දෙවි අරමුණු කරපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා
“මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි. මම අරමුණු කළ ලෙසම කරමි.”—යෙසා. 46:11.
1, 2. (අ) දෙවි අපිට හෙළි කරලා තියෙන්නේ මොකක්ද? (ආ) යෙසායා 46:10, 11 සහ 55:11 සඳහන් පොරොන්දුව මොකක්ද?
බයිබලේ ආරම්භ වෙන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියන වාක්‍යයෙන්. ඒක සරල ඒත් ලොකු අර්ථයක් තියෙන වැකියක්. (උත්. 1:1) අහසෙත් පොළොවෙත් යෙහෝවා දෙවි නිර්මාණය කරලා තියෙන දේවල් ගැන අපි අවබෝධ කරගෙන තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක් විතරයි. මේ ගැන ටිකක් හිතන්න. අභ්‍යවකාශය, ගුරුත්වාකර්ෂණය ගැන අපි හැම දෙයක්ම දන්නවද? හැම තරුවක් ගැනම අපිට අවබෝධයක් තියෙනවද? (දේශ. 3:11) ඒත් පොළොව, මිනිසුන්ව දෙවි නිර්මාණය කරපු අරමුණ ඔහු අපිට හෙළි කරලා තියෙනවා. දෙවිගේ ගතිලක්ෂණ ඇතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ හැමදාටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්නයි. (උත්. 1:26) දෙවි එයාලගේ තාත්තා වෙනවා. එයාලා දෙවිගේ දරුවන් වෙනවා.
2 දෙවි අරමුණු කරපු ඒ දේට බාධාවක් ඇති කරන්න ගත්ත උත්සාහයක් ගැන උත්පත්ති 3වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. (උත්. 3:1-7) ඒත් දෙවිගේ අරමුණ ඉටු වෙන එක නවත්තන්න කාටවත් බැහැ. (යෙසා. 46:10, 11; 55:11) ඒ නිසා දෙවි අරමුණු කරපු දේ නියමිත කාලෙදී ඉටු වෙනවා කියලා අපිට ස්ථිරයි.
3. (අ) බයිබලේ සඳහන් පණිවිඩය තේරුම්ගන්න උදව් වෙන්නේ මොන වැදගත් තොරුතුරුද? (ආ) දැන් අපි ඒ තොරුතුරු සාකච්ඡා කරන්නේ ඇයි? (ඇ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
3 පොළොව සහ මිනිසුන්ව දෙවි නිර්මාණය කරපු අරමුණ ගැනත් ඒ අරමුණ ඉටු කරද්දී යේසුස්ට තියෙන ප්‍රධාන කාර්යය ගැනත් අපි දන්නවා. ඒවා බයිබලේ සඳහන් වැදගත් ඉගැන්වීම්. අපි ඒවා ඉගෙනගත්තේ බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත මුල් කාලෙදීමයි. දැන් අපිට ඕනෙ ඒවා අනිත් අයටත් කියලා දෙන්නයි. ඒ දේ කරන්න මේ කාලේ හොඳ අවස්ථාවක් තියෙනවා. මොකද යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න කියලා මේ දවස්වල අපි පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරනවා. (ලූක් 22:19, 20) ඒකට සහභාගි වෙන අයට පුළුවන් වෙනවා දෙවිගේ අරමුණ ගැන දැනගන්න. ඒ නිසා අපිත් එක්ක පාඩම් කරන අයට, අපේ පණිවිඩයට හොඳින් සවන් දීපු අයට සිහි කිරීමට සහභාගි වෙන්න උනන්දු කරන එක කොච්චර වැදගත්ද! ඒ උනන්දුව ඇති කරන්න එයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගැන මේ දවස් කීපයේදී හිතලා බලන්න. ඒ වගේ අහන්න පුළුවන් ප්‍රශ්න 3ක් ගැන මේ ලිපියෙන් බලනවා. මිනිසුන් සහ පොළොව සඳහා දෙවිගේ අරමුණ මොකක්ද? ඒ අරමුණ තවමත් ඉටු වෙලා නැත්තේ ඇයි? දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස්ගේ ජීවිත පූජාව අත්‍යවශ්‍ය ඇයි?
නිර්මාතෘගේ අරමුණ මොකක්ද?
4. යෙහෝවා දෙවි කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ඔහුගේ නිර්මාණවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?
4 යෙහෝවා දෙවි කොයි තරම් ශ්‍රේෂ්ඨ නිර්මාතෘ කෙනෙක්ද! ඔහුගේ නිර්මාණවල කිසිම අඩුවක් නැහැ. ඒවා හරිම උසස්. (උත්. 1:31; යෙරෙ. 10:12) දෙවිගේ නිර්මාණවල තියෙන පිළිවෙළ, ලස්සන දකිද්දී ඔහු හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුව කියලා අපිට තේරෙනවා. පුංචිම නිර්මාණයේ ඉඳන් ලොකුම නිර්මාණය දක්වා ඒ හැම එකකින්ම වැදගත් කාර්යයක් ඉටු වෙනවා. මිනිස් සෛලයක් කොයි තරම් සංකීර්ණද කියලා තේරුම්ගද්දී, අලුත උපන් දරුවෙක්ව අතට ගද්දී, හිරු බැස යන වෙලාවක අවට පරිසරය දකිද්දී ඔයාට හැඟෙන්නේ කොහොමද? ඒ පුදුමාකාර, ලස්සන දේවල් ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේ හැඟීමක් ඇති වෙන්නේ ඒවා අගය කරන්න, රස විඳින්න පුළුවන් හැකියාව ඇතුව දෙවි අපිව නිර්මාණය කරලා තියෙන නිසයි.—ගීතාවලිය 19:1; 104:24 කියවන්න.
5. විශ්වයේ තියෙන හැම දේම පිළිවෙළකට සිද්ධ වෙන්න ඕන නිසා දෙවි මොනවද කළේ?
5 යෙහෝවා දෙවි තමන් නිර්මාණය කරපු හැම දේකටම යම් සීමාවන් දාලා තියෙනවා. විශ්වයේ තියෙන හැම දේම ක්‍රියාත්මක වෙන්නේ දෙවි පිහිටුවලා තියෙන නීතිවලට අනුව. ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙනුත් දෙවි නීති පිහිටෙව්වා. හරි වැරැද්ද තේරුම්ගන්න උදව් වෙන නීතිත් දෙවි දුන්නා. දෙවි ඒ නීති දැම්මේ කිසිම ගැටීමක් නැතුව හැම දේම පිළිවෙළකට සිද්ධ වෙන්න ඕන නිසයි. (ගීතා. 19:7-9) දෙවිගේ හැම නිර්මාණයකටම ඉටු කරන්න නිශ්චිත කාර්යයක් තියෙනවා. උදාහරණෙකට පෘථිවි වායුගෝලය පොළොව ආසන්නයේ රැඳිලා තියෙන්නෙත් වඩදිය බාදිය පාලනය වෙන්නෙත් ගුරුත්ව බලය නිසයි. ගුරුත්ව බලය තිබුණේ නැත්නම් කාටවත් පොළොවේ ජීවත් වෙන්න බැහැ. දෙවි දාලා තියෙන නීති නිසා විශ්වයේ හැම දෙයක්ම තිතටම සිද්ධ වෙනවා. පොළොව සඳහාත් මිනිසුන් සඳහාත් දෙවිට අරමුණක් තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. හැම දේම මෙච්චර පිළිවෙළකට නිර්මාණය කරපු දෙවිව දැනගන්න මිනිසුන්ට උදව් කරන්න දේශනා සේවයේදී අපිට අවස්ථාව ලැබෙනවා.—එළි. 4:11.
6, 7. යෙහෝවා දෙවි ආදම් සහ ඒවට දුන්නේ මොන හැකියාවන්ද?
6 මිනිසුන් සදහටම පොළොවේ ජීවත් වෙන එක දෙවිගේ අරමුණයි. (උත්. 1:28; ගීතා. 37:29) දෙවි ත්‍යාගශීලී කෙනෙක් නිසා ඔහු නිර්මාණය කරපු මුල්ම යුවළට විවිධ හැකියාවන් දුන්නා. (යාකොබ් 1:17 කියවන්න.) දේවල් කිරලා මැනලා තීරණ ගන්න හැකියාව, නිදහස දෙවි එයාලට දුන්නා. අනිත් අයට ආදරේ කරන්න, මිතුදම් ඇති කරගන්න පුළුවන්කමත් එයාලට තිබුණා. දෙවිම ආදම්ට කතා කළා. දෙවිට කීකරුව ඉන්න විදිහ කියලා දුන්නා. තමන්ගේ අවශ්‍යතා සපුරගන්න විදිහ, සතුන් සහ පොළොව රැකබලා ගන්න විදිහ ආදම් ඉගෙනගත්තා. (උත්. 2:15-17, 19, 20) පෙනීම, ඇසීම, ස්පර්ශය, ගඳ සුවඳ සහ රස දැනීමේ හැකියාවනුත් දෙවි එයාලට දුන්නා. ඒ නිසා දෙවි එයාලා වෙනුවෙන් කරලා තිබුණ දේවල් උපරිමයෙන් අගය කරන්න එයාලට පුළුවන්කම තිබුණා. එයාලට කරන්න තෘප්තිමත් වැඩ කොටසකුත් තිබුණා. සදහටම අලුත් දේවල් ඉගෙනගන්න, දෙවිගේ නිර්මාණ ගැන තව තව දේවල් හොයාගන්න එයාලට අවස්ථාව තිබුණා.
7 දෙවිගේ අරමුණට ඇතුළත් වුණ තවත් දේවල් මොනවද? යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ පරිපූර්ණ දරුවන් බිහි කිරීමේ හැකියාව ඇතුව. ඒ දරුවන්ටත් දරුවන් බිහි කිරීමේ හැකියාව තිබුණා. ඒ විදිහට මුළු පොළොවම මිනිසුන්ගෙන් පුරවන එක දෙවිගේ අරමුණට ඇතුළත්. පරිපූර්ණ මිනිස් යුවළට යෙහෝවා දෙවි ආදරේ කළා වගේ ආදම් සහ ඒව එයාලගේ දරුවන්ටත් ඒ දරුවන් එයාලගේ දරුවන්ටත් ආදරේ කරයි කියලා දෙවි බලාපොරොත්තු වුණා. දෙවි පොළොව සහ ඒකේ තියෙන වටිනා, ලස්සන හැම දේම දුන්නේ මිනිසුන්ට. ඒක සදහටම එයාලගේ නිවහනයි.—ගීතා. 115:16.
දෙවිගේ අරමුණ තවම ඉටු වෙලා නැත්තේ ඇයි?
8. උත්පත්ති 2:16, 17 සඳහන් ආඥාව දෙවි ආදම් සහ ඒවට දුන්නේ ඇයි?
8 යෙහෝවා දෙවි අරමුණු කරපු විදිහට දේවල් ඒදන් උයනේදී සිද්ධ වුණේ නැහැ. ඒ ඇයි? ආදම් සහ ඒවට දෙවි දාලා තිබුණ සීමාවන් එයාලා තේරුම් අරන් ඉන්නවද කියලා බලන්න ඕනෙ නිසා දෙවි ආඥාවක් දුන්නා. දෙවි මෙහෙම කිව්වා. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්. 2:16, 17) ඒක තේරුම්ගන්න අමාරු ආඥාවක් නෙමෙයි. පිළිපදින්න බැරි එකකුත් නෙමෙයි. මොකද ඒ ගහෙන් කන්න බැරි වුණාට එයාලට කන්න ඕනෙ තරම් කෑම උයනේ තිබුණා.
9, 10. (අ) සාතන් දෙවිට කරපු චෝදනාව මොකක්ද? (ආ) ආදම් සහ ඒව තීරණය කළේ මොකක් කරන්නද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
9 සාතන් සර්පයෙක් යොදාගෙන ඒවව රවට්ටලා දෙවිට අකීකරු වෙන්න ඒවව පෙලඹෙව්වා. (උත්පත්ති 3:1-5 කියවන්න; එළි. 12:9) ඒ වෙලාවේ සාතන් ප්‍රශ්න කළේ දෙවි ආදම් සහ ඒවට දුන්න ආඥාව ගැනයි. සාතන් ඒවගෙන් ඇහුවේ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද” කියලා. වෙන විදිහකින් කියනවා නම් සාතන් ඇහුවේ ‘ඇත්තටම ඔයා කැමති දේ කරන්න ඔයාට බැහැ නේද’ කියලයි. ඊටපස්සේ “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියලා සාතන් ඒවට කිව්වා. ඒක අමූලික බොරුවක්. ඊළඟට සාතන් උත්සාහ කළේ දෙවිට කීකරු වෙන්න අවශ්‍ය නැහැ කියන සිතුවිල්ල මනසට දාන්න. “එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය” කියලා සාතන් කිව්වේ ඒ නිසයි. ඒ ආඥාව දෙවි දුන්නේ ඒ ගහෙන් කෑවම දැනුම අතින් එයාලා දෙවිට සමාන වෙනවා කියලා දෙවි දැනගෙන හිටපු නිසයි කියලා සාතන් ඇඟෙව්වා.
10 දෙවිට කීකරු වෙනවද නැත්නම් සර්පයා කියපු දේ පිළිගන්නවද කියන තීරණය ගන්න මුල් යුවළට සිද්ධ වුණා. එයාලා මොනවද කළේ? එයාලා දෙවිට අකීකරු වෙන්න තීරණය කළා. එයාලා තමන්ගේ ආදරණීය තාත්තාව අත්හැරලා සාතන්ට එකතු වුණා. ඒ නිසා යෙහෝවා දෙවිගේ රැකවරණය එයාලට අහිමි වුණා.—උත්. 3:6-13.
11. ආදම් සහ ඒව කරපු දේ ගණන් ගන්නේ නැතුව ඉන්න දෙවිට බැරි ඇයි?
11 දෙවිගේ ආඥාව කඩ කළාට පස්සේ දෙවි බලාපොරොත්තු වුණ විදිහට ජීවත් වෙන්න මුල් යුවළට තවදුරටත් පුළුවන්කමක් තිබුණේ නැහැ. දෙවිට අකීකරු වෙලා දුෂ්ට විදිහට වැඩ කරපු නිසා එයාලා දෙවිගේ සතුරන් වුණා. මොකද ‘යෙහෝවා ශුද්ධ දෙවි කෙනෙක් නිසා නපුර ගණන් නොගෙන ඉන්න ඔහුට බැහැ.’ (හබ. 1:13) එයාලා කරපු දේ දෙවි ගණන් ගන්නේ නැතුව හිටියා නම් හරි වැරැද්ද කියලා දෙයක් නැතුව යනවා. දේවදූතයන්ගේ, මිනිසුන්ගේ අනාගතයට ඒක බලපානවා. එයාලා කරපු පාපය ගැන දෙවි කිසිම දෙයක් නොකර හිටියා නම් දෙවි කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් මතු වෙනවා. ඒත් යෙහෝවා දෙවි තමන් පිහිටුවලා තියෙන ප්‍රමිති කවදාවත් කඩන්නේ නැහැ. (ගීතා. 119:142) ආදම් සහ ඒවට තීරණ ගන්න නිදහස තිබුණා කියන එකෙන් අදහස් වුණේ නැහැ එයාලා ගන්න තීරණ නිසා ලැබෙන ප්‍රතිඵලවලින් එයාලා නිදහස් කියලා. දෙවිට අකීකරු වෙන්න ගත්ත තීරණය නිසා එයාලට මරණය උරුම වුණා. එයාලා මිය ගිහින් ආපහු දූවිල්ලට හැරිලා ගියා.—උත්. 3:19.
12. ආදම්ගේ දරුවන්ට මොකද වුණේ?
12 මුල් යුවළ දෙවි කන්න එපා කියපු ගහෙන් ගෙඩි කෑවට පස්සේ දෙවිගේ පවුලේ සාමාජිකයන් හැටියට එයාලව පිළිගන්න දෙවිට පුළුවන්කමක් තිබුණේ නැහැ. දෙවි එයාලව ඒදන් උයනෙන් එළියට දැම්මා. එයාලට ආයේ කවදාවත් ඒ උයනට ඇතුල් වෙන්න බැහැ. (උත්. 3:23, 24) එයාලා ගත්ත තීරණේ ප්‍රතිඵල අද්දකින්න දෙවි ඉඩහැරියා. (ද්විතීය කතාව 32:4, 5 කියවන්න.) දෙවිගේ ගතිලක්ෂණ 100% තමන්ගේ ජීවිතවලින් පෙන්නන්න එයාලට තවදුරටත් පුළුවන්කමක් තිබුණේ නැහැ. දෙවි දුන්න ලස්සන ජීවිතේ නැති කරගත්ත ආදම්, එයාගෙන් පැවතෙන අයටත් ඒක අහිමි කළා. ආදම්ගෙන් එයාලට උරුම වුණේ පාපය සහ මරණයයි. (රෝම 5:12) පරිපූර්ණ දරුවන් බිහි කරන්න තිබුණ හැකියාව ආදම් සහ ඒවට අහිමි වුණ නිසා එයාලගෙන් පැවතෙන කිසිම කෙනෙක්ට පරිපූර්ණ දරුවන් බිහි කරන්න බැහැ. මුල් යුවළව දෙවිගෙන් ඈත් කරපු සාතන්, අද වෙන කල් අපි හැම කෙනෙක්වම දෙවිගෙන් ඈත් කරන්න ලොකු වෑයමක් දරනවා.—යොහ. 8:44.
බිඳුණ බැඳීම ආයෙත් ඇති කරගන්න මඟක්
13. මිනිසුන් ගැන දෙවිට හැඟුණේ කොහොමද?
13 ආදම් සහ ඒව දෙවිට පිටු පෑවත් එයාලගෙන් පැවතෙන අයට ආදරේ කරන එක දෙවි නතර කළේ නැහැ. එයාලා තමන්ගේ මිතුරන් වෙනවටයි දෙවි කැමති වුණේ. ඔහුට ඕනෙ වුණේ එයාලා මිය යනවා දකින්න නෙමෙයි. (2 පේතෘ. 3:9) ඒ නිසයි කැරැල්ල ඇති වුණ ගමන්ම බිඳුණ බැඳීම ආයෙත් ඇති කරගන්න දෙවි සැලැස්මක් යෙදුවේ. තමන් පිහිටවපු ධර්මිෂ්ඨ ප්‍රමිති එකක්වත් කඩ කරන්නේ නැතුව ඒක කරන්න දෙවිට පුළුවන් වුණේ කොහොමද?
14. (අ) යොහන් 3:16 සඳහන් වෙන විදිහට අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න දෙවි කළේ මොකක්ද? (ආ) සේවයේදී හම්බ වෙන අය එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන් මොන ප්‍රශ්නද?
14 යොහන් 3:16 කියවන්න. සිහි කිරීමට සහභාගි වෙන්න කියලා අපි ආරාධනා කරන සමහර අය ඒ බයිබල් පදේ දන්නවා ඇති. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා මිනිසුන්ට සදාකාල ජීවිතය ලැබෙන්නේ කොහොමද කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ. සිහි කිරීමට මිනිසුන්ට ආරාධනා කරද්දී, එයාලා සිහි කිරීමට ආවම, අපි එයාලව බලන්න ආයෙත් ගියාම ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න එයාලට උදව් කරන්න. ජීවිත පූජාව ගැන එයාලට තියෙන දැනුම වැඩි වෙන තරමට යෙහෝවා දෙවි මිනිසුන්ට කොයි තරම් ආදරේද කියලත් දෙවි කොයි තරම් ප්‍රඥාවන්තද කියලත් එයාලා තේරුම්ගනියි. යේසුස්ගේ ජීවිත පූජාව ගැන කතා කරද්දී අපිට එයාලත් එක්ක බෙදාගන්න පුළුවන් මොන වගේ වැදගත් කාරණාද?
15. යේසුස් ආදම්ට වඩා වෙනස් වුණේ කොහොමද?
15 නැති වුණ ජීවිතේ ආයෙත් ලබා දෙන්න අවශ්‍ය වන්දිය ගෙවන්න යෙහෝවා දෙවි පරිපූර්ණ මිනිසෙක්ව දුන්නා. ඒ මිනිසා දෙවිට ළැදිව ඉන්න ඕනේ. මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නත් ඕනේ. (රෝම 5:17-19) ඒ සඳහා දෙවි තෝරගත්තේ ඔහුගේ මුල්ම නිර්මාණය වුණ යේසුස්ව. ස්වර්ගයේ හිටපු යේසුස්ව දෙවි මිනිසෙක් විදිහට පොළොවට එව්වා. (යොහ. 1:14) ඒ නිසයි ඔහු පරිපූර්ණ කෙනෙක් විදිහට ඉපදුණේ. ඔහුගේ ජීවිතය ආදම් පව් කරන්න කලින් හිටපු ජීවිතයට සමාන වුණා. ඒත් ආදම්ට කරන්න බැරි වුණ දේ ඔහු කළා. ඒ කියන්නේ පරිපූර්ණ කෙනෙක්ගෙන් දෙවි බලාපොරොත්තු වුණ උසස් ප්‍රමිති යේසුස් රැක්කා. කෙනෙක්ට විඳින්න පුළුවන් අමාරුම දේවලට මුහුණ දෙන්න ඔහුට සිද්ධ වුණත් ඔහු දෙවිගේ එක නීතියක්වත් කැඩුවේ නැහැ.
16. යේසුස්ගේ ජීවිත පූජාව හුඟක් වටින තෑග්ගක් කියන්නේ ඇයි?
16 යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණ නිසා තමන්ගේ ජීවිතේ පූජා කිරීමෙන් මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න ඔහුට පුළුවන්. යේසුස් යෙහෝවා දෙවිට 100% ළැදිව හිටියා. හැම දේකදීම කීකරු වුණා. පරිපූර්ණ කෙනෙක්ගෙන් දෙවි බලාපොරොත්තු වුණ දේ ඔහු හරියටම ඉටු කළා. ආදම් කරන්න තිබුණෙත් ඒ දේමයි. ඒ නිසා ආදම් නැති කරගත්ත ජීවිතේට නියමිත වන්දිය ගෙවන්න ඔහුට පුළුවන් වුණා. (1 තිමෝ. 2:6) “බොහෝදෙනෙකුට” සදාකල් ජීවත් වෙන්න අවස්ථාව උදා කරලා දෙන්න යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළා. (මතෙ. 20:28) ඇත්තටම මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ඉටු කරන්න ජීවිත පූජාව අත්‍යවශ්‍යයි.—2 කොරි. 1:19, 20.
දෙවි ළඟට ආයෙත් එන්න මඟ දෙවිම විවෘත කළා
17. ජීවිත පූජාව නිසා දෙවිට කරන්න පුළුවන් මොනවද?
17 මිනිසුන්ව බේරගන්න අවශ්‍ය වන්දිය දෙවි දුන්නේ ඔහුගේ පැත්තෙන් ලොකු කැප කිරීමක් කරලයි. (1 පේතෘ. 1:19) දෙවිට අපිව කොච්චර වටිනවද කියනවා නම් අපි වෙනුවෙන් මැරෙන්න ඔහු තමන්ගේ ආදරණීය පුතාව එව්වා. (1 යොහ. 4:9, 10) ඔහුගේ ජීවිත පූජාව නිසා දෙවිට පුළුවන්කම ලැබුණා ආදම් අහිමි කරපු ජීවිතේ ආයෙත් අපිට දෙන්න. එහෙම බලද්දී අපේ තාත්තා විදිහට ආදම්ට හිමි වෙලා තිබුණ තැන යේසුස්ට හිමි වෙනවා. (1 කොරි. 15:45) සදාකල් ජීවත් වෙන්න විතරක් නෙමෙයි යම් දවසක දෙවිගේ දරුවන් වෙන්නත් යේසුස් අපිට මඟ විවෘත කළා. පව්කාර ස්වභාවය ටිකෙන් ටික නැති වෙලා මිනිසුන් පරිපූර්ණ අය වෙන්නෙත් ජීවිත පූජාව නිසයි. එතකොට එයාලව ආපහු තමන්ගේ පවුලේ සාමාජිකයන් විදිහට පිළිගන්න දෙවිට පුළුවන්. තමන් පිහිටවපු ධර්මිෂ්ඨ ප්‍රමිති එකක්වත් කඩ කරන්නේ නැතුව බිඳුණ බැඳීම ආයෙත් ඇති කරන්න දෙවි පියවර ගත්තේ ඒ විදිහටයි. හිතන්න, දෙවිට විශ්වාසවන්ත හැම කෙනෙක්ම පරිපූර්ණ වෙන දවස කොයි වගේ වෙයිද කියලා. එදාට ස්වර්ගයේ සහ පොළොවේ ජීවත් වෙන හැම කෙනෙක්ම එකම පවුලක සාමාජිකයන්. අපි හැමෝවම යෙහෝවා දෙවි දරුවන් විදිහට පිළිගන්නවා.—රෝම 8:21.
18. “දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන්” වෙන්නේ කවදද?
18 අපේ මුල් දෙමාපියන්ව දෙවිගෙන් ඈත් කරන්න පුළුවන් වුණාට එයාලගෙන් පැවතෙන අයට ආදරේ කරන එකෙන් දෙවිව වළක්වන්න සාතන්ට බැරි වුණා. අපි පාපය උරුම කරගත්ත අය වුණත් දෙවිට ළැදිව ඉන්න එකෙන් අපිව වළක්වන්නත් සාතන්ට බැහැ. යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව යොදාගෙන අපි හැමෝටම 100% ධර්මිෂ්ඨ අය වෙන්න උදව් කරනවා. “පුත්‍රයාව දැක ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම” සදහටම ජීවත් වෙනවා. ඒ ජීවිතය මොන තරම් ලස්සන එකක් වෙයිද! (යොහ. 6:40) අපේ ආදරණීය, ප්‍රඥාවන්ත තාත්තා වන යෙහෝවා දෙවි තමන්ගේ අරමුණ ඉටු කරනවා. එදාට “දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන්” වෙනවා.—1 කොරි. 15:28.
19. (අ) යේසුස්ගේ ජීවිත පූජාව ගැන තියෙන අගය අපිව පොලඹවන්නේ මොකක් කරන්නද? (“අත් නෑර සුදුස්සන්ව සොයමු” කියන කොටුව බලන්න.) (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
19 යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් ඒ ගැන අනිත් අයට කියන්න අපි පෙලඹෙයි. හැම කෙනෙක්ටම සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි කියලා හැමෝම දැනගන්න ඕනේ. ඒත් ඊටත් වඩා වැඩි දෙයක් ඒකෙන් ඉටු වෙනවා. ජීවිත පූජාව නිසා ඒදන් උයනේදී සාතන් මතු කරපු ප්‍රශ්නවලට හොඳ පිළිතුරක් ලැබෙනවා. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ ඒ ගැනයි.