දෙවිගේ සංවිධානයේ කොටසක් හැටියට සුරැකිව සිටින්න
“[යෙහෝවාගේ] නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.”—හිතෝපදේශ 18:10.
1. යේසුස්ගේ යාච්ඤාවට අනුව ක්‍රිස්තියානීන් සිටින්නේ කුමන ආකාරයේ අපහසු තත්වයක් තුළද?
යේසුස්ගේ මරණයට මඳකට කලින්, ඔහු තම අනුගාමිකයන් වෙනුවෙන් තම ස්වර්ගික පියාට යාච්ඤා කළා. ප්‍රේමනීය සැලකිල්ලකින් යුතුව ඔහු මෙසේ පැවසුවා: “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය. ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.” (යොහන් 17:14, 15) ක්‍රිස්තියානීන් සඳහා ලෝකය භයානක තැනක් වෙන්න යන බව යේසුස් දැන සිටියා. ඔවුන් ගැන බොරු පතුරුවා හැරීමෙන් හා ඔවුන්ට පීඩා කිරීමෙන් ඔවුන් කෙරෙහි ඇති වෛරය ලෝකයා නිරූපණය කරන්න යනවා. (මතෙව් 5:11, 12; 10:16, 17) ලෝකය දූෂණයේ උල්පතක්ද වෙයි.—2 තිමෝති 4:10; 1 යොහන් 2:15, 16.
2. ක්‍රිස්තියානීන්ට ආත්මික ආරක්ෂාව සොයාගත හැක්කේ කොතැනින්ද?
2 ක්‍රිස්තියානීන්ට වෛර කිරීමට යන ලෝකය, දෙවිගෙන් වෙන්ව සිටින, සාතන්ගේ පාලනය යටතේ සිටින අයගෙන් සමන්විතයි. (1 යොහන් 5:19) මෙම ලෝකය ක්‍රිස්තියානි සභාවට වඩා මහත් සේ විශාල වන අතර, සාතන්ද කොයිම මනුෂ්‍යයෙකුටත් වඩා බලගතුව සිටියි. එහෙයින් ලෝකයාගේ වෛරය ඇත්තෙන්ම තර්ජනයකි. යේසුස්ගේ අනුගාමිකයන්ට ආත්මික ආරක්ෂාව සොයාගත හැක්කේ කොතැනින්ද? මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1922 දෙසැම්බර් 1 කලාපයේ ප්‍රකාශයක පිළිතුරට මෙසේ ඉඟියක් දුන්නා: “අප දැන් සිටින්නේ නපුරු දවස්වලය. සාතන්ගේ සංවිධානය හා දෙවිගේ සංවිධානය අතර සටන පවතී. ඒ සටන සුළු පටු එකක් නෙවෙයි.” මෙම ඝට්ටනේදී දෙවිගේ සංවිධානය ආත්මික ආරක්ෂාවේ ක්ෂේම භූමියක්. “සංවිධානය” යන වචනය බයිබලයේ සඳහන්ව නැති අතර, 1920 ගණන්වල “දෙවිගේ සංවිධානය” යන යෙදුම අලුත් එකක් වුණා. එසේනම් මේ සංවිධානය කුමක්ද? තවද අපට එතුළ ආරක්ෂාවක් ලබාගත හැක්කේ කෙසේද?
යෙහෝවාගේ සංවිධානය
3, 4. (අ) එක් ශබ්දකෝෂයකට හා මුරටැඹ පිටපතකට අනුව සංවිධානයක් කියන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සංගමය එක් අතකින් සංවිධානයක් කියා හැඳින්විය හැක්කේ කුමන අර්ථයෙන්ද?
3 සංක්ෂිප්ත ඔක්ස්ෆඩ් ශබ්දකෝෂයට (ඉංග්‍රීසියෙන්) අනුව සංවිධානය යනු “සංවිධානාත්මක මණ්ඩලයකි.” එසේනම්, යෙරුසලමේ සිටි පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ව ප්‍රාදේශීය සභා ලෙසට සංවිධානය කළ නිසා, එම “සහෝදර සමාගම” සංවිධානයක් හැටියට හැඳින්වීම උචිත වෙයි. (1 පේතෘස් 2:17) අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඊට සමාන සංවිධානාත්මක ව්‍යූහයක් තිබෙනවා. “එඬේරුන් හා ගුරුවරුන්” වැනි “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” මගින් පළමුවන ශතවර්ෂයේ මණ්ඩලය ශක්තිමත් කරනු ලැබුවා. මෙයින් සමහරදෙනෙක් සභාවෙන් සභාවට ගමන් කළ අතර අනික් අය ප්‍රාදේශීය සභාවල වැඩිමහල්ලන් වුණා. (එපීස 4:8, 11, 12, NW; ක්‍රියා 20:28) එයාකාර “තෑගි” අදදින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්සත්කම ශක්තිමත් කරනවා.
4 “සංවිධානය” යන වචනය ගැන 1922 නොවැම්බර් 1 මුරටැඹහි (ඉංග්‍රීසියෙන්) මෙසේ පැවසුවා: “යම් සැලැස්මක් දියත් කිරීමේ අරමුණින් පිහිටෙවූ පුද්ගලයන්ගෙන් සමන්විත සංගමයක් සංවිධානයක් වෙයි.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සංවිධානයක් ලෙසට හැඳින්වීමෙන් ඔවුන්ව “නිකායක්යයි අදහස් කරන දෙය බවට පත් නොකළ නමුත්, බයිබල් ශිෂ්‍යයන් [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] දෙවිගේ අරමුණු ඉටු කිරීමට උත්සාහ ගන්න බවත් ඒවා ස්වාමීන් කරන සේ පිළිවෙළකින් යුතුව කරන බවත් ඉන් අදහස් වනවා පමණි” කියා මුරටැඹ තවදුරටත් පැහැදිලි කළා. (1 කොරින්ති 14:33) ඔහුගේ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ද ක්රමවත්බවකින් ක්‍රියා කළ බව ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළා. ඔහු අභිෂේක ලත් ක්‍රිස්තියානි සංගමය, අවයව රැසකින් සමන්විත වූ ක්‍රියාකාරිත්වය නිසි ආකාරයෙන් කරගත හැකි සේ සෑම අවයවයක්ම එයට පැවරූ වගකීම ඉටු කරන මනුෂ්‍ය ශරීරයකට සැසඳුවා. (1 කොරින්ති 12:12-26) එය සංවිධානයක් මොනතරම් කදිම අයුරින් නිදර්ශනය කොට දක්වයිද! ක්‍රිස්තියානීන් සංවිධානාත්මක වූයේ ඇයි? “දෙවිගේ අරමුණු” ඉටු කිරීමටයි, එනම් යෙහෝවාගේ කැමැත්ත කිරීමටයි.
5. දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය කුමක්ද?
5 එක “ජාතියක්” හැටියට එක “දේශයක්” තුළට ගෙනෙමින් සැබෑ ක්‍රිස්තියානීන්ව අදදින එක්සත් කරවන්න යන බව බයිබලය පුරෝකථනය කළා. එහි ඔවුන් “ලෝකයේ ප්‍රදීපකයන් මෙන් බබළන්න” යන බවත් පුරෝකථනය කළා. (යෙසායා 66:8; පිලිප්පි 2:15; NW) මෙම සංවිධානාත්මක “ජාතිය” දැන් ගණනින් මිලියන පහමාරකට අධික සංඛ්‍යාවක් අබිබවා යනවා. (යෙසායා 60:8-10, 22) කොහොම වුණත්, ඒ දෙවිගේ සංවිධානයේ මුළු පින්තූරයම නෙවෙයි. දේවදූතයන්ද එයට අයත් වෙනවා.
6. පුළුල්ම අර්ථයෙන් ගත් කල, දෙවිගේ සංවිධානය සෑදෙන්නේ කාගෙන්ද?
6 දෙවිගේ මිනිස් සේවකයන් සමඟ දේවදූතයන් වැඩ කරන අවස්ථා බොහෝයි. (උත්පත්ති 28:12; දානියෙල් 10:12-14; 12:1; හෙබ්‍රෙව් 1:13, 14; එළිදරව් 14:14-16) එසේනම් යෝග්‍ය ලෙස, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1925 මැයි 15 කලාපයේ මෙසේ පැවසුවා: “සියලුම ශුද්ධ වූ දේවදූතයන් දෙවිගේ සංවිධානයේ කොටසක් වෙයි.” ඊට අමතරව එය මෙයාකාරයෙන් පැවසුවා: “සියලුම බලය හා අධිකාරිත්වය හොබවමින්, දෙවිගේ සංවිධානයේ හිස හැටියට කටයුතු කරන්නේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ය.” (මතෙව් 28:18) එහෙයින් පුළුල්ම අර්ථයෙන් ගත් කල, දෙවිගේ කැමැත්ත කිරීමට ස්වර්ගයෙහිත් පොළොවෙහිත් වැඩ කරන සියලුමදෙනාගෙන් දෙවිගේ සංවිධානය සෑදෙයි. (කොටුව බලන්න.) එසේනම් එහි කොටසක් වීමට ලැබීම මොනතරම් මහඟු වරප්‍රසාදයක්ද! තවද සියලු ස්වර්ගික මෙන්ම භූමික වූ ජීවමාන මැවිලි එක්සත්කමින් දෙවිට සංවිධානාත්මක ලෙස සේවය කරන කාලය දෙස අපට මොනතරම් සතුටකින් බලා සිටිය හැකිද! (එළිදරව් 5:13, 14) එහෙත් දෙවිගේ සංවිධානයෙන් අදදින සපයන ආරක්ෂාව කුමක්ද?
දෙවිගේ සංවිධානයෙන් ආරක්ෂාව ලැබ—කෙසේද?
7. දෙවිගේ සංවිධානය අපව ආරක්ෂා කරන්නේ කුමන අයුරකින්ද?
7 සාතන් හා ඔහුගේ උපායන්වලින් ආරක්ෂා වීමට අපට උපකාර කරන්න දෙවිගේ සංවිධානයට පුළුවන්. (එපීස 6:11) සාතන් දෙවිගේ නමස්කාරකයන්ව පීඩනයට මෙන්ම පරීක්ෂාවට ලක් කරන්නේත්, ඔවුන්ට පීඩා කරන්නේත් එක පරමාර්ථයක් ඇතුවයි: එනම් ‘ඔවුන් යා යුතු මාර්ගයෙන්’ ඔවුන්ව වෙනතකට යොමු කිරීම සඳහායි. (යෙසායා 48:17; සසඳන්න මතෙව් 4:1-11.) මේ පිළිවෙළ තුළ අපට කවදාවත් මෙම ප්රහාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම වැළකෙන්න කොහෙත්ම බැහැ. කොහොම වුණත්, දෙවි සමඟත් ඔහුගේ සංවිධානය සමඟත් ඇති අපේ කිට්ටු සබඳතාව අපව ශක්තිමත් කර, ආරක්ෂා කරන අතර එමගින් ‘මාර්ගය’ තුළ සිටීමට අපට උපකාර කරයි. එහි ප්‍රතිඵලය හැටියට, අපේ බලාපොරොත්තුව අපට අහිමි වන්නේ නැහැ.
8. යෙහෝවාගේ අදෘශ්‍යමාන සංවිධානය ඔහුගේ භූමික සේවකයන්ට සහය දෙන්නේ කොහොමද?
8 දෙවිගේ සංවිධානය මෙම ආරක්ෂාව සපයන්නේ කොහොමද? පළමුවෙන්ම අපට යෙහෝවාගේ අදෘශ්‍යමාන සේවකයන්ගේ ස්ථිරයෙන්ම ලැබෙන සහය තිබෙනවා. යේසුස් දැඩි පීඩනයට ලක්ව සිටි අවස්ථාවේදී, ඔහුට දේවදූතයෙකු විසින් උපස්ථානය කරනු ලැබුවා. (ලූක් 22:43) මරණ තර්ජනය යටතේ සිටි විට පේතෘස්ව ආශ්චර්යවත් ලෙස දේවදූතයෙක් විසින් ගළවාගනු ලැබුවා. (ක්‍රියා 12:6-11) අද එවැනි ආශ්චර්යයන් සිදු නොකෙරුණත්, යෙහෝවාගේ සෙනඟට තම දේශනා කිරීමේ ක්‍රියාකාරකම තුළ දේවදූතමය සහය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. (එළිදරව් 14:6, 7) බොහෝ අවස්ථාවලදී, අසීරු තත්වයන්ට මුහුණ දෙන විට ඔවුන්ට සාමාන්‍යය ඉක්මවූ ශක්තියක් තිබෙනවා. (2 කොරින්ති 4:7, NW) තවදුරටත් ‘යෙහෝවාගේ දූතයා ඔහුට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන්ව මුදාහරින’ බව ඔවුන් දනියි.—ගීතාවලිය 34:7.
9, 10. ‘යෙහෝවාගේ නාමය බලකොටුවක්’ යයි කිව හැක්කේ කෙසේද? තවද මෙම ප්‍රතිපත්තිය සමස්තයක් වශයෙන් දෙවිගේ සංවිධානයට අදාළ වන්නේ කොහොමද?
9 දෙවිගේ දෘශ්‍යමාන සංවිධානයත් ආරක්ෂාවක් වෙයි. කොහොමද? හිතෝපදේශ 18:10හි මෙසේ කියවීමට තිබෙනවා: “[යෙහෝවාගේ] නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” නිකම්ම දෙවිගේ නම නැවත නැවත කීමෙන් පමණක් ආරක්ෂාව ලැබෙන බව මෙයින් අඟවන්නේ නැහැ. ඒ වෙනුවට, අප දෙවිගේ නාමය තුළ ආරක්ෂාව සොයනවා කියන්නේ යෙහෝවා කෙරෙහි අප දැඩි විශ්වාසයක් තබනවා යන්නයි. (ගීතාවලිය 20:1; 122:4) එයින් අදහස් කරන්නේ ඔහුගේ විශ්වනීය පරමාධිපත්‍යයට සහය දී ඔහුගේ නීති හා ප්‍රතිපත්ති උසස් කොට තකමින්, ඔහුගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල පෙන්වීමයි. (ගීතාවලිය 8:1-9; යෙසායා 50:10; හෙබ්‍රෙව් 11:6) යෙහෝවාට තනි භක්තිය පිරිනැමීම එයට අයත් වෙයි. යෙහෝවාට මෙයාකාරයෙන් සේවය කරන අයට පමණයි, ගීතිකාකරු හා එක්ව මෙසේ කිව හැක්කේ: ‘අප ඔහුගේ ශුද්ධ නාමය විශ්වාස කළ නිසා අපේ හෘදය ඔහු කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.’—ගීතාවලිය 33:21, NW; 124:8.
10 දැන් දෙවිගේ මුළු දෘශ්‍යමාන සංවිධානයම මීකා හා එක්ව මෙසේ කියනවා: “අපිද අපේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.” (මීකා 4:5) ‘තමන්ගේ නාමයට සෙනඟක්’ ලෙස බයිබලය හඳුන්වා ඇති ‘දෙවිගේ ඉශ්රායෙලය’ වටා නවීන දින සංවිධානයක් එක්රොක් වී සිටිනවා. (ගලාති 6:16; ක්‍රියා 15:14; යෙසායා 43:6, 7; 1 පේතෘස් 2:17) එහෙයින් යෙහෝවාගේ සංවිධානයේ කොටසක් වනවා කියන්නේ දෙවිගේ නාමය තුළ ආරක්ෂාව පතන හා ලබන සෙනඟකගේ කොටසක් වීමයි.
11. දෙවිගේ සංවිධානය එහි කොටසක් වන අයට ආරක්ෂාව සලසා දෙන සුවිශේෂී මාර්ග මොනවාද?
11 මීට අමතරව, දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය කියන්නේ එකිනෙකාව ගොඩනංවා දිරිගන්වන ඇදහිල්ලේ ප්‍රජාවක්, එනම් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් යුත් සංගමයක්. (හිතෝපදේශ 13:20; රෝම 1:12) ක්‍රිස්තියානි එඬේරුන් විසින් බැටළුවන්ව බලාගන්නා, අසනීප හා විෂාදයට පත්ව සිටින අයව දිරිගන්වන හා වැටී ගිය අයව ගොඩගැනීමට උත්සාහ කරන තැනකි එය. (යෙසායා 32:1, 2; 1 පේතෘස් 5:2-4) සංවිධානය තුළින් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” “නියම වේලාවට කෑම” සපයයි. (මතෙව් 24:45) ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සෑදුණු එම “දාසයා,” ආත්මික වශයෙන් හොඳ දේවලින් ඉස්තරම්ම දෙය සපයමින් සිටියි; සදාකාල ජීවනයට මඟ පෙන්වන බයිබලය මත පදනම් ඒකාන්ත දැනුම මෙයට අයත් වෙයි. (යොහන් 17:3) ‘දාසයාගෙන්’ ලැබෙන මඟ පෙන්වීමට ස්තුති වෙන්න, උසස් සදාචාර ප්‍රමිති පවත්වාගනිමින් තමන් වටා ඇති භයානක පරිසරය තුළ “සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” ක්‍රිස්තියානීන්ට උපකාර ලැබෙනවා. (මතෙව් 10:16) තවද සැමවිටම ඔවුන්ට “ස්වාමීන්ගේ මෙහෙය තුළ වැඩි වැඩියෙන් කරන්න” උපකාර ලැබෙන අතර, එයම ඔවුන් සඳහා බලගතු ආරක්ෂාවක් සේ කටයුතු කරයි.—1 කොරින්ති 15:58, NW.
දෙවිගේ සංවිධානයේ කොටසක් වන්නේ කවුද?
12. දෙවිගේ ස්වර්ගීය සංවිධානයේ කොටසක් හැටියට හඳුන්වා තිබෙන්නේ කාවද?
12 මෙම ආරක්ෂාව දෙවිගේ සංවිධානයට අයත් අයට ලබාගත හැකි නිසා, මෙම ගණයට අයත් වෙන්නේ කවුද? ස්වර්ගීය සංවිධානය ගත් කල, මෙම ප්‍රශ්නයට ඇති උත්තරය ගැන කිසිම සැකයක් නැහැ. සාතන් හා ඔහුගේ දූතයන් ස්වර්ගයේ තවත් නැහැ. අනික් අතට, ඇදහිලිවන්ත දේවදූතයන් ‘මහ රැස්වීමේ’ තවමත් සිටියි. තවද අන්තිම දවස්වලදී ‘බැටළුපැටවා,’ කෙරුබ්වරුන් (“ජීවමාන සත්වයන් සතරදෙනා”) සහ “බොහෝ දේවදූතයන්” දෙවිගේ සිංහාසනයට සමීපයෙන් සිටින්න යන බව ප්‍රේරිත යොහන් දුටුවා. මේ වන විටත් තම තේජවත් වූ ස්වර්ගීය උරුමය ලබා සිටින එම ආලේප ලත් ක්‍රිස්තියානීන්ව නියෝජනය කරන වැඩිමහල්ලන් 24දෙනාත් ඔවුන් සමඟ සිටියි. (හෙබ්‍රෙව් 12:22, 23; එළිදරව් 5:6, 11; 12:7-12) මේ සියලුමදෙනා පැහැදිලිවම දෙවිගේ සංවිධානයේ කොටසක් වෙයි. එහෙත් මනුෂ්‍යයන් අතර නම් දේවල් එතරම් සරල නැහැ.
13. දෙවිගේ සංවිධානයේ කොටසක් වන හා නොවන අයව යේසුස් හඳුන්වා දුන්නේ කොහොමද?
13 තමන්ව අනුගමනය කරනවායයි ප්‍රකාශ කරන්න යන අය ගැන යේසුස් මෙසේ පැවසුවා: “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් [නොපනත්කම්, NW] කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.” (මතෙව් 7:22, 23) යමෙක් නොපනත්කම ක්‍රියාවට නංවන්නෙක් නම්, ඔහු කුමක් ප්‍රකාශ කළත්, නමස්කාරය සඳහා කුමන ස්ථානයකට ගියත්, ඔහුට ඇත්තෙන්ම දෙවිගේ සංවිධානයේ මොනයම් කොටසක්වත් නැහැ. දෙවිගේ සංවිධානයේ කොටසක් වන්නේ කවුදැයි හඳුනාගන්නා ආකාරයත් යේසුස් පෙන්නුම් කළා. ඔහු මෙසේ පැවසුවා: “ස්වර්ගයෙහි සිටින මාගේ [පියාගේ] කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21.
14. දෙවිගේ සංවිධානයේ කොටසක් වී ඇති අය දෙවිගේ කැමැත්ත සම්බන්ධයෙන් ඉටු කළ යුතුමයයි හඳුන්වා දී ඇති පැති සමහරක් මොනවාද?
14 එමනිසා ‘ස්වර්ග රාජ්‍යයේ’ ප්‍රධාන කොටස වන දෙවිගේ සංවිධානයේ කොටසක් වීම සඳහා කෙනෙකු දෙවිගේ කැමැත්ත කරමින් සිටීම අවශ්‍යයි. ඔහුගේ කැමැත්ත කුමක්ද? පාවුල් මෙසේ පවසද්දී එහි වැදගත් පැත්තක් හඳුන්වා දුන්නා: ‘දෙවිගේ කැමැත්ත නම් සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීමයි.’ (1 තිමෝති 2:3, 4) පුද්ගලයෙක් ඒකාන්ත දැනුම බයිබලයෙන් ලබාගැනීමටත්, තම ජීවිතයට ඒවා අදාළ කරගැනීමටත්, ‘සියලු මනුෂ්‍යයන්ට’ එය බෙදාහැරීමටත් උත්සාහ කරනවා නම්, ඔහු දෙවිගේ කැමැත්ත කරමිනුයි සිටින්නේ. (මතෙව් 28:19, 20; රෝම 10:13-15) යෙහෝවාගේ සියලුම බැටළුවන් පෝෂණය කර රැකබලා ගන්නවා දැකීමත් දෙවිගේ කැමැත්තයි. (යොහන් 21:15-17) මේ කාරණයේදී ක්‍රිස්තියානි රැස්වීම් වැදගත් කාර්යභාරයක් දරනවා. රැස්වීම්වලට පැමිණෙන්න නිදහස තිබුණත් ඒවාට නොපැමිණෙන කෙනෙක් දෙවිගේ සංවිධානය තුළ තමාට හිමි ස්ථානය සඳහා අගයේ ඌනතාවක් විදහාපෙන්වනවා.—හෙබ්‍රෙව් 10:23-25.
ලෝකය සමඟ මිත්‍රකම
15. යාකොබ් තම කාලයේ තිබූ සභාවලට දුන්නේ මොන අනතුරු ඇඟවීමද?
15 කෙනෙකුට දෙවිගේ සංවිධානයේ තමන්ට ඇති ස්ථානය අනතුරේ හෙළිය හැකි ඇතැම් සාධක යේසුස් මැරී අවුරුදු 30කට පසු, යේසුස්ගේ අර්ධ සහෝදර වූ යාකොබ් හඳුන්වා දුන්නා. ඔහු මෙසේ ලීවා: “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම [දෙවිට] සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු [දෙවිට] සතුරෙක් වන්නේය.” (යාකොබ් 4:4) දෙවිගේ සතුරෙක් කොහෙත්ම ඔහුගේ සංවිධානයේ කොටසක් වන්නේ නැහැ. එසේනම්, ලෝකය සමඟ මිත්‍රකම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එයට පැති බොහොමයක් තිබෙන බව පැහැදිලි කර තිබෙන අතර, නරක ආශ්‍රිතයන් වැඩි කරගැනීම හෝ එම ආශ්‍රයට වැටීම එයට අයත් වෙයි. මීට අමතරව, යාකොබ් කතා කරමින් සිටියේ එක්තරා සුවිශේෂී දෙයක් ගැනයි, එනම්: නොමනා හැසිරීමට මඟ පාදන වැරදි මානසික ආකල්ප සම්බන්ධවයි.
16. ලෝකය සමඟ මිත්‍රකම දෙවි සමඟ සතුරුකමයයි දුන් අනතුරු ඇඟවීමේ අවට පාඨ සම්බන්ධය කුමක් වුණාද?
16 යාකොබ් 4:1-3හි අපට මෙසේ කියවන්න තිබෙනවා: “නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් [ඉඳුරන් පිනවීමට ඇති දැඩි ආශාවෙන්, NW] නොවේද? නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය; නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා [ඉඳුරන් පිනවීමට ඇති දැඩි ආශාව, NW] ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.” මේ වචන ලිව්වාට පසුවයි, යාකොබ් ලෝකය සමඟ මිත්‍රකම ගැන අනතුරු ඇඟෙව්වේ.
17. පළමුවන ශතවර්ෂයේ සභාව තුළ “යුද්ධ” හා “ඩබර” තිබුණේ කොයි ආකාරයෙන්ද?
17 යාකොබ් මැරී ශතක ගණනාවකට පසු, ක්‍රිස්තියානීන් වචනයේ පරිසමාප්තියෙන්ම යුධ වැදී එකිනෙකාව මරාගත්තා. කොහොම වුණත් යාකොබ් ‘දෙවිගේ ඉශ්රායෙලයේ’ සාමාජිකයන්ට ලියමින් සිටි අතර, ඒ අය ස්වර්ගීය ‘පූජකයන් හා රජවරුන්’ හැටියට කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. (එළිදරව් 20:6) ඒ අය එකිනෙකාව මරා දැමුවේ හෝ ඝාතනය කළේ ඇත්ත යුද්ධවලදී නොවේ. එසේනම් ඇයි යාකොබ් ක්‍රිස්තියානීන් අතර එවැනි දෙයක් පැවතුණායයි පැවසුවේ? තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනීමරන්නෙක් කියා ප්‍රේරිත යොහන් පැවසුවා. සභාව තුළ පුද්ගලයන් අතර සිදු වන ආරවුල් හා ඝට්ටන පාවුල් හැඳින්වූයේ “ඩබර” හා “විවාද” හැටියටයි. (තීතස් 3:9; 2 තිමෝති 2:14; 1 යොහන් 3:15-17) මීට සමානව, පෙනෙන ප්‍රකාරයට යාකොබ්ගේ මනසේ තිබුණු කාරණය නම්, සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රේම කිරීමට අපොහොසත් වීමයි. සහෝදරයන් තම සෙසු සහෝදරයන් එකිනෙකා අතර කටයුතු කරමින් සිටියේ හරියට ලෝකයේ අය එකිනෙකා සමඟ කටයුතු කරමින් සිටි ආකාරයට අනුවයි.
18. ක්‍රිස්තියානීන් අතර ප්‍රේමනීය නොවන ක්‍රියා හා හැඟීම්වලට මඟ පෑදිය හැක්කේ කුමක්ද?
18 එවැනි දෙයක් ක්‍රිස්තියානි සභාව තුළ සිදු වුණේ ඇයි? ඊර්ෂ්‍යා කිරීම, “ඉඳුරන් පිනවීමට ඇති දැඩි ආශාව” වැනි වැරදි ආකල්ප නිසයි. අහංකාරය, ඊර්ෂ්‍යාව හා තණ්හාව වැනි දේවලට හැකියි සභාවේ ඇති ප්‍රේමනීය ක්‍රිස්තියානි ඇසුර බිඳ හෙළන්න. (යාකොබ් 3:6, 14) එවැනි ආකල්පයක් කෙනෙකුව ලෝකයේ මිත්‍රයෙක් බවට පත් කරන අතර එමගින් දෙවිගේ සතුරෙක් බවටද පත් කරයි. එවැනි ආකල්ප පවත්වාගන්නා කිසිම කෙනෙකු දෙවිගේ සංවිධානයේ කොටසක් ලෙස පවතීවි කියා අපේක්ෂා කළ නොහැකියි.
19. (අ) තම හෘදයේ වැරදි සිතුවිලි මුල් අදින බව ක්‍රිස්තියානියෙකුට පෙනුණොත්, මූලිකවම දොස් නැඟිය හැක්කේ කා හටද? (ආ) ක්‍රිස්තියානියෙකුට වැරදි සිතුවිලි ජයගත හැක්කේ කොහොමද?
19 අපේ හදවත්වල වැරදි ආකල්ප මුල් අදිමින් තිබෙනවා කියා අපට පෙනෙනවා නම් අපට දොස් නැඟිය හැක්කේ කා හටද? සාතන්? එක්තරා අන්දමකින් ඔව්. ඔහු මේ ලෝකයේ “ආකාශයේ බලයේ අධිපතියා” වන අතර එවැනි ආකල්ප එහි පුළුල්ව පැතිර තිබෙනවා. (එපීස 2:1, 2; තීතස් 2:12) කොහොම වුණත්, සාමාන්‍යයෙන් වැරදි සිතුවිලිවල මුල් නික්මෙන්නේ අපේ අසම්පූර්ණ මාංසයෙනි. ලෝකය සමඟ මිත්‍රකම ගැන අනතුරු ඇඟවීමෙන් පසු යාකොබ් මෙසේ ලීවා: “නොහොත් [දෙවි] අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?” (යාකොබ් 4:5) වැරදි කිරීමට අප සියලුදෙනාටම සහජ නැඹුරුවාවක් තිබෙනවා. (උත්පත්ති 8:21; රෝම 7:18-20) ඒ වුණත්, අප අපේ දුර්වලතා පිළිගෙන ජයගැනීම සඳහා යෙහෝවා කෙරෙහි රඳා පවතිනවා නම් අපට එම නැඹුරුවාවට විරුද්ධව සටන් කරන්න පුළුවන්. කුඩුකේඩුකම් කිරීමට ඇති අපේ සහජ නැඹුරුවාවට වඩා දෙවි “දෙන ලබන්ට නොවටිනා කරුණාව බලවත්” කියා යාකොබ් පැවසුවා. (යාකොබ් 4:6, NW) යේසුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජනය තුළින් මෙන්ම දෙවිගේ ශුද්ධාත්මයට හා අපේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් ලැබෙන සහයට ස්තුති වන්ත වෙන්න, ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් ඔවුන්ගේ මාංසයේ දුර්වලකම්වලින් පරාජය වෙන්නේ නැහැ. (රෝම 7:24, 25) ඔවුන් දෙවිගේ සංවිධානයේ සුරැකිව සිටින අතර, ලෝකයේ නොව දෙවිගේ මිත්‍රයන් වෙයි.
20. දෙවිගේ සංවිධානයේ කොටසක් වන අය භුක්ති විඳින මහඟු ආශීර්වාද මොනවාද?
20 බයිබලය මෙසේ පොරොන්දු වෙයි: ‘යෙහෝවා තමන් සෙනඟට ශක්තිය දෙන්නේය; යෙහෝවා තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරන්නේය.’ (ගීතාවලිය 29:11) අප සැබවින්ම යෙහෝවාගේ වත්මන් දින “ජාතිය” වන ඔහුගේ දෘශ්‍යමාන සංවිධානයේ කොටසක් නම්, අප ඔහු ලබා දෙන ශක්තියේ පංගුකාරයෝ වෙන්න යන අතර ඔහු තම සෙනඟට ආශීර්වාද කරන සමාදානයත් භුක්ති විඳින්න යනවා. යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයට වඩා සාතන්ගේ ලෝකය විශාල වන අතර සාතන් අපට වඩා ඇත්තෙන්ම බලගතුයි. නමුත් යෙහෝවා සර්ව බලධාරි තැනැන්තා වෙයි. ඔහුගේ ක්‍රියාකාරි බලය අපරාජිතයි. යෙහෝවාට සේවය කිරීමේදී ඔහුගේ බලවත් දූතයන්ද අපට එකතුව සිටියි. එහෙයින් අප මුහුණ දෙන වෛරය මධ්‍යයේ වුණත්, අපට ස්ථිරව සිටිය හැකියි. යේසුස්ට මෙන් අපටත් ලෝකයෙන් ජයගත හැකියි.—යොහන් 16:33; 1 යොහන් 4:4.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය කියන්නේ කුමක්ද?
◻ දෙවිගේ සංවිධානය ආරක්ෂාව සපයන්නේ කුමන මාර්ගවලින්ද?
◻ දෙවිගේ සංවිධානයේ කොටසක් වන්නේ කවුද?
◻ ලෝකයේ මිත්‍රයන් වීමෙන් අපට වැළකිය හැක්කේ කොහොමද?
[9වන පිටුවේ කොටුව]
දෙවිගේ සංවිධානය කියන්නේ කුමක්ද?
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනවල “දෙවිගේ සංවිධානය” යන යෙදුම තුන් ආකාරයකින් යොදාගැනේ.
1 ඇදහිලිවන්ත ආත්මික මැවිලිවලින් සැදුම් ලත් යෙහෝවාගේ ස්වර්ගීය අදෘශ්‍යමාන සංවිධානය. බයිබලයේ මෙයට කියන්නේ “ඉහළ තිබෙන යෙරුසලම” කියායි.—ගලාති 4:26.
2 යෙහෝවාගේ දෘශ්‍යමාන මිනිස් සංවිධානය. අදදින මහත් සමූහයක් හා සබැඳි ආලේප ලත් ඉතිරි කොටසින් මෙය සමන්විත වෙයි.
3 යෙහෝවාගේ විශ්වනීය සංවිධානය. යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය හා ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇති ඔහුගේ හදාගැනීමට ගත් ආලේප ලත් භූමික පුත්‍රයන්ගෙන් අදදින මෙය සමන්විත වෙයි. කාලයත් සමඟ, පොළොවේ සිටින සම්පූර්ණත්වයට පත් වන මනුෂ්‍යයන්ද එයට අයත් වෙයි.
[10වන පිටුවේ පින්තූරය]
හොඳම ආත්මික ආහාර සැපයෙන්නේ යෙහෝවාගේ සංවිධානය තුළිනි