පාඩම් ලිපිය 46
පාරාදීසය ගැන යෙහෝවා දෙවියන්ගෙන් සහතිකයක්!
“මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, ‘මට ආශීර්වාද කරන්න’ කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.”—යෙසා. 65:16.
ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
මේ ලිපියෙන්a
1. යෙසායා ඊශ්‍රායෙල්වරුන්ට කාවද්දන්න හැදුවේ මොකක්ද?
යෙහෝවා දෙවියන්ව යෙසායා හඳුන්වන්නේ “විශ්වාසවන්ත දෙවියන්” කියලා. මුල් භාෂාවට අනුව විශ්වාසවන්ත එහෙම නැත්නම් “සත්‍යය” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ “ආමෙන්” කියන වචනයයි. (යෙසා. 65:16) ආමෙන් කියන වචනයේ තේරුම “එසේම වේවා” නැත්නම් “ඇත්තෙන්ම” කියන එකයි. ඉතින් බයිබලේ යෙහෝවා දෙවියන් ගැන හරි යේසුස් ගැන හරි කතා කරද්දී “ආමෙන්” කියන වචනයත් සම්බන්ධ කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එතන කතා කරන දේ සත්‍යයි කියන එකයි. මේ හැම දේකින්ම පැහැදිලි වෙනවා යෙසායා ඊශ්‍රායෙල්වරුන්ට කාවද්දන්න හැදුවේ මොකක්ද කියලා. එයා කියන්නේ දෙවියන් අනාගතේ ගැන කියලා තියෙන හැම දෙයක්ම විශ්වාසවන්තයි කියලා. මොකද යෙහෝවා තමන් දීපු පොරොන්දු අකුරක් නෑර ඉෂ්ට කරනවා කියලා දැනටමත් ඔප්පු කරලයි තියෙන්නේ.
2. අපේ අනාගතේ ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන් ඇයි? අපි මේ ලිපියෙන් උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?
2 ඊශ්‍රායෙල්වරුන් වගේ අපිටත් පුළුවන්ද දෙවියන් අපේ අනාගතේ ගැන දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න? යෙසායා ඒ වචන කියලා අවුරුදු 800කට විතර පස්සේ පාවුල් පැහැදිලි කළා දෙවියන්ගේ පොරොන්දු විශ්වාසනීයයි කියන්න හේතුව. එයා කිව්වා ‘දෙවි කිසි ලෙසකින්වත් බොරු කියන්නේ නැහැ’ කියලා. (හෙබ්‍රෙ. 6:18) එකම උල්පතෙන් නැවුම් වතුරයි, ලුණු වතුරයි එන්නේ නැහැ වගේ සත්‍යතාවේ උල්පත වන යෙහෝවාගෙන් ඇත්තයි, බොරුවයි දෙකම එන්නේ නැහැ. ඒ නිසයි අපේ අනාගතේ ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දු ඇතුළු ඔහු කියන හැම දෙයක්ම අපිට 100%ක් විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අපි මේ ලිපියෙන් ප්‍රශ්න දෙකකට උත්තර බලමු. (1) යෙහෝවා දෙවියන් අපේ අනාගතේ ගැන දීලා තියෙන පොරොන්දු මොනවාද? (2) ඒවා අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියලා කියන්න ඔහු දීලා තියෙන සහතිකය මොකක්ද?
යෙහෝවා පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද?
3. (අ) දෙවියන්ගේ සෙනඟ ගොඩක් ආස මොන පොරොන්දුවටද? (එළිදරව් 21:3, 4) (ආ) අපි ඒ පොරොන්දුව අනිත් අයත් එක්ක බෙදාගනිද්දී සමහරු කියන්නේ මොකක්ද?
3 අපි දැන් බලන්නේ ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟ හුඟක් ආස පොරොන්දුවක් ගැන. (එළිදරව් 21:3, 4 කියවන්න.) ඒකේ යෙහෝවා දෙවියන් කියනවා “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියලා. පාරාදීසය ගැන කතා කරද්දී අපි හැමෝම වගේ නිතර නිතර සේවේදී ඒ බයිබල් පදය පාවිච්චි කරනවා. හැබැයි අපි ඒක මිනිස්සුන්ට පෙන්නද්දී සමහරු කියනවා “එහෙම වෙනවා නං හොඳයි. හැබැයි ඉතිං ඕක නං කවදාවත් වෙන්නේ නෑ” කියලා.
4. (අ) අපේ කාලේ සිද්ධ වෙන මොන දේවල් ගැනද යෙහෝවා කලින්ම දැනන් හිටියේ? (ආ) පොරොන්දුව දීපු එකට අමතරව දෙවියන් තව මොනවාද කළේ?
4 පාරාදීසය ගැන යොහන්ට වාර්තා කරන්න කියපු වෙලාවේ යෙහෝවා දෙවියන් දැනන් හිටියා අද ඉන්න අපිටත් ඒ පොරොන්දුව ගැන මිනිස්සුන්ට කියන්න වෙනවා කියලා. ඒ වගේම ඔහු දැනන් හිටියා මේක “අලුත් දෙයක්” නිසා හුඟක් අයට මේක විශ්වාස කරන්න අමාරුයි කියලා. (යෙසා. 42:9; 60:2; 2 කොරි. 4:3, 4) ඉතින් එළිදරව් 21:3, 4 කියන දේ ඉෂ්ට වෙනවා කියලා අපිටම සහතික කරගන්න ගමන් ඒක සහතික කරගන්න අනිත් අයටත් උදව් කරන්නේ කොහොමද? ඇත්තටම යෙහෝවා නිකම්ම මේ පොරොන්දුව දීලා විතරක් නතර වුණේ නැහැ. ඒ වෙනුවට ඒක විශ්වාස කරන්න පුළුවන් හේතුත් ඔහු පැහැදිලි කළා. මොනවාද ඒ හේතු? දැන් අපි ඒ ගැන බලමු.
දෙවියන්ගෙන් සහතිකයක්!
5. පාරාදීසය ගැන තියෙන පොරොන්දුව විශ්වාස කරන්න උදව් වෙන බයිබල් පද මොනවාද? ඒ පදවල තියෙන්නේ මොනවාද?
5 පාරාදීසය ගැන තියෙන පොරොන්දුව විශ්වාස කරන්න එළිදරව් 21:5, 6 කියන දේ අපිට උදව් වෙනවා. ඒකේ මෙහෙම කියනවා. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය. ‘බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.’ තවදුරටත් ඔහු, ‘ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය’ කියාද පැවසුවේය. ඔහු මට මෙසේද කීවේය. ‘එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.’”
6. එළිදරව් 21:5, 6 තියෙන වචනවලින් දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙනවාමයි කියලා සහතිකයක් ලැබෙන්නේ කොහොමද?
6 දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙනවාමයි කියලා ඒ පදවලින් සහතිකයක් ලැබෙන්නේ කොහොමද? ‘එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි!’ කියන පොතේ ඒ ගැන කියන දේ බලන්න. “යෙහෝවා දෙවි තමාට විශ්වාසවන්තව සිටින මිනිස් වර්ගයා වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන බවට ඔහුම තහවුරු කරන්නේ කෙසේද? යෙහෝවා දෙවිම කතා කරමින් ඒ සහතිකය දෙනවා. එය හරියටම යම් ඔප්පුවකට යෙහෝවා දෙවිම අත්සන් කරනවා වගෙයි.”b යෙහෝවා දෙවියන් දීපු පොරොන්දුව තියෙන්නේ එළිදරව් 21:3, 4. ඔහු ඒ පොරොන්දුව ඉටු කරනවා කියන සහතිකය තියෙන්නේ 5වෙනි සහ 6වෙනි පදවල. ඒක හරියට ඒක ස්ථිර කරන්න ඔහු අත්සනක් දානවා වගේ. දැන් අපි දෙවියන් දීපු මේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා සහතික වෙන්න පුළුවන් තවත් හේතු ගැන බලමු.
7. එළිදරව් 21:5 සඳහන් වචන කියන්නේ කවුද? ඒක විශේෂ ඇයි?
7 එළිදරව් 21:5 පටන්ගන්නේ මේ වචනවලින්. “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය.” (එළි. 21:5අ) දෙවියන් දර්ශනයක් මාර්ගයෙන් කෙළින්ම යොහන්ට කතා කරපු අවස්ථා තුනක් ගැන විතරයි එළිදරව් පොතේ තියෙන්නේ. ඒ අවස්ථා තුනෙන් එකක් තමයි ඒ. ඒකෙන් පැහැදිලියි දෙවියන් මේක කියන්නේ දේවදූතයෙක් මාර්ගයෙන්වත් නැවත නැඟිටපු යේසුස් මාර්ගයෙන්වත් නෙවෙයි කියලා. ඒ වෙනුවට යෙහෝවාමයි මේක කියන්නේ. ඒකෙන්ම තේරෙනවා අපිට මේ වචන විශ්වාස කරන්න පුළුවන් කියලා. මොකද ඔහු කවදාවත්ම ‘බොරු කියන්නේ නැහැ.’—තීත. 1:2.
“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
8. තමන් දුන්න පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා යෙහෝවා කාවැද්දුවේ කොහොමද? (යෙසායා 46:10)
8 අපි ඊළඟට ඒ පදයේ තියෙන “බලන්න” කියන වචනයට අවධානය දෙමු. (එළි. 21:5) එතන “බලන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය එළිදරව් පොතේ කීප වතාවක්ම සඳහන් වෙනවා. එක පොතක ඒ ගැන මෙහෙම කියනවා. “බලන්න කියන වචනය පාවිච්චි කරන එකෙන් කාවැද්දුවේ ඊළඟට කියන්න යන දේවල්වලට විශේෂ අවධානයක් දෙන්න කියලයි.” ඉතින් මොකක්ද ඇත්තටම ඊළඟට කියන්නේ? දෙවියන් කියනවා “මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා. ඇත්ත යෙහෝවා මේ කියන්නේ අනාගතේදී ඉටු කරන්න යන දේවල් ගැන. හැබැයි ඒක ඉටු කරනවා කියලා දෙවියන්ට කොච්චර ස්ථිරද කියනවා නම් ඔහු ඒ ගැන කියන්නේ දැනටමත් ඉටු වෙලා තියෙන දෙයක් විදිහට.—යෙසායා 46:10 කියවන්න.
9. (අ) “සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) දැන් තියෙන “අහසටයි,” “පොළොවටයි” වෙන්නේ මොකක්ද?
9 දැන් අපි එළිදරව් 21:5 තියෙන “සෑම දෙයක්ම අලුතින් සාදන්නෙමි” කියන කොටසට අවධානය දෙමු. එළිදරව් 21වෙනි පරිච්ඡේදයේ දෙවියන් කරන්න යන දේවල් දෙකක් ගැන කතා කරනවා. (1) තියෙන දෙයක් අයින් කරලා ඒ වෙනුවට අලුතින්ම දෙයක් හදනවා. (2) දැනටමත් තියෙන දෙයක් අලුත් තත්වයකට ගේනවා. අපි ඒ දෙකෙන් පළවෙනි එක ගැන මුලින්ම බලමු. එළිදරව් 21:1 මෙහෙම කියනවා. “මුලින් තිබූ අහසත් මුලින් තිබූ පොළොවත් පහව ගොස් තිබිණ.” එතන “මුලින් තිබූ අහස” කියලා කියන්නේ සාතන්ගේ සහ භූතයන්ගේ බලපෑමට යටත් වුණ දේශපාලන ආණ්ඩුවලට. (මතෙ. 4:8, 9; 1 යොහ. 5:19) බයිබලේ “පොළොව” කියද්දී හුඟක් අවස්ථාවලදී අදහස් වෙන්නේ මිනිස්සුන්ව. (උත්. 11:1; ගීතා. 96:1) ඒකෙන් පැහැදිලියි “මුලින් තිබූ පොළොව” කියලා කියන්නේ දුෂ්ට මිනිස්සුන්ටයි කියලා. ඉතින් කලින් තිබූ “අහස” සහ කලින් තිබූ “පොළොව” ආයෙත් අලුත්වැඩියා කරලා ගන්නවා වෙනුවට යෙහෝවා දෙවියන් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. ඒ වෙනුවට ඔහු “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිහිටුවන්න යනවා. ඒ කියන්නේ ඔහු අලුත් ආණ්ඩුවක් වගේම අලුත් මිනිස් සමාජයක් බිහි කරනවා.
10. යෙහෝවා දෙවියන් අලුත් කරන්නේ මොනවාද?
10 දැන් අපි එළිදරව් 21:5 ඉතුරු ටිකට අවධානය දෙමු. මුල් භාෂාවට අනුව එතන කියන්නේ දෙවියන් “හැම දෙයක්ම අලුත් කරනවා” එහෙම නැත්නම් “අලුත් තත්වයකට ගේනවා” කියලා. ඔව්, එදාට දෙවියන් මේ පොළොව අලුත් තත්වයකට ගේනවා. ඒ කියන්නේ දෙවියන් යෙසායා මාර්ගයෙන් කියපු විදිහට මේ මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන තැනක් කරනවා. ඒ වගේම දෙවියන් මිනිස්සුන්වත් අලුත් තත්වයකට ගේනවා. ඒ කියන්නේ මිනිස්සු හැමෝවම පරිපූර්ණ තත්වයට ගේනවා. ඒක නිකම්ම පොදුවේ වෙන දෙයක් නෙවෙයි. දෙවියන් අපි එක් එක් කෙනාවත් අලුත් තත්වයකට ගේනවා. එදාට කොර, බිහිරි, අන්ධ හැමෝම සුව වෙනවා. ඒ විතරක් නෙවෙයි මැරුණ අයත් නැවත නැඟිටිනවා.—යෙසා. 25:8; 35:1-7.
‘එම වදන් විශ්වාසවන්තය, සැබෑය. එය ඉටු වී තිබේ!’
11. යෙහෝවා දෙවියන් යොහන්ට කිව්වේ මොනවාද? එහෙම කියන්න හේතුව මොකක්ද?
11 දෙවියන්ගේ පොරොන්දුව ඉටු වෙනවා කියලා සහතික කරගන්න අපිට තියෙන තව හේතු මොනවාද? යෙහෝවා දෙවියන් යොහන්ට කිව්වා “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියලා. (එළි. 21:5) අපිට පේනවා දෙවියන් යොහන්ට නිකම්ම “ලියාගන්න” කියලා විතරක් නැවතුණේ නැහැ. ඒක ලියාගන්න කිව්වේ ඇයි කියලත් පැහැදිලි කළා. ඔහු කිව්වා “එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියලා. යොහන් දෙවියන්ට කීකරු වෙලා ඒවා ‘ලියපු’ එක අපි ඇත්තටම අගය කරන්න ඕනේ. මොකද ඒක නිසා තමයි පාරාදීසය ගැන තියෙන පොරොන්දුව අපිට බයිබලෙන් කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන ඒ ආශීර්වාද ගැන ගැඹුරින් කල්පනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
12. “එම වදන් ඉටු වී තිබේ!” කියලා කියන්න යෙහෝවාට පුළුවන් ඇයි?
12 දෙවියන් ඊළඟට කියනවා “එම වදන් ඉටු වී තිබේ” කියලා. (එළි. 21:6) යෙහෝවා දෙවියන් එතන කතා කරන්නේ ඔහු දුන්න පොරොන්දු දැනටමත් ඉටු වෙලා තියෙන ඒවා විදිහටයි. ඇත්තටම ඒ පොරොන්දු ගැන ඒ විදිහට කතා කරන්න ඔහුට සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද ඔහුගේ අරමුණ ඉටු වෙන එක නවත්වන්න මේ විශ්වයේ ඉන්න කිසිම කෙනෙක්ට බැහැ. දැන් අපි බලමු දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවාමයි කියලා සහතික කරගන්න පුළුවන් ඊළඟ හේතුව ගැන.
“මම ඇල්ෆා සහ ඔමේගාය”
13. “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා යෙහෝවා කිව්වේ ඇයි?
13 අපි කලින් බලපු විදිහට යෙහෝවා දෙවියන් දර්ශන මාර්ගයෙන් කෙළින්ම යොහන්ට කතා කරපු අවස්ථා තුනක් තියෙනවා. (එළි. 1:8; 21:5, 6; 22:13) ඒ හැම අවස්ථාවකදීම යෙහෝවා කියනවා “මම ඇල්ෆා සහ ඔමේගාය” කියලා. ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. ඔමේගා කියන්නේ අන්තිම අකුර. ඉතින් “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා කියපු එකෙන් යෙහෝවා දෙවියන් කාවද්දන්න හැදුවේ ඔහු මොකක් හරි දෙයක් පටන්ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒක සාර්ථකව අවසන් කරනවා කියන එකයි.
14. (අ) යෙහෝවා “ඇල්ෆා” කියලා කියපු සහ “ඔමේගා” කියලා කියන්න යන අවස්ථාවකට උදාහරණයක් දෙන්න. (ආ) උත්පත්ති 2:1-3න් අපිට ලැබෙන්නේ මොන වගේ සහතිකයක්ද?
14 යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළාට පස්සේ ඔහුගේ අරමුණ මොකක්ද කියලා එයාලට දැනුම් දුන්නා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “දෙවි ඔවුන්ට ආශීර්වාද කර මෙසේ කීවේය. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.’” (උත්. 1:28) තව විදිහකින් කියනවා නම් යෙහෝවා ඒ වෙලාවේ කළේ “ඇල්ෆා” කියලා කියපු එක. ඒ කියන්නේ ඔහුගේ අරමුණ ඉටු වෙන්න පටන්ගත්තා කියන එක. ආදම් සහ ඒවගෙන් පැවතෙන කීකරු අය පරිපූර්ණත්වයට ළඟා වෙලා මේ මුළු පොළොවම පාරාදීසයක් වෙන දවසට යෙහෝවාට පුළුවන් “ඔමේගා” කියලා කියන්න. වෙන විදිහකින් කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ අරමුණ ඉටු වුණා කියන එක. යෙහෝවා “අහසත් පොළොවත් ඒවායේ ඇති සියල්ලත් සාදා නිම කළාට” පස්සේ එක සහතිකයක් දුන්නා. ඒ ගැන උත්පත්ති 2:1-3 කියලා තියෙනවා. (කියවන්න.) දෙවියන් දවස් හයක් පුරා හැම දෙයක්ම නිර්මාණය කරලා හත්වෙනි දවස ශුද්ධ දවසක් විදිහට වෙන් කළා. ඒ ඔහුගේ අරමුණ ඉටු කරන්න. ඒකෙන් ඔහු සහතිකයක් දුන්නා හත්වෙනි දවස ඉවර වෙද්දී අනිවාර්යයෙන්ම මිනිස්සු සහ මේ පොළොව සඳහා ඔහුට තිබුණ මුල් අරමුණ ඉටු වෙනවා කියලා.
15. දෙවියන්ගේ අරමුණ කඩාකප්පල් කරන්න සාතන් ගත්ත උත්සාහය සාර්ථකයි වගේ පෙනුණේ ඇයි?
15 ආදම් සහ ඒව දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවාට පස්සේ එයාලට විතරක් නෙවෙයි එයාලාගෙන් පැවතෙන අයටත් පාපය සහ මරණය උරුම වුණා. (රෝම 5:12) ඒකේ ප්‍රතිඵලයක් විදිහට පරිපූර්ණ, කීකරු මිනිස්සුන්ගෙන් මේ පොළොව පුරවන්න දෙවියන්ට තිබුණ අරමුණ සාතන් කඩාකප්පල් කළා වගෙයි පේන්න තිබුණේ. එහෙම බලද්දී යෙහෝවා දෙවියන්ට “ඔමේගා” කියලා කියන්න තිබුණ අවස්ථාව නැති කරන්න එයාට පුළුවන් වුණා කියලා සාතන් හිතන්න ඇති. ඒ වගේම යෙහෝවාට කරන්න කිසිම දෙයක් නැහැ කියලත් එයාට හිතෙන්න ඇති. යෙහෝවාට තියෙන එකම විසඳුම ආදම් සහ ඒවව විනාශ කරලා අලුතින්ම පරිපූර්ණ යුවළක්ව නිර්මාණය කරන එක කියලයි පේන්න තිබුණේ. හැබැයි එහෙම වුණොත් දෙවියන් බොරුකාරයෙක් කියලා සාතන්ට හරිම ලේසියෙන් චෝදනා කරන්න පුළුවන්. මොකද උත්පත්ති 1:28 කියන විදිහට දෙවියන් ආදම් සහ ඒවට කිව්වේ එයාලාගෙන් පැවතෙන අය මේ පොළොව පූර්ණ කරනවා කියලා.
16. පොරොන්දුව ඉටු කළේ නැහැ කියලා දෙවියන්ට චෝදනා කරන්න සාතන් හිතන්න ඇත්තේ ඇයි?
16 සමහරවිට සාතන් හිතන්න ඇති, කරන්න දෙයක් නැතිකමට යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවගෙන් පැවතෙන අයගෙන් මේ පොළොව පූර්ණ කරන්න ඉඩහරියි කියලා. හැබැයි එයාලාගේ දරුවෝ පාපය උරුම කරගත්ත අය. (දේශ. 7:20; රෝම 3:23) එහෙමවුණත් සාතන්ට පුළුවන් පොරොන්දුව ඉටු කරන්න බැරි වුණා කියලා දෙවියන්ට චෝදනා කරන්න. මොකද අපි කලිනුත් බලපු විදිහට දෙවියන්ගේ මුල් අරමුණ වුණේ ආදම් සහ ඒවගෙන් පැවතෙන කීකරු, පරිපූර්ණ අයගෙන් මේ පොළොව පුරවන එකයි.
17. සාතන් සහ මුල් යුවළ ඇති කරපු ප්රශ්නය යෙහෝවා දෙවියන් විසඳුවේ කොහොමද? ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
17 සාතන් සහ මුල් යුවළ ඇති කරපු ප්රශ්නය යෙහෝවා දෙවියන් විසඳයි කියලා සාතන් නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. (ගීතා. 92:5) දෙවියන් ආදම් සහ ඒවව විනාශ කරලා අලුතින්ම යුවළක් හදනවා වෙනුවට එයාලටම දරුවන් බිහි කරන්න අවස්ථාව දුන්නා. එහෙම කරලා ඔහු ඔප්පු කළා ඔහු බොරුකාරයෙක් නෙවෙයි කියලා. ඒ වගේම ආදම් සහ ඒවගෙන් ‘පැවතෙන කෙනෙක්’ මාර්ගයෙන් දෙවියන්ට කීකරු මිනිස්සුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවගන්නත් යෙහෝවා සැලැස්මක් ඇති කළා. (උත්. 3:15; 22:18) ඒකෙන් යෙහෝවා ඔප්පු කළා ඔහු පරාජිතයෙක් නෙවෙයි කියලා. හැබැයි ජීවිත පූජාවක් දෙන්න දෙවියන් ඇති කරපු සැලැස්ම ගැන සාතන්ට හිතාගන්න බැරි වෙන්න ඇති. මොකද ජීවිත පූජාව වෙනුවෙන් යෙහෝවාට ලොකු පාඩුවක් විඳින්න වුණත් ඔහු ඒක කරන්න දෙපාරක් හිතුවේ නැහැ. ඒ, මිනිස්සුන්ට තිබ්බ අසීමිත ආදරේ නිසා. (මතෙ. 20:28; යොහ. 3:16) ඒ වගේ ආදරයක් සාතන් කියන චරිතයේ නම් ගෑවිලාවත් නැහැ. ඒත් ජීවිත පූජාව නිසා ලැබෙන අවසන් ප්‍රතිඵලය මොකක්ද? අවුරුදු 1,000 අවසන් වෙද්දී ආදම් සහ ඒවගෙන් පැවතෙන කීකරු, පරිපූර්ණ අයගෙන් මේ පොළොව පිරෙනවා. ඒකම තමයි යෙහෝවා දෙවියන්ගේ මුල් අරමුණ වුණෙත්. ඉතින් එදාට එක්තරා විදිහකින් යෙහෝවා කියයි “ඔමේගා” කියලා.
විශ්වාසය දිගටම වැඩි කරගන්න
18. දෙවියන්ගේ පොරොන්දුව විශ්වාස කරන්න අපිට තියෙන ප්‍රබල හේතු මොනවාද? (“විශ්වාස කරන්න ප්‍රබල හේතු තුනක්!” කියන කොටුව බලන්න.)
18 අපි බලපු විදිහට දෙවියන් පාරාදීසය ගැන දීලා තියෙන පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවාමයි කියලා විශ්වාස කරන්න අපිට තියෙන ප්‍රබල හේතු මොනවාද? (1) මේ පොරොන්දුව දෙන්නේ යෙහෝවා දෙවියන්මයි. ඒ ගැන එළිදරව් පොතේ කියන්නේ “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා මෙසේ පැවසුවේය. ‘බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි’” කියලා. යෙහෝවා දෙවියන් ප්‍රඥාවන්ත, බලවත් දෙවි කෙනෙක්. ඒ වගේම මේ පොරොන්දුව ඉටු කරන්න ඔහුගේ හිතේ ලොකු ආසාවකුත් තියෙනවා. (2) යෙහෝවා මේ පොරොන්දුව සලකන්නේ දැනටමත් ඉටු වෙලා තියෙන එකක් විදිහට. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. ‘එම වදන් විශ්වාසවන්තය, සැබෑය. එය ඉටු වී තිබේ.’ (3) යෙහෝවා දෙවියන් මොකක් හරි දෙයක් පටන්ගත්තොත් ඒක සාර්ථකව අවසන් කරලාමයි නවතින්නේ. ඒ නිසයි ඔහු කියන්නේ “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා. ඉතින් මේ හැම දේකින්ම යෙහෝවා ඔප්පු කරනවා බොරුකාරයා සහ පරාජිතයා ඔහු නෙවෙයි සාතන් කියලා.
19. පාරාදීසය ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව සමහරුන්ට විශ්වාස කරන්න අමාරු වෙද්දී ඔයාට කරන්න පුළුවන් මොනවාද?
19 මතක තියාගන්න, ඔයා සේවේ ගිහිල්ලා දෙවියන් දීලා තියෙන මේ පොරොන්දුව ගැන කතා කරන හැම වතාවකම දෙවියන්ගේ පොරොන්දු ගැන ඔයාට තියෙන විශ්වාසයත් තව ශක්තිමත් වෙනවා කියලා. ඉතින් ඊළඟ සැරේ එළිදරව් 21:4 පෙන්නලා ඔයා පාරාදීසය ගැන කතා කරද්දී කවුරු හරි කෙනෙක් කිව්වොත් “ඕක වෙනවා නං හොඳයි. ඒත් ඕවා වෙන දේවල් නෙවෙයි” කියලා ඔයා මොකද කරන්නේ? ඒ වෙලාවට කෙළින්ම 5වෙනි සහ 6වෙනි පද පෙන්නලා එයාට ඒ ගැන පැහැදිලි කරන්න. එයාට කියන්න යෙහෝවා මේ පොරොන්දුව දීලා තියෙනවා විතරක් නෙවෙයි ඒක සහතික කරන්න ඔහුම අත්සනකුත් දාලා තියෙනවා කියලා.—යෙසා. 65:16.
ගීතිකාව 145 පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි
a පාරාදීසය ගැන දීලා තියෙන පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා කියන්න දෙවියන් දීලා තියෙන සහතිකය ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ සහතිකය ගැන අපි අනිත් අයත් එක්ක කතා කරන හැම වෙලාවකම යෙහෝවාගේ පොරොන්දු ගැන අපිට තියෙන විශ්වාසයත් තව තවත් වැඩි වෙයි.