දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය!
“සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් [ප්‍රේමනීය කරුණාවෙන්, NW] නුඹ ඇදගතිමි.”—යෙරෙමියා 31:3.
1. යේසුස්වහන්සේගේ දවස්වල විසූ සාමාන්‍ය ජනතාව කෙරෙහි උන්වහන්සේගේ ආකල්පය ඵරිසිවරුන්ගේ එම ආකල්පයෙන් වෙනස් වූයේ කෙසේද?
ඔවුන්ට උන්වහන්සේගේ ඇස් තුළ එය දැකගත හැකි විය. යේසුස්වහන්සේ නම් වූ මෙම මිනිසා, කොහෙත්ම ඔවුන්ගේ ආගමික නායකයන් මෙන් නොවීය; උන්වහන්සේ සැලකිල්ල දැක්වූසේක. ජනයා “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්” උන්වහන්සේට ඔවුන් කෙරෙහි අනුකම්පාවක් දැනිණ. (මතෙව් 9:36) ඔවුන්ගේ ආගමික නායකයන් වනාහි ප්‍රේමනීය දයාන්විත දෙවිකෙනෙකු නියෝජනය කරන ප්‍රේමනීය එඬේරුන් විය යුතුව තිබිණ. ඒ වෙනුවට, ඔවුන් පොදු ජනයාව සැලකුවේ නිකම්ම පහත් පංතියේ නොහික්මුණු, ශාපලද්දවුන් හැටියටය!a (යොහන් 7:47-49; සසඳන්න එසකියෙල් 34:4.) පැහැදිලිවම, එවන් අගතිසහගත ශුද්ධ ලියවිල්ලට පටහැනි වූ දෘෂ්ටියක්, ජනයා පිළිබඳ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටියෙන් බොහෝ සෙයින් දුරස් විය. “සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි” කියා උන්වහන්සේ ස්වකීය ඉශ්රායෙල් ජනතාවට පවසා තිබිණ.—යෙරෙමියා 31:3.
2. යෝබ් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ කිසි වටිනාකමක් නැති පුද්ගලයෙකු බවට, ඔහුට ඒත්තුගැන්වීමට ඔහුගේ මිත්‍රයන් උත්සාහ කළේ කෙසේද?
2 එහෙත්, යෙහෝවඃවහන්සේගේ ප්‍රේමවන්ත බැටළුවන් කිසි වටිනාකමක් නැත්තවුන් බව ඒත්තුගැන්වීමට පළමුවෙන්ම උත්සාහ කළේ ඵරිසිවරුන්ම නොවේ. යෝබ් සම්බන්ධ සිද්ධිය සලකා බලන්න. ඔහු යෙහෝවඃවහන්සේහට ධර්මිෂ්ඨ, නිර්දෝෂව සිටියේය, නමුත් “සැනසිලිකාරයන්” තිදෙනා, යෝබ් වනාහි තමා ගැන අල්ප මාත්‍රයක සටහනක්වත් නොතබා මිය යනු ඇති, එමෙන්ම දුරචාර දුෂ්ට ඇදහිල්ල අතහැර ගිය කෙනෙකු බව වක්‍රාකාරයෙන් ඇඟවූහ. දෙවියන්වහන්සේ ස්වකීය දේවදූතයන්වවත් විශ්වාස නොකළ නිසාත්, ස්වර්ගය පවා අපවිත්‍ර දෙයක් ලෙස සැලකූ නිසාත්, යෝබ්ගේ පැත්තෙන් කිසියම් ධර්මිෂ්ඨකමක් දෙවියන්වහන්සේ විසින් අනර්ඝ කොට සලකන්නේ නැති බවටත් ඔවුහු පැවසූහ!—යෝබ් 1:8; 4:18; 15:15, 16; 18:17-19; 22:3.
3. තමන් කිසි වටිනාකමක් නැති ප්‍රේම කරනු නොලබන අය බවට ජනයාහට ඒත්තුගැන්වීමට අදදින සාතන් අර අඳින්නේ කිනම් මාර්ගවලින්ද?
3 අදදිනත්, සාතන් තවමත් අර අඳිමින් සිටින්නේ, තම ‘කපටි ක්‍රියාව’ යොදාගනිමින් ජනයා වනාහි ප්‍රේම කරනු නොලබන හා කිසි වටිනාකමක් නැති අය බවට ඔවුන්ට ඒත්තු ගැන්වීමටයි. (එපීස 6:11, NW පාද සටහන) ජනයාගේ අහංකාරයට හා උඩඟුකමට අයදිමින් සාතන් ඔවුන්ව බොහෝවිට රවටන බව සැබෑවකි. (2 කොරින්ති 11:3) එහෙත්, ඔහු පහසුවෙන් පහර දිය හැකි අයගේ ආත්ම-ගෞරවය බිඳදැමීමෙහිද මහත් සතුටක් ලබයි. මෙම අර්බුදකාරි “අන්තිම දවස්වල” මෙය විශේෂයෙන් සැබෑවක්ය. අදදින පවුල්වල බොහෝදෙනෙකු හැදී වැඩෙන්නේ ‘ජන්ම ස්නේහයක්’ නැතිවය; අද බොහෝදෙනෙකුට දිනපතා කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ, දරුණු, ආත්මාර්ථකාමී හා හිස උදුම්මාගත් පුද්ගලයන් සමඟය. (2 තිමෝති 3:1-5) වසර ගණනාවක් තිස්සේ, වධ හිංසා කරනු ලැබීම්වලට, ජාතිවාදයට, වෛරයට හෝ අතවරවලට ලක්වීම නිසා, තමන් කිසි වටිනාකමක් නැති ප්‍රේමය නොලබන පුද්ගලයන් බවට එවැනි අයට ඒත්තු ගොස් තිබෙන්නට පිළිවන. එක් මිනිසෙක් මෙසේ ලීවේය: “මා කිසිකෙනෙකුට ආදරය කරන බවක්වත්, කිසිවෙකුගෙන් ආදරය ලබන බවක්වත්, මට දැනෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ මා කෙරෙහි කොහෙත්ම සැලකිල්ලක් දක්වනවාය කියා විශ්වාස කිරීම මට ඉතා අමාරුයි.”
4, 5. (අ) පෞද්ගලිකව තමා වටින්නේ නැතිය යන අදහස ශුද්ධ ලියවිල්ලට පටහැනි වන්නේ මන්ද? (ආ) අපගේ කිසිම ප්රයත්නයක් කිසිම වටිනාකමක් නැතිය යන්න අප විසින් විශ්වාස කිරීමෙන් ඇති වන භයානක විපාක කවරේද?
4 පුද්ගලයෙකු කිසිම වටිනාකමක් නැතිය යන අදහස, දේව වචනයේ සත්‍යතාවේ කේන්ද්‍රය වන මිදීමේ මිල පූජාව පිළිබඳ ඉගැන්වීමට දරුණු ප්‍රහාරයක් එල්ල කරයි. (යොහන් 3:16) අපට සදාකල් ජීවත්වීමේ ප්‍රස්තාව ලබා දීම සඳහා අපව මිලට ගැනීමට දෙවියන්වහන්සේ එතරම්ම වටිනා ඉහළ මිලක්—එනම් තමන්ගේ පුත්‍රයාණන්ගේ අනර්ඝ ජීවිතය—ගෙවනසේක් නම්, ස්ථිරවම උන්වහන්සේ අපට ප්‍රේම කරනසේක; සහතකිවම අප උන්වහන්සේගේ ඇස් හමුවේ අනර්ඝ පුද්ගලයන් විය යුතුය!
5 එපමණක්ද නොව, අප දෙවියන්වහන්සේට අප්‍රසන්න බවත්, අප කිසිවෙකුගේ ප්රයත්නයන් කිසිම වටිනාකමක් නැති බවත්, දැනීම කොතරම් අධෛර්යය කරවනසුලුද! (හිතෝපදේශ 24:10 සසඳන්න.) මෙම නිෂේධාත්මක දෘෂ්ටියෙන් බැලූ කල, අපට හැකි පැත්තකින් දෙවියන්වහන්සේගේ සේවය තුළ තවදුරටත් උපකාර කිරීම සඳහා, සැලසුම් කරන ලද හොඳ චේතනාවෙන් කරන දිරිගැන්වීමක් පවා, ඇතමෙකුට ඒ වෙනුවට එය හෙළාදැකීමක් මෙන් පෙනෙන්ට පුළුවන. අප මොනවා කළත් එය මදිය කියා අපේ අභ්‍යන්තර වැටහීම, අප තුළම දෝංකාර දෙනවා මෙන් පෙනී යනවා විය හැක.
6. අප ගැනම අන්තවාදී නිෂේධාත්මක සිතිවිලිවලට එරෙහිව ඇති හොඳම විෂනාශකය කුමක්ද?
6 එවැනි නිෂේධාත්මක හැඟීම් ඔබ තුළත් දැනේ නම්, අධෛර්යය නොවන්න. අපගෙන් බොහෝදෙනෙක් කලින් කලට අප ගැනම අසාධාරණ ලෙස කල්පනා කරති. දෙවියන්වහන්සේගේ වචනය සකස් කොට තිබෙන්නේ, “දේවල් හරිගැස්වීමටත්” හා ‘ගැඹුරට තදින් කාවැදී තිබෙන දේවල් පෙරළා දැමීමටත්’ බව මතක තබාගන්න. (2 තිමෝති 3:16, NW; 2 කොරින්ති 10:4, NW) ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව; මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.” (1 යොහන් 3:19, 20) එසේනම්, අප යෙහෝවඃවහන්සේට ඉතා අනර්ඝ බව බයිබලය අපට උගන්වන මාර්ග තුනක් අපි දැන් සලකා බලමු.
යෙහෝවඃවහන්සේ ඔබව අගය කොට සලකනසේක
7. දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ තමන්ගේ වටිනාකම සම්බන්ධයෙන් සියලු ක්‍රිස්තියානීන්හට යේසුස්වහන්සේ ඉගැන්වූයේ කෙසේද?
7 පළමුවෙන්ම, අප එක් එක්කෙනා දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ වටිනාකමක් ඇති අය බව බයිබලය ඍජුව උගන්වයි. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භය නොවෙල්ලා. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේය.” (ලූක් 12:6, 7) එම දවස්වල, ගේ කුරුල්ලන් වනාහි ආහාර පිණිස විකුණන ලද කුරුල්ලන් අතුරින් ලාභම කුරුලු වර්ගය වූ නමුත්, ඔවුන්ගෙන් එකෙකුවත් මැවුම්කරුවාණන්ගේ සැලකිල්ලට භාජන නොවී තිබුණේ නැත. මෙසේ මීට වඩා තදබල වෙනසක් පෙන්වීම සඳහා අත්තිවාරමක් සකස් කෙරිණ: මීට වඩා බොහෝ සෙයින් වටිනා මනුෂ්‍යයන් සම්බන්ධව ගත් කල, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ සෑම තොරතුරක්ම දන්නාසේක. එය හරියට අප සෑම පුද්ගලයෙකුගේම හිසකෙස් ගණන් කර තිබෙනවාක් බඳුය!
8. යෙහෝවඃවහන්සේට අපගේ හිසකෙස් ගණන් කළ හැකි බව සිතීම යථාර්ථවාදී වනුයේ මන්ද?
8 අපගේ හිසකෙස් ගණන් කර තිබෙනවා? යේසුස්වහන්සේගේ උපහැරණයේ මෙම අංගය යථාර්ථවාදී නොවේ යයි ඔබ සැක කරනවා නම්, මේ ගැන සලකා බලන්න: දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන් කොතරම් මුළුමනින්ම සිහිකරනවාද කියතොත්, ඔවුන්ගේ සංකීර්ණ ජාන පද්ධතිය හා ඔවුන්ගේ අවුරුදු ගණනාවක මතකයන් හා අද්දැකීම් ඇතුළුව ඔවුන්ගේ සෑම තොරතුරක් සහිතවම නැවත මැවීමට, එනම් නැවත නැගිටුවීමට උන්වහන්සේට හැකිකම තිබේ. මේ අනුව සසඳන කල, අපගේ හිසකේ ගණන් කිරීම (සාමාන්‍යයෙන් හිසකෙස්වල සාමාන්‍යය ගණන 1,00,000ක් පමණ වේ) ඉතා සුළු දෙයකි!—ලූක් 20:37, 38.
යෙහෝවඃවහන්සේ අප තුළ දකින දෙය
9. (අ) යෙහෝවඃවහන්සේ අගය කොට සලකන ගුණාංග සමහරක් කවරේද? (ආ) එවන් ගුණාංග උන්වහන්සේට අනර්ඝ බව ඔබ සිතන්නේ මන්ද?
9 දෙවෙනුව, යෙහෝවඃවහන්සේ අප තුළ අගය කරන දෙය බයිබලය අපට උගන්වයි. සරලව සඳහන් කළහොත්, අප තුළ වූ හොඳ ගුණාංග සහ අපගේ ප්රයත්න කෙරෙහි උන්වහන්සේ ප්‍රීති වනසේක. දාවිත් රජ තම පුත් සාලමොන්ට මෙසේ පැවසීය: “ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක.” (1 ලේකම් 28:9) මෙම සාපරාධී, වෛරයෙන් පිරුණු ලෝකයේ මිනිස් සිත් බිලියන ගණනක් දෙවියන්වහන්සේ විසින් විමසා බලනු ලබන විට, සාමයට, සත්‍යයට හා ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන හදවතක් දකින උන්වහන්සේ කොතරම් සතුටු වෙනවා විය යුතුද! (සසඳන්න යොහන් 1:47; 1 පේතෘස් 3:4.) දෙවියන්වහන්සේ ගැන ඉගෙනගැනීමට උත්සාහ කරමින් එවන් දැනුම අන්‍යයන් සමඟ බෙදාගන්නාවූද, දෙවියන්වහන්සේට වූ ප්‍රේමයෙන් ඉතිරී ගියාවූද, හදවතක් උන්වහන්සේ දකින විට කුමක් සිදුවන්නේද? තමන්වහන්සේ ගැන අන්‍යයන්ට කතා කරන අයට තමන් සවන් දෙන බවත්, “ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ” සියල්ලන් සඳහා “සිහිවීමේ පොතක්” පවා තමන්වහන්සේට ඇති බවත්, මලාකී 3:16හි යෙහෝවඃවහන්සේ අපට පවසනසේක. එවැනි ගුණාංග උන්වහන්සේට ඉතා අනර්ඝය!
10, 11. (අ) යෙහෝවඃවහන්සේ තම හොඳ ගුණාංග අගය කොට සලකන බවට වූ සාක්ෂි ඇතැම් අය අඩුවෙන් තක්සේරු කළ හැක්කේ කෙසේද? (ආ) යමෙකු තුළ ඇති හොඳ ගුණාංග යෙහෝවඃවහන්සේ හැම මට්ටමකින්ම අගය කොට සලකන බවට අබියා සම්බන්ධ උදාහරණයෙන් පෙනෙන්නේ කෙසේද?
10 කෙසේවුවද, තමාවම හෙළාදකින්නාවූ හදවතක් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ අපේ වටිනාකම පිළිබඳ එවන් සාක්ෂිවලට එරෙහි වන්ට පිළිවන. ‘නමුත් මට වඩා එම ගුණාංග අතින් වඩාත් ආදර්ශවත් අය බොහෝ ඉන්නවා. යෙහෝවඃවහන්සේ ඔවුන් සමඟ මාව සැසඳූ විට, උන්වහන්සේ මා සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු කොතරම් සුන්වෙනවා විය යුතුද!’ කියා එවන් හදවතක් නිරතුරුවම මුමුණනවා විය හැක. යෙහෝවඃවහන්සේ කෙනෙකුව තවත් කෙනෙකු සමඟ සසඳන්නේ නැත, උන්වහන්සේ වනාහි සියලු දේම පරිපූර්ණ ලෙස බලාපොරොත්තු වන රළු පුද්ගලයෙකුද නොවේ. (ගලාති 6:4) උන්වහන්සේ මහත් සියුම් ලෙස හදවත් කියවන අතර, ඒවායේ ඇති හොඳ ගුණාංග මුළු උපරිම ප්‍රමාණයෙන් අගය කරනසේක.
11 නිදසුනක් වශයෙන්, යෙරොබෝවම් රජුගේ ඇදහිල්ල අතහැර ගිය මුළු රාජ පැළැන්තියම විනාශ කරන බව, එනම් “කුණු පිසදමන්නාක් මෙන්” ඉවතලන බවට ප්‍රකාශ කළ විට, රජුගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු වූ අබියාට ගෞරවාන්විත භූමදානයක් දෙන ලෙසට යෙහෝවඃවහන්සේ නියෝග කළසේක. ඒ මන්ද? “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි යහපත්වූ යමක් ඔහු තුළ ඇති බැවින්[ය].” (1 රාජාවලිය 14:10, 13) මින් අදහස් කළේ අබියා යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත නමස්කාරයෙකු වූ බවද? අනිවාර්යයෙන්ම නැත, මන්ද, සිය දුෂ්ට පවුලේ වෙනත් අය මෙන්, ඔහුද මියගිය බැවින් එසේ වූවා නොවේ. (ද්විතීය කථාව 24:16) එහෙත්, යෙහෝවඃවහන්සේ අබියාගේ හෘදය තුළ “යහපත්වූ යමක්” දැක ඒ අනුව ක්‍රියා කළසේක. මැතිව් හෙන්රීʼස් කමෙන්ටරි ඔන් ද හෝල් බයිබල් මෙසේ සටහන් කරයි: “යම් ආකාරයක යම් යහපත් දෙයක් තිබේද, එය සම්බවෙනවා ඇත; එය කොතරම් අල්ප වුවත් එය සොයන, එය දකින දෙවියන්වහන්සේ ඒ ගැන සතුටු වනසේක.” තවද දෙවියන්වහන්සේ යම් යහපත් ගුණාංගයක් යම් ප්‍රමාණයකට ඔබ තුළ දකීද, ඔබ උන්වහන්සේට ඇදහිලිවන්තව සේවය කිරීමට ප්රයත්න දරන තාක් කල් එය වැඩීමට සැලැස්වීමට උන්වහන්සේට හැකි බව අමතක නොකරන්න.
12, 13. (අ) යෙහෝවඃවහන්සේ අපේ ප්රයත්න අගය කොට සලකන බව ගීතාවලිය 139:3 පෙන්වන්නේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේ අපගේ ක්‍රියාකාරකම් පොළන බවට කිව හැක්කේ කිනම් අර්ථයෙන්ද?
12 යෙහෝවඃවහන්සේ අපගේ ප්රයත්නයන්ද ඒ හා සමාන අන්දමකින් අගේ කොට සලකනසේක. ගීතාවලිය 139:1-3හි අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.” එබැවින්, යෙහෝවඃවහන්සේ අප කරන කියන සෑම දේ ගැන සාවධානව සිටිනසේක. එහෙත්, උන්වහන්සේ නිකම්ම සාවධානව සිටිනවා පමණක්ම නොව, ඊට වඩා බෙහෙවින් වැඩි යමක් කරයි. “මාගේ සියලු මාර්ග දැනගෙන සිටිනසේක” යන හෙබ්‍රෙව් යෙදුමෙන්, “ඔබ මාගේ සියලු මාර්ග නිධාන කරගෙන සිටිනසේක” හෙවත් “ඔබ මාගේ සියලු මාර්ග ගැන ඉතා ආදරයෙන් සලකනසේක” යන්නද අදහස් විය හැක. (මතෙව් 6:19, 20 සසඳන්න.) අප එතරම් අසම්පූර්ණව පව්කාරව සිටින විට, අපේ මාර්ග ඉතා වුවමනාවෙන් සැලකීමට යෙහෝවඃවහන්සේට හැක්කේ කෙසේද?
13 ඇතැම් විශාරදයන්ට අනුව, යෙහෝවඃවහන්සේ තම ගමනත් සයනයත් ‘විමසා බලන’ බව දාවිත් ලියූ විට, හෙබ්රෙව්වල වචනානුසාරයෙන් ඉන් අදහස් කළේ, “පරෙස්සමින් සෝදිසි කර බලනවා” හෝ “පොළා ශුද්ධ කරනවා” යන්නය. එක් යොමු සටහන් කෘතියක් මෙසේ නිරීක්ෂණය කළේය: “ඉන් අදහස් කරන්නේ . . . කුණු රොඩු පොළා ඉවත් කර, සියලු හොඳ ධාන්‍යය—සියලු වටිනා දේ—ඉතිරි කරගැනීමය. එබැවින් මින් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ ඔහුව හරියට පොළාගත් බවය. . . . උන්වහන්සේ අනවශ්‍ය කුණු රොඩු ඉවත් කර ඉතිරිව තිබූ දෙය නියම දේ සහ සාරය බව දුටුසේක.” තමාවම හෙළාදකින්නාවූ හදවතක් කරනු ඇත්තේ අප කරන දේවල් සම්බන්ධයෙන් මෙහි අනික් පැත්තය, එනම් අපගේ පසුගිය වැරදි සම්බන්ධයෙන් දයාවකින් තොරව අපටම රිදවාගෙන අප කළ හොඳ යහපත් දේ කිසි කමකට නැති දෙයක් මෙන් සලකා මුළුමනින්ම ඉවත ලෑමය. එහෙත්, අප කළ වැරදි සම්බන්ධයෙන් අවංකව පසුතැවිලි වී, ඒවා නැවත නොකිරීමට අප මහන්සි ගතහොත් යෙහෝවඃවහන්සේ අපගේ පව්වලට සමාව දෙනසේක. (ගීතාවලිය 103:10-14; ක්‍රියා 3:19) උන්වහන්සේ අපගේ ක්‍රියාවන් පොළා අපගේ යහපත් ක්‍රියා සිහිකරනසේක. ඇත්තෙන්ම, අප උන්වහන්සේට ඇදහිලිවන්තව සිටින තාක්කල්, උන්වහන්සේ ඒවා සදහටම සිහිකරනසේක. මේවා අමතක කිරීම අධර්මිෂ්ඨ යයි සලකන උන්වහන්සේ කිසිවිටෙකත් අධර්මිෂ්ඨ නොවනසේක!—හෙබ්‍රෙව් 6:10.
14. ක්‍රිස්තියානි දේව සේවය තුළ අපගේ ක්‍රියාකාරකම් යෙහෝවඃවහන්සේ අගය කොට සලකන බවට පෙන්නුම් කරන්නේ කුමකින්ද?
14 දෙවියන්වහන්සේ විසින් අගය කොට සලකන යහපත් ක්‍රියා සමහරක් මොනවාද? අප උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරමින් කරන ඕනෑම දෙයක් පාහේ දෙවියන්වහන්සේ අගය කොට සලකනසේක. (1 පේතෘස් 2:21) එසේනම්, ඉතා වැදගත්ම වැඩයක් වනුයේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පතළ කිරීම බව සහතිකය. රෝම 10:15හි අපට මෙසේ කියවීමට තිබේ: “යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද!” අපගේ සාමාන්‍ය පාද “අලංකාර” බවට අප සිතුවේ නැතුවා විය හැකි වුවත්, පාවුල් මෙහි භාවිත කළ වචනය වනාහි තම අලංකාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී සිටි රෙබෙකා, රාඛෙල් සහ යෝසෙප්ව විස්තර කිරීමට ග්‍රීක් සෙප්ටුඅජින්ට් අනුවාදය භාවිත කළ වචනයමය. (උත්පත්ති 26:7; 29:17; 39:6) මේ අනුව, අපගේ දෙවි වන යෙහෝවඃවහන්සේගේ සේවයේ යෙදීම, උන්වහන්සේගේ ඇස් හමුවේ ඉතා අලංකාර අනර්ඝ දෙයක්ය.—මතෙව් 24:14; 28:19, 20.
15, 16. යෙහෝවඃවහන්සේ අපගේ විඳදරාගැනීම අගය කොට සලකන්නේ මන්ද, තවද ගීතාවලිය 56:8හි සඳහන් දාවිත් රජගේ වචන මෙම සත්‍යය තහවුරු කරන්නේ කෙසේද?
15 දෙවියන්වහන්සේ අගය කොට සලකන තවත් ගුණාංගයකි, අපගේ විඳදරාගැනීම. (මතෙව් 24:13, NW) සාතන්ට වුවමනා වනුයේ ඔබ යෙහෝවඃවහන්සේ අතහැර යෑම බව මතකතබාගන්න. ඔබ යෙහෝවඃවහන්සේට පක්ෂපාත ලෙස ගත කර ඇති සෑම දවසක්ම, සාතන්ගේ සරදමට පිළිතුරු දීම සඳහා ඔබ විසින් දායක වී ඇති දවසකි. (හිතෝපදේශ 27:11) ඇතැම් අවස්ථාවලදී විඳදරාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සෞඛ්‍ය ගැටලු, මූල්‍යමය දුෂ්කරතා, චිත්තවේගී පීඩා සහ වෙනත් බාධා, ගතවන සෑම දවසකම පරීක්ෂාවක් විය හැක. එවැනි පරීක්ෂා හමුවේ විඳදරාගැනීම යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවේ විශේෂයෙන්ම අනර්ඝය. තම කඳුළු සංකේත “භාජනයෙහි” ගබඩා කරන ලෙසත් “ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?” කියාත් දාවිත් රජ යෙහෝවඃවහන්සේගෙන් නිසැකකමින් ඇසුවෙත් එම නිසාය. (ගීතාවලිය 56:8) එසේය, අප යෙහෝවඃවහන්සේට අපගේ පක්ෂපාතකම පවත්වාගැනීමේදී අප හෙළන කඳුළු සහ අප විඳදරාගන්නා වේදනා සියල්ල, යෙහෝවඃවහන්සේ නිධාන කරගෙන ඒවා සිහිකරනසේක. ඒවාද උන්වහන්සේගේ ඇස් හමුවේ අතිශයින් අනර්ඝය.
16 අපගේ යහපත් ගුණාංග සහ අපගේ ප්රයත්නයන් සම්බන්ධයෙන් බැලූ කල, අප සෑම කෙනෙකු තුළම මේවා බොහෝ සෙයින් අනර්ඝ බවට, යෙහෝවඃවහන්සේ විසින් සලකන බව කොතරම් පැහැදිලිද! සාතන්ගේ ලෝකය අපට මොනයම් අන්දමින් සලකා ඇතත්, යෙහෝවඃවහන්සේ අප දෙස බලන්නේ අප ඉතා අනර්ඝ ලෙසටත්, එමෙන්ම අප ‘සියලු ජාතීන්ගේ ආශාවන දේවල’ කොටසක් හැටියටයත්ය.—හග්ගයි 2:7, NW.
ස්වකීය ප්‍රේමය නිරූපනය කිරීමට යෙහෝවඃවහන්සේ කර ඇති දෙය
17. යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ පුද්ගලයන් වශයෙන් අපට ප්‍රේම කරන බව ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවෙන් ඒත්තු යා යුත්තේ මන්ද?
17 තුන්වෙනුව, අප සඳහා වූ ස්වකීය ප්‍රේමය ඔප්පු කිරීමට යෙහෝවඃවහන්සේ බොහෝ දේ කරනසේක. සහතිකවම, අප නොවටිනා බව හෝ අපට ප්‍රේම කරනු නොලබන බවට වූ සාතන්ගේ බොරුවට දී ඇති වඩාත් ප්‍රබලම පිළිතුරකි, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව. යේසුස්වහන්සේ වධ කණුව මත විඳ ඇති වේදනාසහගත මරණය සහ ඊටත් වඩා තම සහෘද පුත්‍රයාණන්ගේ මරණය දැක, යෙහෝවඃවහන්සේ විඳදරාගත් මහත් වේදනාව වනාහි අප සඳහා වූ උන්වහන්සේලාගේ ප්‍රේමයේ සාක්ෂි බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. එපමණක්ද නොව, එම ප්‍රේමය අපට පෞද්ගලිකව අදාළ වෙයි. ප්‍රේරිත පාවුල් එය දෙස බැලුවේ ඒ ආකාරයෙනි, මන්ද “මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” ගැන ඔහු ලීවේය.—ගලාති 2:20.
18. යෙහෝවඃවහන්සේ අපව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ළං කරන්නේ කිනම් අර්ථයෙන්ද?
18 ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලයෙන් ප්‍රයෝජනගැනීමට අපට පෞද්ගලිකව උපකාර කිරීමෙන්, යෙහෝවඃවහන්සේ ස්වකීය ප්‍රේමය අප සඳහා ඔප්පු කර තිබෙනසේක. යේසුස්වහන්සේ යොහන් 6:44හි මෙසේ පැවසූසේක: “මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.” පෞද්ගලිකව අප වෙතට එළඹෙන දේශනා වැඩය මගින් සහ අපගේ සීමා සහ අසම්පූර්ණකම් අභිබවා ආත්මික සත්‍යතාවන් වටහාගෙන අදාළ කරගැනීමට අපට උපකාර කරන ස්වකීය ශුද්ධාත්මය මගින් යෙහෝවඃවහන්සේ අපව පුද්ගලයන් වශයෙන් ස්වකීය පුත්‍රයාණන් වෙතට හා සදාකාල ජීවිතය නමැති බලාපොරොත්තුව වෙතට ළං කරවනසේක. එබැවින්, “සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් [ප්‍රේමනීය කරුණාවෙන්, NW] නුඹ ඇදගතිමි” කියා ඉශ්රායෙල් ජාතිය සම්බන්ධයෙන් පැවසූ දේ අප සම්බන්ධයෙන්ද යෙහෝවඃවහන්සේට පැවසිය හැකිය.—යෙරෙමියා 31:3.
19. යාච්ඤාව නමැති වරප්‍රසාදය, අප සඳහා වූ යෙහෝවඃවහන්සේගේ පෞද්ගලික ප්‍රේමය පිළිබඳව අපට ඒත්තුගැන්විය යුත්තේ මන්ද?
19 එහෙත්, සමහරවිට, අප යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය ඉතා කිට්ටු ආකාරයකින් අද්දකින්නේ යාච්ඤාව නමැති වරප්‍රසාදය තුළින්ය. “නොකඩව යාච්ඤාකරපල්ලා” කියා උන්වහන්සේ අප සෑමකෙනෙකුටම ආරාධනා කරනසේක. (1 තෙසලෝනික 5:17) උන්වහන්සේ සවන්දෙනසේක! උන්වහන්සේ වනාහි “යාච්ඤා අසන තැනැන්වහන්සේ” යනුවෙන්ද හඳුන්වා තිබේ. (ගීතාවලිය 65:2) උන්වහන්සේගේ මෙම පදවිය උන්වහන්සේ කිසිවෙකු සමඟ, උන්වහන්සේගේම පුත්‍රයා සමඟ පවා බෙදාගෙන නැත. නිකම් සිතා බලන්න: නිදහස් ලෙස කතා කරමින් තමාට යාච්ඤාවෙන් ළඟා වෙන ලෙස විශ්වයේ මැවුම්කරුවාණෝ අපට ඇරයුම් කරනසේක. ඔබගේ කන්නලව් නිසා, වෙනත් අන්දමකින් කර නැතුවා විය හැකි යමක් කිරීමට, යෙහෝවඃවහන්සේ පෙලඹෙන්නට පුළුවන.—හෙබ්‍රෙව් 4:16; යාකොබ් 5:16 බලන්න; යෙසායා 38:1-16.
20. අප සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රේමය, අපගේ පැත්තෙන් අප ගැනම ඕනෑවට වඩා වැදගත් කොට සැලකීම සඳහා හෝ පාරට්ටු කරගැනීම සඳහා, නිදහසට කරුණක් නොවන්නේ මන්ද?
20 සමබර වූ කිසිම ක්‍රිස්තියානියෙක්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ තක්සේරු කිරීම පිළිබඳ එම සාක්ෂි, තමාගේ සැබෑ තරමට වඩා තමා වඩාත් වැදගත් පුද්ගලයෙකු ලෙස කල්පනා කිරීම සඳහා නිදහසට කරුණක් කරගන්නට යන්නේ නැත. පාවුල් මෙසේ ලීවේය: “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.” (රෝම 12:3) එමනිසා අපි අපගේ ස්වර්ගීක පියාණන්ගේ ප්‍රේමයේ උණුසුමෙන් පහස ලැබ සන්තෝෂ වන අතර, දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව ලබන්ට නොවටිනා තරම් වූ එකක් බව සිහිබුද්ධියෙන් යුතුව මතක තබාගනිමු.—ලූක් 17:10 සසඳන්න.
21. අප දිගටම විරුද්ධ විය යුත්තේ සාතන්ගේ කිනම් බොරුවටද, තවද අප මෙනෙහි කළ යුත්තේ කිනම් දිව්‍ය සත්‍යය මතද?
21 මියයමින් තිබෙන මෙම ඉපැරණි ලෝකයේ සාතන් පොලඹවන්නාවූ සියලුම අදහස් හා මතිමතාන්තරවලට එරෙහිව සිටීමට අපගේ ශක්තියෙන් කළ හැකි සියල්ලම අපි කරමු. අප කිසිම වටිනාකමක් නැති හෝ ප්‍රේමය නොලබන අය බවට වූ සිතිවිල්ල ප්‍රතික්ෂේප කිරීමද ඊට ඇතුළත්ය. දෙවියන්වහන්සේගේ අතිමහත් ප්‍රේමය ලැබීමට තරම් නොවටිනා කෙනෙකු ලෙස ඔබ දෙසම බැලීමට හෝ සියල්ලම දැකිය හැකි උන්වහන්සේගේ ඇස්වලට නොපෙනන තරමට ඔබගේ යහපත් වැඩ, කිසි වැදගම්මකට නැතිය කියා හෝ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයෙන් වසාලීමට බැරිතරම් ඔබගේ පව්, එතරම්ම මහත්යයි කියා හෝ මේ දේවල පිළිවෙළින් ඔබට උගන්වා තිබේ නම්, ඔබට උගන්වා ඇත්තේ බොරුවකි. එම සියලු බොරු ඊට නියමිත සියලු පිළිකුල්කම සහිතව එපා කරන්න! රෝම 8:38, 39හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ දේවානුභාව ලත් වචන සෑමවිටම මතකයේ තබාගනිමු, එනම්, “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි” යන්නය.
[පාදසටහන්වල]
a ඇත්තෙන්ම, ඔවුහු ජනයාව ඉතා සරදම්ශීලී යෙදුමකින්, “ʽඅම්-හා·ʼඅʹරෙට්ස්,” හෙවත් “දේශයේ ජනයා” ලෙස සලකා ඉවත දැමූහ. එක් විශාරදයෙකු පවසන අන්දමට, කිසිවෙකු විසින් මෙම ජනයාව වටිනා දේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් විශ්වාස නොකළ යුතු බවත්, ඔවුන්ගේ සාක්ෂි විශ්වාස නොකළ යුතු බවත්, ඔවුන්ට අමුත්තන් ලෙස සංග්‍රහ නොකළ යුතු බවත්, ඔවුන්ගේ නිවෙස්වලට අමුත්තන් ලෙස නොයා යුතු බවත්, ඔවුන්ගෙන් කිසිවක් මිලට නොගත යුතු බවත් ඵරිසිවරු ඉගැන්වූහ. යමෙකු විසින් තම දියණියව මොවුන්ගේ කෙනෙකුට විවාහ කර දීම, ඇයව දම්වැල්වලින් බැඳ අසරණ කොට මෘගයෙකුට නිරාවරණය කිරීමක් හා සමාන යයි, මෙම ආගමික නායකයෝ ඉගැන්වූහ.
ඔබ සිතන්නේ කුමක්ද?
◻ අප කිසි වටිනාකමක් නැති ප්‍රේමය නොලබන අය බවට අපට ඒත්තුගැන්වීමට සාතන් අර අඳින්නේ මන්ද?
◻ යෙහෝවඃවහන්සේ අප සෑම කෙනෙකුවම අගය කොට සලකන බව යේසුස්වහන්සේ ඉගැන්වූයේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ අපගේ හොඳ ගුණාංග ඉතා ඉහළින් අගය කරන බව අප දන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ අපගේ ප්රයත්නයන් ඉතා අගේ කොට සලකන බවට, අපට ස්ථිර විය හැක්කේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ අපට පුද්ගලයන් වශයෙන් ස්වකීය ප්‍රේමය ඔප්පු කොට ඇත්තේ කෙසේද?
[13වන පිටුවේ පින්තූරය]
තමන්වහන්සේගේ නාමය ගැන සිතන සියල්ලන්වම යෙහෝවඃවහන්සේ සැලකිල්ලටගෙන සිහිකරනසේක