පසුගිය වසරෙන්
නීතිය හා සම්බන්ධ වාර්තා
ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ගේ ආගමික නිදහසට ගොඩක් තර්ජන, විරුද්ධවාදිකම් එල්ල වෙනවා. ඒත් ඒ වගේ අවස්ථාවලදී එයාලා දෙවිට විශ්වාසවන්තව ඉඳලා හොඳ ආදර්ශයක් තියලා තියෙනවා. ඒ දේවල් ගැන දැනගන්න එක “යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වනවා” කියන විශ්වාසය ඇතුව ඒ වගේ තත්වයන්වලට හොඳින් මුහුණ දෙන්න අපි හැමෝටම ලොකු දිරිගැන්වීමක්.—ගීතා. 4:3.
ආර්ජන්ටිනාව | දරුවන්ට ආගමික දේවල් ගැන උගන්වන්න තියෙන අයිතිය
රූත් හැදුණේ වැඩුණේ සාක්ෂිකාර පවුලක. ඒත් යෞවන වයසෙදි එයා සත්‍යයෙන් අයින් වෙන්න තීරණය කළා. පස්සේ කාලෙක එයාට දුවෙක් හම්බ වුණා. දවසක් පාරෙදි අපේ ජංගම පුවරුවක් දැකලා සාක්ෂිකරුවෙක් වෙලා හිටපු කාලය ගැන රූත්ට මතක් වුණා. රූත් ආයෙත් දෙවිට ළං වෙන්න තීරණය කළා. රැස්වීම් යන්නත් පටන්ගත්තා. දුවටත් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගැන්නුවා. ඒත් දුවගේ තාත්තා මේ දේවල් ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා දුවට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන එක ගැනත් දුවව රැස්වීම් ගෙනියන එක ගැනත් රූත්ට විරුද්ධව නඩු දැම්මා.
රූත්ගේ නීතිඥයා උසාවියේදී කිව්වේ දරුවෙක්ට ආගම ගැන කියලා දෙන්න දෙමව්පියන් දෙන්නාටම අයිතිය තියෙනවා කියලයි. උගන්නන දේවල්වලින් දරුවාට හානියක් වෙනවා නම් ඇරෙන්න උසාවිය මේ කාරණේට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ කියලත් කිව්වා. ඒ වෙනකොට දරුවාට වයස අවුරුදු 4ක් වුණත් උසාවිය තීන්දුවක් දීලා කිව්වේ ආගම සම්බන්ධයෙන් දරුවා ගන්න තීරණවලට දෙමව්පියන් ගරු කරන්න ඕනෙ කියලයි. ඒත් පස්සේ කරපු අභියාචනය සලකා බලලා දරුවා තනි තීරණයක් ගන්න පොඩි වැඩියි කියලා උසාවිය තීන්දු කළා. ඒ වගේම දරුවාට ආගමික අධ්‍යාපනය දෙන්න දෙමව්පියන් දෙන්නාටම එක හා සමාන අයිතියක් තියෙනවා කියලත් කිව්වා.
දුව දැන් රූත් එක්ක නිදහසේ රැස්වීම් යනවා. හැමදාම බයිබලයත් කියවනවා. බෙතෙල් එක බලන්නත් ආසාවෙන් ඉන්නේ.
අසර්බයිජානය | ආගමික විශ්වාසයන් ගැන කතා කරන්න තියෙන අයිතිය
ක්‍රිස්තියානි සභාව ගැන කතා කරද්දී “එක අවයවයකට වේදනාවක් ඇති වන විට අන් සියලුම අවයවවලටද ඒ වේදනාව දැනේ” කියලා පාවුල් කිව්වා. (1 කොරි. 12:26) ඒ දේ අපි අද්දකිනවා. අසර්බයිජානයේ අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවා කියන සහෝදරියන් දෙන්නා පීඩාවලට මුහුණ දීපු කාලේ එයාලාගේ වේදනාව ලෝකේ පුරා හිටපු සහෝදරයන්ට දැනුණා. 2015 පෙබරවාරි මාසයේදී නීති විරෝධී ආගමික කටයුතුවල හවුල් වුණා කියලා බලධාරීන් මේ සහෝදරියන්ට චෝදනා එල්ල කළා. පස්සේ අවසන් තීන්දුව දෙන කල් විනිසුරු එයාලාව හිරේ දැම්මා. ඒත් තීන්දුවක් දෙන එක කල් ගිය නිසා එයාලාට පීඩා, කරදර මැද්දේ අවුරුද්දක් විතර හිරේ ඉන්න වුණා.
2016 ජනවාරි මාසයේ නඩුව කැඳවපු වෙලාවේ විනිසුරු මේ දෙන්නා වැරදිකරුවන් කරලා ලොකු දඩයකුත් නියම කළා. ඒත් එයාලා ඒ වෙද්දීත් අවුරුද්දක් හිරේ හිටපු නිසා තීන්දුව වෙනස් කරලා එයාලාව නිදහස් කළා. හැබැයි එල්ල කරපු චෝදනාවලින් එයාලාව නිදහස් කරන්න කියලා බාකු උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළත් උසාවිය ඒක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එයාලා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ වගේම ආගමික විශ්වාසයන් ගැන කතා කරන්න තියෙන අයිතිය උල්ලංගනය කිරීම සහ සහෝදරියන්ට අසාධාරණ විදිහට සැලකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා.
ලෝකේ පුරාම ඉන්න සහෝදරයන් කරපු යාච්ඤාවලට සහෝදරියන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සහෝදරී ජබ්රියිලාවා පාලක මණ්ඩලයට මෙහෙම ලිව්වා. “යෙහෝවා දෙවි පෙන්නපු ආදරය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාලක මණ්ඩලයේ ඉන්න ඔයාලාටත් ලෝකේ පුරා ඉන්න සහෝදරයන්ටත් ගොඩක් ස්තුතියි.”
එරිත්‍රියාව | විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි
2016 ජූලි වෙනකොට එරිත්‍රියාවේ බලධාරීන් සාක්ෂිකරුවන් 55දෙනෙක්ව ආගමික විශ්වාසයන් නිසා හිරේ දාලා තියෙනවා. පාවුලොස් ඉයාසු, ඊසක් මොගොස් සහ නෙගඩෙ ටෙක්ලමරියම් කියන සහෝදරයන් තුන්දෙනාට හිරේ ඉන්න වෙලා තියෙන්නේ 1994 ඉඳන්. තවත් සහෝදරයන් 9දෙනෙක් අවුරුදු දහයක් තිස්සේ සිරදඬුවම් විඳිනවා.
2014 සිහි කිරීමක් පවත්වද්දී අත්අඩංගුවට අරන් නීති විරෝධී රැස්වීමකට සහභාගි වුණා කියන චෝදනාව මත සහෝදරයන්ට දාපු නඩුව 2016 ජනවාරිවල කැඳෙව්වා. ඒක තමයි උසාවියට ඇවිත් තමන් වෙනුවෙන් කතා කරන්න සාක්ෂිකරුවන්ට අවස්ථාව ලැබුණ මුල්ම වතාව. ඒත් උසාවියෙන් එයාලා වරදකරුවන් කියලා තීන්දු කරලා දඩයකුත් නියම කළා. පස්සේ එයාලාව නිදහස් කළා. ඒත් සාරොන් ගෙබ්රූ කියන සහෝදරිය දඩ මුදල ගෙවන එක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එයාට මාස 6ක සිරදඬුවමක් නියම වුණා. සිරගෙදරදී එයාට හිරිහැරවලට මුහුණ දෙන්න වුණේ නැහැ. ඒ වගේම සතියකට සැරයක් ඒ සහෝදරියව බලන්න සිරගෙදරට යන්නත් අවසර ලැබුණා. “සිරභාරයේ සිටින අය සමඟ ඔබවත් බැඳ තබා තිබෙනවා කියා සිතා” ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් එරිත්‍රියාවේ සිරගෙවල්වල ඉන්න 55දෙනා වෙනුවෙන් කරන යාච්ඤා එයාලා ගොඩක් අගය කරනවා.—හෙබ්‍රෙ. 13:3.
ජර්මනිය | නීතික පිළිගැනීම
ජර්මනියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආගමක් විදිහට ලියාපදිංචි කරන්න සහෝදරයන් අවුරුදු 4ක් තිස්සේ උත්සාහ කරනවා. බර්ලින්වල ඉහළ පරිපාලන උසාවිය ඒ ඉල්ලීම පිළිගෙන දුන්න තීන්දුවක් නිසා ජර්මනියේ ප්‍රාන්ත 16න් වැඩි හරියක්ම සාක්ෂිකරුවන්ව ආගමක් විදිහට පිළිගත්තා. ඒත් සාක්ෂිකරුවන්ට විරුද්ධව වැඩ කරන අය පතුරවපු බොරු තොරතුරු නිසා 2015 දෙසැම්බර් 21වෙනිදා වෙන කල් ජර්මනියේ බ්‍රීමන් ප්‍රාන්තයේ බලධාරීන් ඒ තීන්දුවට එකඟ වුණේ නැහැ.
ජර්මනියේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණය 2015දී ඒ ගැන කිව්වේ සාක්ෂිකරුවන්ට නීතික පිළිගැනීමක් දෙන්න කරපු තීන්දුවට විරුද්ධ වෙන එක එයාලාගේ ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් කියලයි. ඒ නිසා අන්තිමේදී 2015 දෙසැම්බර් 21වෙනිදා බ්‍රීමන් ප්‍රාන්තයේත් සාක්ෂිකරුවන්ව පිළිගත් ආගමක් විදිහට ලියාපදිංචි කළා. දැන් සාක්ෂිකරුවන්ට කිසිම බාධාවක් නැතුව එයාලාගේ ආගමික කටයුතු කරගෙන යන්න අවසර තියෙනවා. පිළිගත් ආගමක් විදිහට එයාලා බදු අය කිරීම්වලිනුත් නිදහස්. ඒ වගේම ජර්මනියේ ප්‍රධාන ආගම්වලට ලැබෙන හැම අයිතිවාසිකමක්ම සාක්ෂිකරුවන්ටත් ලැබෙනවා.
කිර්ගිස්තානය | ආගමික විශ්වාසයන් ගැන කතා කරන්න තියෙන අයිතිය
2013 මාර්තු මාසයේ ඕෂ් නගරයේ නිලධාරීන් ඔක්සානා කොරියාකින් සහ එයාගේ අම්මා නඩෙස්ඩ් සෙර්ගියෙන්ක්ට විරුද්ධව නඩු දැම්මා. සාක්ෂිකරුවන් බයිබලේ දේවල් උගන්නනවා කියලා කරන්නේ මිනිස්සුන්ව රවට්ටන එකයි කියලා එයාලා චෝදනා කළා. නඩුව විභාග කරන කල් ඒ දෙන්නාව නිවාස අඩස්සියේ තියන්න නියෝග කළා. 2014 ඔක්තෝබර් මාසයේ පවත්තපු නඩු විභාගයේදී ඉදිරිපත් කරලා තිබුණ සාක්ෂි බොරු ඒවා කියලත් පැමිණිලි පක්ෂයේ අය වැරදි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරලා කියලත් ඔප්පු වුණා. ඒ නිසා සහෝදරියන්ව නිදහස් කළා. 2015 ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණයත් ඒ තීරණය අනුමත කළා.
ඒත් පැමිණිලිකරුවන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. සහෝදරියන්ට පක්ෂව ලැබුණ තීන්දුව අවලංගු කරලා නඩුව ආයෙත් විභාග කරන්න එහෙදී නියෝගයක් දුන්නා. 2016 අප්‍රියෙල්වල සහෝදරියන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයා නඩුව නිෂ්ප්‍රභ කරන්න කියලා උසාවියෙන් ඉල්ලුවා. මොකද ඒ වෙද්දී නඩුව සඳහා නියමිත කාල සීමාව ඉවර වෙලයි තිබුණේ. අන්තිමේදී විනිසුරුවරයා නඩුව අවලංගු කළා.
පීඩාවලට මුහුණ දුන්නත් සහෝදරියන් කලකිරුණේ නැහැ. සහෝදරි සෙර්ගියෙන්ක් මෙහෙම කිව්වා. “පීඩා දරාගෙන ඉන්න ලේසි නැහැ. හැබැයි සහෝදරයන් පෙන්නපු සැලකිල්ල නිසා මං තනි වෙලා නැහැ කියලා මට දැනුණා. යෙහෝවා දෙවිගේ ආදරෙත් මං අද්දැක්කා.” යෙසායා 41:10 සඳහන් පොරොන්දුව ඉටු කරන්න දෙවි මොන තරම් ආසාවෙන් ඉන්නවාද කියලා ඒ සහෝදරියන් අද්දැක්කා. එතන කියන්නේ ‘භය නොවන්න. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි’ කියලයි.
කිර්ගිස්තානය | නීතික පිළිගැනීම
2015 අගෝස්තු 9වෙනිදා ඕෂ් නගරයේ රැස්වීම් පවත්වපු තැනකට පොලිස් නිලධාරීන් 10දෙනෙක් ආවා. එයාලා කිව්වේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් නීති විරෝධී කියලයි. ඒක නැවැත්තුවේ නැත්නම් එතන හිටපු 40දෙනාටම වෙඩි තියනවා කියලත් තර්ජනය කළා. සහෝදරයන් 10දෙනෙක්ව පොලිස් ස්ථානයට අරන් ගියා. එතනදී 9දෙනෙක්ටම අමානුෂික විදිහට පහර දුන්නා. පස්සේ සහෝදරයන්ව නිදහස් කළා. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකින් ඒ සහෝදරයන්ගෙන් එක් කෙනෙක්ව ආයෙත් අල්ලගෙන ගිහින් නීති විරෝධී ආගමික රැස්වීමක් මෙහෙයෙව්වා කියලා එයාට චෝදනා කළා.
ඒත් නාගරික උසාවියේ පවත්වපු නඩුවෙදි ඒ චෝදනාව ඔප්පු කරන්න බැරි වුණා. ඒ නිසා විනිසුරු නඩුව අහෝසි කළා. පැමිණිලිකාර පක්ෂය ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කළත් ඉහළ උසාවියෙනුත් සහෝදරයාට පක්ෂව තීන්දුවක් දුන්නා. මොකද කිර්ගිස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගත් ආගමක් විදිහට ලියාපදිංචි කරලයි තියෙන්නේ.
ඒත් පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. 2016 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයත් සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. සාක්ෂිකරුවන්ට කිර්ගිස්තානයේ රැස්වීම් පවත්වන්න නීතියෙන් කිසිම බාධාවක් නැහැ කියලා මේ අවස්ථාවේදීත් පැහැදිලි වුණා. පීඩාවලට මුහුණ දුන් අය පොලිස් නිලධාරීන් 10දෙනාට විරුද්ධව නඩුවක් දැම්මා. ඒකට තීන්දුවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
රුසියාව | ආගමික නිදහස
සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට රුසියාවේ රජය එල්ල කරන බාධා වළක්වන්න රටේ මානව හිමිකම් සංවිධාන කොයි තරම් උත්සාහ කළත් වැඩක් වෙලා නැහැ. අපේ ප්‍රකාශන 88ක් අන්තවාදී ප්‍රකාශන හැටියට නම් කළා. jw.org කියන අපේ නිල වෙබ් අඩවියත් තහනම් කළා. 2015දී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ රට තුළට ගෙන්නන එකත් තහනම් කළා. මේ බයිබලය අන්තවාදී ප්රකාශනයක් විදිහට වයිබෝග් උසාවිය විසින් නම් කරන්නත් ඉඩ තියෙනවා. අපේ ශාඛා කාර්යාලයේ අන්තවාදී ක්‍රියා වෙනවා කියලා 2016 මාර්තු මාසයේදී රුසියානු බලධාරීන් කියලා තිබුණා. ඒ නිසා එයාලා ඒක වහලා දාන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ප්‍රකාශ කළා.
සාක්ෂිකරුවන්ට විරුද්ධව විරෝධතා ව්‍යාපාර හුඟක් සිද්ධ වුණා. ඒ වගේම 2015 ඔක්තෝබර් මාසයේදී මොස්කව් නගරයෙන් කිලෝමීටර් 2,100කට විතර එහා තියෙන ට්යුමෙන්වල සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ අන්තවාදී ක්‍රියා සිද්ධ වෙනවා කියන චෝදනාව මත ඒ දේපළ රාජසන්තක කරන්න බලධාරීන් උත්සාහ කළා. පොලීසිය ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂි බොරු ඒවා කියලා සහෝදරයන් ට්යුමෙන් උසාවියෙදි ඔප්පු කළා. ඒ වුණත් අන්තිමේදී උසාවියෙන් සාක්ෂිකරුවන්ව වරදකරුවන් හැටියට තීන්දු කළා. ඒත් 2016 අප්‍රියෙල් 15වෙනිදා දීපු තීන්දුව වෙනස් කරලා ට්යුමෙන්වල සාක්ෂිකරුවන්ගේ දේපළ පවරාගැනීමට කිසිම පදනමක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. එතැන රැස් වෙලා හිටිය සහෝදරයන් 60දෙනා ඒ ගැන හුඟක් සතුටු වුණා.
තමන්ට “විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ” නැහැ කියන විශ්වාසය ඇතුව රුසියාවේ සාක්ෂිකරුවන් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගෙන ඉන්නවා.—යෙසා. 54:17.
රුවන්ඩා | ආගමික නිදහසට ගරු කරන අධ්‍යාපනයක්
ආගමික සහ දේශානුරාගී උත්සවවලටත් ඒ හා සම්බන්ධ වැඩවලටත් හවුල් වෙන එක ප්‍රතික්ෂේප කරන නිසා මෑත කාලයේදී රුවන්ඩාවේ සාක්ෂිකාර දරුවන් හුඟදෙනෙක්ව පාසැල්වලින් අස් කරලා තියෙනවා. මේ අසාධාරණකම නිසා 2015 දෙසැම්බර් 14වෙනිදා රජය නියෝගයක් නිකුත් කරමින් කිව්වේ ආගම හේතු කරගෙන පාසැල්වල දරුවන්ට අසාධාරණ විදිහට සලකන එක නවත්තන්න කියලයි.
2016 ජූනි 9වෙනිදා jw.org/si වෙබ් අඩවියේ විශේෂ පුවත්වල “ශිෂ්‍යයන්ගේ ආගමික නිදහසට ගරු කරන්න කියලා රුවන්ඩාවේ පාසැල්වලට රජයෙන් නියෝගයක්” කියන මාතෘකාවෙන් ලිපියක් පළ වුණා. හිතුවෙවත් නැති විදිහට රටේ ප්‍රසිද්ධ ඔන්ලයින් පත්තරයක් ඒ ලිපිය එයාලාගේ වෙබ් අඩවියේ පළ කළා. වැඩි වෙලාවක් යන්න කලින් 3,000කට වඩා වැඩිදෙනෙක් ඒක කියවලා තිබුණා. කියවපු අයගෙන් වැඩිදෙනෙක් එයාලාගේ අදහස් පළ කරලා තිබුණේ රජය ගත්ත තීරණයට පක්ෂවයි. රජය පනවපු නියෝගය නිසා තම දරුවන්ගේ ආගමික නිදහස පාසලේදී රැකෙන එක ගැන රුවන්ඩාවේ සාක්ෂිකරුවන් හුඟක් සතුටු වෙනවා.
දකුණු කොරියාව | හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම
දකුණු කොරියාවේ අවුරුදු 19ත් 35ත් අතර ඉන්න සහෝදරයන් හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා සිරදඬුවම් විඳිනවා. ඒ සහෝදරයන් දැන් අවුරුදු 60ක් පුරා මේ ගැටළුවට මුහුණ දෙනවා. කෙනෙක්ගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන එක හමුදා සේවය ප්‍රතික්ෂේප කරන්න හේතුවක් විදිහට දකුණු කොරියාවේ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. හමුදා සේවය වෙනුවට වෙනත් පොදු සේවාවක් කිරීමට අවසර දෙන්නෙත් නැහැ.
මීට පෙර අවස්ථා දෙකකදීම හමුදා සේවය ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයි කියලා ව්‍යවස්ථා අධිකරණය මගින් තීන්දු කරලා තිබුණා. ඒ වුණත් හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම නිසා දඬුවම් විඳින අයත් පහළ උසාවිවලිනුත් මේ ප්රශ්නය නැවත නැවතත් ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. අන්තිමේදී 2015 ජුලි 9වෙනිදා අධිකරණයෙන් ඒ ප්රශ්නය සලකලා බලන්න තීරණය කළා. හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා මාස 18ක් සිරදඬුවම් විඳින සහෝදර මින් හ්වාන් කිම් මෙහෙම කිව්වා. “මගේ දඬුවම නම් ඉවරයි. ඒත් මේ වගේ සිරදඬුවම් දෙන එක නතර කරන්න ඕනේ. ඒ වෙනුවට පොදු සේවාවක යෙදෙන්න අවසර දෙනවා නම් ඒකෙන් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න එයාලාට පුළුවන්.” මේ සම්බන්ධයෙන් අධිකරණය ඉක්මනින්ම තීරණයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
තුර්ක්මෙනිස්ථානය | බහ්රාම් හෙම්ඩෙමොව්
දරුවන් 4දෙනෙක් ඉන්න සහෝදර හෙම්ඩෙමොව්ට වයස 53යි. දෙවිට ගොඩක් ළැදි නමස්කාර කටයුතුවල උද්යෝගයෙන් හවුල් වුණ මේ සහෝදරයාට සමාජයෙත් හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒත් 2015 මැයි මාසයේදී එයාගේ ගෙදර ආගමික රැස්වීමක් පවත්වපු එක නීති විරෝධී කියන චෝදනාව මත මේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ එයාට බරපතළ වැඩ එක්ක අවුරුදු හතරක සිරදඬුවමක් නියම වුණා. එයාව දැම්මේ සෙයිඩිවල දරුණු අපරාධකරුවන් ඉන්න සිරමැදිරියකට. එහේ ඉද්දී බලධාරීන් දිගින් දිගටම එයාගෙන් ප්‍රශ්න කළා. ඒ වගේම දරුණු විදිහට එයාට පහර දුන්නා. ඒත් සහෝදර හෙම්ඩෙමොව් වගේම එයාගේ පවුලේ අය දිගටම දෙවිට විශ්වාසවන්තව ඉඳලා තියෙනවා. එයාගේ බිරිඳ වන ගුල්සරිට විටින් විට එයාව බලන්න ගිහින් එයාව දිරිගන්වන්න අවස්ථාව ලැබෙනවා.
“තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය” කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (ගීතා. 37:28) ඒ ගැන විශ්වාසය වැඩි කරගෙන දෙවිත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පීඩා මැද්දෙත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අය අපිට හොඳ ආදර්ශයක්. එයාලා වෙනුවෙන් අපි යාච්ඤා කරමු.