“ගැලවීම සලසා” දුන් යෙහෝවා දෙවි
“දෙවියනි, පමා නොවී මා වෙනුවෙන් ක්‍රියා කරන්න. මාගේ උපකාරයට ඉන්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නේය.”—ගීතා. 70:5, නව ලොව පරිවර්තනය, NW.
1, 2. (අ) දෙවිගේ සේවකයන් යාච්ඤාවෙන් ඔහු වෙතට ළඟා වෙන්නේ විශේෂයෙන් කුමන අවස්ථාවලදීද? (ආ) මෙහිදී මතු වන වැදගත් ප්රශ්නය කුමක්ද? ඊට පිළිතුරු සොයාගත හැක්කේ කොහෙන්ද?
විසිතුන් හැවිරිදි තම විවාහක දියණිය අතුරුදහන් වී ඇති බව නිවාඩුවක් ගත කරමින් සිටි යුවළක් දැනගත්තා. ඇගේ ජීවිතයට අනතුරක් වී ඇති බව ඔවුන්ට දැනගන්න ලැබුණා. විගස තම නිවෙස බලා පිටත් වූ ඔවුන් මඟ දිගටම දෙවිගේ උපකාර පතා යාච්ඤා කළා. අවුරුදු 20ක් වයසැති සාක්ෂිකාර තරුණයෙක් හිටි හැටියේම අසනීප වූ අතර අවසානයේදී ඔහු අංශභාග රෝගයට ගොදුරු වුණා. ඔහුද දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කළා. මවක් තමාට හා තම දොළොස් හැවිරිදි දියණියට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කරගන්න රැකියාවක් සොයා වෙහෙසුණා. ඇයද උපකාරය පතා දෙවිට යාච්ඤා කළා. මෙසේ දෙවිගේ සේවකයන් දැඩි පරීක්ෂා හා දුෂ්කරතාවලට මුහුණ දෙන විට උපකාර පතා දෙවිට යාච්ඤා කරනවා. ඔබත් දුෂ්කරතාවයකට මුහුණ දුන් විට උපකාර පතා දෙවිට යාච්ඤා කර තිබෙනවාද?
2 නමුත් මෙහිදී මෙවැනි වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. එවැනි යාච්ඤාවලට දෙවි අප බලාපොරොත්තු වන ආකාරයේ පිළිතුරක් දෙයිද? ඊට පිළිතුරු 70වන ගීතිකාවේ සඳහන් වෙන අතර ඉන් අපගේ ඇදහිල්ලද ශක්තිමත් වෙනවා. එය රචනා කර ඇත්තේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ දාවිත්. ඔහුද තම ජීවිතයේ දැඩි පරීක්ෂා හා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම ඔහු ලැබූ උපකාර ගැන යෙහෝවා දෙවිට මෙසේ ප්‍රශංසා කළා. ‘දෙවියනි, මාගේ උපකාරයට ඉන්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නේය.’ (ගීතා. 70:5, NW.) අපත් එම ගීතිකාව හොඳින් අධ්‍යයනය කරමු. ඒ තුළින් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට ‘ගැලවීම සලසා දෙන’ දෙවි වෙතට විශ්වාසයෙන් යුතුව හැරෙන්න අපටත් හැකියි.
‘ඔබ ගැලවීම සලසා දෙන්නේය’
3. (අ) හැත්තෑවන ගීතිකාවේ අඩංගු අයැදීම් මොනවාද? (ආ) දෙවි කෙරෙහි වූ තම විශ්වාසය දාවිත් පළ කර තිබෙන්නේ කෙසේද?
3 හැත්තෑවන ගීතිකාව ආරම්භ වන්නේත් අවසන් වන්නේත් ඉක්මන් උපකාර පතා දාවිත් දෙවිට කරන මොරගැසීමක් සමඟිනුයි. (ගීතාවලිය 70:1-5 කියවන්න.) “පමා නොවී” “විගස පැමිණ” තමාව ගලවාගන්න කියා දාවිත් දෙවිගෙන් අයැද සිටියා. එම ගීතිකාවේ දෙවන වගන්තියේ සිට හතරවන වගන්තිය දක්වා ඔහු දෙවිගෙන් අයැදීම් පහක් කර තිබෙනවා. එහි පළමු අයැදීම් තුනෙන් ඔහු ඉල්ලා සිටින්නේ තමාව මරණයට පත් කරන්න මාන බලන සතුරන්ව ලජ්ජාවට පත් කරන ලෙසයි. හතර වන වගන්තියේ සඳහන් අනෙක් අයැදීම් දෙක, දෙවිට නමස්කාර කරන අය සම්බන්ධවයි. එවැනි අයට සන්තෝෂය අත් වන්න කියාත් ඒ තුළින් දෙවිට ප්‍රශංසා කරන්න ඔවුන්ට හැකියාව ලැබෙන්න කියාත් දාවිත් අයැදිනවා. තවදුරටත් එම ගීතිකාව අවසානයේදී ඔහු පවසන්නේ මෙසේයි. “මාගේ උපකාරයට ඉන්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නේය.” තමාට දෙවිගේ උපකාර අනිවාර්යයෙන්ම ලැබෙන බවට දාවිත්ට තිබූ දැඩි විශ්වාසය ඔහුගේ එම වචනවලින් පැහැදිලියි.
4, 5. හැත්තෑවන ගීතිකාවෙන් අපට දාවිත් ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? ඉන් අපට ඇති වන නිසැකකම කුමක්ද?
4 හැත්තෑවන ගීතිකාවෙන් අපට දාවිත් ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔහුගේ සතුරන් ඔහුව විනාශ කිරීමට සොයමින් සිටි අවස්ථාවේදී ඔවුන්ට විරුද්ධව ඔහුම පළිගන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට තම සතුරන්ට දෙවි ඔහුගේ නියමිත කාලයේදී නියම ආකාරයෙන් දඬුවම් දෙනවා යන ස්ථිර විශ්වාසයෙන් දාවිත් සිටියා. (1 සාමු. 26:10) ඊට හේතුව වන්නේ දුෂ්කර කාලවලදී දෙවිගේ උපකාර ඉල්ලන ඔහුගේ සේවකයන්ට දෙවි උපකාර කරන බවට දාවිත්ට දැඩි විශ්වාසයක් තිබූ නිසයි. (හෙබ්‍රෙ. 11:6) එවැනි අයට ප්‍රීතිවීමට හා දෙවිට ප්‍රශංසාව ගෙන දීමට බොහෝ හේතු තිබෙන බවත් දාවිත් විශ්වාස කළා.—ගීතා. 5:11; 35:27.
5 යෙහෝවා දෙවි අපට උපකාර කරන බවටත් ‘ගැලවීම සලසා දෙන’ බවටත් දාවිත් මෙන් අපටත් පූර්ණ නිසැකකමක් තබාගත හැකියි. එමනිසා අප දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන විට හෝ අපට කිසිවක් කර කියාගත නොහැකි තත්වයට පත් වී සිටින විට, අපට ඉක්මනින් උපකාර කරන්න කියා යාච්ඤා කිරීමද යෝග්‍යයි. (ගීතා. 71:12) අප කරන එවැනි යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ කෙසේද? ඊට පිළිතුරු දැනගැනීමට පෙර දාවිත් ඉක්මන් උපකාර අවශ්‍යව සිටියදී දෙවි ඔහුට උපකාර කළ ආකාර තුනක් සලකා බලමු.
සතුරන්ගෙන් ගැලවීම
6. දෙවි ධර්මිෂ්ඨයන්ව ගලවාගන්නා බවට දාවිත් තුළ විශ්වාසයක් ඇති කළේ කුමක්ද?
6 ධර්මිෂ්ඨ මිනිසුන්ට දෙවිගේ උපකාර ලබන්න හැකි බව එවකට පැවති ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් දාවිත් දැනගත්තා. දෙවි විශාල ජලගැල්මක් මගින් එදා සිටි දුෂ්ට මිනිසුන්ව විනාශ කළත් නෝවාත් ඔහුගේ පවුලේ අයවත් ගලවාගත් බව දාවිත් දැන සිටියා. (උත්. 7:23) එමෙන්ම ඉතා දූෂිත මිනිසුන් වාසය කළ සොදොම හා ගොමෝරාව මතට දෙවි ගිනි සහ ගෙන්දගම් හෙළීමෙන් එය විනාශ කළ නමුත් ලොත්ව හා ඔහුගේ දූවරුන් දෙදෙනාව ගලවාගත් බවද ඔහු දැන සිටියා. (උත්. 19:12-26) ඒ විතරක් නොවෙයි උඩඟු පාරාවෝ ඇතුළු ඔහුගේ යුධ සේනාව රතු මුහුදේ ගිල්වා විනාශ කරද්දී තම ජනයාව කිසිම උපද්‍රවයක් නොමැතිව බේරාගත් බවද ඔහු දැන සිටියා. (නික්. 14:19-28) එවන් වාර්තා කියවීමෙන් දෙවි කෙරෙහි වූ ඔහුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වුණා. “අපව ගලවාගන්නේ සැබෑ දෙවි” පමණක් කියා පැවසීමට ඔහුට ඕනෑ තරම් හේතු තිබුණු බව පැහැදිලියි.—ගීතා. 68:20.
7-9. (අ) ගලවාගැනීමට දෙවිට ඇති බලය ගැන විශ්වාස කිරීමට දාවිත්ට තිබූ හේතු මොනවාද? (ආ) තමා ලැබූ ගැලවීම ගැන දාවිත් ප්‍රශංසා කළේ කාටද?
7 ගැලවීම ලබා දීමට දෙවිට බලය තිබෙන බව දාවිත්ට පෞද්ගලිකවත් දැඩි විශ්වාසයක් තිබුණා. ඊට හේතුව නම් තමන් ඇතුළුව දෙවිට නමස්කාර කරන අයව දෙවි තම “සවිමත් දෑතින්” ආරක්ෂා කර තිබූ නිසයි. (ද්වි. 33:27, NW) ‘කෝපයෙන් වියරු වැටුණු සතුරන්ගෙන්’ දෙවි දාවිත්ව බොහෝ අවස්ථාවලදී බේරාගෙන තිබුණා. (ගීතා. 18:17-19, 48, NW) ඊට උදාහරණයක් දැන් අපි සලකා බලමු.
8 වරක් දාවිත් මහත් ජයක් ලබා පැමිණි විට ඊශ්‍රායෙල් ස්ත්‍රීන් ඔහුට ප්‍රශංසා කළා. ඒ ගැන සාවුල් රජ මහත් කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පසු වුණා. ඒ නිසා අවස්ථා දෙකකදීම සාවුල් දාවිත්ට තම හෙල්ලයෙන් දමා ගැසුවා. (1 සාමු. 18:6-9) නමුත් ඒ සෑම අවස්ථාවකින්ම ඔහු බේරුණා. එසේ ඔහු බේරුණේ ඔහුගේම දක්ෂකම නිසාද? නැහැ. ඊට හේතුව ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසා’ බව බයිබලයේ පවසනවා. (1 සාමුවෙල් 18:11-14 කියවන්න.) පසු අවස්ථාවකදීත් පිලිස්තිවරුන් ලවා දාවිත්ව ඝාතනය කිරීමට වූ සාවුල්ගේ උත්සාහයද නිෂ්ඵල වූ විට ‘යෙහෝවා දෙවිගේ ආශීර්වාදය දාවිත්ට තිබූ බව සාවුල් තේරුම් ගත්තා.’—1 සාමු. 18:17-28, NW.
9 තමන් ලැබූ ගැලවීම ගැන දාවිත් ප්‍රශංසා කළේ යෙහෝවා දෙවිටයි. ඒ බව 18වන ගීතිකාවේ හැඳින්වීමට දී ඇති කොටසෙහි [NW] මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවි දාවිත්ව සාවුල් අතින් ගැලවූ දවසේදී ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.’ දාවිත් තම හැඟීම් පළ කරමින් දෙවිට මෙසේ ගායනා කළා. “යෙහෝවා දෙවි මාගේ ශක්තිමත් පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාය. මාගේ දෙවි මාගේ පර්වතය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.” (ගීතා. 18:2, NW) තමාට නමස්කාර කරන සෙනඟව ගලවාගන්න දෙවිට තිබෙන බලය කොතරම්ද කියා දැනගැනීමෙන් අපගේ ඇදහිල්ල මොන තරම් ශක්තිමත් වෙනවාද?—ගීතා. 35:10.
රෝගීව සිටින විට උපකාර
10, 11. දාවිත් බරපතළ ලෙස අසනීප වුණේ කුමන කාලයේදීද කියා තේරුම්ගැනීමට 41වන ගීතිකාව අපට උපකාර කරන්නේ කෙසේද?
10 එක් අවස්ථාවකදී දාවිත් බරපතළ ලෙස අසනීප වූ බව 41වන ගීතිකාවෙහි [NW] සඳහන් දෙයින් ඇඟවෙනවා. යම් කලකට පැවති එම අසනීප තත්වය නිසා ඔහුගේ සතුරන් සිතුවේ ඔහු නම් “ආයෙත් නැඟිටින්නේ” නැහැ කියායි. (7, 8වන පද) ඔහු මෙසේ අසනීප වන්න ඇත්තේ ඔහුගේ පුත් අබ්සලොම් ඔහුගේ රජකම පැහැරගැනීමට කුමන්ත්‍රණයක් දියත් කළ කාලයේදී විය හැකියි.—2 සාමු. 15:6, 13, 14.
11 දාවිත් සමඟ එකට කා බී ප්‍රීති වුණ විශ්වාසවන්ත මිතුරෙක් පසුව ඔහුව පාවා දීමක් ගැනද එහි සඳහන් වෙනවා. (9වන පදය) මෙහිදී අපට මතක් වන්නේ අබ්සලොම්ගේ කුමන්ත්‍රණයට දාවිත්ගේ මිත්‍ර වූ අහිතොෆෙල් සහය දැක්වූ අවස්ථාව ගැනයි. එනම් අහිතොෆෙල් දාවිත්ට අවිශ්වාසවන්තව කටයුතු කිරීම ගැනයි. (2 සාමු. 15:31; 16:15) මේ වන විට දාවිත් ලෙඩ ඇඳේ පසුවන්නේ කිසි දෙයක් කරකියාගත නොහැකි තත්වයකයි. එමෙන්ම ඔහුට විශ්වාසවන්තව සිටි අයත් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් ඔහු මැරෙන තුරු බලා සිටිනේ ඔවුන්ගේ දුෂ්ට සැලසුම් ක්‍රියාත්මක කිරීමටයි. ඒ බව දැන සිටින දාවිත්ට හැඟෙන ආකාරය මදකට කල්පනා කරන්න.—5වන පදය.
12, 13. (අ) දාවිත්ට තිබූ නිසැකකම කුමක්ද? (ආ) දෙවි, දාවිත්ව ශක්තිමත් කරන්න ඇත්තේ කෙසේද?
12 දාවිත්ට ‘ගැලවීම සලසා දුන්’ දෙවි කෙරෙහි තිබූ විශ්වාසය ඔහු දිගටම තබාගත්තා. අසනීපයෙන් පසු වන දෙවිගේ සේවකයෙක් ගැන සඳහන් කරමින් ඔහු පවසන්නේ ‘දුක් කරදර පැමිණි විට යෙහෝවා දෙවි ඔහුට ගැලවීම සලසා දෙන්නේය. ඔහු අසනීප වී ඇඳේ සිටින විට යෙහෝවා දෙවි ඔහුව රැක බලාගනු ඇත’ කියායි. (ගීතා. 41:1, 3, NW) එම වචනවලින් දාවිත් නැවතත් ප්‍රකාශ කරන්නේ තමාව ගලවාගැනීමට දෙවි කටයුතු කරන බවට ඔහු තුළ ඇති විශ්වාසයයි. දෙවි ඔහුව ගලවා ගන්නේ කොහොමද?
13 දෙවි තම අසනීපය ආශ්චර්යවත් ලෙස සුව කරයි කියා දාවිත් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඔහු ලෙඩ ඇඳේ සිටින විට පවා දෙවි ‘ඔහුව රැක බලාගන්නා’ බවටත් අවශ්‍ය උපකාර හා ශක්තිය ලබා දෙන බවටත් ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබුණා. ඔහුගේ අසනීපයට අමතරව ඔහුගේ සතුරන්ද ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටි නිසා දෙවිගේ උපකාර ඔහුට වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. (5, 6වන පද) දැඩි මානසික පීඩනයෙන් සිටි ඔහුට සැනසීම ගෙනදෙන දේවල් මතක් වීමට සැලැස්වීමෙන් දෙවි ඔහුට යම් සහනයක් ලබා දුන් බව සිතන්න පුළුවන්. “මාගේ නිර්දෝෂකම නිසා ඔබ මාව උසුලාගත්තේය” කියා ඔහු පැවසුවේ ඒ නිසා විය හැකියි. (12වන පදය) එමෙන්ම ඔහු ඉතා දුර්වල තත්වයක සිටියත් සතුරන් ඔහුට කුමන දුෂ්ට දේවල් පැවසුවත් දෙවි තමාව නිර්දෝෂ තැනැත්තෙකු ලෙස සලකන බව දැන සිටීමම ඔහුට මහත් සහනයක් ගෙන දුන්නා විය හැකියි. පසුව ක්‍රමානුකූලව ඔහු සුව වුණා. මෙසේ දෙවි, අසනීප වී සිටින තම සේවකයන්වද රැක බලාගන්නා බව අපට ස්ථිරයි.—2 කොරි. 1:3.
අත්‍යවශ්‍ය දේවල් ලබා දීම
14, 15. දාවිත් හා ඔහුගේ මිනිසුන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන්නේ කුමන අවස්ථාවේද? එමෙන්ම ඔවුන්ට අවශ්‍ය උපකාර ලැබුණේ කොහොමද?
14 ඊශ්‍රායෙල් රජ හැටියට දාවිත් රාජ භෝජන භුක්ති වින්ද අතර අන් අයටත් ඒ සඳහා ආරාධනා කළා. (2 සාමු. 9:10) නමුත් හරි හැටි කන්න බොන්න නැතිව ජීවත් වීම මොන තරම් දුෂ්කරද කියාත් ඔහු හොඳින් දැන සිටියා. ඒ කොහොමද? අබ්සලොම් තම රජකම පැහැරගැනීමට උත්සාහ කළ විට ඔහු සහ ඔහුගේ විශ්වාසවන්ත මිනිසුන් යෙරුසලමෙන් පලා ගියා. පසුව ඔවුන් යොර්දාන් ගඟට නැගෙනහිරින් පිහිටා තිබූ ගිලියද් වෙතට පැමිණියා. (2 සාමු. 17:22, 24) දැන් ඔවුන්ට තැනින් තැනට පලා යමින් ජීවත් වීමට සිදු වී තිබෙන නිසා කෑම බීම හා නවාතැන් ගැනීම සම්බන්ධයෙන් දැඩි අවශ්‍යතාවක් පැන නැඟුණා. ඔවුන් ඒවා සොයාගන්නේ කොහොමද?
15 අවසානයේදී දාවිත් හා පිරිස මහානායිම් නගරයට පැමිණියා. එහිදී ඔවුන්ට ෂෝබි, මාකීර් හා බාසිල්ලයි යන නිර්භීත මිනිසුන් තිදෙනාව මුණගැසුණා. එහිදී දෙවිගේ අභිෂේක ලත් රජ වන දාවිත්ට හා ඔහුගේ සෙනඟට උපකාර කරන්න ඔවුන් නිර්භීතව ඉදිරිපත් වුණා. ඔවුන් එසේ කළේ අබ්සලොම් රාජ්‍යය ලබාගත්තොත් දාවිත්ට උපකාර කළ සියල්ලන්ටම දැඩි දඬුවම් ලැබෙන බව දැන දැනයි. මෙසේ දාවිත්ට හා ඔහුගේ පිරිසට අවශ්‍ය යහන් ඇතුළු තිරිඟු, බාර්ලි, බැදපු ධාන්‍ය, මෑ, කොල්ලු, මී පැණි, වෙඬරු හා බැටළුවන් ඇති තරම් ලබා දුන්නා. (2 සාමුවෙල් 17:27-29 කියවන්න.) මේ මිනිසුන් තිදෙනා දාවිත්ට පෙන්වූ ඉමහත් සැලකිල්ල හා පක්ෂපාතකම දාවිත්ගේ හිතට තදින්ම කාවැදුණා. ඔහු එය කෙදිනකවත් අමතක නොකළ බව ස්ථිරයි!
16. දාවිත්ට හා ඔහුගේ මිනිසුන්ට අවශ්‍ය දේවල් ලැබීමට සැලැස්සුවේ කවුද?
16 යෙහෝවා දෙවි තම සෙනඟට අවශ්‍ය දේවල් නොවරදවා සපයන බවට දාවිත්ට දැඩි විශ්වාසයක් තිබුණු නිසා ඔවුන්ට මේ සියල්ල ලැබෙන්න සැලැස්සුවේ කව්ද කියා දාවිත් හොඳින් දැන සිටියා. මෙසේ අවශ්‍යතා ඇති තම සේවකයන්ට උපකාර කිරීමට සෙසු නමස්කාරකයන්ව පොලඹවන්න යෙහෝවා දෙවිට හැකියි. ගිලියද්හි සිටියදී එම මිනිසුන් තිදෙනාගෙන් ලැබූ සැලකිල්ල දෙවිගේම ප්‍රේමයේ ප්‍රකාශ වීමක් බව දාවිත් දැන සිටියා. ඔහු තම ජීවිතයේ අවසන් කාලයේදී මෙසේ ලියන්න පෙලඹුණේ ඒ නිසයි. “තරුණයෙකුව සිටි මම දැන් මහලු වයසේ සිටිමි. එහෙත් ධර්මිෂ්ඨයෙකු කිසිදා සම්පූර්ණයෙන්ම අත්හරිනු ලැබූ බවක් මම නුදුටුවෙමි. ඔහුගේ දරුවන් කෑම හිඟන බවක්වත් මම නුදුටුවෙමි.” (ගීතා. 37:25, NW) තම සේවකයන්ට අවශ්‍ය උපකාර ලබා දීමට දෙවිට හැකි බව ඉන් අපට පැහැදිලියි.—හිතෝ. 10:3.
‘ජනයාව ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය’
17. දෙවි නැවත නැවතත් ඔප්පු කර තිබෙන්නේ කුමක්ද?
17 දෙවි පුරාණයේ තම සේවකයන් බොහෝදෙනෙකුට ගැලවීම ලබා දී ඇති අතර දාවිත් ඉන් එක්කෙනෙක් පමණයි. ඒ ගැන පේතෘස් පැවසුවේ ‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය’ කියායි. (2 පේතෘ. 2:9) එලෙස දාවිත්ගේ කාලයේ සිට දෙවි නැවත නැවතත් එම වචන සත්‍යය බව ඔප්පු කර තිබෙනවා. ඊට තවත් උදාහරණ දෙකක් සලකා බලමු.
18. දෙවි හෙසකියාගේ කාලයේදී තම සෙනඟට ගැලවීම ලබා දුන්නේ කෙසේද?
18 ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී බලවත් ඇසිරියානු හමුදාව යුදය හා යෙරුසලම ආක්‍රමණය කිරීමට පැමිණියා. එවිට ‘අනේ අපේ යෙහෝවා දෙවියනි, අපව බේරාගන්න. එවිට පොළොවේ සියලු ජාතීන්, යෙහෝවා නම් වූ ඔබ පමණක් දෙවි වන බව දැනගනීවි’ කියා හෙසකියා රජ දෙවිට යාච්ඤා කළා. (යෙසා. 37:20, NW) මෙහිදී හෙසකියා වැඩියෙන් සැලකිලිමත් වුණේ දෙවිගේ නාමයට සිදු වීමට යන නින්දාව ගැනයි. දෙවි ඔහුගේ අවංක යාච්ඤාවට ඇහුම්කන් දුන් අතර දෙවි එක් දේවදූතයෙකුව යොදාගනිමින් එක රාත්‍රියකදී ඇසිරියානු සෙබළුන් 1,85,000දෙනෙක්ව විනාශ කළා. ඒ තුළින් තම සේවකයන්ට ගැලවීම ලබා දුන්නා.—යෙසා. 37:32, 36.
19. මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගැලවීම ලැබුවේ යේසුස්ගේ කුමන වචනවලට කීකරු වූ නිසාද?
19 තම මරණයට දින කිහිපයකට පෙර යේසුස් යුදයේ සිටි තම ගෝලයන්ට යම් දෙයක් ගැන අනතුරු ඇඟෙව්වා. (ලූක් 21:20-22, කියවන්න.) මෙසේ අවුරුදු ගණනාවක් ගත වූ පසූ යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරලි ගැසූ නිසා ක්‍රිස්තු වර්ෂ 66දී රෝම හමුදාව සෙස්ටියස් ගැලස් නම් සෙන්පතියාගේ මෙහෙයවීම යටතේ යෙරුසලමට විරුද්ධව පැමිණියා. පසුව ඔවුන් දේවමාලිගාවේ තාප්පය යටින් හාරන්න පටන්ගත් නමුත් හිටි හැටියේම පිටත්ව ගියා. යේසුස් අනතුරු ඇඟවූ ලෙස යෙරුසලමෙන් පලා යන්න කාලය මෙය බව තේරුම්ගත් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් කඳුකර ප්‍රදේශයට පලා ගියා. පසුව ක්‍රි.ව. 70දී නැවතත් රෝම හමුදාව පැමිණ යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කළා. නමුත් යේසුස්ගේ වචනවලට කීකරු වූ අය එම භයානක විනාශයෙන් ගැලවුණා.—ලූක් 19:41-44.
20. ‘ගැලවීම සලසා දීමට’ දෙවිට හැකි බව අපට විශ්වාස කළ හැක්කේ ඇයි?
20 දෙවි තම සෙනඟට උපකාර කර තිබෙන ආකාරය සලකා බැලීමෙන් අපගේ ඇදහිල්ල ශක්තිමත් වන අතර ඔහු අපටත් එලෙසම උපකාර කරන බව අපට නිසැකයි. එමනිසා අප දැන් කුමන දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටියත් අනාගතයේදී එවැන්නකට මුහුණ දීමට සිදු වුණත් අපට ‘ගැලවීම සලසා දෙන්න’ දෙවිට හැකි බව විශ්වාස කරමු. නමුත් දෙවි අපට ගැලවීම සලසා දෙන්නේ කෙසේද? එමෙන්ම මේ ලිපියේ මුලින්ම සඳහන් කළ අය මුහුණ දුන් දුෂ්කර තත්වයන්වලදී දෙවි උපකාර කළේ කෙසේද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.
ඔබට මතකද?
• හැත්තෑවන ගීතිකාවෙන් අපට ලැබෙන නිසැකකම කුමක්ද?
• දාවිත් ලෙඩ ඇඳේ සිටි විට දෙවි ඔහුව රැක බලාගත්තේ කෙසේද?
• විරුද්ධවාදීන්ගෙන් තම සෙනඟව ගලවාගන්න දෙවිට හැකි බව පෙන්වන උදාහරණ මොනවාද?
[6වන පිටුවේ පින්තූරය]
යෙහෝවා දෙවි හෙසකියාගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා