එකළොස්වෙනි පරිච්ඡේදය
‘මාගේ සිතට ප්‍රීතියක් ගෙන දෙන පුරුෂයන්’
1, 2. (අ) බැටළු රැළක්ව හොඳින් රැකබලා නොගත්තොත් සිදු විය හැක්කේ කුමක්ද? (ආ) එඬේරෙකු සතු කාර්යභාරයට ඇතුළත් වන්නේ මොනවාද?
හිරෝයාසූ, ජපානයේ ජීවත් වන කුඩා පිරිමි දරුවෙක්. දිනක් ඔහුගේ මව බැටළු පැටවුන් ජෝඩුවක්ව මිල දී ගත්තා. උන්ව බලාගත්තේ මේ කුඩා හිරෝයාසූයි. බැටළු ජෝඩුව ලොකු වී පැටවුන් බිහි කළ නිසා කාලයක් යන විට ඔහුට බැටළුවන් 12ක් 13ක් පමණ සිටියා. එක් හිමිදිරි උදෑසනක නිදාගෙන සිටි හිරෝයාසූට, ඔහුගේ බැටළුවන් කලබල වී කෑගසන හඬක් ඇසුණා. නමුත් ඔහු ඒ වේලාවේ උන්ව බලන්න ගියේ නැහැ. ටික වේලාවකට පසු හිරෝයාසූ උන්ව බලන්න යද්දී කැලෑ බල්ලන් රංචුවක් ඒ දෙසින් දුවනවා ඔහුගේ නෙත ගැටුණා. ඒත් එක්කම ඔහු වටපිට බැලූ විට කැලෑ බල්ලන් ගොදුරු කරගත් බැටළු පැටවුන්ගේ මළ කඳන් තැනින් තැන වැටී තිබෙන ආකාරය ඔහු දුටුවා. කලබල වූ ඔහු, විගස බැටළුදෙනව සොයා ගියා. ඌ ලේ විලක් මැද පණ අදිමින් සිටින අයුරු ඔහු දුටුවා. ඉතුරු වුණේ රැළේ පිරිමි සතා පමණයි. හිරෝයාසූට ඒ වේලාවේ දැනුණේ දරාගත නොහැකි දුකක්. බැටළුවන්ගේ හඬ ඇසුණු මුල්ම අවස්ථාවේම උන්ව බලන්න ගියා නම් හිරෝයාසූට මුළු රැළම බේරාගන්න තිබුණා. එඬේරෙකු සතු වගකීම කොතරම් බැරෑරුම් එකක්ද කියා එම සිද්ධියෙන් අපට වටහාගත හැකියි.
2 සාමාන්‍යයෙන් එඬේරෙකු සතු කාර්යභාරයට සරු තණබිම්වලට බැටළුවන්ව ගෙන යෑම, උන්ට හොඳ පෝෂණයක් ලබා දීම, වනසතුන්ගෙන් උන්ව ආරක්ෂා කිරීම හා අයාලේ යන අයව සොයා නැවත තම රැළට ගෙන ඒම යන කාර්යයන් ඇතුළත්. (1 සාමු. 17:34-36) නිදැල්ලේ සිටිය හැකි නිසංසල තැන්වලට බැටළුවන්ව රැගෙන යෑමත් ඔහු සතු කාර්යයක්. බැටළුදෙනක් පැටවුන් බිහි කරන විට එඬේරා ඌ ළඟ සිටිමින් ඌට උපකාර කරන අතර අලුත උපන් පැටවාව තම රැකවරණය යටතේ තබාගන්නවා. එඬේරෙකු ඉටු කරන එවන් කාර්යයන් ගැන අතීතයේ සිටි අයට හොඳ අවබෝධයක් තිබුණා. යෙරෙමියා ඇතුළු බයිබල් ලේඛකයන් බොහෝදෙනෙක් එඬේරුන්ව උපමාලංකාරයක් ලෙස යොදාගත්තේ ඒ නිසයි. දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට පත් කර තිබූ අයව ඔවුන් එඬේරුන්ට සමාන කර තිබෙනවා.
3. යෙරෙමියා සඳහන් කර තිබෙන දේවලට අනුව එඬේරුන් ලෙස වැඩිමහල්ලන් කරන කාර්යයට ඇතුළත් වන්නේ මොනවාද?
3 අද දින දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට පත් කර තිබෙන වැඩිමහල්ලන් එඬේරෙකුගේ කාර්යය ඉටු කරනවා කියා අපට හැඟෙන්නේ ඔවුන් සහෝදරයන්ව දිරිගැන්වීමට හෝ යම් උපකාරයක් ලබා දීම සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යන අවස්ථාවලදී පමණක් විය හැකියි. නමුත් වැඩිමහල්ලන් එඬේරෙකුට සමාන වන්නේ එවැනි අවස්ථාවලදී පමණක් නොවෙයි. දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට පත් කර සිටි අධිපතීන්, අනාගතවක්තෘවරුන් හා පූජකයන් තම රැකවරණය යටතේ සිටි සෙනඟ වෙනුවෙන් ඉටු කළ යුතු සෑම කාර්යයක්ම එඬේරෙකු ඉටු කරන කාර්යයට යෙරෙමියා සමාන කර තිබෙනවා. කෙසේවෙතත් යෙරෙමියාගේ කාලයේ දෙවිගේ සෙනඟව රැකබලා ගැනීමට පත් කර සිටි අය දෙවි දුන් මඟ පෙන්වීම් සෙනඟට ලබා දෙනවා වෙනුවට බොරු දේවල් පවසමින් සෙනඟව නොමඟ යැව්වා. තම වාසිය ගැන පමණක් සිතූ ඔවුන්, සෙනඟට අයුතු ලෙස සැලකුවා. (යෙරෙ. 2:8) දෙවි එවැනි අයව බොරු එඬේරුන් ලෙස හැඳින්වූයේ ඒ නිසයි. ඔවුන්ට අනිවාර්යයෙන්ම ‘විපත්ති’ අද්දකින්න සිදු වන බව දෙවි පැවසූ අතර ඔවුන් වෙනුවට සෙනඟ කෙරෙහි සැලකිලිමත් එඬේරුන්ව පත් කරන බව දෙවි තම සෙනඟට පොරොන්දු වුණා.—යෙරෙමියා 3:15; 23:1-4 කියවන්න.
4. අද දින දෙවිගේ සෙනඟව රැකබලා ගන්නේ කවුද? ඔවුන් තම වගකීම ඉටු කරන්නේ කෙසේද?
4 ඒ පොරොන්දුව මූලික වශයෙන් ඉටු වුණේ ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් මාර්ගයෙනුයි. යේසුස් තමාව හැඳින්වූයේ “උතුම් එඬේරා” ලෙසයි. ඔහු තමා යටතේ සිටි අයව මහත් ආදරයෙන් රැකබලා ගත්තා. (යොහ. 10:11-15) අද දින තම සෙනඟව රැකබලා ගැනීමට දෙවි තවත් එඬේරුන්ව පත් කර තිබෙනවා. ඔවුන් සිටින්නේ යේසුස්ගේ නායකත්වය යටතෙයි. ඒ එඬේරුන්ගෙන් සමහරදෙනෙක් අභිෂේක ලත් පුරුෂයන් වන අතර අනිකුත් අය ‘මහත් සමූහයට’ අයත් සහෝදරයන්. (එළි. 7:9) එම එඬේරුන්ද යේසුස් මෙන් තම රැකවරණය යටතේ සිටින දෙවිගේ සෙනඟ වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් කරනවා. ඔවුන්ගේ ආශාව වන්නේ තම රැළ හොඳින් පෝෂණය කර ඔවුන්ව ආදරයෙන් රැකබලා ගැනීමයි. සභාව රැකබලා ගැනීමට පත් කර තිබෙන එඬේරෙක් එසේ කටයුතු නොකර තම රැකවරණයේ සිටින අයව නොසලකාහරිමින් ඔවුන්ට අකාරුණිකව හා නපුරු ලෙස සලකමින් හෝ තම අණසක පතුරුවමින් දැඩි ලෙස ක්‍රියා කරනවා නම් මොන තරම් දරුණු විපතකට ඔහුට මුහුණ දෙන්න සිදු වෙයිද! (මතෙ. 20:25-27; 1 පේතෘ. 5:2, 3) එසේනම් මෙම ප්‍රශ්නවලට අප පිළිතුරු ලබාගැනීම ඇත්තෙන්ම වැදගත්. දෙවි එඬේරුන් ලෙස පත් කර තිබෙන අයගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? එඬේරුන්ට තිබිය යුතු නිවැරදි ආකල්ප හා චේතනා ගැන යෙරෙමියා පවසා තිබෙන දේවලින් ඉගෙනගත හැක්කේ කුමක්ද? රැකවරණය සලසන අය ලෙස, ගුරුවරුන් ලෙස හා විනිශ්චයකරුවන් ලෙස වැඩිමහල්ලන් සතු කාර්යභාරය ගැන දැන් අප සලකා බලන විට එම ප්‍රශ්නවලට පිළිතුරු අපට දැනගත හැකියි.
රැකවරණය සලසයි
5-7. (අ) දෙවි සතුටු වන්නේ තම සෙනඟට මොන වගේ රැකවරණයක් ලැබෙනවාටද? ඒ ඇයි? (ආ) සභාවෙන් ඈත්ව ගිය අය ඇතුළුව තම රැකවරණයේ සිටින අය කෙරෙහි තමන්ට අවංක ප්‍රේමයක් තිබෙන බව වැඩිමහල්ලන්ට පෙන්විය හැක්කේ කෙසේද?
5 යෙරෙමියාගේ කාලයේ සිටි බොරු එඬේරුන් නිසා දෙවිගේ රැළ ඒ මේ අත විසිර ගියා. රැළට කිසි සැලකිල්ලක් නොපෙන්වූ එම එඬේරුන්ව දෙවි හෙළාදුටු අතර විසිර ගිය තම රැළ “එකතු කර” නැවත ඔවුන්ගේ තණබිමට ඔවුන්ව රැගෙන එන බව දෙවි පැවසුවා. ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමට යහපත් එඬේරුන්ව තමන් පත් කරන බවත් දෙවි පොරොන්දු වුණා. ඒ එඬේරුන් තම රැකවරණය යටතේ සිටින දෙවිගේ සෙනඟව සතුරන්ගෙන් ආරක්ෂා කරන බවත් දෙවි සහතික වුණා. (යෙරෙ. 23:3, 4) තම බැටළුවන්ව රැකබලා ගැනීමට දෙවි එලෙස පියවර ගත්තේ දෙවි ඔවුන් ගැන සැලකිලිමත් වූ නිසයි. එදා මෙන් අදත් දෙවි තම රැකවරණයේ සිටින අය ගැන සැලකිලිමත් කියා පැවසිය හැකියි. මන්ද ඔවුන්ට සදාකාලයටම ප්‍රයෝජන ලබාගැනීම සඳහා දෙවි ඉතා වටිනා දෙයක් පරිත්‍යාග කළා. (1 පේතෘ. 1:18, 19) එසේනම් පේතෘස්, යෙහෝවා දෙවිව ‘අපේ ජීවිත රැකබලා ගන්නා එඬේරා’ ලෙස හැඳින්වීම පුදුමයක් නොවෙයි.—1 පේතෘ. 2:25.
6 දෙවි තම සෙනඟ ගැන බොහෝ සෙයින් සැලකිලිමත් නිසා ඔවුන්ව බලාගැනීමට පත් කර තිබෙන වැඩිමහල්ලන්ද සභාවේ සිටින අය ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන් සභාවේ සිටින අයට පෙන්වන සැලකිල්ල තම බැටළුවන්ට ආදරේ කරන එඬේරෙක්, තම රැළට පෙන්වන සැලකිල්ල හා සමානයි. ඔබ වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන කෙනෙකු නම් ඔබේ රැකවරණයේ සිටින අය ගැන ඔබ සැලකිලිමත්ද? ඔවුන් යම් වේදනාවකින් සිටිනවා නම් එය ඔබේ අවධානයට ලක් වෙනවාද? ඉක්මනින්ම ඔවුන්ට උපකාර කරන්න ඔබ පෙලඹෙනවාද? ප්‍රඥාවන්ත සලමොන් රජුත් පැවසුවේ, “ඔබේ රැළේ තත්වය කෙබඳුදැයි ඔබ හොඳින් දැනගත යුතුය. ඔබේ රැළ ගැන හොඳ අවධානයකින් සිටින්න” කියායි. (හිතෝ. 27:23) සභාව ගැන සැලකිලිමත් වන එඬේරෙක් තම රැකවරණයේ සිටින අයව අනිසි ලෙස පාලනය කිරීමට උත්සාහ කරන්නේ නැහැ. නමුත් ‘දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වන්න’ කියා පේතෘස් පැවසීමෙන් පැහැදිලි වන්නේ වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන ඕනෑම කෙනෙකු තුළ එම නැඹුරුවාව ඇති විය හැකි බවයි. ඒ නිසා ඔබ වැඩිමහල්ලෙකු නම් ‘සභාවේ අයව පාලනය කිරීමට මා තුළ තිබෙන නැඹුරුවාවට විරුද්ධව මා නිරතුරුවම සටන් කරනවාද’ කියා කල්පනා කර බලන්න. ඊට අමතරව යෙරෙමියා 33:12හි (කියවන්න.) සඳහන් වදන් ඉටු කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද කියාත් සිතා බලන්න. සභාවේ තනිව දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට හෝ පියවරුන්ට, වැන්දඹුවන්ට, මහලු අයට, යෞවනයන්ට හා නැවත විවාහ වී සිටින අයට මෙන්ම ඔවුන් සමඟ ජීවත් වන ඔවුන්ගේ කලින් විවාහයේ දරුවන්ට ඔබේ උපකාර විශේෂයෙන් අවශ්‍ය විය හැකියි.
7 තම රැළ ගැන සැලකිලිමත් එඬේරෙකුට ඇතැම් අවස්ථාවලදී අයාලේ ගිය බැටළුවන්ව නැවත තම රැළට රැගෙන ඒමට සිදු වෙනවා හා සමානව විවිධ හේතු නිසා සභාවෙන් ඈත්ව ගොස් සිටින අයව සොයා ඔවුන්ව නැවත සභාවට ගෙන ඒමට වැඩිමහල්ලන්ටද සිදු විය හැකියි. එවැනි කෙනෙකුට උපකාර කිරීමට නම් වැඩිමහල්ලන් තුළ නිහතමානිකම තිබිය යුතු අතර ඔවුන් වෙනුවෙන් යම් කැප කිරීම් කරන්නත් සිදු වෙනවා. වැඩිමහල්ලන් තම රැකවරණයේ සිටින අය වෙනුවෙන් කාලය යොදවන්නේ කැමැත්තෙන්මයි. ඔවුන් සභාවේ අයට උපකාර කරන්නේ ඉතා ඉවසීමෙනුයි. ඔබ වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන කෙනෙකු නම් මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසාගැනීම ඉතා වැදගත්. ‘සභාවේ සිටින අයව දිරිගැන්වීමට හා ගොඩනැංවීමට මම මගේ පැත්තෙන් මොනවාද කරන්නේ? මම ක්‍රියා කරන්නේ සභාවේ සිටින අයව රිදවන, අධෛර්යය කරවන අයුරින්ද? වැඩිමහල්ලෙකු හැටියට මගේ වගකීම මීට වඩා හොඳින් ඉටු කරන්න මට පුළුවන්ද?’ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට සභාවේ සිටින කෙනෙකුට උපකාර කිරීම සඳහා ඔහුට නැවත නැවතත් යම් දේවල් මතක් කර දෙන්න වැඩිමහල්ලන්ට සිදු විය හැකියි. ඇතැම් අවස්ථාවලදී බයිබලය මත පදනම්ව ලබා දෙන එවැනි මඟ පෙන්වීමක් පිළිගැනීමට යම් සහෝදරයෙක් හෝ සහෝදරියක් අදිමදි කළ හැකියි. එවැනි අවස්ථාවලදී ශ්‍රේෂ්ඨ එඬේරා වන යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න. ඔහු මුළාව ගිය තම සෙනඟට උපකාර කිරීම සඳහා ‘නොනවත්වා තම පණිවිඩ ඔවුන්ට දැන්වූවා.’ (යෙරෙ. 25:3-6) අද දින දෙවිට නමස්කාර කරන බොහෝදෙනෙක් මුරණ්ඩු ලෙස දුෂ්ට දේවල් කරන්නේ නැහැ. නමුත් යම් අයට උපදෙස් ලබා දීමට අවශ්‍ය වූ විට වැඩිමහල්ලන් දෙවිව ආදර්ශයට ගනිමින් ඔවුන්ට උපදෙස් ලබා දිය යුතුයි.
8. වැඩිමහල්ලන්ට යෙරෙමියාව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
8 තමන් ගිය වැරදි මාර්ග අත්හැර දෙවි වෙතට හැරී ඒමට යුදෙව්වන්ට ප්‍රස්තාව විවෘතව තිබූ කාලයේදී යෙරෙමියා ඔවුන් වෙනුවෙන් දෙවිට යාච්ඤා කළා. ඔහු දෙවිට පැවසුවේ “ඔවුන්ට විරුද්ධව ඇති වූ ඔබේ උදහස නිවා දමන පිණිස මා ඔවුන් වෙනුවෙන් ඔබ ඉදිරියේ කන්නලව් කළ ආකාරය සිහි කරන්න” කියායි. (යෙරෙ. 18:20) ඉන් පැහැදිලි වන්නේ යුදෙව්වන් කොතරම් වැරදි කළත් ඔවුන් දෙවි වෙතට හැරී එනවා දකින්න යෙරෙමියා තුළ මහත් ආශාවක් තිබූ බවයි. වැඩිමහල්ලන්ද කෙනෙක් කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් දිගින් දිගටම වරදක් කරන බවට පැහැදිලි සාක්ෂි ලැබෙන තුරු ඔහුට උපකාර කරන්න දරන උත්සාහය පලක් නැහැ කියා නොසිතිය යුතුයි. ඔවුන් වෙනුවෙන් කළ හැකි යහපත් දෙයක් වන්නේ ඔවුන් කරන හොඳ දේ අගය කිරීමයි. වැඩිමහල්ලන්ට තම පෞද්ගලික යාච්ඤාවලදී ඔවුන් ගැන සඳහන් කළ හැකි අතර ඔවුන් සමඟත් යාච්ඤා කළ හැකියි.—මතෙ. 25:21.
තම සෙනඟව රැකබලා ගන්නා එඬේරුන් ගැන දෙවි යෙරෙමියා මාර්ගයෙන් දුන් පොරොන්දුව කුමක්ද? සභාවේ සිටින අයට රැකවරණයක් වීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
‘ඔබව පෝෂණය කරයි’
9, 10. යහපත් එඬේරෙක් (වැඩිමහල්ලෙක්) හොඳ ගුරුවරයෙක් කියා පැවසිය හැක්කේ ඇයි?
9 සාමාන්‍යයෙන් බැටළුවන් නිරෝගීව සිටින්න නම් එඬේරුන් ඔවුන්ට නිසි පෝෂණයක් දිය යුතුයි. ඒ හා සමානව දෙවිගේ සෙනඟටත් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා දෙවිගේ වචනයෙන් නිසි පෝෂණයක් ලැබිය යුතුයි. තම සෙනඟව රැකබලා ගැනීමට පත් කරන යහපත් එඬේරුන් ‘ඔවුන් සතු මනා දැනුම හා ගැඹුරු අවබෝධය භාවිත කරමින් තම සෙනඟව පෝෂණය කරන’ බව දෙවි පොරොන්දු වුණා. (යෙරෙ. 3:15) ඉන් පැහැදිලි වන්නේ සභාව බලාගැනීමට දෙවි පත් කර තිබෙන එඬේරුන් ගුරුවරුන් ලෙස ක්‍රියා කරන බවයි. (1 තිමෝ. 3:2; 5:17) එදා යෙරෙමියාත් සෙනඟ වෙනුවෙන් ගුරුවරයෙක් ලෙස ක්‍රියා කළ නිසා ඔහුගෙන් ලැබුණු මඟ පෙන්වීම් පිළිගන්න කියා දෙවි යුදෙව්වන්ගෙන් ඉල්ලා සිටියා.—යෙරෙමියා 6:8 කියවන්න.
10 ගුරුවරුන් ලෙස වැඩිමහල්ලන්ට හිමි වගකීමට සභාවේ සිටින අයට ඉගැන්වීමට අමතරව සභාවට අයත් නොවන අයට ඉගැන්වීමත් ඇතුළත් වෙනවා. සභාවට අයත් නොවන අයට ඉගැන්වීමේ කාර්යය කොතරම් වැදගත්ද කියා සිතා බලන්න. ක්‍රිස්තියානි සභාව පිහිටුවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමයි. ඒ නිසා වැඩිමහල්ලන් මහත් උද්යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන අය විය යුතුයි. (යෙරෙ. 1:7-10) එසේ ක්‍රියා කරන විට දෙවිගෙන් ඔවුන්ට ලැබී තිබෙන වගකීම ඔවුන් නිසි ලෙස ඉටු කරන අතර සභාවේ සහෝදර සහෝදරියන්ටත් ඔවුන් හොඳ ආදර්ශයක් වෙනවා. ඔබ වැඩිමහල්ලෙකු නම් සහෝදර සහෝදරියන් සමඟ නිතර සේවයේ හවුල් වීමෙන් ඔවුන්ගේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමට උපකාර කිරීමටත් ඔබේ ඉගැන්වීමේ හැකියාව ප්‍රගුණ කරගැනීමටත් හැකි වන බව ඔබ අද්දැක නැද්ද? ඔබ උද්යෝගයෙන් දේවසේවයේ හවුල් වන විට සභාවේ අය ඉන් දිරිගැන්වීමක් ලබන නිසා එය සභාවේ වර්ධනයටද දායක වෙයි.
11, 12. හොඳ ගුරුවරයෙකු වීමට නම් වැඩිමහල්ලෙක් සැලකිලිමත් විය යුත්තේ කුමක් ගැනද?
11 වැඩිමහල්ලන් උගන්වන සෑම දෙයක්ම ශුද්ධ ලියවිල්ල මත පදනම් විය යුතුයි. තමන්ට සවන් දෙන අයගේ විශ්වාසය ගොඩනැංවීමට ඔවුන්ට හැකි වන්නේ එවිටයි. ඉන් අදහස් කරන්නේ සභාව රැකබලා ගන්නා අය බයිබලය හොඳින් අධ්‍යයනය කරන අය විය යුතු බවයි. ඔවුන් එසේ නොකළොත් ඔවුන්ට හොඳ ගුරුවරුන් විය නොහැකියි. යෙරෙමියාගේ කාලයේ සෙනඟව රැකබලා ගැනීමට පත් කර තිබූ අය ගැන යෙරෙමියා පැවසූ මේ දෙය සලකා බලන්න. “එඬේරුන් කටයුතු කළේ අඥාන ලෙසය. ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැත. මනා අවබෝධයකින් ක්‍රියා කිරීමට ඔවුන්ට නොහැකි වුණේ ඒ නිසාය. ඔවුන්ගේ මුළු රැළ සෑම තැනකටම විසුරුවාහැර ඇත.” (යෙරෙ. 10:21) එදා සිටි එඬේරුන් දෙවිගේ නීතිය ගැන කිසි තැකීමක් නොකළ නිසාත් දෙවිගේ මඟ පෙන්වීම් නොපැතූ නිසාත් තම රැකවරණයේ සිටි සෙනඟට ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන්ට නොහැකි වුණා. එසේනම් එවැනි අයට දරුණු විපත්තිවලට මුහුණ දීමට සිදු වන බවට යෙරෙමියා අනාවැකි පැවසීම පුදුමයක්ද!—යෙරෙමියා 14:14, 15 කියවන්න.
12 යෙරෙමියාගේ කාලයේ සිටි බොරු එඬේරුන්ට වෙනස්ව අද දින සභාව රැකබලා ගන්නා එඬේරුන් තම රැකවරණයේ සිටින අයව හොඳින් පෝෂණය කරනවා. ඔවුන්ට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ ඔවුන් උතුම් එඬේරා වන යේසුස් ක්‍රියා කළ ආකාරය ගැඹුරින් අධ්‍යයනය කරමින් ඔහුව ආදර්ශයට ගන්නා නිසයි. වැඩිමහල්ලන්ට බොහෝ වගකීම් තිබෙන නිසා සැලැස්මකට අනුව බයිබලය නිතිපතා අධ්‍යයනය කිරීම අභියෝගයක් විය හැකියි. නමුත් ඔබ වැඩිමහල්ලෙකු නම් මේ ගැන කල්පනා කර බලන්න. මනා දැනුම හා ගැඹුරු අවබෝධය ඇතුව අන් අයට ප්‍රයෝජනවත් වන අයුරින් ඉගැන්විය හැක්කේ ඔබේ ඉගැන්වීම් බයිබලය මත හා විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන තොරතුරු මත පදනම් කළොත් පමණයි කියා ඔබට විශ්වාසද? ඔබ කලින් කළ තරම්ම දැන් පෞද්ගලික අධ්‍යයනයේ නිරත වෙන්නේ නැහැ කියා ඔබට හැඟෙනවා නම් හොඳ ගුරුවරයෙකු වීමට ඔබ කරන්නේ කුමක්ද?
13. යෙරෙමියාට හොඳ ගුරුවරයෙකු වීමට හැකි වුණේ ඇයි? වැඩිමහල්ලන්ට ඔහුව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?
13 යම් දේවල් පැහැදිලි කරන විට නිදර්ශන යොදාගැනීම යෙරෙමියාට හොඳ ගුරුවරයෙකු වීමට උපකාරවත් වුණා. ඔහුට එසේ නිදර්ශන භාවිත කරන්න කියා පැවසුවේ දෙවියි. යෙරුසලම් නගරයත් එහි වැසියනුත් අද්දකින්න නියමිත විනාශය කොතරම් දරුණුද කියා පෙන්වීමට එක් අවස්ථාවක ඔහු මැටි බඳුනක් ගෙන එය පොළොවේ ගසා සම්පූර්ණයෙන්ම බිඳ දැමුවා. (යෙරෙ. 19:1, 10, 11) තවත් අවස්ථාවක යුදෙව්වන් බැබිලෝනිවරුන්ට සම්පූර්ණයෙන්ම යටත්ව සේවය කළ යුතු බව පෙන්වීමට ලීවලින් සෑදූ වියගහක් යෙරෙමියා තම ගෙල මත තබාගෙන සිටියා. (යෙරෙ. 27-28 පරි.) යෙරෙමියා තම සෙනඟට ඉගැන්වීමට උත්සාහ කළ පාඩම් එම නිදර්ශන නිසා ඔවුන්ගේ සිත්වලට කොතරම් ප්රබලව කාවදින්න ඇද්ද! එදා දෙවි යෙරෙමියාට කාරණා පැහැදිලි කිරීමට එලෙස දේවල් රඟ දක්වා පෙන්වන්න කියා පැවසුවත් අද දින සිටින වැඩිමහල්ලන්ගෙන් දෙවි එවැනි දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් යම් දේවල් කාවැද්දවීම සඳහා ඔවුන් නිදර්ශන හා අද්දැකීම් යොදාගන්නා විට ඔවුන් උගන්වන දේවල් වඩාත් හොඳින් සිතට කාවදින බව ඔබට හැඟෙන්නේ නැද්ද?
14. (අ) ‘ගිලියද්හි බෝල්සම් තෛලය’ ගැන සඳහන් කිරීමෙන් යෙරෙමියා අදහස් කළේ කුමක්ද? (ආ) වැඩිමහල්ලන්ට සභාවේ සිටින අයට සහනය ලබා දිය හැක්කේ කෙසේද?
14 වැඩිමහල්ලන් උගන්වන දේවලින් අප ලබන්නේ මොන තරම් සහනයක්ද! නමුත් යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන්ට ඔවුන්ගේ එඬේරුන්ගෙන් එවැනි සහනයක් ලැබුණේ නැහැ. ඊට හේතුව විස්තර කරමින් යෙරෙමියා මෙසේ පැවසුවා. “අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති. පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති. නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.” (යෙරෙ. 5:31) බොරු එඬේරුන් එසේ ක්‍රියා කළ නිසා යුදෙව්වන් සිටියේ සුවයක් නොලැබුණු රෝගීන් හා සමානවයි. “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය නැද්ද? එහි සුව කරන කිසිවෙකු නැද්ද” කියා යෙරෙමියා ඇසුවේ ඒ නිසයි. (යෙරෙ. 8:22) ගිලියද්හි බෝල්සම් තෛලය ඉතා සුවඳැති, ඖෂධීය ගුණයෙන් පිරි තෛලයක්. ඒ නිසා තුවාල සුව කිරීම සඳහා එම තෛලය යොදාගනු ලැබුවා. අද දින සභාව රැකබලා ගන්නා එඬේරුන් සභාවේ සිටින අයට බයිබලය මත පදනම් මඟ පෙන්වීම් ලබා දීමෙන්, ඔවුන්ව දිරිගැන්වීමෙන්, ඔවුන් වෙනුවෙන් පෞද්ගලිකව යාච්ඤා කිරීමෙන් හා ඔවුන් සමඟ සිට යාච්ඤා කිරීමෙන් මහත් සහනයක් ලබා දෙනවා. එය ඇත්තටම බෝල්සම් තෛලයෙන් ලැබෙන සහනය හා සමානයි.—යාකො. 5:14, 15.
ඔබේ සභාවේ සිටින වැඩිමහල්ලන් ඉගැන්වීම සඳහා යොදාගන්නා විවිධ ක්‍රම අතරින් ඔබේ සිත්ගන්නේ කුමක්ද? ඔවුන්ගේ ඉගැන්වීම් සිතට කාවැදීමට හේතුව කුමක්ද?
“යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි”
15, 16. එඬේරෙක් තම රැළ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? ඒ හා සමානව වැඩිමහල්ලන් සභාවේ සිටින අය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
15 නිරෝගී බැටළු පැටවෙකු අලුතින් රැළට එකතු වන විට එඬේරාට දැනෙන්නේ කියා නිම කළ නොහැකි සතුටක්. තම රැළ රැකබලා ගැනීමට, පෝෂණය කිරීමට තමා දැරූ වෑයමට හොඳ ප්‍රතිඵල ලැබුණා කියන හැඟීම ඔහුට දැනෙනවා. නමුත් ඔහුගේ වැඩ කොටස එතැනින් අවසන් වන්නේ නැහැ. අලුතින් රැළට එකතු වූ පැටවා හොඳින් වර්ධනය වීමට නම් ඌට නිසි පෝෂණයක් හා සැලකිල්ලක් ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් බැටළු පැටවෙකු බිහි වන්නේ දිගු නැට්ටක් ඇතුවයි. ඒ නිසා කුණු ජාරාව ගෑවී පැටවා අපවිත්‍ර වීමට තිබෙන ඉඩකඩ වැඩියි. නමුත් සැලකිලිමත් එඬේරෙක් උන්ව පිරිසිදුව හා නිරෝගීව තබාගැනීම සඳහා පැටවාට අධික වේදනාවක් ඇති නොවන අයුරින් උගේ නැට්ට කපා දමනවා. ඒ හා සමානව සභාව රැකබලා ගන්නා එඬේරුන්ද තම රැකවරණයේ සිටින එක් එක් සාමාජිකයා ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්නවා. (යොහ. 21:16, 17) කෙනෙකු බයිබලය ගැන ඉගෙනගනිමින් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට පියවර ගන්නා විට වැඩිමහල්ලන්ටත් දැනෙන්නේ මහත් සතුටක්. සභාවේ සිටින බාල මහලු සියලුදෙනාම දේවවචනයෙන් හොඳ පෝෂණයක් ලබමින් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සිටිනවා දැකීම ඔවුන්ගේ ආශාවයි. ඒ නිසා ඔවුන් නිතරම සභාවේ සිටින අය ගැන හොඳ අවධානයකින් සිටිමින් ඔවුන්ට අවශ්‍ය උපකාර පිරිනැමීමට සැදී පැහැදී සිටිනවා. ඊට ‘යෙහෝවා දෙවි පවසන දේවල්’ එනම් බයිබලයේ සඳහන් දෙවිගේ වදන් ඔවුන්ට සිහිගැන්වීමද ඇතුළත් වෙනවා.—යෙරෙ. 2:2, 5; 7:5-7; 10:2; තීත. 1:9.
16 දෙවිගේ පණිවිඩ ප්‍රකාශ කිරීමට යෙරෙමියාට නිර්භීතකම අවශ්‍ය වූ ලෙස වැඩිමහල්ලන්ටත් නිර්භීතකම අවශ්‍යයි. විශේෂයෙන්ම කෙනෙකුව වැරදි දෙයක් කිරීමෙන් ආරක්ෂා කරගැනීම සඳහා යම් මඟ පෙන්වීමක් ලබා දීමට සිදු වන අවස්ථාවලදී ඔවුන්ට නිර්භීතකම අවශ්‍යයි. උදාහරණයකට සභාවේ සිටින කෙනෙකු සාතන්ගේ දුෂ්ට සමාජයේ බලපෑමට හසු වී අපවිත්‍ර වීමට යන බවක් වැඩිමහල්ලෙකුගේ අවධානයට ලක් වුණොත් ඔහු හැකි ඉක්මනින්ම එම තැනැත්තාව බේරාගැනීමට පියවර ගන්නවා. සමහරවිට අනතුරේ සිටින පුද්ගලයා වැඩිමහල්ලන්ගෙන් උපකාර පතන්නත් නැතුව ඇති. නමුත් තම රැකවරණය යටතේ සිටින කෙනෙක් අනතුරේ සිටින බවක් පෙනෙන්න තිබියදී ප්‍රේමණීය වැඩිමහල්ලන් ඇස් කන් පියාගෙන සිටින්නේ නැහැ. මන්ද ගැටලුව මඟහැරී යයි කියා සිතා එම තැනැත්තාට උපකාර කිරීමට කිසි පියවරක් නොගත්තොත් අවසානයේදී ඔහුට හෝ ඇයට දෙවිගේ අනුමැතිය නොලැබී යෑමට පවා ඉඩ තිබෙන බව ඔවුන් දන්නවා.—යෙරෙ. 8:11.
17. තම රැකවරණයේ සිටින කෙනෙකුට යම් මඟ පෙන්වීම් ලබා දීමට වැඩිමහල්ලන්ට සිදු වන්නේ මොන වගේ අවස්ථාවලදීද? ඔවුන් එය කළ යුත්තේ කෙසේද?
17 බැටළුවෙක් රැළෙන් වෙන් වී යන බවක් පෙනෙන්න තිබුණොත් සෝදිසියෙන් සිටින එඬේරෙක් ඌව නැවත රැළට එක් කිරීමට විගස පියවර ගන්නවා. (යෙරෙමියා 50:6, 7 කියවන්න.) ඒ හා සමානව අනතුරුදායක මඟක යන අයට ප්‍රේමණීය මෙන්ම ඍජු උපදෙස් දී ඔවුන්ව නැවත නිසි මඟට ගැනීමට වැඩිමහල්ලන්ටත් සිදු වෙනවා. උදාහරණයකට විවාහ ගිවිසගෙන සිටින යුවළක් නිතර නිතර හුදෙකලාවේ කාලය ගත කරන බව වැඩිමහල්ලෙකුගේ අවධානයට ලක් වුණා කියා සිතන්න. එසේ කාලය ගත කිරීමෙන් ඔවුන් දෙදෙනා යම් වරදකට වැටෙන්න ඉඩ තිබෙන නිසා ඔවුන්ට යම් මඟ පෙන්වීම් දීමට එම වැඩිමහල්ලාට සිදු වෙනවා. එසේ කරන විට ඔවුන් දෙදෙනා යම් වරදක් කර තිබෙන බව අඟවමින් ඔවුන්ව අපහසුතාවට පත් කරනවා වෙනුවට හුදෙකලාව කාලය ගත කිරීමෙන් වරදකට වැටිය හැකි පැති ගැන ප්‍රේමණීයව පෙන්වා දීමට ඔහු වගබලා ගන්නවා. අනතුරුදායක මඟක යන අයට වැඩිමහල්ලන් මඟ පෙන්වීම් ලබා දෙන්නේ දෙවි පිළිකුල් කරන දේවල් ඔවුන්ද හෙළාදකින නිසයි. නමුත් ඔවුන් එසේ කරන විට යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නවා. යුදෙව්වන් වැරදි කරමින් සිටියත් “ජනයෙනි, මට අප්‍රසන්න මේ පිළිකුල්සහගත ක්‍රියා සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න” කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඉතා ප්‍රේමණීයවයි. (යෙරෙ. 5:7; 25:4, 5; 35:15; 44:4) යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්නා ප්‍රේමණීය වැඩිමහල්ලන් අප අතර සිටීම ගැන අප කොතරම් සතුටු විය යුතුද!
18. උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීමට වැඩිමහල්ලන් දරන උත්සාහයට ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද?
18 දෙවි යෙරෙමියා මාර්ගයෙන් එලෙස ලබා දුන් මඟ පෙන්වීම් සෑම කෙනෙක්ම පිළි නොගත්තත් සමහරදෙනෙක් ඒවා පිළිගත්තා. බාරුක් එවැනි කෙනෙක්. එක් අවස්ථාවක බාරුක්ගේ ආකල්ප නිවැරදි කිරීම සඳහා යෙරෙමියා ඔහුට යම් උපදෙස් ලබා දුන් විට ඔහු එය පිළිගත්තා. (යෙරෙ. 45:5) එහි ප්‍රතිඵලයක් ලෙස බාරුක්ට දිගටම දෙවිගේ අනුමැතිය ඇතුව සිටින්න හැකි වූ අතර යෙරුසලමේ විනාශයෙන් බේරීමටත් හැකි වුණා. ඒ ගැන යෙරෙමියා කොතරම් සතුටු වන්න ඇද්ද! ඒ හා සමානව තමන් ලබා දෙන මඟ පෙන්වීම් හා උපදෙස් අදාළ කරගැනීමෙන් සභාවේ සිටින සහෝදර සහෝදරියන් සන්තෝෂය අද්දකින ආකාරය දකින විට වැඩිමහල්ලන්ද මහත් සතුටක් ලබනවා. ජීවිත ගලවාගැනීම සඳහා වටිනා උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීමේ වගකීම දිගටම කරන්න එය ඔවුන්ට දිරිගැන්වීමක්.—1 තිමෝ. 4:13, 16.
“සුදුසු ප්‍රමාණයට” හික්මවීම් ලබා දෙයි
19, 20. සභාවේ සිටින කෙනෙකු හිතාමතාම වැරදි ක්‍රියාවල නියැලෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩිමහල්ලන්ට තිබෙන වගකීම කුමක්ද?
19 විනිශ්චයකරුවන් ලෙස කටයුතු කිරීම වැඩිමහල්ලන්ට හිමි තවත් වගකීමක්. සමහර අවස්ථාවලදී හිතාමතා යම් වැරදි ක්‍රියාවල නියැලෙන අයට පසුතැවිලි වීමට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. වැරදි කරමින් සිටි අයට ඔවුන්ගේ වැරදි ක්‍රියා අත්හරින්න කියා දෙවිත් ඉතා ප්‍රේමණීයව නමුත් ඍජුව උපදෙස් දුන්නා. (යෙරෙ. 4:14) සභාවේ සිටින යම් කෙනෙක් උපදෙස් නොසලකාහරිමින් දිගින් දිගටම වැරදි ක්‍රියාවක නියැලෙනවා නම් ඔහු නිසා ඇති විය හැකි නරක බලපෑමෙන් සභාවේ අනිකුත් අයව ආරක්ෂා කරගැනීම සඳහා වැඩිමහල්ලන්ට ඉක්මනින්ම යම් පියවර ගැනීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගනිමින් යුක්තිය ඉටු කිරීම දෙවි වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. බයිබලයේ සඳහන් මඟ පෙන්වීමට අනුව එවැනි කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පවා සිදු විය හැකියි. යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් යොෂියා රජ හොඳ ආදර්ශයක් තැබුවා. ‘ඔහු පීඩිතයන් හා අසරණයන් වෙනුවෙන් යුක්තිය ඉටු කළ’ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ඔහුට ‘යහපත් දේවල් අද්දැකීමට හැකි වුණා.’ ඔහුට එසේ ක්‍රියා කිරීමට හැකි වුණේ ‘ඔහු යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසයි.’ යොෂියා රජු මෙන් ඔබේ සභාවේ සිටින වැඩිමහල්ලන්ද යුක්තිගරුකව ක්‍රියා කරමින් සභාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා විට ඔබට සුරක්ෂිතබවක් දැනෙන්නේ නැද්ද?—යෙරෙ. 22:11, 15, 16.
20 යෙහෝවා දෙවි වරදක් කළ කෙනෙකුට හික්මවීම් ලබා දුන්නත් ඔහු එය කරන්නේ “සුදුසු ප්‍රමාණයට” බව කිසිවිටක අමතක කරන්න එපා. (යෙරෙ. 46:28) සුදුසු ප්‍රමාණයට හික්මවීමේ වැදගත්කම තේරුම්ගෙන සිටින වැඩිමහල්ලන්ද වරදක් කළ කෙනෙකුට යම් හික්මවීම්, අවවාද හෝ උපදෙස් ලබා දෙන්නේ වරද කිරීමට හේතු වූ දේවල් හා වරද ගැන එම පුද්ගලයාට තිබෙන ආකල්ප සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. කෙනෙක් තමා කළ වරද ගැන කිසි පසුතැවිල්ලක් නොපෙන්වනවා නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා. කිසි පසුතැවිල්ලක් නොපෙන්වමින් දිගින් දිගටම වැරදි කරන කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කිරීම නිෂ්ඵල දෙයක් නිසා වැඩිමහල්ලන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන යාච්ඤාවලදී ඔවුන් ගැන සඳහන් කරන්නේ නැහැ.a (යෙරෙ. 7:9, 16) නමුත් දෙවිව ආදර්ශයට ගන්නා වැඩිමහල්ලන්, නැවත දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා කළ යුත්තේ මොනවාද කියා එම තැනැත්තාට සිහිගන්වනවා. (යෙරෙමියා 33:6-8 කියවන්න.) කෙනෙකුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ විට එය අපට දුකක් වුණත් යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති ධර්මිෂ්ඨ මෙන්ම යුක්තිසහගත බවත් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ යහපතක් බවත් අප කිසිවිටක අමතක නොකළ යුතුයි.—විලා. 1:18.
21. වැඩිමහල්ලන් තම වගකීම නිසි ලෙස ඉටු කරන විට එයින් සභාවේ සිටින අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඊට දායක වීමට ඔබට හැක්කේ කෙසේද?
21 දෙවිගේ රැළ රැකබලා ගැනීමේ බැරෑරුම් වගකීම ඉටු කරන එඬේරුන්, යෙරෙමියා මාර්ගයෙන් දෙවි ලබා දී තිබෙන මඟ පෙන්වීම් හොඳින් සිතට ගැනීම ඉතා වැදගත්. ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම් හොඳින් සෝදිසි කර බලා ඒ අනුව ක්‍රියා කරන විට සභාවේ සිටින අයව හොඳින් පෝෂණය කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ සිටින සෑම කෙනෙකුටම දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගත හැකියි. (ගීතා. 23:1-6) එසේනම් ‘දෙවි තම සෙනඟට ඉගැන්වීමට, මඟ පෙන්වීමට හා රැකවරණය ලබා දීමට පත් කර තිබෙන එඬේරුන්ට මම සහයෝගය දක්වනවාද’ කියා අප එක් එක් කෙනා අපෙන්ම අසාගැනීම ඉතා වැදගත්.—යෙරෙ. 3:15; 23:4.
වැඩිමහල්ලන් නිර්භීතව ක්‍රියා කළ යුත්තේ මොන වගේ අවස්ථාවලදීද? විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කරන විට දෙවි වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?