ඔබේ ජීවිතයේ ප්‍රධානතම දේ කුමක්ද?
“මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව.”—ගීතාවලිය 143:8.
1. මනුෂ්‍යයන්ගේ ලුහුබැඳීම් හා සමර්ථකම් ගැන සාලමොන් රජු එළඹුණේ කුමන නිගමනයටද?
ජීවිතය ක්‍රියාකාරකම්වලින් හා සැලකිල්ලට යොමු වන දේවලින් පිරී පවතින බව, කවුරුත් දන්නා පරිදි, ඔබත් හොඳින් දන්නවා විය හැක. ඒ ගැන ටිකක් සිතා බලන විට, ඒවායින් සමහරක් අත්‍යවශ්‍යයයි කියා හැඳින්වීමට ඔබට හැක. වෙනත් ක්‍රියාකාරකම් මෙන්ම සැලකිල්ලට යොමු වන දේවල් එතරම් වැදගත් නැත; එසේ නැතහොත් සම්පූර්ණයෙන්ම නිෂ්ඵලය. මෙය අවබෝධ වීමෙන් අදහස් වන්නේ, මෙතෙක් සිටි ඥානවන්තම මනුෂ්‍යයන්ගෙන් කෙනෙකු වන සාලමොන් රජු සමඟ ඔබ එකඟව සිටින බවය. ජීවිතයේ ක්‍රියාකාරකම් හොඳින් සලකා බැලීමෙන් පසු, ඔහු මෙම නිගමනයට එළඹීය: “[සැබෑ, NW] දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.” (දේශනාකාරයා 2: 4-9, 11; 12:13) මෙය අදදින අපහට කුමන වැදගත්කමකින් යුක්තද?
2. දේවභයැති පුද්ගලයන් තමුන්ගෙන්ම කුමන මූලික ප්රශ්නය ඇසිය යුතුද; මෙය, අදාළ වෙනත් කුමන ප්‍රශ්නවලට මඟ පාදයිද?
2 “[සැබෑ, NW] දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා” පැවැත්වීමට ඔබට ඕනෑ නම්, මෙම අභියෝගාත්මක ප්රශ්නය ඔබෙන්ම අසාගන්න: ‘මගේ ජීවිතයේ ප්‍රධානතම දේ මොකද්ද?’ සමහරවිට එම ප්රශ්නය ගැන ඔබ හැමදාම නොසිතන බව සැබෑවක් වන මුත්, දැන් ඒ ගැන සලකා බැලීම හොඳ අදහසක් නොවේද? ඇත්තෙන්ම, ‘මගේ රැකියාව හෝ වෘත්තිය කෙරෙහි නැත්නම් ද්‍රව්‍යමය දේවල් කෙරෙහි අනවශ්‍ය අවධානයක් මම යොමු කරනවා වෙන්න පුළුවන්ද? මගේ නිවසට, පවුලට හා හිතවතුන්ට හිමි වන තැන මොකක්ද,’ වැනි අදාළ තවත් ප්‍රශ්න සලකා බැලීමට එය හේතුවක් වෙයි. තරුණ තරුණියන්ට මෙසේ ඇසිය හැක: ‘මගේ අවධානයෙන් හා කාලයෙන් කොතරම් ප්‍රමාණයක් අධ්‍යාපනයට වැය වෙනවාද? ඇත්තවශයෙන්ම, මගේ උනන්දුව මූලිකව යොමු වී තිබෙන්නේ විනෝදාංශයකට, ක්‍රීඩාවකට හෝ යම් ආකාරයක විනෝදාස්වාදයකට හෝ තාක්ෂණයකටද?’ එමෙන්ම අපේ වයස හෝ තත්වය කුමක් වුවත්, මෙසේ ඇසීම සුදුසුය: ‘මගේ ජීවිතයේදී දෙවියන්වහන්සේට සේවය කිරීමට ලැබෙන්නේ කුමන ස්ථානයක්ද?’ යම් ප්‍රමුඛතා තැබීමේ අවශ්‍යතාවට ඔබ එකඟවනවා විය හැක. එහෙත්, ඥානවන්තව එසේ කිරීමට අපට උපකාර ලබාගත හැක්කේ කෙසේද? කොතැනින්ද?
3. ක්‍රිස්තියානීන් ප්‍රමුඛතා තබද්දී, ඊට අයත් වන්නේ කුමක්ද?
3 “ප්‍රධානතම” කියා කියන විට, අන් සියල්ලටම වඩා මූලිකව පැමිණෙන නැතහොත් පළමුව සැලකිල්ලට ගත යුතුය යන මූලික අදහස එයට ඇතුළත්ය. ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හෝ වේවා, ඔවුන් සමඟ ආශ්‍රය කරන දේවවචනයේ අවංක ශිෂ්‍යයන් දශලක්ෂදෙනා අතුරින් කෙනෙකු හෝ වේවා, මෙම සත්‍යතාව සැලකිල්ලට ගන්න: “සෑම දේටම ප්‍රස්තාවක්ද [නියමිත කාලයක්ද, NW] අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.” (දේශනාකාරයා 3:1) එයට පවුලේ සම්බන්ධතා කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීම ඇතුළත් වීම නිවැරදි දෙයකි. (කොලොස්සි 3:18-21) බාහිර රැකියාවකින්, ඔබේ පවුලේ අවශ්‍යතා අවංකව සැපයීම එයට ඇතුළත්ය. (2 තෙසලෝනික 3:10-12; 1 තිමෝති 5:8) එමෙන්ම යම් වෙනසක් අද්දැකීමට, විනෝදාංශයක යෙදීමට හෝ විටින් විට විනෝදාස්වාදයක් ලැබීමට ඔබ කාලය වෙන් කරගන්නවා විය හැක. (මාර්ක් 6:31, සසඳන්න.) හැබැයි, ටිකක් බැරෑරුම්ව කල්පනා කර බැලීමෙන් පසු, මේ දේවලින් කිසිවක් ජීවිතයේ ප්‍රධානතම දේවල් නොවන බව ඔබට පෙනෙන්නේ නැද්ද? වඩාත් වැදගත් වෙනත් දෙයක් තිබේ.
4. අප විසින් ප්‍රමුඛතා තැබීම සමඟ පිලිප්පි 1:10, 11 සම්බන්ධ වන්නේ කෙසේද?
4 ප්‍රමුඛතා තැබීමේදී හා ඥානවන්ත තීරණ ගැනීමේදී බයිබලයේ මඟ පෙන්වන ප්‍රතිපත්ති අගනා ආධාරක බව ඔබ තේරුම්ගන්නවා විය හැක. නිදසුනක් වශයෙන්, පිලිප්පි 1:10, 11හි ඒකාන්ත “දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස” ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබේ. කුමන පරමාර්ථයකටද? ප්‍රේරිත පාවුල් තවදුරටත් මෙසේ කීවේය: “උතුම්වූ [වඩාත් වැදගත්, NW] දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්” වන පිණිසය. (ඇල අකුරු අපේය.) එයින් අපට වැදගත් අදහසක් ලැබෙන්නේ නැද්ද? ඒකාන්ත දැනුම නමැති පදනම මත, ජීවිතයෙහි මුලින්ම සැලකිල්ලට යොමු විය යුතු—එනම් ප්‍රධානතම—දේ කුමක්ද කියා විචාර බුද්ධියෙන් කටයුතු කරන ක්‍රිස්තියානියෙකුට නිශ්චය කළ හැක.
ප්‍රධානතම දේ කුමක් විය යුතුද යන්න පිළිබඳ ආදර්ශයක්
5. ක්‍රිස්තියානීන් සඳහා තබන ලද ආදර්ශය විස්තර කරද්දී, යේසුස්වහන්සේගේ ජීවිතයෙහි ප්‍රධානතම දේ වූයේ කුමක්ද කියා ශුද්ධ ලියවිලි පෙන්නුම් කරන්නේ කෙසේද?
5 ප්‍රේරිත පේතෘස්ගේ මතු වචනවල, අපට දැනුම පිළිබඳව අගනා පැත්තක් සොයාගත හැක: “ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.” (1 පේතෘස් 2:21) ඔව්, ජීවිතයේ ප්‍රධානතම දේ කුමක්ද කියා දැනගැනීමට යම් හෝඩුවාවක් ලබාගැනීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඒ ගැන දැරූ අදහස පරීක්ෂා කර බැලීමට අපට පුළුවන. ගීතාවලිය 40:8 උන්වහන්සේ ගැන අනාවැකිමය ආකාරයකින් මෙසේ පැවසීය: “මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.” එම අදහසම උන්වහන්සේ පැවසුවේ මේ අයුරිනි: “මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්තකොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.”—යොහන් 4:34; හෙබ්‍රෙව් 12:2.
6. දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට පළමු ස්ථානය දීමෙන් යේසුස්වහන්සේ ලැබූ ප්රතිඵලම අපටත් ලබාගත හැක්කේ කෙසේද?
6 එම අතිවැදගත් කාරණය ඔබ සැලකිල්ලට ගත්තාද? එනම්: දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම. යේසුස්වහන්සේගේ ගෝලයන් තම ජීවිතයේ ප්‍රධානතම දේ හැටියට සැලකිය යුත්තේ කුමක්ද යන්න උන්වහන්සේගේ ආදර්ශයෙන් කාවද්දනු ලැබේ; ඒ මන්දයත් උන්වහන්සේ මෙසේ පැවසූ බැවිනි: “පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය.” (ලූක් 6:40, නව අනුවාදය) එමෙන්ම තම පියා අරමුණු කර තිබුණු ආකාරයට යේසුස්වහන්සේ ගමන් කළ අතරතුරේදී, දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රධානතම දේ හැටියට සැලකීමෙන් “ප්‍රීතියේ සම්පූර්ණකම” තිබූ බවට පෙන්නූසේක. (ගීතාවලිය 16:11; ක්‍රියා 2:28) එයින් අඟවනු ලබන දේ ඔබට පෙනෙනවාද? යේසුස්වහන්සේගේ අනුගාමිකයන් තම ජීවිතයෙහි ප්‍රධානතම දේ හැටියට දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට තෝරාගන්නා විට, ඔවුහු “ප්‍රීතියේ සම්පූර්ණකම” හා නියම ජීවිතයක් භුක්තිවිඳිනවා ඇත. (1 තිමෝති 6:19) එසේනම්, අපේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට ප්‍රමුඛස්ථානය දීම සඳහා හේතු, එකකට පමණක් සීමා වී නැත.
7, 8. යේසුස්වහන්සේ මුහුණ දුන්නේ කුමන පරීක්ෂාවලටද; අපට මෙයින් කුමක් ඉගෙනගත හැකිද?
7 යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඉදිරිපත් වීම සංකේතවත් කළ වහාම, උන්වහන්සේව නොමඟ යැවීමට යක්ෂයා උත්සාහ කළේය. ඒ කෙසේද? ක්‍රම තුනකින් පරීක්ෂාවට ලක් කිරීමෙනි. ඒ සෑම අවස්ථාවකදීම, යේසුස්වහන්සේ ශුද්ධ ලියවිලි පදනම් කරගෙන, අනුමානයක් නැතුව පිළිතුරු දුන්සේක. (මතෙව් 4:1-10) එහෙත් උන්වහන්සේ ඉදිරියෙහි තවත් පරීක්ෂා තිබිණ: එනම් පීඩා, සරදම්, යූදස් විසින් පාවා දෙනු ලැබීම, බොරු චෝදනා හා අන්තිමෙට වධකණුවක මරණය යනාදියයි. කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ පක්ෂපාත පුත්‍රයා ගත් ක්‍රියාමාර්ගයෙන් උන්වහන්සේව ඉවත් කිරීමට මෙම පරීක්ෂා කිසිවක් සමත් වූයේ නැත. ඉතා අවදානම් සහිත අවස්ථාවක යේසුස්වහන්සේ මෙසේ යාච්ඤා කළසේක: “මා කැමතිලෙස නොව ඔබ කැමතිලෙස වේ[වා] . . . ඔබගේ කැමැත්තවේ[වා].” (මතෙව් 26:39, 42) අප උදෙසා තබා ඇති ආදර්ශයේ මෙම අංගය අප සැමට ගැඹුරින් බලපෑ යුතු නොවේද? “යාච්ඤාවෙහි නොකඩ[වා]” පැවතීමට එය අපට හේතුවක් විය යුතු නොවේද?—රෝම 12:12.
8 ඔව්, ජීවිතයෙහි අප අපේ ප්‍රමුඛතා තබන විට, දිව්‍යමය මඟ පෙන්වීම විශේෂයෙන්ම උපකාරවත් වේ. සත්‍යයේ සතුරන්ට හා දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව කටයුතු කරන අයට මුහුණ දීමට අපට සිදු වන විට විශේෂයෙන්ම මෙය සැබෑවක් වේ. විශ්වාසවන්ත දාවිත් රජු, සතුරන්ගෙන් විරුද්ධවාදිකම් අද්දුටු විට, ඔහු කළ කන්නලව්ව සිහියට නඟන්න. අප ගීතාවලිය 143හි කොටසක් සැලකිල්ලට ගනිද්දී, අපට මෙය දැකගැනීමට හැකි වේවි. යෙහෝවඃවහන්සේ සමඟ අපට තිබෙන පෞද්ගලික සම්බන්ධය ශක්තිමත් කළ හැකි ආකාරය තේරුම්ගැනීමටත්, අපේ ජීවිතයේ ප්‍රධානතම දේ වන දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට අදිටන් කරගෙන සිටීමටත් මෙය අපට උපකාරවත් විය යුතුය.
යෙහෝවඃවහන්සේ අපේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනසේක
9. (අ) දාවිත් පව්කාරයෙක් වුවද, ඔහුගේ වචනවලින් හා ක්‍රියාවලින් හෙළි වූයේ කුමක්ද? (ආ) අප හරි දේ කිරීම අත්නෑරිය යුත්තේ ඇයි?
9 දාවිත් මැරෙනසුලු පව්කාරයෙක් වුවද, යෙහෝවඃවහන්සේ තම කන්නලව්වට සවන් දෙයි කියා දාවිත්ට ඇදහිල්ලක් තිබිණ. ඔහු නිහතමානීව මෙසේ කන්නලව් කළේය: “ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ කන්නලව්වට ඇහුම්කන්දුන මැනව. ඔබගේ විශ්වාසකමින්ද ධර්මිෂ්ඨකමින්ද මට උත්තරදුන මැනව. ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.” (ගීතාවලිය 143:1, 2) දාවිත් තම අසම්පූර්ණකම ගැන අවබෝධයෙන් හිටියත්, ඔහුගේ හෘදය දෙවියන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව තිබුණේය. මෙසේ, ධර්මිෂ්ඨකමින් ඔහුට පිළිතුරක් ලැබෙන බවට ඔහු නිසැක විය. මෙය අපට දිරිගැන්වීමක් නොවේද? අප දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පහත වැටුණත්, උන්වහන්සේ කෙරෙහි අපේ හෘදයන් සම්පූර්ණ නම්, උන්වහන්සේ අපට සවන් දෙන බව අපට නිසැක විය හැක. (දේශනාකාරයා 7:20; 1 යොහන් 5:14) යාච්ඤාවෙහි නොකඩවා පවතින අතරතුර, මේ දුෂ්ට කාලයේදී, “යහපත්කමෙන් නපුරුකම පරාජය” කිරීම අපේ ඉලක්කය කරගත යුතුය.—රෝම 12:20, 21; යාකොබ් 4:7.
10. දාවිත් කනස්සල්ලෙන් පසු වූ අවස්ථාවල සිටියේ ඇයි?
10 අපට සිටින්නාක් මෙන්, දාවිත්ටත් සතුරෝ සිටියෝය. පාළු මෙන්ම යෑමට ඒමට අපහසු ස්ථානවලදී සරණ සෙවීමට බල කෙරුණු, සාවුල් කෙරෙන් පලාගිය තැනැත්තෙකු වශයෙන් හෝ සතුරන්ගේ හිරිහැරවලට ලක් වූ රජෙකු වශයෙන් හෝ දාවිත් කනස්සල්ලෙන් සිටි අවස්ථාවල පසු වූයේය. මෙය ඔහුට බලපෑ ආකාරය ඔහු මෙසේ විස්තර කළේය: “සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය; . . . ඔහු . . . අඳුරු තැන්වල විසීම මට සැලැස්විය. එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ; මාගේ සිත [හෘදය, NW] මා තුළෙහි සැනසීම් රහිතය [හිරිවැටී තිබේ, NW].” (ගීතාවලිය 143:3, 4) ඔබටත් ඒ හා සමානව හැඟීමට හේතු පැනනැඟී තිබෙනවාද?
11. දෙවියන්වහන්සේගේ නවීන-දින සේවකයන් මුහුණ දී තිබෙන්නේ කනස්සල්ලෙන් යුත් කුමන අවස්ථාවලටද?
11 සතුරන්ගෙන් එල්ල වන පීඩන, බරපතළ ආර්ථික අගහිඟකම් නිසා පැනනඟින පරීක්ෂා, බරපතළ අසනීප, එසේ නැතහොත් කනස්සල්ල ඇති කරවන වෙනත් ගැටලු, තම ආත්මයට ක්ලාන්ත ගතියක් දැනීමට දෙවියන්වහන්සේගේ ජනයාගෙන් සමහරෙකුහට හේතුවක් වී තිබේ. සමහර අවස්ථාවල ඔවුන්ගේ හෘදයන් කිසිම දෙයක් නොදැනෙන තත්වයකටත් පත්ව තිබේ. ඔවුන් පෞද්ගලිකව මෙසේ මොරගසා ඇත්තාක් මෙන්ය: “බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්[කරවන්න] . . . නැවත හැරී මා සැනසුව මැනව.” (ගීතාවලිය 71:20, 21) ඔවුන්ට උපකාර ලැබී තිබෙන්නේ කෙසේද?
සතුරන්ගේ උත්සාහයන්ට මුහුණ දිය හැකි ආකාරය
12. දාවිත් රජු අන්තරාවන් හා පරීක්ෂාවලට උර දුන්නේ කෙසේද?
12 දාවිත් අන්තරාවන්ට හා මහත් පරීක්ෂාවන්ට මුහුණ පෑ විට, කළ දෙය ගීතාවලිය 143:5හි අඟවා තිබේ: “පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම [කැමැත්තෙන්ම, NW] මෙනෙහිකරමි.” දෙවියන්වහන්සේ තම සේවකයන් සමඟ කටයුතු කළ ආකාරයත්, තමාම ගැළවීම අද්දුටු අවස්ථාත් දාවිත් සිහිපත් කළේය. යෙහෝවඃවහන්සේ ස්වකීය ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන් කර තිබූ දේ ගැන ඔහු මෙනෙහි කළේය. ඔව්, දාවිත් දෙවියන්වහන්සේගේ ක්‍රියා ගැන දිගටම මෙනෙහි කළේය.
13. අප පරීක්ෂාවලට මුහුණ දෙන විට, විශ්වාස සේවකයන් පිළිබඳ පුරාණ මෙන්ම නවීන ආදර්ශ මත මෙනෙහි කිරීම විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද?
13 දෙවියන්වහන්සේ තම සෙනඟ සමඟ කටයුතු කර තිබෙන ආකාරය අප විටින් විට මතක් කර නැද්ද? නිසැකයෙන්ම! ක්‍රිස්තියානි යුගයට කලින් “මහත් සාක්ෂිකාර සේනාව” විසින් තබන ලද වාර්තාව මෙයට ඇතුළත් වේ. (හෙබ්‍රෙව් 11:32-38; 12:1) පළමු සියවසේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ටත් “පළමු දවස් සිහිකර[න]” මෙන්ද, ඔවුන් විඳදරා තිබූ දේ සිහි කිරීමටද දිරිගන්වන ලදි. (හෙබ්‍රෙව් 10:32-34) ජෙහෝවාස් විට්නසස්—ප්රොක්ලේමර්ස් ඔෆ් ගෝඩ්ස් කිංඩම් යන පොතෙහි සඳහන් ඒවා වැනි, නවීන කාලවලදී දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ අද්දැකීම් ගැන කුමක් කිව හැකිද?a ඒ තුළත් වෙනත් ප්රකාශනවලත් සඳහන් වාර්තා අපට උපකාර කරන්නේ යෙහෝවඃවහන්සේ තම සෙනඟට, තහනම් කිරීම්, සිරගත වීම්, දාමරික ක්‍රියා හා ගාල් කඳවුරු මෙන්ම වහල් මෙහෙවරක් කිරීමට සිදු වන ශ්‍රම කඳවුරු විඳදරාගැනීමට උපකාර කර තිබෙන ආකාරය සිහි කිරීමටය. බුරුන්ඩි, කලින් යුගොස්ලාවියාව, රුවන්ඩාව සහ ලයිබීරියාව වැනි යුද්ධයෙන් දෙදරා ගිය රටවලද පරීක්ෂා තිබී ඇත. විරුද්ධවාදිකම් ඉස්මතු වූ විට, යෙහෝවඃවහන්සේ සමඟ ශක්තිමත් සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් දෙවියන්වහන්සේගේ සේවකයෝ විඳදරාගත්හ. උන්වහන්සේගේ කැමැත්ත කිරීම තම ජීවිතයේ ප්‍රධානතම දේ කරගත් අයට උන්වහන්සේගේ හස්තය පිටුබලයක් විය.
14. (අ) අපේ තත්වයට සමාන විය හැකි තත්වයකදී දෙවියන්වහන්සේ පුද්ගලයෙකුට පිටුබලයක් වූ තත්වයක් විස්තර කරන නිදසුනක් දෙන්න. (ආ) එම ආදර්ශයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?
14 කෙසේවෙතත්, ඔබ එවැනි ම්ලේච්ඡ ක්‍රියා අද්දැක නැහැයි කියමින් ඔබ ප්‍රතිචාරය දැක්විය හැකි අතරම, එවැනි දෙයක් කිසිදාක අද්දැකීමට ඉඩ කඩක් නැති බව ඔබට හැඟී යා හැක. හැබැයි, දෙවියන්වහන්සේ තම සෙනඟට අනුබල දෙන්නේ සමහරුන් භාරදූර තත්වයන්යයි සැලකිය හැකි තත්වයන්වලදී පමණක් නොවේ. “සාමාන්‍ය” පුද්ගලයන් බොහෝදෙනෙකුට “සාමාන්‍ය” තත්වයන්වලදී උන්වහන්සේ රුකුලක් වී තිබේ. නිදසුන් බොහොමයකින් එකක් මෙන්න: ඉහත දක්වා තිබෙන ඡායාරූපය ඔබට හුරුපුරුදු එකක්ද? දෙවියන්වහන්සේ තම සෙනඟ සමඟ කටයුතු කරන විදිහ සිහියට නැඟීමට එය ඔබට උපකාරවත් වේද? එය 1996 දෙසැම්බර් 1 මුරටැඹ සඟරාවේ දක්නට ලැබිණ. පනෙලපි මාක්රිස්ගේ අද්දැකීම ඔබ කියෙව්වාද? ක්‍රිස්තියානි අඛණ්ඩතාව සම්බන්ධයෙන් මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද! අසල්වාසීන් නිසා ඇයට විඳදරාගැනීමට සිදු වූ දේද, ඇය බරපතළ අසනීපවලට උර දුන් ආකාරයද, පූර්ණ-කාලීන සේවයෙහි රැඳී සිටීමට ඇය දැරූ වෑයම්ද ඔබට මතකද? මයිටලිනිහි ලැබූ ඇගේ විපාකදායී අද්දැකීම ගැන කුමක් කිව හැකිද? වැදගත් කාරණය මෙයයි: ඔබ මෙවැනි උදාහරණ සලකන්නේ, ප්‍රමුඛතා තැබීමටත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට අපේ ජීවිතවල පළමු ස්ථානය දීමටත් අප සියලුදෙනාටම තිබෙන උපකාර වශයෙන්ද?
15. අප මෙනෙහි කළ යුතු යෙහෝවඃවහන්සේගේ ක්‍රියාකාරකම් සමහරක් මොනවාද?
15 දාවිත් කළාක් මෙන්, යෙහෝවඃවහන්සේගේ ක්‍රියාකාරකම් මත මෙනෙහි කිරීමට එය අපව ශක්තිමත් කරවයි. යෙහෝවඃවහන්සේ තම අරමුණ ක්‍රියාත්මක කරද්දී, තම පුත්‍රයාගේ මරණය, නැවත නැඟිටීම හා තේජසට පත් කිරීම තුළින් ගැළවීම සඳහා මාර්ගය විවෘත කර දුන්සේක. (1 තිමෝති 3:16) උන්වහන්සේ තම ස්වර්ගික රාජ්‍යය පිහිටුවා, ස්වර්ගය සාතන් හා ඔහුගේ භූතයන්ගෙන් පිරිසිදු කොට, පොළොව මත සැබෑ නමස්කාරය යළි පිහිටුවා තිබේ. (එළිදරව් 12:7-12) උන්වහන්සේ ආත්මික පාරාදීසයක් ගොඩනඟා තම සෙනඟට වර්ධනය දෙමින් ආශීර්වාද කර තිබේ. (යෙසායා 35:1-10; 60:22) මහත් පීඩාවේ ආරම්භයට කලින් උන්වහන්සේගේ සෙනඟ දැන් අවසාන වරට සාක්ෂියක් දෙමින් සිටී. (එළිදරව් 14:6, 7) ඔව්, මෙනෙහි කිරීම සඳහා අපට බොහෝ දේ තිබේ.
16. අපට දිරිගන්වා තිබෙන්නේ කුමක් ගැන සැලකිලිමත් වීමටද; මෙය අප තුළ කාවැද්දීමට සලස්වන්නේ කුමක්ද?
16 මනුෂ්‍යයන්ගේ වෑයම්වල ඇලී ගැලී සිටින්නේ නැතුව, දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් ගැන දිගටම සැලකිලිමත් වීමෙන් අපට ඒත්තුගන්වන්නේ, යෙහෝවඃවහන්සේ යොදන බලය වැළකිය නොහැකි තරම් එකක් බවය. කෙසේවෙතත්, එම ක්‍රියාවන්, ස්වර්ගයෙහි මෙන්ම මිහිපිට සිදු කර තිබෙන මහිමාන්විත මැවීමේ භෞතික ක්‍රියාවලට සීමා වී නැත. (යෝබ් 37:14; ගීතාවලිය 19:1; 104:24) උන්වහන්සේගේ පුරාණ තෝරාගත් ජාතියේ අද්දැකීම්වලින් පැහැදිලි වන පරිදි, සතුරු පීඩාකාරයන්ගෙන් තම සෙනඟව ගළවාගැනීම උන්වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවලට ඇතුළත් වේ.—නික්මයාම 14:31; 15:6.
ගමන් කළ යුතු ආකාරය දැනසිටීම
17. දාවිත්ට යෙහෝවඃවහන්සේ කොතරම් සැබෑ පුද්ගලයෙක් වීද; මෙයින් අපට බිය සැක දුරු කරගත හැක්කේ කෙසේද?
17 තමා තුළ ඇති ජීව ශක්තිය වියළී නොයන පිණිස, දාවිත් මෙසේ යාච්ඤා කළේය: “මාගේ අත් ඔබ දෙසට දිඟුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ. ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.” (ගීතාවලිය 143:6, 7) දෙවියන්වහන්සේ තම තත්වය ගැන අවබෝධයෙන් සිටි බව පව්කාරයෙක් වූ දාවිත් දැනසිටියේය. (ගීතාවලිය 31:7) අපේ ආත්මිකත්වය දුර්වල වී තිබෙන බව අපට ඇතැම්විට හැඟිය හැක. එහෙත් එම තත්වය බලාපොරොත්තු රහිත එකක් නොවේ. අපේ යාච්ඤාවලට සවන් දෙන යෙහෝවඃවහන්සේ, ප්‍රේමනීය වැඩිමහල්ලන්, මුරටැඹ සඟරාවෙහි ලිපි හෝ අපටම සකස් කළා සේ පෙනෙන රැස්වීම්වල කොටස් තුළින් ප්රබෝධයක් ගෙන දීමෙන් යථා තත්වය කරා ඒමට අප දරන වෑයම වේගවත් කළ හැක.—යෙසායා 32:1, 2.
18, 19. (අ) යෙහෝවඃවහන්සේට අපේ උනන්දුමත් කන්නලව්ව කුමක් විය යුතුද? (ආ) අපට සහතික විය හැක්කේ කුමක් ගැනද?
18 යෙහෝවඃවහන්සේ කෙරෙහි අපට තිබෙන විශ්වාසය, උන්වහන්සේට මෙසේ කන්නලව් කිරීමට අපට පෙලඹවීමකි: “ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව.” (ගීතාවලිය 143:8) උන්වහන්සේ ග්‍රීක් දූපතක තනි වී සිටි සහෝදරී මාක්රිස්ව අත්හැරියාද? එසේනම්, උන්වහන්සේගේ කැමැත්ත කිරීම ඔබේ ජීවිතයේ ප්‍රධානතම දේ කරගන්නා විට, උන්වහන්සේ ඔබව අත්හරින්ට යනවාද? දේවරාජ්‍යය ප්‍රකාශ කිරීමේ අපේ වැඩයට බාධා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට යක්ෂයා හා ඔහුගේ සගයන් කැමති වනවාට සැකයක් නැත. සැබෑ නමස්කාරයට සාමාන්‍ය අවසරයක් තිබෙන රටවල හෝ වේවා, එය මඬිනු ලබන රටවල හෝ වේවා, දාවිත්ගේ මතු කන්නලව්වට අපේ එක්සත් යාච්ඤා එකඟ වේ: “ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.” (ගීතාවලිය 143:9) ආත්මික විපත්තියෙන් සුරක්ෂිතභාවය ලැබීම, මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වාසය කිරීම මත රඳා පවතී.—ගීතාවලිය 91:1.
19 ප්‍රධානතම දේ පිළිබඳ අපට තිබෙන ඒකාන්ත විශ්වාසයට ස්ථිර පදනමක් තිබේ. (රෝම 12:1, 2) එසේනම්, මනුෂ්‍ය මතවලට අනුව වැදගත්යයි සැලකෙන දේ ඔබ තුළට කාවැද්දීමට ලෝකය දරන උත්සාහයට විරුද්ධ වන්න. ප්‍රධානතම දේ හැටියට ඔබ දන්නා දේ, එනම් දේවකැමැත්ත කිරීම ඔබේ ජීවිතයෙහි හැම අංගයකින්ම පිළිබිඹු කිරීමෙහි නිරත වන්න.—මතෙව් 6:10; 7:21.
20. (අ) ගීතාවලිය 143:1-9හි දාවිත් ගැන අප ඉගෙනගෙන තිබෙන්නේ කුමක්ද? (ආ) අදදින ක්‍රිස්තියානීන් දාවිත්ගේ ස්වභාවය පිළිබිඹු කරන්නේ කෙසේද?
20 ගීතාවලිය 143:1-9හි පළමු වගන්ති නවය, යෙහෝවඃවහන්සේ සමඟ දාවිත්ට තිබූ කිට්ටු පෞද්ගලික සම්බන්ධය කැපීපෙනෙන්ට සලස්වයි. සතුරන්ගේ පීඩාවලින් වට වූ විට, ඔහු කිසිම තැකීමක් නොමැතිව දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා සිටියේය. ගමන් කළ යුතු නිවැරදි මාර්ගය සඳහා උපකාර පතමින්, ඔහු තම හෘදය වැගිරෙව්වේය. මිහිපිට සිටින ආත්මයෙන් ආලේප ලත් අයගේ ඉතිරි කොටස හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධව තිබෙන්නේ ඒ හා සමාන තත්වයකි. ඔවුහු මඟ පෙන්වීම සඳහා යෙහෝවඃවහන්සේට කන්නලව් කරත්ම, උන්වහන්සේ සමඟ ඔවුන්ට තිබෙන සම්බන්ධතාව අගනා දෙයක් හැටියට සලකති. යක්ෂයාගෙන් හා ලෝකයෙන් එල්ල වන පීඩන මධ්‍යයෙහි, ඔවුහු දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම ප්‍රධානතම දේ හැටියට තබති.
21. අන්‍යයන්ට තම ජීවිතයෙහි ප්‍රධානතම දේ කුමක් විය යුතුද යන්න ඉගැන්වීමට නම්, අප හොඳ ආදර්ශයක් තැබීම වැදගත් වන්නේ මන්ද?
21 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන දශලක්ෂ ගණන්දෙනා, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම ප්‍රධානතම දේ බව තේරුම්ගත යුතුය. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතේ 13වන පරිච්ඡේදය සාකච්ඡා කරන විට මෙය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට අපට හැක.b එම පරිච්ඡේදය, වචනයට කීකරුවීමෙහි අදාළ ප්‍රතිපත්ති අවධාරණය කරයි. හැබැයි, අප ඔවුන්ට උගන්වන දේ අපේ ආදර්ශය තුළින් දැකගැනීමටත් ඔවුන්ට හැකි විය යුතුය. සාපේක්ෂ වශයෙන් කෙටි කාලපරිච්ඡේදයකට පසුව, ගමන් කළ යුතු මාර්ගය දැනගැනීමට ඔවුන්ටත් හැකි වෙනවා ඇත. තම ජීවිතයෙහි ප්‍රධානතම දේ කුමක්ද කියා මෙම දශලක්ෂ ගණන්දෙනා පෞද්ගලිකව තේරුම්ගන්නා විට, කැපවීමේ හා බව්තීස්ම වීමේ පියවර ගැනීමට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පෙලඹෙනවා ඇත. ඉන් අනතුරුව, ජීවනයේ මාර්ගයෙහි දිගටම ගමන් කිරීමට ඔවුන්ට උපකාර කිරීමට සභාවට හැක.
22. මීළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ඇත්තේ කුමන ප්‍රශ්නද?
22 දෙවියන්වහන්සේගේ කැමැත්ත තම ජීවිතයෙහි ඉතා වැදගත් දේ විය යුතු බව බොහෝදෙනෙක් කැමැත්තෙන්ම පිළිගනිති. කෙසේවෙතත්, තම කැමැත්ත කිරීමට යෙහෝවඃවහන්සේ තම සේවකයන්ට ප්‍රගතිශීලීව උගන්වන්නේ කෙසේද? මෙයින් ඔවුන්ට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? මෙම ප්‍රශ්න මෙන්ම ගීතාවලිය 143:10 යන අතිවැදගත් වගන්තියත් මීළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලැබේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1992දී ප්‍රකාශ කරන ලදි.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1995දී ප්රකාශිතය.
ඔබේ පිළිතුර කුමක්ද?
◻ පිලිප්පි 1:10, 11 අදාළ කිරීමෙන්, ප්‍රමුඛතා තැබීමට අපට පුළුවන් වන්නේ කෙසේද?
◻ තම ජීවිතයෙහි ප්‍රධානතම දේ කුමක්ද කියා යේසුස්වහන්සේ පෙන්නුවේ කෙසේද?
◻ දාවිත් පරීක්ෂා යටතේ සිටි විට, ඔහුගේ ක්‍රියාවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
◻ අදදින ගීතාවලිය 143:1-9 අපට උපකාර කරන්නේ කවර ආකාරයකින්ද?
◻ අපේ ජීවිතයෙහි ප්‍රධානතම දේ කුමක් විය යුතුද?
[10වන පිටුවේ පින්තූරය]
දාවිත් යෙහෝවඃවහන්සේ මත රඳා සිටි බව තම ක්‍රියාවලින් ඔප්පු කළේය
[හිමිකම් විස්තර]
Illustrirte Pracht - Bibel/Heilige Schrift des Alten und Neuen Testaments, nach der deutschen Uebersetzung D. Martin Luther’s යන්නෙන් පිටපත් කර තිබේ