ඔබේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කරන්න
“යෙහෝවාම ප්‍රඥාව දෙන්නේය; ඔහුගේ මුඛයෙන් දැනුම හා විචාර බුද්ධිය නික්මෙයි.”—හිතෝපදේශ 2:6, NW.
1. අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කළ හැක්කේ කොහොමද?
යෙහෝවා අපේ උදාර උපදේශකයායි. (යෙසායා 30:20, 21, NW) ඒත් ඔහුගේ වචනයෙහි හෙළි කරලා තියෙන “දෙවි පිළිබඳ වූ දැනු[මෙන්]” ප්‍රයෝජන ලබන්න අපි මොනවද කළ යුත්තේ? ‘අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු’ කරන්න ඕනෙ කියන එක එයට අයත් වෙනවා—ඒ කියන්නේ මේ ගුණාංගය අත් කරගන්නත් විදහාපෙන්වන්නත් අපිට හෘදයාංගම ආශාවක් තියෙන්න ඕනෙ කියන එකයි. මේ සඳහා අපි දෙවිගේ පිහිට පැතිය යුතුයි; ඇයි කිව්වොත් ප්‍රඥාවන්ත මනුෂ්‍යයා මෙහෙම පැවසූ නිසයි: “යෙහෝවාම ප්‍රඥාව දෙන්නේය; ඔහුගේ මුඛයෙන් දැනුම හා විචාර බුද්ධිය නික්මෙයි.” (හිතෝපදේශ 2:1-6, NW) දැනුම, ප්‍රඥාව සහ විචාර බුද්ධිය කියන්නේ මොනවාද?
2. (අ) දැනුම කියන්නේ මොකක්ද? (ආ) ඔබ ප්‍රඥාව නිර්වචනය කරන්නේ කොහොමද? (ඇ) විචාර බුද්ධිය කියන්නේ මොකක්ද?
2 දැනුම කියන්නේ අද්දැකීමෙන්, නිරීක්ෂණයෙන් හෝ අධ්‍යයනයෙන් ලබාගන්න කරුණු හොඳින් දැනසිටීමයි. ප්‍රඥාව කියන්නේ දැනුම ක්‍රියාවෙහි යොදවන්න තියෙන හැකියාවයි. (මතෙව් 11:19) ස්ත්‍රීන් දෙන්නෙක් එකම දරුවාට හිමිකම් ප්‍රකාශ කළ විට සාලමොන් රජ ප්‍රඥාව විදහාපෙන්වූ අතර, ආරවුල සමථයකට පත් කරන්න, මවකට ඇගේ දූදරුවන් කෙරෙහි තියෙන ඇල්ම ගැන තමාට තිබුණු දැනුම යොදාගත්තා. (1 රාජාවලිය 3:16-28) විචාර බුද්ධිය කියන්නේ “විනිශ්චය කිරීමේ සියුම් හැකියාවයි.” ඒ තමයි “එක් දෙයක් තවෙකකින් වෙන් කොට හඳුනාගැනීමට ඉවහල් වන මනසේ ශක්තිය හෝ හැකියාව.” (වෙබ්ස්ට’ස් යූනිව’සල් ඩික්ෂනරි) අපි අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කරනවා නම්, යෙහෝවා තම පුත්‍රයා තුළින් එය අපට දෙයි. (2 තිමෝති 2:1, 7, NW) ඒත් විචාර බුද්ධිය ජීවිතයේ විවිධ පැතිවලට බලපෑ හැක්කේ කොහොමද?
විචාර බුද්ධිය සහ අපේ කතාව
3. ඔබ හිතෝපදේශ 11:12, 13ත් [NW], “හෘදයේ අඩුවක්” ඇතුව සිටිනවා කියන එකේ තේරුමත් පැහැදිලි කරන්නේ කොහොමද?
3 “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” තියෙනවා කියලා තේරුම්ගන්න විචාර බුද්ධිය අපිට උපකාර කරනවා. (දේශනාකාරයා 3:7) අපි කියන දේ ගැන පරෙස්සම් වෙන්නත් මේ ගුණාංගය අපට උපකාරවත් වෙනවා. හිතෝපදේශ 11:12, 13 [NW] මෙහෙම කියනවා: “හෘදයේ අඩුවක් ඇති තැනැත්තා, තමාගේම සහචරයාට අවමන් කරයි; නමුත් නිහඬතාව රැකගෙන සිටින්නා පුළුල් විචාර බුද්ධියේ මනුෂ්‍යයාය. අපහාසකරන්නෙක් හැටියට එහෙ මෙහෙ ඇවිදින්නා රහස්‍ය කතා අනාවරණය කරයි; නමුත් විශ්වාසවන්ත ආත්මයක් ඇති තැනැත්තා කාරණයක් වසා දමයි.” ඔව්, වෙනත් පුද්ගලයෙක්ට අවමන් කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් “හෘදයේ අඩුවක්” ඇතුව සිටිනවා. ශබ්ද සංග්‍රහක විල්හෙල්ම් ජෙසේනියස්ට අනුව, එවැනි පුද්ගලයෙක් “අවබෝධයෙන් හීනව” සිටී. ඔහුට හෝ ඇයට හොඳ විනිශ්චය කිරීමේ ශක්තියක් නැති අතර, ‘හෘදය’ යන යෙදුම භාවිතයෙන් ඇතුළාන්ත පුද්ගලයා සතු ඒකාන්ත ගුණාංගවල හිඟයක් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. තමා ක්‍රිස්තියානි කියලා කියන කෙනෙක් අපහාස හෝ නින්දා කරන තරමටම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කතා කරන්න නැඹුරු වෙනවා නම්, සභාව තුළ උද්ගත වී තියෙන මෙම අහිතකර තත්වය නවතා දමන්න පත් කරන ලද වැඩිමහල්ලන් ක්‍රියා කළ යුතුයි.—ලෙවී කථාව 19:16; ගීතාවලිය 101:5; 1 කොරින්ති 5:11.
4. විචාර බුද්ධියෙන් කටයුතු කරන විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් රහස්‍ය තොරතුරු සම්බන්ධව මොනවද කරන්නේ?
4 “හෘදයේ අඩුවක්” ඇති අය මෙන් නොව, “පුළුල් විචාර බුද්ධියේ” පුද්ගලයෝ, යෝග්‍ය අවස්ථාවන්වලදී නිහඬතාව රැකගන්නවා. විශ්වාසය බිඳහෙළන්නේ නැහැ. (හිතෝපදේශ 20:19) අපරීක්ෂාකාරිව කතා කිරීමෙන් හානි සිදු වෙන්න පුළුවන් බව දන්න නිසා, විචාර බුද්ධියෙන් කටයුතු කරන අය “විශ්වාසවන්ත ආත්මයක්” ඇතුව සිටිනවා. ඔවුන් සෙසු ඇදහිලිවන්තයන්ට පක්ෂව ඉන්න අතර, ඒ අයට හානියක් විය හැකි ආකාරයකට රහස්‍ය කාරණා හෙළි කරන්නේ නැහැ. සභාවට අදාළ ඕනෑම ආකාරයේ රහස්‍ය තොරතුරක් විචාර බුද්ධියෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන්ට ලැබුණොත්, ඒ ගැන දැනුම් දීම යෝග්‍යයයි කියලා යෙහෝවාගේ සංවිධානය තීරණය කරන තෙක් ඔවුන් එය එළිදරව් කරන්නේ නැහැ.
විචාර බුද්ධිය සහ අපේ හැසිරීම
5. ‘මෝඩයන්’ නින්දිත හැසිරීම සලකන්නේ කොහොමද? ඒ ඇයි?
5 විචාර බුද්ධිය පාවිච්චි කරන්නත්, නොමනා හැසිරීමෙන් වැළකී සිටින්නත් බයිබල් හිතෝපදේශ අපට උපකාර කරනවා. උදාහරණයක් වශයෙන්, හිතෝපදේශ 10:23 [NW] මෙහෙම කියනවා: “මෝඩයාට නින්දිත හැසිරීමෙහි නිරත වීම සෙල්ලමක් මෙනි; නමුත් ප්‍රඥාව තිබෙන්නේ විචාර බුද්ධියේ මනුෂ්යයාටය.” නින්දිත හැසිරීම “සෙල්ලමක්” හා සමානව සලකන අය, තමුන් යන මාර්ගයෙහි වරදසහිතබව ගැන අන්ධව සිටින අතර, සියලුදෙනාම ගණන් දිය යුතු තැනැත්තා වශයෙන් දෙවිව පිළිගන්නේ නැහැ. (රෝම 14:12) එවැනි ‘මෝඩයන්’ තර්ක කරන විදිහ කොතරම් දූෂිත වෙනවාද කිව්වොත්, දෙවිට ඔවුන්ගේ වැරදි පේන්නේ නැහැ කියලා ඔවුන් සිතාගන්නවා. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හරියටම “යෙහෝවා නැතැයි” කියනවා වගෙයි. (ගීතාවලිය 14:1-3, NW; යෙසායා 29:15, 16) ඔවුන් දේවප්රතිපත්තිවල මඟ පෙන්වීමට යටත් වෙන්නේ නැති නිසා, ඔවුන්ට විචාර බුද්ධියේ ඌනතාවක් තියෙන අතර, කාරණා නිවැරදිව විනිශ්චය කරන්න බැහැ.—හිතෝපදේශ 28:5.
6. නින්දිත හැසිරීම මෝඩකමක් වෙන්නේ ඇයි? එමෙන්ම අපිට විචාර බුද්ධිය තියෙනවා නං අපි එය සලකන්න යන්නේ කොහොමද?
6 නින්දිත හැසිරීම “සෙල්ලමක්,” ඒ කියන්නේ ක්‍රීඩාවක් නොවන බව “විචාර බුද්ධියේ මනුෂ්‍යයා” තේරුම්ගන්නවා. එය දෙවිට අප්‍රසන්න දෙයක් බවත්, ඔහු සමඟ ඇති අපේ සම්බන්ධයට හානි පමුණුවන්න එයට පුළුවන් බවත් ඔහු දන්නවා. එලෙස හැසිරීම පුද්ගලයන්ගෙන් ආත්ම ගෞරවය සොරාගන්නා නිසාත්, විවාහයන් කඩාකප්පල් කරන නිසාත්, මනස මෙන්ම ශරීරයට හානි පමුණුවන නිසාත්, ආත්මිකත්වය නැති කරගැනීමට මඟ පාදන නිසාත්, එය මෝඩකමක් වෙනවා. එසේනම්, අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කරලා, ඕනෑම නින්දිත හැසිරීමකින් හෝ දුරාචාරයකින් වැළකී සිටිමු.—හිතෝපදේශ 5:1-23.
විචාර බුද්ධිය සහ අපේ ආත්මය
7. කෝපයේ ශාරීරික බලපෑම් සමහරක් මොනවාද?
7 අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කිරීම අපේ ආත්මය පාලනය කරන්නත් අපට උපකාර වෙනවා. හිතෝපදේශ 14:29 [NW] මෙහෙම කියනවා: “කෝපයට පමාවෙන්නා විචාර බුද්ධියෙන් ගහනය; නමුත් නොඉවසිලිවන්ත තැනැත්තා මෝඩකම උසස් කරන්නේය.” පාලනයකින් තොරව කෝපය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට විචාර බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක් වෑයම් කරන්න එක හේතුවක් තමයි, එය ශාරීරිකව අප කෙරෙහි අහිතකරව බලපෑම. ඒකෙන් රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්; ශ්වසන ආබාධ සිදු වෙන්න පුළුවන්. ඇදුම, සමේ රෝග, අජීරණය හා වණ වැනි ලෙඩවලට හේතුව හෝ ඒවා තවත් උග්‍ර කිරීමට හේතු වන චිත්තවේගයන් වශයෙන්, වෛද්‍යවරුන් කෝපය හා උදහස සඳහන් කරලා තියෙනවා.
8. නොඉවසිලිවන්ත වීම කුමකට මඟ පෑදිය හැකිද? නමුත් මේ සම්බන්ධයෙන් අපට උපකාර කරන්න විචාර බුද්ධියට පුළුවන් වෙන්නේ කොහොමද?
8 අපි විචාර බුද්ධිය පාවිච්චි කළ යුත්තෙත්, “කෝපයට පමා” විය යුත්තෙත්, අපේ සෞඛ්‍යයට හානි සිදු වන එකෙන් වළකින්න ඕන හින්දා විතරක් නෙවෙයි. නොඉවසිලිවන්ත වීම අපිව පස්සේ කනගාටුවට පත් කරවන මෝඩ ක්‍රියාවලට මඟ පාදන්න පුළුවන්. නොහික්මුණු කතාවෙන් හෝ ඉක්මන්කාර හැසිරීමෙන් සිදු විය හැකි දේ සලකා බලන්න විචාර බුද්ධිය අපට සලස්වනවා; එමගින්, අඥාන යමක් කිරීම තුළින් “මෝඩකම උසස්” කිරීමෙන් අපව වළක්වාගන්නවා. හොඳ විනිශ්චයක් පාවිච්චි කරන්න බැරි වෙන විදිහට උදහස, අපේ සිතීමේ ක්‍රියාවන්වලට බාධා පමුණුවන බව තේරුම්ගන්න විචාර බුද්ධිය විශේෂයෙන්ම අපට උපකාර කරනවා. මෙය දිව්‍ය කැමැත්ත කිරීමටත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වීමටත් අපට තියෙන හැකියාව දුර්වල කරාවි. ඔව්, නොහික්මුණු කෝපයට නැඹුරු වීම ආත්මික වශයෙන් හානිකරයි. ඇත්තෙන්ම, “හදිසි කෝපය” [NW] අපිව දේවරාජ්‍යය උරුම කරගැනීමෙන් වළක්වන පිළිකුල්සහගත “මාංසයේ ක්‍රියා” ගණයට දමා තියෙනවා. (ගලාති 5:19-21) එහෙමනම්, විචාර බුද්ධියෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වශයෙන්, අපි “ඇසීමට ඉක්මන් [වෙමු], කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද [වෙමු].”—යාකොබ් 1:19.
9. එකඟ නොවීම් සමථයකට පත් කරගන්න, විචාර බුද්ධියට සහ සහෝදරය ප්‍රේමයට අපට උපකාර කරන්න පුළුවන් වෙන්නේ කොහොමද?
9 අපිට කෝපය ඇති වුණොත්, විවාදයක් වළක්වගන්න නිශ්ශබ්දව සිටිය යුතු බව විචාර බුද්ධියෙන් අඟවන්න පුළුවන්. හිතෝපදේශ 17:27 [NW] මෙසේ කියයි: “තමාට කියන්න තිබෙන දේ වළක්වාගන්නා ඕනෑම අයෙකුට දැනුම තිබෙන අතර, විචාර බුද්ධියේ මනුෂ්‍යයෙක් නිසොල්මන් ආත්මයකින් යුක්තයි.” යම්කිසි වේදනාකාරි දෙයක් හදිස්සියෙන් පිට කිරීමට තියෙන පෙලඹීම පාලනය කිරීමේ අවශ්‍යතාව දැකගන්න විචාර බුද්ධිය හා සහෝදර ප්‍රේමය අපට උපකාරවත් වෙනවා. හදිසි කෝපයක් ඇති වී හමාරයි නම්, සමාව ඉල්ලන්නත් දේවල් සමථයකට පත් කරගන්නත් ප්‍රේමය හා නිහතමානිකම අපව පොලඹවනවා. ඒත් කෙනෙක් අපේ හිත රිදවලා තියෙනවා කියලා හිතන්න. එහෙමනම්, සමාදානය වඩවන පරමාර්ථය ඇතුව මෘදු නිහතමානී ආකාරයකින් අපි ඔහුත් සමඟ තනිව කතා කරමු.—මතෙව් 5:23, 24; 18:15-17.
විචාර බුද්ධිය සහ අපේ පවුල
10. පවුල් ජීවිතයේ, ප්‍රඥාවට සහ විචාර බුද්ධියට හිමි වෙන්නේ මොන වැඩකොටසක්ද?
10 පවුලේ සාමාජිකයන් ප්‍රඥාව හා විචාර බුද්ධිය පෙන්නුම් කළ යුත්තේ, ඒ ගුණාංග පවුලක් ගොඩනංවන නිසයි. හිතෝපදේශ 24:3, 4 මෙසේ කියනවා: “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් [විචාර බුද්ධියෙන්, NW] එය ස්ථිරවේ. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.” ප්‍රඥාවත් විචාර බුද්ධියත්, සාර්ථක පවුල් ජීවිතයක් ගොඩනැඟීමට අවශ්‍ය කදිම අමුද්‍රව්‍ය හා සමානයි. තම දරුවන්ගේ හැඟීම් හා සැලකිල්ලට භාජන වන දේ එළියට ඇදගන්න ක්‍රිස්තියානි දෙමාපියන්ට විචාර බුද්ධිය උපකාරවත් වෙනවා. විචාර බුද්ධියෙන් කටයුතු කරන පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවා අදහස් හුවමාරු කරන්නත්, සවන් දෙන්නත්, තම විවාහක සහකරු හෝ සහකාරියගේ හැඟීම් හා සිතුවිලි ගැන තීක්ෂ්ණ බුද්ධියක් ලබන්නත්.—හිතෝපදේශ 20:5.
11. විචාර බුද්ධියෙන් කටයුතු කරන විවාහක ස්ත්‍රියකට ‘තම ගෘහය ගොඩනඟා’ ගත හැක්කේ කොහොමද?
11 සන්තෝෂවත් පවුල් ජීවිතයක් සඳහා ප්‍රඥාවත් විචාර බුද්ධියත් අත්‍යවශ්‍යයි කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, හිතෝපදේශ 14:1 මෙසේ කියනවා: “[සැබවින්ම, NW] ඥාණවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.” තම පුරුෂයාට නිසි ලෙස යටත් වී සිටින ඥානවන්ත විචාර බුද්ධියෙන් කටයුතු කරන ස්ත්‍රියක්, තම පවුලේ යහපත වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, එමගින් තම පවුල ගොඩනැඟීමට උපකාර කරනවා. ‘තම ගෙය ගොඩනඟන’ එක දෙයක් තමයි, ඇය හැමවිටම ඇගේ පුරුෂයා ගැන හොඳ කීම; මේ තුළින් අන්‍යයන්ට ඔහු කෙරෙහි තියෙන ගෞරවය වැඩි වෙනවා. එමෙන්ම, යෙහෝවා කෙරෙහි ගෞරවාන්විත භයක් තියෙන සමර්ථ, විචාර බුද්ධියෙන් කටයුතු කරන භාර්යාවක් ප්‍රශංසාව ලබනවා.—හිතෝපදේශ 12:4; 31:28, 30.
විචාර බුද්ධිය හා අපේ ජීවිත ගමන් මාර්ගය
12. “හෘදයේ අඩුවක්” ඇත්තන් මෝඩකම සලකන්නේ කොහොමද? ඒ ඇයි?
12 අපේ සියලුම කටයුතුවලදී නිසි ගමන් මාර්ගයක යෙදෙන්න විචාර බුද්ධිය අපට උපකාර කරනවා. මෙය හිතෝපදේශ 15:21හි [NW] අඟවා තියෙනවා; එහි මෙසේ පවසනවා: “හෘදයේ අඩුවක් ඇති තැනැත්තාට මෝඩකම ප්රීතිවීමක්ය; නමුත් ඉදිරියටම ගමන් කරන්නේ විචාර බුද්ධියේ මනුෂ්‍යයාය.” මෙම හිතෝපදේශය අපි තේරුම්ගත යුත්තේ කොහොමද? මෝඩකමේ හෝ අනුවණකමේ ගමන් මාර්ගයක් සිහි නැති ස්ත්‍රී පුරුෂ හා යෞවන යෞවනියන්ගේ ප්‍රීතියට හේතුවක්. ඒ අයට “හෘදයේ අඩුවක්” ඒ කියන්නේ යහපත් චේතනාවක ඌනතාවක් තියෙනවා; එමෙන්ම ඔවුන් කොතරම් අඥානද කියලා කිව්වොත් මෝඩකමේදී ප්‍රීති වෙනවා.
13. සාලමොන් සිනාසීම සහ විනෝදය ගැන වටහාගත්තේ මොකක්ද?
13 නිස්සාර ක්‍රියාවල නිරත වෙන එක වැඩිය තේරුමක් නැති බව, ඉශ්රායෙල්හි විචාර බුද්ධියෙන් කටයුතු කළ සාලමොන් රජ ඉගෙනගත්තා. ඔහු මෙහෙම පිළිගත්තා: “මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳින්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය. ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි.” (දේශනාකාරයා 2:1, 2) විචාර බුද්ධියේ මනුෂ්‍යයෙක් වශයෙන් සාලමොන්ට පෙනීගියා, විනෝදය සහ සිනාසීමම පමණක් තෘප්තිය ඇති කරවන දෙයක් නොවන බව; ඇයි කිව්වොත් සැබෑ මෙන්ම කල්පවතින සන්තෝෂය එයින් ජනිත නොවන නිසයි. අපේ ගැටලු තාවකාලිකව අමතක කර දමන්න සිනාසීම අපිට උපකාර කළත්, ඒවා ඊටත් වඩා ප්‍රබල ආකාරයකින් ඉස්මතු වෙන්න පුළුවන්. සිනාසීම “පිස්සුකමය” කියලා හඳුන්වන්න සාලමොන්ට හොඳ හේතු තිබුණා. ඇයි? කල්පනාවෙන් තොර සිනාසීම හොඳ විනිශ්චය බොඳ කරන නිසයි. ඉතා බැරෑරුම් කාරණා සුළු කොට සලකන්න එය හේතුවක් වෙන්න පුළුවන්. රජ වාසලේ කවටයෙක් කරන කියන දෙයට සම්බන්ධ ප්‍රීතිවීම, අර්ථවත් දෙයක් බිහි කරන දෙයක් හැටියට සලකන්න බැහැ. සිනාසීම හා විනෝදය සම්බන්ධව සාලමොන් කළ පරීක්ෂණයේ වැදගත්කම වටහාගැනීම, ‘දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝ’ වීමෙන් වැළකී සිටීමට අපට උපකාරයක් වෙනවා.—2 තිමෝති 3:1, 4.
14. විචාර බුද්ධියේ මනුෂ්‍යයා “ඉදිරියටම ගමන් කරන්නේ” කොහොමද?
14 කොහොමද විචාර බුද්ධියේ මනුෂ්‍යයා ‘ඉදිරියටම ගමන් කරනවා’ කියලා කියන්නේ? ආත්මික විචාර බුද්ධියත් දේවප්‍රතිපත්ති අදාළ කරගැනීමත් පුද්ගලයන්ව නිර්දෝෂ, අවංක ගමන් මාර්ගයකට මඟ පෙන්වනවා. බයිංටන්ගේ පරිවර්තනය කෙළින්ම මෙහෙම කියනවා: “මොළය නැති මිනිසෙකුට මෝඩකම උද්දාමයක් වන මුත්, බුද්ධිමත් මිනිසෙක් කෙළින් යන්නේය.” “විචාර බුද්ධියේ මනුෂ්‍යයා” තමාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්නා අතර, දේවවචනය ජීවිතයට අදාළ කරගන්න නිසා හරි වැරැද්ද නිශ්චය කරගන්න ඔහුට පුළුවන්.—හෙබ්‍රෙව් 5:14; 12:12, 13.
විචාර බුද්ධිය සඳහා හැමවිටම යෙහෝවා දෙස බලන්න
15. හිතෝපදේශ 2:6-9න් [NW] අපි ඉගෙනගන්නේ මොකක්ද?
15 ජීවිතයේ නිර්දෝෂ ගමන් මාර්ගයක යන්න නම්, අපි සියලුදෙනාම අපේ අසම්පූර්ණත්වය පිළිගෙන, විචාර බුද්ධිය සඳහා යෙහෝවා දිහා බැලීම අවශ්‍යයි. හිතෝපදේශ 2:6-9 [NW] මෙහෙම කියයි: “යෙහෝවාම ප්‍රඥාව දෙන්නේය; ඔහුගේ මුඛයෙන් දැනුම හා විචාර බුද්ධිය නික්මෙයි. එමෙන්ම නිර්දෝෂ අය වෙනුවෙන් ඔහු ප්‍රායෝගික ප්‍රඥාව නිධානයක් සේ රැස් කර තබන්නේය; විනිශ්චයේ මාවත් අනුව යෑමෙන්, ඔහු අඛණ්ඩතාවෙන් ගමන්කරන්නන්ට පලිහකි; එමෙන්ම තම පක්ෂපාත අයගේ මාර්ගය ආරක්ෂා කරන්නේය. එවිට ධර්මිෂ්ඨකම, විනිශ්චය සහ නිර්දෝෂකමද, යහපත් වූ මුළු ගමන් මාර්ගයමද ඔබට අවබෝධ වන්නේය.”—යාකොබ් 4:6, සසඳන්න.
16. යෙහෝවාට විරුද්ධ ප්‍රඥාවක්වත්, විචාර බුද්ධියක්වත් උපදේශයක්වත් නැත්තේ ඇයි?
16 අපි යෙහෝවා මත රඳා සිටින බව පිළිගෙන, ඔහුගේ වචනය ගැඹුරින් හාරා බැලීමෙන් ඔහුගේ කැමැත්ත වටහාගැනීමට නිහතමානී සෙවිල්ලක නිරත වෙමු. ඔහුට ප්‍රඥාව වචනයේ පරිසමාප්තියෙන්ම තියෙනවා; ඒ වගේම ඔහුගේ උපදෙස් හැමවිටම ප්‍රයෝජනවත්. (යෙසායා 40:13; රෝම 11:34) ඇත්තෙන්ම ඔහුට විරුද්ධව යන ඕනෑම අවවාදයකට අගයක් නැහැ. හිතෝපදේශ 21:30 [NW] මෙහෙම කියනවා: “යෙහෝවාට විරුද්ධ කිසිම ප්‍රඥාවක්වත්, කිසිම විචාර බුද්ධියක්වත්, කිසිම උපදේශයක්වත් නැත.” (හිතෝපදේශ 19:21, NW සසඳන්න.) “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයා තියෙන ප්රකාශනවල උපකාරය ඇතුව දේවවචනය අධ්‍යයනය කිරීමෙන් වර්ධනය වන ආත්මික විචාර බුද්ධිය විතරයි, නිසි ජීවිත ගමන් මාර්ගයක යන්න අපට උපකාර කරන්නේ. (මතෙව් 24:45-47) එසේනම්, ප්රතිවිරුද්ධව යන අවවාද කොතරම් අර්ථවත් කියලා පෙනුණත්, ඒවා දේවවචනයට සමාන කරන්න බැරි බව දැනගෙන, අපි අපේ ජීවිත ගමන යෙහෝවාගේ උපදෙස්වලට එකඟව හසුරුවමු.
17. වැරදි උපදෙස් දුන්නොත් ප්‍රතිඵලය කුමක් විය හැකිද?
17 දෙන උපදෙස් ස්ථිරවම දේවවචනය මත පදනම් විය යුතු බවත්, ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න කලින් බයිබල් අධ්‍යයනය සහ මෙනෙහි කිරීම අවශ්‍ය බවත්, උපදෙස් දෙන විචාර බුද්ධියෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් තේරුම්ගෙන සිටිනවා. (හිතෝපදේශ 15:28) බරපතළ කරුණු ගැන අසා තියෙන ප්‍රශ්නවලට වැරදි උත්තර දීලා තිබුණොත්, මහත් හානියක් ඇති වෙන්න පුළුවන්. එබැවින්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ආත්මික විචාර බුද්ධිය අවශ්‍ය වන අතරම, සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරන්න වෑයම් කරන විට යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුයි.
ආත්මික විචාර බුද්ධියෙන් ගහනව සිටින්න
18. සභාවේ ගැටලුවක් පැනනඟිනවා නම්, අපේ ආත්මික සමබරතාව පවත්වාගන්න විචාර බුද්ධිය අපට උපකාර විය හැක්කේ කොහොමද?
18 යෙහෝවාව ප්‍රසන්න කරන්න නම්, අපට “සියලුම දේවල් සම්බන්ධයෙන් විචාර බුද්ධිය” අවශ්‍යයි. (2 තිමෝති 2:7, NW) වැරදි ගමන් මාර්ගයකට යොමු වෙන්න තුඩු දිය හැකි තත්වයන්ට මුහුණ දෙන විට කළ යුතු දේ වටහාගැනීමට, ආශාවෙන් බයිබලය අධ්‍යයනය කිරීමත්, දෙවිගේ ආත්මයේ හා සංවිධානයේ මඟ පෙන්වීමට අවනත වීමත් අපට උපකාර කරනවා. උදාහරණයක් වශයෙන්, සභාවේ යම්කිසි දෙයක් අපේ මතයට අනුව හරි විදිහට හසුරුවලා නැහැයි කියලා සිතන්න. යෙහෝවාගේ සෙනඟ සමඟ ආශ්‍රය කරන එක නතර කරන්නවත්, දෙවිට සේවය කිරීම අත්හරින්නවත් මෙය හේතුවක් නොවන බව දකින්න ආත්මික විචාර බුද්ධිය අපට උපකාර කරාවි. යෙහෝවාට සේවය කරන්න අපිට තියෙන වරප්‍රසාදය ගැනත්, අපි භුක්ති විඳින ආත්මික නිදහස ගැනත්, රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපේ සේවයෙන් අපි ලබාගන්න ප්‍රීතිය ගැනත් කල්පනා කරන්න. නිසි දෘෂ්ටියක් තියාගන්නත්, අපි දෙවිට කැප වී සිටින නිසා, අනුන් මොනව කළත් ඔහු සමඟ අපේ සම්බන්ධය අපි ආදරයෙන් රැකබලා ගත යුතු බව තේරුම්ගන්නත් ආත්මික විචාර බුද්ධිය අපිට පුළුවන්කම ලබා දෙනවා. යම් ගැටලුවක් හසුරුවන්න අපිට දිව්‍යාණ්ඩුමය පැත්තෙන් කිසිම දෙයක් කරන්න බැරි නම්, තත්වයට පිළියමක් ගෙනෙන තෙක්, අපි යෙහෝවා දෙස ඉවසිලිවන්තව බලා සිටීම අවශ්‍යයි. අත්හරින්නෙවත් කලකිරෙන්නෙවත් නැතුව අපි ‘දෙවි දෙස බලා සිටිමු’—ගීතාවලිය 42:5, 11, NW.
19. (අ) පිලිප්පිවරුන් සඳහා පාවුල්ගේ යාච්ඤාවේ සාරය මොකක්ද? (ආ) අපිට යම්කිසි දෙයක් සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැත්නම්, විචාර බුද්ධිය අපට උපකාරයක් විය හැක්කේ කොහොමද?
19 දෙවිට සහ ඔහුගේ සෙනඟට පක්ෂපාතව සිටින්න ආත්මික විචාර බුද්ධිය අපට උපකාරයක් වෙනවා. පාවුල් පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා: “මා දිගටම යාච්ඤා කරන්නේ මේ දේ සඳහායි: එනම් ඔබේ ප්‍රේමය තව තවත් ඒකාන්ත දැනුමෙන් සහ පූර්ණ විචාර බුද්ධියෙන් බහුල වෙන්නත්, නිර්දෝෂව සිටින්න පුළුවන් වන පිණිසත්, ක්‍රිස්තුස්ගේ දවස දක්වා අනුන් බාධාවට පත් නොකරමින් සිටින්න පුළුවන් වන පිණිසත්, වඩා වැදගත් දේවල් ගැන සහතික වන්න පුළුවන් වෙන්නත්ය.” (පිලිප්පි 1:9, 10, NW) හරියට තර්ක කරන්න නම්, අපිට ‘ඒකාන්ත දැනුම සහ පූර්ණ විචාර බුද්ධිය’ අවශ්‍යයි. ‘විචාර බුද්ධිය’ හැටියට මෙතන පරිවර්තනය කරලා තියෙන ග්‍රීක් වචනය, “සංවේදී සදාචාර ප්රත්යක්ෂ ඥානයක්” අඟවනවා. අපි යම්කිසි දෙයක් ඉගෙනගන්න කොට, එය දෙවිට හා ක්‍රිස්තුස්ට සම්බන්ධ වන ආකාරය තේරුම්ගන්නත්, එය යෙහෝවාගේ පෞද්ගලිකත්වය හා සැපයුම් මහිමවත් කරන ආකාරය ගැන මෙනෙහි කරන්නත් අපිට ඕනෙ. මෙය අපේ විචාර බුද්ධියත්, යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් කරලා තියෙන දෙය කෙරෙහි අපේ අගයත් වැඩිදියුණු කරවනවා. අපිට යම්කිසි දෙයක් සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැත්නම්, දෙවි, ක්‍රිස්තුස් සහ දිව්‍ය අරමුණ ගැන අපි ඉගෙන තියෙන වැදගත් දේවල් සියල්ල කෙරෙහි ඇති අපේ ඇදහිල්ල අත්නෑරිය යුතු බව තේරුම්ගන්න විචාර බුද්ධිය අපට උපකාර කරාවි.
20. අපට ආත්මික විචාර බුද්ධියෙන් ගහනව සිටිය හැක්කේ කොහොමද?
20 අපි හැමවිටම අපේ සිතුවිලි හා ක්‍රියා දේවවචනයට අනුකූලව සකස් කරනවා නම්, අපිට ආත්මික විචාර බුද්ධියෙන් ගහනව සිටින්න පුළුවන්. (2 කොරින්ති 13:5, NW) වර්ධනය ගෙන දෙන ආකාරයකින් මෙලෙස කිරීම, නිහතමානී වෙන්නත්, අපේම මතයේ එල්බගෙන අනුන් ගැන විවේචනාත්මක නොවෙන්නත් අපට උපකාර කරනවා. විචාර බුද්ධිය, හරිගැස්සීමෙන් ප්‍රයෝජන ලබන්නත් වඩා වැදගත් දේවල් ගැන සහතික වෙන්නත් අපට උපකාර කරනවා. (හිතෝපදේශ 3:7) එසේනම්, යෙහෝවාව ප්‍රසන්න කරන්න ආශාවක් ඇතුව, ඔහුගේ වචනය පිළිබඳ ඒකාන්ත දැනුමකින් පූර්ණව සිටින්න සොයමු. මෙය හරි වැරැද්ද වටහාගන්නත්, සැබවින්ම වැදගත් දේ මොනවද කියා නිශ්චය කරන්නත්, යෙහෝවා සමඟ අපට තියෙන අනර්ඝ සම්බන්ධයට පක්ෂපාතව ඇලී සිටින්නත් අපට පුළුවන්කම ලබා දෙනවා. අපි අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කරනවා නම්, මේ සියල්ල කරන්න පුළුවන්. ඒත් තවත් දෙයක් ඕනෙ. අපව ආරක්ෂා කරන්න විචාර බුද්ධියට ඉඩහරින්න අවශ්‍යයි.
ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?
◻ අපි අපේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කළ යුත්තේ ඇයි?
◻ විචාර බුද්ධිය අපේ කතාවට හා හැසිරීමට බලපෑ හැක්කේ කොහොමද?
◻ විචාර බුද්ධිය අපේ ආත්මයට බලපෑ හැක්කේ මොන ආකාරයකින්ද?
◻ විචාර බුද්ධිය සඳහා අපි යෙහෝවා දෙස බැලිය යුත්තේ ඇයි?
[13වන පිටුවේ පින්තූරය]
අපේ ආත්මය දමනය කරන්න විචාර බුද්ධිය අපිට උපකාරයක්
[15වන පිටුවේ පින්තූරය]
විචාර බුද්ධියෙන් කටයුතු කළ සාලමොන් රජට තේරී ගියා, විනෝදයෙන් නියම තෘප්තියක් නොලැබෙන බව