හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න
යෙහෝවා දෙවි තම සෙනඟගේ උදාර උපදේශකයායි. ඔහු තමා ගැන පමණක් නොව, ජීවිතය ගැනත් ඔවුන්ව දැනුවත් කරයි. (යෙසායා 30:20, NW; 54:13; ගීතාවලිය 27:11) නිදසුනක් වශයෙන්, ඉශ්රායෙල් ජාතියට ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට යෙහෝවා අනාගතවක්තෲන්, ලෙවීවරුන්, විශේෂයෙන්ම ලෙවී පූජකයන් සහ වෙනත් ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් ලබා දුන්නා. (2 ලේකම් 35:3; යෙරෙමියා 18:18) අනාගතවක්තෲන් ජනයාට දෙවිගේ අරමුණු සහ ගුණාංග මෙන්ම, ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ගය ඉගැන්නුවා. යෙහෝවාගේ ව්‍යවස්ථාව ඉගැන්වීමේ වගකීම තිබුණේ පූජකයන්ට සහ ලෙවීවරුන්ටයි. තවද ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් නොහොත් වැඩිමහල්ලන් දෛනික ජීවිතයට අදාළ වූ හොඳ උපදෙස් සැපයුවා.
ඉශ්රායෙල්හි ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් අතුරින් දාවිත්ගේ පුත්‍ර සාලමොන් කැපීපෙනෙන කෙනෙක්. (1 රාජාවලිය 4:30, 31) ඔහු සතු ධනය සහ තේජස දුටු ඔහුගේ සම්භාවනීය අමුත්තන්ගෙන් ප්‍රමුඛතම කෙනෙක් වූ ෂෙබායේ බිසව මෙසේ පිළිගත්තා: “අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.” (1 රාජාවලිය 10:7) සාලමොන්ගේ ප්‍රඥාව පිටුපස තිබූ රහස කුමක්ද? සාලමොන් පො.යු.පෙ. 1037දී ඉශ්රායෙල්හි රජ වූ විට, ඔහු “ප්‍රඥාව සහ දැනුම” සඳහා යාච්ඤා කළා. මෙම ඉල්ලීම ගැන සතුටු වූ යෙහෝවා ඔහුට දැනුම, ප්‍රඥාව සහ තේරුම්ගන්නාසුලු හෘදයක් දානය කළා. (2 ලේකම් 1:10-12, NW; 1 රාජාවලිය 3:12, NW) එසේ නම්, සාලමොන් ‘උපදේශ වාක්‍ය තුන්දහසක් කීම’ ගැන පුදුම විය යුතු නැහැ. (1 රාජාවලිය 4:32) “ආගුර්ගේ වචන” සහ “ලෙමුවෙල් රජුගේ වචන” ඇතුළුව, මින් සමහරක් හිතෝපදේශ නමැති බයිබල් පොතෙහි වාර්තා කර තිබෙනවා. (හිතෝපදේශ 30:1; 31:1) මෙම ආප්තෝපදේශ තුළ දකින සත්‍යතාවන් දෙවිගේ ප්‍රඥාව පිළිබිඹු කරන අතරම, ඒවා සදාකාලිකය. (1 රාජාවලිය 10:23, 24) සතුටින් පිරි සාර්ථක ජීවිතයක් භුක්ති විඳීමට කැමති ඕනෑම කෙනෙකුට එදා මෙන්ම අදදිනත් ඒවා මසුරන් වටී.
සාර්ථකත්වයට සදාචාර පවිත්‍රකම සම්බන්ධයි—කෙසේද?
හිතෝපදේශ පොතෙහි පරමාර්ථය එහි ප්රාරම්භක වදන්වලින් එළි දකී: “ඉශ්‍රායෙල්ගේ රජ වූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ ආප්තෝපදේශ. ඒවා දැනුමද ප්‍රඥාවද ලබාගැනීමටත්, අවබෝධයෙන් පිරුණු කීම් තේරුම්ගැනීමටත්, තීක්ෂ්ණ බුද්ධියද, ධර්මිෂ්ඨකමද, යුක්තියද, ඍජුභාවයද ලබා දෙන හික්මවීම ලබාගැනීමටත්, අද්දැකීමෙන් අඩු අයට විචක්ෂණ බුද්ධියද තරුණයාට දැනුම සහ සිතීමේ හැකියාවද දීමටත්ය.”—හිතෝපදේශ 1:1-4, NW.
‘සාලමොන්ගේ ආප්තෝපදේශවලට’ ඇත්තේ මොනතරම් උදාර පරමාර්ථයක්ද! ඒවා ‘දැනුම සහ ප්‍රඥාව ලබාගැනීමටයි.’ ප්‍රඥාව කියන්නේ දේවල නියම ස්වභාවය තේරුම්ගෙන, එසේ තේරුම්ගත් දේ ගැටලු නිරාකරණය කිරීමට, ඉලක්කයන් අත් කරගැනීමට, අන්තරාවන් මඟහැරීමට හෝ ඒවා මඟහැරීමට අන්‍යයන්ට උපකාර කිරීම සඳහා යොදාගැනීමයි. එක් ආශ්‍රේය ග්‍රන්ථයකට අනුව, “හිතෝපදේශ පොතෙහි ‘ප්‍රඥාව’ කීමෙන් අදහස් කරන්නේ තම ජීවිතය දක්ෂ ලෙස හැසිරවීමයි, එනම් ඥානවන්ත තේරීම් කර සාර්ථකව ජීවත් වීමේ හැකියාවයි.” එසේ නම්, ප්‍රඥාව අත් කරගැනීම කොතරම් වැදගත්ද!—හිතෝපදේශ 4:7.
සාලමොන්ගේ ආප්තෝපදේශ සපයන තවත් දෙයක් නම් හික්මවීමයි. මේ පුහුණුවත් අපට අවශ්‍යද? ශුද්ධ ලියවිල්ලේ හික්මවීම කියද්දී, නිවැරදි කිරීම, තරවටු කිරීම හෝ දඬුවම් කිරීමේ අදහස එයට මුසු වී ඇත. එක් බයිබල් විශාරදයෙකුට අනුව, එයින් “හිතුවක්කාරව අනුවණකමට නැඹුරු වන මඟක ගමන් කරන කෙනෙකුව නිවැරදි කිරීම ඇතුළුව, අපගේ සදාචාරමය ස්වභාවය පුහුණු කිරීම අඟවනවා.” වෙනත් කෙනෙකුගෙන් ලැබුණත්, තමාගෙන්ම ලැබුණත්, හික්මවීම වරදෙහි නියැලීමෙන් අපව වළක්වනවා පමණක් නොව, යහපත් අතට හැරෙන්නත් අපව පොලඹවනවා. ඔව්, සදාචාරමය අතින් පවිත්‍රව සිටින්න නම් අපට හික්මවීම අවශ්‍යමයි.
එසේ නම්, මෙම ආප්තෝපදේශවලට දෙවැදැරූම් පරමාර්ථයක් ඇත: ප්‍රඥාව ලබා දීම සහ හික්මවීම සැපයීම. සදාචාරමය හික්මවීමට සහ මානසික හැකියාවට පැති බොහොමයක් ඇත. උදාහරණයක් ලෙස, ධර්මිෂ්ඨකම සහ යුක්තිය සදාචාරමය ගුණාංග වෙනවා. ඒවා අපට යෙහෝවාගේ උත්කෘෂ්ට ප්‍රමිති රැකීමට උපකාර කරනවා.
ප්‍රඥාව කියන්නේ අවබෝධය, තීක්ෂ්ණ බුද්ධිය, විචක්ෂණ බුද්ධිය සහ සිතීමේ හැකියාව ඇතුළු සාධක රැසක සංකලනයකි. යම් කාරණයක හරය තේරුම්ගෙන, එහි එක් එක් අංගය අතර සම්බන්ධයත්, සම්පූර්ණ පින්තූරයත් ග්‍රහණය කරගැනීමෙන් නියම ස්වභාවය අවබෝධ කරගැනීමට හැකිවීම, එනම් එහි අර්ථය වටහාගැනීම අප අවබෝධය කියා හඳුන්වනවා. තීක්ෂ්ණ බුද්ධිය තිබෙන්න නම්, හේතු දැනගැනීම සහ යම් කිසි ක්‍රියාමාර්ගයක් හරි හෝ වැරදි වීමට හේතු වටහාගැනීම අවශ්‍යයි. උදාහරණයක් වශයෙන්, යමෙක් වැරදි මාර්ගයක් ඔස්සේ යනවා කියා වටහාගෙන, එම අන්තරාව ගැන ඔහුට වහාම අවවාද කරන්න අවබෝධයෙන් යුත් මනුෂ්‍යයෙකුට පුළුවන්. කෙසේවෙතත්, එම පුද්ගලයා එම ගමන් මාර්ගයට නැඹුරු වන්නේ ඇයි කියා වටහාගන්නත්, ඔහුව බේරාගැනීමට යොදාගත හැකි වැඩිම බලපෑමෙන් යුත් මාර්ගය කුමක්ද කියා තීරණය කිරීමටත් තීක්ෂ්ණ බුද්ධිය අවශ්‍යයි.
විචක්ෂණ බුද්ධියෙන් ක්‍රියා කරන පුද්ගලයන්, පහසුවෙන් හසු වෙන අය නොවෙයි. ඔවුන් නුවණක්කාරයි. (හිතෝපදේශ 14:15) යම් නපුරක් කලින්ම දැක, ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා. තවද සුවදායී සිතුවිලි සහ අදහස් ඇති කරගැනීමටත්, අපගේ ජීවිතයට අරමුණුසහගත දිශාවක් දීමටත් ප්‍රඥාව දායක වෙනවා. බයිබලයෙහි සඳහන් ආප්තෝපදේශ අධ්‍යයනය කිරීම ඇත්තෙන්ම වටිනා කාර්යයක් වෙනවා. මන්ද, ඒවා වාර්තා කර තිබුණේ අපට ප්‍රඥාව සහ හික්මවීම කුමක්දැයි දැනගන්නා පිණිසයි. එම ආප්තෝපදේශවලට අවධානය දෙන “අද්දැකීමෙන් අඩු අයට” වුණත් විචක්ෂණ බුද්ධියද, ‘තරුණයෙකුට’ දැනුම සහ සිතීමේ හැකියාවද ලබාගත හැකියි.
ප්‍රඥාවන්තයන් සඳහා ආප්තෝපදේශ
කෙසේවෙතත්, බයිබලයෙහි සඳහන් ආප්තෝපදේශ අද්දැකීමෙන් අඩු සහ තරුණ අය සඳහා පමණක් නොවෙයි. ඒවා සවන් දීමට තරම් ඥානවන්ත ඕනෑම කෙනෙකුට ප්රයෝජනවත්ය. “ආප්තෝපදේශයක් හා පැටලිලි සහිත කීමක්ද, ප්‍රඥාවන්ත පුද්ගලයන්ගේ වචන හා ඔවුන්ගේ තේරවිලිද අවබෝධ කරගැනීමට, ප්‍රඥාවන්තයා අසා තවත් උපදෙස් භාරගන්නේය; අවබෝධයෙන් යුත් මනුෂ්‍යයා දක්ෂ මඟ පෙන්වීම ලබාගන්නේය.” (හිතෝපදේශ 1:5, 6, NW) දැනටමත් ප්‍රඥාව අත් කරගෙන ඇති පුද්ගලයෙක්, මෙම ආප්තෝපදේශවලට අවධානය දීමෙන් තමාගේ ඉගෙනීම තවත් වැඩිදියුණු කරගන්නා අතර, අවබෝධයෙන් යුත් මනුෂ්‍යයා තම ජීවිතයට නිසි එල්ලයක් දීමට තමා සතු හැකියාව තවත් තියුණු කරන්න යනවා.
සාමාන්‍යයෙන් ආප්තෝපදේශයක් ඉතා ගැඹුරු සත්‍යයන්, වචන අතළොස්සකින් පැහැදිලි කරනවා. බයිබලයෙහි සඳහන් ආප්තෝපදේශයක් පැටලිලි සහිත කීමක ස්වභාවය ගත හැකියි. (හිතෝපදේශ 1:17-19) ඇතැම් ආප්තෝපදේශ තේරවිල්ලක, එනම් නිරවුල් කිරීමක් අවශ්‍ය කරවන පැටලිලි සහිත හෝ ව්‍යාකූල කරවන කියමන්වල ස්වභාවය ගනී. ආප්තෝපදේශයක උපමාලංකාර, රූපාලංකාර සහ වෙනත් වාක්යාලංකාරද තිබිය හැකියි. මේවා අවබෝධ කරගැනීමට කාලය සහ මෙනෙහි කිරීම අවශ්‍ය වෙයි. ආප්තෝපදේශයන් රැසක් රචනා කළ සාලමොන්, ආප්තෝපදේශයක හැම සියුම් අංගයක්ම මනාව වටහාගත් බව කිව හැකියි. හිතෝපදේශ පොත තුළින් එම හැකියාව තම පාඨකයන්ට ලබා දීමේ කාර්යයෙහි ඔහු නිරත වෙනවා. එසේ නම් ප්‍රඥාවන්ත පුද්ගලයෙක් ඒවාට අවධානය දීම කොතරම් උචිතද!
එම ඉලක්කය අත් කරගැනීමට මුල් වන දේ
ප්‍රඥාව සහ හික්මවීම අත් කරගැනීමට මුල් වන්නේ කුමක්ද? සාලමොන් මෙසේ පිළිතුරු දෙයි: “යෙහෝවා කෙරෙහි භයවීම දැනුමෙහි ආරම්භයයි. ප්‍රඥාව සහ හික්මවීම හෙළා දකින්නේ මෝඩයන්ය.” (හිතෝපදේශ 1:7, NW) එසේ නම්, දැනුමට මුල් වන්නේ යෙහෝවා කෙරෙහි භයවීමයි. දැනුමක් නොමැතිව, ප්‍රඥාවවත්, හික්මවීමවත් ලබාගත නොහැකියි. එසේ නම්, යෙහෝවා කෙරෙහි භයවීම ප්‍රඥාවේ සහ හික්මවීමේ ආරම්භයයි.—හිතෝපදේශ 9:10; 15:33.
දෙවි කෙරෙහි භයවීම කියන්නේ, ඔහු ගැන භීතියකින් තැතිගෙන සිටීම නොවෙයි. ඒ වෙනුවට එය ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයකින් සහ විස්මයකින් යුත් ගුණාංගයකි. මෙවන් භයක් නොමැතිව ඇත්තටම සැබෑ දැනුම පැවතිය නොහැකියි. ජීවිතය ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිගෙනි. එමනිසා, ඕනෑම දැනුමක් ලබාගැනීමට ඒ ජීවිතය අත්‍යවශ්‍යයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:25, 28) එපමණක්ද නොව, දෙවි සියලු දේ මැව්ව නිසා, මිනිසා සතු ඕනෑම දැනුමක් ඔහුගේ හස්ත කර්මාන්තය අධ්‍යයනය කිරීම මතයි පදනම්ව තිබෙන්නේ. (ගීතාවලිය 19:1, 2; එළිදරව් 4:11) “ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් [දේවල් හරිගැස්වීමටත්, NW] ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් [හික්මවීමටත්, NW] ප්‍රයෝජනවත්” වන තම ලිඛිත වචනයටද දෙවි අනුභාවය දුන්නා. (2 තිමෝති 3:16) එසේ නම්, සැබෑ දැනුමෙහි කේන්ද්‍රස්ථානය යෙහෝවායි. එමනිසා, ඔහුව සොයන ඕනෑම පුද්ගලයෙක් ඔහු කෙරෙහි ගෞරවාන්විත බියක් ඇති කරගත යුතුයි.
දෙවි කෙරෙහි භයවීම නොමැතිව මිනිසා සතු දැනුම සහ ලෞකික ප්‍රඥාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව [දෙවි] විසින් මෝඩකළා නොවේද?” (1 කොරින්ති 1:20) දේවභයක් නොමැති ලෞකික ප්‍රඥාවේ ගිලී සිටින පුද්ගලයෙක්, තමන් දන්නා කරුණු පදනමක් කරගෙන වැරදි නිගමනවලට එළඹීමෙන් ‘මෝඩ’ වෙයි.
“නුඹේ බෙල්ලට මාලයක්”
ප්‍රඥාවන්ත සාලමොන් රජ ඊළඟට යෞවනයන්ව ආමන්ත්‍රණය කරයි: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම [හික්මවීම, NW] අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද [කිරුළක්ද, NW] නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.”—හිතෝපදේශ 1:8, 9.
පුරාණ ඉශ්රායෙලයේ, දෙවිගෙන් ලද තම දරුවන්ට ඉගැන්වීමේ වගකීම දෙමාපියන්ට තිබුණා. මෝසෙස් පියවරුන්ට මෙසේ අවවාද කළා: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ, NW] තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.” (ද්විතීය කථාව 6:6, 7) මව්වරුන්ටත් සෑහෙන වගකීමක් තිබුණා. තම පුරුෂයාගේ අධිකාරය යටතේ හෙබ්‍රෙව් භාර්යාවකට පවුලේ නීති රීති රැකීමට බලතල තිබුණා.
ඇත්තෙන්ම, මුළු බයිබලය පුරාම, අධ්‍යාපනයක් දීමට මූලික ඒකකය වශයෙන් ක්‍රියා කරන්නේ පවුලයි. (එපීස 6:1-3) දරුවන් තම ඇදහිලිවන්ත දෙමාපියන්ට කීකරු වූවොතින්, ඔවුන් සංකේතමය අර්ථයකින් ගත් කල, ඔබින කිරුළකින් සහ ගෞරවයේ මාලයකින්ද පැළඳී සිටිනවා හා සමානයි.
“එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ”
උසස් අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය බලා ගිය 16 හැවිරිදි තම පුතාට ආසියාතික පියෙක් අවවාද කළේ නොහොබිනා පුද්ගලයන්ගේ සමාගමට වැටෙන්න එපා කියායි. මෙම අවවාදය සාලමොන්ගේ අවවාදයට සමව දිවයයි: “මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.” (හිතෝපදේශ 1:10) කොහොම වුණත්, ඔවුන් යොදාගන්නා ඇමට යොමු දක්වමින් සාලමොන් මෙසේ පවසයි: “ඔවුන් කථාකොට: අප සමග එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු; ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු; සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු; නුඹ අප සමග පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි” පවසයි.—හිතෝපදේශ 1:11-14.
පැහැදිලිවම ඇම වශයෙන් ක්‍රියා කරන්නේ ධනයයි. ඉක්මන් ලාභ ලබාගැනීමේ චේතනාවෙන් “පව්කාරයෝ” අන්‍යයන්ව ඔවුන්ගේ දරුණු හෝ නීති විරෝධී උපක්රමවලට කපටි ලෙස හවුල් කරගන්නවා. ද්‍රව්‍යමය වාසි තකා දුෂ්ටයෝ ලේ වැගිරීමට පසුබට වන්නෙත් නැහැ. ඔවුන්ගේ ගොදුර, ‘ෂෙයෝල මෙන් පණපිටින්ද ගිල දමන්නේ’ මිනීවළ මළ සිරුරක් භාරගන්නාක් මෙන්, ඔහු සතු සියල්ල ඔහුගෙන් උදුරාගැනීමෙනුයි. ‘ඔවුන් තම නිවෙස් කොල්ලයෙන් පුරවාගැනීමට’ කැමති වන අතර, අද්දැකීමෙන් අඩු තැනැත්තා ‘ඔවුන් සමඟ පංගුකාරයන් වනවාට’ ඔවුන් කැමතියි. එබැවින්, ඔවුන් ඇරයුම් කරන්නේ අපරාධයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමටයි. මෙය අප සඳහා මොනතරම් කාලෝචිත අවවාදයක්ද! තරුණ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පුද්ගලයන්ව බඳවාගැනීමට මේ හා සමාන උපක්‍රම යොදාගන්නේ නැද්ද? සැක කටයුතු ව්‍යාපාරික යෝජනා පිටුපස ඇති ඉක්මනින් පොහොසත් වීමේ පොරොන්දුව ප්‍රබල පෙලඹීමක් නොවේද?
ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ අවවාද කරයි: “මාගේ පුත්‍රය, ඔවුන් සමග ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වලක්වාගන්න. මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.” ඔවුන්ට අත් වන විනාශකාරි ඉරණම පුරෝකථනය කරමින්, ඔහු මෙසේ කියයි: “යම්කිසි පක්ෂියෙකුට පෙණෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය. ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති. තමුන්ගේම ප්‍රාණයට විරුද්ධව සැඟවී සිටිති. ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.”—හිතෝපදේශ 1:15-19.
නින්දිත “ලාභයට ලෝභිවූ සියල්ලන්” තම මාර්ගයෙහි විනාශ වී යනවා. අන්‍යයන්ව අසු කරගැනීමට දුෂ්ටයන් අටවන උගුල්වලට ඔවුන්ම අසු වන්න යනවා. හිතාමතා නපුරු ක්‍රියාවල නිරතවන්නෝ තම මාර්ගය වෙනස් කරන්න යනවාද? නැහැ. “පක්ෂියෙකුට” දැල හොඳින් පෙනෙනවා විය හැකි වුණත්, උන් කෙළින්ම එය තුළට ඉගිළෙනවා. ඊට සමාන ආකාරයකින්, ගිජුකමින් අන්ධ වූ දුෂ්ටයන් තමන් කවදා හරි අසු වෙයි කියා දැන දැනත් තම අපරාධ ක්‍රියාවල දිගටම නියැලෙනවා.
ප්‍රඥාවේ හඬට සවන් දෙන්නේ කවුද?
තමන් ගන්නා ක්‍රියාමාර්ගය විනාශකාරි එකක් කියා පව්කාරයන් ඇත්තටම දන්නවාද? ඔවුන්ගේ මාර්ගවල කෙළවර ගැන ඔවුන්ට අනතුරු අඟවා තිබෙනවාද? කිසිවක් දන්නේ නැහැයි කියා නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකියි. මන්ද, ඉතා පැහැදිලි පණිවිඩයක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනු ලබනවා.
සාලමොන් මෙසේ ප්‍රකාශ කරයි: “[සැබෑ, NW] ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි; මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.” (හිතෝපදේශ 1:20, 21) පැහැදිලිව මෙන්ම උස් හඬකින් ප්‍රඥාව සියල්ලන්ට ඇසෙන පරිදි මොරගසනවා. පුරාණ ඉශ්රායෙලයේ වැඩිමහල්ලන් නුවරේ දොරටු අසල ප්‍රඥාවන්ත උපදෙස් සහ විනිශ්චමය තීරණ දුන්නා. යෙහෝවා සියල්ලන්ට ලබාගත හැකි තම වචනය වන බයිබලයෙහි අප සඳහා සැබෑ ප්‍රඥාව වාර්තා කර තිබෙනවා. තවද ඔහුගේ සේවකයන් අදදින එහි පණිවිඩය සෑම තැනකම ප්‍රකාශ කිරීමෙහි කඩිසරව නිරතව සිටිනවා. දෙවි සියල්ලන් ඉදිරියෙහි ප්‍රඥාව ප්‍රකාශ කර ඇති බවට මනාව පැහැදිලියි.
සැබෑ ප්‍රඥාවේ පණිවිඩය කුමක්ද? මෙයයි: “නුවණ [අද්දැකීම්, NW] නැත්තෙනි, නුඹලා අනුවණකමට [අද්දැකීම් නොමැතිකමට, NW] කැමතිවන්නෙත්, නින්දාකරන්නන් [එළි පිට, NW] නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත් . . . කොතෙක් කල්ද? . . . මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිඟුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත.” මෝඩයන් ප්‍රඥාවේ හඬ තකන්නේ නැහැ. එබැවින්, “ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.” අවසානයේදී, ඔවුන්ගේම ‘අවකල් ක්‍රියා සහ නොසැලකිලිකම නිසා ඔවුන් නැති වෙනවා.’—හිතෝපදේශ 1:22-32.
එනමුත් ප්‍රඥාවේ හඬට සවන් දෙන්න කාලය ගෙන ඇති අය ගැන කුමක් කිව හැකිද? ඔහු ‘සුවසේ වාසය කොට විපතට භය නොවී, නිශ්චලව සිටිනවා ඇත.’ (හිතෝපදේශ 1:33) එසේ නම්, බයිබලයෙහි සඳහන් ආප්තෝපදේශවලට අවධානය දීමෙන් ප්‍රඥාව සහ හික්මවීම ලබාගන්නා අය අතර ඔබත් සිටීවා!
[15වන පිටුවේ පින්තූරය]
සැබෑ ප්‍රඥාව සියල්ලන්ට ලබාගත හැකියි