යෙහෝවඃවහන්සේට භයවීම තුළ ප්‍රීතිය ලැබීමට ඉගෙනගැනීම
“දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීම තොපට උගන්වන්නෙමි.”—ගීතාවලිය 34:11.
1. දෙවියන්වහන්සේගේ රාජ්‍යය මගින් භය පහ කරනු ලබන්නේ කෙසේද, නමුත් ඉන් අදහස් කරන්නේ සියලුම ආකාරයේ භයද?
සෑම තැනකම වෙසෙන ජනයෝ භයෙන්—එනම්, අපරාධ හා ප්රචණ්ඩ ක්‍රියා ගැන භයෙන්, විරැකියාව පිළිබඳ භයෙන්, බරපතළ අසනීප පිළිබඳ භයෙන් නිදහස ගැන ඉතා ආශාවෙන් සිටිති. දෙවියන්වහන්සේගේ රාජ්‍යය යටතේ එම නිදහස යථාර්ථයක් බවට පත්වන විට, එය කොතරම් උදාර දවසක් වේවිද! (යෙසායා 33:24; 65:21-23; මීකා 4:4) එහෙත්, සියලු භය එවිට පහව ගොස් නොතිබෙනු ඇත, එමෙන්ම අප අපගේ ජීවිතවලින් දැන් සියලු භය පසෙකට දැමීමට උත්සාහ කළ යුතුද නොවේ. යහපත් වූ භයක්ද නරක වූ භයක්ද තිබේ.
2. (අ) නරක වන්නේ කිනම් ආකාරයේ භයක්ද, ප්‍රියජනක වන්නේ කිනම් ආකාරයේ භයක්ද? (ආ) දේව භය යනු කුමක්ද, එමෙන්ම සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද එය අඟවන්නේ කෙසේද?
2 කල්පනාකාරි ලෙස විමර්ශනය කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාව දුබල කරමින්, භය මානසික විසක් විය හැකිය. ධෛර්යවන්තභාවය දුර්වල කර බලාපොරොත්තුව විනාශ කිරීමට එයට හැකිය. සතුරෙකු විසින් කායිකව තර්ජනය කරනු ලබන යමෙකු එම භය අද්දකිනවා විය හැක. (යෙරෙමියා 51:30) එක්තරා බලපුළුවන්කාර මිනිසුන්ගේ අනුමැතිය ලබාගැනීමට දැඩි සේ උත්සුක වන යමෙකු විසින්ද එය අද්දකිනවා විය හැක. (හිතෝපදේශ 29:25) එහෙත්, අපටම හානිකරගනිමින්, දුරදිග නොබලා යමක් කිරීමෙන්, අපව වළක්වන සුවදායක භයක්ද තිබේ. දේව භයට ඊටත් වඩා වැඩි යමක් ඇතුළත් වෙයි. එය වනාහි, යෙහෝවඃවහන්සේව අසතුටු කිරීමේ සුවදායක භයකින් යුත්, උන්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්රණාමයක්, එනම් ගරුබියකි. (ගීතාවලිය 89:7) දෙවියන්වහන්සේට අසතුට ගෙන නොදීමට ඉවහල් වන මෙම භය පැමිණෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව සහ යහපත්කම සඳහා වූ අගය කිරීමෙන්ය. (ගීතාවලිය 5:7; හොෂෙයා 3:5) යෙහෝවඃවහන්සේ වනාහි උත්තරීතර විනිශ්චයකරුවාණන් සහ සර්වබලධාරි තැනැන්වහන්සේ බවටත්, තමන්වහන්සේට කීකරු වීමට ප්‍රතික්ෂේප කරන්නාවූ අයට දඬුවම්, එනම් මරණය පවා පැමිණවීමට බලය ඇත්තාවූ තැනැන්වහන්සේ බවටත්, සාවධානව සිටීම මීට ඇතුළත් වෙයි.—රෝම 14:10-12.
3. යෙහෝවඃවහන්සේ කෙරෙහි භය, ඇතැම් මිථ්‍යා දේවතාවුන් හා සබැඳි භයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ කෙසේද?
3 දේව භය වනාහි සුවදායකය, බිහිසුණු එකක් නොවේ. වැරදි දේ කිරීම මගින් ප්‍රතිපත්ති පාවා නොදී, එය පුද්ගලයෙකුට හරි දේ සඳහා ස්ථිර වීමට පොලඹවයි. එය වනාහි ත්‍රාසය ආරූඪ කළාවූ අප්‍රසන්න දෙවියෙකු ලෙසට විස්තර කරනු ලැබූ ෆෝබෝස් නමැති ග්‍රීක් දේවතාවා සම්බන්ධයෙන් වූ භයක් වැනි එකක්ද නොවේ. තවද, මළ මිනී, නාගයන් සහ මිනී ඔළු දවටාගෙන ලේ පිපාසිත ලෙස ඇතැම් අවස්ථාවලදී පිළිබිඹු කරනු ලබන කාලි නමැති හින්දු දේවතාවිය හා බැඳුණු භයක් හා සමානද නොවේ. දේව භය ආකර්ෂණය කරයි; එය පිළිකුල ඇති කරන්නේද නැත. එය ප්‍රේමය හා අගය කිරීම සමඟ එකට මුසුව තිබේ. මෙසේ, දේව භය අපව යෙහෝවඃවහන්සේ වෙතට ඇද ගනී.—ද්විතීය කථාව 10:12, 13; ගීතාවලිය 2:11.
ඇතැම් අයට එය තිබීමටත් තවත් අයට එය නොතිබීමටත් හේතුව
4. ප්‍රේරිත පාවුල් විසින් පෙන්වූ පරිදි, මිනිස්වර්ගයා පැමිණ සිටින්නේ කිනම් තත්වයටද, මේ සඳහා හේතු වන්නේ කුමක්ද?
4 සමස්තයක් වශයෙන්, මුළු මිනිස්වර්ගයාම දේව භය නමැති ගුණාංගයෙන් පෙලඹෙන්නේ නැත. මිනිසුන් මූලාරම්භයේ තිබූ පරිපූර්ණකමින් කොතරම් දුරට පහත වැටී ඇත්දැයි රෝම 3:9-18හි, ප්‍රේරිත පාවුල් විස්තර කරයි. සියල්ලන් පාපය යටතේ සිටින බව ප්‍රකාශ කිරීමෙන් පසුව, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත” යනුවෙන් පවසමින් පාවුල් ගීතාවලියෙන් උපුටා දක්වයි. (ගීතාවලිය 14:1 බලන්න.) අනතුරුව, දෙවියන්වහන්සේ සෙවීමෙහිලා මිනිස්වර්ගයාගේ නොසැලකිලිමත්භාවය, ඔවුන්ගේ කරුණාවේ ඌනතාව, ඔවුන්ගේ රැවටිලිකාර කතාව, ශාප කිරීම ලේ වැගිරීම වැනි දේවල් සඳහන් කරමින් ඔහු විස්තර සපයයි. එය අදදින ලෝකය මොනතරම් නිවැරදි ලෙස විස්තර කරයිද! ජනයාගේ බහුතරයකට දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ අරමුණු ගැන කිසිම උනන්දුවක් නැත. යම් ආකාරයක කරුණාවක් තිබේ නම්, ඒ යම් වාසි ලැබිය හැකි අවස්ථාවකට පමණය. බොරු කීම සහ අශික්ෂිත කතාව සෑම තැනම පාහේ පොදුය. ලේවැගිරීම ප්රවෘත්තිවල පමණක් නොව, නමුත් විනෝදාස්වාදවලද විශේෂ කොට දක්වනු ලැබේ. එවැනි තත්වයන් සඳහා හේතු පාදක වන්නේ කුමක්ද? අප සියල්ලන්ම පව්කාර ආදම්ගෙන් පැවතෙන්නන් බව සැබෑය, නමුත් ප්‍රේරිත පාවුල් විසින් විස්තර කරන්ට යෙදුණු ජීවන රටාවට ජනයා හැඩගැසෙන විට, එයට මීටත් වඩා දෙයක් ඇතුළත් වෙයි. එය කුමක්ද කියා රෝම 3:18වන පදයේ පැහැදිලි වෙයි, එය නම්: “දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති” වීමය.—ගීතාවලිය 36:1 බලන්න.
5. ඇතැම් අයට දේව භය තිබෙන්නේත්, තවත් අයට එය නොතිබෙන්නේත් මන්ද?
5 එසේනම්, ඇතැම් අයට දේව භය තිබීමටත්, තවත් අයට එය නොතිබීමටත්, හේතුව කුමක්ද? සරලව සඳහන් කරනවා නම්, ඇතැම් අය එය වගා කිරීමත්, තවත් අය එසේ නොකිරීමත්ය. අපගෙන් කිසිවෙක් එය ඇතුව ඉපදෙන්නේ නැත, නමුත් අප සියල්ලන්ටම ඒ සඳහා ධාරිතාවක් තිබේ. දේව භය යනු අප විසින් ඉගෙනගත යුතු යමකි. අනතුරුව, එය අපේ ජීවිතවල ප්‍රබල පොලඹවනසුලු බලවේගයක් වීමට නම්, එය වගා කිරීමට අපට අවශ්‍යය.
ඉතා ඕනෑකමින් කරන ආරාධනයක්
6. ගීතාවලිය 34:11හි වාර්තා වී ඇති ආරාධනය අපට ඉදිරිපත් කරන්නේ කවුද, තවද දේව භය ඉගෙනගත යුතු යමක් බව, මෙම පාඨයෙන් පෙන්වන්නේ කෙසේද?
6 යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම ඉගෙනගැනීමට ඉතා ඕනෑකමින් කරනු ලබන ආරාධනයක් ගීතාවලිය 34 පරිච්ඡේදයේ අපට දක්වා තිබේ. මෙය වනාහි දාවිත්ගේ ගීතිකාවකි. දාවිත් පූර්වාදර්ශනය කළේ කාවද? ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිසක, වෙන කිසිවෙකු නොවේ. ප්‍රේරිත යොහන් විශේෂයෙන් යේසුස්වහන්සේට අදාළ කළ අනාවැකියක් මෙම ගීතිකාවේ ගීතා 34:20වන පදයේ වාර්තා වී ඇත. (යොහන් 19:36) අපගේ දවසේ, එහි ගීතා 34:11 පදයේ එවැනි ආරාධනාවක් අප වෙත විදහන තැනැත්තා යේසුස්වහන්සේය: “දරුවෙනි, මට කන්දෙව්, ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීම තොපට උගන්වන්නෙමි.” දේව භය වනාහි ඉගෙනගත හැකි යමක් බව මින් අපට පැහැදිලිව පෙනී යන අතර, එය අපට ඉගැන්වීමට ඉතා හොඳින් සුදුසුකම් ලැබ සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. ඒ මන්ද?
7. විශේෂයෙන් යේසුස්වහන්සේ දේව භය ඉගෙනගත හැකි කෙනෙකු වන්නේ මන්ද?
7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දේව භයෙහි වැදගත්කම දන්නාසේක. හෙබ්‍රෙව් 5:7 උන්වහන්සේ සම්බන්ධව මෙසේ කියයි: “[ක්‍රිස්තුස්වහන්සේ] මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැ[බූසේක].” එවැනි දේව භයක් වනාහි, වධ කණුවක් මත මරණයකට මුහුණ දීමට පෙර පවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විදහා පෑ ගුණාංගයක් විණ. හිතෝපදේශ 8වන පරිච්ඡේදයේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ව ප්‍රඥාවේ පුද්ගලාරෝපණය ලෙස විස්තර කර ඇති බව මතක තබාගන්න. තවද හිතෝපදේශ 9:10හි අපට මෙසේ පවසා ඇත: “ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීමය.” එබැවින් මෙම දේව භය, දේව පුත්‍රයාණන් පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර උන්වහන්සේගේ පෞද්ගලිකත්වයේ මූලික ලක්ෂණයක් වී තිබිණ.
8. යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම පිළිබඳව යෙසායා 11:2, 3න් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
8 එපමණක්ද නොව, මෙසියානු රජු වශයෙන් යේසුස්වහන්සේ සම්බන්ධව යෙසායා 11:2, 3 මෙසේ ප්‍රකාශ කරයි: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය.” එය කොතරම් අලංකාර ලෙස ප්‍රකාශ කර තිබේද! යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම වනාහි කිසිම අප්‍රසන්න දෙයක් නොවේ. එය ඒකාන්තය, ගොඩනංවනසුලුය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ රජු ලෙස පාලනය කරන රාජ්‍යය පුරා පැතිර පවත්නා ගුණාංගය වනු ඇත්තේ එයයි. උන්වහන්සේ දැන් පාලනය කරමින් සිටිනසේක, තවද සිය යටත් වැසියන් වශයෙන් එක්රැස්කරනු ලබමින් සිටින අයට, යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම සම්බන්ධව ක්‍රිස්තුස්වහන්සේ උපදෙස් දෙමින් සිටිනසේක. කෙසේද?
9. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම උගන්වමින් සිටින්නේ කෙසේද, තවද ඒ ගැන අප විසින් ඉගෙනගැනීමට උන්වහන්සේට වුවමනා කරන්නේ කුමක්ද?
9 සභාවේ මූලිකයා සහ මෙසියානු රජු ලෙස යේසුස්වහන්සේ, අපගේ සභා රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු මාර්ගයෙන්, දේව භය යනු කුමක්ද කියාත් එය එතරම් ප්‍රයෝජනවත් වන්නේ මන්ද කියාත් පැහැදිලි ලෙස තේරුම්ගැනීමට අපට උපකාර කරනසේක. මෙසේ උන්වහන්සේ ඒ සඳහා වූ අපගේ අගය කිරීම ගැඹුරු කිරීමට උත්සාහ කරන අතර, එවිට උන්වහන්සේ මෙන් අපද යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තුළ ප්‍රීතිය ලැබීමට ඉගෙනගන්නවා ඇත.
ඔබ උත්සාහ දරන්නෙහිද?
10. ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන විට, අප යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගැනීමට නම්, අප කුමක් කළ යුතුද?
10 ඇත්තවශයෙන්ම, අප විසින් නිකම්ම බයිබලය කියවීම හෝ රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණීම නිසා, අප දේව භය ඇතුව සිටින්ට යන්නේ නැත. යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම අප විසින් සැබවින්ම තේරුම්ගැනීමට නම්, අප කිරීමට අවශ්‍ය වනුයේ කුමක්ද කියා සලකා බලන්න. හිතෝපදේශ 2:1-5 මෙසේ කියයි: “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.” එමනිසා, අප රැස්වීම්වලට පැමිණෙන විට, පවසනු ලබන දේට අවධානය යොමු කිරීමටත්, ප්‍රධාන අදහස් මත සමාහරණය කර ඒවා මතක තබාගැනීමටත්, අපට යෙහෝවඃවහන්සේ ගැන සිතෙන අන්දම පිළිබඳව දෙනු ලබන උපදෙස් කෙරෙහි අපගේ ආකල්පයට බලපෑම් කරන ආකාරය ගැනත්, සිතා බැලීමට උනන්දුමත් ප්රයත්නයක් දැරීමටද අපට අවශ්‍යය. එසේය, අප අපගේ හදවත් විවෘත කළ යුතුය. අප යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තේරුම් ගනු ඇත්තේ එවිටය.
11. දේව භය වගා කිරීමට, අප ඉතා උනන්දුවෙන් හා නිරතුරුවම කළ යුත්තේ කුමක්ද?
11 ගීතාවලිය 86:11 තවත් වැදගත් සාධකයක් වෙතට අවධානය යොමු කරයි, එය නම්, යාච්ඤාවය. “ස්වාමිනි [යෙහෝවඃවහන්ස, NW], ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි” යයි ගීතිකාකරු යාච්ඤා කළේය. යෙහෝවඃවහන්සේ එම යාච්ඤාව අනුමත කළසේක, මන්ද, උන්වහන්සේ එය බයිබලයේ වාර්තා කිරීමට සැලැස්වූසේක. දේව භය වගා කිරීම පිණිස, අප උපකාරය පතා යෙහෝවඃවහන්සේට යාච්ඤා කළ යුතු අතර, අප ඉතා ඕනෑකමින් සහ නිතර නිතර යාච්ඤා කිරීමෙන් ප්‍රයෝජන ලබනවා ඇත.—ලූක් 18:1-8.
ඔබගේ හෘදය සම්බන්ධය
12. හෘදයට සුවිශේෂී අවධානයක් දිය යුත්තේ මන්ද, තවද ඊට ඇතුළත් වන්නේ කුමක්ද?
12 අප ගීතාවලිය 86:11හි සඳහන් තවත් යමක්ද සැලකිල්ලට ගත යුතුය. ගීතිකාකරු ඉල්ලා සිටියේ, හුදෙක් දෙවියන්වහන්සේ කෙරෙහි භයවීම පිළිබඳ මානසික අවබෝධයක් නොවේ. ඔහු සිය හෘදය සඳහන් කරයි. දේව භය වගා කිරීමට සංකේත හෘදය ඇතුළත් වන අතර, එයට සුවිශේෂී අවධානයක් දීම අවශ්‍යය, මක්නිසාද යත් එය අපගේ සියලු ක්‍රියාවන් තුළින් පිළිබිඹු වන අභ්‍යන්තර පුද්ගලයා වන අතර, අපගේ සිතිවිලි, අපගේ ආකල්ප, අපගේ ආශාවන්, අපගේ චේතනාවන්, අපගේ ඉලක්කයන් ඊට ඇතුළත් වෙයි.
13. (අ) පුද්ගලයෙකුගේ හෘදය බෙදී තිබෙන බව කුමකින් ඇඟවෙනවා විය හැකිද? (ආ) අප දේව භය වගා කරනවාත් සමඟම, අප කුමන ඉලක්කය කරා වැඩ කළ යුතුද?
13 පුද්ගලයෙකුගේ හෘදය බෙදී යා හැකි බවට බයිබලය අපට අනතුරු අඟවයි. එය රැවටිලිකාර විය හැකිය. (ගීතාවලිය 12:2; යෙරෙමියා 17:9) එය අපව—සභා රැස්වීම්වලට සහ ක්ෂේත්‍ර සේවයේ යෑමට—වැනි සුවදායක ක්‍රියාකාරකම්වලට පෙලඹවිය හැකි නමුත්, එය ලෝකයේ ජීවන රටාවේ යම් අංගයන්ටද ආලය කරන්ට පිළිවන. සැබවින්ම මුළු-ආත්මයෙන් යුතුව රාජ්‍යය කාරණා වැඩිදියුණු කිරීමෙන් මෙය අපව වළක්වනවා විය හැක. ඊළඟට, අපද වෙන බොහෝදෙනෙකු කරනවාක් මෙන් කරන බව අපටම ඒත්තුගැන්වීමට අපගේ රැවටිලිකාර හෘදය අරඅඳිනවා විය හැක. නැතහොත්, පාසැලේදී හෝ අපගේ රැකියා ස්ථානයේදී මිනිසුන්ට භයවීමේ බලපෑම්වලට හසුවෙනවා විය හැක. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එවැනි වටාපිටාවන්හිදී අප යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස අපවම හඳුන්වා දීමට මැළි විය හැකි අතර, සමහරවිට ක්‍රිස්තියානීන්ට නුසුදුසු දේවල්ද කරන්ටත් පිළිවන. කෙසේවෙතත්, ඉන්පසු අපගේ හෘදය සාක්ෂිය අපට කරදර කරයි. අපට වුවමනා වන්නේ ඒ ආකාර පුද්ගලයන් වීමට නොවේ. එමනිසා, ගීතිකාකාර දාවිත් සමඟ අපි යෙහෝවඃවහන්සේට මෙසේ යාච්ඤා කරමු: “ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.” අපගේ ජීවිතයේ සියලු කටයුතුවලදී පිළිබිඹු වන පරිදි, අප ‘සැබෑ දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේගේ ආඥා පවත්වන’ බවට සාක්ෂි දීමට අපට මුළු අභ්‍යයන්තර පුද්ගලයාගෙන්ම වුවමනා වෙයි.—දේශනාකාරයා 12:13, NW.
14, 15. (අ) බබිලෝනියේ වහල්භාවයේ සිට, ඉශ්රායෙලයේ නැවත පිහිටුවීම පුරෝකථනය කරන විට, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට කුමක් දෙන බවට පොරොන්දු වූසේක්ද? (ආ) යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාගේ හෘදයන්හි දේව භය පැලපදියම් කිරීම සම්බන්ධයෙන් කළේ කුමක්ද? (ඇ) ඉශ්රායෙල් ජනයා යෙහෝවඃවහන්සේගේ මාර්ගවලින් අහක්ව ගියේ මන්ද?
14 තමන් ස්වකීය ජනයාට එවැනි දේව-භයැති හෘදයක් දෙනු ඇති බවට යෙහෝවඃවහන්සේ පොරොන්දු වූසේක. යෙරෙමියා 32:37-39හි අපට කියවීමට ඇති ලෙස, උන්වහන්සේ ඉශ්රායෙල්හි නැවත පිහිටුවීම මෙසේ පුරෝකථනය කළසේක: “[මම] ඔවුන් . . . නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි. ඔව්හු මාගේ සෙනග වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභ සිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.” මෙහි යෙරෙ 32:40වන පදයේ, දෙවියන්වහන්සේගේ පොරොන්දුව මෙසේ යළි තහවුරු කර තිබේ: “ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.” පොදු යුගයට පෙර 537දී, යෙහෝවඃවහන්සේ තමන් පොරොන්දු වී තිබුණාක් මෙන්, ඔවුන්ව යෙරුසලමට යළි ගෙන ආසේක. එහෙත් එම පොරොන්දුවේ ඉතිරිය—එනම්, ‘උන්වහන්සේ කෙරෙහි සෑමවිටම භයවීමට එක සිතක් දීම’ ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේ ඉපැරණි ඉශ්රායෙල් ජාතිය බබිලෝනියාවෙන් ආපසු ගෙනැවිත් තිබූ පසු, කිසිවිටෙකත් නැවත ගොඩනොනඟන ලෙස පො.යු. 70දී ඔවුන්ගේ දේවමාළිගාව විනාශ වන පරිද්දෙන්, ඔවුන් උන්වහන්සේ වෙතින් ඉවත්ව ගියේත් මන්ද?
15 මෙය මෙසේ වූයේ යෙහෝවඃවහන්සේගේ පැත්තෙන් කිසිදු අසමත්කමක් නිසා නොවේ. ඇත්තවශයෙන්ම, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාගේ හෘදයන් තුළ දේව භය තැබීමට පියවර ගත්සේක. ඔවුන්ව බබිලෝනියෙන් මුදවාගෙන නැවත ඔවුන්ගේ මව්බිමට ගෙන ඒමේදී උන්වහන්සේ පෙන්වූ දයාව මගින්, තමන්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්රණාමයකින් යුතුව කටයුතු කිරීමට උන්වහන්සේ ඔවුන්ට සෑම හේතුවක්ම දුන්සේක. හග්ගයි, සෙකරියා සහ මලාකී යන අනාගතවක්තෘවරුන් මෙන්ම, ගුරුවරයෙකු ලෙස ඔවුන් වෙතට යවන ලද එස්රා, ආණ්ඩුකාර නෙහෙමියා සහ දෙවියන්වහන්සේගේම පුත්‍රයා යන මේ සියල්ලන් මගින් දුන් සිහිගැන්වීම්, උපදෙස් සහ තරවටු මාර්ගයෙන් දෙවියන්වහන්සේ ඒ සියල්ල යළි යළිත් තහවුරු කළසේක. ඇතැම් අවස්ථාවලදී ජනයා සවන්දුන්හ. හග්ගයි සහ සෙකරියාගේ ඉල්ලා සිටීම් මත ඔවුන් යෙහෝවඃවහන්සේගේ දේවමාළිගය යළි ගොඩනැඟූ විට සහ එස්රාගේ දවස්වල ඔවුන් තම විදේශීය භාර්යාවන්ව පිටමං කළ අවස්ථාවල, ඔවුහු එසේ සවන්දුන්හ. (එස්රා 5:1, 2; 10:1-4) එහෙත් බොහෝ අවස්ථාවලදී ඔවුහු කීකරු නොවූහ. ඔවුන් නිරන්තර අවධානයක් යොමු කළේ නැත; දිගටම උපදෙස්වලට අවනතවීමට කැමති තත්වයක ඔවුන් සිටියේ නැත; ඔවුන් තම හෘදයන් විවෘතව තබාගත්තේ නැත. ඉශ්රායෙල්වරු දේව භය වගාකරමින් සිටියේද නැත, තවද ප්‍රතිඵලයක් වශයෙන්, එය ඔවුන්ගේ ජීවිතවල පොලඹවනසුලු ප්‍රබල බලවේගයක් වූයේද නැත.—මලාකී 1:6; මතෙව් 15:7, 8.
16. යෙහෝවඃවහන්සේ දේව භය පැලපදියම් කර ඇත්තේ කාගේ හෘදවලද?
16 එහෙත්, ස්වකීය ජනයාගේ හෘදයන් තුළ දේව භය තැබීමට යෙහෝවඃවහන්සේ කළ පොරොන්දුව අසාර්ථක වූයේ නැත. උන්වහන්සේ ආත්මික ඉශ්රායෙලය සමඟ නව ගිවිසුමක් කළ අතර, උන්වහන්සේ විසින් ස්වර්ගික බලාපොරොත්තුවක් දෙනු ලැබූ ක්‍රිස්තියානීහු ඔවුහුය. (යෙරෙමියා 31:33; ගලාති 6:16) වර්ෂ 1919දී, දෙවියන්වහන්සේ ඔවුන්ව මහා බබිලෝනියෙන් හෙවත් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයෙන් මුදවාගත්සේක. උන්වහන්සේ ඔවුන්ගේ හෘදයන් තුළ උන්වහන්සේ කෙරෙහි භය ස්ථිර ලෙස පැලපදියම් කර තිබේ. මෙය ඔවුන්ටද, රාජ්‍යයේ භූමික යටත්වැසියන් වීමේ බලාපොරොත්තුව ඇති ‘මහත් සමූහයටද’ මහඟු ප්‍රයෝජන ගෙනැවිත් තිබේ. (යෙරෙමියා 32:29; එළිදරව් 7:9) ඔවුන්ගේ හෘදයන් තුළටද යෙහෝවඃවහන්සේ කෙරෙහි භය ඇතුල් වී තිබේ.
දේව භය අපගේ හෘදයන්හි පැලපදියම් වෙන ආකාරය
17. යෙහෝවඃවහන්සේ දේව භය අපගේ හෘදයන්හි තබා ඇත්තේ කෙසේද?
17 යෙහෝවඃවහන්සේ මෙම දේව භය අපගේ හෘදයන්හි පැලපදියම් කර ඇත්තේ කෙසේද? ස්වකීය ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය මගිනි. ශුද්ධාත්මයේ නිපැයුමක් වන කුමක් අපට තිබේද? එය නම්, දෙවියන්වහන්සේගේ ආනුභාව ලත් වචනය වන බයිබලයයි. (2 තිමෝති 3:16) තමන්වහන්සේ අතීතයේදී කර ඇති දේ මගින්, සිය අනාවැකිමය වචනය ඉටුකරමින් ස්වකීය සේවකයන් සමඟ කටයුතු කිරීම මගින්, ඉටුවීමට තිබෙන අනාවැකි මගින්, යෙහෝවඃවහන්සේ දේව භය දියුණු කිරීමට අප සියල්ලන් උදෙසා ස්ථිරසාර පදනමක් සපයනසේක.—යෝෂුවා 24:2-15; හෙබ්‍රෙව් 10:30, 31.
18, 19. සමුළු, එක්රැස්වීම් සහ සභා රැස්වීම් දේව භය අත්කරගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද?
18 ද්විතීය කථාව 4:10හි වාර්තා වී ඇති පරිදි, යෙහෝවඃවහන්සේ මෝසෙස්ට පැවසූ දෙය සැලකිල්ලට ගැනීමට වටී: “සෙනඟ මා ළඟට රැස්කරපන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමි.” ඒ හා සමානව අදදිනත්, තමන්වහන්සේට භයවීමට ඉගෙනගැනීම සඳහා යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට උපකාර කිරීම පිණිස බහුල සැපයුම් කර තිබෙනසේක. අපි සමුළුවලදී, එක්රැස්වීම්වලදී සහ සභා රැස්වීම්වලදී යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය කරුණාවේ සහ උන්වහන්සේගේ යහපත්කමේ සාක්ෂි යළි යළි සලකා බලන්නෙමු. අප (දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී) ද ග්‍රේටස්ට් මෑන් හූ එවර් ලිව්ඩ් පොත අධ්‍යයනය කරන විට, කරමින් සිටියේ එයයි. එම අධ්‍යයනය, ඔබටත්, යෙහෝවඃවහන්සේ කෙරෙහි ඔබට තිබෙන ආකල්පයටත් බලපෑවේ කෙසේද? සිය පුත්‍රයාණන් තුළ පිළිබිඹු වන, අපගේ ස්වර්ගික පියාණන්ගේ උදාර පෞද්ගලිකත්වයේ විවිධ පැති ඔබ විසින් දකිනවාත් සමඟම, කිසිවිටෙකත් දෙවියන්වහන්සේ අසතුටු කිරීමට වූ ඔබගේ ආශාව මෙමගින් ශක්තිමත් වූයේ නැද්ද?—කොලොස්සි 1:15.
19 අපගේ රැස්වීම්වලදීද අපි අතීතයේ යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාව ගළවාගැනීම පිළිබඳ වාර්තා අධ්‍යයනය කරන්නෙමු. (2 සාමුවෙල් 7:23) එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! පොත ආධාරයෙන් අප බයිබලයේ එළිදරව් පොත අධ්‍යයනය කරත්ම, මෙම 20වන සියවසේ දැනටමත් ඉටුවී තිබෙන අනාවැකිමය දර්ශන ගැන සහ ඉදිරියට සිදුවීමට තිබෙන ගරුබිය දනවන සිද්ධීන් ගැන අපි ඉගෙනගන්නෙමු. දෙවියන්වහන්සේගේ එවැනි සියලු ක්‍රියා ගැන ගීතාවලිය 66:5 මෙසේ ප්‍රකාශ කරයි: “එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය.” එසේය, නිසි දෘෂ්ටියෙන් බැලූ කල, දෙවියන්වහන්සේගේ මෙම ක්‍රියා අපගේ හෘදයන්හි යෙහෝවඃවහන්සේ කෙරෙහි භයක්, ගැඹුරු ප්රණාමයක් පැලපදියම් කරයි. මෙසේ “ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි” යන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ මෙම පොරොන්දුව උන්වහන්සේ ඉටු කරන ආකාරය අපට දැකිය හැක.—යෙරෙමියා 32:40.
20. දේව භය අපගේ හෘදයන්හි පැලපදියම් වීම පිණිස, අපගේ පැත්තෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?
20 කෙසේවෙතත්, අපගේ පැත්තෙන් කිසිදු ප්රයත්නයක් නොමැතිව, දේව භය අප හෘදයන් තුළට ඇතුල් නොවන බවට ප්රත්යක්ෂය. ප්‍රතිඵල ඉබේම පැමිණෙන්නේ නැත. යෙහෝවඃවහන්සේ ස්වකීය කොටස කරනසේක. දේව භය වගා කිරීමෙන් අප අපගේ කොටස කළ යුතුය. (ද්විතීය කථාව 5:29) ස්වභාවික ඉශ්රායෙල්වරු එය කිරීමට අසමත් වූහ. එහෙත්, යෙහෝවඃවහන්සේ කෙරෙහි රඳාපවතිමින්, ආත්මික ඉශ්රායෙල්වරු සහ ඔවුන්ගේ සහයකයෝ දේව භයැත්තන්ට පැමිණෙන බොහෝ ප්‍රයෝජන දැනටමත් අද්දකිමින් සිටිති. මෙම ප්රයෝජනවල සමහරක් අපි ඊළඟ ලිපියේ සලකා බලන්නෙමු.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ දේව භය යනු කුමක්ද?
◻ යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තුළ ප්‍රීතිය ලැබීමට අප උගන්වනු ලබමින් සිටින්නේ කෙසේද?
◻ දේව භය ඇතුව සිටීමට, අපගේ පැත්තෙන් කිනම් ප්රයත්නයක් අවශ්‍ය වේද?
◻ දේව භය අත්කරගැනීම අපගේ සංකේත හෘදයේ සියලු පැතිවලට සම්බන්ධ වන්නේ කෙසේද?
[12, 13වන පිටුවේ පින්තූර]
යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීමට උත්සාහවන්ත අධ්‍යයනය අවශ්‍යය