යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න!
“ඔබේ මුළු හදින් යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න.”—හිතෝපදේශ 3:5, NW.
1. එක් යෞවනයෙකුගේ සිතට හිතෝපදේශ 3:5 තදින් කාවැදුණේ කෙසේ ද, තව ද ඉන් ඇති වූ දිගුකාලීන ප්‍රතිඵලය කුමක් ද?
දිගු කලක් සේවය කළ මිෂනාරි වරයෙක් මෙසේ ලියයි: “ ‘නුඹේ මුළු හෘදයෙන් ස්වාමීන් තුළ දැඩි විශ්වාසය තබන්න; එමෙන් ම නුඹේ අවබෝධය මත ම රඳා නොසිටින්න.’ [KJ] බයිබලයෙන් රැගෙන තිබූ එම වචන, මා ගිය නිවසක බිත්තියේ රාමු කොට එල්ලා තිබුණෙන් එය මගේ අවධානය ඇද ගත්තා. දවසේ ඉතිරි කොටසේ දී මම ඒ වචන ගැන මෙනෙහි කළා. මට මගේ දෙවියන් කෙරෙහි මගේ මුළු හෘදයෙන් විශ්වාසය තැබිය හැකිදැයි මම මගෙන් ම ඇසුවා.” මෙම පුද්ගලයාට එවකට වයස අවුරුදු 21ක් විය. දැන් වයස අවුරුදු 90ක් ව සිටින ඔහු, තවමත් ඕස්ට්‍රේලියාවේ පර්ත් හි ඇදහිලිවන්ත ව වැඩිමහල්ලෙකු ලෙස සේවය කරමින් සිටින අතර, ලංකාව (දැන් ශ්‍රී ලංකාව), බුරුමය (දැන් මයාන්මා), මලයාව, තායිලන්තය, ඉන්දියාව හා පකිස්ථානය යන රටවල නව මිෂනාරි ක්ෂේත්රවල වසර 26ක උග්‍ර සේවයක් ඇතුළු ව, මුළු හෘදයෙන් ම යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීමේ ඵල සහිත ව පූර්ණ ජීවිතයක් දෙස ආපසු හැරී බලන්නට ඔහුට හැකි ය. a
2. හිතෝපදේශ 3:5 අප තුළ කිනම් නිසැකකමක් ගොඩනැංවිය යුතු ද?
2 “ඔබගේ මුළු හෘදයෙන් යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න”—න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හි පරිවර්තනය කර ඇති පරිදි, හිතෝපදේශ 3:5 හි සඳහන් මෙම වදන්, අපගේ ජීවිත මුළු හෘදයෙන් දිගට ම යෙහෝවඃ වහන්සේ වෙත කැප කිරීමට අප සියල්ලන් ව ම පෙලඹවිය යුතු අතර, කඳු වැනි බාධක ජය ගන්නා තරමට පවා, අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට උන් වහන්සේට හැකි බවට නිසැකකමක් අප සතු ව තිබිය යුතු ය. (මතෙව් 17:20) දැන් අපි හිතෝපදේශ 3:5 හි පාඨ සම්බන්ධයට අනුව සලකා බලමු.
පියෙකුගේ බඳු ඔවදන්
3. (අ) හිතෝපදේශ පොතේ මුල් පරිච්ඡේද නවයේ සොයා ගත හැකි දිරිගැන්වීම කුමක් ද? (ආ) අප හිතෝපදේශ 3:1, 2ට කිට්ටු අවධානයක් දිය යුත්තේ මන්ද?
3 හිතෝපදේශ නමැති බයිබල් පොතේ ආරම්භක පරිච්ඡේද නවය, ස්වර්ගයේ පුත්‍රකම භුක්ති විදීමට හෝ පාරාදීස පොළොවක් මත “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට” ආශාවෙන් බලා සිටින සියල්ලන් උදෙසා යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙන ප්‍රඥාවන්ත උපදෙස් සහිත පියෙකුගේ බඳු ඔවදන්වලින් දිදුලයි. (රෝම 8:18-21, 23) දෙමාපියන් තම දරුදැරියන් ව හදා වඩා ගැනීමේ දී උපයෝගි කර ගත හැකි උපදෙස් මෙහි තිබේ. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් වී ඇති අවවාදය කැපී පෙනෙන සුලු ය, එය මෙම අනතුරු ඇඟවීමෙන් පටන් ගනි: “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් [හදින්, NW] මාගේ ආඥා රක්ෂාකරපන්න.” සාතන්ගේ දුෂ්ට ලෝකයේ අවසාන දවස්වල අන්තිම අදියරට ඇදී යනවාත් සමඟ, අපි යෙහෝවඃ වහන්සේගේ සිහිගැන්වීම්වලට වඩාත් කිට්ටු අවධානයක් යොමු කරමු. මාර්ගය දිගු එකක් බවට පෙනී ගොස් තිබෙන්නට පුළුවන, නමුත් විඳදරා ගන්නා වූ සියල්ලන්ට දී ඇති පොරොන්දුව නම්, ‘දවස් ගණන ද, ජීවිතයේ අවුරුදු ද, සමාදානය ද ඔබට වැඩි වීමයි’—එනම්, යෙහෝවඃ වහන්සේගේ නව පිළිවෙළ තුළ සදාකාල ජීවනයයි.—හිතෝපදේශ 3:1, 2.
4, 5. (අ) යොහන් 5:19, 20 හි විස්තර කොට තිබෙන සන්තෝෂවත් සම්බන්ධතාවය කුමක් ද? (ආ) ද්විතීය කථාව 11:18-21 හි උපදෙස අපගේ දවස දක්වා අදාළ වන්නේ කෙසේ ද?
4 පියෙකු හා පුත්‍රයෙකු අතර තිබෙන ප්‍රීතිමත් සබඳතාවය බොහෝ වටිනා එකක් විය හැකි ය. අපගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ එය පිළියෙළ කළේ ඒ ආකාරයට සිදු වීම සඳහා ය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ, යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ තම කිට්ටු සබඳතාවය ගැන මෙසේ පැවසූ සේක: “පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක.” (යොහන් 5:19, 20) පොළොව මත සිටින ස්වකීය පවුලේ සියලු දෙනා උන් වහන්සේ සමඟ ද, මිනිස් පියවරුන් හා ඔවුන්ගේ දරුවන් අතර ද ඒ හා සමාන කිට්ටු සම්බන්ධතාවයක් පැවතිය යුතු බවට යෙහෝවඃ වහන්සේ අරමුණු කළ සේක.
5 ඉපැරණි ඊශ්‍රායෙලයෙහි, දැඩි විශ්වාසයකින් යුත් පවුල් සබඳතාවයක් ගොඩනැංවීමට දිරිගන්වන ලදි. යෙහෝවඃ වහන්සේ එහි වූ පියවරුන්ට මෙසේ උපදෙස් දුන් සේක: “එබැවින් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයෙහි නුඹලාගේ දවස්ද නුඹලාගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස, නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද [හෘදයෙහි ද, NW] ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගනිල්ලා. නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වාපල්ලා. ඒවා නුඹේ ගෙයි උළුවහුද නුඹේ දොරවල්ද පිට ලියාපන්න.” (ද්විතීය කථාව 11:18-21) අපගේ උත්තරීතර උපදේශකයාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් වචනවලට ඇත්තෙන් ම, දෙමාපියන් සමඟ ඔවුන්ගේ දරුවන් ද, එමෙන් ම ක්‍රිස්තියානි සභාව තුළ උන් වහන්සේට සේවය කරන සෙසු සියල්ලන් ව ම ද උන් වහන්සේට කිට්ටු ලෙස සම්බන්ධ කිරීමට හේතු කර විය හැකි ය.—යෙසායා 30:20, 21.
6. දෙවියන් වහන්සේ සහ මිනිසා සමඟ අපට අනුග්‍රහය ලබා ගත හැක්කේ කෙසේ ද?
6 බාල හෝ මහලු වේවා, ජනයා උදෙසා වූ දෙවියන් වහන්සේගේ පියෙකුගේ බඳු ඥානවන්ත අවවාද හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4වන ඡේදවල තවදුරටත් දක්නට ලැබේ: “කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගනින්න; නුඹේ සිත [හදවත, NW] නමැති පුවරුවේ ඒවා ලියාගනින්න. එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් [ප්‍රසාදය ද, NW] යහපත් කීර්තියත් [තීක්ෂ්ණ බුද්ධියත්, NW] ලබනවා ඇත.” යෙහෝවඃ දෙවියන් වහන්සේ ම ප්‍රේමනීය කරුණාව හා සත්‍යවාදිකම මැනවින් විදහා පෙන්වන සේක. ගීතාවලිය 25:10 හි පවසන්නාක් මෙන්, “උන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] සියලු මාවත් කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] හා සැබෑකමද වෙති.” මිල කළ නොහැකි ගෙල පළදින මාලයක් අප විසින් වටිනා එකක් සේ සලකා ආරක්ෂා කරනවාක් මෙන්, යෙහෝවඃ වහන්සේ අනුකරණය කිරීමේ දී, මෙම ගුණාංග නිධාන මෙන් සලකා ඒවා රැක ගෙන, ඒවා අපගේ හෘදයේ නොමැකෙන ලෙස කොටා ගත යුතු ය. එසේ නම්, අපට ඉතා උද්යෝගයෙන් මෙසේ යාච්ඤා කළ හැක: “ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස, NW] . . . ඔබගේ කරුණාගුණයත් [ප්‍රේමනීය කරුණාවත්, NW] සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.”—ගීතාවලිය 40:11.
අචල දැඩි විශ්වාසයක්
7. යෙහෝවඃ වහන්සේ ස්වකීය විශ්වාසවන්තභාවය පෙන්වා තිබෙන්නේ කිනම් මාර්ගවලින් ද?
7 දැඩි විශ්වාසය [Trust] යන වචනය, වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලීජියට් ඩික්ෂනරි හි අර්ථ දක්වා ඇත්තේ, “යම් කෙනෙකුගේ හෝ යම් දෙයක චරිතය, හැකියාව, ශක්තිය හෝ සත්‍ය කෙරෙහි තබා ඇති සහතික කරන ලද රඳා පැවැත්ම” යනුවෙනි. යෙහෝවඃ වහන්සේගේ චරිතය ස්ථිර ලෙස රඳා පැවතී ඇත්තේ උන් වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව තුළ ය. තව ද උන් වහන්සේ පොරොන්දු වී ඇති දෙය කිරීමට අපට අපගේ පූර්ණ නිසැකකම උන් වහන්සේගේ හැකියාව මත තබා ගත හැකි ය, මන්දයත්, යෙහෝවඃ වහන්සේ නමැති උන් වහන්සේගේ එම නාමය ම ශ්‍රේෂ්ඨ අරමුණුකරු වශයෙන් උන් වහන්සේ ව හඳුන්වා දෙන බැවිනි. (නික්මයාම 3:14; 6:2-8) මැවුම්කරුවාණන් වශයෙන්, ශක්තියේ හා ගතික බලයේ උල්පත උන් වහන්සේ ය. (යෙසායා 40:26, 29) උන් වහන්සේ වනාහි සත්‍යයේ සාරය ය, මන්ද “දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරි” බැවින් ය. (හෙබ්‍රෙව් 6:18) මේ නිසා, තමන් වහන්සේ කෙරෙහි දැඩි සේ විශ්වාසය තබන අය ව ආරක්ෂා කිරීමටත් ස්වකීය ශ්‍රේෂ්ඨ අරමුණු මහිමාන්විත සාර්තකත්වයකට ගෙන ඒමටත් සර්ව බලධාරී බලය ඇත්තා වූ, සියලු සත්යතාවයන්හි ශ්‍රේෂ්ඨ උල්පතාණන් වන අපගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේ තුළ අපගේ නිසැක දැඩි විශ්වාසය තැබීමට අප ව දිරිගන්වා තිබේ.—ගීතාවලිය 91:1, 2; යෙසායා 55:8-11.
8, 9. අද දින ලෝකයේ විශ්වාසය කනගාටුදායක ලෙස හීන ව තිබෙන්නේ මන්ද, තව ද යෙහෝවඃ වහන්සේගේ ජනයා මීට වඩා හාත්පසින් ම වෙනස් තත්ත්වයක් විදහා පාන්නේ කෙසේ ද?
8 අප වටා ඇති පිරිහුණු ලෝකයේ දැඩි විශ්වාසය ඌණ ව තිබීම කනගාටුවට කරුණකි. ඒ වෙනුවට, අපට දක්නට ලැබෙන්නේ සෑම තැනක ම පවතින ගිජුකම හා දූෂණයයි. වර්ල්ඩ් ප්‍රෙස් රිවියූ සඟරාවේ 1993 මැයි මස කලාපයේ, මුල පිටුවේ ලොකු අකුරින් මෙම පණිවුඩය දක්නට ලැබිණි: “දූෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය—නව ලෝක ක්රමයේ දූෂිත මුදල්. මෙම දූෂණ කර්මාන්තය, බ්‍රසීලයේ සිට ජර්මනිය දක්වා ද, එක්සත් ජනපදවල සිට ආර්ජන්ටිනාව දක්වා ද, ස්පාඤ්ඤයේ සිට පේරු දක්වා ද, ඉතාලියේ සිට මැක්සිකෝව දක්වා ද, වතිකානුවේ සිට රුසියාව දක්වා ද පැතිරී ගොස් තිබේ.” වෛරය, ගිජුකම හා අවිශ්වාසය මත පදනම් වූ මිනිසාගේ නව ලෝක ක්‍රමය යයි හඳුන්වන එම දෙය, නෙලා ගනිමින් සිටින්නේ වෙන කිසිවක් නොව, නමුත් මිනිසාගේ දුඃඛිත භාවයේ සීඝ්‍ර වර්ධනයක් පමණි.
9 දේශපාලන ජාතින් මෙන් නොව, ඊට හාත්පසින් ම වෙනස් ව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, “ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] ඇතුව සිටින ජාතිය” වීමට සතුටු වෙති. “දෙවියන් තුළ අපි විශ්වාසය තබමු” යයි කිව හැක්කේ ඔවුන්ට පමණි. ඔවුන් අතර සෑම කෙනෙකුට ම ප්‍රීතියෙන් මෙසේ හඬ නැඟිය හැක: “මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. . . . දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි.”—ගීතාවලිය 33:12; 56:4, 11.
10. අඛණ්ඩතාවය පවත්වා ගැනීමට යෞවන ක්‍රිස්තියානින් බොහෝ දෙනෙකු ව ශක්තිමත් කර ඇත්තේ කුමක් ද?
10 යෞවන සාක්ෂිකරුවන් දහස් ගණනක්, දැඩි සේ තැලීම් සහ සිරගත කරනු ලැබීම් විඳ ඇති එක් ආසියාතික රටක, යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීම, මහත් බහුතරයකට විඳදරා ගැනීමට හේතු කරවා තිබේ. තමාට තවත් විඳදරා ගැනීමට නොහැකි යයි, එක් රාත්‍රියක සිර මැදිරියක සිටි දරුණු වධ හිංසාවලට ගොදුරු වූ එක් යෞවන සාක්ෂිකරුවෙකුට හැඟිණි. එහෙත්, අඳුර තුළින් හොර රහසේ ඔහු වෙතට තවත් යෞවනයෙක් පැමිණියේ ය. ඔහු කොඳුරමින් මෙසේ පැවසුවේ ය: “අත් හරින්න එපා; මම ඇදහිල්ල පාවා දුන්ණා, එතැන් පටන් මගේ මනසේ කිසි ම සාමයක් නැහැ.” පළමු යෞවනයා ස්ථිර ව සිටීමට වූ තම අධිෂ්ඨානයට නව පණක් දුන්නේ ය. අපගේ අඛණ්ඩතාවය දුබල කිරීමට සාතන් විසින් ගෙනෙනු ලබන ඕනෑ ම සහ සෑම ප්රයත්නයකට ම මුහුණ දී ජය ගැනීමට අපට ඉවහල් වන සම්පූර්ණ දැඩි විශ්වාසයක් යෙහෝවඃ වහන්සේ කෙරෙහි තැබීමට අපට හැකි ය.—යෙරෙමියා 7:3-7; 17:1-8; 38:6-13, 15-17.
11. යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීමට අප ව පොලඹවනු ලබන්නේ කෙසේ ද?
11 පළමුවෙනි ආඥාවේ කොටසක මෙසේ කියවීමට තිබේ: “නුඹේ මුළු හෘදයෙන් . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට, NW] ප්රේමකරපන්න.” (මාර්ක් 12:30) අප දේව වචනය මත මෙනෙහි කරනවාත් සමඟ ම, අප ඉගෙන ගනිමින් සිටින සත්‍යයන් අපගේ හෘදයේ ගැඹුරට කිඳා බසී, එවිට අපගේ මවිතකර දෙවියන් වහන්සේ වන පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේට කරන සේවය තුළ අපගේ සියල්ල ම වැය කිරීමට අපි පෙලඹෙන්නෙමු. උන් වහන්සේගේ ගැලවීම කෙරෙහි දැඩි විශ්වාසය නිසැක ව තබන්නට අප පෙලඹෙන්නේ උන් වහන්සේ අපට උගන්වා ඇති, අප සඳහා කර ඇති, එමෙන් ම අප සඳහා කරන්නට යන්නා වූ සියලු දේ උදෙසා, අගය කිරීමෙන් පිරිපුන් හෘදයකින් යුතු ව ය.—යෙසායා 12:2.
12. වසර ගණනාවක් පුරා, ක්‍රිස්තියානින් බොහෝ දෙනෙක්, යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය පෙන්වා ඇත්තේ කෙසේ ද?
12 මෙම දැඩි විශ්වාසය වසර ගණනාවක් පුරා වගා කළ හැකි ය. වොච්ටවර් සමිතියේ බෘක්ලින් මූලස්ථානයේ, 1927 අප්‍රියෙල් මාසයේ සිට වසර 50ක් පුරා විශ්වාසනීය ව සේවය කළ යෙහෝවඃ වහන්සේගේ එක් යටහත් පහත් සාක්ෂිකරුවෙක්, මෙසේ ලීවේ ය: “එම මාසය අවසාන වන විට, හිතෝපදේශ 3:5, 6 හි බයිබල් පාඨය විශේෂ කොට දක්වා ඇති අලංකාර කාඩ්පතක් සමඟ $5.00ක දීමනාවක් සහිත ලියුම් කවරයක් මට ලැබුණා. . . . යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි සේ විශ්වාසය තැබීමට සෑම හේතුවක් ම තිබුණා, මන්දයත් මූලස්ථානයේ දී, මා වැඩිකල් යන්නට මත්තෙන් වටහා ගත් දෙයක් තමයි, පොළොව මත රාජ්‍යය සම්බන්ධ කාරණා කටයුතු විශ්වාසවන්ත ව බලා කියා ගැනීමට යෙහෝවඃ වහන්සේට ‘විශ්වාස හා නුවණ ඇති දාසයෙක්’ සිටි බව.—මතෙව් 24:45-47.”b මෙම ක්‍රිස්තියානි පුද්ගලයාගේ හෘදය තබා තිබුණේ මුදලට ඇති ප්‍රේමය මත නොව, නමුත් ‘ස්වර්ගයෙහි නැති නොවන වස්තුවක්’ ලබා ගැනීම මත ය. එමෙන් ම අද දින, වොච්ටවර් සමිතියේ ලොව වටා බෙතෙල් නිවාසවල සේවය කරන දහස් ගණන් දෙනා, එසේ කරන්නේ, දිළිඳුකමේ යම් ආකාරයක නීත්‍යානුකූල දිවුරුමක් යටතේ ය. තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපයා ගැනීමට ඔවුහු යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබති.—ලූක් 12:29-31, 33, 34.
යෙහෝවඃ වහන්සේ මත රඳා සිටින්න
13, 14. (අ) මේරූ අවවාද සොයා ගත හැක්කේ කොතැනින් පමණක් ද? (ආ) පීඩාවලින් බේරීමට නම් කුමන දෙයකින් වැළකිය යුතු ද?
13 අපගේ ස්වර්ගික පියාණන් අපට මෙසේ අනුශාසනා කරන සේක: “ඔබේ ම අවබෝධය මත රඳා නොසිටින්න.” (හිතෝපදේශ 3:5, NW) ලෞකික උපදේශකයන්ට හා මානසික විශේෂඥයන්ට, යෙහෝවඃ වහන්සේ විදහාපාන ප්‍රඥාවට හා අවබෝධයට ළඟා වීමට කිසිවිටෙකත් අපේක්ෂා කළ නොහැකි ය. “උන්වහන්සේගේ ඥානය අනන්තය.” (ගීතාවලිය 147:5) මේ ලෝකයේ ප්රමුඛ පෙළේ මිනිසුන්ගේ ප්‍රඥාව මත හා එතරම් දැනුමෙන් තොර අපගේ ම චිත්ත වේගයන් මත පිහිටා සිටිනවා වෙනුවට, මේරූ අවවාද සඳහා යෙහෝවඃ වහන්සේ, උන් වහන්සේගේ වචනය හා ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන් දෙස බලමු.—ගීතාවලිය 55:22; 1 කොරින්ති 2:5.
14 මිනිස් ප්‍රඥාව හෝ තමා සතු නම්බුකාර තත්ත්වය ගැන උඩඟු වීම, දැඩි පරීක්ෂණයන්ට වේගයෙන් එලඹෙමින් තිබෙන්නාවූ දවස තුළ අප ව කොතැනකටවත් ගෙන යන්නේ නැත. (යෙසායා 29:14; 1 කොරින්ති 2:14) දෙවන ලෝක යුධ සමයේ දී ජපානයේ, දෙවියන් වහන්සේගේ ජනයාගේ දක්ෂ නමුත් උඩඟු එඬේරෙක් තමාගේ ම අවබෝධය මත රඳා සිටීමට තෝරා ගත්තේ ය. පීඩනය යටතේ ඔහු ඇදහිල්ල අතහැර දැමූ අතර, රැලෙන් වැඩි කොටසක් පීඩා යටතේ ක්‍රියා විරහිත වූහ. අපිරිසිදු සිර මැදිරවල දැඩි පීඩා වධ හිංසා යටතේ ධෛර්යය සම්පන්න ව ගැලවී පැමිණියා වූ එක් පක්ෂපාත ජපන් සහෝදරියක් මෙසේ ප්‍රකාශ කළා ය: “ඇදහිලිවන්ත ව ඉතිරි වූ අයට විශේෂ හැකියාවන් තිබුණේ නැහැ, ඔවුන් අප්‍රකට ව සිටියා. නිසැක ව ම අප සියල්ලන් ම සෑම විට ම අපගේ මුළු හෘදයෙන් ම යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබිය යුතුයි.”c
15. අප විසින් යෙහෝවඃ වහන්සේ ව සතුටු කිරීමට නම්, කිනම් දිව්‍ය ගුණාංගය අත්‍යවශ්‍ය වේ ද?
15 අපගේ ම අවබෝධය කෙරෙහි විශ්වාසය තබනවාට වඩා, යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීමට යටහත් පහත්කම අවශ්‍ය ය. යෙහෝවඃ වහන්සේ ව සතුටු කිරීමට වුවමනා කරන සියල්ලන්ට ම මෙම ගුණාංගය මොනතරම් වැදගත් ද! මන්දයත්, අපගේ ම දෙවියන් වහන්සේ, සකල විශ්වයේ පරමාධිපති සමිඳාණන් වුවද, ස්වකීය බුද්ධිමත් මැවිලි සමඟ කටයුතු කිරීමේ දී, යටහත් පහත්කම විදහා දක්වන නිසා ය. ඒ ගැන අපට ස්තූතිවන්ත විය හැකි ය. “ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ බලන්ට තමන්ම යටත්වන්නාවූ . . . උන්වහන්සේ දුප්පතා [පහත් තැනැත්තා, NW] ධූලියෙන් නැගුටුවනසේක.” (ගීතාවලිය 113:5, 6, 8) ස්වකීය මහත් දයාව කරණ කොට ගෙන, මිනිස් වර්ගයා කෙරෙහි ස්වකීය ශ්‍රේෂ්ඨතම ත්‍යාගය, එනම් ස්වකීය සෙනෙහෙබර පුත්‍ර, ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ අනර්ඝ මිදීමේ මිල පූජාවේ පදනම මත අපගේ දුබලකම්වල දී උන් වහන්සේ අපට කමාව දෙන සේක. ලබන්ට නොවටිනා තරම් වූ මෙම කරුණාව සඳහා අප මොනතරම් කෘතඥ පූර්වක විය යුතු ද!
16. සභාවේ වරප්‍රසාද අත්කර ගැනීම සඳහා සහෝදරයන්ට කෙසේ වීර්යය කළ හැකි ද?
16 මෙසේ අපට සිහිගන්වන්නේ යේසුස් වහන්සේ ම ය: “තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.” (මතෙව් 23:12) බව්තීස්ම ලත් සහෝදරයන්, යටහත් පහත්කමින් යුතු ව ක්‍රිස්තියානි සභාවේ වගකීම් අත්කර ගැනීමට වෙර දැරිය යුතු ය. එහෙත්, අවේක්ෂකයන් තම පත්වීම සැලකිය යුත්තේ, යේසුස් වහන්සේ කළාක් මෙන්, යටහත් පහත් ලෙස, අගය කිරීමෙන් යුතු ව, මහත් උද්යෝගයෙන් වැඩක් කිරීමට තිබෙන ප්‍රස්තාවක් හැටියට මිස, තත්ත්වයේ සංකේතයක් හැටියට නොවේ. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමි.”—යොහන් 5:17; 1 පේතෘස් 5:2, 3.
17. අප සියලු දෙනා ම ඒත්තු ගත යුත්තේ කුමක් ද, එය තුඩුදෙන්නේ කුමන ක්‍රියා කිරීමට ද?
17 අපි යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ දූවිලිවලට වඩා වැඩි යමක් නොවේ ය යන කාරණය සෑම විට ම යටහත් පහත් ව හා යාච්ඤා පූර්වක ව ඒත්තු ගනිමු. එසේ නම්, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] කරුණාව [ප්‍රේමනීය කරුණාව, NW] තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පැවතීම” ගැන අපට මොනතරම් සතුටු විය හැකි ද! (ගීතාවලිය 103:14, 17) එමනිසා, අප සියලු දෙනා ම දෙවියන් වහන්සේගේ වචනයේ උනන්දුමත් ශිෂ්‍යයන් විය යුතු ය. පුද්ගලික සහ පවුලේ පාඩමේ, සභා රැස්වීම්වල, අප ගත කරන කාලය, සෑම සතියක ම අපගේ වටිනා ම කාලයන් අතර තිබිය යුතු ය. මේ අයුරින් අපි “අති ශුද්ධ තැනැන් වහන්සේ දැනගැනීම” ගොඩනඟන්නෙමු. “අවබෝධය යනු එයයි.”—හිතෝපදේශ 9:10, NW.
“ඔබගේ සියලු මාර්ගවල දී, . . . ”
18, 19. හිතෝපදේශ 3:6 අපට අපගේ ජීවිතවලට අදාළ කර ගත හැක්කේ කෙසේ ද? තව ද ඉන් ඇති වන ප්‍රතිඵලය කුමක් ද?
18 අවබොධයේ දිව්‍ය උල්පතාණන් වන යෙහෝවඃ වහන්සේ වෙතට අපගේ අවධානය යොමු කරවමින්, හිතෝපදේශ 3:6 හි ඊළඟට මෙසේ පවසයි: “නුඹේ සියලු මාර්ගවලදී, උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” යෙහෝවඃ වහන්සේ ව සැලකීමට යාච්ඤාවෙන් උන් වහන්සේට ළංවීම ඇතුළත් වෙයි. අප කොතැනක සිටියත්, කුමන තත්ත්වයක් උද්ගත වුවත්, අපට සැණෙකින් යාච්ඤාව තුළින් උන් වහන්සේ වෙතට ළඟා විය හැකි ය. අපගේ එදිනෙදා කටයුතුවල නියැලිමේ දී, අප ක්ෂේත්‍ර සේවයට සූදානම් වීමේ දී, උන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරමින් ගෙයින් ගෙට යෑමේ දී, උන් වහන්සේ අපගේ වැඩ කටයුතුවලට ආශීර්වාද කරාවි ය යන්න අපගේ නිරන්තර යාච්ඤාව කර ගත හැක. මෙසේ, දේව භයැති ඒනොක් සහ නෝවා සඳහා ද, යෝෂුවා සහ දානියෙල් වැනි ඇදහිලිවන්ත ඊශ්‍රායෙල්වරුන් සඳහා ද උන් වහන්සේ කළාක් මෙන්, උන් වහන්සේ ‘අපගේ මාවත් සමතලා’ කරනු ඇති බවට නිසැකකමින් යුතු ව, ‘දෙවියන් වහන්සේ සමඟ හැසිරීමේ’ මිල කළ නොහැකි වරප්‍රසාදය හා ප්‍රීතිය අපට ලබා ගත හැක.—උත්පත්ති 5:22; 6:9; ද්විතීය කථාව 8:6; යෝෂුවා 22:5; දානියෙල් 6:23; එමෙන් ම යාකොබ් 4:8, 10 ද බලන්න.
19 අප යෙහෝවඃ වහන්සේට අපගේ කන්නලව් ඉදිරිපත් කරන විට, ‘කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අපගේ හදවත් ද සිතිවිලි ද ආරක්ෂා කරන බවට’ අපට නිසැක විය හැක. (පිලිප්පි 4:7) ප්‍රීතිමත් බාහිර ස්වරූපයකින් දිස් වන මෙම දෙවියන් වහන්සේගේ සමාදානය, අපගේ දේශනා වැඩය තුළ අපට හමුවන නිවැසියන් හට අපගේ පණිවුඩය යහපත් බවට නිර්දේශ කරයි. (කොලොස්සි 4:5, 6) පහත දැක්වෙන වාර්තාවේ පෙන්වන පරිදි, අද දින ලෝකයේ බහුල ව පවතින මානසික පීඩනයන් හෝ අයුක්තීන් මගින් පහර වැදී සිටිය හැකි අයට ද එය ධෛර්යයක් වෙයි.d
20, 21. (අ) නාට්සි භීෂණ සමය තුළ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අඛණ්ඩතාවය අන්‍යයන් ව දිරිගැන්වූයේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ කට හඬ අප තුළ කුමන අධිෂ්ඨානය පුබුදුවාලිය යුතු ද?
20 යුදෙව් සමූල ඝාතන ප්රයත්නයෙන්, ප්රාතිහාර්යකින් මෙන් ගැලවුණු යුදෙව් ජාතිකයෙකු වන මාක්ස් ලීබ්ස්ටර් නාට්සි සමූලඝාතන කඳවුරක් වෙතට තමා ගිය ගමන ගැන විස්තර කළේ මෙම වචනවලිනි: “පුද්ගලයන් දෙදෙනෙකුට එක බැගින් යුත් කුඩා සිර කුටි බොහොමයක් බවට පත් කර තිබූ කෝච්චි පෙට්ටිවලට අප ව අගුල් දමා සිර කරනු ලැබුවා. ඉන් එකකට පයින් පහර දුන් මට දක්නට ලැබුණේ, තම ඇස්වලින් ශාන්ත භාවයක් විහිදෙව්වා වූ සිරකරුවෙක්. වෙනත් මිනිසුන්ගේ ලේ වගුරනවා වෙනුවට ඔහු එහි සිටියේ, සිරකුටිය හා සමහරවිට මරණය පවා තෝරා ගනිමින් දෙවියන් වහන්සේගේ නීතියට තමා දැක් වූ ගෞරවය නිසා ය. ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකි. ඔහුගේ දරුවන් ව ඔහුගෙන් පැහැර ගෙන ගොස් තිබූ අතර, ඔහුගේ භාර්යාව ඝාතනය කරනු ලැබ තිබුණා. ඔහු බලාපොරොත්තු වෙමින් සිටියේ ඇගේ ඉරණමට පංගුකාරයෙක් වන්නටයි. දවස් 14ක එම ගමන මගේ යාච්ඤාවලට පිළිතුරු ගෙන දුන්ණා, මන්දයත්, මට සදාකාල ජීවනයේ බලාපොරොත්තුව හමුවුණේ මරණය කරා ගිය මෙම දිගු ගමනේදීයි.”
21 ඔහු හැඳින්වූ පරිදි, ඖෂ්විට්ස් නමැති “සිංහ ගුහාවෙන්” නිදහස් වී, ඔහුගේ බව්තීස්මයෙන් පසු, මෙම සහෝදරයා, සිරගත කරනු ලැබ සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක සමඟ විවාහ වූ අතර, ඇගේ පියා ඩාඛව් හි වධක කඳවුරක වධ වේදනා විඳ තිබුණි. ඇගේ පියා එහි සිටින අතරතුර, තම භාර්යාව සහ තරුණ දියණිය ද අත්අඩංගුවට ගෙන තිබූ බව ඔහුට සැල විය. ඔහු තමාට ඇති වූ ප්‍රතික්‍රියාව ගැන විස්තර කළේ මෙසේ ය: “මා අතිශයින් සිත් තැවුලට පත් වී සිටියා. ඉතින් එක් දවසක් මා ස්නානය සඳහා පෙළ ගැසී සිටින විට, හිතෝපදේශ 3:5, 6 උපුටා දක්වන කට හඬක් මට ඇසුණා, . . . එය ස්වර්ගයෙන් පහළට බැස ආ කට හඬක් මෙන් මා හට දෝංකාර දුන්ණා. මගේ සමබරතාවය යළි ලබා ගැනීමට මට හරියට ම අවශ්‍ය වූයේ එයයි.” ඇත්තෙන් ම, එම කට හඬ වෙනත් සිරකරුවෙකු විසින් එම පාඨය උපුටා දක්වා කළ හඬක් විය, නමුත් මෙම සිද්ධියෙන් අවධාරණය කෙරෙන්නේ, අප කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනයට කොතරම් බලයක් තිබේ ද යන්න ය. (හෙබ්‍රෙව් 4:12) වර්ෂ 1994 අපගේ වාර්ෂික පදයේ මෙම වදන් තුළින් අද දින යෙහෝවඃ වහන්සේගේ කට හඬ අප හට ප්‍රබල ලෙස කථා කරත්වා: “ඔබගේ මුළු හෘදයෙන් යෙහෝවඃ වහන්සේගේ තුළ දැඩි විශ්වාසය තබන්න”!
[පාදසටහන්වල]
a වර්ෂ 1973 දෙසැම්බර් 15දා, ද වොච්ටවර් හි පිටු 760-5 දක්වා, ක්ලෝඩ් එස්. ගුඩ්මන් විසින් පවසන පරිදි “ට්රස්ටිං ඉන් ජෙහෝවා විත් ඕල් මයි හාර්ට් [මගේ මුළු හෘදයෙන් ම යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීම]” යන ලිපිය බලන්න.
b වර්ෂ 1968 ජූලි 15දා ද වොච්ටවර් කලාපයේ පිටු 437-40 දක්වා, හැරී පීටර්සන් විසින් පවසන ලද පරිදි, “ඩිටමින්ඩ් ටු ප්‍රේස් ජෙහෝවා [යෙහෝවඃ වහන්සේට ප්රංශසා කිරීමට අදිටන් කර ගෙන සිටීම]” යන ලිපිය බලන්න.
c වර්ෂ 1988 මැයි 1දා ද වොච්ටවර් හි, පිටු 21-5 දක්වා, මාට්සූවේ ඒෂී විසින් පවසන ලද පරිදි, “ජෙහෝවා ඩස් නොට් ෆොසේක් හිස් සර්වන්ට්ස් [යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ව ඉවත නොදමන සේක]” යන ලිපිය බලන්න.
d වර්ෂ 1978 ඔක්තෝබර් 1දා, ද වොච්ටවර් කලාපයේ, පිටු 20-4 දක්වා, මාක්ස් ලීබ්ස්ටර් විසින් පවසන පරිදි, “ඩිලිවරන්ස්! පෲවීං අවසෙල්ව්ස් ග්‍රේට්ෆුල් [ගැලවීම! අප කෘතඥ වන බව ඔප්පු කිරීම]” යන ලිපිය බලන්න.
සාරංශයක් හැටියට
◻ හිතෝපදේශයෙහි ඉදිරිපත් කර ඇත්තේ කෙබඳු උපදෙසක් ද?
◻ යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ මත රඳා සිටීමට ඇතුළත් වන්නේ කුමක් ද?
◻ අපගේ සියලු මාර්ගවල දී, අප යෙහෝවඃ වහන්සේ ව සැලකිය යුත්තේ මන්ද?
◻ යෙහෝවඃ වහන්සේ අපගේ මාවත් සමතලා කරන්නේ කෙසේ ද?
[15වන පිටුවේ පින්තූර]
ප්‍රීතිමත් රාජ්‍යය පණිවුඩය අවංක හෘද ඇති ජනයාගේ සිත් ඇදගනී