“අහසේ සිටින විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්”
පළමු මිනිසා පොළොව මත ඇවිදින්නට බොහෝ කලකට පෙර සිට, සඳ රාත්‍රි අහසෙහි දීප්තිමත් ව බැබළෙමින් තිබිණ. එක් කාල පරිච්ඡේදයක බොහෝ දෙනෙක් ඊට දේවතාවියක් වශයෙන් සලකා නමස්කාර කළහ. මරණයෙන් පසු නිර්මල වූ ආත්මවල ගමනාන්තය එය බව ග්‍රීක් ලේඛක ප්ලූටාච් කියා සිටියේ ය. බෝල්ටික් මිථ්‍යා කථාවන්ට අනුව සඳ වනාහි මනුෂ්‍යයෙක්, එනම් හිරුගේ ස්වාමිපුරුෂයා විය. ඔවුන්ට විවාහ ආරවුලක් තිබූ අතර සඳ ඇගේ භාර්යාව වෙතින් පලා ගියෙන්, ඈ සමඟ අහසේ දිස් වන්නේ කලාතුරකිනි!
අද දින, යෞවන—හා එතරම් යෞවන නොවන—පෙම්වතුන් සඳ දෙස නෙත් යොමා, ආලවන්ත සිතුවිලි කල්පනාවට නගති. එක්දහස් නවසිය හැට ගණන්වල විද්‍යාඥයෝ මනුෂ්‍යයන් ව හඳට යවා පරීක්ෂණ සඳහා පාෂාණ රාත්තල් කීපයක් ආපසු ගෙන්වා ගැනීමට අති විශාල මුදල් සම්භාරයක් වියදම් කළහ. සඳ පිළිබඳ එක් කාරණයක් ස්ථිර ය. එනම් සෑම දිනක් පාසා ම, යම් නිශ්චිත වේලාවකට, එය නැගී බැස යනු ඇත. එය මෙතෙක් කොතරම් නිවැරදි ව සිය කාල චක්‍රයට අනුව ක්‍රියා කර තිබේ ද කියතොත්, අපට අතීතයේ වසර දහස් ගණනක් පුරා චන්ද්‍ර කලාවන් හා ග්රහණයන් ගණන් බැලිය හැකි ය.
ඊශ්‍රායෙල්වරු සඳ දෙස බැලූ විට, ඔවුන්ට පුදුම සහගත යමක් සිහි ගන්වනු ලැබී ය. දාවිත් රජුගේ රාජකීය වංශය නැති නොවන බව දෙවියන් වහන්සේ පොරොන්දු වූ සේක. “එය [දාවිත්ගේ වංශය] චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේය” යයි උන් වහන්සේ වදාළ සේක. (ගීතාවලිය 89:35-37) එම පොරොන්දුව “දාවිත්ගේ පුත්‍ර” වූ යේසුස් වහන්සේ තුළ ඉෂ්ට කරනු ලැබී ය. (ලූක් 18:38) යේසුස් වහන්සේ, සිය මරණයෙන් පසු අමරණීය ආත්මයක් ලෙස උත්ථාන කරනු ලැබ ස්වර්ගාරෝහණය වූ සේක. (ක්‍රියා 2:34-36) නියමිත කාලයේ දී, උන් වහන්සේ ව දෙවියන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ රජාණන් හැටියට පත් කරනු ලැබිණි. (එළිදරව් 12:10) එම රාජ්‍යය දැන් පාලනය කරන අතර “සදාකාලේටම” පවතිනු ඇත. (දානියෙල් 2:44, 45) මෙයාකාරයෙන් දාවිත්ගේ රාජකීය වංශයේ අමරණීය නියෝජිත, යේසුස් වහන්සේ, සඳ තරම් කාලයක්, ‘අහසේ සිටින විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්’ මෙන් පවතිනු ඇත.
එනිසා, සඳ රාත්‍රි අහසේ දීප්තිමත් ව බබළනවා ඔබ දකින සෑම වතාවක ම, දාවිත්ට වූ දෙවියන් වහන්සේගේ පොරොන්දුව සිහිපත් කර දැනුත්, සදාකාලයටත් දෙවියන් වහන්සේගේ මහිමයට හා ඇදහිලිවන්ත මනුෂ්‍ය වර්ගයාගේ සදාකාලික ආශීර්වාදය සඳහා පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ස්තුති දෙන්න.—එළිදරව් 11:15.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Frank Zullo