සුචරිතය ලුහුබඳින්නේ කෙසේද?
නවීන දින ශබ්දකෝෂවල “සුචරිතය” විස්තර කර ඇත්තේ “සදාචාරාත්මක උත්කෘෂ්ටභාවය, යහපත්කම” වශයෙනුයි. එය “මනා පැවැත්ම, නිවැරදි චින්තනයක් සහ යහපත් චරිතයක් ඇතුව සිටීම” වශයෙන්ද නිර්වචනය කර තිබෙනවා. එක් ශබ්දකෝෂයක කර්තෘවරයෙක් වූ මාවින් ආර්. වින්සන්ට් පැහැදිලි කළේ, “සුචරිතය” වශයෙන් පරිවර්තනය කර ඇති මුල් ග්‍රීක් වචනයෙන් “උත්කෘෂ්ටයයි සැලකිය හැකි ඕනෑම දෙයක්” අඟවන බවයි. එසේ නම්, සිහි බුද්ධිය, නිර්භීතකම, විනය ගරුකභාවය, සාධාරණත්වය, අනුකම්පාව, දැඩි උත්සාහය, අවංකකම, යටහත්කම, පක්ෂපාතකම වැනි ගුණාංග සුචරිතයට අයත් වූ බව කලක් තිස්සේ විශ්වාස කර තිබීම ගැන පුදුම විය යුතු නැහැ. “නිවැරදියයි සැලකෙන යම් ප්‍රමිති මාලාවකට එකඟව කටයුතු කිරීම” වශයෙන්ද සුචරිතය විස්තර කර තිබෙනවා.
යහපත්කම හා උත්කෘෂ්ටභාවය සම්බන්ධයෙන් කාගේ ප්රමිතිවලටද අප යටත් විය යුත්තේ? නියූස්වීක් සඟරාවේ පළ වූ ලිපියකට අනුව, “සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් විවිධ මතවාද ඇති අතර, එම මතවාද අතුරින් දැනට වැඩි පිළිගැනීමක් ඇති ඒවා ඉදිරිපත් කරන අය පවසන්නේ, ආලෝකන ව්‍යාපාරය (18වන සියවසේ දර්ශනවාදි අදහස් ඉදිරිපත් කළ කණ්ඩායමක්) ජනිත කර ඇති සැක සහිත වාතාවරණය හේතුවෙන්, හරි වැරැද්ද සම්බන්ධයෙන් සියලුම තීරණ පෞද්ගලික මනාපය, හැඟීම් හෝ සංස්කෘතියට අනුව තීරණය කළ යුත්තක් බවට පත් වී තිබෙන බවයි.” එහෙත් තමන්ගේ රුචි අරුචිකම් අනුව හරි දේ හා වැරදි දේ පිළිබඳ තීරණ ගැනීම සුදුසු දෙයක්ද? ඇත්තෙන්ම නැහැ. සුචරිතය ලුහුබඳින්න නම් අපේ යම් ක්‍රියාවක්, ආකල්පයක් හෝ වගා කරගත් යම් ගුණාංගයක් හරිද වැරදිද යන්න නිශ්චය කරගැනීමට යම් විශ්වසනීය ප්‍රමිතියක් අවශ්‍යයි.
පිළිගත හැක්කේ කාගේ සදාචාර ප්‍රමිතිද?
අපට පිළිගත හැක්කේ මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි විසින් සකසා ඇති සදාචාර ප්‍රමිති මාලාව පමණයි. පළමු මිනිසා වන ආදම්ව මැවීමෙන් ටික කලකට පසුව යෙහෝවා දෙවි ඔහුට මෙසේ ආඥා කළා. “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) යෙහෝවා දෙවි නොකන්න කිවූ එම ගසට විශේෂිත වූ නමක් දී තිබුණා. එයින් ගෙනහැර දැක්වූයේ තම මැවිල්ල වෙනුවෙන් හරි දෙය හා වැරදි දෙය කුමක්ද කියා තෝරා දීමට අයිතිය තිබෙන්නේ යෙහෝවාට පමණක් බවයි. එදා සිට කෙනෙකුගේ ක්‍රියා, ආකල්ප හා ගති ලක්ෂණ හොඳද නරකද යන්න තීරණය වන්නේ දෙවිගේ ප්‍රමිති අනුවයි. එම ප්‍රමිති නොසලකා හරිමින් කිසිවිටෙක හරි හා වැරැද්ද පිළිබඳව නිවැරදි තීරණයක් ගන්න අපට බැහැ.
යහපත හා නපුර දැනගැනීමේ ගහ පිළිබඳව දුන් ආඥාව හේතුවෙන් ආදම්ට සහ ඒවට වැදගත් තීරණයක් ගන්න සිදු වුණා. එනම් කීකරු වෙනවාද නැත්නම් අකීකරු වෙනවාද යන තීරණයයි. ඔවුන් දෙදෙනා සුචරිතය ලුහුබඳිනවා යන්නෙන් අදහස් වූයේ එම ආඥාවට කීකරු වීමයි. කාලයාගේ ඇවෑමෙන් යෙහෝවා තමාව සතුටට හා අසතුටට පත් වන දේවල් මොනවාද කියා තවදුරටත් එළිදරව් කළා. ඒ එළිදරව් කළ කාරණා අපට බයිබලය තුළින් කියවන්න පුළුවන්. එසේ නම්, ශුද්ධ ලියවිලිවල යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිබඳව පවසා ඇති දේවලට අනුව අපේ ජීවිතය සකස් කරගැනීම සුචරිතය ලුහුබැඳීමට අයත් වන බව පැහැදිලියි.
දෙවිගේ ප්‍රමිති හොඳින් දැන හඳුනාගන්න
යෙහෝවා දෙවි හරි හා වැරැද්ද පිළිබඳව ප්‍රමිති සකසා, ඒවා මොනවාද කියා අපට බයිබලය තුළින් හෙළි කර තිබෙනවා. එසේ නම් අප ඒ ප්‍රමිති මොනවාද කියා හොඳින් වටහාගැනීමට වෑයම් කළ යුතු නැද්ද? ප්‍රේරිත පාවුල් අපට ඒ ගැන මෙසේ අදහස් දක්වා තිබෙනවා. “දෙවිගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.
නිදසුනක් ලෙස, කලින් ලිපියේ සඳහන් කුනිහිටෝ නිහතමානීකම පිළිබඳව තමාගේ රටේ සංකල්පයට අනුව ක්‍රියා කළ නිසා ඇති වූ වරදවා වටහාගැනීම ගැන සලකා බලන්න. ඔහු ශුද්ධ ලියවිල්ල වඩා ගැඹුරින් අධ්‍යයනය කළ විට නිහතමානීකම පිළිබඳව වඩාත් සමබර දෘෂ්ටියක් ලබාගැනීමට ඔහුට හැකි වුණා. බයිබලය නිහතමානීකම විදහාපෙන්වීමට දිරි දෙමින් නොමනා ආත්ම විශ්වාසය හා උඩඟුකම හෙළා දකින බව ඇත්තයි. (හිතෝපදේශ 11:2; මීකා 6:8) එහෙත් ප්‍රේරිත පාවුල් “අවේක්ෂකයෙකුගේ කාර්යභාරය” අත් කරගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම් විස්තර කරද්දී, එම වරප්‍රසාදය ලබාගැනීමට “වෙර දැරිය යුතු” බව සඳහන් කළා. (1 තිමෝති 3:1, NW) මෙසේ ‘වෙර දරද්දී’ පුරසාරම් දෙඩීමෙන් හා උඩඟුව කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ඇත්තයි. නමුත් අනවශ්‍ය ලෙස තමාවම පහත් කරගැනීමද සුදුසු නැති බව මතක තබාගත යුතුයි.
ව්‍යාපාරික කටයුතුවලදී අවංක වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද? අදදින ව්‍යාපාර ලෝකය තුළ වංක ලෙස කටයුතු කිරීම, ආණ්ඩුවේ නීතිවලින් පිට පැනීම හා අයබදු ගෙවීම මඟහැරීම යනාදිය සාමාන්‍ය දේවල් බවට පත් වී තිබෙනවා. අන්‍යයන් කෙසේ කටයුතු කළත් ‘සියල්ලේදී යහපත් ලෙස [අවංක ලෙස, NW] හැසිරීමට’ බයිබලයේ දී ඇති ආඥාවට අනුව කටයුතු කිරීමට අප වගබලා ගත යුතුයි. (හෙබ්‍රෙව් 13:18) මෙලෙස අප ස්වාමිවරුන්, සේවකයන්, පාරිභෝගිකයන් හා ආණ්ඩු නිලධාරීන් සමඟ අවංකව හා සාධාරණව කටයුතු කරන විට අප සුචරිතය ලුහුබඳිමින් සිටින බව පැවසිය හැකියි. (ද්විතීය කථාව 25:13-16; රෝම 13:1; තීතස් 2:9, 10) ඇත්තෙන්ම අවංකකම අන්‍යයන්ගේ විශ්වාසය දිනාගැනීමට මහෝපකාරි වන අතර එය සාමකාමී සබඳතාවලටද මඟ පාදනවා. ඒ වගේම ව්‍යාපාරික ගිවිසුම් ලිඛිතව තබාගැනීම මගින් පසු කලෙක එකඟ නොවීම් ඇතිවීම හෝ අනපේක්ෂිතව පැනනඟින “හදිසි කාරණා” නිසා ඇති විය හැකි බැරෑරුම් ප්‍රශ්න පවා වළක්වාගත හැකියි.—දේශනාකාරයා 9:11; යාකොබ් 4:13, 14.
අපේ ඇඳුම් පැළඳුම් හා හිසකෙස් සැකැස්ම සම්බන්ධයෙන්ද අප සුචරිතය ලුහුබැඳිය යුතුයි. ඇඳුම් විලාසිතා සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. ඒ වගේම විලාසිතා නිර්මාණකරුවන් දවසින් දවස ඉදිරිපත් කරන අලුත් විලාසිතාවලට අනුව හැඩගැසීම කෙරෙහි ලොකු පීඩනයක්ද එල්ල විය හැකියි. නමුත් මේ ගැන සිතා බලන්න. අප අලුතින් එන සෑම විලාසිතාවකටම වහල් විය යුතුද? බයිබලයේ අපට පවසා ඇත්තේ, “මේ ලෝකයේ ආකාරයට සමාන” නොවෙන්න කියායි. (රෝම 12:2) මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් ලිවූ දේ සලකා බැලීම යෝග්‍යයි. ඔහු පැවසුවේ, “ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව, දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි” කියායි. (1 තිමෝති 2:9, 10) ඔව්, පාවුල් නීති දමන්න ගියේ නැහැ. ඔහු පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද එක හා සමානව අදාළ කරගත හැකි ප්‍රමිතියක් සැපයුවා. ඊට අමතරව, එක් එක් පුද්ගලයන් තෝරාගන්නා විලාසිතා තම සංස්කෘතික පසුබිමට හා පෞද්ගලික කැමැත්තට අනුව වෙනස් විය හැකි බව අප මතක තබාගත යුතුයි. ඇත්තෙන්ම එවැනි විවිධත්වයක් තිබීම ප්‍රිය උපදවන දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද?
දෙවි පිළිකුල් කරන දුරාචාරමය හැසිරීම ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. පළවෙනි කොරින්ති 6:9, 10හි අපට මෙසේ අනතුරු අඟවයි. “අධර්මිෂ්ඨයන් [දෙවිගේ] රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් [දෙවිගේ] රාජ්‍යය උරුමකර නොගන්නෝය.” මෙම ශුද්ධ ලියවිලි පාඨයෙහි දක්වා ඇති දෙය කලින් ලිපියේ සඳහන් කළ මරියාට උපකාරවත් වුණා. මැවුම්කරු දී ඇති උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව බලන කල හ්වාන් සමඟ ඇය පවත්වාගෙන ගිය සම්බන්ධය වැරදි බවත්, දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් ඇය එම සම්බන්ධය නතර කර දැමිය යුතු බවත් එම බයිබල් පාඨය තුළින් ඇය වටහාගත්තා. ඔව්, සුචරිතය ලුහුබඳින්න නම් අප යෙහෝවාගේ ප්‍රමිති හොඳින් වටහාගත යුතුයි.
දෙවිගේ ප්‍රමිති සිතේ නිදන් කරගන්න
සුචරිතය ලුහුබඳිනවා කියන්නේ නිකම්ම උදාසීනව යම් වැරදි ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වැළකී සිටිනවා විතරක් නොවෙයි. සුචරිතවත් පුද්ගලයෙක් යහපත් ගුණාංග වගා කරගැනීමට දැඩි උත්සාහයක් දරයි. ඇත්තෙන්ම එවැනි කෙනෙක් සදාචාරාත්මක අතින් ශක්තිමත් කියා පැවසිය හැකියි. “සුචරිතවත් ලෙස ජීවත් වීමට ඉගෙනගැනීමේදී මනස හා සිත යන දෙකම යෙදවිය යුතුයි” කියා එක් මහාචාර්යවරයෙක් පැවසුවා. එහෙම නම් බයිබලය ගැන හසළ දැනුමක් තිබීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව පැහැදිලියි. අප එහි පවසා ඇති දේ පිළිබඳව මෙනෙහි කරමින් ඒවා අපේ සිතට ඇතුල් කරගන්න අවශ්‍යයි. එවිට අගයෙන් පිරි හදකින් අප ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට කීකරු වීමට පෙලඹෙනවා.
“ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය” යනුවෙන් ගීතිකාකරු අගය ප්‍රකාශ කළා. (ගීතාවලිය 119:97) එමෙන්ම දාවිත් රජ තවදුරටත් පැවසුවේ, “පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි” කියායි. (ගීතාවලිය 143:5) අපද බයිබලය හා බයිබලය මත පදනම් වූ ප්‍රකාශන අධ්‍යයනය කරන විට එම තොරතුරු මත යාච්ඤාපූර්වකව මෙනෙහි කිරීමට කාලය ගත යුතුයි.
ප්‍රයෝජනවත් වන විදිහට අධ්‍යයනය කිරීමට මෙන්ම මෙනෙහි කිරීමට කාලය ගැනීම පහසු දෙයක් නොවන බව පිළිගත යුතුයි. නමුත් සුචරිතය ලුහුබැඳීමට නම් අපි වෙනත් දේවලට යොදවන කාලය මේ සඳහා මිඩංගු කළ යුතුයි. (එපීස 5:15, 16) වයස අවුරුදු 24ක් වන ඒරන් එලෙස කාලය මිල දී ගන්නවා. ඔහු දැන් උදෑසන පිබිදෙන්නේ පෙරට වඩා විනාඩි 30කට කලිනුයි. “මුලදී මම ඒ විනාඩි තිහම පාවිච්චි කළේ බයිබලය කියවන්නයි. හැබැයි මම ළඟදී තමයි තේරුම්ගත්තේ මෙනෙහි කිරීම කොච්චර වැදගත් දෙයක්ද කියලා. ඉතිං ඒ නිසා මං දැන් විනාඩි 15ක් විතර බයිබලය කියවලා, ඉතුරු කාලය කියවන දේ ගැන ගැඹුරින් හිතලා බලන්න යොදාගන්නවා. ඒක ඇත්තෙන්ම මට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා” කියා ඔහු පැහැදිලි කරනවා. මෙනෙහි කිරීම වෙනත් අවස්ථාවලදීත් කරන්න පුළුවන්. දාවිත් යෙහෝවාට ගැයූ ගීතිකාවක පැවසුවේ, ‘රෑ යාම්වලදී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි’ කියායි. (ගීතාවලිය 63:5) බයිබලයේ තවත් තැනක “ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය” යනුවෙන් පවසා ඇත.—උත්පත්ති 24:63.
මෙනෙහි කිරීම යෙහෝවාට හැඟෙන විදිහ තේරුම්ගැනීමටත් දේවල් ඔහුගේ දෘෂ්ටියෙන් බැලීමටත් අපට උපකාර කරන නිසා සුචරිතය ලුහුබැඳීමට එය අත්‍යවශ්‍ය දෙයකි. මරියාගේ නිදසුන සලකා බලන්න. දෙවි කාමමිථ්‍යාචාරය තහනම් කර තිබෙන බව ඇය දැන සිටියා. හැබැයි “නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න” නම් ඇයට සිදු වුණා ප්‍රධාන බයිබල් පාඨ කිහිපයක් මෙනෙහි කරන්න. (රෝම 12:9) “නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න” යන කොලොස්සි 3:5හි සඳහන් උපදෙස කියවීමෙන් පසු ඇගේ ජීවිතය තුළ යම් වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය බව මරියාට වැටහුණා. මරියා එම බයිබල් පාඨය කියවීමෙන් පසුව තමාගෙන්ම වැදගත් ප්‍රශ්න කිහිපයක් අසාගත්තා. එනම්, ‘මම නැසිය යුත්තේ කොයි වගේ ලිංගික ආශාවන්ද? මා තුළ නපුරු තෘෂ්ණා හටගැනීම මම වළක්වාගන්නේ කොහොමද? මම විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කරන විදිහේ යම් වෙනස්කම් කළ යුතුද?’ යන්නයි.
තම ක්‍රියාවලින් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සලකා බැලීමත් මෙනෙහි කිරීමට ඇතුළත් වෙනවා. පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසි” ප්‍රයෝජන ගැනීමෙන් හා කාමමිථ්‍යාචාරයෙන් වැළකී, ආත්මදමනයෙන් යුතුව කටයුතු කරන්න කියායි. (1 තෙසලෝනික 4:3-7) මේ සම්බන්ධයෙන් අපට මෙනෙහි කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා. එනම්, ‘මේ ක්රියාවේ නියැලීම මගින් මට මෙන්ම මගේ පවුලේ සාමාජිකයන්ට සහ වෙනත් අයට මොන වගේ හානියක් ඇති වෙයිද? එය මට ආත්මිකව, චිත්තවේගීයව හා ශාරීරිකව බලපාන්නේ කොහොමද? අතීතයේදී දෙවිගේ නීති කඩ කළ අයට ඇති වූයේ කුමනාකාරයේ ප්‍රතිවිපාකද?’යන්නය. ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්න ගැන මෙනෙහි කිරීම තුළින් හරි දේ කිරීමට අදිටන් කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගැනීමට මරියාට හැකි වුණා. එම වචන ගැන මෙනෙහි කිරීම තුළින් අපටත් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකියි
ආදර්ශ පාඩම් සිතට ගැනීම
සුචරිතය පංති කාමරයේ උගත හැකි දෙයක්ද? මෙය ශත වර්ෂ ගණනාවක් පුරාම වාද විවාදයට ලක් වූ විෂයක්. ග්‍රීක දර්ශනවාදියෙක් වන ප්ලේටෝ විශ්වාස කළේ එය පංති කාමරයෙන් උගත හැකි බවයි. නමුත් ඇරිස්ටෝටල් තර්ක කළේ සුචරිතය උත්සාහය හා පුහුණුව මගින් ඉගෙනගත යුතු දෙයක් කියායි. එක්තරා පුවත්පත් කලාවේදියෙක් එම වාද විෂය ගැන කෙටි අදහසක් ඉදිරිපත් කළේ මෙලෙසයි. “කොටින්ම කිව්වොත්, සදාචාර ප්‍රමිති ලැයිස්තුවක් කට පාඩම් කිරීමෙන් අපට සුචරිතය ඉගෙනගන්න බැහැ. එය අච්චු පොත්වලින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. යහපත් චරිතයක් ඇතුව සිටීමට අපට හැකි වෙන්නේ සුචරිතය ලුහුබැඳීමට දිරි දෙමින් ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිවිපාක ලබා දෙන . . . සමාජයක් තුළ අපි ජීවත් වෙනවා නම් විතරයි.” ඇත්තෙන්ම අපට සුචරිතවත් පුද්ගලයන්ව සොයාගත හැකිද? බොහෝ සංස්කෘතීන් තුළ සුචරිතවත් නැතහොත් ආදර්ශවත් පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ පුද්ගලයන් කිහිපදෙනෙකු පමණයි. ප්‍රබන්ධ කථාවල කියැවෙන විරුවන් මීට උදාහරණයක්. නමුත් බයිබලයේ සුචරිතවත් පුද්ගලයන් සඳහා ආදර්ශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා.
යෙහෝවා සෑම මොහොතකදීම සුචරිතය විදහාපෙන්වමින් ධර්මිෂ්ඨ හා යහපත් ආකාරයකට ක්‍රියා කරන නිසා ඔහු සුචරිතය සඳහා උතුම්ම ආදර්ශය සපයනවා. ඒ නිසා අප “[දෙවි] අනුව යන්නෝ” වෙනවා නම් අපටත් සුචරිතය ලුහුබැඳිය හැකියි. (එපීස 5:1) ඊට අමතරව, දෙවිගේ පුත් වන යේසුස් ක්‍රිස්තුස් අපට කිට්ටුවෙන් අනුගමනය කිරීමට “ආදර්ශයක් දී [ගියේය]” (1 පේතෘස් 2:21) ඒ වගේම, විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝදෙනෙක් ගැන බයිබලයේ සඳහන් කර තිබෙනවා. ආබ්‍රහම්, සාරා, යෝසෙප්, රූත්, යෝබ් මෙන්ම දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් මිතුරන් තුන්දෙනා මේ සඳහා උදාහරණ කිහිපයකි. සුචරිතය ලුහුබඳිමින් සිටින යෙහෝවාගේ නවීන දින සේවකයන්වද අප අමතක නොකළ යුතුයි.
ඔබට ජයගත හැකියි
අපට ඇත්තෙන්ම යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි සුචරිතවත් පුද්ගලයන් විය හැකිද? උරුම වූ පාපය හේතුවෙන් අපේ මනස හා මාංසය අතර නිරන්තර සටනක් පවතින බව අපට තේරුම් යා හැකියි. ඔව්, හරි දේ කිරීමට තිබෙන අපේ ආශාව හා අපේ පව්කාර නැඹුරුවාවන් අතර සටනක් පවතිනවා. (රෝම 5:12; 7:13-23) එහෙත් දෙවිගේ උපකාරය ඇතුව අපට මේ සටන ජයගත හැකියි. (රෝම 7:24, 25) යෙහෝවා තම වචනය මෙන්ම බයිබලය මත පදනම් වූ වෙනත් ප්‍රකාශන තුළින් අපට උපකාර සපයනවා. අප ඉතා උනන්දුවෙන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරමින් ඒ මත යාච්ඤාපූර්වකව මෙනෙහි කරනවා නම් සිත පිරිසිදුව තබාගැනීමට අපට හැකියි. එවැනි පිරිසිදු හදකින් පැමිණෙන සිතුවිලි, වචන හා ක්‍රියා සුචරිතවත් වන බවට නිසැකයි. (ලූක් 6:45) යෙහෝවා දෙවිව මෙන්ම යේසුස් ක්‍රිස්තුස්ව ආදර්ශයට ගනිමින් දෙවිව සතුටට පත් කරන පෞද්ගලිකත්වයක් වර්ධනය කරගැනීමට අපට හැකියි. අදදින දෙවිට පක්ෂපාතව සේවය කරන අයගෙන්ද අපට ඉගෙනීමට බොහෝ දේවල් තිබෙන බව අමතක නොකරන්න.
ප්‍රේරිත පාවුල් තම පාඨකයන්ට උනන්දු කළේ, ගුණධර්ම ගැන මෙන්ම වෙනත් ප්‍රශංසනීය දේවල් ගැන “දිගටම මෙනෙහි කරන්න, [NW]” කියායි. මෙසේ කිරීමෙන් අපට දෙවිගේ ආශීර්වාද ලබාගත හැකි වන බව නිසැකයි. (පිලිප්පි 4:8, 9) ඔව්, යෙහෝවාගේ උපකාරය ඇතුව සුචරිතය ලුහුබැඳීම නමැති අභියෝගය අපට ජයගත හැකිය!
[6වන පිටුවේ පින්තූරය]
බයිබලය අධ්‍යයනය කරන විට මෙනෙහි කිරීමට කාලය ගන්න
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරමින් දෙවිව සතුටට පත් කරන පෞද්ගලිකත්වයක් වර්ධනය කරගන්න