයන් අපේ පොත් පත් ගැන කියපු දේවල් බොරු කියලා. ඊළඟ සතියේ පුරෝගාමි යුවළ එයාලාගේ ගෙදර ආපු කාන්තාවකගේ පාඩමට ගියා. එයාගේ සැමියා පාඩම කරන්නේ නැහැ. ඒත් වීඩියෝ එකෙන් දැක්ක දේවල් නිසා සැමියා ඇමරිකානු ඩොලර් 100ක් ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සම්මාදම් කළා.
අලුත් ගීතිකා ඉගෙනගන්න ගත්ත වෑයම
පැපුවා නිව් ගිනියාවේ මුන්ඩිප් සභාව තියෙන්නේ පිටිසර පළාතක. එහේ ඉන්න අපේ සහෝදරයන්ට අලුත් ගීතිකා ඉගෙනගන්න ලොකු ආසාවක් තියෙනවා. ඒත් ඒ පළාතේ අන්තර්ජාල පහසුකම් නැති නිසා එයාලාට පදමාලා ලබාගන්න විදිහක් නැහැ. ඒකට විසඳුමක් හැටියට අන්තර්ජාල පහසුකම් තියන තැනකට ගිහින් ගීතිකාවල පදමාලා ලියාගෙන එන්න කියලා එයාලා සහෝදරයෙක්ව යවනවා. ළඟම තිබුණු නගරයට යන්න පැය දෙකක් දුර ඇවිදින්නත් තව පැය දෙකක් බස් එකක යන්නත් එයාට සිද්ධ වෙනවා. එහෙම ගිහින් ලියාගෙන එන ගීතිකා එයා කළු ලෑල්ලක ලියනවා. එතකොට සභාවේ ඉන්න අනිත් අය ඒවා පොත්වල ලියාගන්නවා. ලෝකේ පුරාම ඉන්න අනිත් සහෝදරයන් වගේ අලුත් ගීතිකා ගායනා කරලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන එක ගැන මේ සහෝදරයන් ගොඩක් සතුටු වෙනවා.