ඔබ යෙහෝවාගේ සංවිධානය අගය කරනවාද?
‘යෙහෝවා මෙසේ කියා තිබේ: අහස [ස්වර්ගය, NW] මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය.’—යෙසායා 66:1.
1, 2. (අ) යෙහෝවාට සංවිධානයක් ඇති බවට ඔබට දැක්විය හැකි දෘශ්‍යමාන සාක්ෂි මොනවාද? (ආ) යෙහෝවා වාසය කරන්නේ කොතැනද?
යෙහෝවාට සංවිධානයක් ඇති බව ඔබ විශ්වාස කරනවාද? එසේ විශ්වාස කරනවා නම්, ඇයි? ‘ඔව් ඉතින්, අපිට රාජ්‍ය ශාලාවක් තියෙනවා. වැඩිමහල්ලන්ගේ මණ්ඩලයක් සහිත මනා පිළිවෙළක් ඇති සභාවක් තියෙනවා. අපව නිතිපතා බැහැදකින නිසි ලෙස පත් කර ඇති චාරිකා අවේක්ෂකයෙක් ඉන්නවා. සංවිධානය වූ එක්රැස්වීම් සහ සමුළුවලට අපි යනවා. අපේ රටේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක් තියෙනවා. යෙහෝවාට ක්‍රියාත්මක වන සංවිධානයක් ඇති බව මේ හැම දෙයකිනුත්, තවත් බොහෝ දේවලිනුත් ඔප්පු වන්නේ නැද්ද?’ කියමින් ඔබ පිළිතුරු දෙනවා ඇති.
2 එවන් අංගලක්ෂණ, සංවිධානයක් ඇති බවට සාක්ෂි සපයයි. එනමුත් අප දකින සහ අගය කරන සියල්ල මේ පොළොවට සීමා වී ඇත්නම්, යෙහෝවාගේ සංවිධානය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් අපට නැහැ. පොළොව තම පාපුටුව වන නමුත්, ස්වර්ගය තම සිංහාසනය බව යෙහෝවා යෙසායාට පැවසුවා. (යෙසායා 66:1) යෙහෝවා යොමු දක්වමින් සිටියේ මොන ‘ස්වර්ගයටද?’ අපේ වායුගෝලයටද? අජටාකාශයටද? එසේ නැතහොත් වෙනස් මට්ටමක පවතින ජීවයකටද? යෙහෝවාගේ ‘ශුද්ධකම සහ තේජසේ නිවාසය’ ගැන යෙසායා කතා කරන අතරම, මෙම ස්වර්ගය “ඔහු වාසය කරන නිශ්චිත ස්ථානය” හැටියට ගීතිකාකරු විස්තර කරයි. මේ අනුව, යෙසායා 66:1හි සඳහන් “ස්වර්ගය” යෙහෝවා සිටින අතිශ්‍රේෂ්ඨ නොහොත් පරම ස්ථානය වන අදෘශ්‍යමාන ආත්ම විෂයට යොමු දක්වයි.—යෙසායා 63:15; ගීතාවලිය 33:13, 14, NW.
3. අපට සැකයන් ජයගත හැක්කේ කෙසේද?
3 එසේනම්, යෙහෝවාගේ සංවිධානය ඇත්තටම වටහාගන්නත් අගය කරන්නත් අපට වුවමනා නම්, අප ස්වර්ගය වෙතට ඇස් යොමු කළ යුතුයි. ඇතමුන්ට ගැටලුවක් තිබෙන්නේ එතැනයි. යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය අදෘශ්‍යමාන බැවින්, එය ඇත්තටම තිබෙනවා කියා අප දන්නේ කෙසේද? ‘අපට නිශ්චිත ලෙස දැනගත හැක්කේ කෙසේද’ කියා අනුමාන කරමින් ඇතමුන් තුළ යම් සැකයක් පවා පහළ විය හැකියි. එවිට ඇදහිල්ලට සැකය ජයගත හැක්කේ කෙසේද? දෙවිගේ වචනය පෞද්ගලිකව හොඳින් අධ්‍යයනය කිරීමත්, ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණීම සහ සහභාගි වීමත් ප්‍රධාන මාර්ගයන් දෙකක් වෙයි. සත්යාලෝකයෙන් අපේ සැකය දුරු වෙන්න යන්නේ එවිටයි. සැකයක් ඇති කරගත් දෙවිගේ තවත් සේවකයන් ඉඳ තිබෙනවා. ඉශ්රායෙලය සිරියේ රජුගේ ප්‍රහාරයට ලක් වුණ අවස්ථාවේ, එලිෂාගේ සේවකයාගේ ආදර්ශය සලකා බලමු.—සසඳන්න යොහන් 20:24-29; යාකොබ් 1:5-8.
ස්වර්ගික සේනාවන් දුටු කෙනෙක්
4, 5. (අ) එලිෂාගේ සේවකයාට තිබුණේ මොන ගැටලුවද? (ආ) එලිෂාගේ යාච්ඤාවට යෙහෝවා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
4 එලිෂාව අල්ලාගැනීමට සිරියේ රජ විශාල යුද සේනාවක් රාත්රියේදී දෝතාන් බලා යැව්වා. එලිෂාගේ සේවකයා හිමිදිරි උදෑසන නැඟිට, ඇතැම්විට ඔවුන්ගේ මැද පෙරදිග වාසස්ථානයෙහි ඇති පැතලි වහල මතින් හැමූ නැවුම් සුළං රැල්ලෙන් යම් පහසක් ලබන්න පිටතට ගිය විට, ඔහු මොනතරම් තිගැස්සෙන්න ඇද්ද! දෙවිගේ අනාගතවක්තෘවරයාව අල්ලාගැනීමට බලමින්, මුළු නගරයම වට කරමින් අශ්වයන් සහ යුද රථවලින් සන්නාහ වූ සම්පූර්ණ සිරියානු හමුදාවක්ම සිටියා. “අහෝ ස්වාමිනි, අපි මක්කරමුදැයි” එම සේවකයා එලිෂාට මොරගැසුවා. පැහැදිලි ලෙස, එලිෂා සන්සුන්ව, ස්ථිර විශ්වාසයක් ඇතුව මෙසේ පිළිතුරු දුන්නා: “භයනොවන්න. මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය.” ‘සිටිනවා නම් කොහේද? මට ඔවුන්ව පේන්නේ නැහැනේ!’ යයි එම සේවකයා කල්පනා කරන්න ඇති. ඇතැම්විට අපේ ගැටලුවත් එය විය හැකියි. එනම් ස්වර්ගික සේනාවන් අවබෝධය නමැති ඇස්වලින් දකින්න නැතහොත් වටහාගැනීමට අපොහොසත් වීම.—2 රාජාවලිය 6:8-16; එපීස 1:18, 19.
5 තම සේවකයාගේ ඇස් විවෘත කරන ලෙස එලිෂා යාච්ඤා කළා. ඊළඟට කුමක්ද සිදු වුණේ? වහාම ‘යෙහෝවා තරුණයාගේ ඇස් පැහැදුවේය. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.’ (2 රාජාවලිය 6:17) ඔව්, දෙවිගේ සේවකයාව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටි ස්වර්ගික සේනාවන්, දේවදූතමය හමුදාවන් ඔහු දුටුවා. ඔහු එවිට එලිෂාගේ නිසැකකම වටහාගත්තා.
6. යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධියක් ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
6 එලිෂාගේ සේවකයාට සමානව අපට ඇතැම්විට වටහාගැනීමේ ගැටලුවක් තිබෙනවාද? අපට හෝ ඇතැම් දේශවල ක්‍රිස්තියානි සේවයට තර්ජන එල්ල කරන තත්වයන්වල භෞතික පැත්ත පමණක් දකින්න අප තුළ නැඹුරුවාවක් ඇද්ද? එය සැබෑවක් නම්, විශේෂ දර්ශනයකින් අපට ඥානාලෝකයක් ලැබෙයි කියා අපේක්ෂා කළ හැකිද? බැහැ. මන්ද එලිෂාගේ සේවකයාට නොතිබුණු යමක් අපට තිබෙන නිසයි. ඒ තමයි දර්ශන බොහොමයක් අඩංගු සම්පූර්ණ පොතක් වන බයිබලය. එයට පුළුවන් ස්වර්ගික සංවිධානය සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධියක් අපට ලබා දෙන්න. අපේ චින්තනය මෙන්ම අපේ ජීවිත මාර්ගය හරිගැස්වීමට එම ආනුභාවය ලත් වචනයෙහි මඟ පෙන්වන ප්‍රතිපත්තිත් සපයනවා. කෙසේවෙතත්, විචාර බුද්ධිය සොයන්නත්, යෙහෝවාගේ විධිවිධානය සම්බන්ධව අගයක් වර්ධනය කරගන්නත් අප වෑයමක් දැරිය යුතුයි. තවද පෞද්ගලික අධ්‍යයනය සමඟ යාච්ඤාවෙන් සහ මෙනෙහි කිරීමෙන් අපට එය ඉටු කරගත හැකියි.—රෝම 12:12; පිලිප්පි 4:6; 2 තිමෝති 3:15, 16.
වටහාගැනීමේ අදහසින් අධ්‍යයනය කිරීම
7. (අ) පෞද්ගලික බයිබල් අධ්‍යයනය සම්බන්ධයෙන් ඇතමුන්ට ඇතැම්විට ඇත්තේ මොන ගැටලුවද? (ආ) පෞද්ගලික අධ්‍යයනය සඳහා දරන උත්සාහය වටින්නේ ඇයි?
7 පාසැලේදී අධ්‍යයනය කිරීමෙන් ආස්වාදයක් නොලැබූ අය හෝ එහි නිරත වන්න අවස්ථාවක් නොලැබූ අය වැනි බොහෝදෙනෙකුට පෞද්ගලික අධ්‍යයනය කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රිය උපදවන අපේක්ෂාවක් නොවෙයි. කෙසේවෙතත්, අපේ අවබෝධය නමැති ඇස්වලින් යෙහෝවාගේ සංවිධානය වටහාගෙන අගය කරන්න අපට ඕනෑ නම්, අධ්‍යයනය කිරීම සඳහා ආශාවක් අප වර්ධනය කරගත යුතුය. සූදානමක් නැතුව රසවත් ආහාර වේලක් භුක්ති විඳින්න ඔබට පුළුවන්ද? රසවත් ආහාර වේලක් සූදානම් කරන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරන්න සිදු වෙනවා කියා ඕනෑම අරක්කැමියෙක් හෝ කෝකියෙක් ඔබට කියාවි. එහෙත්, පැය භාගයකින් හෝ ඊට අඩු කාලයකින් එය අනුභව කරන්න ඉඩ තිබෙනවා. අනික් අතට, පෞද්ගලික අධ්‍යයනයෙහි ප්‍රයෝජන ජීවිතාන්තය දක්වා පැවතිය හැකියි. අපට ලබාගත හැකි ප්‍රගතිය දකින විට, පෞද්ගලික අධ්‍යයනය අප අත් කරගන්නා රසයක් විය හැකියි. අප කෙරෙහිත්, අපේ ඉගැන්වීම කෙරෙහිත් නිරන්තර අවධානයක් දිය යුතු බවත්, ප්‍රසිද්ධ කියවීමෙහි දිගටම නිරතව සිටිය යුතු බවත් ප්‍රේරිත පාවුල් පැවසුවේ හොඳ හේතු ඇතුවයි. නිරන්තර වෑයමක් අවශ්‍ය වුණත්, ඉන් අත් වන ප්‍රයෝජන සදාකාලික විය හැකියි.—1 තිමෝති 4:13-16.
8. හිතෝපදේශය නිර්දේශ කරන්නේ මොන ආකල්පයද?
8 පුරාණයේ විසූ ප්‍රඥාවන්ත මිනිසෙක් මෙසේ පැවසුවා: “මගේ පුත්‍රය [හෝ දියණිය], ඔබ මගේ කියමන් භාරගෙන, මගේම ආඥා ඔබ තුළ නිදන් කරගෙන, ප්‍රඥාවට ඔබේ සවනින් අවධානය දී, විචාර බුද්ධියට ඔබේ හෘදය නැඹුරු කරන්නෙහි නම්, එසේය, ඔබ අවබෝධයට හඬගසා, විචාර බුද්ධිය වෙනුවෙන් ශබ්ද නඟන්නෙහි නම්, ඔබ රිදී මෙන් එය සොයමින්, සැඟවුණු නිධාන ගැන මෙන් එය ගැන විභාග කරන්නෙහි නම්, ඔබ යෙහෝවා කෙරෙහි භයවීම අවබෝධ කරගන්නෙහිය; දෙවිම පිළිබඳ වූ දැනුම අත් කරගන්නෙහිය.”—හිතෝපදේශ 2:1-5, NW.
9. (අ) “දෙවිම පිළිබඳ වූ දැනුම” සමඟ රන්වල වටිනාකම සැසඳෙන්නේ කෙසේද? (ආ) ඒකාන්ත දැනුම ලබාගැනීමට අපට ඕනෑ වන්නේ මොන මෙවලම්ද?
9 වගකීම කාටද තිබෙන්නේ කියා ඔබට හඳුනාගන්න පුළුවන්ද? නිතරම පාවිච්චි කර ඇති යෙදුම ‘ඔබ කරන්නෙහි නම්’ යන්නයි. ‘ඔබ සැඟවුණු නිධාන ගැන මෙන් එය ගැන විභාග කරන්නෙහි නම්’ යන ප්‍රකාශයත් සැලකිල්ලට ගන්න. දකුණු අප්‍රිකාවේ, බොලීවියාවේ, මෙක්සිකෝවේ සහ වෙනත් රටවල රිදී සහ රන් සඳහා සියවස් ගණනාවක් පුරා කැණීම් කළ පතල්කරුවන් ගැන ටිකක් සිතන්න. වටිනා ලෝහ ලබාගත හැකි වූ පර්වත හෑරීමට, ගල්කටු සහ ඉස්කෝප්ප උපයෝගි කරගනිමින් ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළා. ඔවුන් රන් කොතරම් අගය කොට සැලකුවාද කිවහොත්, අ.එ.ජ. කැලිෆෝනියාවේ එක පතලක, කිලෝමීටර් 1.5ක ගැඹුරක් දක්වා පහළට යමින්, ඔවුන් කිලෝමීටර් 591ක් දක්වා විහිදෙන උමං හෑරුවා. ඒ සියල්ල කළේ රන් සොයාගන්නයි. එහෙත්, රන් කෑමට ගන්න ඔබට පුළුවන්ද? බොන්න පුළුවන්ද? ඔබ කාන්තාරයක කුසගින්නෙන් සහ පිපාසයෙන් මියැදෙමින් සිටිනවා නම්, එයට පුළුවන්ද ඔබව පෝෂණය කරන්න? බැහැ. අන්තර්ජාතික වෙළඳපොළෙන් පැහැදිලි වන පරිදි, එහි වටිනාකම කෘත්‍රිම, හිතුමතේට නියම කළ, දිනපතා වෙනස් වන එකක්. ඒ කෙසේවෙතත්, ඒ වෙනුවෙන් මිනිසුන් මියගොස් තිබෙනවා. දැන්, ආත්මික රන්, එනම් “දෙවිම පිළිබඳ වූ දැනුම” ලබාගන්න කොතරම් වෑයමක් දැරීම වටිනවාද? ටිකක් සිතා බලන්න: අප කතා කරන්නේ විශ්වයේ පරමාධිපති ස්වාමි පිළිබඳ, ඔහුගේ සංවිධානය සහ ඔහුගේ අරමුණු පිළිබඳ වූ දැනුම ගැනයි! ඒ සම්බන්ධව, අපට ආත්මික ගල්කටු සහ ඉස්කෝප්ප භාවිත කළ හැකියි. ඒවා, යෙහෝවාගේ වචනය හාරා එහි තේරුම තේරුම්ගන්න අපට උපකාර කරන බයිබලය මත පදනම් ප්රකාශනයන්.—යෝබ් 28:12-19.
තීක්ෂ්ණ බුද්ධිය සඳහා හෑරීම
10. දානියෙල් දර්ශනයකින් දුටුවේ කුමක්ද?
10 යෙහෝවාගේ ස්වර්ගික සංවිධානය පිළිබඳ වූ දැනුම ලබාගැනීම ආරම්භ කිරීමට යම් ආත්මික හෑරීමක් කරමු. සැලකිය යුතු තීක්ෂ්ණ බුද්ධියක් ලබාගැනීමට, තම සිංහාසනයෙහි සිටින පුරාතන තැනැත්තා පිළිබඳව දානියෙල්ගේ දර්ශනයට පෙරළමු. දානියෙල් මෙසේ ලියයි: “මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. [ඔහුගේ] වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, [ඔහුගේ] හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; [ඔහුගේ] සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය, ගිනිමය ගංගාවක් [ඔහු] ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් [ඔහුට] සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද [ඔහු] ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.” (දානියෙල් 7:9, 10) යෙහෝවාට උපස්ථාන කරමින් සිටි මෙම දහස් ගණන කවුද? නව ලෝක පරිවර්තනයෙහි (ඉංග්‍රීසියෙන්) තීරු සටහන් “ගල්කටු” සහ “ඉස්කෝප්ප” හැටියට භාවිත කළොත්, ගීතාවලිය 68:17 සහ හෙබ්‍රෙව් 1:14 වැනි යොමු සටහන්වලට අපට මඟ පෙන්වයි. ඔව්, උපස්ථාන කරමින් සිටි අය දේවදූතයෝ!
11. එලිෂාගේ වදන් අවබෝධ කරගැනීමට දානියෙල්ගේ දර්ශනය අපට උපකාර කළ හැක්කේ කෙසේද?
11 දෙවි තම අණසක යටතේ තබාගන්නා සෑම ඇදහිලිවන්ත දේවදූතයෙකුවම තමා දුටු බව දානියෙල්ගේ වාර්තාව කියන්නේ නැහැ. තවත් දශලක්ෂ ගණන් සිටිනවා ඇති. එනමුත් “ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය” කියා එලිෂා පැවසුවේ ඇයි යන්න අපට දැන් සහතික ලෙසම අගය කරන්න පුළුවන්. නොඇදහිලිකාර දූතයන්ගෙන්, එනම් භූතයන්ගෙන් අනුබල ලැබුවත්, සිරියේ රජුගේ හමුදාවේ පිරිසට වඩා යෙහෝවාගේ ස්වර්ගික හමුදාවන් අතිශයින් වැඩියි!—ගීතාවලිය 34:7; 91:11.
12. දේවදූතයන් ගැන තවත් දැනගන්න ඔබට හැක්කේ කෙසේද?
12 ඇතැම්විට, යෙහෝවාට සේවය කිරීමේදී මෙම දේවදූතයන් දරන කාර්යය වැනි තවත් දේවල් ඔවුන් ගැන දැනගැනීමට ඔබ කැමති ඇති. දේවදූතයා සඳහා යොදන ග්‍රීක් වචනයෙහි තේරුමට “පණිවිඩකාරයා” යන අදහසත් මුසු වී ඇති නිසා, ඔවුන් පණිවිඩකාරයන් බවත් අපට පෙනී යනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ යුතුකම්වලට තවත් බොහෝ දේවල් ඇතුළත්. කෙසේනමුත්, ඒ කුමක්ද කියා සොයන්න නම්, ඔබ හෑරිය යුතුයි. ඔබට ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) ලබාගත හැකි නම්, “දේවදූතයන්” යන ලිපිය අධ්‍යයනය කරන්න ඔබට පුළුවන්, එසේ නැතහොත් දේවදූතයන් ගැන අතීතයෙහි මුරටැඹහි පළ වී තිබෙන ලිපි විමසා බලන්න පුළුවන්. දෙවිගේ මෙම ස්වර්ගික සේවකයන් ගැන ඔබට මොනතරම් දේවල් ඉගෙනගත හැකිද යන්න ගැන ඔබ පුදුමයට පත් වන අතරම, ඔවුන්ගෙන් ලැබෙන අනුබලය අගය කරන්නත් ඔබට පුළුවන් වේවි. (එළිදරව් 14:6, 7) කෙසේවෙතත්, දෙවිගේ ස්වර්ගික සංවිධානයෙහි ඇතැම් ආත්ම ජීවීන් විශේෂිත අරමුණු ඉටු කරනවා.
යෙසායා දුටු දේ
13, 14. යෙසායා දර්ශනයකින් දුටුවේ කුමක්ද? තවද මෙය ඔහුට බලපෑවේ කෙසේද?
13 දැන් අපි යෙසායාගේ දර්ශනය මදකට හාරා බලමු. ඔබ 6වන පරිච්ඡේදයෙහි, 1 සිට 7වන පදය දක්වා කියවද්දී, එය ඔබේ සිතට කාවැදිය යුතුයි. ‘යෙහෝවා සිංහාසනයක හිඳිනවා’ මෙන්ම ‘ඔහුට ඉහළින් සෙරාප්වරු සිටිනවා’ දුටු බව යෙසායා කියයි. ඔවුන් යෙහෝවාගේ තේජස ගැන ප්‍රකාශ කරමින්, ඔහුගේ ශුද්ධකම මහිමවත් කරමින් සිටියා. මෙම වාර්තාව කියවීම පවා ඔබට බලපෑ යුතුයි. යෙසායා කෙසේද ප්‍රතිචාරය දැක්වූයේ? “එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට [ෂෙයෝලයෙහි] විනාශය විය [නිශ්ශබ්දතාවට පැමිණුණා හා සමානයි, NW]; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වසන්නාවූ මම සේනාවල [යෙහෝවා රජු] මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.” එම දර්ශනය ඔහුගේ සිතට කොතරම් කාවැදුණාද! ඔබටත් එසේ කාවදිනවාද?
14 ඉතින් මෙම තේජාන්විත දසුන හමුවේ සිටින්න යෙසායාට හැකි වුණේ කෙසේද? සෙරාප්වරයෙක් ඔහුට පිහිට වී මෙසේ පැවසූ බව ඔහු පැහැදිලි කරයි: “නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේය.” (යෙසායා 6:7) දෙවිගේ දයාව කෙරෙහි දැඩි විශ්වාසයක් දක්වමින් යෙහෝවාගේ වදන්වලට අවධානය දෙන්න යෙසායාට හැකියාව තිබුණා. උසස් තනතුරක් හොබවන මෙම ආත්ම ජීවීන් ගැන තවත් දැනගන්න දැන් ඔබ කැමති නැද්ද? කැමති නම් කුමක් කළ යුතුද? තවත් තොරතුරු සඳහා හාරා බලන්න. මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්) යොදාගත හැකි එක මෙවලමක් වෙනවා. පැහැදිලි කරන තොරතුරු මූලාශ්‍ර රාශියකට එයින් කරන යොමු දැක්වීම් ඒ සඳහා උපයෝගි කරගත හැකියි.
එසකියෙල් දුටුවේ කුමක්ද?
15. එසකියෙල්ගේ දර්ශනය විශ්වාසකටයුතු එකක් කියා අඟවන්නේ කුමක්ද?
15 දැන් අප තවත් ආත්ම ජීවියෙකුට යොමු වෙමු. එසකියෙල් තවමත් බබිලෝනියෙහි වහල්භාවයෙහි සිටිද්දී දිරිගන්වනසුලු දර්ශනයක් දැකීමේ වරප්‍රසාදය ඔහුට ලැබුණා. ඔබේ බයිබලය එසකියෙල් පළමුවන පරිච්ඡේදයෙහි මුල් පද තුනට පෙරළන්න. එම වාර්තාව ආරම්භ වෙන්නේ කෙසේද? ‘එකමත් එක රටක, හුඟක් දුරබැහැර රටක . . . ’ යනුවෙන් එහි පැවසේද? නැහැ. මෙය මිථ්‍යාදෘෂ්ටික පසුබිමක් ඇති සුරංගනා කතාවක් නොවෙයි. මුල් පදයෙහි මෙසේ පැවසේ: “තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.” මෙම පදය ගැන ඔබේ අවධානයට ලක් වුණේ කුමක්ද? එය නිශ්චිත දිනයකුත් ස්ථානයකුත් සපයනවා. මෙම තොරතුරු යෙහෝයාඛීන් රජුගේ වහල්කමේ පස්වන අවුරුද්දටයි, එනම් පො.යු.පෙ. 613ටයි යොමු දක්වන්නේ.
16. එසකියෙල් දුටුවේ කුමක්ද?
16 යෙහෝවාගේ අත එසකියෙල් පිට පැමිණ, වළලු පුරාම ඇස් තිබුණු දැවැන්ත චක්‍ර සහිත අතිමහත් ස්වර්ගික රථයක තිබූ සිංහාසනයක් මත සිටි යෙහෝවා පිළිබඳ ගරුබිය දනවන දර්ශනයක් දකින්න ඔහු පටන්ගත්තා. සෑම චක්‍රයකම එක්කෙනා බැගින් සිටගෙන සිටි සත්වයන් සතරදෙනෙක් සිටීම තමයි අපේ උනන්දුවට හේතු වන කාරණය. “ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය. . . . ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය.”—එසකියෙල් 1:5, 6, 10.
17. කෙරුබ්වරුන්ගේ මුහුණු සතර නියෝජනය කරන්නේ කුමක්ද?
17 මෙම ජීවමාන සත්වයන් සතරදෙනා කවුද? ඔවුන් කෙරුබ්වරුන් වූ බව එසකියෙල්ම අපට කියයි. (එසකියෙල් 10:1-3, 14) ඔවුන්ට මුහුණු සතරක් තිබුණේ ඇයි? පරමාධිපති ස්වාමි වූ යෙහෝවාගේ කැපීපෙනෙන ගුණාංග සතර නියෝජනය කරන්නයි. රාජාලියාගේ මුහුණ දූරදර්ශී ප්‍රඥාවේ සංකේතයක් වුණා. (යෝබ් 39:27-29) ගවයාගේ මුහුණෙන් නියෝජනය කළේ කුමක්ද? තම බෙල්ලේ සහ උරහිස්වල පුදුමාකාර ශක්තිය යොදාගනිමින්, සටන් කරන ගවයෙකුට අශ්වයෙකුව සහ අසරුවාව ඉහළට විසි කිරීමට පුළුවන් බව දන්නා කාරණයක්. ගවයා යෙහෝවාගේ අසීමිත බලයේ සංකේතයක් බවට කිසිම සැකයක් නැහැ. ධෛර්යසම්පන්න යුක්තියේ සංකේතයක් වශයෙන් සිංහයාව යොදාගෙන තිබෙනවා. අවසාන වශයෙන්, ප්‍රේමය නමැති ගුණාංගය බුද්ධිමත්ව විදහාපෙන්වීමට හැකි එකම භූමික සත්වයා මිනිසා වන බැවින්, මනුෂ්‍ය මුහුණ යෝග්‍ය ලෙස දෙවිගේ ප්‍රේමය නියෝජනය කරයි.—මතෙව් 22:37, 39; 1 යොහන් 4:8.
18. ප්‍රේරිත යොහන් ස්වර්ගික සංවිධානය පිළිබඳ අපේ වැටහීමට යමක් එකතු කරන්නේ කෙසේද?
18 පින්තූරය සම්පූර්ණ කරන්න අපට උපකාර කළ හැකි තවත් දර්ශන තිබෙනවා. එළිදරව් නමැති බයිබල් පොතෙහි විස්තර කර ඇති යොහන්ගේ දර්ශන මෙයට ඇතුළත්. එසකියෙල් මෙන්, ඔහු කෙරුබ්වරුන් පිරිවරාගෙන තේජාන්විත සිංහාසනයක සිටින යෙහෝවාව දකියි. එම කෙරුබ්වරුන් කුමක්ද කරමින් සිටින්නේ? යෙසායා 6වන පරිච්ඡේදයෙහි සෙරාප්වරුන්ගේ ප්රකාශනය ප්රතිනාද කරමින් ඔවුන් මෙසේ කියයි: ‘සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රම වූ යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.’ (එළිදරව් 4:6-8) සිංහාසනය ළඟ බැටළුපැටවෙකුත් යොහන් දකියි. ඉන් නියෝජනය කිරීමට ඉඩ තිබෙන්නේ කාවද? දෙවිගේ බැටළුපැටවා වන යේසුස් ක්රිස්තුස්මයි.—එළිදරව් 5:13, 14.
19. මෙම අධ්‍යයනයෙන්, යෙහෝවාගේ සංවිධානය ගැන ඔබ වටහාගෙන ඇත්තේ කුමක්ද?
19 ඉතින් මෙම දර්ශන මගින් අප වටහාගෙන ඇත්තේ කුමක්ද? ස්වර්ගික සංවිධානයේ ඉහළම ස්ථානයෙහි සිටින්නේ යෙහෝවා දෙවි බවත්, ඔහු සමඟ වාක්‍යය නොහොත් ලෝගොස් නමැති බැටළුපැටවා වන යේසු ක්‍රිස්තුස් සිටින බවත්ය. ඊළඟට සෙරාප්වරුන් සහ කෙරුබ්වරුන් ඇතුළුව ස්වර්ගික දේවදූත සේනාවකුත් අප දැක තිබෙනවා. යෙහෝවාගේ අරමුණු ඉටු කරන දැවැන්ත, එක්සත් සංවිධානයට ඔවුන් අයත්ව සිටිනවා. එම අරමුණුවලින් එකක් වන්නේ, මෙම අන්තිම කාලයෙහි ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීමයි.—මාර්ක් 13:10; යොහන් 1:1-3; එළිදරව් 14:6, 7.
20. මීළඟ ලිපියෙහි උත්තර ලැබෙන්නේ මොන ප්‍රශ්නයටද?
20 අවසාන වශයෙන්, පරමාධිපති ස්වාමිගේ කැමැත්ත කිරීමට ඉගෙනගැනීම සඳහා තම රාජ්‍ය ශාලාවල රැස්වෙන මිහිපිට සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අප සමඟ සිටිනවා. සාතනුත් සත්‍යයෙහි සතුරනුත් සමඟ සිටින අයට වඩා අප සමඟ වැඩි පිරිසක් සිටින බවට දැන් අපට අවිවාදයෙන්ම අගය කළ හැකියි. උත්තර ලැබිය යුතු ප්රශ්නය මේකයි: රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට ස්වර්ගික සංවිධානය සම්බන්ධ වන්නේ කොහොමද? මෙම කාරණයත් තවත් ඒවාත් මීළඟ ලිපියෙහි පරීක්ෂා කෙරේ.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ යෙහෝවාගේ සංවිධානය අගය කිරීමට, අප කුමක් වටහාගත යුතුද?
◻ එලිෂාගේ සේවකයාට තිබුණේ මොන අද්දැකීමද? තවද අනාගතවක්තෘ ඔහුව දිරිගැන්වූයේ කෙසේද?
◻ අප පෞද්ගලික අධ්‍යයනය සැලකිය යුත්තේ කෙසේද?
◻ දානියෙල්, යෙසායා සහ එසකියෙල් ස්වර්ගික සංවිධානය පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ කෙසේද?
[13වන පිටුවේ පින්තූරය]
හොඳින් සූදානම් කළ ආහාර වේලකට වඩා පෞද්ගලික අධ්‍යයනයෙහි ප්‍රයෝජන බොහෝ කල්පවතී
[15වන පිටුවේ පින්තූරය]
එලිෂාගේ යාච්ඤාවට යෙහෝවාගේ පිළිතුර වූයේ ස්වර්ගික සේනා සහිත දර්ශනයක්