10වන පරිච්ඡේදය
දේවරාජ්‍යය පාලනය කරයි
1, 2. මිනිස් ආණ්ඩුවල අසාර්ථකත්වය ඔප්පු වී තිබෙන්නේ කොහොමද?
ඔබ යම් උපකරණයක් මිල දී ගැනීමෙන් පසු, එය හරි හැටි ක්‍රියා නොකළ අවස්ථාවන්ට ඔබත් ඕනෑතරම් මුහුණ දී ඇති. ඉතින් ඔබ එය අලුත්වැඩියා කරන්නෙකුට දුන්නායයි සිතන්න. ඔහුත් එම උපකරණය “හරිගස්සවා” ටික වෙලාවකින් පසු, එය නැවතත් ක්‍රියා විරහිත වේ. එය මොනතරම් අධෛර්යය කරවනසුලු අද්දැකීමක්ද!
2 මිනිස් ආණ්ඩුත් එයාකාරයි. මිනිසාද මුල පටන් සාමය හා සන්තෝෂය උදා කරවන ආණ්ඩුවක් එන තුරු මහත් ආශාවෙන් බලා සිට ඇත. නමුත් සමාජ බිඳවැටීම් යථා තත්වයට ගෙන ඒමට දරා ඇති වෑයම ඇත්තෙන්ම නිෂ්ඵල බවට ඔප්පු වී ඇත. සාම ගිවිසුම් ගණනාවක්ම පිහිටුවා, අනතුරුව ඒවා කඩ කර තිබේ. ඊට අමතරව, දුගීකම, අගතිය, අපරාධ, රෝග හා පරිසර දූෂණය වැනි දෑ මුලිනුපුටා දැමීමට හැකි වී තිබෙන්නේ කුමන ආණ්ඩුවටද? මිනිසාගේ පාලනය යථා තත්වයට ගෙන ආ නොහැකිය. ඉශ්රායෙලයේ ප්‍රඥාවන්ත සාලමොන් රජ පවා ඒ ගැන මෙසේ ඇසුවේය: “එසේ නම් මනුෂ්‍යයා තමාගේ මාර්ගය තේරුම්ගන්නේ කොහොමද?”—හිතෝපදේශ 20:24.
3. (අ) යේසුස්ගේ දේශනා කිරීමේ තේමාව කුමක්ද? (ආ) සමහරුන් දේවරාජ්‍යය විස්තර කරන්නේ කොහොමද?
3 අධෛර්යයට පත් නොවන්න! ස්ථිරසාර ආණ්ඩුවක් නිකම්ම සිහිනයක් නොවෙයි. එය යේසුස්ගේ දේශනා කිරීමේ තේමාව විය. එය ‘දෙවිගේ රාජ්‍යය’ වශයෙන් හැඳින්වූ ඔහු, ඒ සඳහා යාච්ඤා කිරීමට තම අනුගාමිකයන්ට ඉගැන්වීය. (ලූක් 11:2; 21:31) ඇතැම් අවස්ථාවලදී, විවිධ ආගම්වල පවා දේවරාජ්‍යය ගැන සඳහන් වේ. ඇත්තෙන්ම, මිලියන ගණන් ස්වාමීන්ගේ යාච්ඤාව (පරමණ්ඩලයේ යාච්ඤාව හෝ ආදර්ශ යාච්ඤාව ලෙසින්ද හැඳින්වෙන යාච්ඤාව) නැවත නැවත කියන විට, ඔවුන් ඒ සඳහා දිනපතා යාච්ඤා කරයි. නමුත්, “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද” කියා ජනයාගෙන් විමසූ විට, ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු විවිධාකාරයි. “ඒක කෙනෙක්ගේ සිතේ තියෙන දෙයක්” කියා සමහරුන් පවසයි. වෙනත් අය එය හඳුන්වන්නේ ස්වර්ගය හැටියටයි. අප දක්නට යන පරිදි, බයිබලයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් සපයයි.
අරමුණක් සහිත රාජ්‍යයක්
4, 5. යෙහෝවා තම පරමාධිපත්‍යයට අලුත් මුහුණුවරක් දීමට තීරණය කළේ ඇයි? එමගින් ඉටු වනු ඇත්තේ කුමක්ද?
4 යෙහෝවා දෙවි සැමවිටම විශ්වයේ රජ හෝ පරමාධිපති පාලකයා ලෙස කටයුතු කර ඇත. ඔහුට එම උත්කෘෂ්ට තත්වය ලැබෙන්නේ ඔහු සෑම දෙයක්ම මවා ඇති නිසයි. (1 ලේකම් 29:11; ගීතාවලිය 103:19; ක්‍රියා 4:24) නමුත්, යේසුස් දේශනා කළ රාජ්‍යය, දෙවිගේ විශ්වනීය පරමාධිපත්‍යයට අතිරේක නොහොත් ද්විතීය එකක් වේ. එම මෙසියානු රාජ්‍යයට නිශ්චිත අරමුණක් ඇත. ඒ කුමක්ද?
5 හයවන පරිච්ඡේදයෙන් පැහැදිලි වූ පරිදි, පළමු මිනිස් යුවළ කැරලිගැසුවේ දෙවිගේ අධිකාරයට විරුද්ධවයි. ඉස්මතු වූ වාද විෂයන් නිසා, යෙහෝවා තම පරමාධිපත්‍යයට නව මුහුණුවරක් දීමට තෝරාගත්තේය. දෙවි, සාතන් නමැති සර්පයාව පොඩි කොට, මනුෂ්‍යවර්ගයාට උරුම වූ පාපයේ බලපෑම් ඉවත් කිරීම සඳහා ‘වංශයක්’ බිහි කිරීම පිළිබඳ තම අරමුණ දැනුම් දුන්නේය. ප්‍රධාන “වංශය” යේසුස් ක්‍රිස්තුස් වන අතර, ‘දෙවිගේ රාජ්‍යය’ වනාහි සාතන්ව අන්ත පරාජයකට පත් කරන ආයතනයයි. යේසුස් ක්‍රිස්තුස් මෙම රාජ්‍යය කරණකොටගෙන, යෙහෝවාගේ නමින් පොළොව පුරා පාලනය යළි පිහිටුවීමට යන අතර, දෙවිගේ නීත්‍යනුකූල පරමාධිපත්‍යය සදහටම නිදොස් කරනු ඇත.—උත්පත්ති 3:15; ගීතාවලිය 2:2-9.
6, 7. (අ) රාජ්‍යය තිබෙන්නේ කොතැනද? රජ මෙන්ම ඔහුගේ හවුල් පාලකයන් කවුද? (ආ) රාජ්‍යයේ යටත්වැසියන් කවුද?
6 එක් පරිවර්තනයකට අනුව, යේසුස් දුෂ්ට ඵරිසිවරුන්ට පැවසුවේ මෙසේය: “[දෙවිගේ] රාජ්‍යය නුඹලා ඇතුළේය.” (ලූක් 17:21) යේසුස් ඉන් අදහස් කළේ රාජ්‍යය එම වංක මිනිසුන්ගේ දුෂ්ට හදවත්වල තිබූ බවද? නැත. මුල් ග්‍රීක් භාෂාවේ වඩා නිවැරදි පරිවර්තනයක මෙසේ දක්නට ලැබේ: “[දෙවිගේ] රාජ්‍යය ඔබ අතරෙහි ය.” (නව අනුවාදය, ඇල අකුරු අපේය.) යේසුස් ඔවුන් අතර සිටි නිසා, අනාගත රජු හැටියට ඔහු යොමු දක්වමින් සිටියේ තමාටමයි. පුද්ගලයෙකුගේ සිත් තුළ ඇති යමකට වඩා බොහෝ සෙයින් වෙනස් වන දේවරාජ්‍යය, පාලකයෙකුගෙන්ද යටත්වැසියන්ගෙන්ද සමන්විත ක්‍රියාකාරි සැබෑ ආණ්ඩුවකි. එය ස්වර්ගික ආණ්ඩුවකි. මන්දයත් එය හඳුන්වා ඇත්තේ ‘ස්වර්ග රාජ්‍යය’ හා ‘දෙවිගේ රාජ්‍යය’ හැටියටයි. (මතෙව් 13:11; ලූක් 8:10) “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන” වූ එහි පාලකයාව සර්වපරාක්‍රම දෙවි ඉදිරියට පමුණුවනු ලබනවා අනාගතවක්තෘ දානියෙල් දර්ශනයකින් දුටු අතර, “සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද [ඔහුට] සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද [ඔහුට] දෙනලද්දේය.” (දානියෙල් 7:13, 14) මෙම රජ කවුද? බයිබලය යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්නේ “මනුෂ්‍ය පුත්‍රයා” වශයෙනි. (මතෙව් 12:40; ලූක් 17:26) ඔව්, යෙහෝවා, රජ වශයෙන් තෝරාගත්තේ තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වයි.
7 යේසුස් තනිව පාලනය නොකරයි. හවුල් රජවරුන්ද පූජකයන්ද වීමට “පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ” 1,44,000දෙනෙක්ද සිටී. (එළිදරව් 5:9, 10; 14:1, 3; ලූක් 22:28-30) දේවරාජ්‍යයේ යටත්වැසියන් වන්නේ ක්‍රිස්තුස්ගේ නායකත්වයට යටත් වන ලෝක ව්‍යාප්ත මිනිස් පවුලකි. (ගීතාවලිය 72:7, 8) නමුත්, මෙම රාජ්‍යය ඇත්තෙන්ම දෙවිගේ පරමාධිපත්‍යය නිදොස් කොට, අපේ පොළොව මත පාරාදීසමය තත්වයන් යළි පිහිටුවනු ඇතැයි කියා අපට සහතික විය හැක්කේ කෙසේද?
දේවරාජ්‍යයෙහි යථාර්ථය
8, 9. (අ) දෙවිගේ රාජ්‍ය පොරොන්දුවල නිසැකභාවය අපට නිදර්ශනය කළ හැක්කේ කොහොමද? (ආ) රාජ්‍යය යථාර්ථයක් බව අපට සහතික විය හැක්කේ ඇයි?
8 ගින්නකින් ඔබේ නිවස විනාශ වුණායයි සිතන්න. දැන් ඔබේ නිවස නැවත ගොඩනැඟීමටත්, ඔබේ පවුලට අවශ්‍ය කරන ආහාර සපයා දීමටත්, පොහොසත් මිත්‍රයෙක් පොරොන්දු වෙයි. ඔහු ඔබට කවදාවත් බොරුවක් නොකියන බව ඔබ දන්නවා නම්, ඔබ ඔහුව විශ්වාස කරන්නේ නැද්ද? ඊළඟ දින ඔබ වැඩ ඇරී නිවසට එන විට, ගින්නෙන් ඉතිරි වූ සුන්බුන් ඒ වන විටත් ඉවත් කිරීමට පටන්ගෙන, ඔබේ පවුලේ අයට ආහාර ගෙනැවිත් තිබෙන බව ඔබ දුටුවායයි සිතන්න. කාලයාගේ ඇවෑමෙන්, දේවල් යථා තත්වයට ගෙනෙනු ලබනවා පමණක් නොව, තත්වය කලින් තිබුණාටත් වඩා හොඳ එකක් වනු ඇතැයි ඔබට හැඟෙන බවට කිසිම සැකයක් නැත.
9 ඒ හා සමානව, රාජ්‍යය යථාර්ථයක් බව යෙහෝවා අපට සහතික කරයි. හෙබ්‍රෙව් නමැති බයිබල් පොතේ දක්නට ඇති පරිදි, ව්‍යවස්ථාවේ අංග බොහොමයක් රාජ්‍ය විධිවිධානය පූර්වාදර්ශනය කළේය. (හෙබ්‍රෙව් 10:1) එමෙන්ම භූමික ඉශ්රායෙල් රාජ්‍යය මගින්, දේවරාජ්‍යය පිළිබඳ පෙරදැක්මක් ලබා දුණි. එහි පාලකයන් ‘යෙහෝවාගේ සිංහාසනයෙහි’ හිඳගත් බැවින්, එය සාමාන්‍ය ආණ්ඩුවක් වූයේ නැත. (1 ලේකම් 29:23) එපමණක්ද නොව, ඒ ගැන මෙසේද පුරෝකථනය කර තිබුණේය: “ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.” (උත්පත්ති 49:10)a ඔව්, දෙවිගේ ආණ්ඩුවේ සදාකාල රජ වන යේසුස් උපත ලැබීමට සිටියේ, මෙම යුදෙව් රජවරුන්ගේ පෙළපතෙනි.—ලූක් 1:32, 33.
10. (අ) දෙවිගේ මෙසියානු රාජ්‍යයේ අඩිතාලම දැමුවේ කවදාද? (ආ) යේසුස්ගේ හවුල් පාලකයන් වීමේ අපේක්ෂාව ඇති අය මිහිපිට පෙරමුණ ගැනීමට නියමිතව තිබුණේ කිනම් වැදගත් කර්තව්‍යය සම්බන්ධයෙන්ද?
10 යේසුස් විසින් තම ප්‍රේරිතවරුන් තෝරාගැනීමත් සමඟ දෙවිගේ මෙසියානු රාජ්‍යයේ අඩිතාලම දමනු ලැබීය. (එපීස 2:19, 20; එළිදරව් 21:14) යේසුස් ක්‍රිස්තුස් සමඟ හවුල් රජවරුන් හැටියට ස්වර්ගයේ පාලනය කිරීමට යන 1,44,000න් පළමු වැන්නන් වූයේ මොවුන්ය. හවුල් පාලකයන් වීමේ අපේක්ෂාව ඇති මේ අය, පොළොව මත සිටියදී සාක්ෂි දැරීමේ ප්රයත්නයක පෙරමුණ ගෙන කටයුතු කිරීමට නියමිතව තිබුණි. මෙය යේසුස්ගේ මෙම ආඥාවට අනුකූලය: ‘ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න.’—මතෙව් 28:19.
11. රාජ්‍යය දේශනා කිරීමේ කර්තව්‍යය අදදින සිදු කරන්නේ කොහොමද? ඉන් ඉටු වන්නේ කුමක්ද?
11 පෙර නොවූ විරූ ආකාරයකින් ගෝලයන් සෑදීමට වූ ආඥාව දැන් ඉටු වෙමින් පවතී. යෙහෝවාගේ සාක්ෂිකරුවන් රාජ්‍යයේ ශුභාරංචිය ලොව මුළුල්ලේ ප්‍රකාශ කරමින් සිටින අතර, එය යේසුස්ගේ අනාවැකිමය වදන්වලට එකඟය. එනම්, “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” යන්නයි. (මතෙව් 24:14) රාජ්‍යය දේශනා කිරීමේ කර්තව්‍යයේ එක් අංගයක් වන විශාල අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී. දේවරාජ්‍යයේ නීති හා ප්‍රතිපත්තිවලට යටත් වන අය දැනටමත් මිනිස් ආණ්ඩුවලට අත් කරගත නොහැකි සාමයක්ද එක්සත්කමක්ද අද්දකිමින් සිටී. මේ සියල්ල දේවරාජ්‍යය යථාර්ථයක් බවට ඔප්පු කරන කදිම සාක්ෂි වේ!
12. (අ) රාජ්‍ය ප්රකාශකරන්නන්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස හැඳින්වීම යෝග්‍ය වන්නේ ඇයි? (ආ) දේවරාජ්‍යය මිනිස් ආණ්ඩුවලට වඩා වෙනස් වන්නේ කොහොමද?
12 “නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි” යෙහෝවා ඉශ්රායෙල්වරුන්ට පැවසුවේය. (යෙසායා 43:10-12) “විශ්වාස සාක්ෂිකාරයාවූ” යේසුස් රාජ්‍යයේ ශුභාරංචිය ජ්වලිතව ප්‍රකාශ කරන්නට විය. (එළිදරව් 1:5; මතෙව් 4:17) එනිසා, වත්මන් රාජ්‍ය ප්‍රකාශකරන්නන්, දිව්‍ය අනුමැතිය ලද යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නම දැරීම යෝග්‍යයි. නමුත් දේවරාජ්‍යය ගැන අන්‍යයන්ට කතා කිරීම සඳහා සාක්ෂිකරුවන් මෙතරම් කාලයක්, වෑයමක් දරන්නේ ඇයි? ඔවුන් මෙසේ කරන්නේ, මනුෂ්‍යවර්ගයාට තිබෙන එකම බලාපොරොත්තුව මේ රාජ්‍යය නිසයි. කෙදිනක හෝ මිනිස් ආණ්ඩු බිඳවැටේ. නමුත් දේවරාජ්‍යයට කිසිදාක එවැන්නක් සිදු නොවේ. එහි පාලකයා වන යේසුස්ව, යෙසායා 9:6, 7හි “සමාදානයේ කුමාරයා” හැටියට හඳුන්වා ඇති අතර, එහි තවදුරටත් මෙසේ පැවසේ: “[ඔහුගේ] ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” දේවරාජ්‍යය අද තිබී හෙට නැති වී යන මිනිස් ආණ්ඩුවලට සමාන නැත. ඇත්තෙන්ම, දානියෙල් 2:44, 45හි මෙසේ පැවසේ: “ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . එයද සදාකාලේටම පවතින්නේය.”
13. (අ) දේවරාජ්‍යය සාර්ථකව විසඳීමට යන ගැටලු සමහරක් මොනවාද? (ආ) දෙවිගේ පොරොන්දු ඉටු වන බව අපට සහතික විය හැක්කේ ඇයි?
13 යුද්ධ, අපරාධ, අසනීප, සාගින්න, නිවාස හිඟය ඉවත් කිරීමට හැකි මිනිස් රජෙක් සිටීද? එපමණක්ද නොව, මියගිය අයව නැවත නැඟිටුවිය හැක්කේ කුමන මිනිස් පාලකයාටද? දේවරාජ්‍යය මෙන්ම එහි රජ මෙම කාරණාවලට විසඳුම් සපයාවි. නිතරම අලුත්වැඩියා කළ යුතු, හරිහැටි ක්‍රියාත්මක නොවන උපකරණයක් මෙන්, මෙම රාජ්‍යය දෝෂ සහිත එකක් බව ඔප්පු නොවනු ඇත. ඒ වෙනුවට, දේවරාජ්‍යය සාර්ථක වනවා නියතයි! මන්දයත් යෙහෝවා මෙසේ පොරොන්දු වන බැවිනි: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.” (යෙසායා 55:11) දෙවිගේ අරමුණ සාර්ථක වේ. නමුත් රාජ්‍ය පාලනය ආරම්භ වීමට නියමිතව තිබුණේ කවදාද?
රාජ්‍ය පාලනය—කවදාද?
14. යේසුස්ගේ ගෝලයන්ට රාජ්‍යය ගැන තිබුණු වැරදි වැටහීම කුමක්ද? නමුත් යේසුස් තම පාලනය ගැන දැන සිටියේ කුමක්ද?
14 ‘ස්වාමීනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවා දෙනවාද?’ යේසුස්ගේ ගෝලයන් ඇසූ මෙම ප්‍රශ්නයෙන් හෙළි වූයේ, ඔවුන් ඒ වන විට දේවරාජ්‍යයේ අරමුණවත්, එහි පාලනය ආරම්භ වීමට නියමිත වූ කාලයවත් නොදැන සිටි බවයි. මෙම කාරණය සම්බන්ධයෙන් අනුමාන කිරීමෙන් වැළකීමට අවවාද කළ යේසුස්, මෙසේ පැවසීය: “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.” පොළොව පාලනය කිරීමට තමාට නියමිතව තිබෙන්නේ තම නැවත නැඟිටීම හා ස්වර්ගස්ථ වීමෙන් බොහෝ කලකට පසුව, එනම් අනාගතයේදී බව යේසුස් දැනසිටියේය. (ක්‍රියා 1:6-11; ලූක් 19:11, 12, 15) මෙය ශුද්ධ ලියවිලිවල පුරෝකථනය කොට තිබුණි. ඒ කෙසේද?
15. යේසුස්ගේ පාලනය ආරම්භ වන කාලය ගීතාවලිය 110:1 පැහැදිලි කරන්නේ කොහොමද?
15 යේසුස්ව “ස්වාමීන්” හැටියට අනාවැකිමය ලෙස හඳුන්වා දෙමින් දාවිත් රජ මෙසේ පැවසුවේය: “[යෙහෝවා] මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි [කීවේය].” (ගීතාවලිය 110:1; සසඳන්න ක්‍රියා 2:34-36.) යේසුස් ස්වර්ගස්ථ වූ වහාම ඔහුගේ පාලනය ආරම්භ නොවන බව මෙම අනාවැකියෙන් කියැවේ. ඒ වෙනුවට, දෙවිගේ දකුණු පැත්තේ හිඳිමින් බලාසිටීමට ඔහුට සිදු වනු ඇත. (හෙබ්‍රෙව් 10:12, 13) ඔහුට මෙලෙස කොපමණ කලක් බලාසිටීමට සිදු වනු ඇද්ද? ඔහුගේ පාලනය ආරම්භ වනු ඇත්තේ කවදාද? පිළිතුරු සොයාගැනීමට බයිබලය අපට උපකාරි වේ.
16. පොදු යුගයට පෙර 607දී සිදු වුණේ කුමක්ද? මෙය දේවරාජ්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?
16 සියලුම නගර අතුරින් යෙහෝවා තම නාමය තැබූ එකම නගරය වූයේ යෙරුසලමයි. (1 රාජාවලිය 11:36) එය දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ආකෘතියක් මෙන් වූ දේවඅනුමැතිය ලද භූමික රාජ්‍යයක අගනුවරද විය. එනිසා, යෙරුසලම පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් අතින් විනාශයට පත්වීමෙහි වැදගත්කමක් තිබුණි. මිහිපිට තම සෙනඟ කෙරෙහි වූ දෙවිගේ ඍජු පාලනයේ දීර්ඝ ඇණහිටීමක ආරම්භයක් මෙම සිද්ධියෙන් ලකුණු විය. සියවස් හයක් පමණ ගෙවී යෑමෙන් අනතුරුව, පාලනය ඇණහිටුවන ලද මෙම කාලපරිච්ඡේදය ඒ වෙද්දිත් ක්‍රියාත්මක වෙමින් තිබූ බව යේසුස් ඇඟවීය. ඔහු පැවසුවේ මෙසේයි: “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල් සම්පූර්ණවනතෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.”—ලූක් 21:24.
17. (අ) ‘අන්‍යජාතීන්ගේ නියම කරන ලද කාලවල්’ යනු මොනවාද? ඒවා කොපමණ කාලයක් පැවතීමට නියමිතව තිබුණාද? (ආ) ‘අන්‍යජාතීන්ගේ නියම කරන ලද කාලවල්’ පටන්ගත්තෙත් අවසන් වූයෙත් කවදාද?
17 “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” තුළදී, දෙවිගේ අනුමැතිය ලද පාලනය අත්හිටුවීම සඳහා ලෞකික ආණ්ඩුවලට අවසර ලැබෙනු ඇත. පොදු යුගයට පෙර 607දී යෙරුසලමේ විනාශයත් සමඟ එම කාලපරිච්ඡේදය ආරම්භ වූ අතර, එය “කාලවල් සතක්” දක්වා දිවයන බව දානියෙල් ඇඟවීය. (දානියෙල් 4:23-25) එය කොතරම් දීර්ඝ කාලයක්ද? ‘කාලවල්’ තුනහමාරක් දවස් 1,260කට සමාන බව බයිබලයේ සඳහන් වේ. (එළිදරව් 12:6, 14) එම කාලපරිච්ඡේදය මෙන් දෙගුණයක්, නොහොත් කාලවල් සතක්, දවස් 2,520ක් වේ. නමුත් එම කෙටි කාලපරිච්ඡේදයෙන් අනතුරුව කැපීපෙනෙන කිසිවක් සිදු වූයේ නැත. කෙසේවෙතත්, දානියෙල්ගේ අනාවැකියට “දවසකට අවුරුද්දක්” යන ප්‍රතිපත්තිය අදාළ කිරීම මගින්, පො.යු.පෙ. 607 සිට අවුරුදු 2,520ක් ගණන් කිරීමෙන් අපි පො.යු. 1914 වර්ෂයට පැමිණෙන්නෙමු.—ගණන් කථාව 14:34; එසකියෙල් 4:6.
18. රාජ්‍ය බලය ලබා වැඩි කලක් යන්ට මත්තෙන් යේසුස් කළේ කුමක්ද? මෙය පොළොවට බලපෑවේ කොහොමද?
18 යේසුස් ස්වර්ගයේ පාලනය ආරම්භ කළේ එතැන් සිටද? ඔහු එසේ ආරම්භ කළ බවට පෙන්වන ශුද්ධ ලියවිලිමය හේතු ඊළඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කෙරේ. යේසුස්ගේ පාලනයේ ආරම්භයත් සමඟම පොළොවේ සාමය උදා නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. යේසුස් රාජ්‍ය බලය ලැබූ වහාම, ඔහු සාතන්ද, භූතයන්ද ස්වර්ගයෙන් පිටමං කරන බව එළිදරව් 12:7-12හි කියවීමට ලැබේ. පොළොව සඳහා මහත් දුකක් මින් අදහස් කළත්, යක්ෂයාට තව ඉතිරිව ඇත්තේ “ස්වල්ප කාලයක්” බව කියවීමට ලැබීම ඇත්තෙන්ම හද උණුසුම් කරවයි. ළඟදීම, දේවරාජ්‍යය පාලනය කරන නිසා පමණක් නොව, නමුත් ඉන් පොළොවට හා කීකරු මනුෂ්‍යවර්ගයාට අත්වීමට යන ආශීර්වාද නිසාත් අපට ප්‍රීතියෙන් ඉපිල යෑමට හැකි වනු ඇත. (ගීතාවලිය 72:7, 8) මෙය ළඟදීම සිදු වන බව අප දන්නේ කෙසේද?
[පාදසටහන්වල]
a ෂිලෝ යන නමෙහි අර්ථය වනාහි “එය සතු තැනැත්තා; එය අයිති තැනැත්තා” යන්නයි. කල්යත්ම “ෂිලෝ” යේසුස් ක්‍රිස්තුස් නමැති “යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයා” බව පැහැදිලි විය. (එළිදරව් 5:5) යුදෙව් ශුද්ධ ලියවිලිවල ටාර්ගුම් නමැති ඇරමයික භාෂා පිටපත් සමහරක “ෂිලෝ” යන වචනය වෙනුවට “මෙසියස්” නැතහොත් “රජ වූ මෙසියස්” කියා යොදනු ලැබීය.
ඔබේ දැනුම මැන බලන්න
දේවරාජ්‍යය යනු කුමක්ද? එය පාලනය කරන්නේ කොතැනක සිටද?
රාජ්‍ය පාලනයේ හවුල් වන්නේ කවුරුන්ද? එහි යටත්වැසියන් කවුද?
යෙහෝවා තම රාජ්‍යය යථාර්ථයක් බව අපට සහතික කර ඇත්තේ කොහොමද?
‘අන්‍යජාතීන්ගේ නියම කරන ලද කාලවල්’ පටන්ගත්තෙත්, අවසන් වුණෙත් කවදාද?
[94වන පිටුවේ කොටුව]
දේවරාජ්‍යයට අදාළ වැදගත් සිදුවීම් සමහරක්
• යෙහෝවා සාතන් නමැති යක්ෂයා වන සර්පයාගේ හිස පොඩි කරන ‘වංශයක්’ බිහි කිරීමට වූ තම අරමුණ දැනුම් දෙයි.—උත්පත්ති 3:15.
• පොදු යුගයට පෙර 1943දී, මෙම “වංශය” ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙකු බව යෙහෝවා අඟවයි.—උත්පත්ති 12:1-3, 7; 22:18.
• පොදු යුගයට පෙර 1513දී ඉශ්රායෙල්ට දුන් ව්‍යවස්ථා ගිවිසුම, “මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක්” ලෙස කටයුතු කරයි.—නික්මයාම 24:6-8; හෙබ්‍රෙව් 10:1.
• භූමික ඉශ්රායෙල් රාජ්‍යය පාලනය පො.යු.පෙ. 1117දී ආරම්භ වේ. ඉන්පසු එය දාවිත්ගේ පෙළපතට පමණක් සීමා වේ.—1 සාමුවෙල් 11:15; 2 සාමුවෙල් 7:8, 16.
• යෙරුසලම පො.යු.පෙ. 607දී විනාශ කරනු ලබන අතර, “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” ආරම්භ වේ.—2 රාජාවලිය 25:8-10, 25, 26; ලූක් 21:24.
• පොදු යුගයේ 29දී, අනාගත රජු වශයෙන් අභිෂේක කරනු ලබන යේසුස් තම භූමික දේවසේවයේ නිරත වේ.—මතෙව් 3:16, 17; 4:17; 21:9-11.
• පොදු යුගයේ 33දී, යේසුස් ස්වර්ගස්ථ වී, තම පාලනය ආරම්භ වන තුරු දෙවිගේ දකුණු පැත්තේ සිට බලාසිටී.—ක්‍රියා 5:30, 31; හෙබ්‍රෙව් 10:12, 13.
• “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” අවසන් වනවාත් සමඟම, පො.යු. 1914දී යේසුස්ව ස්වර්ගික රාජ්‍යයේ සිංහාසනාරූඪ කරනු ලබයි.—එළිදරව් 11:15.
• සාතන්ද, ඔහුගේ භූතයන්ද පොළොවට හෙළනු ලබන අතර, ඔවුන් මනුෂ්‍යවර්ගයා මතට බොහෝ දුක් පමුණුවයි.—එළිදරව් 12:9-12.
• යේසුස්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලෝක ව්‍යාප්තව දේශනා කිරීමේ කාර්යය අධීක්ෂණය කරයි.—මතෙව් 24:14; 28:19, 20.