ඒහුද් ඇදහිල්ල හා ධෛර්යය ඇති මිනිසෙක්
ඉශ්රායෙල්වරු පළමු වතාවට පොරොන්දු දේශයට පය තියලා අවුරුදු ගණනාවක් ගත වෙලා තිබුණා. මෝසෙස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා මියගොස් බොහෝ කාලයක් ගෙවී ගිහින්. එවන් ඇදහිලිවන්ත පුරුෂයන්ගේ අභාවයෙන් පස්සේ, නිර්මල නමස්කාරය සඳහා අගය කිරීම හොඳටම අඩු වෙලා තිබුණා. ඉශ්රායෙල්වරු බාල් දේවතාවුන්ට හා පරිශුද්ධ ලෙස සැලකූ අෂේරා කණුවලට පවා සේවය කරන්න පටන්ගෙන තිබුණා.a එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා තම සෙනඟව අවුරුදු අටකට සිරියානුවන් අතට පාවා දුන්නා. පසුව, ඉශ්රායෙල්වරු උපකාරය පතා දෙවිට මොරගැසුවා. දයාන්විතව, ඔහු සවන් දුන්නා. යෙහෝවා තම සෙනඟව ගළවාගැනීම සඳහා විනිශ්චයකාරයෙකු වූ ඔත්නියෙල්ව පත් කළා.—විනිශ්චයකාරයන් 3:7-11.
මේ සිද්ධීන් මගින් ඉශ්රායෙල්වරුන්ට මූලික සත්‍යයක් ඉගැන්විය යුතුව තිබුණා; එනම් යෙහෝවාට කීකරු වීමෙන් ආශීර්වාද ලැබෙන අතර, අකීකරු වීමේ ප්‍රතිඵල ශාපයයි කියන එක. (ද්විතීය කථාව 11:26-28) කොහොම වුණත්, මෙයින් පාඩමක් ඉගෙනගන්න ඉශ්රායෙල් සෙනඟ අසමත් වුණා. වසර 40ක සාමකාමී කාලපරිච්ඡේදයකට පසු, ඔවුන් නැවතත් නිර්මල නමස්කාරය අත්හැරියා.—විනිශ්චයකාරයන් 3:12.
මෝවබ්වරුන්ගේ අතට පත්වීම
මේ වතාවේදී යෙහෝවා තම සෙනඟව මෝවබ්හි රජ වූ එග්ලොන් අතට පත්වීමට ඉඩහැරියා. බයිබලය ඔහුව විස්තර කරන්නේ “ඉතා තර මනුෂ්‍යයෙ[ක්]” හැටියටයි. අම්මොන්වරුන්ගේ සහ අමලෙක්වරුන්ගේ සහය ඇතුව, එග්ලොන් ඉශ්‍රායෙලයට පහර දී, “ඉඳිගස් නුවර” යනුවෙන් හැඳින්වූ යෙරිකෝවෙහි තමාගේ මාළිගය සාදාගත්තා. ඉශ්රායෙල්වරුන් විසින් අත් පත් කරගත් කානානිවරුන්ගේ පළමු නගරය, දැන් බොරු දෙවියා වූ කෙමොෂ්ටb නමස්කාර කළ කෙනෙකුගේ මූලස්ථානයක් වීම මොනතරම් පරස්පරවිරෝධීතාවක්ද!—විනිශ්චයකාරයන් 3:12, 13, 17.
දරන්න අමාරු බද්දක් ඉශ්රායෙල්වරුන්ගෙන් ඉල්ලමින්, ඊළඟ වසර 18ක කාලය පුරා එග්ලොන් ඔවුන්ව පීඩාකාරි ලෙස පාලනය කළා. කලින් කලට කප්පම් ඉල්ලා සිටීමෙන්, මෝවබ්වරු ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් අතර, ඉශ්රායෙල්වරුන්ගේ සම්පත් ටිකෙන් ටික පිරිහෙමින් තිබුණා. දෙවිගේ ජනයා සහනය සඳහා මොරගැසූ බවට කිසි සැකයක් නැහැ. නැවත වරක් යෙහෝවා ඔවුන්ට ඇහුම්කන් දුන්නා. ඔහු තවත් ගැළවුම්කාරයෙක් ඔවුන් වෙනුවෙන් පත් කළා; මේ වතාවේදී පත් කළ තැනැත්තා ඒහුද් නම් බෙන්යමින් ගෝත්‍රයට අයත් කෙනෙක්. ඉශ්රායෙල්වරුන්ව දුෂ්ට ලෙස පාලනය කළ එග්ලොන්ගේ පාලනය අවසන් කර දැමීම සඳහා, ඊළඟ වතාවේ කප්පම් ගෙවන දවසේදී යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒහුද් සැලසුම් කළා.—විනිශ්චයකාරයන් 3:14, 15.
ඒහුද් තමාගේ නිර්භීත උපක්‍රමය සඳහා සූදානම් වීමට, රියනක් දිග ඇති දෙමුහත් කඩුවක් සාදාගත්තා. මේ කඩුව කෙටි රියනක් වුණා නම්, මේ ආයුධය සෙන්ටිමීට’ 38ක් පමණ දිග වෙනවා. ඒක කිනිස්සක් විය යුතුයි කියා සමහරු සලකන්න පුළුවන්. පෙනෙන විදිහට මේ ආයුධයේ තලය සහ මිට අතර හරස් කෑල්ලක් තිබුණේ නැහැ. මේ නිසා, ඒහුද්ට පුළුවන් වුණා මේ කුඩා කඩුව ඔහුගේ ඇඳුම් අස්සේ සඟවාගන්න. ඒ වගේම, ඒහුද් වමත හුරු කෙනෙක් නිසා, තමාගේ දකුණු පැත්තේ කඩුව බැඳ තබාගන්න ඔහුට පුළුවන් වුණා; සාමාන්‍යයෙන් ඒ පැත්තේ ආයුධයක් තබාගන්නේ නැහැ.—විනිශ්චයකාරයන් 3:15, 16.
ඒහුද්ගේ උපක්‍රමය ඉතාමත් අනතුරුදායක එකක් වුණා. උදාහරණයක් හැටියට, රජුගේ සේවකයෝ ආයුධ තියෙනවාද කියල බලන්න ඒහුද්ව පරීක්ෂා කළා නම් මොනව වෙයිද? ඔවුන් ඒ ගැන දැනගෙන හිටියේ නැතත්, ඔවුන්ගේ රජ්ජුරුවන්ව ඉශ්රායෙලිතයෙකු සමඟ තනිව ඉන්න ඉඩහරින්නේ නැති බවට කිසි සැකයක් නැහැ. යම් විදිහකින් රජුව මරන්න පුළුවන් වෙන විදිහට ඔහු රජු සමඟ තනිව සිටියත්, රජුව මරා පලා යන්න පුළුවන් කොහොමද? සිදු වෙලා තියෙන දෙය එග්ලොන්ගේ සේවකයන් සොයාගන්න කලින්, ඔහුට කොච්චර දුරක් දුවන්න පුළුවන් වෙයිද?
ඔහු මේ හැම දෙයක්ම හොඳින් සිතා බලන්න ඇති බවට කිසි සැකයක් නැහැ; සමහරවිට මෙයින් සිදු විය හැකි දරුණු ප්‍රතිඵල ගැනත් සිතන්න ඇති. කොහොම වුණත්, ධෛර්යය විදහාපෙන්වමින් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්, ඔහු තම සැලැස්ම දිගටම කරගෙන ගියා.
ඒහුද් එග්ලොන්ව හමු වෙයි
ඊළඟට කප්පම් ගෙවන දවස පැමිණියා. ඒහුද් සහ ඔහුගේ මිනිස්සු රජ මාළිගයට ඇතුල් වුණා. වැඩි වෙලාවක් යන්න මත්තෙන්, ඔවුන් රජු ඉදිරියේ පෙනී සිටියා. ඒත් රජුට පහර දීමට ඒහුද්ට තවමත් වේලාව පැමිණ තිබුණේ නැහැ. කප්පම් ගෙව්වාට පස්සේ, කප්පම් ගෙනා මිනිසුන්ව ඒහුද් ආපසු පිටත් කර යැව්වා.—විනිශ්චයකාරයන් 3:17, 18.
එග්ලොන්ව මරන්න ඒහුද් ප්‍රමාද වුණේ ඇයි? ඔහුට භයක් දැනුණාද? කිසිම භයක් දැනුණේ නැහැ. තමාගේ උපක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා, රජු සමඟ පෞද්ගලිකව කතා බහ කරන්න ඒහුද්ට වුවමනා වුණා; ඔහුව හමු වූ මුල් වතාවේදීම එහෙම කරන්න ඔහුට අවසර ලැබුණේ නැහැ. ඒ වගේම, ඒහුද්ට ඉක්මනින්ම පලායන මාර්ගයක් සලසාගන්න අවශ්‍ය වුණා. කප්පම් ගෙනා මිනිසුන් කට්ටියත් සමඟ පලායෑමට වඩා එක් කෙනෙකුට පලායෑම වඩාත් ලෙහෙසියි. ඒ නිසා, නියම වේලාව එන තෙක් ඒහුද් ඉවසීමෙන් බලා සිටියා. එග්ලොන් සමඟ ටික වේලාවක් කතා බහ කිරීමෙන්, ඔහුට පුළුවන් වුණා මාළිගාව ඇතුළත සැකැස්ම හා රජුගේ ආරක්ෂක විධිවිධාන හොඳින් දැකබලා ගන්න.
“ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන[ට]” ළඟාවීමෙන් පසු, ඒහුද් තමාගේ මිනිසුන්ගෙන් වෙන් වී, එග්ලොන්ගේ මාළිගාවට ආපසු ගියා. ආසන්න වශයෙන් කිලෝමීට’ දෙකක පමණ දුර ගමන් කිරීම හේතුවෙන්, ඔහුගේ මේ ගමනේ අරමුණ ගැන සිතා බලන්නත් යෙහෝවාගේ ආශීර්වාද සඳහා යාච්ඤා කරන්නත් සුළු කාලයක් ලබාගන්න අවස්ථාව සැලසුණා.—විනිශ්චයකාරයන් 3:19.
ඒහුද් ආපසු යයි
පෙනෙන විදිහට ඒහුද්ව නැවතත් මාළිගාවට පිළිගනු ලැබුවා. සමහරවිට කලින් දුන් නොමසුරු කප්පම, එග්ලොන් තුළ ඔහු කෙරෙහි හිතකර හැඟීමක් ඇති කළා වෙන්න පුළුවන්. කලින් හමුවීම කෙටි එකක් වුණත්, මේ අවස්ථාවේදී රජු සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගන්න ඇති තරම් කාලය එමගින් ලැබෙන්න ඇති. තත්වය මොකක් වුණත්, ඒහුද් එග්ලොන් ඉදිරියෙහි නැවත වරක් පෙනී සිටියා.
“රජ්ජුරුවෙනි, ඔබට කියන්නට රහස්වූ පණිවිඩයක් මට තිබේ” කියා ඒහුද් කිව්වා. මේ තාක් දුරට ඔහුට එන්න පුළුවන් වීම, යෙහෝවා ඔහුට මඟ පෙන්වමින් සිටි බවට සාක්ෂියක්. ඒත්, ගැටලුවක් තිබුණා. ඒහුද්ට කීමට තිබූ ‘රහස් පණිවිඩය’ රජුගේ සේවකයන් ඉදිරියෙහි කියන්න හැකියාවක් තිබුණේ නැහැ. යෙහෝවා මේ කාරණයට මැදිහත් වෙන්න සිටියා නම්, ඒහුද්ට ඉතාමත් ඉක්මනින් ඒ උදව්ව අවශ්‍ය වුණා. “නිශ්ශබ්ද වෙයව්” කියා රජු අණ කළා. මේ ‘රහස් පණිවිඩය’ අනිත් අය දැනගන්නවාට එග්ලොන් කැමති වුණේ නැති නිසා, ඔහු තමාගේ සේවකයන්ව ඒ ස්ථානයෙන් පිටත් කර හැරියා. ඒහුද්ට දැනුණු සහනය සිතා බලන්න!—විනිශ්චයකාරයන් 3:19.
එග්ලොන් ඔහුගේ උඩුමහල්තලයෙහි ඉඳගෙන ඉන්න කොට, ඒහුද් ඔහු ළඟට ඇවිත් මෙහෙම කිව්වා: ‘ඔබට දෙවිගේ පණිවිඩයක් දන්වන්ට මට ඇත.’ ‘දෙවි’ කියා සඳහන් කිරීමෙන් ඒහුද් කතා කරමින් සිටියේ කෙමොෂ් ගැනද? එග්ලොන් එහෙම හිතන්න ඇති. ඔහු මහත් කුතුහලයකින් හා බලාපොරොත්තු ඇතුව තමාගේ සිංහාසනයෙන් නැඟිට සිටියා. පහර දීමක් ගැන රජුට සැකයක් ඇති නොවෙන විදිහට ඒහුද් කල්පනාකාරිව රජු ළඟට ගියා. ඉන්පසු, ක්ෂණයකින් “ඒහුද් තමාගේ වමත දිඟුකොට දකුණු කළවයෙන් කඩුව හැරගෙන ඔහුගේ [එග්ලොන්ගේ] බඩට ඇන්නේය. තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාංසයෙන් වැසී ගොස් පිටිපස්සෙන් [අසූචි, NW] එළියට ආයේය.”—විනිශ්චයකාරයන් 3:20-22.
ඒ අසල සක්මන් කරමින් සිටි රජුගේ සේවකයන්ට මේ සම්බන්ධව කිසිම දෙයක් දැනුණේ නැහැ. ඒත් ඒහුද් තවමත් සිටියේ අනතුරේ. ඕනෑම වේලාවක එග්ලොන්ගේ සේවකයන් හදිසියෙන්ම කඩා වැද, බිම වැටී තියෙන ඔවුන්ගේ රජුගේ මළකඳ සොයාගන්න ඉඩ තිබුණා. ඉක්මනින්ම පිට වෙලා යන්න ඒහුද්ට ඕන වුණා. දොරවල් වසා, උඩුමහල්තලයට සුළං එන්න සාදා තිබුණු කවුළුවකින් ඔහු පැනගත්තා.—විනිශ්චයකාරයන් 3:23.
හෙළිවීම සහ පරාජය
වැඩි වේලාවක් යන්න කලින් එග්ලොන්ගේ සේවකයන්ට සැක ඇති වුණා. ඒත්, රජුගේ පෞද්ගලික කතා බහට බාධා කිරීමෙන් ඔහුගේ අප්‍රසාදයට ලක්වීමේ අවදානමට නිර්භීතව මුහුණ දෙන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. පසුව ඔවුන් දැක්කා, උඩුමහලේ දොරවල් වසා තිබෙනවා. “රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන [මළපහ කරමින්, NW] ඉන්නවා වෙන්ට ඕනෑ” කියා ඔවුන් හිතුවා. කොහොම වුණත්, වේලාව ටිකෙන් ටික පහු වෙන කොට ඔවුන්ගේ කුතුහලය වෙනුවට කාන්සාවක් ඇති වුණා. එග්ලොන්ගේ සේවකයන්ට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. “ඔව්හු යතුර ගෙන ඒවා [උඩුමහලේ දොරවල්] ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය.”—විනිශ්චයකාරයන් 3:24ආ, 25.
මේ අතරතුර, ඒහුද් පලා ගිහිල්ලා. ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන පසු කරගෙන ගොස්, අන්තිමේදී එප්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ පිහිටි සෙයිරාට ළඟා වෙලා තිබුණා. ඒහුද් ඉශ්රායෙල් පුරුෂයන්ට කතා කර ඔවුන්ව එක්රැස් කරවා, මෝවබ්වරුන්ට එරෙහිව කළ එක්සත් ප්‍රහාරයකදී පෙරමුණ ගත්තා. “ඔව්හු . . . මෝවබ්වරුන් දස දහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත” කියා වාර්තාවේ සඳහන් වෙනවා. මෝවබ්වරුන්ගේ බලය පහ වී ගිය පසු, ඉශ්රායෙල් දේශය අවුරුදු 80ක් නිශ්චලව පැවතුණා.—විනිශ්චයකාරයන් 3:26-30.
ඒහුද්ගේ ආදර්ශයෙන් ඉගෙනගැනීම
ඒහුද්ව පෙලඹුවේ දෙවි කෙරෙහි තිබූ ඇදහිල්ලයි. “ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, . . . යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය” කියා හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් අය අතර ඔහුව විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 11:33, 34) කොහොම වුණත්, ඇදහිල්ලෙන් ක්‍රියා කර, එග්ලොන් රජුගේ දුෂ්ට පාලනයෙන් ඉශ්රායෙල්වරුන්ව ගළවාගත් විට, යෙහෝවා ඒහුද්ට උදව් කළා.
ඒහුද්ගේ ගුණාංගවලින් එකක් නම් ධෛර්යයි. සැබෑ කඩුවක් සාර්ථකව හසුරුවන්න ඔහුට ධෛර්යය අවශ්‍ය වුණා. දෙවිගේ නවීන දින සේවකයන් හැටියට, අපි ඒ වගේ කඩු ගන්නේ නැහැ. (යෙසායා 2:4; මතෙව් 26:52) ඒත්, අපි දේවවචනය වන ‘ආත්මයේ කඩුව’ පාවිච්චි කරනවා. (එපීස 6:17) ඒහුද් තමාගේ කඩුව දක්ෂ විදිහට පාවිච්චි කළා. අපි දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන කොට, දේවවචනය දක්ෂ විදිහට භාවිත කළ යුතුයි. (මතෙව් 24:14) බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම, නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම, දේවසේවයේ ජ්වලිතව සහභාගි වීම සහ අපේ ස්වර්ගික පියා මත යාච්ඤාපූර්වකව රඳා සිටීම යනාදිය, සැබවින්ම ඇදහිල්ල හා ධෛර්යය ඇති මිනිසෙක් වූ ඒහුද් විසින් විදහාපෙන්වූ ගුණාංග අනුකරණය කිරීමට අපට උපකාර කරාවි.
[පාදසටහන්වල]
a අෂේරා නොහොත් ශුද්ධ කණු පුරුෂ ලිංගයේ සංකේතයන් හැටියට සැලකුවා වන්න පුළුවන්. ඒවා අශික්ෂිත දුරාචාර ලිංගික ක්‍රියාවන් ඇතුළත් උත්සව හා සම්බන්ධව තිබුණා.—1 රාජාවලිය 14:22-24.
b කෙමොෂ් මෝවබ්වරුන්ගේ ප්‍රධාන දෙවියායි. (ගණන් කථාව 21:29; යෙරෙමියා 48:46) අඩුම තරමින් සමහර අවස්ථාවලදී, මේ පිළිකුල්සහගත බොරු දෙවියාට දරුවන්ව පූජා කළා විය හැකියි.—2 රාජාවලිය 3:26, 27.
[31වන පිටුවේ පින්තූරය]
ඒහුද් හා ඔහුගේ මිනිසුන් එග්ලොන් රජුට කප්පම් ගෙව්වා
[හිමිකම් විස්තර]
Illustrirte Pracht - Bibel/Heilige Schrift des Alten und Neuen Testaments, nach der deutschen Uebersetzung D. Martin Luther’s යන්නෙන් පිටපත් කර තිබේ