වඩාත් පූර්ණව සේවය කිරීමට ඔබ දැඩි ඇල්මක් දක්වනවාද?
“මම යෙහෝවා එක්ක තරහෙං හිටියේ” යයි ලෝරා පවසයි. “මට පුරෝගාමි සේවය දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න අපේ ආර්ථික ගැටලු විසඳලා දෙන්න කියලා මම කී පාරක් ඇත්නං යාච්ඤා කෙරුවද—ඒත් ඒවලට නෙවෙයි උත්තර ලැබුණෙ. අන්තිමට මට වුණේ පුරෝගාමි සේවයෙන් අයින් වෙන්න. ඒ වගේම මට කියන්න වෙනවා, පුරෝගාමි සේවය කරගෙන යන්න පුළුවන් වෙච්ච අය ගැන මට තිබුණේ පුදුම ඊරිසියාවක්.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක උපස්ථායක සේවකයෙකු වූ මයිකල්ගේ සිද්ධියත් සලකා බලන්න. ඔහු අවේක්ෂකයෙකුගේ කාර්යභාරය අත් කරගන්න වෙර දරමින් හිටියා. (1 තිමෝති 3:1, NW) අවුරුදු ගණනාවක් පුරා ඒ සඳහා ඔහුට තිබුණ දැඩි ඇල්ම ඉටු නොවී ගිය කල, ඔහු අමනාපයෙන් පිරී, අඩුම තරමේ ඔහුව එම වරප්‍රසාදය සඳහා සුදුසුද නැද්ද යන්න සලකා බලනවාටවත් ඔහු කැමති වුණේ නැහැ. “මම කොහොමද බලාපොරොත්තු කැඩිලා ගිය තත්වෙකට ආයිමත් මූණ දෙන්නෙ” යයි ඔහු පවසයි.
එයාකාර අද්දැකීමක් ඔබට තිබිලා තියෙනවාද? ඔබ ඇලුම් කළ දිව්‍යාණ්ඩුමය වගකීමක් ඔබට අතහරින්න සිදු වී තියෙනවාද? උදාහරණයක් හැටියට, පුරෝගාමියෙකු හැටියට හෝ පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රකාශකයෙකු හැටියට කරන සේවය නවත්වන්න සිදු වී තියෙනවාද? එසේත් නැත්නම් වෙනත් අයට සභාවේ පැවරී තියෙන වගකීම්වලට ඔබ දැඩි ඇල්මක් දක්වනවාද? බෙතෙල්හි හෝ මිෂනාරිවරයෙක් හැටියට හෝ සේවය කරන්න ඔබට දැඩි ආශාවක් තියෙනවා විය හැකි වුණත්, ඔබගේ තත්වයන් ඔබට ඉඩ නොදෙනවා වෙන්න පුළුවන.
“පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය” යයි හිතෝපදේශ පොත පිළිගනියි. (හිතෝපදේශ 13:12) ඔබ ආශාවෙන් බලා සිටි වරප්රසාදයම වෙනත් කෙනෙකුට ලැබෙන විට තත්වය එසේ වෙන්න පුළුවන. එවැනි කලකිරුණු ස්වභාවයක් අද්දකින ඕනෑම කෙනෙකුට දේවවචනය තීක්ෂ්ණ බුද්ධිය, සහනය හා බලාපොරොත්තුව සපයනවාද? ඔව්, එය සපයනවා. ඇත්තෙන්ම කියනවා නම්, 84වන ගීතිකාව යෙහෝවාගේ සේවය සම්බන්ධයෙන් ඉටු නොවූ අපේක්ෂාවන් තිබූ යෙහෝවාගේ සේවකයෙකුගේ අදහස් ප්‍රකාශ කරනවා.
ලෙවීවරයෙකුගේ අගය කිරීම
අසූහතරවන ගීතිකාව නිර්මාණය කරනු ලැබුවේ කෝරාගේ පුත්‍රයන් විසිනි; ඔවුන් යෙහෝවාගේ දේවමාළිගාවේ සේවය කළ ලෙවීවරුන් වූ අතර, ඔවුන් ඔවුන්ගේ වරප්රසාදයන් උතුම් කොට සැලකුවා. “සේනාවල [යෙහෝවා], ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!” යයි ඔවුන්ගෙන් එක් අයෙක් කියා සිටියා. “[යෙහෝවාගේ] මන්දිර උදෙසා මාගේ [ප්‍රාණය] මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන [දෙවිට] මොරගසති.”—ගීතාවලිය 84:1, 2.
මෙම ලෙවීවරයාට යෙහෝවාගේ මාළිගාවේ සේවය කරන්න කෙතරම් දැඩි ඇල්මක් තිබුණාද කිවහොත්, යෙරුසලම දක්වා යන ගමනේදී දුටු සාමාන්‍ය දසුන් පවා ඔහුට දිස් වූයේ මනරම් ඒවා හැටියටයි. “ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති” යයි ඔහු පවසයි. (ගීතාවලිය 84:6) ඔව්, සාමාන්‍යයෙන් වියළී තිබුණු ප්‍රදේශයක් තෙත් කලාපයක් මෙන් දිස්වුණා.
ගීතිකාකරු පූජකයෙක් නොවූ ලෙවීවරයෙකු වීම හේතුවෙන්, ඔහුට දේවමාළිගාවේ සේවය කරන්න පුළුවන් වූයේ හැම මාස හයකටම එක සතියක් බැගින් පමණි. (1 ලේකම් 24:1-19; 1 ලේකම් 23:8; ලූක් 1:5, 8, 9) ඔහුගේ කාලයෙන් ඉතුරු ටික ලෙවී නගරවලින් එකක වූ තම නිවසේ ගත කරනු ලැබුවා. ඒ හේතුවෙන් ඔහු මෙසේ ගී ගැයුවා: “එසේය, ගේ කිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක්ද සම්බවිය. එනම්, සේනාවල [යෙහෝවා], මාගේ [රජුනි], මාගේ [දෙවියනි], ඔබගේ පූජාසනමය.” (ගීතාවලිය 84:3) මාළිගාවේ වඩා ස්ථිර වාසස්ථානයක් තිබූ කුරුල්ලන් මෙන් ඔහුද වූවා නම් ලෙවීවරයාට කෙතරම් සන්තෝෂයෙන් ඉන්න තිබුණාද!
මෙයට වඩා වැඩි කාලයක් දේවමාළිගාවේ සේවය කරන්න ඔහුට නොහැකි වූ නිසා ලෙවීවරයාහට අමනාපයක් ඇති වෙන්න වැඩි ඉඩ කඩ තිබුණා. කෙසේවුවත් ඔහුට පුළුවන් විදිහට සේවය කිරීමෙන් ඔහු සතුටු වුණා පමණක් නොව, දෙවිට හෘද පූර්ණ භක්තියක් පිරිනැමීමෙන් පාඩුවක් නොවන බවත් ඔහුට වැටහුණා. ඔහුගේ සේවාමය වරප්‍රසාදවලින් සෑහීමකට පත් වී සිටින්න මෙම ඇදහිලිවන්ත ලෙවීවරයාට උපකාරවත් වූයේ මොකක්ද?
සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න
“ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද” යයි ලෙවීවරයා පවසයි. “දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ [දෙවිගේ] නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.” (ගීතාවලිය 84:10, නව අනුවාදය) යෙහෝවාගේ නිවසේ අඩුම තරමේ එක දවසක්වත් ගත කිරීම තක්සේරු කරන්න බැරි වරප්‍රසාදයක් බව ඔහු අගය කළා. තවද ලෙවීවරයාට මාළිගාවේ සේවය කරන්න තිබුණේ එක දවසකට වඩා බොහෝ සෙයින් වැඩි වූ කාලයක්. තම වරප්‍රසාදවලින් පැමිණි සෑහීම හේතුකොටගෙන ඇති වූ ප්‍රීතිය නිසා ඔහු ගී ගැයීමට පෙලඹුණා.
අපි ගැන මොකක්ද කියන්න පුළුවන්? අපි අපගේ ආශීර්වාදයන් ගණන් කරනවාද? එසේත් නැත්නම්, අපිට යෙහෝවාගේ සේවය තුළ දැනටමත් ලැබී තියෙන දේ අමතක වෙනවාද? ඔවුන් ඔහුට පිරිනමන භක්තිය හේතුකොටගෙන, යෙහෝවා ඔහුගේ සෙනඟට පුළුල් පරාසයකින් යුත් වරප්රසාදයන් හා යුතුකම් පවරා තියෙනවා. වඩා බරපතළ වගකීම් වන අධීක්ෂණය කිරීම, එඬේරකම් කිරීම, ඉගැන්වීම හා පූර්ණ කාලීන සේවයේ විවිධාකාර අංග මේවාට ඇතුළත් වෙනවා. එමෙන්ම යෙහෝවාට කරන නමස්කාරයට අදාළ වෙනත් අගනා දේවල්ද මෙයට ඇතුළත් වෙනවා.
උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානි මෙහෙය සලකා බලන්න. ශුභාරංචිය දේශනා කරන්න අපට ඇති වරප්‍රසාදය ‘මැටි භාජනවල ලූ වස්තුවලට’ ප්‍රේරිත පාවුල් සමාන කරනවා. (2 කොරින්ති 4:7) එවැනි සේවයක් ඔබ සලකන්නේ මැනිය නොහැකි නිධානයක් ලෙසද? රාජ්‍ය දේශනා වැඩයේ පෙරමුණ ගත් යේසුස් ක්‍රිස්තුස් එය සැලකුවේ එයාකාරයටයි; තවද ඔහු අනුගමනය කරන්න ආදර්ශයක්ද තැබුවා. (මතෙව් 4:17) “අපට . . . මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමු” යයි පාවුල් පැවසුවා.—2 කොරින්ති 4:1.
ක්‍රිස්තියානි රැස්වීම්ද සැහැල්ලුවෙන් භාර නොගත යුතු පරිශුද්ධමය වරප්රසාදයකි. අපගේ රැස්වීම්වලදී අපට අත්‍යවශ්‍ය වන උපදෙස් ලැබෙන අතර, අවශ්‍ය කරන ඇසුරත් භුක්ති විඳිනවා. නිතරම අදහස් දැක්වීම හා වැඩසටහනට වෙනත් ආකාරවලින් සහභාගි වීම තුළින්, රැස්වීම්වලදී අපගේ ඇදහිල්ල හා බලාපොරොත්තුව පිළිබඳ ප්‍රසිද්ධ ප්රකාශනයන් කරන්න පුළුවන. (හෙබ්‍රෙව් 10:23-25) අපගේ රැස්වීම් ආදරයෙන් රැකබලා ගත යුතුම වූ සැපයුමක්!
ඉහත සඳහන් වූ මයිකල්, මෙම ආශීර්වාද ඉහළින් තක්සේරු කළ අතර හෘදයාංගයෙන්ම අගය කළා. එහෙත් වැඩිමහල්ලෙකු හැටියට ඔහුට සේවය කරන්න නොහැකි වීම හේතුවෙන් ඔහු තුළ ඇති වූ කලකිරුණු තත්වය මගින්, එම ආශීර්වාද සඳහා තිබූ ඔහුගේ අගය තාවකාලිකව පසුපසට තල්ලු කර දැම්මා. ඒවා දෙසට නැවත යොමුවීමෙන්, ඔහුගේ සමතුලිතතාව නැවත අත් කරගන්නත් යෙහෝවා දෙස ඉවසිලිවන්තව බලා සිටින්නත් ඔහුට පුළුවන් වුණා.
එක්තරා වරප්‍රසාදයක් නොතිබීම හේතුවෙන් නොසෑහීමට පත් වෙනවා වෙනුවට, ගීතිකාකරු කළාක් මෙන් යෙහෝවා අපට ආශීර්වාද කරන ආකාරය නැවත පරීක්ෂා කර බැලීම යෙහෙකි.a අපිට වැඩි දෙයක් පෙනෙන්නේ නැත්නම් අපි නැවතත් බලන්න අවශ්‍යයි; අපගේ වරප්‍රසාද දැකගන්නත්, ඔහු අපට ආශීර්වාද කරන හා ඔහුගේ ගෞරවය පිණිස අපව යොදාගන්නා ආකාරය දැකගන්න පුළුවන් වෙන්නත්, අපේ ඇස් අරින්නයයි යෙහෝවාට කියන්න අවශ්‍යයි.—හිතෝපදේශ 10:22.
අවේක්ෂකයෙකුගේ කාර්යභාරය වැනි විශේෂ වරප්රසාදයන් සඳහා, සුවිශේෂ සුදුසුකම් අවශ්‍ය වන බව වටහාගැනීමත් වැදගත් වෙනවා. (1 තිමෝති 3:1-7; තීතස් 1: 5-9) එහෙයින් වැඩිදියුණු කරගන්න අවශ්‍ය වන ඕනෑම අංශයක් සොයා බලා, ඉන්පසු වැඩිදියුණු වෙන්න අව්‍යාජ ලෙස යත්න දරන්න අවශ්‍යයි.—1 තිමෝති 4:12-15.
අධෛර්යයට පත් නොවන්න
අපිට යම් සේවාමය වරප්‍රසාදයක් නොලැබුණොත්, එම වරප්‍රසාදය භුක්ති විඳින අයට යෙහෝවා වැඩියෙන් ආදරය කරනවා කියාවත් එසේත් නැත්නම් අපගෙන් යහපත සඟවා තබාගන්නවා කියාවත් නිගමනය කරන්න අවශ්‍ය නැහැ. දිව්‍යාණ්ඩුමය පත් කිරීම වෙනුවට මිනිස් ඇඳුනුම්කම් හේතුවෙන් වෙනත් අයට ඔවුන්ගේ වරප්‍රසාද නොවටිනා අන්දමින් ලැබී තියෙන බවට ඇත්තෙන්ම අපි ඊර්ෂ්‍යාසහගත ලෙස උපකල්පනය නොකළ යුතුයි. එම දේවල් ගැන උවමනාවට වඩා කල්පනා කිරීමෙන් එය ඊර්ෂ්‍යාවට, දබරයට හෝ සියල්ල සම්පූර්ණයෙන්ම අතහැර දමන තත්වයකට පවා මඟ පාදන්න පුළුවන.—1 කොරින්ති 3:3; යාකොබ් 3:14-16.
මුලදී සඳහන් වුණු ලෝරා අතහැරියේ නැත. ක්‍රමක්‍රමයෙන්, ඇය තමාගේ කෝපයේ හා ඊර්ෂ්‍යාවේ හැඟීම් තේරුම්ගන්න පටන්ගත්තා. ඇයට පුරෝගාමී සේවය කරන්න බැරිවීම පිළිබඳව ඇයට ඇති වූ නිෂේධාත්මක ආකල්පය ජයගන්න උපකාර කරන්න කියා දෙවිට නැවත නැවතත් යාච්ඤා කළා. ඇය සභාවේ සිටින සුදුසුකම් ලත් පුරුෂයන්ගේ පිහිට පැතූ අතර, දෙවිගේ ප්‍රේමය ඇයට තියෙනවාද යන්න ගැන ඇයට තිබූ සියලු බිය සැක දුරු වුණා. “යෙහෝවා මගේ හිතේ සාමකාමී තත්වයක් ඇති කළා” යයි ඇය පැවසුවා. “මටයි මගේ මහත්තයටයි දැන් පුරෝගාමි සේවය කරන්න බැරි වුණත්, අපි පුරෝගාමි සේවය කරපු කාලය මතක් වෙන කොට අපිට ඒ ගැන සන්තෝසයක් දැනෙනවා; ඒ වගේම අපි අද්දැකපු දේවල්වලින් අපිට ශක්තියකුත් ලැබෙනවා. පුරෝගාමි සේවය කරන අපේ පුතාටත් අපි උදව් කරනවා.” සෑහීමකට පත්වීමෙන්, පුරෝගාමී සේවය තුළ “ප්‍රීති වෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න” ලෝරාට හැකි වෙලා තියෙනවා.—රෝම 12:15.
අත් කරගත හැකි ඉලක්කයන් තබාගන්න
වර්තමාන සේවාමය වරප්‍රසාදවලින් සෑහීමකට පත්වීමෙන් අදහස් කරන්නේ තවදුරටත් දිව්‍යාණ්ඩුමය ඉලක්කයන් තබාගැනීමෙන් වළකිනවා යන්න නොවේ. ස්වර්ගික නැවත නැඟිටීම පිළිබඳව සාකච්ඡා කරද්දී, “ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන” යෑම ගැන පාවුල් කතා කළා. “අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමු” යයි ඔහු තවදුරටත් පැවසුවා. (පිලිප්පි 3:13-16) ඉස්සරහට තිබෙන ඒවා දෙස බලාගෙන යන්න දිව්‍යාණ්ඩු ඉලක්ක උපකාරි වෙනවා. නමුත් අභියෝගය වී ඇත්තේ, ඒවා යථාර්ථවාදී ඒවා ලෙසට තබාගැනීමයි.
යථාර්ථවාදී ඉලක්ක සාධාරණ මෙන්ම අත් කරගත හැකි ඒවාද වෙනවා. (පිලිප්පි 4:5) අවුරුදු ගණනාවක් පුරා වෙහෙසී වැඩ කරන්න අවශ්‍ය වන ඉලක්කයක් යථාර්ථවාදී නොවන බව මෙයින් අදහස් කරනවා නොවේ. අතරමැදි ඉලක්කයන් නැතිනම් පියවර තබාගැනීමෙන් එවැනි ඈතට දිවෙන ඉලක්කයන් ක්‍රමක්‍රමයෙන් අත් කරගන්න පුළුවන්. මේවා ආත්මික ප්රගතියේ සන්ධිස්ථානයන් හැටියට සලකන්න පුළුවන්. කලකිරුණු තත්වයක් ඇති වෙනවා වෙනුවට එක් එක් පියවර සාර්ථකව අවසන් කිරීමෙන් සෑහීම ගෙන දෙන හැඟීමක් ඇති කරනවා.
කදිම සමබරතාවක්
කෙසේවෙතත්, අපගේ තත්වයන් හා සීමාවන් හේතුවෙන්, සමහරක් වරප්‍රසාද ලබාගන්න නොහැකි බව තේරුම්ගැනීම වැදගත් වෙනවා. එවැනි ඒවා ඉලක්කයන් හැටියට තබාගැනීම මඟ පාදන්නේ කලකිරුණු තත්වයකට හා අපේක්ෂා භංගත්වයකට පමණි. අඩුම තරමේ දැනටවත් එම ඉලක්ක පැත්තකට දමන්න අවශ්‍යයි. දේවසෑහීම සඳහා යාච්ඤා කර, දෙවිගේ කැමැත්ත කිරීම අපගේ එකම කාර්යය කරගත්තොත් මෙය කිරීම අපහසු වෙන්න යන්නේ නැහැ. වරප්රසාදයන් අත් කරගන්න වෙර දරන විට වැදගත් වන්නේ අපගේ පෞද්ගලික සමර්ථකමින් ලැබෙන අනුමැතිය නොව, එහෙත් යෙහෝවාගේ මහිමයයි. (ගීතාවලිය 16:5, 6; මතෙව් 6:33) ඒ හේතුවෙන්ම බයිබලය එය උචිත ලෙස මෙසේ දක්වයි: “නුඹේ ක්‍රියාවන් [යෙහෝවාට] භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.”—හිතෝපදේශ 16:3.
අසූහතරවෙනි ගීතිකාව සලකා බලන විට, සේවාමය වරප්රසාදයන් සඳහා ගීතිකාකරු එවැනි ආකල්පයක් විදහාපෙන්වූ බව අපිට පෙනෙන අතර, යෙහෝවා ඔහුට මහත් සේ ආශීර්වාද කළා. ඊටත් වඩා, මෙම ගීතිකාව අද දවස වන තෙක්ම යෙහෝවාගේ සෙනඟට ප්‍රයෝජනවත් වී තියෙනවා.
යෙහෝවා කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීමෙන්, තවත් අමතර වරප්රසාදයන් සඳහා ඔබට තියෙන දැඩි ඇල්ම හා දැනට භුක්ති විඳින වරප්‍රසාදවලින් ලැබෙන සෑහීම අතර සමබරතාවක් ඇති කරගන්න ඔබට පුළුවන්. දැනට ඔබට තියෙන දෙය සඳහා ඇති අගය හා යෙහෝවාට සදාකාලයට සේවය කිරීමෙන් ඇති වන සතුට සොරාගන්න, තවත් වැඩියෙන් කිරීමට තිබෙන ආශාවට කිසිදාක ඉඩ නොදෙන්න. ලෙවීවරයාගේ වචනවලින් පෙන්වා ඇති පරිදි, යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න; මන්දයත් මෙහි ප්‍රතිඵලය නම් සන්තෝෂයයි: “සේනාවල [යෙහෝවා,] ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා [සන්තෝෂවත්ය].”—ගීතාවලිය 84:12.
[පාදසටහන්වල]
a එක්දහස් නවසිය අසූඅටේ ජූනි 15 ද වොච්ටව’ කලාපයේ “ඔබ පරිශුද්ධ දේවල් අගය කරනවාද?” යන ලිපිය කරුණාකර බලන්න.
[11වන පිටුවේ කොටුව]
අපට තබාගන්න පුළුවන් ඉලක්ක
බයිබලය දිනපතා කියවීම.—යෝෂුවා 1:8; මතෙව් 4:4
ශුද්ධ ලියවිලිමය පුහුණුව තුළින් අපගේ වටහාගැනීමේ ශක්තිය වැඩිදියුණු කරගැනීම.—හෙබ්‍රෙව් 5:14
යෙහෝවා සමඟ වඩා කිට්ටු සම්බන්ධතාවක් වර්ධනය කරගැනීම.—ගීතාවලිය 73:28
ආත්මයේ සෑම ඵලයක්ම වගා කිරීම.—ගලාති 5:22, 23
අපගේ යාච්ඤාවල ගුණය වැඩිදියුණු කිරීම.—පිලිප්පි 4:6, 7
දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වඩා ඵලදායී වීම.—1 තිමෝති 4:15, 16
මුරටැඹ හා පිබිදෙව්!හි සෑම කලාපයක්ම කියවා ඒ ගැන මෙනෙහි කිරීම.—ගීතාවලිය 49:3
[9වන පිටුවේ පින්තූර]
පෞද්ගලික ඉලක්කයන් තබාගැනීමේදී, දේවකැමැත්ත කිරීම පළමු තැනට තබන්න