ඔබව සන්තෝෂවත් කරන්න ධනයට හැකිද?
සාලමොන් රජ මුදල්වල වටිනාකම දැන සිටියා. ඔහු මෙසේ ලිව්වා: “මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දේටත් මුදල් අවශ්‍ය ය.” (දේශනාකාරයා 10:19, නව අනුවාදය) මිතුරන් සමඟ ආහාරගැනීම වැඩි සතුටක් ගෙන දෙන දෙයක් විය හැකි වුණත්, භෝජනයක් පිළියෙළ කිරීමට හෝ මුද්‍රිකපානය ලබාගැනීමට ඔබට මුදල් අවශ්‍යයි. ද්‍රව්‍යමය දේවල් ලබාගැනීමේ මාධ්‍යය මුදල් වන නිසා එය ‘කොයි දේටත් අවශ්‍යයි.’
සාලමොන් අතිමහත් ධන සම්භාරයකට හිමිකම් කියූ කෙනෙක් වුවත්, ධනයට සීමාවන් තිබෙන බව ඔහු දැන සිටියා. ද්‍රව්‍යමය දේවල් මුල් කරගත් ජීවන රටාවක් සන්තෝෂය සඳහා දොරටුව විවර නොකරන බව ඔහු තේරුම්ගත්තා. ඔහු මෙසේ ලිව්වා: “රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි.”—දේශනාකාරයා 5:10.
ධනවත් කෙනෙක් තව තවත් ධන සම්පත් අත් පත් කරගන්නවායයි සිතන්න. සාලමොන් මෙසේ පවසනවා: “දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති.” (දේශනාකාරයා 5:11) පුද්ගලයෙකුගේ “දේපළ” නැතහොත් වස්තුව වැඩි වන විට එය රැකබලා ගැනීමට තව තවත් මිනිසුන් අවශ්‍යයි. අලුත්වැඩියා කරන්නන්, භාරකරුවන්, සේවකයන්, ආරක්ෂකයන් හා තවත් අයගේ සේවාවන්ට ගෙවීම් කළ යුතුයි. ඒ හේතුවෙන් මේ දේවලට වැඩි වැඩියෙන් මුදල් අවශ්‍යයි.
එවැනි තත්වයක් පුද්ගලයෙකුගේ සන්තෝෂයට කෙළින්ම බලපානවා. ධනවතෙක් බවට පත් වූ දුප්පත් මිනිසෙකු කළ විස්තරයක් ගැන පොදු යුගයට පෙර සිව්වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥයෙකු වන සෙනෆන් මෙසේ ලිව්වා:
“මා සතු දේවල් වැඩි වන තරමට මම ජීවත් වන්නේ වැඩි සතුටකින් කියා . . . ඇත්තටම ඔබ සිතන්නේ ඇයි?” ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “මම දුප්පත්ව සිටි කාලයේදී කෑමෙන් බීමෙන් හා සැතපීමෙන් ලැබූ සතුටට වඩා වැඩි සතුටක් මට දැන් ඒ දේවලින් කොහොමටවත් ලැබෙන්නේ නැති බව ඔබ දන්නේ නැහැ.” බොහෝ දේවල් ඇතුව සිටීමෙන් මට ලැබෙන එකම වාසිය, තවත් දේවල් බලාකියා ගැනීමටත් අනිත් අයට දේවල් වැඩියෙන් බෙදා දෙන්නත් බැඳී සිටීමයි; ඒ වගේම මම කලින් අද්දැක්කාට වඩා දේවල් බලාගැනීමේදී වෙහෙසකාරිබවක් දැනෙනවා. දැන් ගෙවැසියන් බොහෝදෙනෙක් ආහාර පාන සඳහා ඇඳුම් පැළඳුම් සඳහා මා මත යැපෙනවා; සමහර අයට දොස්තරලා අවශ්‍යයි; බැටළු රැළට වෘකයන් පහර දුන්නා කියා හෝ ගොනුන් ප්‍රපාතයකට වැටී මැරුණා කියා හෝ ගව රැළේ රෝගයක් පැතිරී තියෙනවා කියා හෝ පවසමින් කෙනෙක් මා ළඟට එනවා. ඉතින් මට හිතෙන්නේ . . . මම දේපොළ ටිකක් භුක්ති විඳින විට අද්දැක්ක කරදරවලට වඩා දැන් ධන සම්පත් බොහොමයක් භුක්ති විඳීමෙන් අද්දකින කරදර වැඩියි කියලයි.”
මිනිසුන් වෙන කවරදාටත් වඩා ධන සම්පත් වැඩියෙන් ලුහුබැඳීමට තවත් හේතුවක් වන්නේ ‘වස්තුවේ රැවටිලිකාරකම’ යනුවෙන් යේසු හැඳින්වූ දෙයින් ඔවුන් මුළා වී සිටීමයි. (මතෙව් 13:22) ඔවුන් මහත් උනන්දුවකින් සොයන මේ ධනයෙන් ඔවුන් අත් කරගැනීමට බලාපොරොත්තු වුණු තෘප්තිය හෝ සන්තෝෂය ලබන්න ඔවුන්ට කවදාවත් නොහැකි නිසා ඔවුන් රැවටීමකට හසු වී තිබෙනවා. සීමිත ධන සම්පත්වලින් කළ නොහැකි දේවල් මහත් ධන සම්පතකින් කළ හැකි බවට ඔවුන් හේතු දක්වනවා. එනිසා තව තවත් දේවල් අත් කරගැනීමට නිරතුරුවම දැඩි වෑයමක් දරමින් සිටිනවා.
මුදලට ඇති ප්‍රේමය සන්තෝෂයට මඟ පාදන්නේ නැහැ
තමාගේ වස්තුව ගැන සිත සිතා සිටීම හේතුවෙන් ධනවත් මිනිසෙකුට රාත්‍රියේ සුව නින්දක් නොලැබෙන්න පුළුවන්. සාලමොන් මෙසේ ලියනවා: “වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.”—දේශනාකාරයා 5:12.
යමෙකුගේ ධන සම්පත් අහිමි වී යෑමට තිබෙන ඉඩ කඩ ගැන අධික ලෙස කනස්සලු වන විට හරි හැටි නින්ද නොයෑමට වඩා බොහෝ දේවල් එයට අයත් වෙනවා. මසුරු තැනැත්තෙක් ගැන විස්තර කරමින් සාලමොන් මෙසේ ලියනවා: “ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ.” (දේශනාකාරයා 5:17) තමා සතු ධන සම්පත්වලින් සන්තෝෂ වෙනවා වෙනුවට, කෑම බීමවලට වියදම් කරන්න පවා අකමැතිව සිටීමෙන් ඔහු කෑම කන්නේ හරියට ‘වේදනාවෙන්’ වගෙයි. එවැනි මානසික අක්‍රමිකතාවක් දුර්වල සෞඛ්‍යයකට හේතු විය හැකියි. ඒ සමඟම දුර්වල සෞඛ්‍යය මසුරු තැනැත්තාව වඩ වඩා ධන සම්පත් එක්රැස් කිරීමෙන් වළක්වන නිසා එය ඔහුගේ කාන්සාව වැඩි කරවනවා.
සමහරවිට ප්‍රේරිත පාවුල් ලියූ මේ දෙය ඔබට එයින් මතකයට නැඟෙන්න පුළුවන්: “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී . . . බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” (1 තිමෝති 6:9, 10) මුදල් පසුපස හඹායෑමේදී මිනිසුන් වංචා කරනවා, බොරු කියනවා, සොරකම් කරනවා, තමන්වම අපචාර දේවලට යොදවනවා, එමෙන්ම මිනිසුන්ව පවා මරනවා. එහි ප්‍රතිඵලය, ධනය අත් කරගන්න හෝ එය දිගටම රැකගන්න වෑයම් කිරීම නිසා චිත්තවේගී, ශාරීරික හා ආත්මික වේදනාවන්ගෙන් ඇනගත් පුද්ගලයෙක්. එය සන්තෝෂයට මාවත මෙන් පෙනෙනවාද? ඇත්තෙන්ම නැහැ!
අප සතු දේවලින් සෑහීමට පත්වීම
ධනය පිළිබඳ සමබර දෘෂ්ටියක් ගැන තවත් දේවල් පවසන්න සාලමොන්ට තිබුණා. ඔහු මෙසේ ලිව්වා: “ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත. බලව, මා දුටු කාරණයක් නම් [දෙවි] යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.”—දේශනාකාරයා 5:15, 18.
කවදාවත් අපිට භුක්ති විඳින්න ඉඩක් නොලැබිය හැකි කාලයක් සඳහා ධන සම්පත් එක්රැස් කර තබාගන්න කරන දැඩි වෙහෙසීම මත සන්තෝෂය රඳා නොපවතින බව එම වදන්වලින් පැහැදිලියි. අපි වෙහෙස මහන්සි වී කරන වැඩවල ප්‍රතිඵලවලින් සෑහීමට පත්වීම හා සතුටු වීම මගින් ඊට වඩා වැඩි යහපතක් ගෙන දෙනවා. ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ තම දේවානුභාවය ලත් ලිපියෙහි ඒ හා සමාන අදහසක් මෙසේ ඉදිරිපත් කළා: “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.”—1 තිමෝති 6:7, 8; සසඳන්න ලූක් 12:16-21.
සන්තෝෂයට යතුර
සාලමොන් ධනය මෙන්ම දේවප්‍රඥාව යන දෙකම බහුල ලෙස අත් කරගත්තා. නමුත් ඔහු සන්තෝෂය සම්බන්ධ කර දැක්වූයේ මුදල් සමඟ නොව ප්‍රඥාව සමඟයි. ඔහු මෙසේ පැවසුවා: “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද [විචාර බුද්ධිය, NW] ලබාගන්න මනුෂ්‍යයාද [සන්තෝෂවත්හුය, NW]. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ [සන්තෝෂවත්හුය, NW].”—හිතෝපදේශ 3:13-18.
ප්‍රඥාව ද්‍රව්‍යමය වස්තුවලට වඩා උතුම් දෙයක් වන්නේ ඇයි? සාලමොන් මෙසේ ලිව්වා: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) තමන්ට අවශ්‍ය දේවල් මිල දී ගැනීමට එය සතු තැනැත්තාට අවස්ථා සලසා දෙමින් මුදල් යම් ප්‍රමාණයකට ආරක්ෂාව සපයනවා වුණත්, තම ජීවිතය අනතුරකට පත් කළ හැකි අවදානම්වලින් පුද්ගලයෙකුව බේරාගත හැක්කේ ප්රඥාවටයි. පුද්ගලයෙකුව අකල් මරණයෙන් ආරක්ෂා කරගන්න සැබෑ ප්‍රඥාවට හැකියාවක් තිබෙනවා පමණක් නොව, නමුත් එය දෙවි කෙරෙහි සුදුසු ගෞරවයක් මත පදනම් වී තිබෙන නිසා එය සදාකාල ජීවනය අත් කරගැනීමටද මඟ පාදන්න යනවා.
දේවප්‍රඥාව සන්තෝෂයට මඟ පෙන්වීමට හේතුව කුමක්ද? ඊට හේතුව සැබෑ සන්තෝෂය පැමිණෙන්නේ යෙහෝවා දෙවිගෙන් පමණක් වීමයි. අව්‍යාජ සන්තෝෂය අත් පත් කරගත හැක්කේ මහෝත්තමයාට කීකරු වීම මගින් පමණක් බව අද්දැකීමෙන් ඔප්පු වෙනවා. කල්පවතින සන්තෝෂය රඳා පවතින්නේ දෙවි සමඟ අනුමැතිය ලත් ස්ථාවරයක් ඇතුව සිටීම මතයි. (මතෙව් 5:3-10) බයිබල් පාඩමක් මගින් අපි ඉගෙනගන්නාවූ දේවල් අදාළ කරගැනීමෙන් අපි “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” වැඩිවර්ධනය කරගන්න යනවා. (යාකොබ් 3:17) කවදාවත් ධනයට ගෙන දිය නොහැකි සන්තෝෂය එය අපට ලබා දෙන්න යනවා.
[4, 5වන පිටුවේ පින්තූර]
පුද්ගලයෙකුව සන්තෝෂවත් කරන දෙය සාලමොන් රජ දැන සිටියා. ඔබ දන්නවාද?