‘ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය’
ඔබේ කාලය සහ ශ්‍රමය වැය වන්නේ කුමකටද? ඔබ ජනප්‍රිය කෙනෙකු වීම වැදගත් කියා සිතනවාද? ඔබ මුදල් පසුපස හඹා යන්නෙක්ද? එහෙමත් නැත්නම් ඔබ යම්කිසි ක්ෂේත්රයක වෘත්තියක් ලුහුබඳිමින් යම් විෂයක් හෝ විෂයන් කිහිපයක් හදාරමින් ඒ පිළිබඳ නිපුණතාවක් ලබන්න උත්සාහ කරමින් සිටිනවාද? සෙස්සන් සමඟ සුහද සබඳතා ඇති කරගැනීම ඔබ ආශා කරන දෙයක්ද? ඔබගේ මූලික ඉලක්කය ලෙඩක් දුකක් නැතුව ජීවත් වීමද?
ඉහත කී සියල්ලටම යම් වැදගත්කමක් තිබෙනවා කියා අපට හැඟෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතයේ වැදගත්ම දේ කුමක්ද? “ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න” කියා බයිබලය පිළිතුරු දෙයි. (හිතෝපදේශ 4:7) එහෙනම්, අපි ප්‍රඥාව ලබාගන්නේ කොහොමද? එමෙන්ම එය ලබාගැනීමේ ඇති වාසි ප්‍රයෝජන මොනවාද? එයට පිළිතුර බයිබලයේ පොතක් වන හිතෝපදේශ පොතේ දෙවන පරිච්ඡේදයෙහි අන්තර්ගතයි.
‘ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න’
“මාගේ පුත්‍රය, ඔබ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා ඔබ රක්ෂා කරමින්, ප්‍රඥාවට ඇහුම්කන්දී, විචාර බුද්ධියට ඔබේ සිත යොමු කරන්නේ නම්, එසේය, ඔබ අවබෝධයට හඬගසා, විචාර බුද්ධියට ඔබේ ශබ්දය නඟන්නේ නම්, ඔබ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නේ නම්, ඔබ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නේය, දෙවි ගැන සැබෑ දැනුම සොයාගන්නේය” කියා පියෙකු තම දරුවෙකුට හද පත්ලෙන්ම අමතන ආකාරයට පුරාණ ඉශ්රායෙලයේ රජෙක් වූ සාලමොන් ප්‍රකාශ කරයි.—හිතෝපදේශ 2:1-5, NW.
ප්‍රඥාව ලබාගැනීමේ වගකීම පැවරෙන්නේ කා මතද කියා ඔබ දුටුවාද? ඉහත පදවල “ඔබ” කිහිප වතාවක් සඳහන් වුණ බව සිතට ගන්න. පැහැදිලිවම, ප්‍රඥාව හා එහි අත්‍යවශ්‍ය අංගයන් වන විචාර බුද්ධිය සහ අවබෝධය ලබාගැනීමට අපි එක් එක්කෙනා පෞද්ගලිකව වගබලා ගත යුතුයි. කොහොම වුණත්, පළමුවෙන්ම අප ශුද්ධ ලියවිල්ලේ සඳහන් මෙම ප්‍රඥාවේ වදන් “පිළිගෙන” ඒවා නිධාන මෙන් ‘රක්ෂා කළ’ යුතුයි. මේ සඳහා අපි බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෑ.
ප්‍රඥාව යනු දෙවිගෙන් ලද දැනුම නිසියාකාරව භාවිතයට ගැනීමේ හැකියාවයි. ඇත්තටම බයිබලය කොතරම් සුවිශේෂි අන්දමින් ප්‍රඥාව ලබා දෙනවාද! සැබවින්ම හිතෝපදේශ හා දේශනාකාරයා පොත්වල සඳහන් ප්‍රඥාවේ වදන්වලට අපගේ මනස් යොමු කිරීම කොතරම් වැදගත්ද! තවදුරටත් දිව්‍ය ප්‍රමිති රැකීමේ ප්‍රයෝජන හා ඒවා නොසලකා හැරීමෙන් අත් විය හැකි ප්‍රතිවිපාක අපට පැහැදිලි කරන ආදර්ශ ගණනාවක් බයිබලයේ අඩංගුව තිබෙනවා. (රෝම 15:4 1 කොරින්ති 10:11) උදාහරණයක් හැටියට, ගිජුකමට නැඹුරුවාවක් දැක්වූ එලිෂාගේ මෙහෙකරුවා වූ ගෙහාසීගේ අද්දැකීම ගැන සිතා බලන්න. (2 රාජාවලිය 5:20-27) එයින් ගිජුකම ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කම ගැන බලවත් පාඩමක් අපට උගන්වන්නේ නැද්ද? කානාන් “දේශයෙහි දූවරුන් දකින්ට” යෑම නිසා යාකොබ්ගේ දුවක් වූ දීනා මුහුණ දුන් ඛේදජනක සිද්ධිය ගැන කුමක් කිව හැකිද? (උත්පත්ති 34:1-31) නරක ආශ්‍රයේ අඥානකම ගැන අපට එය මනා ලෙස කාවද්දන්නේ නැද්ද?—හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33.
ප්‍රඥාවට ඇහුම්කන් දීමට නම් විචාර බුද්ධිය හා අවබෝධය ලබාගැනීම අත්‍යවශ්‍යයි. විචාර බුද්ධිය යනු “එක් දෙයක් තවෙකකින් වෙන් කොට හඳුනාගැනීමට ඉවහල් වන මනසේ ශක්තිය හෝ හැකියාවයි” කියා වෙබ්ස්ටර්ගේ සංශෝධිත ශබ්ද කෝෂය (ඉංග්‍රීසියෙන්) නිර්වචනය කරයි. දෙවිගෙන් ලද විචාර බුද්ධිය යනු හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමටත්, ඉන්පසු නිවැරදි ක්‍රියාමාර්ගය තෝරාගැනීමටත් කෙනෙකුට තිබෙන හැකියාවයි. අපි විචාර බුද්ධිය වෙතට ‘අපේ සිත යොමු කරන්නේ’ නැත්නම් හෝ එය ලබාගැනීමට අප තුළ මහත් ආශාවක් ඇති කරගන්නේ නැත්නම් “ජීවනයට යන මාර්ගයේ” අපට පැකිලීමකින් තොරව ගමන් කරන්න පුළුවන්ද? (මතෙව් 7:14, NW; ද්විතීය කථාව 30:19, 20 සසඳන්න.) විචාර බුද්ධිය අප තුළ මුල්බැසීමට නම් දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කර ඒ දැනුම අපේ එදිනෙදා ජීවිතයට අදාළ කරගන්න ඕනෑ.
අවබෝධය යනු යම් විෂයක් හා සම්බන්ධ සෑම අංගයක්ම එකිනෙකට බැඳී තිබෙන විදිහත් ඒ එක් එක් කොටස එක්කාසු වී මුළු විෂයේ සාරයට ගෙතී තිබෙන විදිහත් තේරුම්ගැනීමේ හැකියාවයි. අපි එයට ‘හඬගසන්නේ’ කොහොමද? කාලයාගේ ඇවෑමෙන් හා අද්දැකීම් ලැබීමෙන් අපට අවබෝධය ලැබිය හැකි වුණත්, එය අනිවාර්යයෙන්ම එසේ සිදු වන බව කිව නොහැකියි. (යෝබ් 12:12; 32:6-12) “මා ඔබගේ [යෙහෝවාගේ] නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් [අවබෝධය, NW] ඇත්තේය” කියා ගීතිකාකරු පැවසුවා. ඔහු තවදුරටත්, “ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් [අවබෝධය, NW] ලැබේ” කියා ගායනා කෙරුවා. (ගීතාවලිය 119:100, 130) යෙහෝවා ‘පුරාතන තැනැත්තා’ වන අතර ඔහුගේ උත්තරීතර අවබෝධය මිනිස් අවබෝධය සමඟ සසඳද්දී ඒ අතර තියෙන්නේ අහසත් පොළොවත් තරම් පරතරයක්. (දානියෙල් 7:13) අද්දැකීම් අඩු කෙනෙකුට, තමාට වඩා වයසින් වැඩි හා මේරූ අයව ඉක්මවා යන්න වුණත් අවශ්‍ය අවබෝධය දෙවිට පහසුවෙන් සපයන්න පුළුවන්. ඒ නිසා අපි උනන්දුවෙන් දේවවචනය අධ්‍යයනය කිරීමත් එය අපේ සෑම ක්‍රියාකාරකමකටම තදින් අදාළ කරගැනීමත් අත්‍යවශ්‍යයි.
හිතෝපදේශ පොතෙහි දෙවන පරිච්ඡේදයේ මුල්ම වදන්වල නැවත නැවත සඳහන් “ඔබ” යන වචනවලට, ‘පිළිගන්නේ නම්’, “සිත යොමු කරන්නේ නම්”, ‘හඬගසන්නේ නම්’, ‘සොයන්නේ නම්’, “විභාග කරන්නේ නම්” යන කියමන් සම්බන්ධ කර තියෙනවා. ලේඛකයා හිතේ ප්‍රබල හැඟීමක් ඇති කරන මෙවැනි වචන යොදාගන්නේ ඇයි? එක් පිළිගත් ආශ්‍රේය කෘතියක් මෙසේ අදහස් දක්වයි: “ප්‍රඥාවන්තයා [මෙහිදී] කාවද්දන්නේ ප්‍රඥාව අවංක කැපවීමකින් යුතුව ලුහුබඳින්න ඕනෑ කියලයි.” ඔව්, ප්‍රඥාව හා ඊට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන විචාර බුද්ධිය හා අවබෝධය අපි අවංක කැපවීමක් ඇතුව ලුහුබඳින්න අවශ්‍යයි.
ඔබ වෑයම් කරන්න යනවාද?
ප්‍රඥාව ලබාගැනීමට දායක වන වැදගත් සාධකයක් වන්නේ උනන්දුමත් ලෙස බයිබලය පාඩම් කිරීමයි. නමුත් මෙලෙස කරන පාඩම නිකම්ම තොරතුරු ලැබීමට කරන උත්සාහයකට වඩා වැඩි යමක් විය යුතුයි. අරමුණක් ඇතුව මෙනෙහි කිරීම ශුද්ධ ලියවිල්ල හැදෑරීමේ වැදගත් අංගයක්. අප ඉගෙනගන්නා දෙය, ගැටලු නිරාකරණය කිරීමේදී හා තීරණගැනීමේදී ප්‍රයෝගිකව භාවිත කළ හැක්කේ කෙසේද යන්න ගැන කල්පනා කිරීම ප්‍රඥාව හා තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කරගැනීමට සම්බන්ධයි. අලුතෙන් ලැබෙන තොරතුරු දැනටමත් රැස් කර තිබෙන දැනුම හා සම්බන්ධ වෙන්නේ කොහොමද කියා උරගා බැලීම වැදගත්. මේ වාගේ ගැඹුරු අධ්‍යයනයක් කිරීමට නම් කාලයත් වෙහෙස මහන්සියත් අවශ්‍ය බව සැක කරන්නේ කවුද? එසේ නම් ‘රිදී හෝ නිධාන සොයන්න’ ආයෝජනය කරන්න ඕනෑ කාලය හා වෑයමට සමාන කැපවීමක් මෙවන් අධ්යයනයකටද යෙදිය යුතුයි. අවශ්‍ය වෑයම ඔබ යොදවන්න සූදානම්ද? එසේ කිරීමට ඔබ හැමවිටම ‘කාලය මිල දී ගන්නවාද?’—එපීස 5:15, 16 NW.
අවංක හදවතකින් පෙලඹී අපි ගැඹුරට බයිබලය හාරා බැලුවොත් අපට මොනතරම් අගනා නිධාන සොයාගත හැකිද කියා කල්පනා කර බලන්න. එවිට අප “දෙවි ගැන සැබෑ දැනුම සොයාගන්නේය.” එනම් මැවුම්කරු පිළිබඳ පලුදු නොවූ හිතකර දැනුමයි. (යොහන් 17:3) ‘යෙහෝවා කෙරෙහි භයවීමද’ අත් කරගැනීමට සුදුසු නිධානයකි. ඔහු කෙරෙහි දක්වන මෙම ගරුබියෙහි වටිනාකම කියා නිම කළ නොහැකියි! දෙවිගේ අප්‍රසාදයට ලක්වීමට තිබෙන හිතකර භයෙන් අපගේ ජීවිතයේ සෑම අංගයක්ම පාලනය විය යුතුයි. එමගින් අපි කරන්නාවූ සෑම දෙයකටම නව ආත්මික මුහුණුවරක් ලැබෙන්න යනවා.—දේශනාකාරයා 12:13.
ආත්මික නිධාන සොයා, හාරා බැලීම සඳහා අපට දැවෙන ආශාවක් තිබිය යුතුයි. මෙම සෙවීම පහසු කරවීම සඳහා යෙහෝවා කදිම මෙවලම් අපට සපයා තිබෙනවා. කාලෝචිත මෙන්ම සත්‍යය වෙනුවෙන් පෙරමුණ ගන්නා මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඇතුළුව බයිබලය මත පදනම් අනිකුත් සියලු ප්‍රකාශනද මීට ඇතුළත්. (මතෙව් 24:45-47) දෙවිගේ වචනය ගැනත් ඔහුගේ මාර්ග ගැනත් අපට වැඩි දැනුමක් ලබා දීමට යෙහෝවා ක්‍රිස්තියානි රැස්වීම්ද සැලසුම් කර තිබෙනවා. නොකඩවා මෙම රැස්වීම්වලට යෑම, ලැබෙන තොරතුරුවලට කිට්ටු අවධානයක් දීම, විශේෂ කරුණු මුතු මැණික් මෙන් මතකයේ ගබඩා කරගෙන ඒවාට නිතරම පූර්ණ අවධානය දීමට අධිෂ්ඨාන කරගැනීම හා දෙවි සහ අප අතරේ තිබෙන සම්බන්ධය ගැන ගැඹුරින් මෙනෙහි කිරීම යන සියල්ලම අත්‍යවශ්‍යයි.—හෙබ්‍රෙව් 10:24, 25.
ඔබට ජය නියතයි
පොළොවෙහි තැන්පත් වී ඇති මුතු මැණික්, රත්රන් හෝ රිදී වැනි වටිනා දේවල් සොයන්න කරන වෑයම බොහෝවිට නිෂ්ඵල වෙනවා. නමුත් ආත්මික නිධාන සොයන්නාට එවැනි තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? “ප්‍රඥාව දෙන්නේ [යෙහෝවාය]” කියා සාලමොන් පවසයි. තවදුරටත් “[ඔහුගේ] මුඛයෙන් දැනගැන්මද ඥානයද [විචාර බුද්ධියද, NW] පැමිණෙන්නේය” කියා පවසමින් අපගේ නිසැකකම සනාථ කරයි.—හිතෝපදේශ 2:6.
ප්‍රඥාවන්තයෙකු හැටියට සාලමොන් සුප්‍රසිද්ධ වූවා. (1 රාජාවලිය 4:30-32) ශාක, සත්ව ලෝකය, මිනිස් ස්වභාවය හා දේවවචනය ඇතුළුව විවිධාකාර විෂයන් රැසක් ගැන දැනුමක් ඔහුට තිබුණ බව බයිබලය කියයි. එකම ළදරුවකුගේ මවයයි ස්ත්‍රීන් දෙදෙනෙක්ම කියා සිටීම නිසා හටගත් ආරවුලකට පිළියමක් සැපයීමේදී ඔහු දැක්වූ විචාර බුද්ධිය හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රසාදයට පාත්‍ර වුණා. (1 රාජාවලිය 3:16-28) ඔහුගේ උත්තරීතර ඥානයේ උල්පත කුමක්ද? “යහපත හා නපුර දැනගන්ට” පුළුවන් වන ලෙස “ප්‍රඥාවත් දැනගැන්මත්” දෙන්න කියා ඔහු යෙහෝවාට කන්නලව් කළා. යෙහෝවා එය ඔහුට දුන්නා.—2 ලේකම් 1:10-12; 1 රාජාවලිය 3:9.
යෙහෝවාගේ වචනය ඕනෑකමින් අධ්‍යයනය කරන විට අපිද ඔහුගේ උපකාරය පැතිය යුතුයි. “[යෙහෝවා] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව” කියා ගීතිකාකරු යාච්ඤා කළා. (ගීතාවලිය 86:11) එවැනි ඉල්ලීමක් යෙහෝවා අනුමත කළ නිසා තමයි එය බයිබලයේ වාර්තා වී තිබෙන්නේ. එහෙම නම් අපගේ ආත්මික වස්තූන් සොයාගැනීමේ ප්රයත්නය වෙනුවෙන් අප නිතරම, ඉතා ඕනෑකමින් කරන යාච්ඤාවලට පිළිතුරු ලැබෙන බවට අපට නිසැක වෙන්න පුළුවන්.—ලූක් 18:1-8.
සාලමොන් මෙසේ අවධාරණය කරනවා: “[ඔහු] අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර [තබන්නේය], ඍජුලෙස හැසිරෙන්නන්ට [ඔහු] පලිහක් [වන්නේය]. එසේ [ඔහු] යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය [සුරක්ෂිත කරන්නේය]. එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද ඍජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.” (හිතෝපදේශ 2:7-9) මෙම වචන මොනතරම් ධෛර්යයක් ගෙන දෙනවාද! සැබෑ ප්‍රඥාව ඕනෑකමින් සොයන අයට යෙහෝවා එය දෙනවා පමණක් නොව, එවැනි අවංක අය තම ක්‍රියාකාරකම්වල සැබෑ ප්‍රඥාව පෙන්නුම් කරමින් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා ඔහු ඔවුන් වෙනුවෙන් ආරක්ෂක පලිහක්ද වෙනවා. ‘සියලු යහපත් මාවත් තේරුම්ගැනීමට’ යෙහෝවා උගන්වන අය අතරේ සිටීමට අපටත් ප්‍රස්තාවක් ලැබේවා!
“දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය”
ප්‍රඥාව සෙවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම, සෑම කෙනෙකුටම ප්‍රසන්න දෙයක් නොවේ. “මම අතේ වැඩ කරන්න විතරක් පුරුදු වෙච්ච කෙනෙක්. පාඩම් කරනවයි කියන එක මට පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ” කියා 58 හැවිරිදි ලෝරන්ස් කියයි. පාසැල් ගිය අවදියේ ඉගෙනීමට මැළි වූ 24 හැවිරිදි මයිකල් මෙහෙම කියනවා: “එක තැන වාඩි වෙලා මං පාඩම් කෙරුවේ හුඟාක් අමාරුවෙන්.” කෙසේ වෙතත් පාඩම් කිරීම සඳහා රුචියක් වර්ධනය කරගන්න පුළුවන්.
මයිකල් කරපු දෙය සලකා බලන්න. “හැමදාම අඩුම වශයෙන් දවසකට පැය බාගයක්වත් පාඩම් කරන්න මාවම හික්මවාගත්තා. ඒ නිසා මගේ ආකල්පයේ, ක්‍රිස්තියානි රැස්වීම්වල මං දුන්න උත්තරවල හා අනිත් අය එක්ක කතා කරන කොට කියපු දේවල්වල ලොකු වෙනසක් ඇති වුණා. දැන් නං පාඩම් කරන වෙලාව එනකං මට ඉවසිල්ලක් නෑ. ඒකට බාධාවක් වෙනවට නං මම කොහොමටවත් කැමති නෑ.” ඔව්, නිරන්තර වෑයමකින් අප අද්දකින ප්‍රගතිය නිසා පෞද්ගලික පාඩම අපේ දින චර්යාවේ ඉතාමත්ම ප්‍රසන්න අංගයක් බවට පත් වෙනවා. ලෝරන්ස්ද තම අකමැත්ත යටපත් කරගෙන පාඩම් කළ නිසා අද ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක් සභාවක වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා.
පෞද්ගලික පාඩමින් ආස්වාදයක් ලබන්න නම් අඛණ්ඩ වෑයමක් අවශ්‍යයි. නමුත් එයින් අත් වෙන ආශීර්වාද කියා නිම කළ නොහැකියි. “ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය; සිහිය [කල්පනා කිරීමේ ශක්තිය, NW] නුඹ රැකවල්කරන්නේය, ඥානයද [විචාර බුද්ධියද, NW] නුඹ ආරක්ෂාකරන්නේය” කියා සාලමොන් පවසයි.—හිතෝපදේශ 2:10, 11.
‘නපුරාගේ මාර්ගයෙන් ඔබ ගළවන්නේය’
ප්‍රඥාව, දැනුම, කල්පනා කිරීමේ ශක්තිය හා විචාර බුද්ධිය ආරක්ෂක බලකොටුවක් වෙන්නේ මොන ආකාරයෙන්ද? “[ඒවා] නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය. ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති; ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති. ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.”—හිතෝපදේශ 2:12-15.
සැබවින්ම, ප්‍රඥාව වටිනාම වස්තුවක් ලෙස ආදරයෙන් රැකබලා ගන්නා අය “ප්‍රයෝග කථාකරන” අයගෙන් ඈත්ව සිටිනවා. සත්‍යය ප්‍රතික්ෂේප කර ගන අඳුරේ අත පත ගාමින් සිටින අයගෙනුත් වංක අයගෙනුත් කෲර දෙයින් වින්දනයක් ලබන අයගෙනුත් අපට ආරක්ෂාව සලසා දෙන්නේ, කල්පනා කිරීමේ ශක්තිය හා විචාර බුද්ධියයි.—හිතෝපදේශ 3:32.
සැබෑ ප්‍රඥාව සහ ඊට සම්බන්ධ අනෙක් ගුණාංග, දුරාචාරයේ නියැලෙන අශික්ෂිත පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් අපව ආරක්ෂා කරන එක ගැන අපි මොනතරම් කෘතඥපූර්වක විය යුතුද! සාලමොන් තවදුරටත් මෙසේ පවසයි: “එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ, තමාගේ [දෙවිගේ] ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත. මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය. ඇය ළඟට යන්නන්ගෙන් කිසිවෙකු හැරී එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත් නැත.”—හිතෝපදේශ 2:16-19.
මෙම ‘අන්‍ය ස්ත්‍රිය’ නොහොත් ගණිකාව “තම යෞවන වයසේ මිත්‍රයා” අත්හැර යන කෙනෙකු ලෙස හඳුන්වයි. මොහු බොහෝදුරට ඇය යෞවන කාලයේ විවාහ කරගත් පුරුෂයා විය හැක.a (මලාකී 2:14 සසඳන්න.) කාමමිථ්‍යාචාරය පිළිබඳව ව්‍යවස්ථා ගිවිසුමේ තිබූ දැඩි තහංචි ඇය නොසලකා හරියි. (නික්මයාම 20:14) ඇගේ ගමනාන්තය මරණයයි. ඇගේ ආශ්‍රිතයන් ‘ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේ නැත’ කියා පවසන්නේ ඔවුනුත් එම මාවත්වල අන්තයටම ගමන් කළොත් ඔවුන්ට නැවත යහමඟට හැරිය නොහැකි එනම් මරණයට මුහුණ දෙන්න සිදු විය හැකි නිසායි. විචාර බුද්ධිය හා කල්පනා කිරීමේ ශක්තිය ඇති අය දුරාචාරය නමැති ඇම හොඳින් ප්‍රඥාවන්තව වටහාගන්නා අතර එවැනි දේවල්වලට හසු වන්නේ නෑ.
“අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය”
ප්‍රඥාව පිළිබඳ මෙවන් කරුණු දැක්වීමේ පරමාර්ථය, අපට සාලමොන් සාරාංශ කරමින් නැවතත් සිහියට නංවයි. “මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.” (හිතෝපදේශ 2:20) ප්‍රඥාව මගින් ඉටු වන්නේ කෙතරම් උත්තරීතර අරමුණක්ද! එමගින් දෙවිගේ අනුමැතිය ලත් සන්තෝෂවත් හා සෑහීමට පත් විය හැකි දිවියක් අපට ගත කිරීමට හැකි වෙනවා.
‘යහපතුන්ගේ මාර්ගයේ ගමන් කරන’ අයට තිබෙන ආශීර්වාදවලින් සපිරි අනාගතය සලකා බලන්න. “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:21-22) දෙවිගේ නව ලෝකයේ කෙළවරක් නැතුව ජීවත් වන නිර්දෝෂ අය අතර සිටීමට ඔබටත් හැකි වේවායයි පතමු.—2 පේතෘස් 3:13.
[පාදසටහන]
a එකල “අන්‍ය” තැනැත්තෙකු යනුවෙන් අදහස් කෙරුවේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කර යෙහෝවාගෙන් ඉවතට ගොස් සිටි කෙනෙකුටයි. ඒ නිසා ඉහත ගණිකාව අනිවාර්යයෙන්ම විජාතිකයෙක් නොවුණත් ඇයව ‘අන්‍ය ස්ත්‍රියක්’ ලෙස හඳුන්වයි.
[26වන පිටුවේ පින්තූරය]
සාලමොන් මෙන් අපත් ප්‍රඥාව උදෙසා යාච්ඤා කළ යුතුයි