ඇත්තටම සදාකල් ජීවත් විය හැකිද?
“[ආචාරීනි], සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් [කරම්ද?]”—මතෙව් 19:16.
1. අපේ මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ ගැන කුමක් කිව හැකිද?
බයිබලයේ අහෂ්වේරොෂ් කියා හඳුන්වන පර්සියාවේ Iවන තක්ෂස්තා රජ, පො.යු.පෙ. 480දී යුද්ධයකට පෙර තම බලඇණි පරීක්ෂා කරමින් සිටියා. (එස්තර් 1:1, 2) ග්‍රීක් ඉතිහාසඥ හිරොඩටස්ට අනුව, තම මිනිසුන්ව පරීක්ෂා කරද්දී රජ කඳුළු සැලුවා. ඒ ඇයි? හේතුව ගැන තක්ෂස්තා මෙහෙම පැවසුවා: “මිනිසාගේ ජීවිතයේ කෙටි ආයුෂ ගැන හිතද්දී ඒක මට දුකක්. අද ඉඳන් අවුරුදු 100ක් ගෙවුණට පස්සේ මේ මිනිසුන් එක්කෙනෙක්වත් ජීවතුන් අතර ඉන්න එකක් නැහැ.” කනගාටුදායක ලෙස ජීවිතය කෙටි බවත්, කිසිවෙකුට වයසට යෑමට, ලෙඩ රෝග වැළඳීමට සහ මරණයට පත්වීමට අවශ්‍ය නොවන බවත් ඔබ සැලකිල්ලට ගෙන ඇති බව ස්ථිරයි. ආහ්, අපිට තුරුණු සෞඛ්‍යයක් ඇතුව සන්තෝෂයෙන් ජීවිතය භුක්ති විඳින්න පුළුවන් නම්!—යෝබ් 14:1, 2.
2. බොහෝදෙනෙකුට තිබෙන්නේ කුමන බලාපොරොත්තුවද? එමෙන්ම මන්ද?
2 කැපීපෙනෙන ආකාරයට, 1997 සැප්තැම්බර් 28වනදා ද නියූ යෝක් ටයිම්ස් සඟරාව (ඉංග්‍රීසියෙන්) “ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍යයි” යන ලිපිය පළ කළා. එය පර්යේෂකයෙක් කී මේ වචන උපුටා දැක්වුවා: “සදාකාලයටම ජීවත් වෙන්න යන පළමු පරම්පරාව අපි බව මම තදින්ම විශ්වාස කරනවා.” සදාකාල ජීවනය ලබාගත හැකි දෙයක් කියා ඔබත් විශ්වාස කරනවා වෙන්න පුළුවන්. අපට මේ පොළොවේ සදාකාලයටම ජීවත් විය හැකි බවට බයිබලය පොරොන්දු වන නිසා ඔබත් එසේ සිතනවා විය හැකියි. (ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4) සමහරුන් සදාකාල ජීවනය ලබන්න පුළුවන් බව විශ්වාස කරන්නේ බයිබලයේ තියෙන හේතූවලට පිටින් ඇති හේතු නිසායි. මෙම හේතු කීපයක් සලකා බැලීම, සදාකාල ජීවිතය ඇත්තටම ලබාගත හැකි බව අගය කිරීමට අපට උපකාර කරයි.
සදාකාලයටම ජීවත් වීම සඳහා නිර්මාණය කර ඇත
3, 4. (අ) අපට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කියා බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ ඇයි? (ආ) තමා නිර්මාණය වූ ආකාරය ගැන දාවිත් පැවසුවේ කුමක්ද?
3 මනුෂ්‍යවර්ගයා සදාකාලයටම ජීවත් විය යුතුයි කියා බොහෝදෙනෙකු විශ්වාස කරන්න එක හේතුවක් තමයි, අපව මවා තියෙන පුදුමාකාර අන්දම. උදාහරණයක් හැටියට, මවගේ ගර්භාශය තුළ අපව නිර්මාණය වී තිබෙන ආකාරය ඇත්තෙන්ම ආශ්චර්යයක්! වයසට යෑම පිළිබඳව ප්රමුඛ පෙළේ ප්‍රවීණයෙක් මෙසේ ලිව්වා: “ගැබ්ගැනීමේ සිට ලිංගික පරිණතියටත්, එතැන් සිට වැඩිහිටිභාවය කරාත් අපව ගෙන යන්නාවූ ආශ්චර්යයන් සිදු කිරීමෙන් පසු, පෙනෙනාකාරයට එම ආශ්චර්යයන් සදාකාලයටම පවත්වාගැනීම සඳහා වඩාත් සරල ක්‍රියාවලියක් බිහි කිරීමට ස්වභාවධර්මයා තෝරා නොගත්තේය.” ඔව්, ආශ්චර්යවත් ලෙස අපව නිර්මාණය කර තිබෙන ආකාරය සැලකිල්ලට ගැනීමේදී, අපට මියයෑමට සිදු වී තිබෙන්නේ මන්ද යන පැණය ඉතිරිව පවතිනවා.
4 අදදින සිටින විද්‍යාඥයන්ට මෙන් ඇත්තටම මවගේ ගර්භාශයේ අභ්‍යන්තරය බැලීමට නොහැකි වුණත්, බයිබල් ලේඛක දාවිත් අවුරුදු දහස් ගණනකට ප්‍රථම එම අතිමහත් ආශ්චර්යයන් ගැන මෙනෙහි කළා. ‘තම මවගේ කුසෙහි තමාව වසා තැබූ බව’ ලියූ විට, දාවිත් තමාගේම නිර්මාණය වීම ගැන මෙනෙහි කළා. එය සිදු වූ අවස්ථාවේදී ‘ඔහුගේ වකුගඩු සෑදූ බව’ ඔහු පැවසුවා. ‘මා රහසින් මවනු ලැබූ කල’ කියා ඔහු පැවසූ විට, තම “ඇටකටු” නිර්මාණය වීම ගැනත් ඔහු පැවසුවා. ඉන්පසු දාවිත් “තම කලලය” ගැන කතා කළ අතර, එම කලලයට තම මවගේ ගර්භාශය සමඟ තිබෙන සම්බන්ධය ගැන ඔහු මෙසේ සඳහන් කළා: “මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.”—ගීතාවලිය 139:13-16, NW.
5. මවගේ ගර්භාශය තුළ අපව නිර්මාණය වීමේදී කිනම් ආශ්චර්යයන් සිදු වෙනවාද?
5 පැහැදිලිවම, දාවිත්ගේ නිර්මාණය වීම සම්බන්ධව වචනානුසාරයෙන්ම අතින් ලියැවුණු සටහනක් ඔහුගේ මවගේ ගර්භාශය තුළ තිබුණේ නැහැ. නමුත්, ඔහුගේ “වකුගඩු,” ඔහුගේ “ඇටකටු” සහ ඔහුගේ අනිකුත් ශරීරාංග නිර්මාණය වීම සම්බන්ධයෙන් කළ දාවිත්ගේ මෙනෙහි කිරීමේදී, මේවා ගොඩනැඟීම සැලැස්මකට අනුව, එනම් සෑම දෙයක්ම හරියට ‘ලියනු ලැබුවාක්’ මෙන් සිදු වූ බව ඔහුට පෙනෙන්න තිබුණා. එය හරියටම, බබෙක් බිහි වන ආකාරය ගැන විස්තර සපයන සවිස්තර තොරතුරු සහිත පොත්වලින් පිරුණු විශාල කාමරයක් තම මවගේ ගර්භාශය තුළ සංසේචනය වූ සෛලයේ තිබුණාක් මෙනි. තවද එම සංකීර්ණ තොරතුරු ඊළඟට බිහි වන සෑම සෛලයකටම සපයා දෙනු ලැබුවා. එමනිසා ‘වර්ධනය වන කලලයක් තුළ තිබෙන සෑම සෛලයකම සැලසුම් අඩංගු සම්පූර්ණ පොත් රාක්කයක් තිබෙනවා’ යන රූපාලංකාරය විද්‍යාත්මක ලෝකය (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාව භාවිත කරනවා.
6. දාවිත් ලියූ ආකාරයට, අපව ‘පුදුම ලෙස සාදා තිබෙනවා’ කියා පැවසීමට ඇත්තේ කිනම් සාක්ෂිද?
6 අපගේ ශරීරවල තිබෙන ආශ්චර්යවත් ක්‍රියාකාරිත්වය ගැන ඔබ කවදා හරි කල්පනා කර තිබෙනවාද? ජීව විද්‍යාඥ ජැරඩ් ඩයමන්ඩ් මෙසේ සඳහන් කළා: “අප අපේ බඩවැල් වටා ඇති සෛල දවස් කිහිපයකට වතාවක්ද, මූත්‍රාශය වටා ඇති සෛල මාස දෙකකට වතාවක්ද, රතු රුධිරාණු සෛල මාස හතරකට වතාවක්ද අලුත් කරනවා.” ඔහු මෙලෙස නිගමනය කළා: “ස්වභාව ධර්මය සෑම දවසකම අපව වෙන් කර, යළිත් එකට එක්කාසු කරනවා.” ඇත්තෙන්ම එයින් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ, අපි කොච්චර කාලයක් ජීවත් වුණත්, ඒ කියන්නේ අවුරුදු 8ක්, 80ක් හෝ 800ක් වුණත්, අපේ භෞතික ශරීරය තරුණව පවතිනවා කියන එකයි. විද්‍යාඥයෙක් වතාවක් මෙහෙම තක්සේරු කළා: “අවුරුද්දකදී දැන් අප තුළ ඇති පරමාණුවලින් ආසන්න වශයෙන් සියයට 98ක්, අප ගන්නා වාතය, කෑම සහ බීමවල ඇති පරමාණු මගින් අලුත් කරනවා.” ඇත්තවශයෙන්ම, දාවිත් ප්‍රශංසා කළ ආකාරයට අපව ‘පුදුම ලෙස සාදා තිබෙනවා.’—ගීතාවලිය 139:14.
7. අපගේ භෞතික ශරීරවල නිර්මාණය මත පදනම්ව, සමහරුන් නිගමනය කර ඇත්තේ කුමක්ද?
7 අපගේ භෞතික ශරීරවල නිර්මාණය මත පදනම්ව, වයසට යෑම සම්බන්ධයෙන් එක් බලධාරියෙක් මෙහෙම පැවසුවා: “වයසට යෑම සිදු විය යුත්තේ මන්ද යන්නට හේතුවක් පෙනෙන්න නැහැ.” පෙනෙන ආකාරයට අපි සදාකාලයටම ජීවත් විය යුතුයි. ඒ නිසායි මනුෂ්‍යයන් මේ ඉලක්කය ඔවුන්ගේ තාක්ෂණය තුළින් අත් කරගන්න උත්සාහ කරන්නේ. මෑතකදී මරණයෙන් ජයගැනීම (ඉංග්‍රීසියෙන්) නමැති තම පොතේ ආචාර්ය ඇල්වින් සිල්වස්ටයින් විශ්වාසයෙන් යුතුව මෙහෙම ලිව්වා: “අපි ජීවිතයේ සැබෑ ස්වභාවය පිළිබඳ අවුල විසඳන්නයි යන්නේ. එවිට පුද්ගලයෙක් වයසට යන්නේ කොහොමද කියල . . . අපි තේරුම්ගන්න යනවා.” මොන ප්රතිවිපාකය සමඟද? ඔහු අනාවැකි පළ කළේ මෙහෙමයි: “මරණයෙන් ජයගැනීමට ඉඩ දෙන ඥානය සදාකාලික තරුණභාවය ගෙනෙනු ඇති නිසා ‘මහලු’ අය තවත් ඉන්න යන්නේ නැහැ.” මනුෂ්‍ය සැකැස්ම ගැන කරන නූතන විද්‍යාත්මක පරීක්ෂණ සැලකිල්ලට ගැනීමේදී සදාකාලයටම ජීවත් වීමේ සංකල්පය, යථාර්ථයෙන් බොහෝ දුරස්තර දෙයක් ලෙස පෙනෙන්න තිබෙනවාද? සදාකාල ජීවිතය ලබාගත හැකි බව විශ්වාස කිරීමට, තවත් ඊටත් වඩා ප්‍රබල හේතුවක් තිබෙනවා.
සදාකාලයටම ජීවත් වීමට ඇති ආශාව
8, 9. ඉතිහාසය පුරා මනුෂ්‍යයන්ට තිබී ඇත්තේ කිනම් ස්වාභාවික ආශාවද?
8 සදාකාලයටම ජීවත් වීම මනුෂ්‍යයන්ගේ ස්වාභාවික ආශාවක් බව, ඔබ කවදා හරි සැලකිල්ලට ගෙන තිබෙනවාද? ජර්මානු සඟරාවකට වෛද්‍යවරයෙක් මෙහෙම ලිව්වා: “සදාකාලයටම ජීවත් වීමට වූ මනුෂ්‍යයාගේ සිහිනය, මනුෂ්‍යවර්ගයාගේ අතීතය තරම්ම පැරණි ඇති.” සමහර ඉපැරණි යුරෝපීයයන්ගේ විශ්වාසයන් විස්තර කරමින්, නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙහෙම සඳහන් කරනවා: “සුදුස්සන් රන් සෙවිල්ලූ බබළන ශාලාවල සදාකාලයටම ජීවත් වෙන්න යනවා.” ආහ්, සදාකාල ජීවනයේ ආශාව අත් කරගන්න මිනිසුන් දරා ඇති වෑයම ගිහින් තියෙන දුර!
9 අමෙරිකානා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) විස්තර කරන්නේ, අවුරුදු 2,000කට කලින් චීනයේ, “ටාඕ ධර්මයේ පූජකයන්ගේ නායකත්වය යටතේ අධිරාජ්‍යවරුන් සහ [සාමාන්‍ය] ජනයා යන දෙපිරිසම, තමන්ගේ වැඩ කටයුතු පසෙකලා ජීවනය ගෙන දෙන අමෘත සොයමින් ගිය” බවයි. ඒක, තාරුණ්‍යය ළඟා කරවන උල්පතක් හැටියට හැඳින්වුවා. විවිධ මිශ්‍රණ මෙන්ම විවිධාකාර බීම වර්ග පාවිච්චි කිරීමෙන් පවා ඔවුන්ට තරුණව ඉන්න පුළුවන් කියා ඉතිහාසය පුරාම මිනිසුන් විශ්වාස කර තියෙනවා.
10. දිගු කාලීන ජීවිතයක් අත් කරගැනීම සඳහා වර්තමානයේදී කිනම් උත්සාහයන් ගෙන තිබේද?
10 සදාකාල ජීවනය සඳහා තිබෙන මනුෂ්‍යයාගේ සහජ ආශාව මුදුන් පමුණුවාගන්න උත්සාහ කරන වත්මන් වෑයම්වලද වෙනසක් නැහැ. ප්‍රකට උදාහරණයක් නම්, අසනීප වී මියගිය කෙනෙකුව අයිස්වල මිදෙන්න සලස්වා තබාගැනීමේ ක්‍රමයයි. මෙය කර තිබුණේ, අනාගතයේදී රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයාගත් දවසක, යළි ජීවිතය ලබා දීමේ බලාපොරොත්තුවෙනුයි. ක්රයොනික්ස් ලෙස හඳුන්වන මෙම ක්‍රමයට පක්ෂව කටයුතු කරන කෙනෙක් මෙහෙම ලිව්වා: “අපේ ශුභවාදී හැඟීම සාධාරණයි කියා ඔප්පු වුණොත්, අපේ අධ්‍යයනය තුළින් මහලු වයසේ ආබාධ ඇතුළු සියලුම හානි සුව කරන්නේ හෝ යථා තත්වයට පත් කරන්නේ කොහොමද කියා සොයාගන්න ලැබුණොත්, එවිට, දැන් ‘මියයන’ අය අනාගතයේදී දීර්ඝ වූ අනන්ත ජීවිතයක් අද්දකින්න යනවා.”
11. මනුෂ්‍යයන් සදාකාලයටම ජීවත් වීමට ආශා වන්නේ මන්ද?
11 සදාකාලයටම ජීවත් වීමේ මෙම ආශාව අපේ සිතුවිලි තුළට මෙතරම් තදින් කාවැදී තිබෙන්නේ මන්ද කියා ඔබ අසන්න ඉඩ තිබෙනවා. ඊට හේතුව, ‘දෙවි ලෝකය [සදාකාලය, 1938 අනුවාදයේ පාදසටහන] ඔවුන්ගේ සිත්වල තබා තිබීමද?’ (දේශනාකාරයා 3:11) මෙය බැරෑරුම්ව හිතන්න ඕනෙ කාරණයක්! නිකම් සිතන්න: අප විසින් ඒ ආශාව තෘප්තිමත් කරගැනීම දෙවිගේ අරමුණ වුණේ නැත්නම්, අනන්තය සඳහා ආශාව, ඒ කියන්නේ සදාකාලයටම ජීවත් වීමේ ආශාව අපට උරුම වී තිබෙන්නේ ඇයි? එමෙන්ම, අපව සදාකාලයටම ජීවත් වීමේ ආශාව ඇතුව මවා කිසිදාක එය අත් කරගැනීමට ඉඩ නොදී අපව අසහනයට පත් කිරීම ඔහු කරන ප්‍රේමනීය දෙයක්ද?—ගීතාවලිය 145:16.
අප විශ්වාස කළ යුත්තේ කාවද?
12. සමහරුන්ට තිබෙන්නේ කිනම් නිසැකභාවයක්ද? නමුත් එය හොඳ පදනමක් මත ගොඩනැඟු දෙයක් කියා ඔබ විශ්වාස කරනවාද?
12 ඒත්, අප සදාකාල ජීවනය අත් කරගැනීම සඳහා විශ්වාසය තැබිය යුත්තේ කොතැනකද, ඒ වගේම කුමක් මතද? විසිවන හෝ 21වන සියවසේ මිනිස් තාක්ෂණය මතද? ද නියූ යෝක් ටයිම්ස් සඟරාවේ “ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍යයි” යන ලිපිය, “තාක්ෂණය නමැති අලුත් දෙවියෙක්” ගැනත්, “තාක්ෂණයට කළ හැකි දේවල් පිළිබඳ උද්යෝගය” ගැනත් කතා කළා. “වයසට යෑම නැවැත්වීම සහ සමහරවිට ඒක අනිත් පැත්ත හැරවීම සඳහා ප්රවේණි වැඩිවර්ධනය කිරීමේ ශිල්ප ක්‍රම අවශ්‍ය වෙලාවට [අපිට] ලබාගන්න පුළුවන් කියා . . . ඉතා නිසැකභාවයෙන්” යුතුව එක් පර්යේෂකයෙක් පැවසූ බව කියැවෙනවා. ඒ වුණත්, වයසට යෑම නැවැත්වීමට හෝ මරණය ජයගැනීමට මනුෂ්‍යයන් දරා ඇති වෑයම් සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඔප්පු වී තිබෙනවා.
13. අප සදාකාලයටම ජීවත් වීම අරමුණු කළ බව, අපගේ මොළයේ ව්‍යූහයෙන් පෙන්නුම් කරන්නේ කෙසේද?
13 සදාකාල ජීවනය අත් කරගැනීමට කිසිදු මඟක් නැති බව මෙයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ! මඟක් තිබෙනවා! ඉගෙනගැනීම සඳහා අසීමිත හැකියාවක් තිබෙන අපේ පුදුමාකාර මොළයේ ව්‍යූහය දෙස බලද්දී මෙය අපට ඒත්තු යා යුතුයි. අණුක ජීව විද්‍යාඥ ජේම්ස් වොට්සන් අපේ මොළය “අපේ විශ්වයේ දැනට සොයාගෙන ඇති සංකීර්ණම දෙය” ලෙස හැඳින්වුවා. එමෙන්ම ස්නායු වෛද්‍ය රිචඩ් රෙස්ටැක් මෙසේ පැවසුවා: “විශ්වයේ කොහේවත් එහි සංකීර්ණත්වයට කිට්ටුවෙන්වත් යන කිසිම දෙයක් නැහැ.” අප ජීවිතය සදාකාලිකව භුක්ති විඳීම අරමුණ නොවුණා නම්, අසීමිත තොරතුරු ප්‍රමාණයක් රැස් කිරීමේ සහ උරාගැනීමේ හැකියාව ඇති මොළයක් සහ සදාකාලයටම ක්‍රියා කිරීමට නිර්මාණය කළ ශරීරයක් අපට තිබෙන්නේ මන්ද?
14. (අ) බයිබල් ලේඛකයන් එළඹෙන්නේ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් කුමන නිගමනයටද? (ආ) අපගේ විශ්වාසය මනුෂ්‍යයන් මත තබනවා වෙනුවට දෙවි මත තැබිය යුත්තේ මන්ද?
14 එසේනම්, අප එළඹිය යුතු එකම සාධාරණ මෙන්ම සැබෑ නිගමනය කුමක්ද? සදහටම ජීවත් වීමට හැකි වන ලෙස අපව නිර්මාණය කර මැව්වේ සියලු බලැති, බුද්ධිමත් මැවුම්කාරයෙක් බව නෙවෙයිද? (යෝබ් 10:8; ගීතාවලිය 36:9; 100:3; මලාකී 2:10; ක්‍රියා 17:24, 25) එමනිසා, බයිබලයේ ගීතිකාකරුගේ මෙම අනුභාව ලත් ආඥාවට අප ඥානවන්ත ලෙස ඇහුම්කන් දිය යුතු නොවේද? “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.” මනුෂ්‍යයන් මත විශ්වාසය නොතැබිය යුත්තේ ඇයි? මන්දයත්, ගීතිකාකරු මෙසේ ලිවූ නිසයි: “ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.” ඇත්තෙන්ම, සදහටම ජීවත් වීමේ හැකියාව තිබුණත්, මරණය ඉදිරියේ මනුෂ්‍යයන් අසරණයි. ගීතිකාකරු මෙලෙස නිගමනය කරයි: ‘දෙවි වූ යෙහෝවා කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ සන්තෝෂවත්ය.’—ගීතාවලිය 146:3-5.
ඇත්තටම එය යෙහෝවාගේ අරමුණද?
15. අප සදාකාලයටම ජීවත් වීම දෙවිගේ අරමුණ බව පෙන්වන්නේ කුමක්ද?
15 ඒත්, අපි සදාකාල ජීවනය භුක්ති විඳීම ඇත්තෙන්ම දෙවිගේ අරමුණද කියා ඔබ අසන්න පුළුවන්. ඔව්, ඇත්තෙන්ම! ඔහුගේ වචනය බොහෝ වාරයක් එය පොරොන්දු වෙනවා. “[දෙවිගේ] දීමනාව නම්, . . . සදාකාල ජීවනයය” කියා බයිබලය අපට සහතික වෙනවා. දෙවිගේ සේවකයෙකු වන යොහන් මෙසේ ලිව්වා: “[දෙවි] අපට පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය.” යෞවනයෙක් යේසුගෙන් මෙසේ ඇසීම පුදුමයක් නෙමෙයි: “[ආචාරීනි], සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් [කරම්ද?]” (රෝම 6:23; 1 යොහන් 2:25; මතෙව් 19:16) ඇත්තවශයෙන්ම “බොරු නොකියන [දෙවි] පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ . . . සදාකාල ජීවනයේ බලාපොරොත්තුව” ගැන ප්‍රේරිත පාවුල් ලිව්වා.—තීතස් 1:1, 2.
16. දෙවි “පූර්ව කාලවලට ප්‍රථමයෙන්” සදාකාල ජීවනය පොරොන්දු වී තිබුණේ කුමන අර්ථයෙන් විය හැකිද?
16 දෙවි “පූර්ව කාලවලට ප්‍රථමයෙන්” සදාකාල ජීවනය ගැන පොරොන්දු වුණා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මුල් යුවළ වන ආදම් සහ ඒවව මවන්නත් කලින්ම, මනුෂ්‍යවර්ගයා සදාකාලයටම ජීවත් විය යුතුයි කියා දෙවි අරමුණු කළ බව පාවුල් අදහස් කළායයි සමහරුන් සිතනවා. කොහොමවුණත්, මනුෂ්‍යයාව මවා යෙහෝවා තම අරමුණ ප්‍රකාශ කළායින් පසු අවස්ථාවකට පාවුල් යොමු දැක්වුවා විය හැකි වුවත්, මනුෂ්‍යයන් සඳහා සදාකාල ජීවනය දීම දෙවිගේ කැමැත්තට ඇතුළත් බව නම් පැහැදිලියි.
17. ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පන්නා දැමුවේ ඇයි? එමෙන්ම ඇතුල් වන මාර්ගයේ කෙරුබ්වරුන්ව තැබුවේ මන්ද?
17 ඒදන් උයනේදී ‘යෙහෝවා දෙවි ජීවන වෘක්ෂය භූමියෙන් හටගැන්වූ’ බව බයිබලය පවසනවා. ආදම්ව උයනෙන් පන්නා දැමීමට හේතුව, “ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා . . . ජීවත් නොවන පිණිස,” එනම් සදාකාලයටම ජීවත් නොවන පිණිසය කියා දක්වා තිබෙනවා. ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පන්නා දැමීමෙන් පසු “ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස . . . කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද” යෙහෝවා පිහිටෙව්වා.—උත්පත්ති 2:9; 3:22-24.
18. (අ) ජීවන වෘක්ෂයෙන් අනුභව කිරීම ආදම් සහ ඒවට කෙසේ බලපාන්න තිබුණාද? (ආ) එම වෘක්ෂයේ ඵල අනුභව කිරීම නියෝජනය කළේ කුමක්ද?
18 ආදම් සහ ඒවට ජීවන වෘක්ෂයෙන් කෑමට අවසර දී තිබුණා නම්, එය ඔවුන්ට කොහොම බලපාන්න තිබුණාද? ඇයි, පාරාදීසයේ සදාකාලයටම ජීවත් වීමේ වරප්‍රසාදය! එක් බයිබල් විශාරදයෙක් මෙහෙම අනුමාන කළා: “මිනිස් ශරීරය වයසට ගොස් දුබල වීමෙන් හෝ අවසානයේදී මරණයෙන් කෙළවර වන කුණුවීමෙන් නිදහස් කර තබාගැනීම සඳහා ජීවන වෘක්ෂයට යම් හැකියාවක් තිබෙන්න ඇති.” ඔහු තවදුරටත් කියා සිටියේ වයසට යෑමේ “ඵලවිපාකවලට විරුද්ධව සිටීමට හැකි කරවන ඖෂධීය ගුණයක් පාරාදීසයේ තිබුණා” කියායි. කොහොමවුණත් ජීවන වෘක්ෂයේ එවැනි ජීවනය ගෙන දෙන ගුණයන් තිබූ බව බයිබලය පවසන්නේ නැහැ. ඒ වෙනුවට ගස සරලව නියෝජනය කළේ, එහි ඵල කන්න ඉඩ ලැබෙන අයට සදාකාල ජීවනය ලබා දීම පිළිබඳ දෙවිගේ සහතිකයයි.—එළිදරව් 2:7.
දෙවිගේ අරමුණ වෙනස් වී නැහැ
19. ආදම් මියගියේ ඇයි? එමෙන්ම ඔහුගේ පැවතෙන්නන් වන අපත් මියයන්නේ ඇයි?
19 ආදම් පව් කළ විට ඔහු තමාටත් ඒ වන විටත් ඉපද නොසිටි තමාගෙන් පැවතෙන්නන්ටත් සදාකාලයටම ජීවත් වීමේ අයිතිය නැති කර දැමුවා. (උත්පත්ති 2:17) තම අකීකරුකම නිසා පව්කාරයෙක් වූ විට, ඔහු දෝෂ සහිත අසම්පූර්ණ කෙනෙක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට එතැන් සිට ආදම්ගේ ශරීරය මරණය සඳහා සැකසුණා. “පාපයේ කුලී නම් මරණයය” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (රෝම 6:23) තවදුරටත්, ආදම්ගේ අසම්පූර්ණ පැවතෙන්නන්ද සදාකාල ජීවනය සඳහා නොව මරණය සඳහා සැකසුණා. බයිබලය මෙසේ පැහැදිලි කරනවා: “එක් මනුෂ්‍යයෙකු [එනම් ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
20. මනුෂ්‍යයන් පොළොව මත සදහටම ජීවත් වීම අදහස් කළ බව කුමකින් ඇඟවේද?
20 නමුත්, ආදම් පව් නොකළා නම් තත්වය කුමක්ද? ඔහු දෙවිට අකීකරු නොවී ඉඳලා ජීවන වෘක්ෂයෙන් කන්න අවසර ලැබුවා නම් තත්වය කුමක් වෙයිද? දෙවිගේ සදාකාල ජීවනයේ තෑග්ග ඔහු ලබන්න යන්නේ කොහේද? ස්වර්ගයේද? නැහැ! ආදම්ව ස්වර්ගයට ගෙන යන බවක් දෙවි කොහෙත්ම කියල තිබුණේ නැහැ. ඔහුට දුන් පැවරුම වූයේ මේ පොළොව මත වැඩ කිරීමයි. බයිබලය මෙසේ පැහැදිලි කරනවා: ‘දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් . . . යෙහෝවා දෙවි භූමියෙන් හටගැන්වුවේය.’ ඒ වගේම එය මෙසේද පවසනවා: ‘යෙහෝවා දෙවි මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචි කෙරෙව්වේය.’ (උත්පත්ති 2:9, 15) ආදම්ගේ සහකාරිය ලෙස ඒවව මැව්වාට පස්සේ, මේ දෙදෙනාට පොළොව මත අමතර පැවරුමක් දෙනු ලැබුවා. දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න.”—උත්පත්ති 1:28.
21. පළමු මනුෂ්‍යයන් භුක්ති වින්දේ කිනම් මවිතකර අපේක්ෂාවන්ද?
21 දෙවිගෙන් ලැබුණු උපදෙස්වල ආදම් සහ ඒව සඳහා තිබුණු මවිතකර භූමික අපේක්ෂා ගැන සිතා බලන්න! භූමික පාරාදීසය තුළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යසම්පන්න දූ පුතුන් බිහි කරන්න ඔවුන්ට නියමව තිබුණා. ඔවුන්ගේ ප්‍රේමනීය දරුවන් වැඩෙද්දී ඔවුන්ද දරුවන් බිහි කිරීම සඳහා සහ එම පාරාදීසය නඩත්තු කිරීමේ ප්‍රීතිමත් වතු වැඩ සඳහා මොවුන් සමඟ හවුල් වෙන්න යනවා. ඔවුන් යටතේ සිටින සියලුම සතුන් සමඟ මනුෂ්‍යවර්ගයා ඉතා තෘප්තිමත්ව සිටින්න යනවා. අවසානයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීම සඳහා ඒදන් උයනේ මායිම් පුළුල් කිරීමේ ප්‍රීතිය ගැන හිතන්න! වයසට යෑම සහ මරණය ගැන කරදර වෙන්න කිසිම අවශ්‍යතාවක් නැතුව එවැනි ලස්සන භූමික නිවසක ජීවිතය ඔබ ප්‍රීතියෙන් භුක්ති විඳින්නේ නැද්ද? එම ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබේ ස්වාභාවික හැඟීම්වලට ඉඩහරින්න!
22. දෙවි පොළොව සම්බන්ධයෙන් වූ තම අරමුණ වෙනස් කළේ නැති බව අපට ස්ථිර විය හැක්කේ ඇයි?
22 හොඳයි, එසේනම්, ආදම් සහ ඒව අකීකරු වූ විට හා ඒදන් උයනෙන් පන්නා දැමූ විට, මනුෂ්‍යවර්ගයාව පොළොව මත පාරාදීසයේ සදාකාලයටම ජීවත් කරවීම සඳහා වූ තම අරමුණ දෙවි වෙනස් කළාද? කොහෙත්ම නැහැ! දෙවි එහෙම කිරීම, තම මුල් අරමුණ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරාජය පිළිගැනීමක් වෙන්න යනවා. දෙවි, තමා පොරොන්දු වී ඇති දෙය කරන බව අපට නිසැක වෙන්න පුළුවන්. මන්ද ඔහුගේම වචනවලින් ඔහු මෙහෙම ප්‍රකාශ කරනවා: “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.”—යෙසායා 55:11.
23. (අ) ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන අය පොළොව මත සදාකාලයටම ජීවත් වීම දෙවිගේ අරමුණ බව නැවතත් සනාථ කරන්නේ කුමකින්ද? (ආ) අප ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ කුමක්ද?
23 පොළොව සම්බන්ධව දෙවිගේ අරමුණ වෙනස් වී නැති බව බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. දෙවි මෙසේ පොරොන්දු වෙනවා: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” යේසුස් ක්‍රිස්තුස් පවා තම කන්ද උඩ දේශනාවේදී, මොළොක් ගුණ ඇති අය පොළොව උරුම කරගන්න යන බව පැවසුවා. (ගීතාවලිය 37:29; මතෙව් 5:5) නමුත් සදාකාල ජීවනය අපට අත් කරගත හැක්කේ කෙසේද? එමෙන්ම, එවැනි ජීවිතයක් භුක්ති විඳීම සඳහා අප කුමක් කළ යුතුද? මෙය ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ සදාකල් ජීවත් විය හැකි බව බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ මන්ද?
◻ අපව මැව්වේ සදහටම ජීවත් වෙන්න කියා අපට කුමකින් ඒත්තුගැන්විය යුතුද?
◻ මනුෂ්‍යවර්ගයා සහ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණ වූයේ කුමක්ද?
◻ දෙවි ඔහුගේ මුල් අරමුණ ඉෂ්ට කරයි කියා අපට නිසැක විය හැක්කේ මන්ද?