පාඩම් ලිපිය 34
ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය
වැඩිමහල්ලෙනි, වරදක් කරපු කෙනෙක්ට ආදරේ සහ දයාව පෙන්නන්න
“දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි.”—රෝම 2:4.
ලිපියේ අරමුණ
බරපතළ වරදක් කරපු කෙනෙක්ට පසුතැවිලි වෙන්න උදව් කරන්න වැඩිමහල්ලන් මොනවාද කරන්නේ?
1. බරපතළ වැරදි කරපු සමහරු ගැන කියන්න පුළුවන් මොකක්ද?
අපි කලින් ලිපියේ බැලුවා කොරින්ති සභාවේ හිටපු කෙනෙක් බරපතළ වරදක් කළාම පාවුල් සභාවේ අයට දීපු මඟ පෙන්වීම් ගැන. එයා පසුතැවිලි වුණේ නැති නිසා පාවුල් කිව්වා එයාව සභාවෙන් අයින් කරන්න කියලා. හැබැයි මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ පෙන්නන විදිහට බරපතළ වරදක් කරපු සමහරුන්ට පසුතැවිලි වෙන්න උදව් කරන්න පුළුවන්. (රෝම 2:4) ඒත් කොහොමද වැඩිමහල්ලන්ට පුළුවන් ඒක කරන්න?
2-3. සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරනවා කියලා දැනගත්තාම අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?
2 බරපතළ වරදක් කරන කෙනෙක්ට උදව් කරන්න නම් වැඩිමහල්ලෝ ඒ ගැන දැනන් ඉන්න ඕනේ. ඉතින් සභාවෙන් අයින් කරන්න පුළුවන් විදිහේ බරපතළ වරදක් කරන කෙනෙක්ව ඔයා දන්නවා නම් ඔයා මොනවාද කරන්න ඕනේ? එයාට කියන්න ඒ ගැන වැඩිමහල්ලන්ට කියලා එයාලාගෙන් උදව් ගන්න කියලා.—යෙසා. 1:18; ක්‍රියා 20:28; 1 පේතෘ. 5:2.
3 හැබැයි එයා වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න කැමති නැත්නම් මොකද කරන්නේ? එහෙමනම් ඔයාට සිද්ධ වෙනවා ඒ ගැන වැඩිමහල්ලන්ට කියලා එයාට උදව් කරන්න කියලා ඉල්ලන්න. එහෙම කරන එකෙන් පෙන්නන්නේ ඔයා එයාට කොච්චර ආදරේද කියලා. මොකද ඔයා කැමති නැහැ එයාව නැති කරගන්න. එයා දිගින් දිගටම ඒ වැරැද්ද කළොත් යෙහෝවා එක්ක එයාට තියෙන බැඳීමට තව තව හානි වෙයි. ඒ වගේම සභාවේ හොඳ නමටත් කැළලක් වෙයි. යෙහෝවාටයි, ඒ වැරැද්ද කරන කෙනාටයි තියෙන ආදරේ නිසා බය නැතුව ඒ ගැන වැඩිමහල්ලන්ට ගිහින් කියන්න.—ගීතා. 27:14.
උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
4. බරපතළ වරදක් කරපු කෙනෙක්ව හම්බ වෙන්න යද්දී වැඩිමහල්ලන්ගේ ඉලක්කේ වෙන්න ඕනෙ මොකක්ද?
4 කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල් මණ්ඩලයෙන් සුදුසුකම් තියෙන වැඩිමහල්ලෝ තුන්දෙනෙක්ව පත් කරනවා වැඩිමහල්ලන්ගේ කමිටුවක් විදිහට.a ඒ වැඩිමහල්ලන් සීමාව දැනගෙන වැඩ කරන, නිහතමානී අය වෙන්න ඕනේ. එයාලා තේරුම්ගන්න ඕනෙ වරද කරපු කෙනාට පසුතැවිලි වෙන්න උදව් කළාට වෙනස් වෙන්න කියලා එයාට බල කරන්න එයාලට බැහැ කියලා. (ද්වි. 30:19) ඒ වගේම වැරදි කරන හැම කෙනෙක්ම දාවිත් වගේ ඉක්මනින්ම පසුතැවෙයි කියලා එයාලා හිතන්න හොඳ නැහැ. (2 සාමු. 12:13) සමහරු දෙවියන්ගේ උපදෙස් ගණන් ගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. (උත්. 4:6-8) හැබැයි ඒ මොනවාවුණත් වැඩිමහල්ලන්ගේ ඉලක්කේ වෙන්න ඕනෙ එයාට පසුතැවෙන්න උදව් කරන එකයි. වැඩිමහල්ලන් වරදකරුවෙක්ව හම්බ වෙන්න යද්දී මතක තියාගන්න ඕනෙ මොනවාද?
5. වරදක් කරපු කෙනෙක්ව හම්බ වෙන්න යද්දී වැඩිමහල්ලන් එයා ගැන හිතන්න ඕන කොයි විදිහටද? (2 තිමෝති 2:24-26) (පින්තූරයත් බලන්න.)
5 වැඩිමහල්ලන් වරදකරුව දකින්නේ හරිම වටින, නැති වුණ බැටළුවෙක් විදිහට. (ලූක් 15:4, 6) ඒ නිසා එයාලා වරදක් කරපු කෙනාව හම්බ වෙද්දී එයාට සැරෙන් කතා කරන්නෙවත් නපුරු විදිහට සලකන්නෙවත් නැහැ. ඒ වගේම එයාලාගේ එකම වගකීම එයාගෙන් ප්‍රශ්න අහගෙන අහගෙන ගිහිල්ලා තොරතුරු ටික ගන්න එක කියලා එයාලා හිතන්නෙත් නැහැ. ඒ වෙනුවට එයාත් එක්ක කතා කරද්දී වැඩිමහල්ලන් 2 තිමෝති 2:24-26 තියෙන ගුණාංග පෙන්නනවා. (කියවන්න.) ඒකෙන් පැහැදිලියි වැඩිමහල්ලන් එයාත් එක්ක කතා කරද්දී දිගටම මෘදුකම, සන්සුන්කම, කරුණාව වගේ ගුණාංග පෙන්නන්න ඕනෙ කියලා. මොකද එයාලට ඕනෙ හිතන විදිහ වෙනස් කරගන්න වැරදි කරපු කෙනාට උදව් කරන්න.
6. වරදක් කරපු කෙනෙක්ව හම්බ වෙන්න යන්න කලින් දෙවියන්ගේ මඟ පෙන්වීම් හිතට දාගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (රෝම 2:4)
6 වැඩිමහල්ලන් දෙවියන්ගේ මඟ පෙන්වීම් හිතට දාගන්නවා. එයාලා පාවුල් දීපු මේ උපදෙස මතක තියාගන්නවා. “දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි.” (රෝම 2:4 කියවන්න.) ඒ නිසා වැරදි කරපු කෙනා එක්ක වැඩ කරද්දී එයාලා හැම පැත්තෙන්ම යෙහෝවාව ආදර්ශයට ගන්න උත්සාහ කරනවා. ඒ වගේම එයාලා එඬේරු කියලත් සභාවේ අයව බලාගද්දී එයාලා යේසුස්ට ඇහුම්කන් දීලා ඔහුව ආදර්ශයට ගන්න ඕනෙ කියලත් මතක තියාගන්නවා. (යෙසා. 11:3, 4; මතෙ. 18:18-20) එයාලා වරද කරපු කෙනාව හම්බ වෙන්න යන්න කලින් යෙහෝවාට යාච්ඤා කරලා එයාලාගේ ඉලක්කෙට යන්න උදව් ඉල්ලනවා. එයාලාගේ ඉලක්කේ තමයි පසුතැවිලි වෙන්න ඒ කෙනාට උදව් කරන එක. ඒ වගේම යෙහෝවා හිතන විදිහට හිතන්න උදව් වෙන බයිබල් පද සහ අපේ ප්රකාශනවල තියෙන තොරතුරු එයාලා හොඳට අධ්‍යයනය කරනවා. ඒ කෙනාව, එයාගේ තත්වය තේරුම්ගන්න උදව් කරන්න කියලත් යෙහෝවාගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි එයා ඒ වගේ හිතන්න, වැඩ කරන්න බලපාන්න ඇත්තේ මොන වගේ දේවල්ද, එයාගේ පසුබිම මොකක්ද කියලත් වැඩිමහල්ලෝ කල්පනා කරනවා.—හිතෝ. 20:5.
7-8. යෙහෝවා වගේ ඉවසන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
7 වැඩිමහල්ලන් යෙහෝවා වගේ ඉවසනවා. වරදකරුවන්ට උදව් කරන්න යෙහෝවා කළේ මොනවාද කියලා වැඩිමහල්ලන් හැම වෙලේම මතක තියාගන්නවා. උදාහරණෙකට ඔහු කායින් එක්ක වැඩ කළේ හරිම ඉවසීමෙන්. ඔහු කායින්ට කිව්වා එයා වරදක් කළොත් මොකද වෙන්නේ, ඒක නොකර හිටියොත් මොකද වෙන්නේ කියලා. (උත්. 4:6, 7) ඒ වගේම යෙහෝවා දාවිත්ට උපදෙස් දෙන්න අනාගතවක්තෘ නාතන්ව යැව්වා. නාතන් උදාහරණයක් පාවිච්චි කරලා පසුතැවිලි වෙන්න දාවිත්ට උදව් කළා. (2 සාමු. 12:1-7) අකීකරු වුණ ඊශ්‍රායෙල් ජාතියට උදව් කරන්නත් යෙහෝවා “ආයේ ආයේ” අනාගතවක්තෘවරුන්ව යැව්වා. (යෙරෙ. 7:24, 25) තමන්ගේ සෙනඟ වැරදි කරද්දී එයාලට උදව් කරන්න යෙහෝවා එයාලා පසුතැවිලි වෙන කල් බලන් හිටියේ නැහැ. ඒ වෙනුවට එයාලා වැරදි කරකර ඉද්දීම තමයි යෙහෝවා එයාලාගෙන් ඉල්ලුවේ පසුතැවිලි වෙන්න කියලා.
8 බරපතළ වරදක් කරපු කෙනෙක් එක්ක වැඩ කරද්දී වැඩිමහල්ලන් ආදර්ශයට ගන්නේ යෙහෝවාව. 2 තිමෝති 4:2 කියන විදිහට එයාලා ඒ වගේ කෙනෙක්ට දේවල් පැහැදිලි කරලා දෙන්නේ “හුඟක් ඉවසිලිවන්තව.” හරි දේ කරන්න වරද කරපු කෙනාගේ හිතේ ආසාවක් ඇති කරන්න නම් වැඩිමහල්ලන් හැම වෙලේම සන්සුන්ව, ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. එයාලා එයා ගැන කලකිරිලා, තරහෙන් වැඩ කරන්න ගියොත් එයාලා දෙන උපදෙස් එයා කනකට ගන්නේ නැති වෙයි. එයා පසුතැවිලි වෙන්න පෙලඹෙන එකකුත් නැහැ.
9-10. කෙනෙක්ට එයා කරපු වරද තේරුම්ගන්න උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
9 එයා වරදට වැටෙන්න බලපාපු හේතු තේරුම්ගන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. යෙහෝවාත් එක්ක එයාට තිබුණ බැඳීම දුර්වල වුණේ එයාගේ අධ්‍යයන පුරුදු, සේවේ අඩු වුණ නිසාද? එයා යෙහෝවාට යාච්ඤා කරන එක අතපසු කරලාද? වැරදි පෙලඹීම්වලට එයාව පාලනය කරන්න එයා ඉඩ දීලාද? ආශ්‍රය ගැන, විනෝදයට කරන දේවල් ගැන එයා මෝඩ තීරණ අරගෙනද? ඒ තීරණ එයා හිතන විදිහට බලපාලා තියෙන්නේ කොහොමද? එයා තේරුම් අරන් ඉන්නවාද එයා කරපු දේවල් නිසා එයාගේ තාත්තා වන යෙහෝවාට කොහොමද දැනෙන්නේ කියලා?
10 ඒ වගේ ප්‍රශ්න අහලා වැඩිමහල්ලන්ට පුළුවන් එයා යෙහෝවාගෙන් ඈත් වුණේ ඇයි කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න. හැබැයි එයාලා ඒක කරන්න ඕනෙ ගොඩක් කාරුණික විදිහට. ඒ වගේම මේකට අදාළ නැති වෙනත් පෞද්ගලික තොරතුරු හාරා අවුස්සන්න වැඩිමහල්ලන්ට අවශ්‍ය නැහැ. (හිතෝ. 20:5) ඊට අමතරව වැඩිමහල්ලන්ට පුළුවන් නාතන් වගේ උදාහරණ පාවිච්චි කරලා එයා කරපු දේ කොච්චර බරපතළද කියලා තේරුම්ගන්න උදව් කරන්න. එහෙම කරද්දී සමහරවිට එයාව හම්බ වුණ පළවෙනි අවස්ථාවේදීම එයාට එයා කරපු දේ ගැන ලොකු දුකක් ඇති වෙයි. සමහරවිට එයා අවංකව පසුතැවිලි වෙන්නත් පෙලඹෙයි.
11. යේසුස් වැරදි කරපු අය එක්ක වැඩ කළේ කොහොමද?
11 වැඩිමහල්ලන් යේසුස්ව ආදර්ශයට ගන්නවා. නැවත නැඟිට්ට යේසුස් ටාසස්වලින් ආපු සාවුල්ගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි?” ඒ වගේ ප්‍රශ්නයක් අහලා යේසුස් සාවුල්ට උදව් කළා එයා කරන දේ වැරදියි කියලා තේරුම්ගන්න. (ක්‍රියා 9:3-6) යෙසබෙල් කියන ස්ත්‍රිය ගැනත් යේසුස් කිව්වේ “පසුතැවිලි වෙන්න මං එයාට කාලයක් දුන්නා” කියලා.—එළි. 2:20, 21.
12-13. වරදක් කරපු කෙනෙක්ට පසුතැවිලි වෙන්න කාලේ දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
12 යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන් වරදකරු පසුතැවිලි වෙන එකක් නැහැ කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ. වැඩිමහල්ලන් හම්බ වෙන්න යන මුල් වතාවේදීම සමහරු පසුතැවෙනවා. හැබැයි තවත් අයට පසුතැවෙන්න කාලයක් ඕනේ. ඒ නිසා වැඩිමල්ලන් ඒ වගේ කෙනෙක්ව හම්බ වෙන්න එක සැරේකට වඩා යනවා. සමහරවිට මුල්ම වතාවේ වැඩිමහල්ලන්ව හම්බ වුණාට පස්සේ එයා වැඩිමහල්ලන් කියපු දේවල් ගැන හිතන්න පෙලඹෙයි. ඒ වගේම යටහත් වෙලා, කරපු වරදට සමාව ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරයි. (ගීතා. 32:5; 38:18) ඉතින් වැඩිමහල්ලෝ ආයේ වතාවක් එයාව හම්බ වෙන්න යද්දී එයා කලින්ට වඩා වෙනස් විදිහට හිතන්න පටන් අරන් කියලා වැඩිමහල්ලන්ට තේරෙයි.
13 වරදක් කරපු කෙනෙක්ට පසුතැවිලි වෙන්න උදව් කරද්දී වැඩිමහල්ලන් එයාට අනුකම්පාවෙන්, කරුණාවෙන් සලකනවා. එයාට උදව් කරන්න ගන්න හැම මහන්සියකටම ආශීර්වාද කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලනවා. ඒ වගේම නොමඟ ගිය කෙනා එයාගේ වැරැද්ද තේරුම් අරගෙන පසුතැවිලි වෙයි කියන බලාපොරොත්තුව එයාලට තියෙනවා.—2 තිමෝ. 2:25, 26.
14. කෙනෙක් පසුතැවිලි වෙද්දී ඒකට ගෞරවය ලැබෙන්න ඕනෙ කාටද? එහෙම කියන්නේ ඇයි?
14 වරදක් කරපු කෙනෙක් පසුතැවිලි වෙද්දී ඒක ඇත්තටම ලොකු සතුටක්. (ලූක් 15:7, 10) ඒකේ ගෞරවය යන්න ඕනෙ කාටද? වැඩිමහල්ලන්ටද? පාවුල් කියනවා ‘පසුතැවිලි වෙන්න දෙවියන් ඒ අයට උදව් කරන්න ඉඩ තියෙනවා’ කියලා. (2 තිමෝ. 2:25) ඒකෙන් පැහැදිලි වෙනවා කෙනෙක් වෙනස් වෙද්දී ඒ වෙනසට ගෞරවය ලැබෙන්නේ කිසිම මනුස්සයෙක්ට නෙවෙයි. ඒ ගෞරවය ලැබෙන්නේ නොමඟ ගිය කෙනාට වෙනස් වෙන්න උදව් කරපු යෙහෝවා දෙවියන්ටයි. කෙනෙක් පසුතැවිලි වෙද්දී ලැබෙන යහපත් ප්‍රතිඵල ගැනත් පාවුල් විස්තර කරනවා. ඒ වරද කරපු කෙනාට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න පුළුවන්. එයාට යක්ෂයාගේ උගුලෙන් බේරෙන්න පුළුවන්. ඒ වගේම එයාට ආයේ පියවි සිහියට එන්නත් පුළුවන්.—2 තිමෝ. 2:26.
15. පසුතැවිලි වුණ කෙනෙක්ට වැඩිමහල්ලන් දිගටම උදව් කරන්නේ කොහොමද?
15 කෙනෙක් පසුතැවිලි වුණාම එයාව ආයේ ආයේ හම්බ වෙන්න ගිහින් එයාගේ විශ්වාසේ ශක්තිමත් කරන්න වැඩිමහල්ලන්ගේ කමිටුවේ සහෝදරයන් සැලසුම් යොදනවා. ඒ වගේම සාතන් ගේන උගුල්වලට අහු වෙන්නේ නැතුව දිගටම සටන් කරලා හරි දේ කරන්න එයාලා එයාට උදව් කරනවා. (හෙබ්‍රෙ. 12:12, 13) වරදකරු කරපු දේවල් එයාලා අනිත් අයට කියන්නේ නැහැ. එහෙමනම් සභාවේ අයට දැනුම් දෙන්න ඕනෙ මොනවාද?
“හැමෝම ඉස්සරහා නිවැරදි කරන්න”
16. 1 තිමෝති 5:20 “හැමෝම ඉස්සරහා” කියද්දී පාවුල් අදහස් කළේ කාවද?
16 1 තිමෝති 5:20 කියවන්න. පාවුල් ඒ දේ කියන්නේ තවත් වැඩිමහල්ලෙක් වන තිමෝතිට. එයා ඒක කියන්නේ “පුරුද්දක් විදිහට වැරදි කරන අයව” හසුරුවන්න ඕනෙ විදිහ ගැන කියද්දියි. එතන “හැමෝම ඉස්සරහා” කියද්දී පාවුල් අදහස් කළේ නැහැ මුළු සභාව ඉස්සරහම ඒ ගැන කියන්න ඕනෙ කියලා. ඒ වෙනුවට පාවුල් කියන්නේ වරදකරු කරපු වැරැද්ද ගැන දැනටමත් දන්න කීපදෙනාට විතරක් ඒ ගැන කියන්න කියලයි. ඒ අයට වරද ඇසින් දුටු අය,වරදකරුම එයා කරපු වැරැද්ද ගැන කියපු අය ඇතුළත්. ඉතින් වැඩිමහල්ලෝ වැරදිකරුව නිවැරදි කරලා තියෙනවා කියලා කියන්නේ ඒ අයට විතරයි.
17. කෙනෙක්ට අවවාද කරලා තියෙනවා කියලා නිවේදනයක් දෙන්නේ මොන වගේ අවස්ථාවකදීද? ඒ ඇයි?
17 සමහර අවස්ථාවලදී වරදකරු කරපු බරපතළ වරද ගැන සභාවේ සෑහෙන දෙනෙක් දැනටමත් දන්නවා. එහෙම නැත්නම් ඒ ගැන එයාලට ආරංචි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී “හැමෝම ඉස්සරහා” කියද්දී ඒකට සභාවේ ඉන්න හැමෝම ඇතුළත් වෙනවා. ඉතින් “මේ සහෝදරයාට නැත්නම් සහෝදරියට අවවාද කරලා තියෙනවා” කියලා වැඩිමහල්ලෙක් සභාවේ අයට නිවේදනයක් දෙනවා. ඒ ඇයි? පාවුල් කියනවා අනිත් අයත් බරපතළ වරදකට වැටෙන්නේ නැති වෙන්න “ඒක අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙයි” කියලා.
18. බව්තීස්ම වුණ, 18ට අඩු දරුවෙක් අතින් බරපතළ වරදක් වුණොත් වැඩිමහල්ලෝ කරන්නේ මොනවාද? (පින්තූරයත් බලන්න.)
18 බව්තීස්ම වුණ, 18ට අඩු දරුවෙක් බරපතළ වරදක් කරනවා නම් මොකද කරන්නේ? එතකොට වැඩිමහල් මණ්ඩලයෙන් වැඩිමහල්ලෝ දෙන්නෙක්ට කියනවා දරුවාව එයාගේ ක්‍රිස්තියානි දෙමාපියන් එක්කb හම්බ වෙන්න කියලා.c වැඩිමහල්ලෝ හොයලා බලනවා දෙමාපියන් දැනටමත් එයාට පසුතැවිලි වෙන්න උදව් කරන්න මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා. ඒ දරුවා දෙමාපියන් දෙන උපදෙස්වලට කීකරු වෙනවා නම්, එයා හිතන විදිහ වැඩ කරන විදිහ වෙනස් කරගන්නවා නම් මොනවාද කරන්නේ? එතකොට වැඩිමහල්ලන් දෙන්නා තීරණේ කරයි වැඩිමහල්ලන්ගේ කමිටුවකින් ඒක හසුරුවන්නේ නැතුව ඒ දරුවාට උදව් කරන්න දෙමාපියන්ටම ඉඩ දෙනවා කියලා. ඇත්තටම දරුවන්ව ආදරෙන් නිවැරදි කරන වගකීම යෙහෝවා භාර දීලා තියෙන්නේ දෙමාපියන්ට. (ද්වි. 6:6, 7; හිතෝ. 6:20; 22:6; එෆී. 6:2-4) හැබැයි දිගටම දෙමාපියන් දරුවාට උදව් කරනවාද කියලා විටින් විට වැඩිමහල්ලන් දෙමාපියන්ගෙන් අහලා බලනවා. දරුවා පසුතැවෙන්නේ නැතුව දිගටම ඒ වරද කරනවා නම් මොකද කරන්නේ? එතකොට වැඩිමහල්ලන්ගේ කමිටුවක් දරුවාගේ දෙමාපියන් එක්ක දරුවාව හම්බ වෙනවා.
“යෙහෝවා ලොකු සෙනෙහසක් පෙන්නන, දයාවන්ත දෙවි කෙනෙක්”
19. බරපතළ වරදක් කරපු කෙනෙක්ව හම්බ වෙද්දී වැඩිමහල්ලන් යෙහෝවාව ආදර්ශයට ගන්නේ කොහොමද?
19 පත් කරපු කමිටුවේ සේවේ කරන වැඩිමහල්ලන්ට සභාව පිරිසිදුව තියාගන්න යෙහෝවා ඉස්සරහා ලොකු වගකීමක් තියෙනවා. (1 කොරි. 5:7) ඒ වගේම එයාලා වරද කරපු කෙනාට පසුතැවෙන්න උදව් කරන්න එයාලාගේ පැත්තෙන් පුළුවන් උපරිමේ කරනවා. ඒ නිසා එයාලා හැම තිස්සේම ඉන්නේ ඒ වරද කරපු කෙනා පසුතැවිලි වෙයි කියන බලාපොරොත්තුවෙන්. මොකද එයාලට ඕනෙ ‘ලොකු සෙනෙහසක් පෙන්නන, දයාවන්ත දෙවි වන යෙහෝවාව’ ආදර්ශයට ගන්න. (යාකො. 5:11) යොහන්ටත් සහෝදර සහෝදරියන් ගැන ඒ වගේ සෙනෙහසක් තිබුණා. එයා මෙහෙම කිව්වා. “මගේ දරුවෙනි, මං ඔයාලට මේ දේවල් ගැන ලියන්නේ ඔයාලා අතින් පාපයක් වෙන එක වළක්වන්නයි. ඒත් කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට කෙනෙක් ඉන්නවා. ඒ, පියාණන් එක්ක ඉන්න තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්. ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.”—1 යොහ. 2:1.
20. මේ ලිපි මාලාවේ අන්තිම ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
20 හැබැයි මේ කොච්චර උදව් කළත් සමහරු පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට එයාව සභාවෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක් වැඩිමහල්ලන් හසුරුවන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපි මාලාවේ අන්තිම ලිපියෙන් බලමු.
ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි
a ඉස්සර එයාලව හැඳින්නුවේ විනිශ්චය කමිටුව කියලා. හැබැයි විනිශ්චය කරන එක එයාලාගේ වගකීමට ඇතුළත් එක පැත්තක් විතරක් නිසා අපි තවදුරටත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් අපි කියන්නේ වැඩිමහල්ලන්ගේ කමිටුව කියලයි.
b මේ ලිපියේ දෙමාපියන් ගැන කියන දේවල් දරුවාගේ භාරකරුට, බාල වයස්කාර දරුවාව බලාගන්න වගකීම තියෙන වෙන ඕනම කෙනෙක්ට අදාළයි.
c දරුවාගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නෙවෙයි නම් දරුවාව හම්බ වෙන්න ඕනෙ එයාගේ නෑයෙක් වන සාක්ෂිකරුවෙක් හරි එයාට පාඩම කරපු කෙනා හරි දරුවා කිට්ටු වෙනත් සාක්ෂිකරුවෙක් හරි එක්ක.