නමට උචිත යෙරුසලමක්
‘මා විසින් මවන දෙය ගැන සදාකාලයටම සතුටුව ප්‍රීති වෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්රීතිමත්කමක් කොට මවමි.’—යෙසායා 65:18.
1. දෙවිගේ තෝරාගත් නුවර ගැන එස්රාට හැඟුණේ කෙසේද?
දේවවචනයේ තියුණු ශිෂ්‍යයෙක් හැටියට, යූදා පූජක එස්රා, වරක් යෙහෝවාගේ නිර්මල නමස්කාරයත් යෙරුසලමත් අතර තිබූ සම්බන්ධය අගය කළා. (ද්විතීය කථාව 12:5; එස්රා 7:27) ඔහු ලිවීමට ආනුභාවය ලැබූ බයිබලයේ කොටසක් වන පළමුවන සහ දෙවන ලේකම් මෙන්ම එස්රා යන පොත්වල, දෙවිගේ නුවර කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය එළිදරව් කර තිබෙනවා. මුළු බයිබලයෙහිම 800කට වඩා වැඩි වතාවක් දැකිය හැකි යෙරුසලම කියන නමෙන් හතරෙන් පංගුවක්ම වාගේ මෙම ඓතිහාසික වාර්තාව තුළින් සොයාගත හැකියි.
2. යෙරුසලම යන නාමය එස්රා සමහර අවස්ථාවලදී වාර්තා කළේ කෙසේද? එමෙන්ම, මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
2 බයිබලය ලියූ හෙබ්‍රෙව් භාෂාවෙහි, “යෙරුසලම” යන්න හෙබ්‍රෙව් භාෂාවෙහි ද්විත්ව ස්වරූපය ලෙස හඳුන්වන ස්වරූපයකින් තැබූ බව තේරුම්ගත හැකියි. ද්විත්ව ස්වරූපය බොහෝ අවස්ථාවලදී පාවිච්චි කළේ, ඇස්, කන්, අත්, පා වැනි යුගළ වස්තූන් සඳහායි. මෙම ද්විත්ව ස්වරූපය තුළ, යෙරුසලම යන නම, දෙවිගේ සෙනඟ අද්දකින්න යන දෙවැදෑරුම් සමාදානයක අනාවැකියක් ලෙස දැක්විය හැකියි. ඒවා, ආත්මික සහ ශාරීරික ලෙස දැක්විය හැකියි. එස්රා මෙය සම්පූර්ණයෙන්ම තේරුම්ගත්තාද නැද්ද කියා බයිබලය හෙළි කරන්නේ නැහැ. කෙසේවෙතත්, දෙවි සමඟ සමාදානය භුක්ති විඳීමට යුදෙව්වන්ට උපකාර කිරීම සඳහා පූජකයෙක් හැටියට ඔහු තම උපරිමය කළා. එමෙන්ම, යෙරුසලම එහි නමේ අර්ථයට ගැළපෙන ආකාරයෙන් තිබීම සඳහා, නිසැකවම ඔහු වෙහෙස වී වැඩ කළා. එහි අර්ථය තමයි, “දෙවැදෑරුම් සමාදානයේ උරුමය [හෝ පදනම].”—එස්රා 7:6.
3. යළිත් වරක් එස්රාගේ ක්‍රියාකාරකම් අපට හඳුන්වා දෙන්නේ අවුරුදු කීයකට පසුවද? එමෙන්ම, ඔහුව හමු වන්නේ කිනම් තත්වයන්වලදීද?
3 යෙරුසලමට එස්රාගේ පැමිණීමත්, නුවරට නෙහෙමියාගේ පැමිණීමත් අතර ගත වුණු දොළොස් අවුරුදු කාලය තුළ එස්රා සිටියේ කොහේද කියා බයිබලය සඳහන් කරන්නේ නැහැ. එම කාලපරිච්ඡේදය තුළ ජාතියේ දුර්වල ආත්මිකත්වය එස්රා එහි සිටියේ නැති බව අඟවනවා. කෙසේවෙතත්, නුවර තාප්පය නැවත ඉදි කළාත් සමඟම, එස්රා නැවතත් ඇදහිලිවන්ත පූජකයෙක් ලෙස යෙරුසලමෙහි සේවය කළ බව අපට පෙනෙන්න තිබෙනවා.
මවිතකර එක්රැස්වීමේ දවසක්
4. ඉශ්‍රායෙල්ගේ හත්වන මාසයේ පළමුවනදා සම්බන්ධයෙන් ඇත්තේ කිනම් විශේෂත්වයක්ද?
4 යෙරුසලමේ තාප්පය ඉදි කිරීමේ වැඩ, හරියටම තිෂ්රි නමැති උත්සව මාසය වෙද්දී අවසන් කළා. එය ඉශ්රායෙල්වරුන්ගේ ආගමික දින දර්ශනයට අනුව හත්වන මාසයයි. තිෂ්රි මාසයේ පළමු දවස, හොරණෑ පිඹීමේ උත්සවය ලෙස හැඳින්වූ විශේෂ නව සඳ මංගල්‍යයක් වුණා. එම දවසේදී, යෙහෝවාට යාග පූජා ඔප්පු කරන අතරෙහි, පූජකයන් හොරණෑ පිම්බා. (ගණන් කථාව 10:10; 29:1) මෙම දවස, තිෂ්රි දහවනදා පැවැත්වූ වාර්ෂික සමඟි කිරීමේ දවසටත්, එම මාසයේම 15වනදා සිට 21වනදා දක්වා පැවැත්වූ ප්‍රීතිමත් රැස් කිරීමේ මංගල්‍යයටත් ඉශ්රායෙල්වරුන්ව සූදානම් කෙරුවා.
5. (අ) එස්රා සහ නෙහෙමියා “හත්වෙනි මාසයේ පළමුවෙනි” දවසින් හොඳ හැටි ප්‍රයෝජන ගත්තේ කිනම් ආකාරයටද? (ආ) ඉශ්රායෙල්වරුන් වැලපුණේ මන්ද?
5 පෙනෙන විදිහට, නෙහෙමියාගේ සහ එස්රාගේ දිරිගැන්වීම පිට, “හත්වෙනි මාසයේ පළමුවෙනිදා” ‘මුළු සෙනඟ රැස් වුණා.’ පුරුෂයන්, ස්ත්‍රීන් මෙන්ම “අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්” ඊට ඇතුළත් වුණා. මෙසේ, “පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා” එස්රා කුඩා වේදිකාවක් මත සිටගෙන ව්‍යවස්ථාව කියවන විට, කුඩා දරුවන්ද එහි සිටි අතර, ඔවුන් සාවධානීව සිටියා. (නෙහෙමියා 8:1-4) කියෙවූ දෙය පහසුවෙන් තේරුම්ගැනීමට හැකි වන පිණිස ලෙවීවරුන් විධිමත් ආකාරයකට විටින් විට සෙනඟට උපකාර කළා. දෙවිගේ ව්‍යවස්ථාවට කීකරු වීමෙන් තම පියවරුන් මොනතරම් පහත වැටී සිටියාද කියා තේරුම්ගත් නිසා, එය ඇසූ ඉශ්රායෙල්වරුන් ඇඬුවා.—නෙහෙමියා 8:5-9.
6, 7. වැලපෙන යුදෙව්වන්ව නෙහෙමියා ඉන් වැළැක්වීමෙන්, ක්‍රිස්තියානීන්ට උගත හැක්කේ කුමක්ද?
6 එහෙත් මෙය අඬා වැලපෙන්න කාලයක් නොවූ අතර, එය උත්සව අවස්ථාවක් වුණා. මන්ද, සෙනඟ යෙරුසලමේ තාප්පය නැවත ඉදි කිරීමේ වැඩය සම්පූර්ණ කළා විතරයි. එමනිසා, නෙහෙමියා මෙසේ කියමින් ඔවුන්ගේ මනස් සහ ආකල්ප නිවැරදි රාමුවකට දමාගන්න උපකාර කළා: “නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ [යෙහෝවාට] ශුද්ධය. [යෙහෝවා] කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්න.” ඊට කීකරු වෙමින්, “මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.”—නෙහෙමියා 8:10-12.
7 මේ සිද්ධියෙන් අදදින සිටින දෙවිගේ සෙනඟට බොහෝ දේ උගත හැකියි. රැස්වීම්වල සහ එක්රැස්වීම්වල කොටස් ඉදිරිපත් කරන්න පැවරුම් ලබන අය ඉහත සඳහන් කළ දේ මනසේ තබාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී, අවශ්‍ය කරන නිවැරදි කිරීමේ උපදෙස් සැපයීමට අමතරව, එවැනි අවස්ථා දෙවිගේ අවශ්‍යතා ඉටු කිරීමෙන් ගෙනෙන ප්‍රයෝජන සහ ආශීර්වාද උලුප්පා දක්වනවා. ඔවුන් කර ඇති හොඳ වැඩ සඳහා දෙවිගේ සෙනඟට ප්‍රශංසාවද, විඳදරාගැනීම සඳහා දිරිගැන්වීමද දෙනු ලබනවා. දෙවිගේ වචනය තුළින් ලද ගොඩනංවනසුලු උපදෙස් නිසා දෙවිගේ සෙනඟ එවැනි එක්රැස්වීම්වලින් පසු ප්‍රීතිමත් හෘදයෙන් පිට වී යා යුතුයි.—හෙබ්‍රෙව් 10:24, 25.
තවත් ප්‍රීතිමත් එක්රැස්වීම
8, 9. හත්වන මාසයේ දෙවනදා කිනම් විශේෂ රැස්වීමක් පැවැත්වුණාද? එමෙන්ම, එයින් දෙවිගේ ජනයාට අත් වූ ප්‍රතිඵලය කුමක්ද?
8 එම විශේෂ මාසයේ දෙවන දවසේදී, “මුළු සෙනඟගේ පියවංශවල ප්‍රධානියෝද පූජකයෝද ලෙවීවරුද ව්‍යවස්ථාවේ වචන කල්පනාකරන පිණිස ලියන්නාවූ එස්රා වෙතට රැස්වුණෝය.” (නෙහෙමියා 8:13) එස්රා “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකරගත්” නිසා, මෙම රැස්වීම පැවැත්වීමට ඔහු හොඳින්ම සුදුසුකම් ලැබ සිටියා. (එස්රා 7:10) දෙවිගේ සෙනඟ ව්‍යවස්ථා ගිවිසුම වඩා සමීප ලෙස පිළිපැදිය යුතු පැති මෙම රැස්වීමේදී උලුප්පා දැක්වූ බවට කිසිම සැකයක් නැහැ. හදිසි සැලකිල්ලක් දැක්විය යුතුව තිබුණේ, පැමිණෙමින් තිබූ කූඩාරම් මංගල්‍යය සැමරීම සඳහා සුදුසු පෙර සූදානම ගැනයි.
9 සතිය පුරා පැවැත්වූ මෙම මංගල්‍යය නිවැරදි ආකාරයෙන් සිදු කළ අතර, විවිධ ගස්වල කොළ අතුවලින් තාවකාලික වාසස්ථාන තනාගෙන සියලුදෙනාම ඒවායේ වාසය කළා. සෙනඟ තම තමන්ගේ පියසි උඩත්, ගෘහ මිදුල්වලත්, දේවමාළිගාවේ මිදුල්වලත්, යෙරුසලමේ එළිමහන්වලත් මෙම කූඩාරම් තනාගත්තා. (නෙහෙමියා 8:15, 16) සෙනඟ රැස් කරවා, ඔවුන්ට ඇසෙන පිණිස දෙවිගේ ව්‍යවස්ථාව කියවීමට ලැබීම මොනතරම් කදිම ප්‍රස්තාවක් වුණාද! (ද්විතීය කථාව 31:10-13 සසඳන්න.) මෙය “පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා” සෑමදාම සිදු කළා. ප්‍රතිඵලයක් හැටියට, දෙවිගේ සෙනඟ “ඉතා මහත් සන්තෝෂයක්” අද්දැක්කා.—නෙහෙමියා 8:17, 18.
අප දෙවිගේ ගෘහය නොසලකා නොහැරිය යුතුයි
10. හත්වන මාසයේ 24වනදා විශේෂ එක්රැස්වීමක් සැලසුම් කළේ මන්ද?
10 දෙවිගේ සෙනඟගේ බරපතළ අඩු ලුහුඬුකම් නිවැරදි කිරීමට උචිත තැනක්-වේලාවක් තිබෙනවා. පෙනෙන හැටියට, මෙය එවැනි කාලයක් ලෙස වටහාගත් එස්රා සහ නෙහෙමියා, තිෂ්රි මාසයේ 24වනදා නිරාහාරව සිටීම සඳහා සැලසුම් කළා. නැවතත් දෙවිගේ ව්‍යවස්ථාව කියෙව්වා. සෙනඟ තම තමන්ගේ පව් ගැන පසුතැවිලි වුණා. ඉන්පසු, අතීතයේ දෙවිගේ හිතුවක්කාර සෙනඟ සමඟ දෙවි දයාන්විත ලෙස ක්‍රියා කළ ආකාරය ලෙවීවරුන් විසින් පුනරීක්ෂණය කළා. එමෙන්ම, යෙහෝවාට ප්‍රශංසාව ගෙනෙන අලංකාර වර්ණනාවන් කළ අතර, ඔවුන්ගේ අධිපතීන්, ලෙවීවරුන් සහ පූජකයන් විසින් ‘ස්ථිර වූ ගිවිසුමකට’ එළඹ, එය මුද්‍රා කර තැබුවා.—නෙහෙමියා 9:1-38.
11. යුදෙව්වන් කිනම් “ස්ථිරවූ ගිවිසුම” සඳහා තමන්ව යටත් කරගත්තාද?
11 ලියූ මෙම “ස්ථිරවූ ගිවිසුම” ක්‍රියාත්මක කිරීමට සමස්තයක් හැටියට සෙනඟ දිවුරුම් දුන්නා. ඔවුන් සැබෑ ‘දෙවිගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්න’ යන අතර, “දේශවල ජනයන්” සමඟ විවාහ සබඳතාවලට එළඹෙන්නේ නැති බවටත් ඔවුන් එකඟ වුණා. (නෙහෙමියා 10:28-30) තවදුරටත්, සබත් පවත්වන්නත්, සැබෑ නමස්කාරයට සහය වීම සඳහා වාර්ෂිකව මූල්‍ය සම්මාදම් කරන්නත්, පූජාසනය පිට තබන යාග පූජා සඳහා දර සපයන්නත්, යාග පූජා සඳහා තම ගව බැටළු රැළවලින් කුලුඳුල් සතුන් දෙන්නත්, තම දේශයේ ඵලදාවේ නාඹුල් ඵල ගෘහයේ ඇතුල් ගෙවලට ගෙනෙන්නත් යුදෙව්වන් බැඳුණා. ‘තම දෙවිගේ ගෘහය නොසලකා නොහැරීමට [NW]’ ඔවුන් අධිෂ්ඨාන කරගත් බව පැහැදිලියි.—නෙහෙමියා 10:32-39.
12. දෙවිගේ ගෘහය නොසලකා නොහැරීමට අදදින අයත් වන්නේ කුමක්ද?
12 යෙහෝවාගේ මහත් ආත්මික මාළිගා මළුවෙහි ‘පරිශුද්ධ සේවය පිරිනැමීමට’ ඇති වරප්‍රසාදය නොසලකා නොහැරීම සඳහා අද සිටින යෙහෝවාගේ සෙනඟ පරෙස්සම් විය යුතුයි. (එළිදරව් 7:15) යෙහෝවාගේ නමස්කාරයේ වැඩිදියුණුව සඳහා නිරතුරුව කෙරෙන හෘදයාංගම යාච්ඤා මීට ඇතුළත් වෙනවා. ක්‍රිස්තියානි රැස්වීම්වලට පෙර සූදානම සහ සහභාගි වීම, ශුභාරංචිය දේශනා කිරීමේ විධිවිධානයෙහි හවුල් වීම මෙන්ම උනන්දුව දක්වන අයව නැවත බලන්න යෑම, හැකිනම් ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වීම මගින් ඔවුන්ට උපකාර කිරීම, එවැනි යාච්ඤාවලට එකඟව ජීවත් වීමට අයත් වෙනවා. දෙවිගේ ගෘහය නොසලකා හැරීමට ඕනෑකමක් නැති අය, දේශනා වැඩය සහ සැබෑ නමස්කාරයේ ස්ථානවල නඩත්තු කටයුතු සඳහා මූල්‍යමය සම්මාදම් කරනවා. හදිසි අවශ්‍යතාවක් තිබෙන රැස්වීම් ස්ථාන ඉදි කරන්නත්, ඒවා මනා පිළිවෙළකට තබාගන්නත් අපේ සහයෝගය දෙන්න අපට හැකියි. දෙවිගේ ආත්මික ගෘහයට ප්‍රේමය පෙන්වීමේ වැදගත් මාර්ගයක් වන්නේ, සෙසු ඇදහිලිවන්තයන් අතර සමාදානය පවත්වාගැනීම සඳහා කටයුතු කරමින්, ද්‍රව්‍යමය හෝ ආත්මික උපකාරය අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහය වීමයි.—මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 13:15, 16.
ප්‍රීතිමත් සමාරම්භක උත්සවයක්
13. යෙරුසලමේ තාප්පය සමාරම්භ කිරීමට පෙර කිනම් හදිසි කාරණයක් සඳහා අවධානය යොමු කළ යුතු වුණාද? එමෙන්ම, බොහෝදෙනෙක් කිනම් කදිම ආදර්ශයක් තැබුවාද?
13 නෙහෙමියාගේ දවසේදී මුද්‍රා කළ “ස්ථිරවූ ගිවිසුම” යෙරුසලමේ තාප්පයේ සමාරම්භක උත්සව දවසට දෙවිගේ පුරාණ සෙනඟව සූදානම් කළා. එහෙත් තවත් හදිසි කාරණයකට අවධානය යොමු කළ යුතුව තිබුණා. දොරටු දොළහකින් සමන්විත විශාල තාප්පයකින් වට වී ඇති යෙරුසලමට දැන් වඩා විශාල ජනකායක් අවශ්‍යයි. ඉශ්රායෙල්වරුන්ගෙන් සමහරෙක් එහි ජීවත් වුණත්, “නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය.” (නෙහෙමියා 7:4) මෙම ගැටලුව විසඳීමට, සෙනඟ තමන් අතරෙන්, “දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය.” මෙම විධිවිධානයට කැමැත්තෙන් ප්‍රතිචාරය දැක්වූ, “යෙරුසලමෙහි වාසයකිරීමට කැමැත්තෙන්ම [ස්වේච්ඡාවෙන්, NW] ආවාවූ සියලු මනුෂ්‍යයන්ට” සෙනඟගේ ආශීර්වාදය හිමි වුණා. (නෙහෙමියා 11:1, 2) අදදින, මේරූ ක්‍රිස්තියානි උපකාරය අවශ්‍ය ප්‍රදේශවලට මාරු වී යෑමට තමන්ගේ තත්වයන්ට ඉඩහරින සැබෑ නමස්කාරකයන් සඳහා මෙය මොනතරම් කදිම ආදර්ශයක්ද!
14. යෙරුසලමේ තාප්පය සමාරම්භ කළ දවසේ සිදු වුණේ කුමක්ද?
14 යෙරුසලමේ තාප්පය සමාරම්භ කිරීමේ මහත් දවස සඳහා වැදගත් පෙර සූදානම් කිරීම් ඉක්මනින්ම ඇරඹුණා. යූදාහි අවට නුවරවලින් සංගීතඥයන්ව සහ ගීතිකාකරුවන්ව රැස් කළා. ඔවුන්ව ස්තුති කිරීමේ විශාල කණ්ඩායම් දෙකකට වෙන් කළා. ඔවුන්ගේ පිටුපසින් සෙනඟ පෙරහරින් යෑමටද නියම වුණා. (නෙහෙමියා 12:27-31, 36, 38) දේවමාළිගාවට ඈතින්ම පිහිටි තාප්පයේ එක් ස්ථානයකින්, සමහරවිට මිටියාවතේ දොරටුවේ සිට, එම ගමන ඇරඹූ ගීතිකා කණ්ඩායම් සහ ඒවායේ පෙරහැර, ප්‍රතිවිරුද්ධ දිශාවලින් ගමන් කර දෙවිගේ ගෘහය අසලදී මුණගැසුණා. “එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද [දෙවි] ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට [සැලැස්වූවේය]; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.”—නෙහෙමියා 12:43.
15. යෙරුසලමේ තාප්පය කැප කිරීම දිගු කාලීන ප්‍රීතිය සඳහා හේතුවක් නොවුණේ මන්ද?
15 මෙම ප්‍රීතිමත් සැමරීම කළ දිනය බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එහෙත්, එය යෙරුසලම නැවත පිහිටුවීමේ විශේෂාංගය නැතහොත් උච්චාවස්ථාව වූ බවට කිසිම සැකයක් නැහැ. ඇත්තවශයෙන්ම, නුවර ඇතුළත තව බොහෝ ඉදි කිරීම් කටයුතු කිරීමට අවශ්‍යව තිබුණා. කාලයාගේ ඇවෑමෙන්, යෙරුසලමේ වැසියන් තම කදිම ආත්මික ස්ථාවරය නැති කරගත්තා. උදාහරණයක් හැටියට, නෙහෙමියා දෙවන වතාවට නුවරට පැමිණි විට, ඉශ්රායෙල්වරුන් දෙවිගේ ගෘහය යළිත් වරක් නොසලකා හැර ඇති බවත්, යළිත් මිථ්‍යාදෘෂ්ටික ස්ත්‍රීන් පාවාගෙන ඇති බවත් ඔහු දැක්කා. (නෙහෙමියා 13:6-11, 15, 23) අනාගතවක්තෘ මලාකීගේ ලියවිල්ලද මෙම නරක තත්වය තහවුරු කරනවා. (මලාකී 1:6-8; 2:11; 3:8) මෙසේ, යෙරුසලමේ තාප්පය කැප කිරීම දිගු කාලීන ප්‍රීතියට හේතුවක් වුණේ නැහැ.
සදාකාලික ප්‍රීතියට හේතුවක්
16. දෙවිගේ සෙනඟ කිනම් උච්චාවස්ථා දෙස බලා සිටිනවාද?
16 අදත්, දෙවි තම සතුරන් සියල්ලන්වම පරාජය කරන තුරු දෙවිගේ සෙනඟ බලා සිටිනවා. මෙය ආරම්භ වෙන්න යන්නේ, සෑම ආකාරයකම බොරු ආගම් වැලඳගෙන සිටින සංකේතාත්මක නුවරක් වන ‘මහා බබිලෝනියේ’ විනාශයත් සමඟයි. (එළිදරව් 18:2, 8) බොරු ආගමේ විනාශය, පැමිණෙන්නාවූ මහත් පීඩාවේ මුල් අදියර සලකුණු කරන්න යනවා. (මතෙව් 24:21, 22) ඇත්තෙන්ම ඉතා වැදගත් සිද්ධියක්ද අප ඉදිරියෙහි තිබෙනවා. ඒ තමයි, ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් හා ‘නව යෙරුසලමේ’ පුරවැසියන් වන 1,44,000දෙනාගෙන් යුක්ත වූ මනාලිය අතර සිදු වන ස්වර්ගීය විවාහය. (එළිදරව් 19:7; 21:2) එහි උච්ච ඉටුවීම සම්පූර්ණ වෙන්නේ හරියටම කවදාද කියා අපට කියන්න බැරි වුණත්, නිසැකවම එය ප්‍රීතිමත් සිදුවීමක් වෙනවාමයි.—1991 අගෝස්තු 1 මුරටැඹහි, 30-1 දක්වා පිටු බලන්න.
17. නව යෙරුසලමේ සම්පූර්ණ වීම ගැන අප දන්නේ මොනවාද?
17 කෙසේවෙතත්, නව යෙරුසලමේ සම්පූර්ණ වීම ඉතා ළඟ බව අප දන්නවා. (මතෙව් 24:3, 7-14; එළිදරව් 12:12) භූමික යෙරුසලම් නුවර මෙන් නොව, බලාපොරොත්තු සුන්වීමට කිසිම හේතුවක් මෙය සපයන්නේ නැහැ. එයට හේතුව නම්, එහි වැසියන් සියලුදෙනාම, ආත්මයෙන් අභිෂේක ලත්, පරීක්ෂණයට භාජන කළ, ශෝධනය කළ යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වීමයි. මරණය දක්වා ඔවුන්ගේ ඇදහිලිවන්තභාවය රැකගැනීමෙන් ඒ සෑම කෙනෙක්ම, විශ්වනීය පරමාධිපති යෙහෝවා දෙවිට සදාකාලයටම පක්ෂපාත බව ඔප්පු කරන්න යනවා. ජීවතුන් සහ මළවුන් අතර සිටින අනිත් සියලු මනුෂ්‍යවර්ගයා සඳහා විශේෂ අර්ථයක් එහි අන්තර්ගතයි.
18. අප ‘සදාකාලේටම සතුටුව ප්‍රීති විය’ යුත්තේ මන්ද?
18 යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන මනුෂ්‍යයන් වෙත නව යෙරුසලම එහි අවධානය යොමු කරන විට සිදු වන්නේ කුමක්ද කියා සලකා බලන්න. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: ‘මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔව්හු ඔහුගේ සෙනඟ වන්නෝය, දෙවිම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.’ (එළිදරව් 21:2-4) තවදුරටත්, මිනිසුන්ව පරිපූර්ණත්වය කරා ගෙන ඒමට දෙවි මෙම නුවර බඳු විධිවිධානය පාවිච්චි කරන්න යනවා. (එළිදරව් 22:1, 2) ‘දෙවි විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවීමට’ මේවා මොනතරම් පුදුමාකාර හේතුද!—යෙසායා 65:18.
19. ක්‍රිස්තියානීන්ව එක්රැස් කර ඇති ආත්මික පාරාදීසය කුමක්ද?
19 කෙසේවෙතත්, දෙවිගෙන් උපකාර ලබාගැනීම සඳහා, පසුතැවිලි වූ මනුෂ්‍යවර්ගයාට ඒ වන තුරු සිටින්න අවශ්‍යතාවක් නැහැ. වර්ෂ 1919දී, යෙහෝවා 1,44,000දෙනාගේ අවසාන සාමාජිකයන්ව, ප්‍රේමය, ප්‍රීතිය සහ සමාදානය වැනි දෙවිගේ ආත්මයේ ඵල බහුලව තිබෙන ආත්මික පාරාදීසයකට රැස් කිරීමට පටන්ගත්තා. (ගලාති 5:22, 23) මෙම ආත්මික පාරාදීසයේ විශිෂ්ටතම අංගයක් නම්, දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජනාවාස පොළොව මුළුල්ලේ දේශනා කිරීමේ මූලිකත්වය ගැනීමෙහි පුදුමාකාර ලෙස ඵලදායීව සිටින ආලේප ලත් අයගේ ඇදහිල්ලයි. (මතෙව් 21:43; 24:14) ප්‍රතිඵලයක් හැටියට, භූමික බලාපොරොත්තුව ඇති ‘වෙනත් බැටළුවන්’ මිලියන හයකට ආසන්න සංඛ්‍යාවකටද, එම ආත්මික පාරාදීසයට ඇතුල්ව එම ඵලදායී වැඩය භුක්ති විඳින්න ඉඩ දී තිබෙනවා. (යොහන් 10:16) යෙහෝවා දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි තම ඇදහිල්ල මත පදනම්ව ඔහුට කැපවීම මගින් ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබනවා. නව යෙරුසලමේ අපේක්ෂිත සාමාජිකයන් සමඟ ඔවුන්ගේ ආශ්‍රය ඇත්තෙන්ම ආශීර්වාදයක් බව ඔප්පු වී තිබෙනවා. මෙසේ, ආලේප ලත් ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කිරීම මගින් ස්වර්ගීය රාජ්‍යයේ භූමික විෂය උරුම කරගන්නාවූ දේවභයැති සමාජයක් වන “අලුත් පොළොවක්” සඳහා යෙහෝවා ස්ථිරසාර පදනමක් දමා තිබෙනවා.—යෙසායා 65:17; 2 පේතෘස් 3:13.
20. නව යෙරුසලම එහි නමේ අර්ථයට ගැළපෙන ආකාරයට පවතින්න යන්නේ කෙසේද?
20 තම ආත්මික පාරාදීසය තුළ යෙහෝවාගේ සෙනඟ දැන් භුක්ති විඳින සාමකාමී තත්වය, මෙම පොළොව මත භෞතික පාරාදීසයක් තුළින් ඉතා ඉක්මනින් අද්දකින්න යනවා. මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද කිරීමට නව යෙරුසලම ස්වර්ගයේ සිට බසිද්දී, එය සිදු වෙන්න යනවා. යෙසායා 65:21-25 දක්වා පොරොන්දු කර ඇති සාමකාමී තත්වය දෙවිගේ සෙනඟ දෙයාකාරයකට භුක්ති විඳින්න යනවා. ආත්මික පාරාදීසයෙහි යෙහෝවාගේ එක්සත් නමස්කාරකයන් හැටියට, ස්වර්ගීය නව යෙරුසලමේ තමන්ගේ ස්ථාන ගන්න නියමිතව සිටින ආලේප ලත් අය සමඟ ‘වෙනත් බැටළුවන්’ දෙවිගෙන් ලද සමාදානය දැන් භුක්ති විඳිමින් සිටිනවා. ‘දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ සිදු වන ආකාරයටම, පොළොවෙදීත් සිදු වන’ විට, එවැනි සමාදානයක් භෞතික පාරාදීසය වෙතටද ව්‍යාප්ත වෙන්න යනවා. (මතෙව් 6:10) ඔව්, ‘දෙවැදෑරුම් සමාදානයේ ශක්තිමත් පදනම’ හැටියට, දෙවිගේ තේජාන්විත ස්වර්ගීය නුවර, නමට උචිත යෙරුසලමක් බව ඔප්පු කරන්න යනවා. සදාකාලයෙන් සදාකාලයට, යෙරුසලම එහි උදාර මැවුම්කාරයා වන යෙහෝවා දෙවිට සහ එහි මනාල රජු වන යේසුස් ක්‍රිස්තුස්ට ප්‍රශංසාකටයුතු ගෞරවයක් ලෙස පවතින්න යනවා.
ඔබට මතකද?
◻ යෙරුසලමෙහි සෙනඟ එක්රැස් කළ විට නෙහෙමියා ඉටු කරගත්තේ කුමක්ද?
◻ දෙවිගේ ගෘහය නොසලකා නොහැරීම සඳහා පුරාණ යුදෙව්වන් කුමක් කළ යුතුව තිබුණාද? එමෙන්ම, අපේ යුතුකම කුමක්ද?
◻ කල්පවතින ප්‍රීතිය සහ සමාදානය ගෙන ඒම සඳහා “යෙරුසලම” මැදිහත් වන්නේ කිනම් අයුරින්ද?
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
යෙරුසලමෙහි දොරටු
අංක නියෝජනය කරන්නේ වර්තමාන උස් ප්‍රමාණ මීටර්වලින්
මත්ස්‍ය දොරටුව
පුරාණ දොරටුව
එප්‍රායිම් දොරටුව
කොනේ දොරටුව
පළල් පවුර
එළිමහන
මිටියාවතේ දොරටුව
දෙවන කොට්ඨාශය
මුලින් තැනූ උතුරු තාප්පය
දාවිත්ගේ නුවර
කසළ දොරටුව
හින්නොම්ගේ මිටියාවත
බලකොටුව
බැටළු දොරටුව
හිරගෙයි දොරටුව
දේවමාළිගා ප්‍රදේශය
හම්මිප්කාද් දොරටුව
අශ්ව දොරටුව
ඕපෙල්
එළිමහන
වතුර දොරටුව
ගීහොන් උල්පත
උල්පත් දොරටුව
රජ උයන
ඒන්-රොගෙල්
ටයිරොපියොන් (මධ්‍යම) නිම්නය
කිද්‍රොන් නිම්නය
740
730
730
750
770
770
750
730
710
690
670
620
640
660
680
700
720
740
730
710
690
670
පෙනෙන විදිහට, නුවර විනාශ වූ කාලයෙත්, තාප්පය නැවත ඉදි කරන්න නෙහෙමියා මූලිකත්වය ගත් අවස්ථාවෙත් යෙරුසලම් තාප්පය පැතිර තිබූ ආකාරය