යෝබ් විඳදරාගත්තේය—එසේ අපටත් හැක!
“බලව! විඳදරා ගෙන සිටින අය සන්තෝෂවත් යයි අපි ප්‍රකාශ කරමු.”—යාකොබ් 5:11, NW.
1. එක් වයසක ක්‍රිස්තියානිවරයෙක් තමාට තිබූ පරීක්ෂා ගැන කීවේ කුමක්ද?
‘යක්ෂයා මා පිටුපස්සෙන්! මට හැඟෙන්නේ හරියටම යෝබ්ට නහැඟුණා වගේ!’ ඒ. එච්. මැක්මිලන් තම හැඟීම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සමීප මිත්රයෙකුට ප්‍රකාශ කළේ එවන් වචන සමඟිනි. සහෝදර මැක්මිලන් 89 වියේදී තම භූමික ජීවිතය අවසන් කළේ 1966 අගෝස්තු 26දාය. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඇදහිලිවන්ත සේවය සඳහා ඔවුන්ට ලැබෙන ගෞරව ප්‍රශංසාව ‘ඔවුන් කැටුව යන’ බව ඔහු දැන සිටියේය. (එළිදරව් 14:13) ඇත්ත වශයෙන්ම, ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැගිටීම මගින්, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ ඔවුන් දිගටම සේවය කරනවා ඇත. සහෝදර මැක්මිලන් එම ත්‍යාගය ලබා ගැනීම සම්බන්ධව ඔහුගේ මිත්‍රයෝ ප්‍රීති වූහ. කෙසේ වෙතත්, පොළොව මත ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී, සෞඛ්‍යය ගැටලු ඇතුළු විවිධ පරීක්ෂා මගින් පීඩනයට ලක්වූ අතර, මේවා වනාහි දෙවියන්වහන්සේ කෙරෙහි තම අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් දරන ප්රයත්න බව ඔහුහට ඉතා හොඳින් දැනගැනීමට සලස්වන ලදි.
2, 3. යෝබ් යනු කවරෙකු වීද?
2 තමාට යෝබ්ට මෙන් හැඟුණා යයි සහෝදර මැක්මිලන් ප්‍රකාශ කළ විට, ඔහු යොමු දක්වමින් සිටියේ, ඇදහිල්ලේ මහත් පරීක්ෂාවන් විඳදරා සිටි මිනිසෙකුටය. යෝබ් වාසය කළේ, “ඌශ් දේශයෙහි,” පෙනෙන විදිහට උතුරු අරාබියේය. නෝවාගේ පුත්‍ර ෂෙම්ගෙන් පැවතෙන්නෙකු වූ හේ, යෙහෝවඃවහන්සේට නමස්කාර කරන්නෙකු විය. පෙනෙන අන්දමට, යෝබ්ගේ පරීක්ෂා සිදුවූයේ, යෝසෙප්ගේ මරණය හා මෝසෙස් තමා ඍජු පුද්ගලයෙකු බවට ඔප්පු කළ කාලය අතරතුරේය. එම කාල පරිච්ඡේදය අතරතුරේදී, දේව භක්තිය අතින් යෝබ්ට සමාන කිසිවෙක් පොළොවේ නොසිටියේය. යෙහෝවඃවහන්සේ යෝබ් දෙස බැලුවේ, නිර්දෝෂ, ඍජු, දේව භයැති මිනිසෙකු වශයෙනි.—යෝබ් 1:1, 8.
3 “ප්‍රාචීන දේශයේ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨව” සිටි තැනැත්තා වශයෙන්, යෝබ්ට බොහෝ සේවකයෝද, ගණනින් 11,500ක් වූ සත්ත්වයෝද වූහ. එහෙත්, ඔහු වඩාත් වැදගත් කොට සැලකුවේ ආත්මික පොහොසත්කමය. අදදින සිටින දේව භක්තික පියවරුන් බොහෝ දෙනෙකු මෙන්, යෝබ් යෙහෝවඃවහන්සේ ගැන තම පුත්‍රයන් හත්දෙනාට සහ දූවරුන් තිදෙනාට ඉගැන්වූ බව බොහෝ සෙයින් පෙනෙන්ට තිබේ. ඔවුන් තම නිවසේ තවදුරටත් ජීවත් නොවූ පසු කාලයේ පවා, ඔවුන් අතින් පව් සිදුවුණි නම්, යෝබ් පවුලේ පූජකයෙකු ලෙස ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කළේය.—යෝබ් 1:2-5.
4. (අ) පීඩාවට ලක් වී සිටින ක්‍රිස්තියානීන්, යෝබ් නමැති මිනිසා ගැන සලකා බැලිය යුත්තේ ඇයි? (ආ) යෝබ් සම්බන්ධව, අප සලකා බලන්ට යන ප්‍රශ්න මොනවාද?
4 යෝබ් වනාහි, ඉවසිලිවන්තව විඳදරාගැනීමට තමන්වම ශක්තිමත් කර ගැනීම පිණිස, පීඩා විඳින ක්‍රිස්තියානීන් විසින් සලකා බලනු ලැබිය යුතු යම් කෙනෙකි. ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය: “ඉවසූ [විඳදරාගත්, NW] අය ආශීර්වාදලද්දෝයයි [සන්තෝෂවත්යයි, NW] අපි කියමු. යෝබ්ගේ ඉවසීම [විඳදරාගැනීම, NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) යෝබ්ට මෙන්, යේසුස්වහන්සේගේ අභිෂේක ලත් අනුගාමිකයන්ට සහ වත්මන් දින ‘මහත් සමූහයටද’ ඇදහිල්ලේ පරීක්ෂාවලට මුහුණ දීම සඳහා විඳදරාගැනීම අවශ්‍යය. (එළිදරව් 7:1-9) එබැවින්, යෝබ් විඳදරාගත්තේ කිනම් පරීක්ෂාද? ඒවා සිදුවූයේ මන්ද? තවද ඔහුගේ අද්දැකීම්වලින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?
දැවෙන ප්‍රශ්නයක්
5. යෝබ්ගේ දැනුමකින් තොරව, ස්වර්ගයේ සිදුවෙමින් තිබුණේ කුමක්ද?
5 යෝබ් දැන නොසිටි මහත් ප්‍රශ්නයක් ස්වර්ගයේදී පැන නැංවීමට ආසන්නව තිබිණි. එක් දවසක, ‘සැබෑ දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පෙනී සිටින පිණිස ආවෝය.’ (යෝබ් 1:6, NW) දෙවියන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණෝ, එනම් වාක්‍යාණෝ, පැමිණ සිටියහ. (යොහන් 1:1-3) එමෙන්ම ධර්මිෂ්ඨ දේව දූතයෝද, දෙවියන්වහන්සේගේ අකීකරු දේවදූතමය ‘පුත්‍රයෝද’ ඒ අතර වූහ. (උත්පත්ති 6:1-3) සාතන්ව ස්වර්ගයේ සිට පහතට හෙළනු ලැබීම 1914දී රාජ්‍යයේ පිහිටුවීම වන තෙක් සිදු නොවනු ඇති බැවින් ඔහුද එහි සිටියේය. (එළිදරව් 12:1-12) යෝබ්ගේ දවසේදී, සාතන් දැවෙන ප්‍රශ්නයක් පැන නංවනු ඇත. යෙහෝවඃවහන්සේගේ සියලු මැවිලි කෙරෙහි උන්වහන්සේගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය ප්‍රශ්න කිරීමට ඔහු සූදානමින් සිටියේය.
6. සාතන් කිරීමට උත්සාහ කරමින් සිටියේ කුමක්ද, තවද ඔහු යෙහෝවඃවහන්සේට අපහාස දැක්වූයේ කෙසේද?
6 “නුඹ කොතැන් සිට ආයෙහිද?” යයි යෙහෝවඃවහන්සේ ඇසූසේක. සාතන් පිළිතුරු දෙමින්: “පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි” කීවේය. (යෝබ් 1:7) ඔහු සොයමින් සිටියේ යමෙකුව ගිල දැමීමටය. (1 පේතෘස් 5:8, 9) යෙහෝවඃවහන්සේට සේවය කරමින් සිටින පුද්ගලයන්ගේ අඛණ්ඩතාව බිඳ දැමීම මගින්, සාතන් ඔප්පු කිරීමට උත්සාහ කරනු ඇත්තේ, කිසිකෙනෙක් ප්‍රේමයෙන් යුතුව දෙවියන්වහන්සේට පූර්ණ ලෙස කීකරු නොවන බවයි. මෙම ප්රශ්නය සැලකිල්ලට භාජන කරමින්, යෙහෝවඃවහන්සේ සාතන්ගෙන් මෙසේ ඇසූසේක: “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ [ඍජුවූ, NW], දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” (යෝබ් 1:8) යෝබ්, තම අසම්පූර්ණකම් සැලකිල්ලට ගත් දිව්‍ය ප්රමිතීන් සපූරාලූයේය. (ගීතාවලිය 103:10-14) එහෙත් සාතන්, ඊට පෙරළා පිළිතුරු දුන්නේ මෙලෙසය: “යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද? ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.” (යෝබ් 1:9, 10) යෙහෝවඃවහන්සේ කෙබඳු කෙනෙක්දැයි දැන සිටින නිසා කිසිවෙක් උන්වහන්සේට ප්‍රේම කරන්නේවත් නමස්කාර කරන්නේවත් නැති බවත්, නමුත් උන්වහන්සේ තමන්ට සේවය කිරීම සඳහා තම මැවිලිවලට අල්ලස් දෙන බවත් අඟවමින් යක්ෂයා යෙහෝවඃවහන්සේට අපහාස කළේය. සාතන් කියා සිටියේ යෝබ් දෙවියන්වහන්සේට සේවය කළේ ප්‍රේමය නිසා නොව නමුත් ආත්මාර්ථකාමී ලාභ ලබන පිණිසය, කියාය.
සාතන් ප්‍රහාර එල්ල කරයි!
7. සාතන් දෙවියන්වහන්සේට අභියෝග කළේ කෙලෙසද, තවද යෙහෝවඃවහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
7 “නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා [ශාප කරනවා, NW] ඇතැයි” සාතන් පැවසීය. දෙවියන්වහන්සේ එවන් නිග්‍රහාත්මක අභියෝගයකට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද? යෙහෝවඃවහන්සේ මෙසේ පැවසූසේක: “බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අතයටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්න.” යෝබ්ට අයත් සියලු දේට ආශීර්වාද කර, වර්ධනය කර, වැට බැඳ තිබූ බවට යක්ෂයා පවසා තිබුණි. යෝබ්ගේ සිරුරට අත නොගැසිය යුතු නමුත් ඔහුගේ දුක් විඳීමට දෙවියන්වහන්සේ ඉඩ හරිනු ඇත. නපුර කිරීමට අදිටන් කරගත් සාතන් එක්රැස්වීමෙන් පිටවිය.—යෝබ් 1:11, 12.
8. (අ) යෝබ්ට අහිමි වූ ද්‍රව්‍යමය දේවල් මොනවාද? (ආ) “දෙවියන්වහන්සේගේ ගිනි” පිළිබඳ සත්‍යය වූයේ කුමක්ද?
8 ඉක්මනින්ම, සාතන්ගේ ප්‍රහාර ඇරඹුණි. යෝබ්ගේ සේවකයෙක් මෙම නරක ආරංචිය ඔහු වෙත ගෙනාවේය: “ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර, ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය.” (යෝබ් 1:13-15) යෝබ්ගේ දේපොළ වටා තිබූ ආරක්ෂාව ඉවත් කර තිබිණි. ඉතා ඉක්මනින්ම වාගේ, භූත බලය කෙළින්ම යොදන ලදි, මන්ද, තවත් සේවකයෙක් මෙසේ වාර්තා කළේය: “දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය.” (යෝබ් 1:16) දෙවියන්වහන්සේ, තමන්ගේම සේවකයෙකු මත පවා එවන් ව්‍යසනයන් ගෙන ඒම සම්බන්ධයෙන් උන්වහන්සේ වගකිව යුතුයයි පෙනීමට සැලැස්වීම මොනතරම් ඉතා යක්ෂාකාර යමක්ද! විදුලි කෙටීම් අහසින් බැවින්, පහසුවෙන් යෙහෝවඃවහන්සේට දොස් නැගිය හැකිව තිබූ නමුත්, ඇත්තෙන්ම ගින්න පැමිණියේ භූතමය ප්‍රභවයකිනි.
9. සිදුවූ ආර්ථික විනාශය, යෝබ් දෙවියන්වහන්සේ සමඟ තිබූ සබඳතාවට බලපෑවේ කෙසේද?
9 සාතන් දිගටම පහර දෙත්ම, තවත් සේවකයෙක් පැමිණ, කල්දිවරු යෝබ්ගේ ඔටුවන් අල්ලාගෙන ගිය බවත්, අනෙක් සියලු සේවකයන්ව මරාදමා තිබූ බවත් වාර්තා කළේය. (යෝබ් 1:17) මෙසේ, යෝබ් ආර්ථික විනාශයක් අද්දුටුවද, මෙය, දෙවියන්වහන්සේ සමඟ ඔහුට තිබූ සබඳතාව විනාශ කළේ නැත. යෙහෝවඃවහන්සේ කෙරෙහි ඔබට ඇති අඛණ්ඩතාව බිඳගන්නේ නැතුව ඔබගේ ද්‍රව්‍යමය දේවල් මහත් සේ අහිමිවීමක් විඳදරාගැනීමට ඔබට හැකිද?
වඩාත් මහත් විපතකින් පහර ලැබ
10, 11. (අ) යෝබ්ගේ දරුවන් දස දෙනාට සිදුවූයේ කුමක්ද? (ආ) යෝබ්ගේ දරුවන්ගේ ශෝචනීය මරණවලින් පසු, ඔහුට යෙහෝවඃවහන්සේ කෙරෙහි තිබූ දෘෂ්ටිය කුමක්ද?
10 යෝබ්හට යක්ෂයාගේ පහර අවසන්වූයේ නැත. තවත් සේවකයෙක් මෙසේ වාර්තා කළේය: “ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද බොමින්ද සිටියදී, තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.” (යෝබ් 1:18, 19) එම සුළඟ මගින් ඇති වූ විනාශය ‘දේව ක්‍රියාවකින්’ කරන ලද්දක් බව කාරණා හරි හැටි නොදන්නා කෙනෙක් කියන්ට පුළුවන. කෙසේ වුවද, භූත බලය විශේෂයෙන් පහර දී තිබුණේ ඔහුගේ හැඟීම් වැඩියෙන් රිදවිය හැකි තැනකටය.
11 ශෝකයේ දැඩි ප්‍රහාරයට ලක් වූ යෝබ්, ‘තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම මුණින් තලා වැටුණේය.’ එහෙත්, ඔහුගේ වචනවලට සවන්දෙන්න. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] දුන්සේක, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ගත්සේක; ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමයට ප්‍රශංසාවේවා.” තවද වාර්තාව මෙසේ එකතු කරයි: “මේ සියල්ලේදී යෝබ් පව්කළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.” (යෝබ් 1:20-22) සාතන්ව යළිත් වරක් පරාජය කරන ලදි. දෙවියන්වහන්සේගේ සේවකයන් වශයෙන් අපට වියෝදුක හා ශෝකය අද්දකින්ට සිදුවුණොත් තත්ත්වය කුමක්ද? යෝබ් මෙන්, අපටත් අඛණ්ඩතාව රක්ෂා කරන්නන් මෙන් විඳදරාගැනීමට හැකි කරවන්නේ, යෙහෝවඃවහන්සේට ඇති අපගේ පරාර්ථකාමී භක්තිය හා උන්වහන්සේ කෙරෙහි ඇති දැඩි විශ්වාසයයි. අභිෂේක ලත් අයට මෙන්ම භූමික බලාපොරොත්තුවක් ඇති ඔවුන්ගේ සහයකයන්ට ස්ථිර වශයෙන්ම යෝබ්ගේ විඳදරාගැනීම පිළිබඳ මෙම වාර්තාවෙන් සහනය සහ ශක්තිය ලබාගැනීමට හැකිය.
ප්රශ්නය තවත් උණුසුම් වෙයි
12, 13. ස්වර්ගයේ පැවති තවත් එක්රැස්වීමකදී, සාතන් කියා සිටියේ කුමක්ද? තවද දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
12 යෙහෝවඃවහන්සේ ඉක්මනින්ම ස්වර්ගික අධිකරණයේ තවත් එක්රැස්වීමක් කැඳවූසේක. යෝබ්, දරුවන් නැති, අසරණ දුගියෙකු, පෙනෙන ප්‍රකාරයට දෙවියන්වහන්සේ විසින් පීඩාකරන ලද මිනිසෙකු බවට පත්වූ නමුදු, ඔහුගේ අඛණ්ඩතාවට කිසිදු හානියක් සිදුවූයේ නැත. ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේට සහ යෝබ්ට එරෙහිව තමන් කළ චෝදනා බොරු වූ බව සාතන් පිළිගන්නේ නැත. මෙම ප්රශ්නය නිරාකරණය කිරීම සඳහා දෙවියන්වහන්සේ යක්ෂයාව මෙහෙයවනවාත් සමඟම, දැන් ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ තර්ක විතර්ක ඇසීමට සූදානමින් සිටියහ.
13 මෙම කාරණය සම්බන්ධයෙන් සාතන් ඇමතූ යෙහෝවඃවහන්සේ: “නුඹ කොතැන සිට ආයෙහිදැයි . . . ඇසූසේක.” පිළිතුර වූයේ කුමක්ද? “පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමි.” තවමත් තම අඛණ්ඩතාවට ඇලී සිටිමින් සිටියාවූ, නිර්දෝෂ, ඍජු, දේව-භයැති යෝබ් කෙරෙහි යෙහෝවඃවහන්සේ යළිත් වරක් අවධානය යොමු කෙරෙවූසේක. යක්ෂයා පිළිතුර දෙමින්: “හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.” මේ නිසා දෙවියන්වහන්සේ පැවසුවේ මෙසේය: “බලව, ඔහු නුඹ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරපන්න.” (යෝබ් 2:2-6) යෙහෝවඃවහන්සේ සියලු ආරක්ෂිත වැට කඩොලු යෝබ් වෙතින් පහ කර නැතැයි අඟවමින්, යෝබ්ගේ ඇටවලට හා මාංසයට අත තැබීමට සාතන් ඉල්ලා සිටියේය. යෝබ්ව මරාදැමීමට යක්ෂයාට අවසර නොදෙනු ඇත; නමුත් ශාරීරික රෝගයකින් ඔහුට වේදනා ඇති වන බවත්, ඔහු තම රහස් පව් නිසා දෙවියන්වහන්සේගෙන් දඬුවම් විඳිමින් සිටින බවට පෙනීයනු ඇති බවත් සාතන් දැන සිටියේය.
14. සාතන් යෝබ්ට පහර දුන්නේ කුමක් සමඟින්ද, තවද කිසිදු මිනිසෙකුට පීඩා විඳන්නාට සහනය දීමට නොහැකි වූයේ මන්ද?
14 එම එක්රැස්වීමෙන් සාතන් පිටවී ගියේ යක්ෂාකාරවූ මහත් දරුණු සොම්නසකිනි. ඔහු යෝබ්ට ඔහුගේ “පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.” ඔහු අළුවල හිඳගෙන කැබැලිත්තකින් තමාවම කසාගන්නා විට ඔහු විඳදරාගත් දුක්වේදනා කොතරම්ද! (යෝබ් 2:7, 8) මෙම අතිභයංකර වේදනාකාරි, පිළිකුල්සහගත, සහ අවමන්සහගත පීඩාවට සහනයක් ගෙන ඒමට කිසිදු මිනිස් වෛද්‍යවරයෙකුට නොහැකි විය, මන්ද මෙය ඇති කරවූයේ සාතන්ගේ බලයක් මගින් බැවිනි. යෝබ්ව සුව කිරීමට හැකි වූයේ යෙහෝවඃවහන්සේට පමණි. ඔබ දෙවියන්වහන්සේගේ සේවකයෙකු නම්, එමෙන්ම ඔබ අසනීපව සිටී නම්, ඔබට විඳදරාගැනීමට උපකාර කිරීමටත් රෝගවලින් තොර නව ලෝකයේ ජීවිතය ඔබට දීමටත් දෙවියන්වහන්සේට හැකි බව කිසිවිටකත් අමතක නොකරන්න.—ගීතාවලිය 41:1-3; යෙසායා 33:24.
15. යෝබ්ගේ භාර්යාව ඔහුගෙන් කිරීමට තදින් කියා සිටියේ කුමක්ද, තවද ඔහුගේ ප්‍රතික්‍රියාව කුමක්වීද?
15 අවසානයේදී, යෝබ්ගේ භාර්යාව මෙසේ පැවසුවාය: “නුඹේ අවංකකම [අඛණ්ඩතාව, NW] තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැර දමා [ශාප කර, NW] මැරෙව.” “අඛණ්ඩතාව” නිර්දෝෂී භක්තිය හඟවන අතර, ඇය ඇනුම් පද සහිතව කථා කළේ යෝබ් ලවා දෙවියන්වහන්සේට ශාප කිරීමට විය හැක. එහෙත් ඔහු පිළිතුරු දෙමින්: “නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථා කරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේද?” යයි පැවසුවේය. සාතන්ගේ මේ උපායවත් සාර්ථක වූයේ නැත, මන්ද අපට මෙසේ පවසා තිබේ: “මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.” (යෝබ් 2:9, 10) අපගේ ඇදහිල්ලට විරෝධය පළ කරන පවුල් සාමාජිකයන්, අප මෝඩ ලෙස ක්‍රිස්තියානි වැඩකටයුතුවල නියැලීමෙන් වැහැරී වෙහෙසට පත් වන බව කියා යෙහෝවඃ දෙවියන්වහන්සේව අත්හැරීමට අපට පවසනවා යයි සිතන්න. යෝබ් මෙන් අපටත් එවන් පරීක්ෂාවක් විඳදරාගත හැකිය, මන්ද, අපි යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන්නෙමු, එමෙන්ම උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට ආශාවෙන් සිටින්නෙමු.—ගීතාවලිය 145:1, 2; හෙබ්‍රෙව් 13:15.
උඩඟු ප්‍රෝඩාකාරීන් තිදෙනා
16. සැනසීමට යයි කියා ගෙන යෝබ් වෙතට ආවේ කවුරුන්ද, නමුත් සාතන් ඔවුන්ව වැරදියට යොදා ගත්තේ කෙසේද?
16 සාතන්ගේ තවත් උපායක් බවට ඔප්පු වූ තවත් දෙයක් වූයේ, යෝබ්ව සනසාලීමට කියමින් පැමිණි “මිත්‍රයන්” තිදෙනාය. එක් අයෙක්, පෙනෙන විදිහට ඒසව් තුළින් පැමිණි, ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙකු වූ එලීපස්ය. කථා කිරීමේ මූලිකත්වය දැරුවේ එලීපස් වූ බැවින්, ඔහු වයසින් වැඩි තැනැත්තා බවට කිසිදු සැකයක් නැත. මෙහි පැමිණි තවත් තැනැත්තෙක් නම්, ආබ්‍රහම්ට දාව කෙතුරාගෙන් උපන් ආබ්‍රහම්ගේ පුත්‍රයෙකු වූ ෂුවාගෙන් පැවතෙන්නෙකු වූ බිල්දද්ය. තුන්වැන්නා වූයේ, සිය පවුල හෝ පදිංචි ස්ථානය, සමහරවිට වයඹ දිග අරාබිය හඳුන්වාදීමට නයමාතීයයෙකු හැටියට හැඳින්වුණු ශෝපර්ය. (යෝබ් 2:11; උත්පත්ති 25:1, 2; 36:4, 11) අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් දෙවියන්වහන්සේව අත්හරිනු ලැබීම සඳහා අර අඳින අය මෙන්, යෝබ්, සාතන්ගේ බොරු චෝදනාවලට වරද පිළිගෙන සිය අඛණ්ඩතාව බිඳගන්නා තත්ත්වයට පත් කිරීමට සාතන් ගන්නාලද ප්රයත්නය තුළ මෙම තුන් කට්ටුව මෙහෙයවන ලද්දේ ඔහු විසිනි.
17. බැහැදැකීමට පැමිණි මෙම තුන් කට්ටුව කළේ කුමක්ද, තවද දහවල් සතක් හා රෑ සතක් ඔවුන් නොකර සිටියේ කුමක්ද?
17 වැළපීමෙන්, තම වස්ත්‍ර ඉරා දැමීමෙන්, හා තම හිස් මත දූවිලි ඉස ගැනීමෙන් මෙම තුන් කට්ටුව සංවේගයේ මහත් ප්‍රදර්ශනයක් කළහ. එහෙත්, අනතුරුව සහනය ගෙන දෙන කිසිදු වචනයක් නොදොඩා දහවල් සතළිහක්ද රෑ සතළිහක්ද වාඩි ගෙන සිටියෝය! (යෝබ් 2:12, 13; ලූක් 18:10-14) මෙම උඩඟු ප්‍රෝඩාකාරීන් තිදෙනා ආත්මික අතින් කොතරම් අසරණභාවයකින් සිටියාද කිවහොත්, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු පිළිබඳව පැවසීමට සහනදායී කිසිවක් ඔවුන්ට තිබුණේ නැත. එහෙත්, වැරදි නිගමනවලට එළඹෙමින් සිටි ඔවුහු, ප්‍රසිද්ධියේ වැළපීමේ චාරිත්‍රයට අනුකූල වී ඒ සඳහා කාලය හමාර වූ විගස එම වැරදි නිගමන යෝබ්ට එරෙහිව යොදාගැනීමට සූදානමින් සිටියහ. මෙහි උනන්දුමත් කරුණක් නම්, දවස් හතක නිහඬතාව අවසන්වීමට පෙර, යෞවන එලීහු සංවාදය ඇසෙන දුරකින් අසුන් ගැනීමයි.
18. යෝබ් මරණය තුළ සමාදානය සෙව්වේ මන්ද?
18 අන්තිමේදී, යෝබ් නිහඬතාව බිඳදැමීය. තමාව බැහැදැකීමට ආ තුන් කට්ටුවෙන් කිසිදු සහනයක් නොලැබූ හෙතෙම, තමා උපන් දවසට ශාප කොට, තමාගේ දුක්ඛිත ජීවිතය තවත් දිග්ගස්සනු ලබන්නේ මන්දැයි කල්පනා කළේය. ඔහු මරණය තුළ සමාදානය සෙව්වේ සිය මරණයට පෙර යළිත් වරක් තමාට සැබෑ ප්‍රීතිය අත්කර ගත හැකි යයි කියාවත් කල්පනා නොකරමිනි, ඒ තරමට ඔහු දැන් දැඩි අසරණබවින්, සෝතැවුල් මැද මහත් සේ දුබලව සිටි බැවිනි. එහෙත්, යෝබ්ව මරා දමනු තරමට හානි කිරීමට දෙවියන්වහන්සේ ඉඩ නොදෙනු ඇත.—යෝබ් 3:1-26.
යෝබ්ගේ චූදිතයෝ ප්‍රහාර එල්ල කරති
19. එලීපස් යෝබ්ට බොරු ලෙස චෝදනා කළේ කුමක් සම්බන්ධයෙන්ද?
19 එලීපස් විවාද වට තුනේදී ප්‍රථමයෙන් කථා කළ අතර, එය යෝබ්ගේ අඛණ්ඩතාව තවදුරටත් පරීක්ෂා කළේය. තම පළමු කථාවේදී එලීපස් මෙසේ ඇසුවේය: “ඍජු පුද්ගලයා පහකරනු ලැබුවේ කොතැනද?” [NW] දෙවියන්වහන්සේගේ දඬුවම ලැබීමට යෝබ් යම් වරදක් කර ඇතුවා විය යුතුයයි ඔහු නිගමනය කළේය. (යෝබ් 4, 5 පරිච්ඡේද) සිය දෙවෙනි කථාවේදී, යෝබ්ගේ ප්‍රඥාව අපහාසයට ලක් කළ එලීපස් මෙසේ ඇසීය: “ඔබ ඇත්තටම දන්නේ අප නොදන්න කුමන දේද?” [NW] එලීපස් ඇඟවූයේ, යෝබ් තමා සර්වබලධාරී තැනැන්වහන්සේට වඩා උතුම්ය කියා පෙනීමට උත්සාහ කරමින් සිටි බවයි. තවද දෙවෙනි ප්‍රහාරය අවසන් කරමින්, ඔහු විස්තර කළේ, යෝබ් ඇදහිල්ල අත්හැරීම, අල්ලස් හා මුළා කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකුව සිටි බවයි. (යෝබ් 15 පරිච්ඡේදය) තම අවසාන කථාවේදී, එලීපස් බොරු චෝදනා කරමින්, යෝබ් බොහෝ අපරාධවලට—එනම්, අසාධාරණ අයකිරීම්වලට, අවශ්‍යතා ඇති අයගෙන් ආහාර සහ වතුර වලක්වා සිටීම, එමෙන්ම වැන්දඹුවන්ට හා අනාථ දරුවන්ට පීඩා කිරීමට වැරදිකරු බව කියා සිටියේය.—යෝබ් 22 පරිච්ඡේදය.
20. යෝබ් කෙරෙහි බිල්දද්ගේ ප්‍රහාරවල ස්වභාවය කුමක්වීද?
20 වට තුනකින් යුත් මෙම විවාදවල දෙවෙනි වාරය ගනිමින්, බිල්දද් කළේ, එලීපස් විසින් තබන ලද පොදු තේමාව සාමාන්‍යයෙන් අනුගමනය කිරීමයි. බිල්දද්ගේ කථා වඩාත් කෙටි වුවද වඩාත් කැපෙන වචනවලින් යුක්ත විය. යෝබ්ගේ දරුවන් වැරදි කර ඇති බවටත්, එහෙයින් ඔවුන් මියයෑමටත් වටින බවට පවා ඔහු චෝදනා කළේය. බොරු තර්කයක් සමඟින් ඔහු මෙම උපහැරණය යොදා ගත්තේය: පන් සහ බට ගස් වතුර නැතුව වේලී යනවාක් මෙන්, “දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්” සම්බන්ධයෙන්ද එසේය. එම ප්රකාශනය සැබෑය, නමුත් එය යෝබ්ට අදාළ වූයේ නැත. (යෝබ් 8 පරිච්ඡේදය) යෝබ් මතට පැමිණි පීඩා, දුෂ්ටයන් මතට පැමිණෙන පීඩා ලෙස බිල්දද් විසින් වර්ග කරන ලදි. (යෝබ් 18 පරිච්ඡේදය) මිනිසා වනාහි “ඉහඳ පණුවෙක්” [NW] සහ “පණුවෙක්” බවත්, එමනිසා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපවිත්‍ර බවත් බිල්දද් තම කෙටි තුන්වෙනි කථාවේදී තර්ක කළේය.—යෝබ් 25 පරිච්ඡේදය.
21. ශෝපර් යෝබ්ට චෝදනා කළේ කුමක් සම්බන්ධයෙන්ද?
21 මෙම විවාදයේ තුන් වැනියා හැටියට කථා කළේ ශෝපර්ය. පොදුවේ ගත් කල, ඔහුගේ තර්ක රටාව, එලීපස්ගේ හා බිල්දද්ගේ තර්ක රටාව අනුගමනය කිරීමක් විය. යෝබ් දුෂ්ට යයි චෝදනා කළ ඔහු, පව්කාර ක්‍රියාවන් අත්හැර දමන ලෙස ඔහුට තදින් කියා සිටියේය. (යෝබ් 11, 20 පරිච්ඡේද) වට දෙකකට පසුව ශෝපර් කථා කිරීම නතර කළේය. තුන්වන වටයේදී කිසිවක් කීමට ඔහුට තිබුණේ නැත. කෙසේ වෙතත්, මෙම මුළු විවාදය පුරා, යෝබ් ඔහුට චෝදනා කරන්නන්ට ධෛර්යයෙන් යුතුව පිළිතුරු දුන්නේය. නිදසුනක් වශයෙන්, එක් අවස්ථාවකදී, ඔහු මෙසේ පැවසුවේය: “නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය. සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද?”—යෝබ් 16:2, 3.
අපට විඳදරා ගත හැකිය
22, 23. (අ) යෝබ්ගේ සිද්ධියේදී මෙන්, යෙහෝවඃ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ අඛණ්ඩතාව බිඳදැමීමට යක්ෂයා උත්සාහ කරන්නේ කෙලෙස විය හැකිද? (ආ) යෝබ් නොයෙක් පරීක්ෂා විඳදරාගනිමින් සිටියද, ඔහුගේ ආකල්පය ගැන අපට කුමක් ඇසිය හැකිද?
22 යෝබ් මෙන්, යම් අවස්ථාවක අපද එක් පරීක්ෂාවකට වඩා මුහුණ දෙනවා විය හැක, තවද අපගේ අඛණ්ඩතාව බිඳදැමීම සඳහා සාතන් තමා දරන ප්රයත්නයේදී අධෛර්ය කිරීමක් හෝ වෙනත් යම් සාධක යොදා ගැනීමට හැකියි. අපට ආර්ථික දුෂ්කරතා තිබේ නම්, අපව යෙහෝවඃවහන්සේ වෙතින් ඈත් කිරීමට ඔහු උත්සාහ කරන්ට පුළුවන. අප ආදරය කරන කෙනෙක් මියගියහොත්, හෝ අපට යම් අසනීපයක් හැදුණොත්, අප ලවා දෙවියන්වහන්සේට දොස් පැවරීමට ඔහු අපව පොලඹවන්ට පුළුවන. යෝබ්ගේ මිත්‍රයන් මෙන්, යමෙක් අපට බොරු ලෙස චෝදනා කරන්ට පවා පුළුවන. සහෝදර මැක්මිලන් ඇඟෙව්වාක් මෙන්, සාතන්, ‘අප පිටුපසින්’ සිටිනවා විය හැකියි, නමුත් අපට විඳදරා ගත හැකිය.
23 මෙතෙක් අප නිරීක්ෂණය කර ඇත්තාක් මෙන්, යෝබ් තම නොයෙක් පරීක්ෂා විඳදරා ගනිමින් සිටියේය. කෙසේ වෙතත්, ඔහු විඳදරා ගනිමින් සිටියේ අල්ප වශයෙන්ද? ඔහුට ඇත්තටම බිඳුණු ස්වභාවයක් තිබුණාද? යෝබ් ඇත්තටම බලාපොරොත්තු සියල්ල අහිමි කර ගෙන තිබුණාද කියා අපි බලමු.
ඔබ කෙසේ ප්‍රතිචාරය දක්වනු ඇත්ද?
◻ යෝබ්ගේ දවසේදී සාතන් පැනනැංවූ මහත් ප්රශ්නය කුමක් වීද?
◻ යෝබ්ව උපරිම සීමාව දක්වා පරීක්ෂා කරනු ලැබුවේ කුමන ක්‍රමවලින්ද?
◻ යෝබ්ගේ “මිත්‍රයන්” තුන්දෙනා ඔහුට චෝදනා කළේ කුමක් සම්බන්ධවද?
◻ යෝබ්ගේ සිද්ධියේදී මෙන්, යෙහෝවඃවහන්සේ කෙරෙහි වූ අපගේ අඛණ්ඩතාව බිඳදැමීමට සාතන් කෙසේ උත්සාහ කරනවා විය හැකිද?
[10වන පිටුවේ පින්තූරය]
ඒ. එච්. මැක්මිලන්