1වන පරිච්ඡේදය
ඔබට සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳිය හැකියි!
1, 2. ඔබේ මැවුම්කරු කැමති වන්නේ ඔබ කුමක් ලබනවාටද?
ඔබ ප්‍රේම කරන යමෙක් ඔබව උණුසුම් ලෙස වැලඳගැනීම; හිතමිතුරන් සමඟ ප්‍රීතියෙන් එකට ආහාරයක් භුක්ති විඳීම; ඔබේ දරුවන් සතුටින් සෙල්ලම් කරන විට ලබන ආස්වාදය වැනි අවස්ථා ජීවිතයේ සුන්දර අද්දැකීම් වේ. ඒ කෙසේවෙතත්, බොහෝදෙනෙකුට නම් ජීවිතය කියන්නේ ප්‍රශ්න වැලකි. ඔබටත් එසේ හැඟී ඇත්නම්, අධෛර්යය නොවන්න.
2 හොඳම තත්වයන් යටතේ විස්මයජනක වටපිටාවක, කල්පවතින සන්තෝෂය ඔබ භුක්ති විඳිනවා දැකීම දෙවිගේ කැමැත්තයි. මෙය නිකම්ම සිහිනයක් නොවේ. මන්දයත් එවන් සන්තෝෂවත් අනාගතයකට අවශ්‍ය යතුර දෙවි ඇත්තෙන්ම ඉදිරිපත් කරන නිසයි. එම යතුර දැනුමයි.
3. සන්තෝෂයට යතුර වන්නේ මොන දැනුමද? දෙවිට එම දැනුම සැපයිය හැකියි කියා අපට නිසැක විය හැක්කේ ඇයි?
3 අප මේ කතා කරන්නේ, මිනිස් ප්‍රඥාවට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨ වූ විශේෂාකාර දැනුමක් ගැනයි. එය ‘දෙවි පිළිබඳ දැනුමයි.’ (හිතෝපදේශ 2:5, NW) අවුරුදු 2,000කට පමණ පෙර, එක් බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසුවේය: “සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු [තැනැත්තා දෙවිය].” (හෙබ්‍රෙව් 3:4) සෑම දෙයකම සැදුම්කරු සතු දැනුම මොනතරම්ද කියා කල්පනා කර බලන්න! දෙවි සෑම තරුවක්ම ගණන් කොට ඒවාට නම් තබන බව බයිබලයේ පැවසේ. එය මොනතරම් විස්මයජනක අදහසක්ද! මන්දයත් අපේ මන්දාකිනියේම පමණක් තරු බිලියන සිය ගණන් තිබෙන අතර, තාරකා ශාස්ත්‍රඥයන්ට අනුව, තවත් මන්දාකිනි බිලියන සියයක් පමණ ඇත. (ගීතාවලිය 147:4) එමෙන්ම දෙවි අප පිළිබඳව සෑම තොරතුරක්ම දනී. එසේ නම් ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට, හොඳම උත්තර සැපයිය හැක්කේ වෙන කාටද?—මතෙව් 10:30.
4. මඟ පෙන්වීම සඳහා දෙවි අපට උපදෙස් සපයයි කියා අප අපේක්ෂා කළ යුත්තේ ඇයි? මෙම අවශ්‍යතාව සපුරාලන්නේ මොන ග්රන්ථයද?
4 මිනිසුන් දෙදෙනෙක් තම මෝටර් රථ අලුත්වැඩියා කිරීමට වෑයමක් දරන ආකාරය සිතින් මවාගන්න. කලකිරුණු එක් මිනිසෙක් තම ආයුධ බිම හෙළයි. අනික් තැනැත්තා සන්සුන්ව දෝෂය හරිගස්වා, පණගන්වන යතුර කරකවයි. එවිට එන්ජිම හොඳින් පණගැන්වෙයි. මෙය දැකීමෙන් ඔහු සතුටට පත් වෙයි. මේ දෙදෙනාගෙන් නිෂ්පාදකගෙන් ලද උපදෙස් පොතක් තිබුණේ කා ළඟදැයි සිතීම ඔබට එතරම්ම අපහසු වන එකක් නැත. එසේ නම්, අපගේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම දෙවි සපයාවි කියා සිතීමත් සාධාරණ නැද්ද? බයිබලය ඇත්තෙන්ම එවන් පොතක් බව එහිම සඳහන් වේ. එය, අපගේ මැවුම්කරුගේ උපදෙස් හා මඟ පෙන්වීම සමන්විත, දෙවි පිළිබඳ දැනුම ලබා දීමට නිර්මාණය කළ පොතක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.—2 තිමෝති 3:16ආ.
5. බයිබලයේ අන්තර්ගත දැනුම කොයිතරම් අනර්ඝද?
5 බයිබලයේ මෙම ප්‍රකාශය සැබෑවක් නම්, එහි අන්තර්ගත දැනුම් සම්භාරය මොනතරම්ද කියා කල්පනා කර බලන්න! හිතෝපදේශ 2:1-5, ප්‍රඥාව සෙවීමටත්, සැඟවුණු නිධානයක් සොයන්නාක් මෙන් එය හාරා බැලීමටත් අපෙන් උදක්ම ඉල්ලා සිටී. මෙසේ හෑරිය යුත්තේ, මිනිස් චින්තනය නමැති පසෙහි නොව, නමුත් දෙවිගේම වචනය නමැති පසෙහියි. අප එය සෝදිසි කරනවා නම්, අප ‘දෙවි පිළිබඳ මනා දැනුමක් සොයාගනු [NW]’ ඇත. දෙවි අපේ සීමාවන් හා අවශ්‍යතා තේරුම්ගන්නා නිසා, සාමකාමී, සන්තෝෂවත් ජීවිත ගත කිරීමට උපකාරවත් වන උපදෙස් ඔහු අපට සපයයි. (ගීතාවලිය 103:14; යෙසායා 48:17) එපමණක්ද නොව, දෙවි පිළිබඳ දැනුම උනන්දුව පුබුදුවාලන ශුභාරංචිද අප හමුවේ තබයි.
සදාකාල ජීවනය!
6. දෙවි පිළිබඳ දැනුම ගැන යේසුස් ක්‍රිස්තුස් දුන් සහතිකය කුමක්ද?
6 හොඳ ප්‍රසිද්ධියක් ඉසිලූ ඓතිහාසික පුද්ගලයෙක් වන යේසුස් ක්‍රිස්තුස්, දෙවි පිළිබඳ දැනුමේ මෙම අංගය මනාව විස්තර කළේය. ඔහු පැවසුවේ මෙසේය: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයයි, එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත්, ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම—මොනතරම් විශිෂ්ට දෙයක්ද!
7. අප මැරෙනවා දකින්න දෙවිට වුවමනා නොවූ බවට තිබෙන සාක්ෂි මොනවාද?
7 සදාකාල ජීවනය නිකම්ම සිහිනයක් වශයෙන් සලකා, එය ඉවතලීමට ඉක්මන් නොවන්න. ඒ වෙනුවට, මිනිස් සිරුර සාදා තිබෙන ආකාරය ගැන මඳකට කල්පනා කර බලන්න. රස බැලීමට, ඇසීමට, ගඳ සුවඳ දැනීමට, දැකීමට සහ ස්පර්ශ කිරීමට එය නිර්මාණය කොට තිබෙන්නේ විශිෂ්ට ආකාරයකිනි. රසවත් ආහාර, මනහර කුරුලු ගී, සුවඳැති මල්, සුන්දර දර්ශන, ප්‍රිය උපදවන මිත්‍රත්වයන් වැනි අපේ ඉන්ද්‍රියන් කුල්මත් කරවන දෑ කොතරම් ප්‍රමාණයක් මිහිපිට ඇද්ද! එමෙන්ම අපේ පුදුමාකාර මොළය සුපිරි පරිගණකයක් පවා අබිබවා යයි. මන්දයත්, මේ සෑම දෙයක්ම අගය කිරීමටත්, භුක්ති විඳීමටත් ඉන් අපට හැකි කරවයි. මරණයෙන් මේ සියල්ල අපට අහිමි වෙනවා දැකීමට අපේ මැවුම්කරුට වුවමනා බව ඔබ සිතනවාද? අප සන්තෝෂවත් ජීවිතයක් සදාකාලයටම භුක්ති විඳිනවා දකින්න ඔහුට වුවමනා බව නිගමනය කිරීම වඩාත් සාධාරණ නැද්ද? ඇත්තෙන්ම දෙවි පිළිබඳ දැනුමකින් ඔබට අත් වන්නේ එයයි.
පාරාදීසයේ ජීවිතය
8. මනුෂ්‍යවර්ගයාගේ අනාගතය ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
8 පොළොවේ සහ මිනිස් සංහතියේ අනාගතය ගැන බයිබලය පවසන දෙය, එක වචනයකින් කැටි කොට දැක්විය හැකියි. එනම් පාරාදීසයයි! යේසුස් ක්‍රිස්තුස් මියැදෙමින් සිටි මිනිසෙකුට මෙසේ පැවසූ විට, ඒ පිළිබඳව කතා කරන්නට විය: “නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය.” (ලූක් 23:43) පාරාදීසය ගැන සඳහන් කරද්දී, අපේ පළමු දෙමාපියන් වූ ආදම් සහ ඒවට තිබුණු සන්තෝෂවත් ජීවිතය එම මිනිසාගේ සිහියට ආ බවට කිසිම සැකයක් නැත. දෙවි ඔවුන්ව මැව්වේ පරිපූර්ණ ආකාරයකටයි. මැවුම්කරු විසින්ම නිර්මාණය කළ උද්‍යානයකයි ඔවුන් ජීවත් වූයේ. ආස්වාදය යන අදහස ගැබ්ව ඇති ඒදන් උයන නමින් එය හැඳින්වීම උචිතය.
9. මුල් පාරාදීසයේ ජීවත් වීම කෙබඳු අද්දැකීමක් වන්න ඇද්ද?
9 එම උයන මොනතරම් මනහර එකක් වීද! එය සැබෑ පාරාදීසයක් විය. එහි අලංකාර ගස් අතරේ ඉතා රසවත් පලතුරු දරන ගස්ද දක්නට තිබුණි. ආදම් සහ ඒව තමුන්ට අයත් ප්‍රදේශය ගවේෂණය කරමින්, එහි මිහිරි ජලය පානය කරමින්, තුරුලතාදියෙන් ඵල නෙළද්දී සිත්තැවුලෙන් හෝ බියෙන් සිටීමට ඔවුන්ට කිසිදු හේතුවක් තිබුණේ නැත. සතුන්ගෙන් පවා තර්ජනයක් එල්ල වූයේ නැත. මන්දයත් දෙවි පුරුෂයාටත් ඔහුගේ භාර්යාවටත් සියලුම සතුන්ව ප්‍රේමනීය ලෙස පාලනය කිරීමට භාර දී තිබූ නිසයි. ඊට අමතරව පළමු මිනිස් යුවළ මනා සෞඛ්‍ය තත්වයකින් පසු විය. ඔවුන් දෙවිට කීකරුව සිටිය තාක් කල්, ඔවුන් ඉදිරියෙහි සදාකාලික, සන්තෝෂවත් අනාගතයක් තිබුණි. ඔවුන්ගේ අසිරිමත් පාරාදීස නිවස බලාකියා ගැනීමේ සෑහීම ගෙන දෙන වැඩය ඔවුන්ට පවරා තිබුණි. මීට අමතරව, “පොළොව පූර්ණකොට ඒක යටත් [කරගැනීමට]” වූ නියෝගයද දෙවි ආදම් සහ ඒවට දුන්නේය. අපේ මුළු මහත් ග්රහයාම අලංකාරයෙන් හා අසිරියෙන් පිරි ස්ථානයක් වන තෙක්, පාරාදීසයේ සීමා ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නිරත වීමට ඔවුන්ටත්, ඔවුන්ගේ ජනිතයන්ටත් පැවරී තිබුණි.—උත්පත්ති 1:28.
10. පාරාදීසය ගැන කතා කළ විට, යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?
10 කෙසේවෙතත්, යේසුස් පාරාදීසය ගැන සඳහන් කළ විට, ඔහු මියැදෙමින් සිටි මිනිසෙකුගෙන් බලාපොරොත්තු වූයේ ඈත අතීතයේ වූ යමක් ගැන සිතීමට නොවෙයි. ඇත්තෙන්ම, යේසුස් කතා කරමින් සිටියේ අනාගතය ගැනයි! අපේ මුළු මහත් භූමික නිවසම පාරාදීසයක් වන බව ඔහු දැනසිටියේය. මෙසේ, දෙවි මනුෂ්‍යවර්ගයා සඳහාත්, අපේ පොළොව සඳහාත් වූ තම මුල් අරමුණ ඉටු කරාවි. (යෙසායා 55:10, 11) ඔව්, පාරාදීසය යළි පිහිටුවනවා නියතයි! එය කෙබඳු එකක් වේවිද? උත්තර සැපයීමට දේවවචනය වන ශුද්ධ බයිබලයට ඉඩ දෙමු.
නැවත පිහිටුවන ලද පාරාදීසයේ ජීවිතය
11. නැවත පිහිටුවනු ලබන පාරාදීසයේදී, අසනීප, මහලු විය සහ මරණයට සිදුවීමට යන්නේ කුමක්ද?
11 අසනීප, මහලු විය සහ මරණය තවත් නැත. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින්, NW] ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) ‘දෙවිම [මනුෂ්‍යවර්ගයා] සමඟ සිට ඔවුන්ගේ දෙවි වන්නේය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:3, 4.
12. නැවත පිහිටුවන ලද පාරාදීසයේ අපරාධ, සාහසිකකම සහ දුෂ්ටකම නොපවතින බව අපට ස්ථිර විය හැක්කේ ඇයි?
12 අපරාධ, සාහසිකකම සහ දුෂ්ටකම සදහටම පහව යනු ඇත. “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය . . . මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය . . . ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය.” (ගීතාවලිය 37:9-11) “දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:22.
13. දෙවි සමාදානය ගෙනෙන්න යන්නේ කොහොමද?
13 සමාදානය පොළොව පුරා පවතිනු ඇත. ‘ඔහු [දෙවි] පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය; දුන්න බිඳ, හෙල්ලය කපා දමා, රථ ගින්නෙන් දවන්නේය.’ (ගීතාවලිය 46:9) “ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.”—ගීතාවලිය 72:7.
14, 15. නැවත පිහිටුවනු ලබන පාරාදීසයේ නිවාස, වැඩ සහ ආහාර ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
14 ස්ථිර නිවාස තිබේ, වැඩවලින් තෘප්තිය ලැබෙයි. “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය . . . ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත.”—යෙසායා 65:21-23.
15 ගුණදායක ආහාර බහුලව තිබෙනු ඇත. “පොළොව මත බොහෝ ධාන්‍ය ඇති වන්නේය; කඳු මුදුන් මත ඒවා පිරී ඉතිරී යන්නේය.” (ගීතාවලිය 72:16, NW) ‘පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවි, එනම් අපේම දෙවි, අපට ආශීර්වාද කරන්නේය.’—ගීතාවලිය 67:6.
16. පාරාදීසයේ ජීවිතය ප්‍රීතිමත් එකක් වනු ඇත්තේ ඇයි?
16 පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනය ප්‍රීතිමත් එකක් වනු ඇත. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) “වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.”—යෙසායා 35:1.
දැනුම සහ ඔබේ අනාගතය
17. (අ) පාරාදීසයක ජීවිතයකට ඔබ මහත් සේ ආශා කරයි නම්, ඔබ කුමක් කළ යුතුද? (ආ) දෙවි පොළොව මත මහත් වෙනස්කම් සිදු කිරීමට යන බව අප දන්නේ කොහොමද?
17 පාරාදීසයක ජීවිතයකට ඔබ මහත් සේ ආශා කරයි නම්, දෙවි පිළිබඳ දැනුම ලබාගැනීම වැළැක්වීමට කිසිදු දෙයකට ඉඩ නොදෙන්න. ඔහු මනුෂ්‍යවර්ගයාට ප්‍රේම කරන අතර, පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ඇත. ලෝකයේ දසත පැතිර ඇති දුක්ඛිතභාවය සහ අයුක්තිය තුරන් කිරීමට ඔබට බලය තිබුණා නම්, ඔබත් එසේ කරන්නේ නැද්ද? එසේනම් දෙවි ඊටත් වඩා හොඳින් ක්‍රියා කරයි කියා සිතිය නොහැකිද? ඇත්තවශයෙන්ම, දෙවි මෙම කලහකාරි පිළිවෙළ ඉවත් කොට, පරිපූර්ණ ධර්මිෂ්ඨ පාලනයක් ඒ වෙනුවට පිහිටුවීමට යන කාලය ගැන බයිබලයේ සවිස්තරව සඳහන් වේ. (දානියෙල් 2:44, 45ආ) එහෙත් මේ සියල්ල ගැන පවසනවාට වඩා වැඩි යමක් බයිබලයෙන් ඉටු වෙයි. දෙවි පොරොන්දු වී ඇති අලුත් ලෝකයට බේරී ඇතුල් වීමට අපට හැකි ආකාරයත් එහි අපට පෙන්වා දෙයි.—2 පේතෘස් 3:13; 1 යොහන් 2:17.
18. දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමෙන්, ඔබට දැන් අත් විය හැකි ප්‍රයෝජන මොනවාද?
18 ඔබට දැන් පවා දෙවි පිළිබඳ දැනුමෙන් ප්‍රයෝජන රැසක් අත් විය හැකියි. ජීවිතයේ බැරෑරුම්ම මෙන්ම සිත කලඹවන ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් සොයාගත හැකියි. එහි මඟ පෙන්වීම පිළිගැනීම දෙවි සමඟ ඔබට මිත්‍රත්වයක් ගොඩනඟාගැනීමට උපකාරවත් වේවි. එය මොනතරම් උදාර වරප්‍රසාදයක්ද! එමෙන්ම දෙවිට පමණක් ලබා දිය හැකි සමාදානය භුක්ති විඳීමට එමගින් ඔබට හැකි වනු ඇත. (රෝම 15:13, 33) ඔබ මෙම අතිවැදගත් දැනුම ලබාගැනීමට ඇරඹීමත් සමඟ, ඔබ නිරත වීමට යන්නේ ජීවිතයේ වඩාත්ම වැදගත් මෙන්ම විපාකදායී වෑයමෙහියි. සදාකාල ජීවනයට මඟ පෙන්වන දෙවි පිළිබඳ දැනුම අත් කරගැනීම ගැන ඔබ කිසිදාක පසුතැවිලි නොවනු ඇත.
19. මීළඟ පරිච්ඡේදයේදී අප සලකා බැලීමට යන ප්රශ්නය කුමක්ද?
19 දෙවි පිළිබඳ දැනුම අඩංගු ග්‍රන්ථය හැටියට අපි යොමු දැක්වූයේ බයිබලයටයි. එහෙත් එය මිනිස් ප්‍රඥාව අඩංගු ග්රන්ථයක් නොව, නමුත් ඊට වඩා බෙහෙවින් ශ්‍රේෂ්ඨ යමක් බව අප දන්නේ කෙසේද? අපි ඊළඟ පරිච්ඡේදයේදී මෙම ප්රශ්නය සලකා බලමු.
ඔබේ දැනුම මැන බලන්න
ඔබව සදාකාල සන්තෝෂයට මඟ පෙන්වීමට දෙවි පිළිබඳ දැනුමට හැක්කේ ඇයි?
පැමිණෙන භූමික පාරාදීසයේ ජීවිතය කෙබඳු එකක් වේවිද?
දෙවි පිළිබඳ දැනුම දැන් ලබාගැනීමෙන් ඔබ ප්‍රයෝජන ලබන්න යන්නේ ඇයි?