6වෙනි පරිච්ඡේදය
ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න
1, 2. නහඹරවිය ගෙනා හැකි අභියෝග හා ප්‍රීතියට හේතු මොනවාද?
නිවසේ නහඹරයෙකු සිටීම, පස්-හැවිරිදි දරුවෙකු හෝ දස-හැවිරිදි දරුවෙකු පවා සිටීමට වඩා ඉතා වෙනස්ය. නහඹරවිය එයටම ආවේනික අභියෝග හා ගැටලු ගෙනෙන මුත්, ප්‍රීතිය හා විපාකද ගෙන ඒමට එයට හැක. යෞවන අයට වගකීමකින් යුතුව ක්‍රියා කරන්ටත්, යෙහෝවඃවහන්සේ සමඟ මනා සබඳතාවක් පවත්වාගන්ටත් හැකි බව යෝසෙප්, දාවිත්, යොෂියා සහ තිමෝති වැනි අයගේ ආදර්ශ පෙන්නුම් කරයි. (උත්පත්ති 37:2-11; 1 සාමුවෙල් 16:11-13; 2 රාජාවලිය 22:3-7; ක්‍රියා 16:1, 2) අදදින බොහෝ නහඹරයෝ එම කාරණයම ඔප්පු කරති. සමහරවිට ඔබ ඔවුන්ගෙන් සමහරෙකු දන්නවා විය හැක.
2 එහෙත්, ඇතමුන්ට නහඹරවිය කරදරකාරි කාලයකි. තරුණයෝ චිත්තවේගීය වෙනස්කම් අද්දකිති. නහඹර පිරිමි ළමුන්ට හා ගැහැනු ළමුන්ට වැඩි නිදහසක් වුවමනා විය හැකි අතර, තම දෙමාපියන් පනවන සීමාවන් ගැන ඔවුන් අමනාපය දැක්විය හැක. එහෙත්, එවැනි යෞවනයෝ තවමත් මුළුමනින්ම පාහේ අද්දැකීම් අඩු තත්වයක සිටිත්, තවද තම දෙමාපියන්ගේ ප්‍රේමනීය, ඉවසිලිවන්ත උපකාරය ඔවුන්ට අවශ්‍යය. එසේය, නහඹරවිය ප්‍රබෝධවත් කාලයක් විය හැකි මුත්, එය දෙමාපියන් හා නහඹරයන් යන දෙපාර්ශ්වයටම වියවුල් සහිත කාලයක්ද විය හැක. මෙම කාලය තුළදී යෞවනයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
3. තම තරුණ දරුවන්ට ජීවිතයේ කදිම ප්‍රස්තාවක් දීමට දෙමාපියන්ට හැක්කේ කුමන මාර්ගයෙන්ද?
3 බයිබල් උපදෙස් අනුගමනය කරන දෙමාපියෝ, තම තරුණ දරුවන්ට වගකීමකින් යුතු වැඩිහිටියන් වීම සඳහා, එම පරීක්ෂා සාර්ථකව ජයගැනීමට හැකි හොඳම ප්‍රස්තාව ලබා දෙති. සියලු දේශවල හා සියලු කාලවල, බයිබල් ප්‍රතිපත්ති එක්ව අදාළ කරගත් දෙමාපියන් හා නහඹරයන් සාර්ථකත්වයකින් ආශීර්වාද ලබා ඇත.—ගීතාවලිය 119:1.
අවංක හා විවෘත අදහස් හුවමාරුව
4. නහඹරවියේදී නොවළහා කතා බහ කිරීම විශේෂයෙන්ම වැදගත් මන්ද?
4 බයිබලය මෙසේ පවසයි “මන්ත්‍රණය [නොවළහා කතා බහ කිරීම, NW ] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” (හිතෝපදේශ 15:22) දරුවන්ගේ බාල කාලයේදී නොවළහා කතා බහ කිරීම අවශ්‍ය වූවා නම්, නහඹරවියේදී—එනම් යෞවනයන් නිවසේදී අඩු කාලයක් ගත කරමින්, පාසැල් මිත්‍රයන් හෝ වෙනත් මිත්‍රයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ඇති කාලයේදී—එය විශේෂයෙන්ම වැදගත්ය. දරුවන් හා දෙමාපියන් අතර නොවළහා කතා බහ කිරීමක්—අවංක හා විවෘත අදහස් හුවමාරුවක් නැත්නම්—නහඹරයන් නිවසේ අමුත්තන් බවට පත් විය හැක. එසේනම්, අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයන් විවෘතව තබාගත හැක්කේ කෙසේද?
5. තම දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කිරීම සම්බන්ධ කාරණය සලකා බැලීමට නහඹරයන්ට දිරිගන්වා තිබෙන්නේ කෙසේද?
5 මේ සම්බන්ධයෙන් නහඹරයන් හා දෙමාපියන් යන දෙපාර්ශ්වයම තම කොටස ඉටු කළ යුතුය. තමන්ගේ බාල කාලයේදී මෙන් තම දෙමාපියන් සමඟ කතා කිරීමට, තරුණයන්ට දැන් වැඩි අසීරුතාවක් දැනිය හැකි බව සැබෑය. කෙසේනමුත්, “ඥානවන්ත පාලනයක් නැති විට සෙනග වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇ[ති],” වන බව මතක තබාගන්න. (හිතෝපදේශ 11:14) මෙම වචන යෞවන, මහලු සෑම කෙනෙකුටම එක සේ අදාළ වේ. නහඹරයන් පෙරට වඩා දැන් වඩාත් සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන බැවින්, මෙය තේරුම්ගන්නා නහඹරයෝ, ඔවුන්ට තවමත් දක්ෂ මඟ පෙන්වීම අවශ්‍ය බව වටහාගනිති. දෙමාපියන්ට ජීවිතය සම්බන්ධයෙන් වැඩි අද්දැකීමක් තිබෙන නිසාත්, බොහෝ වර්ෂ ගණනාවක් පුරා ඔවුන්ගේ ප්‍රේමනීය සැලකිල්ල පෙන්වා ඇති නිසාත්, තම ඇදහිලිවන්ත දෙමාපියන් උපදේශකයන් වශයෙන් මනා සුදුසුකමක් ලබා සිටින බව ඔවුන් වටහාගත යුතුය. මෙබැවින්, ඥානවන්ත නහඹරයන් තම ජීවිතයේ මෙම අවදියේදී, තම දෙමාපියන්ගෙන් වෙනතකට නොහැරෙනු ඇත.
6. නුවණැති, ප්‍රේමනීය දෙමාපියන්ට තම නහඹරයන් සමඟ අදහස් හුවමාරු කිරීම ගැන තිබෙන්නේ කුමන ආකල්පයද?
6 විවෘත අදහස් හුවමාරුව යනු නහඹරයෙකුට කතා කළ යුතුයයි හැඟෙන විට දෙමාපියා ඉදිරිපත් වී සිටීමට වෑයමක් දැරීමය. ඔබ දෙමාපියෙකු නම්, අඩුම තරමින් ඔබේ පැත්තෙන් අදහස් හුවමාරුව සඳහා විවෘතව සිටීමට නිසැක වන්න. මෙය පහසු නොවිය හැක. “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” තිබෙන බව බයිබලය පවසයි. (දේශනාකාරයා 3:7) තමා කතා කළ යුතුයයි ඔබේ නහඹරයාට හැඟේ නම්, එය ඔබට නිශ්ශබ්දව සිටීමට කාලය විය හැක. සමහරවිට ඔබ එම කාලය පෞද්ගලික අධ්‍යයනය, විවේකය හෝ නිවස ආශ්රිත වැඩකටයුතු සඳහා වෙන් කර තිබෙනවා විය හැක. එහෙත්, ඔබේ බාලයාට ඔබට කතා කිරීමට වුවමනා නම්, ඔබේ සැලසුම් වෙනස් කර, සවන් දීමට වෑයම් කරන්න. එසේ නැතහොත්, ඔහු යළිත් වෑයම් නොකරන්ට ඉඩ තිබේ. යේසුස්වහන්සේගේ ආදර්ශය මතක තබාගන්න. එක් අවස්ථාවකදී, උන්වහන්සේ විවේක ගැනීමට කාලයක් වෙන් කර තැබූසේක. එහෙත් සෙනඟ උන්වහන්සේට සවන් දීමට එන්ට පටන්ගත් විට, උන්වහන්සේ විවේක ගැනීම පසෙක තබා, ඔවුන්ට උගන්වන්ට පටන්ගත්සේක. (මාර්ක් 6:30-34) තම දෙමාපියන් කාර්යබහුල ජීවිත ගත කරන බව බොහෝ නහඹරයන්ට වැටහෙන මුත්, අවශ්‍ය වුවහොත් තමන්ට තම දෙමාපියන් සිටින බව ඔවුන්ට තහවුරු කළ යුතුය. මෙනිසා, දරුවාට වුවමනා වන විට ඉදිරිපත් වන්න, තවද තේරුම්ගැනීමටත් වෑයම් කරන්න.
7. දෙමාපියන් වැළකිය යුත්තේ කුමකින්ද?
7 ඔබ නහඹරයෙකුව සිටියදී එය කුමන අයුරුවීදැයි මතකයට නැඟීමට වෑයම් කරන්න, එමෙන්ම ඔබේ හාස්‍යරසය අඩුවීමට ඉඩ නොදෙන්න! තම දරුවන් සමඟ සිටීමෙන් දෙමාපියන් ප්‍රීතිය භුක්තිවිඳිය යුතුය. විවේක වේලාවක් තිබෙන විට, දෙමාපියන් එය ගත කරන්නේ කෙසේද? දෙමාපියන් තම විවේක කාලය තම පවුලට ඇතුළත් නොවන දේවල් සඳහා සැමවිටම යොදනවා නම්, ඔවුන්ගේ නහඹරයන් විගස එය වටහාගනු ඇත. තම දෙමාපියන්ට වඩා පාසැල් මිත්‍රයන් තමන් ගැන සිතනවායයි තරුණයන් නිගමනයකට බසිනවා නම්, නියත වශයෙන්ම ඔවුන්ට ගැටලු ඇතිවනු ඇත.
අදහස් හුවමාරු කළ යුතු දේ
8. අවංකකම, වෙහෙසී වැඩ කිරීම හා සුදුසු හැසිරීම සඳහා අගය දරුවන්ගේ සිත් තුළට කාවැදිය හැක්කේ කෙසේද?
8 දෙමාපියන් අවංකකම හා වෙහෙසී වැඩ කිරීම සඳහා තම දරුවන් තුළ තවමත් අගයක් පැලපදියම් කර නැත්නම්, ඔවුන් ස්ථිරයෙන්ම නහඹර කාලයේදී එසේ කළ යුතුය. (1 තෙසලෝනික 4:11; 2 තෙසලෝනික 3:10) සදාචාර, පවිත්‍ර ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම කෙරෙහි තම දරුවන් මුළු හෘදයෙන්ම විශ්වාසය තබන බවට ස්ථිර වීමද ඔවුන්ට වැදගත්ය. (හිතෝපදේශ 20:11) මේ පැතිවලින් දෙමාපියෙකු වැඩි වශයෙන්ම අදහස් හුවමාරු කරන්නේ ආදර්ශයක් වීම මගිනි. නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයාව “වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනා” ගැනීමට හැකි ලෙසම, නහඹරයන්ට තම දෙමාපියන්ගේ හැසිරීම මගින් හරි ප්‍රතිපත්ති ඉගෙනගත හැක. (1 පේතෘස් 3:1) එහෙත්, දරුවන් නිවසෙන් පිටත නරක ආදර්ශයන් හා සිත් ඇදගන්නා ප්‍රචාරයන් බොහොමයකට අනාවරණය වන හෙයින්, ආදර්ශය පමණක් කිසිවිටකත් ප්‍රමාණවත් නොවේ. එමනිසා සැලකිලිමත් දෙමාපියන් තම නහඹරයන් දකින හා අසන දේ පිළිබඳව ඔවුන්ගේ අදහස් දැනගත යුතු අතර, මේ සඳහා අර්ථවත් සංවාදය අවශ්‍ය වේ.—හිතෝපදේශ 20:5.
9, 10. ලිංගික කාරණා ගැන තම දරුවන්ට උපදෙස් දීමට දෙමාපියන් ස්ථිර විය යුත්තේ මන්ද, තවද මෙය කිරීමට ඔවුන්ට හැක්කේ කෙසේද?
9 ලිංගික කාරණා ගත් කල, මෙය විශේෂයෙන්ම සැබෑය. දෙමාපියෙනි, ඔබේ දරුවන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීමට ඔබ ලජ්ජා වනවාද? ඔබ ලජ්ජා වුවත් එසේ කිරීමට වෑයම් කරන්න, මන්ද ඔබේ බාලයන් වෙන කෙනෙකුගෙන් මෙම විෂය ගැන දැනගන්නවා නොඅනුමානය. ඔවුන් ඔබගෙන් ඉගෙන නොගතහොත්, ඔවුන් කුමන විකෘති තොරතුරු ලබාගනීදැයි දන්නේ කවුද? යෙහෝවඃවහන්සේ බයිබලය තුළ ලිංගික කාරණා ගැන සඳහන් කිරීමෙන් වැළකී නොසිටිසේක, දෙමාපියන්ද එසේ සඳහන් කිරීමෙන් වැළකී නොසිටිය යුතුය.—හිතෝපදේශ 4:1-4; 5:1-21.
10 ලිංගික හැසිරීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් බයිබලයේ පැහැදිලි මඟ පෙන්වීමක් අඩංගු වන අතර, නවීන ලෝකයේ පවා මෙම මඟ පෙන්වීම අදාළ වන බවට දක්වමින් වොච්ටවර් සමිතිය උපකාරවත් වැඩිමනත් තොරතුරු සපයා තිබීම ගැන ස්තුතිවන්ත විය යුතුය. මෙම උපකාරයෙන් ප්‍රයෝජන නොගන්නේ මන්ද? උදාහරණයක් වශයෙන්, ඔබේ පුත්‍රයා හෝ දියණිය සමඟ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතෙහි “ලිංගික කාරණා සහ සදාචාරයන්” යන කාණ්ඩය සාකච්ඡා නොකරන්නේ මන්ද? ලැබෙන ප්‍රතිඵල ඔබේ සතුටට හේතුවක් විය හැක.
11. යෙහෝවඃවහන්සේට සේවය කරන ආකාරය තම දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට ඇති ඉතාමත්ම ඵලදායී මාර්ගය කුමක්ද?
11 දෙමාපියන් හා දරුවන් සාකච්ඡා කළ යුතු අතිවැදගත් විෂය කුමක්ද? ප්‍රේරිත පාවුල් මෙසේ පැවසූ විට එයට යොමු දැක්වූයේය: “ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද [ඔබේ දරුවන්] ඇතිකර[න්න].” (එපීස 6:4) දරුවන් නොකඩවාම යෙහෝවඃවහන්සේ ගැන ඉගෙනගත යුතුය. විශේෂයෙන්ම, උන්වහන්සේට ප්‍රේම කිරීමට ඔවුන් ඉගෙනගත යුතු අතර, උන්වහන්සේට සේවය කිරීමට ඔවුන්ට වුවමනා විය යුතුය. මෙහිදී ආදර්ශය මගින්ද බොහෝ දේ ඉගැන්විය හැකිය. තම දෙමාපියන් ‘මුළු හෘදයෙන්, මුළු ආත්මයෙන්, මුළු බුද්ධියෙන්’ දෙවියන්වහන්සේට ප්‍රේම කරන බවත්, එය ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතවල හොඳ ඵල නිපදවන බවත් තරුණයන්ට දකින්ට තිබේ නම්, ඔවුනුත් එසේම කිරීමට පෙලඹෙන්ට බෙහෙවින් ඉඩ කඩ තිබේ. (මතෙව් 22:37) තම දෙමාපියන් දේවරාජ්‍යය මුල් තැනට තබමින් ද්‍රව්‍යමය දේවල් ගැන සාධාරණ දෘෂ්ටියක් දරන බව යෞවන අය දකින්නේ නම්, එම මානසික ආකල්පයම වර්ධනය කරගැනීමට එය ඔවුන්ට උපකාරයක් වනු ඇත.—දේශනාකාරයා 7:12; මතෙව් 6:31-33.
12, 13. පවුලේ පාඩම සාර්ථක එකක් කරගැනීමට නම්, මතකයෙහි තබාගත යුත්තේ කුමන කරුණුද?
12 යෞවන අය සමඟ ආත්මික සාරධර්ම ගැන අදහස් හුවමාරු කිරීමේදී සතිපතා පවුලේ බයිබල් පාඩම විශේෂ උපකාරයකි. (ගීතාවලිය 119:33, 34; හිතෝපදේශ 4:20-23) නිතිපතා එවැනි පාඩමක් තිබීම අතිවැදගත්ය. (ගීතාවලිය 1:1-3) අනික් දේවලට වඩා පවුලේ පාඩමට මුල් තැන දීම මිස, ඊට විරුද්ධ දෙය සිදු නොවිය යුතු බව දෙමාපියන් සහ දරුවන් වටහාගත යුතුය. තවදුරටත්, පවුලේ පාඩම බලපෑමෙන් යුතු වීමට නම් හරි ආකල්පය අත්‍යවශ්‍ය වේ. එක් පියෙක් මෙසේ පැවසීය: “මෙහෙයවන්නා පවුලේ පාඩම පවත්වන විට අවිධිමත් නමුත් නිරර්ථක නොවන පාඩමක්—දැඩි නොවන මුත්, ගෞරවනීය වාතාවරණයක් යටතේ—වර්ධනය කරගැනීම එයට රහස වේ. සැමවිටම හරි සමබරතාවක් තබාගැනීම පහසු නොවිය හැකි අතර, නිතර නිතර යෞවනයන්ගේ ආකල්පවල වෙනස්කම් කිරීම අවශ්‍ය වනු ඇත. වරක් හෝ දෙවරක් දේවල් මනා අන්දමින් සිදු නොවේ නම්, අඛණ්ඩ උත්සාහයක යෙදෙමින් ඊළඟ වතාවේ උත්සාහ කර බලන්න.” එම පියා සෑම පාඩමකටම පෙර සිය යාච්ඤාවේදී, පාඩමට හවුල් වන සියලුදෙනා තුළම හරි දෘෂ්ටිකෝණය තබාගැනීම සඳහා විශේෂයෙන්ම යෙහෝවඃවහන්සේගෙන් උපකාරය ඉල්ලුවේය.—ගීතාවලිය 119:66.
13 පවුලේ පාඩම පැවැත්වීම ඇදහිලිවන්ත දෙමාපියන්ගේ වගකීමකි. ඇතැම් දෙමාපියන් දක්ෂ ගුරුවරුන් නොවිය හැකි අතර, පවුලේ පාඩම උනන්දුව ගෙන දෙන එකක් කිරීමට මං සෙවීම ඔවුන්ට දුෂ්කර විය හැකි බව සැබෑවකි. කෙසේනමුත්, ඔබ ඔබේ නහඹරයන්ට “ක්‍රියාවෙනුත් සැබෑවෙනුත්” ප්‍රේම කරන්නේ නම්, ආත්මිකව දියුණුවීම සඳහා ඔබ ඔවුන්ට නිහතමානි හා අවංක ආකාරයකින් උපකාර කිරීමට ආශාවක් දක්වනු ඇත. (1 යොහන් 3:18) කලින් කලට ඔවුන් පැමිණිලි කළ හැකි මුත්, ඔවුන්ගේ ශුභසිද්ධිය කෙරෙහි ඔබ දක්වන ගැඹුරු උනන්දුව ඔවුන්ට අවබෝධ වන්ට තිබෙන ඉඩ කඩ වැඩිය.
14. නහඹරයන් සමඟ ආත්මික දේ කතා කරන විට ද්විතීය කථාව 11:19, 20 අදාළ කරගත හැක්කේ කෙසේද?
14 ආත්මික ලෙස වැදගත් කාරණා හුවමාරු කිරීමට එකම අවස්ථාව පවුලේ පාඩම පමණක් නොවේ. දෙමාපියන්ට යෙහෝවඃවහන්සේ දුන් ආඥාව ඔබට මතකද? උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගනිල්ලා. නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වාපල්ලා.” (ද්විතීය කථාව 11:19, 20; තවද ද්විතීය කථාව 6:6, 7ද බලන්න.) දෙමාපියන් තම දරුවන්ට නිරතුරුවම දේශනා කළ යුතු බව මින් අදහස් නොකෙරේ. එහෙත් ප්‍රේමනීය පවුල් මූලිකයෙක් තම පවුලේ ආත්මික තත්වය වර්ධනය කිරීම සඳහා සැමවිටම ප්‍රස්තාවන් සෙවීමට අවදිව සිටිය යුතුය.
හික්මවීම හා ගෞරවය
15, 16. (අ) හික්මවීම යනු කුමක්ද? (ආ) හික්මවීම දීමේ වගකීම දැරිය යුත්තේ කවරෙක්ද, තවද එය පිළිපදිනු ඇද්ද කියා සහතික කිරීමේ වගකීම තිබෙන්නේ කාහටද?
15 හික්මවීම යනු නිවැරදි කිරීමට තුඩු දෙන පුහුණු කිරීමක් වන අතර ඊට අදහස් හුවමාරු කිරීම ඇතුළත්ය. හික්මවීම සඳහා දඬුවම් කිරීම අවශ්‍ය වුවත්, දඬුවම් කිරීමට වඩා හික්මවීම තුළ ගැබ්ව ඇත්තේ නිවැරදි කිරීමේ අදහසකි. ඔබේ දරුවන්ගේ බාල අවදියේදී හික්මවීම අවශ්‍ය වූ අතර, දැන් නහඹරයන් වන ඔවුන්ට තවමත් යම් ආකාරයකින්, සමහරවිට ඊටත් වඩා හික්මවීම අවශ්‍ය වේ. මෙය සැබෑවක් බව ඥානවන්ත නහඹරයෝ දනිති.
16 බයිබලය මෙසේ පවසයි: “මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.” (හිතෝපදේශ 15:5) අපි මේ ශුද්ධ ලියවිලි පාඨයෙන් මහත් දෙයක් ඉගෙනගන්නෙමු. හික්මවීම දෙනු ලබන බව ඉන් ඇඟවේ. අවවාද නොදුන්නහොත් නහඹරයෙකුට එය ‘අවවාදයක් ලෙස සැලකිය’ නොහැක. හික්මවීම දීම සඳහා යෙහෝවඃවහන්සේ දෙමාපියන්ට, විශේෂයෙන්ම පියාට වගකීම දෙනසේක. කෙසේනමුත්, එම හික්මවීමට සවන් දීමේ වගකීම සතුව තිබෙන්නේ නහඹරයාටය. ඔහු සිය පියාගේ හා මවගේ නැණවත් හික්මවීම පිළිපදිනවා නම්, ඔහු වැඩියෙන් ඉගෙනගන්නා අතර අඩුවෙන් වැරදි කරයි. (හිතෝපදේශ 1:8) බයිබලය මෙසේ පවසයි: “අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.”—හිතෝපදේශ 13:18.
17. හික්මවීම දෙන විට දෙමාපියන් ඉලක්ක කරගත යුත්තේ කුමන සමබරතාව දැක්වීමටද?
17 නහඹරයන්ව හික්මවීමේදී, දෙමාපියන් සමබර විය යුතුය. දෙමාපියන් තම දරුවන්ව කෝපයට පත් කරවන තරමටම, සමහරවිට ඔවුන්ගේ දරුවන්ගේ ආත්ම-විශ්වාසයට හානි පමුණුවන තරමටම දැඩිවීමෙන් වැළකී සිටිය යුතුය. (කොලොස්සි 3:21) එනමුත් තම බාලයන්ගෙන් වටිනා පුහුණුව වළක්වන ඕනෑම දෙයකට අවසර දීමට දෙමාපියන්ට අවශ්‍ය නොවේ. එවැනි අවසර දීමක් විනාශකාරි විය හැක. හිතෝපදේශ 29:17 මෙසේ පවසයි: “නුඹේ පුත්‍රයාට දඬුවම්කරපන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.” කෙසේවුවත්, 21වන පදය [නව අනුවාදය] මෙසේ පවසයි: “මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.” මෙම පදය වැඩකාරයෙකු ගැන කතා කළත්, පවුලේ ඕනෑම බාලයෙකුට එය එක සමානව අදාළ වේ.
18. හික්මවීම කුමක සාක්ෂියක්ද, තවද දෙමාපියන් ස්ථිරසාර හික්මවීම දෙන විට කුමකින් වළකිනු ඇද්ද?
18 සත්‍යය නම්, සුදුසු හික්මවීමක් දීම දෙමාපියෙකු තම දරුවා සඳහා ප්‍රේමය දක්වන බවට ඔප්පු කිරීමකි. (හෙබ්‍රෙව් 12:6, 11) ඔබ දෙමාපියෙකු නම්, ස්ථිරසාර සාධාරණ හික්මවීමක් පවත්වාගැනීම අසීරු බව ඔබ දන්නා කරුණකි. සාමය පවත්වාගන්නා අටියෙන්, මුරණ්ඩු නහඹරයෙකුට තමන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩහැරීම වඩා පහසු දෙයක් මෙන් පෙනිය හැක. කෙසේනමුත්, මෙම පසු ක්‍රියාමාර්ගය අනුගමනය කරන දෙමාපියෙකු අවසානයේදී, පාලනය කරගත නොහැකි පවුලක් හිමි කරගැනීම ප්‍රතිඵලය වේ.—හිතෝපදේශ 29:15; ගලාති 6:9.
වැඩ සහ සෙල්ලම් කිරීම
19, 20. තම නහඹරයන්ගේ විනෝද වීම පිළිබඳ කාරණය සමඟ නුවණැතිව කටයුතු කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද?
19 පෙර කාලවලදී ගෘහයේ හෝ ගොවිපොළේ වැඩට උපකාර කිරීම සාමාන්‍යයෙන්ම දරුවන්ගෙන් අපේක්ෂා කෙරිණ. අදදින බොහෝ නහඹරයන්ට අධීක්ෂණයෙන් තොර වැඩි විවේක කාලයක් ඇත. විවේක කාලය පිරවීම සඳහා, වාණිජ ලෝකය මගින් වැඩියෙන් විනෝද වීමට දේවල් රැසක් සපයනු ලැබේ. මීට අමතරව, මේ ලෝකය සදාචාරය පිළිබඳ බයිබලයේ ප්‍රමිතිවල අගය ඉතා සුළු කොට තකන බවට වූ කාරණය නිසා, විපත්තියක් සිදුවීමට දායක විය හැකි හේතුකාරක ඔබට තිබේ.
20 මෙබැවින් විනෝදාස්වාදය සම්බන්ධ අවසාන තීරණය ගැනීමට අයිතිය තෝරා බේරා කටයුතු කරන දෙමාපියෙකු සතුය. එහෙත්, නහඹරයෙකු වැඩෙමින් සිටින බව අමතක නොකරන්න. වසරෙන් වසර, ඔහු හෝ ඇය වැඩිහිටියෙකු මෙන් සලකනවාට වැඩි කැමැත්තක් දක්වනු ඇත. මෙලෙස, නහඹරයා වයසින් මුහුකුරා යන විට විනෝද වීම් තේරීමේදී—එම තේරීම් ආත්මික මේරූභාවය වෙත ප්‍රගතියක් පිළිබිඹු කරන තාක් කල්—වැඩි නිදහසකට ඉඩහැරීම දෙමාපියෙකුට නැණවත් දෙයක් වේ. ඇතැම් අවස්ථාවලදී, සංගීතය, ආශ්‍රිතයන් සහ තවත් එවැනි දේ තේරීමේදී නහඹරයෙකු අනුවණ තේරීම් කළ හැක. මෙය සිදු වන විට, අනාගතයේදී වඩා හොඳ තේරීම් කරනු පිණිස එය නහඹරයා සමඟ සාකච්ඡා කළ යුතු වේ.
21. විනෝදය සඳහා ගත කරන කාලයේ ප්‍රමාණය සම්බන්ධයෙන් සාධාරණ වීම නහඹරයෙකුව ආරක්ෂා කරන්නේ කෙසේද?
21 විනෝද වීම සඳහා කෙතරම් කාලයක් ගත කළ යුතුද? තමුන්ට නිරතුරුව විනෝද විය හැකිය යන්න විශ්වාස කිරීමට ඇතැම් රටවල යෞවනයන්ව පොලඹවා තිබේ. මෙබැවින්, එක් “විනෝදයකින්” තවත් එකකට යෑම සඳහා තරුණයෙකු තම කාලසටහන සැලසුම් කරගත හැක. පවුල, පෞද්ගලික පාඩම, ආත්මිකව මේරූ අය සමඟ ආශ්‍රය, ක්‍රිස්තියානි රැස්වීම් සහ ගෘහයේ වැඩ කොටස් වැනි වෙනත් දේවල් සම්බන්ධයෙන්ද කාලය ගත කළ යුතු බවට වූ පාඩම ඉගැන්වීම දෙමාපියන් සතු වගකීමය. මෙය “සැපජීවිකාවෙන්” දේවවචනය යට වී යෑම වළක්වයි.—ලූක් 8:11-15.
22. නහඹරයෙකුගේ ජීවිතයේදී විනෝදාස්වාදය සමබර කළ යුත්තේ කුමක් සමඟද?
22 සාලමොන් රජ මෙසේ පැවසීය: “ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.” (දේශනාකාරයා 3:12, 13) එසේය, ප්‍රීතිවීම සමබර ජීවිතයක කොටසකි. එහෙත් වෙහෙසී වැඩ කිරීමත් එසේමය. වෙහෙසී වැඩ කිරීමෙන් පැමිණෙන තෘප්තිය හෝ ගැටලුවකට මුහුණ දී එය නිරාකරණය කරගැනීමෙන් පැමිණෙන ආත්ම-ගෞරවයේ හැඟීම අදදින බොහෝ යෞවනයෝ ඉගෙන නොගනිති. ජීවිතයේ පසු කලකදී තමන්ව නඩත්තු කරගත හැකි කුසලතාවක් හෝ වෙළඳාමක් වැඩිදියුණු කරගැනීමට ඇතමෙකුට අවස්ථාවක් ලැබී නැත. දෙමාපියා සඳහා මෙය සැබෑ අභියෝගයකි. ඔබේ බාලයාට එවැනි අවස්ථාවන් ලබා දීමට ඔබ ස්ථිර වන්නෙහිද? ඔබේ නහඹරයාට වෙහෙසී වැඩ කිරීම අගය කිරීමටත්, ඉන් ප්‍රීතිය ලැබීමටත් ඉගැන්වීමෙන් සාර්ථකත්වයක් ලබාගැනීමට ඔබට හැකි නම්, ඔහු හෝ ඇය ජීවිත කාලීන ප්‍රයෝජන ගෙනෙනු ඇති ශක්තිමත් බලාපොරොත්තුවක් වර්ධනය කරගනු ඇත.
නහඹරයාගේ සිට වැඩිහිටියා දක්වා
23. දෙමාපියන්ට තම නහඹරයන්ව දිරිගැන්විය හැක්කේ කෙසේද?
23 ඔබේ නහඹරයා සමඟ ඔබට ගැටලු තිබෙනවා වුවත්, මෙම ශුද්ධ ලියවිලි පදය තවමත් සත්‍යයක් වේ: “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” (1 කොරින්ති 13:8) ඔබට නිසැකයෙන්ම දැනෙන ප්‍රේමය පෙන්වීම කිසිවිටකත් නොනවත්වන්න. ‘ගැටලු හැසිරවීමේදී හෝ බාධා ජයගැනීමේදී සෑම දරුවෙකුගේම සාර්ථකත්වයන් සඳහා මා ප්‍රශංසා කරනවාද? එම අවස්ථාවන් පසු වී යෑමට පෙර මගේ ප්‍රේමය හා අගය කිරීම දරුවන් වෙත ප්‍රකාශ කිරීමට මා අවස්ථාවන් අල්ලාගන්නවාද?’ කියා ඔබෙන්ම අසන්න. ඇතැම් අවස්ථාවලදී වරදවා තේරුම්ගැනීම් තිබිය හැකි වුවත්, නහඹරයන් වෙත ඔබේ ප්‍රේමය තිබෙන බවට තහවුරු කළහොත්, ඔවුන් එලෙසම ප්‍රතිප්‍රේමය පෙන්වීමට වැඩි ඉඩ කඩ තිබේ.
24. දරුවන් ඇති දැඩි කිරීමේදී පොදු නීතියක් වශයෙන් සැබෑ වන්නේ කුමන ශුද්ධ ලියවිලිමය ප්රතිපත්තියද, නමුත් මනසේ තබාගත යුත්තේ කුමක්ද?
24 දරුවන් වැඩිහිටිභාවය තෙක් වර්ධනය වන විට, ඔවුන් අවසානයේදී තමන් උදෙසාම ඉතා බැරෑරුම් තීරණ ගන්නා බවට සැකයක් නැත. සමහර අවස්ථාවලදී එම තීරණවලට දෙමාපියන් අකමැති විය හැක. ඔවුන්ගේ දරුවා යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කිරීම නැවැත්වීමට තීරණය කරනවා නම් කුමක්ද? මෙය සිදු විය හැක. යෙහෝවඃවහන්සේගේම ආත්ම පුත්‍රයන්ගෙන් සමහරෙක් උන්වහන්සේගේ අවවාදය ප්‍රතික්ෂේප කර, කැරලිකාර බව ඔප්පු කළහ. (උත්පත්ති 6:2; යූද් 6) දරුවන් අපට වුවමනා ලෙසින් ක්‍රියා කිරීමට සකස් කළ හැකි පරිගණක යන්ත්‍ර නොවේ. ඔවුන් ගන්නා තීරණ සඳහා ඔවුහු යෙහෝවඃවහන්සේ ඉදිරියේ වගකිව යුතු නිදහස් කැමැත්ත ඇති ජීවීහු වෙති. එහෙත්, හිතෝපදේශ 22:6 පොදු නීතියක් වශයෙන් සැබෑවක් වෙයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරපන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”
25. දෙමාපියභාවයේ වරප්‍රසාදය සඳහා යෙහෝවඃවහන්සේට කෘතවේදී වීමට දෙමාපියන්ට තිබෙන හොඳම මාර්ගය කුමක්ද?
25 එසේනම්, ඔබේ දරුවන්ට බහුල ලෙස ප්‍රේමය පෙන්වන්න. ඔවුන් ඇති දැඩි කිරීමේදී බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඔබේ උපරිමය කරන්න. දේවභක්තික හැසිරීමේ කදිම ආදර්ශයක් තබන්න. මෙසේ ඔබ ඔබේ දරුවන්ට වගකීම් දැරිය හැකි, දේවබියැති වැඩිහිටියන් වීම සඳහා වැඩීමට හොඳම ප්‍රස්තාව දෙනු ඇත. දෙමාපියභාවයේ වරප්‍රසාදය සඳහා යෙහෝවඃවහන්සේට කෘතවේදී වීමට මෙය දෙමාපියන් සඳහා හොඳම මාර්ගයයි.