-
යෙහෝවා අපගේ එඬේරාය2005 මුරටැඹ | නොවැම්බර් 1
-
-
“කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය”
13. ගීතාවලිය 23:4හි තමා යෙහෝවාට ඉතා සමීප බව දාවිත් අඟවන්නේ කොහොමද? ඒක පුදුමයක් නොවන්නේ ඇයි?
13 දාවිත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන දෙවෙනි හේතුව වෙන්නේ යෙහෝවා තම බැටළුවන්ට සපයන ආරක්ෂාවයි. “මරණ සේවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය; ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ” කියා ඔහු ලිව්වා. (ගීතාවලිය 23:4) මෙහිදී දාවිත් යෙහෝවාට “ඔබ” කියා අමතන බව සැලකිල්ලට ගන්න. ඔහු යෙහෝවාට කොතරම් සමීපව ඉන්නවාද කියා ඉන් ඇඟවෙනවා. ඒක පුදුමයක් නෙවෙයි. මෙහිදී දාවිත් කතා කරන්නේ ඔහුට පැමිණි විපත්ති විඳදරාගැනීමට දෙවි ඔහුට උපකාර කළ ආකාරය ගැනයි. තමන්ගේ ජීවිතයේ අඳුරු මිටියාවත් හා සමාන අනතුරුදායක තත්වයන් බොහොමයකට දාවිත් මුහුණ දීලා තිබුණා. නමුත් ඒ නිසා ඇති වූ භයට ඔහුව පාලනය කිරීමට ඔහු ඉඩහැරියේ නැහැ. ඊට හේතුව දෙවි තම ‘දණ්ඩ’ හා ‘සැරයටිය’ අතැතිව ඔහු ළඟම සිටිය බව ඔහුට දැනුණ නිසයි. මෙසේ දෙවිගේ ආරක්ෂාව තමාට තිබෙන බව දැන සිටි නිසා දාවිත්ට ලොකු සහනයක් දැනුණා. එය ඔහුව තව තවත් යෙහෝවා දෙවිට සමීප කළ බවට කිසිම සැකයක් නැහැ.b
14. යෙහෝවා සපයන ආරක්ෂාව ගැන බයිබලය අපට දෙන්නේ මොන වගේ සහතිකයක්ද? නමුත් ඉන් අදහස් නොකරන්නේ කුමක්ද?
14 අද කාලයේ යෙහෝවා තම බැටළුවන්ව ආරක්ෂා කරන්නේ කොහොමද? තම බැටළුවන්ව මේ පොළොවෙන් සහමුලින්ම තුරන් කර දැමීමට කිසිම මිනිසෙකුට හෝ භූතයෙකුට හෝ දෙවි ඉඩ දෙන්නේ නැති බව බයිබලය අපට සහතික කරනවා. (යෙසායා 54:17; 2 පේතෘස් 2:9) නමුත් සියලු ආකාර විපත්තිවලින් අපගේ එඬේරා අපව ආරක්ෂා කරන බව මින් අදහස් කරන්නේ නැහැ. ඕනෑම කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු අත්විඳින්න අපටත් සිදු වෙනවා. ඒ වගේම සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන විරුද්ධවාදිකම්වලටද අප මුහුණ දෙනවා. (2 තිමෝති 3:12; යාකොබ් 1:2) සමහර අවස්ථාවලදී අපිත් “මරණ සෙවණේ මිටියාවත මැදින්” යනවා වගේ අපිට දැනෙන්න පුළුවන්. උදාහරණයකට දැඩි පීඩා හෝ යම් බරපතළ අසනීපයක් නිසා අපි මරණාසන්නව සිටින්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් මිය ගොස් හෝ මරණය අද්දර ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මෙය මතක තබාගන්න. ජීවිතයේ අඳුරුම අවස්ථා මෙන් අපට දැනිය හැකි එවන් අවස්ථාවලදී පවා අපගේ එඬේරා අපි ළඟම ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔහු අපිව ආරක්ෂා කරනවා. අපිට එහෙම කියන්න පුළුවන් කොහොමද?
15, 16. (අ) අපගේ ජීවිතයේ ඇති වන ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා අපට උපකාර කරන්නේ කොහොමද? (ආ) පීඩා කාලයේදී යෙහෝවා අපට උපකාර කරන ආකාරය පෙන්වන අද්දැකීමක් විස්තර කරන්න.
15 තමා ආශ්චර්යවත් ආකාරයකින් මැදිහත් වී අපව ආරක්ෂා කරන බව යෙහෝවා කියන්නේ නැහැ.c නමුත් අපගේ ජීවිතයේ ඇති වන ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා උපකාර කරයි කියා අපිට නිසැක වෙන්න පුළුවන්. ඔහු එය කරන එක් විදිහක් තමයි “විවිධාකාර පරීක්ෂාවලට” මුහුණ දීම සඳහා අපට අවශ්‍ය ප්‍රඥාව දීම. (යාකොබ් 1:2-5) එඬේරෙක් ඔහුගේ දණ්ඩ නැත්නම් සැරයටිය පාවිච්චි කරන්නේ වන සතුන්ව භය කරන්න විතරක් නෙවෙයි. නමුත් තම බැටළුවන් පාරෙන් ටිකක් ඉවතට පැන්නොත් නැවත හරි මාර්ගයට ගන්න පොඩි තල්ලුවක් දීමටත් ඔහු එය යොදාගන්නවා. ඒ වගේම යෙහෝවා අපිටත් “පොඩි තල්ලුවක්” දීම සඳහා සමහරවිට යොදාගන්නේ අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්වයි. ඒ “පොඩි තල්ලුව” බයිබල් උපදෙසක් අදාළ කරගැනීම සඳහා අපට දෙන කුඩා දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. නමුත් එය අපගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරාවි. ඒ වගේම යෙහෝවා අපට උපකාර කරන තවත් විදිහක් නම් යම් දේවල් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සපයා දීමෙනුයි. (ෆිලිප්පි 4:13) සාතන් අපට ඇති කරන ඕනෑම පීඩාවක් විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ දෙවිගේ බලයයි. (1 කොරින්ති 10:13) දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය නිසා දේවල් විඳදරාගැනීමට “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට තිබෙනවා. (2 කොරින්ති 4:7) මේ ආකාරවලින් අපට උපකාර කිරීමට යෙහෝවා දෙවි සෑමවිටම සූදානම් බව දැනගැනීමම කොයි තරම් සහනයක්ද?
16 ඇත්තයි, අපගේ මේ ජීවිත ගමනේදී මොන යම් ආකාරයේ අඳුරු මිටියාවතක් අපිට හමු වුණත් එහිදී අපි තනි වෙන්නේ නම් නැහැ. අපේ එඬේරා අපිත් එක්කම ඉන්නවා කියා අපට නිසැක වෙන්න පුළුවන්. සමහරවිට ඔහු අපට උපකාර කරන ආකාරය මුලදී අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තමාට මොළයේ පිළිකාවක් තිබෙන බව දැනගන්න ලැබූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්ගේ අද්දැකීම සලකා බලන්න. “මුලදී මම හිතුවේ යෙහෝවා දෙවි මාත් එක්ක තරහ වෙලා ඇති කියලයි. එහෙමත් නැත්නම් ඔහු මට ආදරේ නැතුව ඇති කියලයි. ඒත් මං අධිෂ්ඨාන කරගත්තා මම නම් කවදාවත් යෙහෝවාගෙන් ඈත් වෙන්නේ නැහැ කියලා. කලින් මට තිබූ සැකයන් ගැන කියලා මම යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවා මට ගොඩාක් උපකාර කළා. ඒ එක විදිහක් තමයි මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මට සහනය ලබා දීම. බරපතළ අසනීප විඳදරාගත්තු ආකාරය ගැන හුඟදෙනෙක් එයාලාගේ අද්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. ඒගොල්ලන්ගේ සමබර අදහස් නිසා මම තේරුම්ගත්තා මේ තත්වය අත්විඳින්නේ මම විතරක් නෙවෙයි කියලා. ඒගොල්ලෝ මට ගොඩාක් උපකාර කළා. කරපු සමහර දේවල් නම් හිතාගන්නවත් බැරි තරම් කාරුණික උපකාර. ඒ හැම එකකින්ම මම එක දෙයක් තේරුම්ගත්තා. ඒ, යෙහෝවා මාත් එක්ක තරහා වෙලා නැහැ කියන එක. මගේ මේ අසනීපයත් එක්ක ජීවත් වෙන එක ලෙහෙසි පහසු දෙයක් නොවන බව නම් ඇත්තයි. ඉදිරිය මීටත් වඩා දරුණු වෙයි කියන එකත් මම දන්නවා. සමහරවිට මගේ ජීවිතය වුණත් නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් යෙහෝවා දෙවි මාත් එක්ක ඉන්නවා කියන එකත් මේ පීඩාව විඳදරාගන්න ඔහු දිගටම මට උපකාර කරයි කියන එකත් මට හොඳටම විශ්වාසයි.”
-
-
යෙහෝවා අපගේ එඬේරාය2005 මුරටැඹ | නොවැම්බර් 1
-
-
b තමාව උවදුරුවලින් ගලවාගත් නිසා යෙහෝවාට ප්‍රශංසා කරන ගීතිකා රාශියක් දාවිත් රචනා කළා.—18, 34, 56, 57, 59 සහ 63වන ගීතිකා බලන්න.
c වර්ෂ 2003 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “දෙවි කෙසේ මැදිහත් වේවිද?” යන ලිපිය බලන්න.
-