සිනිඳුවට රැවුල බෑම
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
රැවුල බෑමට දිනකට විනාඩි පහක් ගත කරන මිනිසෙක් එසේ අවුරුදු 50ක් පුරා සෑමදාම රැවුල කැපුවා නම් ඔහු තම ජීවිත කාලයෙන් දින 63ක් රැවුල බෑම සඳහා යොදවා තිබෙනවා! මේ දෛනික චර්යාව ගැන පිරිමින්ට හැඟෙන්නේ කොහොමද?
මෑතකදී අවිධිමත්ව කළ සමීක්ෂණයකින් රැවුල බෑම ගැන මේ අදහස් හෙළි වුණා: “මම ආසම නැහැ ඔය වැඩේට.” “මහම මහ එපා කරපු වැඩක්.” “මහ වදයක්.” “මඟහරින්ට පුළුවන්නම් කොහොම හරි මඟහරිනවා.” සමහර මිනිසුන් තම රැවුල කැපීම ගැන එතරම් තදින් කල්පනා කළත් රැවුල කපන්නේ ඇයි? රැවුල බෑම ගැන අපි තව ටිකක් ඉගෙනගනිමු. සමහරවිට අපිට උත්තර සොයාගන්ට පුළුවන් වේවි.
බෙල්ලාගේ කටුවේ සිට ඉවතලන රේසරය දක්වා
බෙල්ලෙකුගේ කටුවකින්? මෝරෙකුගේ දතකින්? එහෙම නැත්නම් තියුණු ගිනිගල් පතුරකින් රැවුල බෑම ගැන ඔබට සිතාගත හැකිද? රැවුල බෑමේ උපකරණ තේරීමේදී මිනිසා ඉතිහාසය පුරා විශිෂ්ට සොයාගැනීම් කර තිබෙනවා! ඉපැරණි මිසරයේ මිනිසුන් ඒ සඳහා පොරෝ තලයක හැඩැති කුඩා තඹ රේසරයක් පාවිච්චි කළා. වඩාත් මෑතකදී, එනම් 18 සහ 19වන සියවස්වලදී එංගලන්තයේ ෂෙෆීල්ඩ්හිදී දැළි පිහිය නිපදෙව්වා. එය කොතරම් තියුණුද කිව්වොත් එයින් කෙනෙකුගේ බෙල්ල වුණත් කපන්න පුළුවන්! බොහෝ අවස්ථාවල විවිධාකාර වැඩ දමා තිබූ මේ රේසර වර්ගය මුවහත් කළ හැකි වක් ගැසුණු වානේ තලයක් සහ පාවිච්චි නොකරන අවස්ථාවලදී අකුළා නමා තැබීමට හැකි කොපුවක් ආකාර පියනකින්ද සමන්විත වුණා. මේ උපකරණය ඉතා පරෙස්සමින් පාවිච්චි කළ යුතු වුණා. එය නිපුණ ලෙස පාවිච්චි කිරීමට ඉගෙනගනිද්දී කැපීම් ලේ ගැලීම්වල කිසිම අඩුවක් නොතිබුණු බව නම් සහතිකයි. අද්දැකීම් ලබාගන්නා තුරු අදක්ෂයන්ට නම් ඒක මහත් මානසික වදයක් වන්ට ඇති. කෙසේවෙතත් 20වන සියවසේදී ස්ථිර සහනයක් ලැබුණා!
වර්ෂ 1901දී එක්සත් ජනපදයේ විසූ කිං කෑම්ප් ජිලට් නමැත්තා, ඉවත දැමිය හැකි තලයක් ඇති ආරක්ෂිත රේසරය පළමු වරට සොයාගත්තා. ඔහුගේ සිතුවිල්ල ලොව පුරා වේගයෙන් පැතිරී ගිය අතර විවිධ හැඩයේ රිදී සහ රන් ආලේපිත රේසර් ක්‍රමක්‍රමයෙන් නිපදවෙන්ට පටන්ගත්තා. මෑතක සිට සම්පූර්ණයෙන්ම ඉවත දැමිය හැකි රේසර් නිපදවා ඇති අතර තල දෙකේ හෝ තුනේ රේසර්, නැමෙනසුලු සහ තලය ඕනෑ අතකට හැරවිය හැකි රේසර්ද නිපදවා තිබෙනවා.
ඇත්තෙන්ම මුල්ම වතාවට 1931දී වෙළඳපොළට ආ විද්‍යුත් රේසරයද අමතක කරන්ට බැහැ. ඒවායේ ජනප්‍රියත්වය එන්ට එන්ටම වැඩි වී තිබුණත් සිනිඳුවට රැවුල කපන්ට කැමති බොහෝදෙනෙක් තියුණු තලයක් ඇති රේසරයකට වඩා කැමතියි.
වෙනස් වන මෝස්තර
මුල් කාලවල සිට විටින් විට වෙනස් වන රැවුල් මෝස්තරවලට මිනිසා පුරුදුව සිටියා. ඉපැරණි මිසරයේ දෛනික ජීවිතය (ඉංග්‍රීසියෙන්) නමැති පොත කියන්නේ, ඉපැරණි මිසර වැසියන් “සිරුර පුරා රෝම තිබීම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. දක්ෂ ලෙස නිපැයූ හම් ආවරණයක බහාලූ රේසර් පාවිච්චි කළ ඔවුන් සිනිඳුවට රැවුල බෑම අභිමානයක් ලෙස සැලකූහ” කියායි. ඵාරාවෝ ඉදිරියේ පෙනී සිටින්ට පෙර හෙබ්‍රෙව් සිරකරුවා වූ යෝසෙප් තම රැවුල කැපීමෙන් ඔවුන්ගේ චාරිත්‍රය මනාව පැහැදිලි වෙනවා.—උත්පත්ති 41:14.
අෂූරියයන් වනාහි අභිමානවත් ලෙස රැවුල වැවූ ජාතියක්. ඔවුන් තමන්ගේ රූපය ගැන කොතරම් සැලකිලිමත් වුණාද කිව්වොත් ඔවුන්ගේ රැවුල ගැන සැලකිල්ල සහ අවධානය දීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. ඔවුන් රැවුල විසිතුරු ලෙස කැරලි දමමින්, ගොතමින් සකස් කිරීමේ නිරත වුණා.
පුරාණ ඉශ්රායෙල් පුරුෂයන්ද තරමක් දිගට රැවුල වැවූ අතර, ඒවායේ අගිසි ගානට කැපීම සඳහා රේසරයක් පාවිච්චි කළා. එසේනම්, ‘ඔවුන්ගේ මුහුණේ කන් ඉදිරියෙන් වැවෙන කෙස්’ හෝ “රැවුලේ කොන් නොකැපිය යුතුය” යන දෙවි ඉශ්රායෙල්වරුන්ට දුන් ආඥාව ගැන කුමක් කිව හැකිද? මෙය හිසකේ හෝ රැවුල කැපීමට විරුද්ධ ආඥාවක් නොවෙයි. ඒ වෙනුවට අවට සිටි මිථ්‍යා දෘෂ්ටික ජාතීන්ගේ අන්තයට ගිය ආගමික සිරිත් විරිත් අනුගමනය කිරීමට අධෛර්යය කිරීමක් පමණකි.a—ලෙවී කථාව 19:27; යෙරෙමියා 9:25, 26; 25:23; 49:32.
ඉපැරණි ග්‍රීක සමාජයේ මුළුමනින්ම රැවුල කැපුවේ වංශවතුන් පමණයි. අනිත් සියලුදෙනාම සාමාන්‍යයෙන් රැවුල වැවුවා. රෝම ජාතිකයන්ගේ රැවුල බෑමේ පුරුද්ද ආරම්භ වූ බව පෙනෙන්ට ඇත්තේ පො.යු.පෙ. දෙවන සියවසේදීයි. එතැන් සිට සියවස් කිහිපයක් යන තුරු දිනපතා රැවුල බෑමේ පුරුද්ද චාරිත්‍රයක් බඳු වුණා.
කෙසේවෙතත්, රෝම අධිරාජ්‍යයේ වැටීමත් සමඟම රැවුල වැවීම යළි පණගැන්වුණා. දහහත්වන සියවසේ අග භාගයේදී රැවුල බෑම ජනප්‍රිය වන තුරු අවුරුදු 1,000ක පමණ කාලයක් පුරා එසේ කිරීම ක්‍රියාත්මක වුණා. මුළුමනින්ම රැවුල බෑම 18වන සියවස පුරාද පැවතුණා. එහෙත් 19වන සියවසේ මැද සිට අග භාගය වන විට මෝස්තරය නැවතත් අනිත් පැත්ත හැරෙමින් තිබුණා. ඒ නිසා වොච් ටවර් සමිතියේ මුල් සභාපති වූ සී. ටී. රසල් සහ තවත් ක්‍රිස්තියානිවරයෙක් වූ ඩබ්ලිව්. ඊ. වැන් ඇම්බර්ග් යන අයගේ ඡායාරූපවල ජේත්තුවට සකස් කළ අගිසි කැපූ රැවුලක් වවා තිබෙන බව දකින්ට තිබෙනවා. ඔවුන්ගේ කාලයේ හැටියට එය ඔවුන්ගේ පෙනුමට ගාම්භීරත්වයක් එක් කළ අතර ගැළපෙන මෝස්තරයක්ද වුණා. කෙසේවෙතත්, 20වන සියවසේ මුල් කාලයේදී රැවුල බෑම නැවතත් ජනප්‍රිය වෙන්ට පටන්ගත් අතර අපේ කාලයේ පවා බොහෝ රටවල මෙය ක්‍රියාත්මක වෙනවා.
ඔබත් කණ්ණාඩියක් ඉදිරියේ සිටගෙන බ්ලේඩ් තලයක් උපකාරයෙන් එම දෛනික චාරිත්‍රයේ යෙදෙන දශලක්ෂ ගණන් මිනිසුන්ගෙන් කෙනෙක්ද? එසේනම්, හැකි තාක් දුරට වේදනාවෙන් සහ ලේ ගැලීමකින් තොරව, දක්ෂ ලෙස එසේ කිරීමට ඔබට උවමනා බවට සැකයක් නැහැ. ඒ සඳහා “බ්ලේඩ් තලයක උපකාරයෙන් රැවුල බෑමේ උපක්‍රම” යන කොටුවේ ඇති යෝජනා සලකා බැලීමට ඔබ කැමති වෙයි. සමහරවිට ඔබ දැනටමත් මේ යෝජනාවලින් සමහරක් ක්‍රියාත්මක කරනවා ඇති. ඒ කෙසේවෙතත්, සිනිඳුවට රැවුල බෑමෙන් නැවුම්බවක් ලබන්න!
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) පොතේ පළමුවන වෙළුමේ 266 සහ 1021වන පිටු බලන්න.
[23වන පිටුවේ කොටුව⁄පින්තූර]
බ්ලේඩ් තලයක උපකාරයෙන් රැවුල බෑමේ උපක්‍රම
බ්ලේඩ් තලයක උපකාරයෙන් දක්ෂ ලෙස රැවුල බෑම සඳහා පහත සඳහන් යෝජනා ගෙන එන්නේ පුරුෂ රෝම (ඉංග්‍රීසියෙන්) නමැති පොතයි.b
1. රැවුල් ගස් මෙළෙක් කිරීම: මුහුණේ රැවුල මෙළෙක් කිරීමට තිබෙන හොඳම ක්‍රමය නම් උණුසුම් වතුරෙන් මුහුණ දෝවනය කිරීමයි. හැකිනම්, නෑමෙන් පසු රැවුල කපන්න. රැවුල් ගස් මෙළෙක් වීමට එය හොඳහැටි කල් දෙනවා.
2. රැවුල කැපීමට පෙර තවරන ආලේපන: විවිධ වර්ගයේ සබන්, පෙන වර්ග, ක්‍රීම් සහ ජෙල් වර්ග මූලික කාරණා තුනක් ඉටු කරනවා. (1) රැවුල් ගස් තුළ තෙතමනය රඳවා තබාගන්නවා, (2) රැවුල් ගස් ඍජුව තබාගන්නවා, (3) සම මතුපිට වඩා පහසුවෙන් ලිස්සා යෑමට රේසරයට පහසු කරවනවා. ඔබට වඩාත්ම උචිත ආලේපනයක් තෝරාගන්න. ඇයි! හිසකෙස්වලට ගාන කන්ඩිෂනර්! ඔබ ඒවා පාවිච්චි කර තිබෙනවාද? ඒවාත් නිපදවා ඇත්තේ කෙස් මෙළෙක් කිරීමටයි.
3. නිවැරදි රේසරය නිවැරදි විදිහට පාවිච්චි කිරීම: නිවැරදි රේසරය කියන්නේ තියුණු රේසරයකටයි. ඔබේ සමට හානි කිරීමට මොට්ට රේසරයකට හැකියි. ඔබේ රැවුල වැවෙන පැත්තට රැවුල කපන්න. ඊට විරුද්ධ දිශාවට කපද්දී සිනිඳුවට රැවුල කැපුණත්, ඒ කැපෙන්නේ සමේ මට්ටමට යටින් නිසා, සමේ තිබෙන ඉතා සියුම් සිදුරු හෝ කූප තුළින් රැවුල වැඩී එනවා වෙනුවට සම අභ්‍යන්තරයට වැඩෙන්ට එය හේතු වෙයි. සමහර මූලාශ්‍රවලට අනුව පුරුෂයන් සහ ස්ත්‍රීන් නොසැලකිලිමත්ව කෙස් බූ ගෑම නිසා වෛරස් මගින් බෝවෙන ඉන්නන් ඇතිවීමට හේතු වී තිබෙනවා.
4. රැවුල කැපීමෙන් පසු සමේ ආරක්ෂාව: ඔබ රැවුල කපන සෑම අවස්ථාවකම ඔබේ සමෙන් ඉතා සියුම් ස්තරයක් කැපී යනවා. ඒ හේතුවෙන් සම පහසුවෙන්ම තුවාල විය හැකියි. එමනිසා, පළමුව උණුසුම් වතුරෙනුත් පසුව පිරිසිදු සිසිල් වතුරෙනුත් ඔබේ මුහුණේ ඉතිරි වී ඇති සබන් ගතිය සෝදාහැරීම වැදගත්. මෙසේ කරන්නේ සමේ ඇති සියුම් සිදුරු වැසී තෙතමනය පිටවීමෙන් වැළැක්වීමටයි. ඒ සඳහා ඔබ කැමති නම් සමේ තෙතමනය පවත්වාගැනීම සඳහා පාවිච්චි කරන ආෆ්ට-ෂේව් දියරයක් ගෑමෙන් ඔබේ සම ආරක්ෂා මෙන්ම ප්‍රාණවත් කරවිය හැකියි.
[පාදසටහන]
b මේ ලිපිය සාකච්ඡා කරන්නේ පුරුෂයන්ගේ රැවුල බෑම ගැනයි. ලෝකයේ බොහෝ ප්‍රදේශවල වෙසෙන ස්ත්‍රීන්ද ශරීරයේ ඇතැම් කොටස්වලින් රෝම ඉවත් කරන හෙයින් මෙහි එන කාරණා සමහරවිට ඔවුන්ටද ප්‍රයෝජනවත් වේවි.
[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]
රැවුල් ගස් කියන්නේ මොනවටද?
රැවුල් ගස් කියන්නේ මුහුණේ වැඩෙන රෝමවලටයි. ඒවා සෑදී තිබෙන්නේ කැරටින් සහ ඊට සම්බන්ධ ප්‍රෝටීන්වලින්. කැරටින් කියන්නේ මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීරවල නිපදවෙන තන්තුමය, සල්ෆර් අඩංගු ප්රෝටීන්වලටයි. මෙය මූලිකව හිසකෙස්, නියපොතු, පිහාටු, කුර සහ අං යනාදිය වර්ධනය කිරීමේ මූලිකම ද්‍රව්‍යයයි. මිනිස් සිරුරේ ඇති රෝම අතරින් පහසුවෙන් නොගැළවෙන, ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන, එමෙන්ම සමාන ඝනකමේ තඹ කම්බියක ශක්තිය ඇති දෙයකි රැවුල් ගස. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මුහුණේ රැවුල් ගස් 25,000ක් පමණ තිබෙනවා. එය වැඩෙන්නේ පැය 24කට මිලිමීටර භාගයක වේගයෙනි.
[හිමිකම් විස්තර]
පුරුෂයන්: A Pictorial Archive from Nineteenth-Century Sources/Dover Publications, Inc.
[24වන පිටුවේ පින්තූර]
රැවුල් මෝස්තරවලට ඇත්තේ විටින් විට වෙනස් වන ආකාරයේ ඉතිහාසයකි
මිසර වැසියන්ගේ
අෂූරියයන්ගේ
රෝමවරුන්ගේ
[හිමිකම් විස්තර]
Museo Egizio di Torino
ඡායාරූප British Museum අනුග්රහයෙනි