සාර්ථක පවුල් ජීවිතයක රහස දැනගැනීමට යතුරක්
“අපට ඇත්තේ පිරිහෙමින් පවතින පවුල් ඒකකයක්” යයි එක්සත් ජනපද ජනාධිපති ධුරයට පසුගිය වසරේ තරඟ කළ අපේක්ෂකයෙක් සඳහන් කළේ ය. ඇත්ත වශයෙන් ම, පවුල පිරිහීමට පත් ව ඇති තරම සලකා බලන කල, එය තැති ගන්වන සුලු ය. “එම කාල පරිච්ඡේදය තුළ ඒ හා සමාන පරිමාණයකින් ආර්ථික නැතහොත් කාර්මික දත්තයන්හි වෙනස්කම් සිදු වී නම්, අප ව විස්මයට පත් කොට කට ඇරගෙන බලා සිටින්නට සලස්වනු ඇත” කියා ෆෝචුන් නම් සඟරාව වාර්තා කරයි.
බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට වෑයම් කරන පවුල් පවා බොහෝ විට ඉතා දුක්ඛිත ලෙස බලපෑමට ලක් ව ඇත. නව යොවුන් වියේ දරුවන් හයදෙනෙක් සිටි පියෙකුට, යහපත් චේතනාවක් තිබූ සෙසු ක්‍රිස්තියානියෙක් දැනට වසර කීපයකට පෙර, මෙසේ පැවසී ය: “ඔබගේ දරුවන්ගෙන් හතර දෙනෙක් ලෝකයට යාම ඔබට බලාපොරොත්තු විය හැකියි.” එහෙත්, තමාගේ දරුවන්ගෙන් එක්කෙනෙකුටවත් මෙය සිදු වීමට තිබුණු බව මෙම පියා විශ්වාස කළේ නැත. ඔහු ඊට හේතුව පැහැදිලි කළේ ය.
ඔහු මෙසේ කියා සිටියේ ය: “අපේ දරුවන් ඇත්තෙන් ම අපට අයිති නැහැ. යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් මගේ භාර්යාවටත් මටත් ඔවුන් ව භාර කරනු ලැබුවේ, ‘උරුමයක්,’ නැතහොත් දීමනාවක්, හැටියට ය. තව ද අප සුදුසු ආකාරයට ඔවුන් ව පුහුණු කළොත්, ‘ඔවුන් එයින් අහක් ව නොයන’ බවත් උන් වහන්සේ පවසා තිබෙනවා. එනිසා ඔවුන් යෙහෝවඃ වහන්සේට අයිති ලෙස සලකා අපි සැමවිට ම ඔවුන් ව පුහුණු කරන්නට වෑයම් කර තිබෙනවා.”—ගීතාවලිය 127:3; හිතෝපදේශ 22:6.
මෙහි සඳහන් පියා සාර්ථක පවුල් ජීවිතයේ රහස දැනගැනීමට එක් යතුරක් නියම කොට සඳහන් කළේ ය; මව්පියන් සිය දරුවන් ව රැකබලා ගත යුත්තේ තමන් දෙවියන් වහන්සේගේ වස්තුවක් රැකබලා ගන්නා ආකාරයටයි. දරුවන් සෑම අවස්ථාවක දී ම ඔබගේ කදිම මඟ පෙන්වීමට කීකරු වනු ඇතැයි මෙය අදහස් නොකරන අතර, දෙවියන් වහන්සේ ඔබට භාර කර ඇති දරුවන් ව රැකබලා ගැනීමේ වගකීම ඔබට ඇත.
බරපතළ වගකීමක්
නොසැලකිලිමත් හෝ උදාසීන නොවී, මහත් ගෞරවයෙන් හා ගැඹුරු සැලකිල්ලෙන් ඔබ නිසි ලෙස මෙම රැකබලා ගැනීම සපයන්නෙහි ය. දෙවියන් වහන්සේ ඔබට දුන් උරුමය, නැතහොත් දීමනාව වෙනුවෙන් ඔබ උන් වහන්සේට ගණන් දෙන බවට වූ තේරුම් ගැනීමෙන් යුක්ත ව ඔබ ඒ පිණිස කාලය වැය කොට පරිශ්රමය දරන්නෙහි ය. දරුවන් හදාවඩා ගැනීමේ විවිධ ක්‍රම අත්හදා බැලීමට අවශ්‍යතාවයක් නැත. මව්පියනට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේගේ වචනය වන, බයිබලයේ සපයා ඇති උන් වහන්සේගේ උපදේශයන් පමණකි, තව ද ඒවා ප්‍රවේසමින් අනුගමනය කිරීම කළ යුත්තකි.
යෙහෝවඃ වහන්සේගේ උපදේශය මෙයයි: “[මගේ වචන] නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා [කාවදින්නට සලස්වා NW], නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න. ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳගනින්න, ඒවා නුඹේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා. ඒවා නුඹේ ගෙයි උළුවහු පිටද නුඹේ දොරවල් පිටද ලියාපන්න.” බයිබලය තවදුරටත් මෙලෙස උදක් ම ඉල්ලා සිටී: “පියවරුනි, . . . ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන් ද NW] [නුඹලාගේ දරුවන්] ඇතිකරපල්ලා [ඇති දැඩි කරන්න NW].”—ද්විතීය කථාව 6:7-9; එපීස 6:4.
එබැවින් දරුවන් රැකබලා ගැනීමේ දී අවශ්‍ය කරවන්නේ දෛනික ව අවධානය යොමු කිරීම ය; එසේ ය, නොමසුරු ව ඔබගේ කාලය මෙන් ම විශේෂාකාරයෙන් ඔබගේ ප්‍රේමය හා ගැඹුරු සැලකිල්ල දැක්වීම ද ඉන් අදහස් කරයි. මෙම මූලික අවශ්‍යතා සිය දරුවනට සපයන මව්පියෝ සාර්ථක පවුල් ජීවිතයක් භුක්ති විඳීම පිණිස අවශ්‍ය කරවන්නේ යයි දෙවියන් වහන්සේ පවසන දෙය කරමින් සිටිති.
මෙය පමණට වැඩිය අපේක්ෂා කිරීමක් බව ඔබ විශ්වාස කරනවා ද? එය එසේ වන බව තමන්ට හැඟෙන්නේ යයි බොහෝ මව්පියෝ සිය ක්‍රියාවන්ගෙන් අඟවති. එහෙත්, දෙවියන් වහන්සේගෙන් වූ මෙම දීමනාවන්—එනම් ඔබගේ දරුවන්—සැබවින් ම අති-විශේෂ අවධානයක් ලැබීමට යෝග්‍ය තත්ත්වයක සිටියි.
ඔවුන් ව රැකබලා ගත යුතු ආකාරය
දරුවන් ඇති දැඩි කිරීමෙහි ලා සාර්ථකත්වය භුක්ති විඳ ඇති අයගේ ආදර්ශයන්, ඥානවන්ත ලෙස සලකා බලන්න. එක්තරා සඟරාවක් “පුදුමාකාර පවුල්” යනුවෙන් වූ එහි මුල් ලිපියේ බාලයින් ව සාර්ථක ලෙස ඇති දැඩි කිරීමේ වැදගත් කාරණා හතරක් සඳහන් කළේ ය: “[1] කෑම-මේසයේ දී බුද්ධිමත් විමර්ශනය කිරීමක් පුබුදුවන සංවාද ඇති කිරීම, [2] ශ්‍රේෂ්ඨ පොත් පත් කියවීමෙන් ලබන ඇසුර, [3] නිර්මාණශීලී, අනුකරණය කිරීමට වටින්නා වූ ආදර්ශවත් පුද්ගලයින්ගේ පෙලඹවීම, [4] රැකගත යුතු පවුල් සම්ප්රදායක් තිබෙන බවට හැඟීමක් ඇතුව සිටීම.”—යූ.එස්. න්යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට්, 1988 දෙසැම්බර් 12.
“කෑම මේසයේ සංවාද” ගත් විට, තමන් ගෙයි හිඳින කල සිය දරුවන්ට ඉගැන්වීමට දෙවියන් වහන්සේ මව්පියන්ට උපදෙස් දෙන බව මතක තබා ගන්න. මිත්‍රත්වයට හා ප්‍රබෝධවත් කරවන සාකච්ඡාවට දෛනික ව ප්‍රස්තාව සලසමින්, ඔබගේ පවුල නිතර එක් ව ආහාර ගන්නවා ද? මෙවන් අවස්ථාවන් දරුවන්ට ස්ථිරත්වයේ හා සුරක්ෂිත භාවයේ හැඟීමක් පිරිනමමින්, ඔවුනට වැදගත් හා සිහි කටයුතු අවස්ථා වන්නේ ය. සියල්ලන් ම එකට සිටින බැවින්, “එක් එක්කෙනා ගැන කරදර වෙන්න ඕනෑ නැති නිසා” තමා කෑම ගන්නා අවස්ථාවට කැමැති යයි අවුරුදු හයක් වයසැති දරුවෙක් පැවසී ය.
ඔබගේ කෑම මේසයේ දී සිදුවන සංවාදයේ ගුණය ගැන කුමක් කිව හැකි ද? එය, දෙවියන් වහන්සේට වූ අපගේ සේවය හෝ දෙවියන් වහන්සේගේ මැවීම සම්බන්ධ කාරණා සාකච්ඡා කරන්නා වූ බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන ද ඇතුළු ව “ශ්‍රේෂ්ඨ පොත්” වටා, නිතර කේන්ද්‍ර ගත ව තිබෙනවා ද? මෙයාකාර වූ කෑම මේස සංවාදයට අමතර ව, විධිමත් පාඩම් වැඩසටහනක් මගින් ද, මව්පියන් සිය දරුවන් තුළ යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ ධර්මිෂ්ඨ ව්‍යවස්ථාවන් සඳහා ප්‍රේමයක් වගා කළ යුතු ය.
“නිතර එකට ආහාර ගැනීම ගැටලුවක් වුණේ නැහැ” යනුවෙන් කලින් සඳහන් කළ දරුවන් හයදෙනාගේ පියා පැහැදිලි කළේ ය. “මෙය නිරායාසයෙන් ම සිදු වූ අතර එය අප ව එක්සත් කිරීමට දායක වුණා. එහෙත් බයිබලය පාඩම් කිරීමට විධිමත් වැඩසටහනක් තබා ගැනීම අමාරු වුණා.” දවස පුරා වෙහෙස වී වැඩ කිරීමෙන් පසු දැනෙන විඩාව නිසා, ඔහු ඇතැම් අවස්ථාවන්හි පාඩම කරන අතරතුර නිදා වැටෙනවා. එහෙත්, තම දරුවන් සමඟ විධිමත් බයිබල් පාඩමක් පැවැත්වීම ඔහු කිසි විටෙක අත් නොහළ අතර ඔහු නිතර පෞද්ගලික ව ඔවුන් එකිනෙකා සමඟ කථා කර දීර්ඝ කාලයක් ඔවුනට සවන් දී සිටියේ ය.
කෑම මේසයේ පවත්වන අර්ථවත් සංවාදයන්හි පෙරමුණ ගනිමින්, ශ්‍රේෂ්ඨ පොත් සමඟ සම්බන්ධකමක් ගොඩනගනවාට අමතර ව, “නිර්මාණාත්මක වූ අනුකරණය කිරීමට වටින්නා වූ ආදර්ශ වන පුද්ගලයින්ගේ පෙලඹවීම” ඔබගේ දරුවන්ට සැපයෙන බවට ඔබ වගබලා ගන්නවා ද? මෙහිලා සත්‍යය වනුයේ, ඔවුන් සාර්ථක වැඩිහිටියන් බවට පත් වන්නට නම්, එතෙක් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කරන්නන් සමඟ ඔබගේ දරුවන් ඇසුරු කරන්නට සැලැස්වීම ය.
අවසාන වශයෙන්, “රැකගත යුතු පවුල් සම්ප්රදායක් තිබෙන බව දැන සිටීම” ගැන කුමක් කිව හැකි ද? ඔබේ දරුවන් රැකගත යුතු පවුල් ප්‍රමිති තිබෙන බව ඔවුන් විසින් අවබෝධ කර ගැනීම අවශ්‍ය ය—එනම් ඇතැම් හැසිරීමේ, කථා කිරීමේ, ඇඳීමේ, ගති පැවතුම් ආදියේ විලාස පිළිගත නොහැකි බවත් පවුලේ සම්ප්‍රදායට විරුද්ධ ව යන බවත් ඔවුන් තේරුම් ගත යුතු ය. පවුල් සම්ප්රදාය උල්ලංගනය කිරීම බැරෑරුම් කාරණයක් බව ඔවුන් තේරුම් ගත යුතු ය—එනම් පැරණි කුලදෙටු යාකොබ් සිය පිරිමි දරුවන්ගේ නින්දිත හැසිරීම නිසා ‘දේශයේ වැසියන් නුරුස්සනු ලැබීමට’ සැලැස්වීමෙන් තදබල ලෙස වේදනාවට පත් වූ ආකාරයෙන් ම ඔබත් වේදනාවට පත්වන බව ඔබේ දරුවන් තේරුම් ගත යුතු ය.—උත්පත්ති 34:30.
සිය දරුවන් දෙවියන් වහන්සේගේ වස්තුවක් හැටියට කල්පනා කළ දරුවන් හයදෙනාගේ පියා සුවිශේෂී ආකාරයකට “පවුලේ සම්ප්රදාය” අවධාරණය කළේ ය. ඇඳුම් පැළඳුම්, හිසකේ සකස් කිරීම ආදිය හා ලෝකයේ ක්‍රමවලින් වෙනස් ව සිටීම පිළිබඳ පවුලේ ප්‍රමිතිය, මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හා ආත්මයට එකඟ ව පවතින ආකාරය, ඔහු නිතර දෙවේලේ තමාගේ දරුවනට පහදා දුන්නේ ය. ඔවුන් කෙරෙහි යොදවන ලද මහත් කාලය, ප්‍රේමය හා ගැඹුරු සැලකිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන්—එනම් ඔවුන් යා යුතු මාර්ගය පුහුණු කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙන්—දරුවෝ හයදෙනා ම ‘තමන් සඳහා නියම මාර්ගයෙන් අහක් ව නොගොස්’ ප්‍රතිචාරය දක්වා ඇත.—හිතෝපදේශ 22:6.
ලොව පුරා මෙවන් ශක්තිමත් පවුල් ඒකක දහස් සංඛ්‍යාවක් දක්නට ලැබේ. මේවා සිය මැවුම්කරුවාණන්ටත්, පරාර්ථකාමී, ප්‍රේමනීය මව්පියන්ටත් කොතරම් ප්‍රශංසාවක් ද! කාලය ගෙවී යත් ම, මව්පියන්ගේ වෑයමෙන් ප්‍රයෝජන ලබා සිටින දරුවන් විසින් වැඩි වැඩියෙන් මෙවන් මව්පියන් ව අගය කරනු ලැබේ. දේව භයැති මව්පියන් විසින් ඇති දැඩි කරන ලද එක් කාන්තාවකගේ කථාව ද එයින් ඉගෙන ගත හැකි අගනා පාඩම් ද ඊළඟට සලකා බලන්න.