බයිබල් පොත් අංකය 33—මීකා
ලේඛකයා: මීකා
ලියූ ස්ථානය: යූදා
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 717ට පෙර
ආවරණය කළ කාලය: පො.යු.පෙ. 777-717 පමණ
වසර ගණනාවක් විශ්වාසවන්තව යෙහෝවාට සේවය කළ මේරූ මිනිසෙකු ගැන සිතන්න. තම ජාතියේ පාලකයන්ට පහත සඳහන් පරිදි පැවසීමට තරම් නිර්භීත වූ මිනිසෙකු ගැන කල්පනා කර බලන්න. ‘නුඹලා යහපතට ද්වේෂ කොට නපුරට ප්‍රේම වන්නෝය. මාගේ සෙනඟගේ මාංස කන්නෝය. ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගලවන්නේය.’ යෙහෝවාගේ ආත්මයෙන් තමා කළ ප්‍රබල ප්‍රකාශයන් සඳහා සැමවිටම යෙහෝවාට ප්‍රශංසාව පිරිනමන නිහතමානි මිනිසෙකු ගැන සිතන්න. එබඳු මිනිසෙකුව දැනහඳුනා ගන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් එය සතුටට හේතුවක් ලෙස ඔබ සලකන්නේ නැද්ද? ඔහුට පිරිනැමිය හැකි තොරතුරු හා නැණවත් උපදෙස් සම්භාරය කොතරම්ද! අනාගතවක්තෘ මීකා එබඳු මිනිසෙකු විය. ඔහුගේ විශිෂ්ට උපදෙස්වලින් සමහරක් අදත් අපට ඔහුගේ නම දරන පොතෙන් ලබාගත හැක.—මීකා 3:2, 3, 8.
2 අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙකු සම්බන්ධයෙන් සැබෑවක් වන්නාක් මෙන්ම, මීකා ගැනත් ඔහුගේ පොතෙහි පවසා ඇත්තේ තොරතුරු අල්පයකි. වැදගත් වූයේ පණිවිඩයයි. මීකා යන නාමය මිකායෙල් (අර්ථය, “දෙවි හා සමාන කවුද?”) නැතහොත් මීකයියා (අර්ථය, “යෙහෝවා හා සමාන කවුද?”) යන්නෙහි කෙටි කර දැක්වීමකි. ඔහු අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළේ යෝතාම්, ආහාස් සහ හෙසකියා (පො.යු.පෙ. 777-717) යන රජවරුන්ගේ පාලන කාලයේදීය. මේ අනුව ඔහු අනාගතවක්තෘවරුන් වූ යෙසායා සහ හොෂෙයාගේ සමකාලීනයෙකු විය. (යෙසා. 1:1; හොෂෙ. 1:1) ඔහු අනාවැකි පැවසූ නිවැරදි කාලපරිච්ඡේදය නිශ්චිතවම සඳහන් කළ නොහැකි වුවත් එය උපරිම වශයෙන් වසර 60ක් වේ. සමාරියේ නටඹුන් ගැන ඔහු පැවසූ අනාවැකි පො.යු.පෙ. 740දී නගරය විනාශ වීමට කලින් පැවසූ ඒවා විය යුතු අතර, සම්පූර්ණ ලියවිල්ල පො.යු.පෙ. 717දී හෙසකියාගේ රාජ්‍ය පාලනයේ අගභාගය වන විට අවසන් කළා විය හැක. (මීකා 1:1) මීකා වනාහි නිරිතදිග යෙරුසලමේ සරුසාර ෂෙෆීලා ප්‍රදේශයේ පිහිටි මොරෂ්තිය නම් පිටිසර ගමකින් පැමිණි අනාගතවක්තෘවරයෙකි. ගැමි ජීවිතය සමඟ තිබූ ඔහුගේ සමීප සබඳතාව, ඔහුගේ ප්රකාශයන්හි සඳහන් කරුණු හොඳින් කාවැද්දවීම සඳහා ඔහු භාවිත කළ නිදසුන්වලින් පැහැදිලි වේ.—2:12; 4:12, 13; 6:15; 7:1, 4, 14.
3 මීකා ජීවත් වූයේ අනතුරුදායක නමුත් වැදගත් කාලයකය. ඊශ්‍රායෙල් හා යූදා රාජ්‍යයන් සඳහා බියකරු විපතක් ළඟා වෙමින් පැවති බව වේගයෙන් සිදු වූ සිද්ධීන් මගින් පැහැදිලි විය. සදාචාර පිරිහීමද පිළිම වන්දනාවද ඊශ්‍රායෙලය පුරා පැතිර තිබිණ. පෙනෙන විදියට මීකා ජීවත්ව සිටි කාලයේදී එම තත්වය අෂූර්වරුන් අතින් ඊශ්‍රායෙලය විනාශ වීමට හේතු විය. යූදා යෝතාම්ගේ පාලන සමයේදී හරි දේ කළත් ආහාස්ගේ කැරලිකාර පාලන කාලයේදී ඊශ්‍රායෙල්වරුන් මෙන් දුෂ්ටකම් කරන්නට විය. පසුව නැවතත් හෙසකියාගේ පාලන සමයේදී යළි ප්‍රකෘතිමත් තත්වයට පැමිණියේය. මෙසේ යූදා ඉතා අවිනිශ්චිත තත්වයක පසු විය. තමා ඔවුන් පිටට ගෙනෙමින් තිබූ දෙය පිළිබඳව සෙනඟට අනතුරු ඇඟවීමට යෙහෝවා මීකාව නැඟිටෙව්වේය. මීකාගේ අනාවැකි මගින් යෙසායාගේ සහ හොෂෙයාගේ අනාවැකි තහවුරු විය.—2 රාජා. 15:32–20:21; 2 ලේක. පරි. 27-32; යෙසා. 7:17; හොෂෙ. 8:8; 2 කොරි. 13:1.
4 මීකාගේ පොතේ විශ්වාසවන්තභාවය සනාථ කිරීමට සාක්ෂි බහුලව තිබේ. එය, පිළිගත් හෙබ්‍රෙව් පොත්වල කොටසක් වශයෙන් යුදෙව්වරු සැමවිටම පිළිගත්හ. යෙරෙමියා 26:18, 19හි වදන් කෙළින්ම යොමු දැක්වෙන්නේ මීකාගේ මෙම වදන්වලටයි. “සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය. යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.” (මීකා 3:12) පොදු යුගයට පෙර 607දී බබිලෝනීය රජු, යෙරුසලම “නටඹුන් වන පිණිස” සම්පූර්ණයෙන්ම බිඳ හෙළා දැමූ විට මෙම අනාවැකිය නිවැරදිව ඉටු විය. (2 ලේක. 36:19, NW) සමාරිය “කෙතේ නටඹුන් ගොඩක්” බවට පත් වනවා යනුවෙන් පැවසූ අනාවැකියද ඒ හා සමානව ඉටු විය. (මීකා 1:6, 7, NW) පොදු යුගයට පෙර 740දී අෂූර්වරුන් ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය වහල්භාවයට ගත් විට සමාරිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදි. (2 රාජා. 17:5, 6) පසුව, මෙම උතුරු රාජ්‍යය පො.යු.පෙ. හතරවන සියවසේදී මහ ඇලෙක්සැන්ඩර් විසින් අත් පත් කරගනු ලැබූ අතර, පො.යු.පෙ. දෙවන සියවසේ විසූ Iවන ජෝන් හයිකනස්ගේ පාලන සමයේදී යුදෙව්වරුන් විසින් පාළු කරන ලදි. සමාරියේ මෙම අවසාන විනාශය සම්බන්ධයෙන් එක් ශබ්දකෝෂයක (The New Westminister Dictionary of the Bible, 1970, 822වන පිටුව) මෙසේ සඳහන් වේ. “ආරක්ෂිත නගරයක් කෙදිනක හෝ කන්දේ පිහිටා තිබූ බවට වූ සියලුම සාක්ෂි මකා දැමීමට වෑයම් කරමින්, ජයග්‍රාහකයා එය සුනු විසුනු කළේය.”
5 පුරාවිද්‍යාත්මක සාක්ෂිද එහි හඬ එක් කරමින් මීකාගේ අනාගතවාක්‍යයේ ඉටුවීම් තහවුරු කරයි. අෂූර්වරුන් විසින් සමාරිය විනාශ කරනු ලැබූ බව ඔවුන්ගේ ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. නිදසුනක් ලෙස, අෂූර්හි රජ සර්ගොන් මෙසේ පුරසාරම් දෙඩීය. “මම සමාරිය (සා-ම-රි-නා) වටලා එය ජයගත්තෙමි.”a කෙසේවෙතත්, ජයග්‍රහණය සම්පූර්ණ කළ තැනැත්තා සර්ගොන්ගේ පූර්වගාමියා වූ Vවන ෂල්මනෙසෙර් විය හැක. බබිලෝනීය ඓතිහාසික වාර්තාවක, ෂල්මනෙසෙර් ගැන මෙසේ සඳහන් වේ. “ඔහු සමාරිය සම්පූර්ණයෙන් විනාශ කළේය.”b මීකා විසින් පුරෝකථනය කළ පරිදි, හෙසකියාගේ රාජ්‍ය පාලන සමයේදී යූදාගේ ආක්‍රමණය, සෙනකෙරිබ් විසින් මැනවින් වාර්තා කරන ලදි. (මීකා 1:6, 9; 2 රාජා. 18:13) නිනිවයේ පිහිටි තමාගේ මාලිගාවේ, ලාකීෂ්හි අල්ලාගැනීම විචිත්‍රවත්ව විස්තර කරන විශාල බිතුසිතුවම් සතරක් ඔහු නිර්මාණය කළේය. ඔහු තමාගේ ප්‍රිස්මය තුළ මෙසේ සඳහන් කරයි. “මම ඔහුගේ බලවත් නගර 46ක් වැටලුවෙමි . . . මම මිනිසුන් 2,00,150ක් පලවා හැරියෙමි . . . කූඩුවක සිටින කුරුල්ලෙකු මෙන් ඔහුව යෙරුසලමේ සිය රාජ මාලිගාවේම සිරකරුවෙකු කළෙමි.” හෙසකියා ඔහුට ගෙවූ කප්පම ඔහු ලැයිස්තුගත කළත්, එම ප්‍රමාණය ඔහු වැඩි කොට සඳහන් කරයි. ඔහුගේ හමුදාවට මුහුණ දීමට සිදු වූ විපත ගැන කිසිවක් ඔහු සඳහන් නොකරයි.c—2 රාජා. 18:14-16; 19:35.
6 මෙසියස්ගේ උපත සිදු වන ස්ථානය පුරෝකථනය කරන මීකා 5:2හි සඳහන් සුවිශේෂ වූ අනාවැකිය, පොත දේවානුභාවයෙන් ලියන ලද්දක් බව සක්සුදක් සේ පැහැදිලි කරයි. (මතෙ. 2:4-6) එමෙන්ම ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සඳහන් ප්‍රකාශයන් සමඟ සමාන්තරව දිවෙන කොටස්ද දැකිය හැක.—මීකා 7:6, 20; මතෙ. 10:35, 36; ලූක් 1:72, 73.
7 මීකා යූදාහි ගැමි ප්‍රදේශයකින් පැමිණියත්, අදහස් ප්‍රකාශ කිරීමේදී ඔහුට අපහසුබවක් තිබුණ බව නම් නොපෙනේ. දේවවචනයෙහි අඩංගු විශිෂ්ටතම ප්‍රකාශ සමහරක් ඔහුගේ පොතෙහි සඳහන් වේ. හයවන පරිච්ඡේදය සිත් ඇදගන්නා දෙබස් ස්වරූපයකින් ලියා ඇත. මීකා එක් විෂයකින් තවත් විෂයකට ක්ෂණිකව මාරු වෙමින් පාඨකයාගේ අවධානය ඇදගනියි. ශාප කිරීම ගැනද අනතුරුව ආශීර්වාද කිරීම ගැනද නැවතත් ශාප ගැනද ඔහු විස්තර කරයි. (මීකා 2:10, 12; 3:1, 12; 4:1) විචිත්‍රවත් භාෂා විලාසයක් බහුලව දැකිය හැක. යෙහෝවා තමන්ගේ ස්ථානයෙන් පිටත්ව බැස එන විට, “කඳු දියවන්නේය. ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරු වන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.”—1:4; 7:17ද බලන්න.
8 පොත කාණ්ඩ තුනකට බෙදිය හැක. සෑම කාණ්ඩයක්ම “අසන්න” යනුවෙන් ආරම්භ වන අතර තරවටු කිරීම්, දඬුවම් පිළිබඳ අනතුරු ඇඟවීම් සහ ආශීර්වාද කරන බවට පොරොන්දුවලින් සමන්විතය.
ප්‍රයෝජනවත් වීමට හේතුව
16 වසර 2,700කට පමණ පෙර මීකාගේ අනාවැකි ‘හික්මවීම සඳහා ඉතා ප්‍රයෝජනවත්’ වූ බව තහවුරු විය. මන්ද යූදාහි රජු වූ හෙසකියා ඔහුගේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වා, පසුතැවිලි වීමට ජාතියට මඟ පෙන්වමින් ආගමික ප්රතිසංස්කරණයක් කළ බැවිනි. (මීකා 3:9-12; යෙරෙ. 26:18, 19; සසඳන්න 2 රාජා. 18:1-4) අද දින මෙම දේවානුභාවය ලත් අනාවැකිය ඊටත් වඩා ප්‍රයෝජනදායකය. දෙවිගේ නමස්කාරකයන්යයි කියාගන්නාවූ සියල්ලෙනි, බොරු ආගමට, රූප නමස්කාරයට, බොරු කීමට සහ සැහැසිකමට එරෙහිව මීකා කළ පැහැදිලි අනතුරු ඇඟවීම්වලට කන් දෙන්න! (මීකා 1:2; 3:1; 6:1) පාවුල් මෙම අනතුරු ඇඟවීම් තහවුරු කරමින් 1 කොරින්ති 6:9-11හි සැබෑ ක්‍රිස්තියානීන්ව සෝදා පවිත්‍ර කර තිබෙන බවත්, එම වගන්තිවල සඳහන් ක්‍රියාවන්වල නිරතවන්නන් දේවරාජ්‍යය උරුම කර නොගන්නා බවත් පවසයි. මීකා 6:8හි සරලව හා පැහැදිලිව සඳහන් කරන ආකාරයට යෙහෝවා මිනිසාගෙන් ඉල්ලා සිටින්නේ යුක්තිය, කරුණාව, නිහතමානීකම ඇතුව ඔහු සමඟ ගමන් කරන්න කියාය.
17 මීකා සිය පණිවිඩය ප්‍රකාශ කළේ ‘මනුෂ්‍යයෙකුගේ සතුරන් තමාගේම පවුලේ අය’ වන තරමටම බෙදී සිටි ජනයන් අතරෙහිය. සැබෑ ක්‍රිස්තියානීහු බොහෝවිට දේශනා කරන්නේ ඒ හා සමාන තත්වයන් යටතේ වන අතර, ඇතැම් අය තමාගේම පවුලේ සාමාජිකයන්ගෙන් පවා දරුණු පීඩා සහ ද්‍රෝහිකම් අද්දකිති. ඔවුන් සැමවිටම ‘ඔවුන්ගේ ගැලවීමේ දෙවි’ වන යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටීම අවශ්‍යය. (මීකා 7:6, 7; මතෙ. 10:21, 35-39) පීඩාවලට මුහුණ දෙන විට හෝ දුෂ්කර පැවරුමක් ඉටු කිරීමට සිදු වන විට යෙහෝවා කෙරෙහි නිර්භීතව රඳා සිටින අය, මීකා මෙන් “යෙහෝවාගේ ආත්මය ඇතුව, බලයෙන් . . . පූර්ණව” ඔහුගේ පණිවිඩය ප්‍රකාශ කරනු ඇත. එවන් නිර්භීතකමක්, විශේෂයෙන්ම “යාකොබ්ගේ ඉතිරි වූ අය” අතරෙහි දැකිය හැකි බවට මීකා අනාවැකි කීවේය. මොවුන් “ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද . . . සිටින සිංහයෙකු” හා යෙහෝවා වෙතින් පැමිණෙන නැවුම් පිනි සහ වැහි බිංදු හා සමාන වනු ඇත. පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් බවට පත් වූ ‘ඊශ්‍රායෙල්ගේ (යාකොබ්ගේ) ඉතිරි අය’ අතරෙහි මෙම ගුණාංග පැහැදිලිව දැකගත හැකි විය.—මීකා 3:8; 5: 7, 8; රෝම 9:27; 11:5, 26.
18 මීකාගේ අනාවැකිය ඉටු කරමින් බෙත්ලෙහෙමේදී සිදු වූ යේසුස්ගේ උපත, පොත දේවානුභාවයෙන් ලියනු ලැබූ බව තහවුරු කරනවා පමණක් නොව, අවට පාඨ සම්බන්ධය වටහාගැනීමටද උපකාරවත් වේ. එම අවට පාඨ ක්‍රිස්තුස් යේසුස් යටතේ පැමිණෙන දේවරාජ්‍යය පිළිබඳ අනාවැකියක් හා සම්බන්ධයි. යේසුස් වනාහි තම යාගය මත ඇදහිල්ල තබන සියල්ලන්ට ජීවනදායක ප්‍රයෝජන අත් කර දෙමින් බෙත්ලෙහෙමෙන් (කෑම නමැති ගෘහයෙන්) නික්ම ආ තැනැත්තාය. ‘යෙහෝවාගේ බලයෙන් රැළ පෝෂණය කරමින්’ උතුම්ව සිට යළි පිහිටුවනු ලැබූ දෙවිගේ එක්සත් කරන ලද රැළ අතරෙහි සමාදානය පොළොවේ කෙළවර දක්වා විහිදුවාලන්නේ ඔහුය.—මීකා 5:2, 4; 2:12; යොහ. 6:33-40.
19 “බොහෝ ජාතීන්” යෙහෝවාගේ මඟ පෙන්වීම සොයන “මතු දවස් [දවස්වල අවසාන කොටස, NW]” සම්බන්ධව මීකාගේ අනාවැකියෙන් ඉමහත් දිරිගැන්වීමක් ලබාගත හැක. “ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත. තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය වදාළේය.” ඔවුහු සියලු බොරු නමස්කාරයන් අත්හරිමින් “අපිද අපේ දෙවිවූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමු” නමැති මෙම වදන් තහවුරු කරමින් මීකා සමඟ එක් වෙති. සැබවින්ම, මෙම අතිවැදගත් සිදුවීම් පිළිබඳව පූර්වාදර්ශනයක් සපයන මීකාගේ අනාවැකිය ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරයි. සදාකාල පරමාධිපති හා රජු වශයෙන් යෙහෝවාව මහිමවත් කිරීමෙහිලා එය කැපීපෙනෙයි. මෙම වදන් කෙතරම් හද දනවනසුලුද. “යෙහෝවා සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම් කරන්නේය”!—මීකා 4:1-7; 1 තිමෝ. 1:17.
[පාදසටහන්වල]
a වර්ෂ 1974, ජේම්ස් බී. ප්රිචඩ් විසින් සම්පාදිත, ඒන්ෂන්ට් නියර් ඊස්ටන් ටෙක්ස්ට්හි, 284 පිටුව.
b වර්ෂ 1975, ඒ. කේ. ග්‍රේසන් විසින් සම්පාදිත, ඇසිරියන් ඇන්ඩ් බැබිලෝනියන් ක්‍රොනිකල්ස්, 73 පිටුව.
c වර්ෂ 1974 ඒන්ෂන්ට් නියර් ඊස්ටන් ටෙක්ස්ට්, 288 පිටුව; ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, (සිංහලෙන් නැත) 2 වෙළුම, 894-5 පිටු.