‘අහෝ දෙවියන් වහන්ස, මා මුළුමනින් ම විමසා බැලුව මැනව’
“අහෝ දෙවියන් වහන්ස, මා ව මුළුමනින් ම විමසා බලා, මාගේ හෘදය දැනගත මැනව, . . . සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.”—ගීතාවලිය 139:23, 24, NW.
1. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයින් සමඟ කටයුතු කරන්නේ කෙසේ ද?
අපි සියල්ලන් ම, තේරුම් ගන්නා සුලු කෙනෙකු, අපගේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නා කෙනෙකු, අප අතින් වරදක් සිදු වන විට අපට උපකාර කරන අයෙකු, අපට කළ හැකි තරමට වඩා අපෙන් බලෙන් ඉල්ලා නොසිටින කෙනෙතු සමඟ කටයුතු කරන්නට කැමැත්තෙමු. යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය සේවකයින් සමඟ කටයුතු කරන්නේ ඒ අයුරින් ය. ගීතාවලිය 103:14 මෙසේ පවසයි: “උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරන සේක.” තව ද, සිය පියාණන් ව පූර්ණ වශයෙන් පිළිබිඹු කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මෙම උණුසුම් ආරාධනය අප වෙත පිරිනමන සේක: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලා සහනය දෙමි. මම සිතින් මෘදුව [හෘදයෙන් NW] යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන [නැතහොත්, “මාත් සමඟ මාගේ වියගහ යටතට පැමිණ”, පාද සටහන NW] මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ විහගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.
2. (අ) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ (ආ) ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් සම්බන්ධ ව, යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටිය හා මිනිසුන්ගේ දෘෂ්ටිය අතර වෙනස පැහැදිලි කරන්න.
2 යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයින් දෙස බලන ආකාරය, මිනිසුන් බලන ආකාරයට වඩා, බොහෝ විට ඉතා වෙනස් ය. වෙනස් දෘෂ්ටි කෝණයකින් කාරණා දෙස බලන උන් වහන්සේ, අන්‍යයන් විසින් කිසි ම දෙයක් නොදැන සිටිය හැකි වූ පැති සැලකිල්ලට ගන්නා සේක. යේසුස් වහන්සේ පොළොව මත සිටිය දී, උන් වහන්සේ ව “මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක.” මෙසියස් වහන්සේ වශයෙන් උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නොතැබූ අය ‘උන් වහන්සේ ව ගණනකටවත් ගත්තේ නැත.’ (යෙසායා 53:3; ලූක් 23:18-21) එහෙත්, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ, උන් වහන්සේ, “[දෙවියන් වහන්සේගේ] ප්‍රේමනීය පුත්‍රයා,” වූ අතර, උන් වහන්සේ ගැන පියාණන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මම ඔබ ව අනුමත කළෙමි.” (ලූක් 3:22, NW; 1 පේතෘස් 2:4) යේසුස් වහන්සේගේ අනුගාමිකයින් අතර, පහත් ලෙස සලකනු ලබන අය සිටින අතර, එසේ වන්නේ ඔවුන් ද්‍රව්‍යමය වශයෙන් දිළිඳු ව සිටින නිසාත්, බොහෝ පීඩා විඳ දරා ගන්නා නිසාත් ය. එහෙත්, යෙහෝවඃ වහන්සේගේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ ඇස් හමුවේ, එවැනි අය පොහොසත් අය විය හැක. (රෝම 8:35-39; එළිදරව් 2:9) මෙම දෘෂ්ටි කෝණවල වෙනසක් ඇත්තේ ඇයි?
3. (අ) මිනිසුන් පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටිය, මිනිසුන්ගේ දෘෂ්ටියෙන් බොහෝ සෙයින් වෙනස් වන්නේ මන්ද? (ආ) අප ඇතුළාන්තයෙන් කුමනාකාරයේ පුද්ගලයින් ද කියා පරීක්ෂා කර බැලීම අති වැදගත් වන්නේ මන්ද?
3 යෙරෙමියා 11:20 [NW] මීට පිළිතුරු දෙයි: “යෙහෝවඃ වහන්සේ . . . වකුගුඩු ද හෘදය ද පරීක්ෂා කරන සේක.” අප ඇතුළාන්තයෙන් කුමන ආකාරයේ අය ද කියා උන් වහන්සේ දකින අතර, අපගේ පෞද්ගලිකත්වයන්හි වෙනත් අයගේ ඇස්වලින් සැඟවී තිබෙන පැති පවා දකින සේක. උන් වහන්සේ විසින් කෙරෙන මෙම පරීක්ෂණයේ දී, උන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අති වැදගත් වන්නාවූ, අපගේ වඩාත් කාලීන යහපතට ප්‍රයෝජනවත් වන්නාවූ ගුණාංග හා තත්ත්වයන්ට මූලික අවධානය දෙන සේක. අප ඒ ගැන දැනගැනීම දිරිගන්වන සුලු ය; එමෙන් ම සන්සුන් කරවන සුලු ය. අප ඇතුළාන්තයෙන් කුමන ආකාරයේ අය ද යන්නට යෙහෝවඃ වහන්සේ අවධානය යොමු කරන නිසා, උන් වහන්සේගේ නව ලෝකයේ සිටීමට උන් වහන්සේට වුවමනා කරන ආකාරයේ පුද්ගලයින් වීමට අප උත්සාහ කරනවා නම් අපගේ ඇතුළාන්තය ගැන පරීක්ෂා කර බැලීම අපට වැදගත් ය. එවන් පරීක්ෂණයක් කිරීමට උන් වහන්සේගේ වචනය අපට උපකාර කරයි.—හෙබ්‍රෙව් 4:12, 13.
දෙවියන් වහන්සේගේ සිතුවිලි කොතරම් අනර්ඝ ද!
4. (අ) දෙවියන් වහන්සේගේ සිතුවිලි තමාට අනර්ඝ බව ප්‍රකාශ කිරීමට ගීතිකාකරු ව පෙලඹ වූයේ කුමක් ද? (ආ) ඒවා අපට අතිශයින් අනර්ඝ විය යුත්තේ ඇයි?
4 ස්වකීය සේවකයින් සම්බන්ධ ව දෙවියන් වහන්සේගේ දැනුමේ දිග පළල ගැඹුර ගැන මෙන් ම ඔවුනට අවශ්‍ය විය හැකි ඕනෑ ම උපකාරයක් සැපයීමට දෙවියන් වහන්සේට ඇති අති විශේෂ හැකියාව මත මෙනෙහි කිරීමෙන් පසු, ගීතිකාකාර දාවිත් මෙසේ ලීවේ ය: “ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද!” (ගීතාවලිය 139:17අ) මිනිසුන්ගේ අදහස් කොතරම් අති විශිෂ්ට සේ පෙනෙන්ට තිබුණත්, උන් වහන්සේගේ ලිඛිත වචනයේ හෙළි කර ඇති එම සිතුවිලි, මිනිසුන්ගෙන් පැමිණෙන ඕනෑ ම දෙයකට වඩා බොහෝ උසස් ය. (යෙසායා 55:8, 9) ජීවිතයේ සැබවින් ම වැදගත් දේවලට මූලික අවධානය යොමු කිරීමටත්, උන් වහන්සේගේ සේවයේ ජ්වලිත වීමටත් දෙවියන් වහන්සේගේ සිතුවිලි අපට උපකාර කරයි. (පිලිප්පි 1:9-11) දෙවියන් වහන්සේ දකින ආකාරයට කාරණා දෙස බැලීමට ඒවා අපට මඟ පෙන්වයි. අප, අප සමඟ ම අවංක වීමටත් හෘදයෙන් සැබවින් ම කුමන පුද්ගලයෙක් ද කියා අප විසින් ම පිළිගැනීමටත් ඒවා අපට උපකාර කරයි. එය කිරීමට ඔබ කැමති වන්නෙහි ද?
5. (අ) “සියල්ලටම වඩා” දේව වචනය අපගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ කුමක් ආරක්ෂා කර ගැනීමට ද? (ආ) කායින් සම්බන්ධ බයිබල් වාර්තාවෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද? (ඇ) අප මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, යෙහෝවඃ වහන්සේ ව සතුටු කරන දේ තේරුම් ගැනීමට එය අපට උපකාර කරන්නේ කෙසේ ද?
5 මිනිසුන් නැඹුරු වී සිටින්නේ, බාහිර පෙනුම කෙරෙහි ඕනෑවට වඩා අවධානයක් දීමට ය, නමුත් ශුද්ධ ලියවිල්ල අපට උපදෙස් දෙන්නේ මෙසේ ය: “සියල්ලටම වඩා නුඹේ සිත [හෘදය NW] ආරක්ෂා කරගනින්න.” (හිතෝපදේශ 4:23) ශික්ෂාවෙන් සහ ආදර්ශයෙන් යන දෙකෙන් ම බයිබලය අපට උපකාර කරන්නේ එය කිරීමට ය. කායින් හුදු චාරිත්‍රයක් ලෙස දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කළ අතරේ දී, තම සහෝදරයා වූ ආබෙල් කෙරෙහි තම හෘදයෙන් අමනාපය ද, ඊළඟට වෛරය ද මහත් සේ කැකෑරෙමින් සිටි බව එය පවසයි. තව ද ඔහු හා සමාන නොවන ලෙස එය අපෙන් උදක් ම ඉල්ලා සිටී. (උත්පත්ති 4:3-5; 1 යොහන් 3:11, 12) මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කීකරුකම පිළිබඳ අවශ්‍යතාවය එය වාර්තා කරයි. එහෙත්, ව්‍යවස්ථාවේ පරම අවශ්‍යතාවය යෙහෝවඃ වහන්සේට නමස්කාර කළ අය, උන් වහන්සේට තම මුළු හෘදයෙන් ද, මනසින් ද, ආත්මයෙන් ද එමෙන් ම ශක්තියෙන් ද ප්‍රේම කළ යුතු බවත් එය අවධාරණය කරයි; තව ද ඊළඟට වැදගත් නියෝගය වූයේ ඔවුන් තමන්ට මෙන් තම අසල් වැසියන්ට ප්‍රේම කළ යුතු බව එහි සඳහන් කොට තිබේ.—ද්විතීය කථාව 5:32, 33; මාර්ක් 12:28-31.
6. හිතෝපදේශ 3:1 අදාළ කර ගැනීමේ දී, අප කිනම් ප්‍රශ්න අපගෙන් ම ඇසිය යුතු ද?
6 හිතෝපදේශ 3:1 හි අපගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ, දෙවියන් වහන්සේගේ අණ පනත් නිකම් ම පැවැත්වීමට නොව, නමුත් අපගේ කීකරුකම සැබවින් අපගේ හෘදයේ තිබෙන දෙයෙහි ප්‍රකාශයක් විය යුතු බවට ස්ථිර වීමට ය. පෞද්ගලික ව අප අපගෙන් ම මෙසේ ඇසිය යුතු ය, ‘දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවලට මගේ කීකරුකම සම්බන්ධයෙන් එය සැබෑවක් ද?’ ඇතැම් කාරණාවල දී අපගේ චේතනාව හෝ කල්පනාවන්හි යම් අඩුබවක් තිබෙන බව අපට වැටහේ නම්—ඇරත්, අප දෝෂ රහිත බව අපගෙන් කිසිවෙකුට කිව නොහැකි නම්—අප මෙසේ ඇසිය යුතු ය: ‘තත්ත්වය වැඩි දියුණු කිරීමට මම කුමක් කරමින් සිටින්නෙම් ද?’—හිතෝපදේශ 20:9; 1 යොහන් 1:8.
7. (අ) මතෙව් 15:3-9 හි යේසුස් වහන්සේ විසින් ඵරිසිවරුන් ව දෝෂාරෝපණය කරනු ලැබීම, අපගේ හෘදයන් ආරක්ෂා කර ගැනීමෙහි ලා අපට කෙසේ උපකාරවත් විය හැකි ද? (ආ) අපගේ මනස හා හෘදය හික්මවීම සඳහා දැඩි පියවර ගැනීමට අපට හේතු කරවිය හැකි තත්ත්වයන් මොනවා ද?
7 දෙවියන් වහන්සේට ගෞරව කරන බව බොරුවට අඟවමින් යුදෙව් ඵරිසිවරු තමන්ගේ ආත්මාර්ථකාමි අභිලාෂයන් මගින් පෙලඹුණු චේතනාවෙන් යුතු ව යම් පිළිවෙතකට අනුග්‍රහය දෙමින් සිටි විට, යේසුස් වහන්සේ ඔවුන් ව කුහකයින් ලෙස හෙලා දුටු අතර, ඔවුන්ගේ නමස්කාරය නිරර්ථක වූ බව පෙන්වූ සේක. (මතෙව් 15:3-9) හෘදය දකින දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට නම්, රාගික ආස්වාදය ලබනු පිණිස දුරාචාර සිතුවිලිවල අප නිරතුරු ව පිනායමින්, ඒ අතර ම පිටතින් පෙනෙන සදාචාර ජීවිතයක් ගත කිරීම ප්‍රමාණවත් නොවන බවට ද යේසුස් වහන්සේ අනතුරු ඇඟවූ සේක. අපගේ මනස හා හෘදය හික්ම වීමට දැඩි පියවර ගැනීමට අපට අවශ්‍ය වේ. (හිතෝපදේශ 23:12; මතෙව් 5:27-29) අපගේ බාහිර රැකියාවේ දී, අධ්‍යාපනය තුළ අපගේ ඉලක්කවල දී හෝ විනෝදාස්වාදයන්හි අප කරන තේරීම්වල දී, අප ලෝකය අනුකරණය කරන්නන් බවට පත්වෙමින් සිටිනවා නම්, එමෙන් ම එහි ප්‍රමිතිවලට අනුව අප ව ඇඹීමට අප ඉඩ හරිනවා නම්, එවන් හික්මවීමක් අපට අවශ්‍ය ය. දෙවියන් වහන්සේට අයත් බව කියා සිටිය දී ලෝකයේ මිතුරන් වීමට වුවමනා කරන අය ව ශ්‍රාවක යාකොබ් ‘කාමමිථ්‍යාචාරික තැනැත්තියන්’ ලෙස අමතන බව අපි කිසිවිටෙකත් අමතක නොකරමු. ඒ මන්ද? මක්නිසාදයත් ‘මුළු ලෝකය රැඳී පවතින්නේ දුෂ්ටයාගේ බලය යටතේ ය.’—යාකොබ් 4:4; 1 යොහන් 2:15-17; 5:19, NW.
8. දෙවියන් වහන්සේගේ අනර්ඝ සිතුවිලිවලින් මුළුමනින් ම ප්‍රයෝජන ගැනීමට නම්, අප කුමක් කළ යුතු ද?
8 මෙම කාරණා සහ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ සිතුවිලිවලින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීම පිණිස, අප ඒවා කියවීමට හෝ ඇසීමට කාලය මිඩංගු කළ යුතු ය. ඊටත් වඩා, අප ඒවා අධ්‍යයනය කළ යුතු ය, ඒවා ගැන කථා කළ යුතු ය, ඒවා මත මෙනෙහි කළ යුතු ය. මුරටැඹ කියවන බොහෝ පාඨකයෝ, බයිබලය සාකච්ඡා කරනු ලබන, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා රැස්වීම්වලට නිති පතා පැමිණෙති. එය කිරීම සඳහා ඔවුහු වෙනත් ලුහුබැඳීම්වලින් කාලය මිල දී ගනිති. (එපීස 5:15-17) තව ද පෙරළා ඔවුන් ඉන් ලබා ගන්නා දේ ද්‍රව්‍යමය වස්තූන්ට වඩා බොහෝ අගනේ ය. ඔබට හැඟෙන්නේත් ඒ ආකාරයෙන් ම නොවේ ද?
9. ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන ඇතැම් අය වෙනත් අයට වඩා වැඩි වේගයකින් ප්‍රගතියක් දක්වන්නේ මන්ද?
9 කෙසේ වුවද, මෙම රැස්වීම්වලට පැමිණෙන ඇතැම් අය, අනෙක් අයට වඩා වැඩි වේගයකින් ආත්මික ප්‍රගතියක් ලබා ගනිති. ඔවුහු සත්‍යය තම ජීවිතවල වඩාත් පූර්ණ අයුරකින් අදාළ කර ගනිති. මීට හේතු වන්නේ කුමක් ද? බොහෝ විට, ප්‍රධාන සාධකය වන්නේ පෞද්ගලික අධ්‍යයනය තුළ ඔවුන් යොදවන දැඩි පරිශ්‍රමයයි. තමන් රොටිවලින් පමණක් ජීවත් නොවන බව ඔවුහු අගය කරත්; සෑම දවසක ම ආත්මික ආහාර ගැනීම නිති පතා මාංසික ආහාර ගන්නවාක් මෙන් ම වැදගත් ය. (මතෙව් 4:4; හෙබ්‍රෙව් 5:14) එමනිසා, බයිබලය හෝ එය පැහැදිලි කරන ප්‍රකාශන කියවීමට සෑම දවසක ම අඩු තරමින් යම් කාලයක් වැය කිරීමට ඔවුහු මහන්සි වෙති. ශුද්ධ ලියවිලි පද බලමින් කලින් ම නියමිත පාඩම් අධ්‍යයන කරමින් ඔවුහු සභා රැස්වීම්වල සූදානම් වෙති. තොරතුරු කියවනවාට වඩා වැඩි යමක් ඔවුහු කරති; ඔවුහු ඒවා ගැන මෙනෙහි කරති. තමන් ඉගෙන ගන්නා දේ තමන්ගේ ම ජීවිත කෙරෙහි ඇති විය යුතු බලපෑම ගැන බැරෑරුම් ලෙස සිතීම ඔවුන්ගේ පාඩම් රටාවන්ට ඇතුළත් වෙයි. ඔවුන්ගේ ආත්මිකත්වය වර්ධනය වනවාත් සමඟ ම ගීතිකාකරු මෙසේ ලීවාක් මෙන් ඔවුනට හැඟී යයි: “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! . . . ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම් NW] ආශ්චර්ය්යමත්ය.”—ගීතාවලිය 1:1-3; 119:97, 129.
10. (අ) දෙවියන් වහන්සේගේ වචනය පාඩම් කිරීමෙහි නියැලීම ප්‍රයෝජනදායක වන්නේ කොතරම් කාලයකට ද? (ආ) ශුද්ධ ලියවිලි මෙය පෙන්නුම් කරන්නේ කෙසේ ද?
10 අප වසරකට, වසර 5කට හෝ වසර 50කට දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කර තිබුණත්, දෙවියන් වහන්සේගේ සිතුවිලි අපට අනර්ඝ වේ නම්, ඒවා කිසිවිටෙකත් අප හට නිකම් ම පුන පුනා පැවසෙන නීරස දෙයක් වන්නේ නැත. අපගෙන් ඕනෑ ම අයෙක් ශුද්ධ ලියවිලිවලින් කොතරම් ඉගෙන ගෙන තිබුණත්, අප නොදන්නා වූ තව බොහෝ දේ තිබේ. “අහෝ දෙවියන් වහන්සේ, ඒවායේ මුළු එකතුවේ ගණන කොතරම් මහත් ද!” [NW] යයි දාවිත් පැවසුවේ ය. “ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය.” දෙවියන් වහන්සේගේ සිතුවිලි අපට ගණන් කරන්නට තිබෙන හැකියාවට ඔබ්බෙන් තිබේ. අප දෙවියන් වහන්සේගේ සිතුවිලි දවස පුරා එකිනෙක ගණන් කොට නින්දට ගියා නම්, අප උදෑසන අවදිවන විට සිතා බැලීමට තවමත් බොහෝ දේවල් තිබෙනු ඇත. මේ අනුව, දාවිත් ලීවේ මෙසේ ය: “මම පිබිදෙන විටත් ඔබ සමග වෙමි.” (ගීතාවලිය 139:17, 18) සදාකාලය පුරා යෙහෝවඃ වහන්සේගේ සහ උන් වහන්සේගේ මාර්ග ගැන ඉගෙන ගැනීමට අපට බොහෝ දේවල් තිබෙනු ඇත. සියල්ල ම දන්නා තත්ත්වයට අප කිසිමදාක ළඟා වන්නේ නැත.—රෝම 11:33.
යෙහෝවඃ වහන්සේ වෛර කරන දේට වෛර කිරීම
11. දෙවියන් වහන්සේගේ සිතුවිල දැනගැනීම පමණක් නොව, නමුත් උන් වහන්සේගේ හැඟීම් ද හවුලේ භුක්ති විඳීම වැදගත් වන්නේ මන්ද?
11 දේව වචනය ගැන අප කරන අධ්‍යයනයේ අරමුණ, අපගේ හිස් තොරතුරුවලින් නිකම් ම පුරවා ගැනීම නොවේ. අප ඒවාට අපගේ හෘදය තුළට කිඳාබැසීමට ඉඩ සලසනවාත් සමඟ ම, දෙවියන් වහන්සේගේ හැඟීම් හවුලේ භුක්තිවිඳීමට ද අපි පටන් ගන්නෙමු. එය මොනතරම් වැදගත් ද! අප එවැනි හැඟීම් වර්ධනය නොකරනවා නම්, ප්‍රතිඵලය කුමක් විය හැකි ද? බයිබලය පවසන දේ නැවත කීමට අපට හැකි වුණත්, තහනම් කර ඇති දෙය ආශා කරන දෙයක් හැටියට අප විසින් දකිනවා විය හැක, නැතහොත් ඉල්ලා සිටින දේ පීඩාකාරී බරක් හැටියට අපට පෙනෙනවා විය හැක. වැරදි දේට අප වෛර කළත්, මිනිස් අසම්පූර්ණකම නිසා අපට පොර බැදීමක් තිබෙන්නට පුළුවන් බව සැබෑවකි. (රෝම 7:15) එහෙත් අපගේ ඇතුළාන්තයේ තිබෙන දෙය හරි දේ සමඟ එකඟ කිරීමට අප උනන්දුමත් දැඩි ප්රයත්නයක් යොදන්නේ නැත්නම්, “හෘදයන් පරීක්ෂා කරන්නා වූ” යෙහෝවඃ වහන්සේ ව සතුටු කිරීම අපට අපේක්ෂා කළ හැකි ද?—හිතෝපදේශ 17:3, NW.
12. දේව භක්තික ප්‍රේමය හා දේව භක්තික වෛරය කොතරම් වැදගත් ද?
12 දේව භක්තික ප්‍රේමය හරි දේ කිරීම ප්‍රීතියක් කරනවාක් මෙන්, දේව භක්තික වෛරය වැරදි කිරීමට එරෙහි ව ප්‍රබල ආරක්ෂාවක් වෙයි. (1 යොහන් 5:3) ශුද්ධ ලියවිල්ල යළි යළිත් අපෙන් උදක් ම ඉල්ලා සිටින්නේ ප්‍රේමය සහ වෛරය යන දෙක ම වර්ධනය කරන ලෙසටයි. “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේම කරන්නෙනි, නපුරට වෛර කරව්.” (ගීතාවලිය 97:10) “නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙයල්ලා.” (රෝම 12:9) අප එය කරමින් සිටිනවා ද?
13. (අ) දුෂ්ටයින්ගේ විනාශය සම්බන්ධ ව දාවිත්ගේ කිනම් යාච්ඤාව සමඟ අපි මුළුමනින් ම එකඟ වන්නෙමු ද? (ආ) දාවිත්ගේ යාච්ඤාවේ පෙන්වා ඇති පරිදි, විනාශ කරන මෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කරනු ලැබූ දුෂ්ටයින් කවුරුන් වූවා ද?
13 දුෂ්ටයින් ව පොළොවෙන් මුලිනුපුටා දැමීමට සහ ධර්මිෂ්ඨකම වාසය කරන නව පොළොවක් දියත් කිරීමට වූ ස්වකීය අරමුණ යෙහෝවඃ වහන්සේ පැහැදිලි ව ප්‍රකාශ කර තිබෙන සේක. (ගීතාවලිය 37:9, 10; 2 පේතෘස් 3:13) ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නෝ එම කාලයේ පැමිණීම ආශාවෙන් බලා සිටිත්. මෙසේ යාච්ඤා කළා වූ ගීතිකාකාර දාවිත් සමඟ ඔවුහු මුළුමනින් ම එකඟ වෙති: අහෝ “දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්. මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.” (ගීතාවලිය 139: 19, 20) එවැනි දුෂ්ට අය ව පෞද්ගලික ව මරා දැමීමට දාවිත් ආශාවෙන් බලා සිටියේ නැත. ඵලවිපාක දීම යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙනු ඇතැයි ඔහු යාච්ඤා කළේ ය. (ද්විතීය කථාව 32:35; හෙබ්‍රෙව් 10:30) මේ අය, දාවිත් වෙත යම් ආකාරයකින් පෞද්ගලික ව වැරදි කොට තිබූ අය නොවේ. ඔවුහු දෙවියන් වහන්සේගේ නම නිරර්ථක අයුරින් යොදා ගනිමින් උන් වහන්සේ ව වැරදි ලෙස නියෝජනය කර තිබුණි. (නික්මයාම 20:7) ඔවුහු වංක ලෙස උන් වහන්සේට සේවය කරන බව කියා සිටි නමුත්, ඔවුන් උන් වහන්සේගේ නාමය යොදා ගනිමින් සිටියේ තමන්ගේ යෝජනා වැඩි දියුණු කර ගැනීමට ය. දෙවියන් වහන්සේට එදිරිවාදීන් වීමට තෝරා ගත් අය කෙරෙහි දාවිත් හට කිසිදු ප්‍රේමයක් තිබුණේ නැත.
14. උපකාර කරනු ලැබිය හැකි දුෂ්ටයින් සිටී ද? එසේ නම්, ඒ කෙසේ ද?
14 යෙහෝවඃ වහන්සේ ව නොදන්නා වූ බිලියන සංඛ්‍යාත ජනකායක් සිටී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, දුෂ්ට දේවල් බවට දේව වචනය පෙන්වන්නා වූ දේවල් නොදැනුවත්කමෙන් කරති. ඔවුන් මෙම ක්‍රියා මාර්ගයේ දිගට ම ගියහොත් මහත් පීඩාවේ දී විනාශ වන අය අතර ඔවුන් සිටිනු ඇත. එහෙත්, දුෂ්ටයා විනාශ වෙනවාට යෙහෝවඃ වහන්සේගේ කිසිදු සතුටක් නැත, අපත් එසේ ම සතුටු නොවිය යුතු ය. (එසකියෙල් 33:11) කාලය විසින් ඉඩ හරින තාක්කල්, යෙහෝවඃ වහන්සේගේ මාර්ග ඉගෙන ගෙන අදාළ කර ගැනීමට එවන් ජනයාට උපකාර කිරීමට අපි දැඩි ප්රයත්නයක් දරමු. එහෙත්, ඇතැම් අය යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි වෛරයක් පෙන්නුම් කරන්නේ නම් තත්ත්වය කුමක් ද?
15. (අ) “සැබෑ සතුරන්” යයි දාවිත් විසින් සලකනු ලැබූ අය කවුරුන් වූවා ද? (ආ) යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව කැරලි ගසන අයට අප “වෛර“ කරන බව අද දින අපට පෙන්විය හැක්කේ කෙසේ ද?
15 ඔවුන් සම්බන්ධ ව, ගීතිකාකරු මෙසේ පැවසී ය: “ස්වාමිනී [අහෝ යෙහෝවඃ වහන්ස NW] ඔබට [තදින් NW] වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද? [මා තුළ දැඩි පිළිකුළක් නොදැනේ ද? NW] සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛරකරමි. ඔවුන් මාගේ [සැබෑ NW] සතුරන් කොට ගණන් ගතිමි.” (ගීතාවලිය 139:12, 22) දාවිත් ඔවුන් දෙස පිළිකුලෙන් බැලුවේ ඔවුන් යෙහෝවඃ වහන්සේට දැඩි සේ වෛර කළ නිසා ය. ඇදහිල්ල අත්හැර යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් උන් වහන්සේ කෙරෙහි තම වෛරය පෙන්වන අය මේ අතර වෙති. ඇත්තෙන් ම, ඇදහිල්ල අත්හැර යාම යනු යෙහෝවඃ වහන්සේට එරෙහි ව කැරලි ගැසීමකි. ඇදහිල්ල අත්හැර ගිය ඇතැම් අය, යෙහෝවඃ වහන්සේ ව දන්නා බවත් උන් වහන්සේට සේවය කරන බවත් කියා සිටින නමුත්, උන් වහන්සේගේ වචනයේ සඳහන් ව ඇති ඉගැන්වීම් හෝ අවශ්‍යතාවයන් ප්‍රතික්ෂේප කරති. තවත් අය බයිබලය විශ්වාස කරන බව කියා සිටිති, නමුත් ඔවුහු යෙහෝවඃ වහන්සේගේ සංවිධානය ප්‍රතික්ෂේප කරන අතර, එහි ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට ක්‍රියාශීලී ලෙස උත්සාහ කරති. හරි දේ දැනගැනීමෙන් පසු ඔවුන් එවැනි නරකක් සිතා මතා ම තෝරා ගන්නා විටත්, නරක දේ ඔවුන් තුළ මොනතරම් පැලපදියම් වී තිබේ ද යත්, එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ වෙන් කළ නොහැකි කොටසක් බවට පත් වන විටත්, එම හේතුව නිසා, ක්‍රිස්තියානියෙක්, වෙන් කළ නොහැකි ලෙසින් නරක දේට අත්වැල් බැඳගෙන සිටින අයට (බයිබලයේ දැක්වෙන අර්ථයෙන්) වෛර කළ යුතු ය. ඇදහිල්ල අත්හැර ගිය අය කෙරෙහි යෙහෝවඃ වහන්සේට තිබෙන හැඟීම සැබෑ ක්‍රිස්තියානින්ටත් තිබේ; ඇදහිල්ල අත්හැර ගිය අයගේ අදහස් ගැන ඔවුහු කුතුහලයෙන් නොසිටිති. ඊට වෙනස් ව, දෙවියන් වහන්සේගේ සතුරන් බවට තමන් ව ම පත් කර ගෙන සිටින අය කෙරෙහි ඔවුනට ‘දැඩි පිළිකුලක් දැනෙන’ නමුත් ඔවුහු පළිගැනීම යෙහෝවඃ වහන්සේට භාර කරති.—යෝබ් 13:16; රෝම 12:19; 2 යොහන් 9, 10.
දෙවියන් වහන්සේ අප ව මුළුමනින් ම විමසන විට
16. (අ) යෙහෝවඃ වහන්සේ විසින් දාවිත් ව මුළුමනින් ම විමසා බැලීම වුවමනා වූයේ ඇයි? (ආ) අපගේ හෘදය ගැන කුමන දේ වටහා ගැනීමට අප දෙවියන් වහන්සේගේ උපකාරය පතා අයැදිය යුතු ද?
16 මොනයම් ආකාරයකින්වත් දුෂ්ටයින් හා සමාන වීමට දාවිත්ට වුවමනා වූයේ නැත. බොහෝ අය තමන් ඇතුළාන්තයෙන් කුමන අයදැයි සැඟවීමට උත්සාහ කරන නමුත්, දාවිත් යටහත් පහත් ලෙස මෙසේ යාච්ඤා කළේ ය: “අහෝ දෙවියන්වහන්ස, මා මුළුමනින් ම විමසා බලා, මාගේ හෘදය දැනගත මැනව. මා පරීක්ෂා කොට, මාගේ නොසන්සුන් සිතුවිලි දැනගත මැනව, යම් ආකාරයක වේදනාකාරී මාර්ගයක් ඇත්දැයි බලා සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 139:23, 24, NW) තම හෘදය කෙරෙහි යොමු දක්වන විට, දාවිත් අදහස් කළේ ශාරීරික ඉන්ද්රියය නොවේ. එම ප්රකාශනයේ සංකේතාත්මක අර්ථයට එකඟ ව, ඔහු යොමු දැක්වූයේ තමා ඇතුළාන්තයෙන් කුමන අයෙක් ද කියා ය, එනම් අභ්‍යන්තර මනුෂ්‍යයාට ය. දෙවියන් වහන්සේ විසින් අපගේ හෘදයන් විමසා බලා, අප තුළ යම් නුසුදුසු ආශාවන්, ස්නේහයන්, චිත්ත වේගයන්, අරමුණු, සිතුවිලි හෝ චේතනාවන් තිබෙනවා ද කියා උන් වහන්සේ විසින් වටහා ගැනීමට අපටත් වුවමනා විය යුතු ය. (ගීතාවලිය 26:2) යෙහෝවඃ වහන්සේ අපට මෙසේ ආරාධනා කරන සේක: “මාගේ පුත්‍රය, නුඹේ සිත [හෘදය NW] මට දියන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීති වේවා.”—හිතෝපදේශ 23:26.
17. (අ) නොසන්සුන් සිතුවිලි සඟවනවා වෙනුවට, අප කුමක් කළ යුතු ද? (ආ) අපගේ හෘදයන්හි වැරදි සහගත නැඹුරුවාවන් තිබෙන බව සොයා ගැනීම ගැන අප පුදුම විය යුතු ද, තව ද අප මේවා ගැන කුමක් කළ යුතු ද?
17 අපගේ පැත්තෙන් යම් වැරදි ආශාවක් නිසා හෝ වැරදි චේතනාවන් නිසා හෝ සිදුවූ යම් වැරදි සහගත හැසිරීමක් නිසා හෝ අප තුළ යම් වේදනාකාරී, නොසන්සුන් සිතුවිලි සැඟවී තිබේ නම්, එවිට කාරණය පැහැදිලි ව හරි ගස්සා ගැනීමට යෙහෝවඃ වහන්සේගේ උපකාර ලබා ගැනීමට අපට වුවමනා විය යුතු ය. “යම් වේදනාකාරී මාර්ගයක්” යන වදන්වැල උපයෝගි කරනවා වෙනුවට, මොෆැට්ගේ පරිවර්තනය පාවිච්චි කරන්නේ “වැරදි සහගත ක්‍රියා මාර්ගයක්” යනුවෙනි; ද න ඉංග්ලිෂ් බයිබල් මෙසේ කියයි: “ඔබ වහන්සේ ව [එනම් දෙවියන් වහන්සේ ව] ශෝක කරවන ඕනෑ ම මාර්ගයක්” යන්න ය. අප තුළ තිබෙන අපගේ නොසන්සුන් සිතුවිලි පැහැදිලි ව අපට ම තේරුම් ගත නොහැකිවා වන්නට පුළුවන, එමනිසා අපගේ ගැටලුව ගැන දෙවියන් වහන්සේට පවසන්නේ කෙසේ ද කියා අප නොදන්නවා වෙන්නට පුළුවන, නමුත් දෙවියන් වහන්සේ අපගේ තත්ත්වය තේරුම් ගන්නා සේක. (රෝම 8:26, 27) අපගේ හෘදයේ යම් නරක නැඹුරුවාවන් තිබෙයි නම් අප ඒ ගැන පුදුම නොවිය යුතු ය; එහෙත් අප එය නිදහසට කරුණක් කර නොගත යුතු ය. (උත්පත්ති 8:21) ඒවා මුලිනුපුටා දැමීමට අප දෙවියන් වහන්සේගේ උපකාරය පැතිය යුතු ය. අප සැබෑවට ම යෙහෝවඃ වහන්සේට හා උන් වහන්සේගේ මාර්ගවලට ප්‍රේම කරනවා නම්, “දෙවියන්වහන්සේ අපේ සිතට [හෘදයට NW] වඩා උතුම්ව සියලු දේම දන්න” බවට නිසැකකමින් යුතු ව එවන් උපකාරය පතා අපට උන් වහන්සේ වෙත එළඹිය හැක.—1 යොහන් 3:19-21.
18. (අ) යෙහෝවඃ වහන්සේ අප ව සදාකාල මාවතේ ගෙන යන්නේ කෙසේ ද? (ආ) අපි යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම දිගට ම අනුගමනය කරන්නෙමු නම්, කිනම් උණුසුම් ප්‍රශංසාවක් අපට යෙහෝවඃ වහන්සේගෙන් අපේක්ෂා කළ හැකි ද?
18 යෙහෝවඃ වහන්සේ සදාකාල මාර්ගයේ තමා ව ගෙන යනු ඇති බවට වූ ගීතිකාකරුගේ යාච්ඤාවට එකඟ ව, ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේ, තම යටහත් පහත් කීකරු සේවකයින් ව මෙහෙයවන සේක. නරක දේ නොකිරීම හේතුවෙන් ඔවුන් අකාලයේ මිය නොයන නිසා, උන් වහන්සේ ඔවුන් ව ගෙන යන්නේ දිගු කාලීන ජීවිතයක් අදහස් කළ හැකි මාවතක පමණක් නොව, නමුත් සදාකාල ජීවනයට තුඩු දෙන මාර්ගයක ය. යේසුස් වහන්සේගේ පූජාවේ පව් සමගි කිරීමේ වටිනාකම පිළිබඳ ව අපට තිබෙන අවශ්‍යතාවය උන් වහන්සේ අපට අවධාරණය කරන සේක. ස්වකීය කැමැත්ත කිරීමට අපට හැකි වන පිණිස, ස්වකීය වචනය හා සංවිධානය තුළින්, උන් වහන්සේ අපට අති වැදගත් උපදෙස් සපයන සේක. ස්වකීය උපකාරයට ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම උන් වහන්සේ අපට අවධාරණය කරන්නේ, අප බාහිර ව පෙන්නුම් කරන ආකාරයේ පුද්ගලයින් ලෙස අභ්‍යන්තරයෙන් ම ඒ ආකාරයේ අය බවට පත්වීමට හැකිවන පිණිස ය. (ගීතාවලිය 86:11) ධර්මිෂ්ඨ නව ලොවක පරිපූර්ණ සෞඛ්‍ය ලැබීමේ අපේක්ෂාව සමඟින් එක ම සැබෑ දෙවියන් වහන්සේ වන උන් වහන්සේ හට සේවය කිරීමට සදාකාලික ජීවිතයක අපේක්ෂාව මගින් උන් වහන්සේ අප ව දිරිගන්වන සේක. අපි දිගට ම උන් වහන්සේගේ මඟ පෙන්වීමට පක්ෂපාතී ව ප්‍රතිචාරය දක්වන්නෙමු නම්, ඇත්ත වශයෙන් ම, උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ට පැවසුවාක් මෙන් අපටත් මෙසේ පවසනු ඇත: “මම ඔබ ව අනුමත කළෙමි.”—ලූක් 3:22, NW; යොහන් 6:27; යාකොබ් 1:12.
ඔබගේ අදහස් මොනවා ද?
◻ ස්වකීය සේවකයින් පිළිබඳ ව යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටිය මිනිසුන්ගේ දෘෂ්ටියෙන් බොහෝ විට ඉතා වෙනස් වන්නේ මන්ද?
◻ දෙවියන් වහන්සේ අපගේ හෘද පරීක්ෂා කරන විට, උන් වහන්සේ දකින දෙය වටහා ගැනීමට අපට කුමක් උපකාරවත් විය හැකි ද?
◻ සැබෑ කරුණු ඉගෙන ගෙන හෘදයෙහි ඒවා ආරක්ෂා කර ගැනීමට කිනම් ආකාරයක අධ්‍යයනයක් අපට උපකාරවත් වේ ද?
◻ දෙවියන් වහන්සේ පවසන දේ දැනගැනීම පමණක් නොව, නමුත් උන් වහන්සේගේ හැඟීම් ද හවුලේ භුක්තිවිඳීම වැදගත් වන්නේ මන්ද?
◻ “අහෝ දෙවියන් වහන්ස, මා මුළුමනින් ම විමසා බලා මාගේ හෘදය දැන ගත මැනව” කියා අප පෞද්ගලික ව යාච්ඤා කළ යුත්තේ මන්ද?
[16වන පිටුවේ පින්තූරය]
අධ්‍යයනය කරන විට, දෙවියන් වහන්සේගේ සිතුවිලි හා හැඟීම් ඔබගේ ම ඒවා කර ගැනීමට යත්න දරන්න
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ වහන්සේගේ සිතුවිලි “වැලිවලටත් වඩා වැඩිය”
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.