අද දවස දක්වා යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම
“ස්වාමිවු දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ.”—යෙසායා 50:4.
1, 2. (අ) යෙහෝවඃවහන්සේ ස්වකීය ප්‍රියතම ශිෂ්‍යයාව සූදානම් කළේ කුමකටද, තවද ප්‍රතිඵලය කුමක් වීද? (ආ) යේසුස්වහන්සේ තම ඉගැන්වීමේ උල්පත හඳුනාගත්තේ කෙසේද?
යෙහෝවඃ දෙවියන්වහන්සේ පියෙකු වූ දා පටන් ගුරුවරයෙකු වී සිටිනසේක. උන්වහන්සේගේ දරුවන් සමහරදෙනෙක් කැරලි ගසා යම් කලකට පසුව, උන්වහන්සේ ස්වකීය ප්‍රියතම ශිෂ්‍යයාව, එනම් සිය කුලුඳුල් පුත්‍රයාව පොළොව මත දේවසේවය සඳහා සූදානම් කළසේක. (හිතෝපදේශ 8:30) යෙසායා 50වන පරිච්ඡේදය මෙම ශිෂ්‍යයාව අනාවැකිමය ලෙස ඉදිරිපත් කරන්නේ මෙසේ පවසමිනි: “විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවු දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ.” (යෙසායා 50:4) පොළොව මත සිටින විට සිය පියාණන්ගේ ඉගැන්වීම් අදාළ කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ‘වෙහෙසට පත්ව බර පටවා තිබූ’ සියල්ලන්හට යේසුස්වහන්සේ ප්රබෝධයේ උල්පතක් විය.—මතෙව් 11:28-30.
2 යේසුස්වහන්සේ පළමු සියවසේදී බොහෝ බලවත් ක්‍රියා කළසේක. අන්ධයන්ගේ ඇස් විවෘත කළ උන්වහන්සේ, මළවුන්ව පවා නැඟිටෙවූසේක, එහෙත් සිය සමකාලිනයන් අතර මූලිකව ප්‍රසිද්ධ වූයේ ගුරුවරයෙකු ලෙසිනි. උන්වහන්සේගේ අනුගාමිකයන් මෙන්ම, උන්වහන්සේගේ විරුද්ධවාදීන් පවා උන්වහන්සේව ඇමතුවේ එලෙසිනි. (මතෙව් 8:19; 9:11; 12:38; 19:16; යොහන් 3:2) තමා ඉගැන්වූ දෙය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ කිසිවිටකත් ප්‍රශංසාව ගත්තේ නැත, නමුත් නිහතමානීව මෙසේ පිළිගත්සේක: “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනැන්වහන්සේගේය.” “මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කිය[මි.]”—යොහන් 7:16; 8:28; 12:49.
අපූරු ගුරු-ශිෂ්‍ය සම්බන්ධතාවක්
3. යෙහෝවඃවහන්සේ තමන් උගන්වන අය කෙරෙහි සැලකිල්ල දක්වන බව යෙසායාගේ අනාවැකියෙන් ඇඟවෙන්නේ කෙසේද?
3 අනර්ඝ ගුරුවරයෙක්, තමාගේ ශිෂ්‍යයන් කෙරෙහි පෞද්ගලික, උත්සාහවන්ත සහ ප්‍රේමනීය උනන්දුවක් දක්වයි. තමන් උගන්වන අය කෙරෙහි එවන් ආකාර උනන්දුවක් යෙහෝවඃ දෙවියන්වහන්සේට තිබෙන බවට යෙසායා 50වන පරිච්ඡේදය හෙළි කරයි. “ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක.” (යෙසායා 50:4) මෙහි සඳහන් මෙම භාෂාවෙන් යෝජනා කරන්නේ, තම ශිෂ්‍යයන්ට ඉගැන්වීම පිණිස ඔවුන්ව උදෑසනම අවදි කරවන ගුරුවරයෙකි. මෙම අනාවැකියේ අදාළ වීම සම්බන්ධව, එක් බයිබල් විශාරදයෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “මෙහි අදහස නම්, ගැළවුම්කරුවාණන් නම්, . . . හරියටම දෙවියන්වහන්සේගේ පාසැලේ උගත්තෙකි; තවද වෙනත් අයට ඉගැන්වීම් දානය කිරීමට සුදුසුකම් ඇත්තෙකි. . . . මිනිස්වර්ගයාගේ ගුරුවරයාණන් වීම සඳහා මෙසියස්වහන්සේ දිව්‍ය ඉගැන්වීම මගින් විශිෂ්ට ලෙස සුදුසුකම් ලැබ සිටිනවා ඇත.”
4. යේසුස්වහන්සේ සිය පියාණන්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
4 ගැළපෙන ලෙසින්, ශිෂ්‍යයෝ තම ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිචාර දක්වති. යේසුස්වහන්සේ සිය පියාණන්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? උන්වහන්සේ දැක්වූ ප්‍රතිචාරය, යෙසායා 50:5හි අප කියවන දෙයට අනුකූලය: “ස්වාමිවු දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරලිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.” එසේය, යේසුස්වහන්සේ ඉගෙනගැනීමට දැඩි උනන්දුවක් දැක්වූසේක. එක් කියමනකට අනුව උන්වහන්සේ . . . එපමණකුදු නොව, උන්වහන්සේගේ පියාණන් පැවසූ ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටිසේක. උන්වහන්සේ කැරලිකාර නොවූසේක; ඒ වෙනුවට උන්වහන්සේ පැවසුවේ: “මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා” කියාය.—ලූක් 22:42.
5. (අ) තමාට පොළොව මත විඳීමට සිදුවන පරීක්ෂා යේසුස්වහන්සේ කලින් දැනගෙන සිටි බව අඟවන්නේ කුමකින්ද? (ආ) යෙසායා 50:6හි සඳහන් අනාවැකිය ඉටුවූයේ කෙසේද?
5 දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙන් ඇති විය හැකි ඵල විපාක ගැන පුත්‍රයාණන් දැන සිටි බව අනාවැකි අඟවයි. උගන්වනු ලැබූ මෙම තැනැන්වහන්සේ පවසන දෙයින් මෙය පෙනී යයි: “මම මාගේ පිට තළන්නන්ටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළගැසීමෙනුත් සඟවා නොගතිමි.” (යෙසායා 50:6) අනාවැකිය අඟවන්නාක් මෙන්, යේසුස්වහන්සේට පොළොව මතදී ඉතා කුරිරු ලෙස සලකනු ලැබිණ. “ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළ[ගැසුවෝය]” යයි ප්‍රේරිත මතෙව් ලීවේය. “සමහරෙක් අතුල් පහර [ගැසුවෝය].” (මතෙව් 26:67) මෙය සිදුවූයේ පො.යු. 33 පාස්කු රාත්‍රියේ ආගමික නායකයන්ගේ අතිනි. ඊළඟ දවසේ යේසුස්වහන්සේ කස පහරට ලක් වූ අතර, උන්වහන්සේ මියයෑම සඳහා කණුවක් මත එල්ලීමට පෙර, රෝම හේවායෝ කිසිම අනුකම්පාවක් නොමැතිව උන්වහන්සේට තැලුවෝය.—යොහන් 19:1-3, 16-23.
6. යේසුස්වහන්සේ තම ගුරුවරයාණන් තුළ තැබූ නිසැකකම කිසිවිටෙකත් අහිමි කර නොගත් බව පෙනී යන්නේ කුමකින්ද, තවද උන්වහන්සේගේ නිසැකකමට විපාක ලැබුණේ කෙසේද?
6 කලින්ම මැනවින් ඉගෙනගත් පුත්‍රයාණෝ, සිය ගුරුවරයාණන් කෙරෙහි වූ නිසැකකම කිසිවිටකත් නැති කරගත්තේ නැත. අනාවැකියට අනුව උන්වහන්සේ ඊළඟට පවසන දෙයින් මෙය පෙනී යයි: “මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරවනසේක; එබැවින් වියවුල් නොවෙමි.” (යෙසායා 50:7) සිය ගුරුවරයාණන්ගේ උපකාරය කෙරෙහි යේසුස්වහන්සේගේ නිසැකකමට මහත් විපාක ලැබිණ. උන්වහන්සේගේ පියාණන් උන්වහන්සේව උසස් කොට, දෙවියන්වහන්සේගේ වෙනත් සියලු දේවදූතයන්ට වඩා අතිඋසස් තත්වයක් සමඟින් උන්වහන්සේට ආශීර්වාද කළසේක. (පිලිප්පි 2:5-11) අපත් යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වලට කීකරුව ඇලී සිට, ‘පසුපසට නොහැරෙන්නේ’ නම්, උතුම් ආශීර්වාද අපටද ගබඩා කොට තිබේ. අපගේ දවස දක්වා එම ඉගැන්වීම් ලබාගැනීමට හැකි කරවා තිබෙන ආකාරය දෙස අපි දැන් බලමු.
පුළුල් කරන ලද ඉගැන්වීම් වැඩසටහනක්
7. යෙහෝවඃවහන්සේ පොළොව මත ස්වකීය ඉගැන්වීම් කර ඇත්තේ කෙසේද?
7 අප මීට පෙර සලකා බැලුවාක් මෙන්, පළමු සියවසේදී දිව්‍ය ඉගැන්වීම්, ඉගැන්වීමට යෙහෝවඃවහන්සේ යොදාගත්තේ ස්වකීය භූමික නියෝජිතයාණන් වූ යේසුස් ක්රිස්තුස්වහන්සේවය. (යොහන් 16:27, 28) සිය ඉගැන්වීම්වල අධිකාරය ලෙස යේසුස්වහන්සේ නිතරම දේවවචනයට යොමු දැක්වූ අතර, මෙනයින් උන්වහන්සේ විසින් උගන්වනු ලැබූ අයට ආදර්ශයක් තැබූසේක. (මතෙව් 4:4, 7, 10; 21:13; 26:24, 31) ඉන්පසුව, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් පොළොව පුරා ගෙන යනු ලැබුවේ එවන් උගන්වනු ලැබූවන්ගේ දේවසේවයක් මගිනි. යේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ දේ සිහිකරන්න; “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” (මතෙව් 28:19, 20) ගෝලයන් සාදනු ලැබූ විට, මේ අය “දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් . . . ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව”හි කොටසක් බවට පත්වූහ. (1 තිමෝති 3:15) ඔවුන්ව තනි සභාවන්වලට සකස් කරන ලද අතර, ඒවායේදී ඔවුන්ට යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබිණ. (ක්‍රියා 14:23; 15:41; 16:5; 1 කොරින්ති 11:16) එම ආකාරයේ දිව්‍ය ඉගැන්වීම අපගේ දවස දක්වා දිගටම පැවත විත් තිබේද?
8. අවසානය පැමිණීමට පෙර, දේශනා වැඩය මෙහෙයවනු ලබන බව යේසුස්වහන්සේ ඇඟවූයේ කෙසේද?
8 ඇත්තවශයෙන්ම, එසේ පැවත විත් තිබේ! සිය මරණයට දින තුනකට පෙර, යේසුස්වහන්සේ පුරෝකථනය කළේ, මේ පිළිවෙලේ නිමාවට පෙර, මහත් දේශනා වැඩක් තිබෙනු ඇති බවයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” මෙම ලෝක ව්‍යාප්ත දේශනා කිරීම සහ ඉගැන්වීමේ වැඩසටහන මෙහෙයවනු ඇති ආකාරය ගැන යේසුස්වහන්සේ විස්තර කළසේක. උන්වහන්සේගේ සේවකයන්ට ආත්මික ආහාර සැපයීම සඳහා නාලියක් හෙවත් උපකරණයක් ලෙස සේවය කරන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ගැන උන්වහන්සේ කතා කළසේක. (මතෙව් 24:14, 45-47) පොළොව පුරා රාජ්‍යය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යෙහෝවඃ දෙවියන්වහන්සේ මෙම “දාසයා” යොදාගෙන ඇත.
9. විශ්වාස වූ නුවණ ඇති දාසයා සෑදෙන්නේ කාගෙන්ද?
9 අදදින, මෙම විශ්වාස වූ නුවණ ඇති දාසයා සෑදී ඇත්තේ රාජ්‍යය උරුමක්කාරයන්ගේ ඉතිරි අයගෙනි. මේ අය වනාහි “ආබ්‍රහම්ගේ වංශය”හි කොටසක් වන ‘ක්‍රිස්තුස්වහන්සේට අයත්,’ පොළොව මත සිටින 1,44,000දෙනාගේ ඉතිරි අය වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ය. (ගලාති 3:16, 29; එළිදරව් 14:1-3) විශ්වාස වූ නුවණ ඇති දාසයාව හඳුනාගැනීමට ඔබට හැක්කේ කෙසේද? විශේෂයෙන්ම, ඔවුන් කරන වැඩවලින් සහ දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලය වෙත ඔවුන්ගේ සමීප ඇලී සිටීම මඟින්ය.
10. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීමට දාස පංතිය යොදාගන්නේ කිනම් උපකරණද?
10 අදදින ජනයාට ඉගැන්වීමේ මාධ්‍යය ලෙස යෙහෝවඃවහන්සේ යොදාගන්නේ මෙම “දාසයා”ය. දාස පංතියට අයත් අය 1931දී යෙහෝවඃවහන්සේ සාක්ෂිකරුවෝ යන නාමය වැළඳගත්හ. එවක් පටන්, මිලියන ගණනක් ඔවුන් සමඟ ඇසුරු කොට, එම නාමය පිළිගෙන, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමෙහිලා හවුල් වී තිබේ. මුරටැඹ යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කරයි නම් වූ මෙම සඟරාව, ඉගැන්වීමේ වැඩය තුළ “දාසයා” විසින් යොදාගන්නාවූ ප්‍රධාන උපකරණයයි. කෙසේවෙතත්, පොත්, පොත්පිංච, විවරණිකා, පත්‍රිකා සහ පිබිදෙව්! ඇතුළු වෙනත් ප්‍රකාශනද යොදාගැනේ.
11. “දාසයා” අනුග්‍රහ දක්වා ඇත්තේ කිනම් පාසැල්වලටද, මේ එක් එක් පාසැලෙන් ඉටුවෙන අරමුණ කුමක්ද?
11 මීට අමතරව, මෙම “දාසයා”, විවිධ පාසැල්ද සංවිධානය කරයි. යෞවන දේවසේවකයන්ව විදේශීය මිෂනාරි සේවය සඳහා සූදානම් කරන මාස පහක පාඨමාලාවකින් සමන්විත ගිලියඩ් වොච්ටවර් බයිබල් පාසැලද, අවිවාහක වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන්ව විශේෂ දිව්‍යාණ්ඩු පැවරීම් සඳහා පුහුණු කරන මාස දෙකක උපස්ථායක සේවා පුහුණු පාසැලද මීට ඇතුළත්ය. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට තම සභා වගකීම් සම්බන්ධව කලින් කලට උපදෙස් ඉදිරිපත් කරනු ලබන රාජ්‍යය සේවා පාසැලද, පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්ට තම දේශනා ක්‍රියාකාරකම තුළ වඩාත් බලපෑමෙන් යුක්ත වීමට ඔවුන්ව සන්නද්ධ කරවන පුරෝගාමී සේවා පාසැලද තිබේ.
12. ඉගැන්වීමේ වැඩසටහනේ සතිපතා එක් විශේෂ අංගයක් කවරේද?
12 ඉගැන්වීමේ වැඩසටහනේ අනික් අංගය නම්, ලොව පුරා යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සභාවන් 75,500කට වඩා වැඩි ගණනක පැවැත්වෙන සතියේ රැස්වීම් පහය. මෙම රැස්වීම්වලින් ඔබට හැකි උපරිම අන්දමින් ප්‍රයෝජන ලබන්නෙහිද? දෙනු ලබන උපදෙස්වලට ඔබ දක්වන අවධානය මගින්, ඔබ හරියට දෙවියන්වහන්සේගේ පාසැලේ සිටිනවා කියා ඔබ ඇත්තටම විශ්වාස කරන්නෙහිද? ඔබට, “උගතුන්ගේ දිව” තිබෙන බවට ඔබගේ ආත්මික ප්‍රගතිය මගින් අන්‍යයන්ට පැහැදිලිව පෙනෙන්ට තිබෙනවාද?—යෙසායා 50:4; 1 තිමෝති 4:15, 16.
සභා රැස්වීම්වල උගන්වනු ලැබීම
13. (අ) යෙහෝවඃවහන්සේ අදදින ස්වකීය ජනයාට උගන්වන එක් වැදගත් මාර්ගයක් කුමක්ද? (ආ) මුරටැඹ සඳහා අපගේ අගය ප්‍රකාශ කිරීමට අපට හැක්කේ කෙසේද?
13 යෙහෝවඃවහන්සේ විශේෂයෙන් ස්වකීය ජනයාට උගන්වන්නේ, ඉගැන්වීමේ ආධාරකයක් ලෙස මුරටැඹ යොදාගෙන කරන සතිපතා බයිබල් පාඩමක් මගිනි. යෙහෝවඃවහන්සේ විසින් ඔබට උගන්වනු ලැබිය හැකි තැනක් ලෙස ඔබ මෙම රැස්වීම සලකන්නෙහිද? යෙසායා 50:4 මූලිකව යේසුස්වහන්සේට අදාළ වුවත්, “උගතුන්ගේ දිව” ලබාගැනීම සඳහා දෙවියන්වහන්සේගේ සැපයුම්වලට තමන්වම නිරාවරණය කරගන්නා අයටද එය අදාළ කළ හැක. මුරටැඹ සඟරාව ඔබ විසින් ඉතා අගේ කොට සලකන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් නම්, එහි එක් එක් කලාපය ඔබට ලැබුණු වහාම කියවීමයි. ඉන්පසුව, සභාවේදී මුරටැඹ අධ්‍යයනය කෙරෙන විට, එහි පැමිණ සිටීමෙන් සහ ඔබේ බලාපොරොත්තුව ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටීම මගින් ඔබට ඔබගේ අගය කිරීම පෙන්විය හැක.—හෙබ්‍රෙව් 10:23.
14. (අ) රැස්වීම්වලදී පිළිතුරු දීම එතරම්ම වැදගත් වරප්‍රසාදයක් වන්නේ මන්ද? (ආ) අතිශයින් දිරිගන්වනසුලු වන්නේ බාලයන් කරන කිනම් ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම්ද?
14 රැස්වීම්වලදී අදහස් පළ කිරීම මගින්, යෙහෝවඃවහන්සේගේ උදාර ඉගැන්වීමේ වැඩසටහන තුළ ඔබටත් පංගුකාරයෙකු විය හැකි බව ඔබ ඒත්තුගෙන සිටින්නෙහිද? ඒ ගැන කිසිදු සැකයක් නැත, රැස්වීම්වලදී අදහස් පළ කිරීම, අපට “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද” එකිනෙකාව පෙලඹවිය හැකි වැදගත් ක්රමයකි. (හෙබ්‍රෙව් 10:24, 25) උපදෙස්වලින් යුත් මෙම වැඩසටහනේ පංගුකාරයන් වීමට දරුවන්ටත් හැකිද? එසේය, ඔවුන්ටද හැකිය. බාලයන් හෘදයෙන්ම පළ කරන අදහස් බොහෝවිට වැඩිහිටියන් දිරිගන්වනසුලුය. ඇතැම් අවස්ථාවලදී, අපගේ රැස්වීම්වලට පැමිණෙන අලුත් අය, බාලයන් පළ කරන අදහස්වලින්, බයිබල් සත්‍යය කෙරෙහි වඩාත් බැරෑරුම් ලෙස සැලකීමට පෙලඹී තිබේ. සමහර බාලයන් පුරුද්දක් හැටියට කරන්නේ, තම අදහස් කෙළින්ම ඡේදයෙන් කියවීමය, නැතහොත් වැඩිහිටියෙක් තම කනට කොඳුරා කී පසු එය නැවත කීමය. කෙසේවුවද, ඔවුන්ගේ අදහස් පළ කිරීම් හොඳින් සූදානම් වී ඉදිරිපත් කරන්නේ නම්, එය බොහෝ දිරිගන්වනසුලුය. එවන් අදහස් පළ කිරීම් සැබවින්ම අපගේ උත්තරීතර උපදේශකයාණන්ටත්, උන්වහන්සේගේ උසස් අධ්‍යාපන වැඩසටහනටත්, ගෞරව ගෙන එයි—යෙසායා 30:20, 21.
15. බලපෑමෙන් යුක්තව අදහස් පළ කිරීමට තම දරුවන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද?
15 අපගේ දරුවන්ට දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට වුවමනා වනවා දැකීම ප්‍රීතියක්ය. බාලයන්ගෙන් පැමිණි ප්රශංසාවේ ප්‍රකාශයන් යේසුස්වහන්සේ අගය කළසේක. (මතෙව් 21:15, 16) එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “මගේ ළමාවියේදී, මට මුරටැඹ පාඩමේදී අදහස් දැක්වීමට වුවමනා වුණා. ප්‍රකාශ කිරීම සඳහා යම් අදහසක් සූදානම් කරගැනීමට උපකාර කිරීමෙන් පසුව, මා එම අදහස පළ කිරීමට අඩුම වශයෙන් හත් වතාවක්වත් පුරුදු වීමට මගේ පියාට වුවමනා වුණා.” දෙමාපියෙනි, සමහරවිට, ඔබගේ බයිබල් පාඩම අතරතුරේදී, මුරටැඹෙහි තෝරාගත් ඡේදවලින් තමන්ගේම වචනවලින් අදහස් සූදානම් කරගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට හැක. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීමේ වැඩසටහනේ හවුල් වීමට ඔවුනට ඇති මහඟු වරප්‍රසාදය අගය කිරීමට ඔවුනට උපකාර කරන්න.
16. දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ප්‍රයෝජන වී ඇත්තේ මොනවාද, තවද පාසැලට ඇතුළත් විය හැක්කේ කාටද?
16 වෙනත් ක්‍රිස්තියානි රැස්වීම්වල දෙනු ලබන ඉගැන්වීම්වලටද, එම තොරතුරු ඉදිරිපත් කිරීමට වරප්‍රසාද ලබා ඇති අය මෙන්ම ඉදිරිපත් කරනු ලබන උපදෙස්වලට සවන් දෙන අය විසින්ද, බැරෑරුම් සැලකිල්ලක් දැක්විය යුතුය. රාජ්‍යය පණිවුඩය බලපෑමෙන් යුක්තව ඉදිරිපත් කිරීම සඳහා, මිලියන ගණනාවක් පුරුෂන්ව සහ ස්ත්‍රීන්ව පුහුණු කිරීමට යෙහෝවඃවහන්සේ දැනට වසර 50ක පමණ කාලයක් මුළුල්ලේ, සතිපතා පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැල යොදාගෙන තිබේ. සභාව සමඟ ක්‍රියාශීලී ලෙස ඇසුරු කරන අයට මෙයට ඇතුළත් විය හැකි අතර, මෑතකදී රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්, එමෙන්ම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවිතයක් ගත කරන අයටද මීට ඇතුළත් විය හැකිය.
17. (අ) ප්‍රසිද්ධ රැස්වීම ස්ථාපිත කරන ලද්දේ විශේෂයෙන් කිනම් අරමුණ උදෙසාද? (ආ) ප්‍රසිද්ධ කථිකයන් මනසේ තබාගත යුත්තේ කිනම් කාරණාද?
17 ඉගැන්වීමේ වැඩසටහනේ දිගු කලක් තිස්සේ පැවති තවත් අංගයක් නම්, ප්‍රසිද්ධ රැස්වීමය. එහි නමින්ම අඟවන්නාක් මෙන්, මෙම රැස්වීම ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ, විශේෂයෙන්ම, සාක්ෂිකරුවන් නොවන අයට මූලික බයිබල් ඉගැන්වීම පිළිබඳව අවබෝධයක් දීම සඳහාය. මේ අනුව, කතාව දෙන තැනැත්තා තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ, පළමු වතාවට පණිවුඩයට සවන් දෙන අයට තේරුම්ගත හැකි පරිදිය. මින් අදහස් කරන්නේ, සාක්ෂිකරුවන් නොවන අයට නොතේරෙන, “වෙනත් බැටළුවෝ,” “සහෝදරයෝ,” සහ “ඉතිරි කොටස” වැනි යෙදුම් පැහැදිලි කිරීමයි. මෙම ප්‍රසිද්ධ රැස්වීම්වලට පැමිණෙන අයට, ශුද්ධ ලියවිලිවලට මුළුමනින්ම පටහැනි විශ්වාසයන් හා ජීවිත රටාවන් තිබිය හැකි අතර—ඒවාට අදදින සමාජයේ පිළිගැනුමක්—තිබෙනවා විය හැකි නිසා, කථිකයා සෑමවිටම උපායශිලී විය යුතු අතර, එවන් විශ්වාසයන් හා ජීවන රටාවන් ගැන කිසිවිටකත් සරදම්ශීලී ප්‍රකාශ නොකළ යුතුය.—සසඳන්න 1 කොරින්ති 9:19-23.
18. තවත් කිනම් සතිපතා රැස්වීම් තිබේද, ඒවායින් ඉටු කරන අරමුණු මොනවාද?
18 සභා පොත් පාඩම වනාහි, විශ්වාස වූ නුවණ ඇති දාසයාගේ මඟ පෙන්වීම යටතේ පිළියෙළ කරන ලද ප්රකාශනයක් සෑම සතියකම බයිබලය සමඟ අධ්‍යයනය කෙරෙන රැස්වීමකි. එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! පොත දැන් බොහෝ රටවල අධ්‍යයනය කෙරෙන පොතකි. රාජ්‍යය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමෙහිලා පූර්ණ ලෙස හවුල් වීමට යෙහෝවඃවහන්සේගේ ජනයාව සන්නද්ධ කරලීම සඳහා සේවා රැස්වීම පිළියෙළ කොට ඇත.—මතෙව් 28:19, 20; මාර්ක් 13:10.
විශාල රැස්වීම්වල උගන්වනු ලැබීම
19. “දාසයා” සෑම වසරකම පිළියෙළ කරන විශාල එක්රැස්වීම් මොනවාද?
19 වසර සියයකට වඩා වැඩි කලක් පුරා, සැබෑ ක්‍රිස්තියානීන්හට ඉගැන්වීම සහ විශේෂ දිරිගැන්වීම දීම සඳහා ‘විශ්වාසවන්ත දාසයා’ සමුළු සහ එක්රැස්වීම් පිළියෙළ කොට තිබේ. දැන් සෑම වර්ෂයකම එවන් විශාල රැස්වීම් තුනක් පවත්වනු ලැබේ. සභාවන් කණ්ඩායමකින් සැදි චාරිකාවක් සහභාගි වන එක්දින විශේෂ රැස්වීමක් තිබේ. වර්ෂය තුළ, සෑම සභාවකටම චාරිකා එක්රැස්වීමක් යනුවෙන් හැඳින්වෙන දින දෙකක හමුවක්ද තිබේ. මීට අමතරව, චාරිකා ගණනාවක් පැමිණෙන හමුවක්ද තිබේ, එය හැඳින්වෙන්නේ දිස්ත්‍රික් සමුළුව නමිනි. ඇතැම් වර්ෂවලදී, ජාත්‍යන්තර සමුළු පැවැත්වෙන්ට පුළුවන. බොහෝ රටවලින් ආගන්තුක සාක්ෂිකරුවන් පැමිණෙන මෙම විශාල එක්රැස්වීම්, යෙහෝවඃවහන්සේගේ ජනයා උදෙසා සැබවින්ම ඇදහිල්ල ශක්තිමත් කරවනසුලුය.—ද්විතීය කථාව 16:16 සසඳන්න.
20. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල එක්රැස්වීම්වල නිරතුරුවම අවධානයට ලක් කරනු ලැබ ඇත්තේ කුමක්ද?
20 වර්ෂ 1922දී, අ.එ.ජ. ඔහියෝ, සිඩාර් පොයින්ට්හි පුද්ගලයන් 10,000ක් පමණ රැස්වූ අවස්ථාවේ කථිකයාගේ මෙම දිරිගැන්වීම මගින් එහි පැමිණ සිටි අයව පොලඹවන ලදි: “මේ සියලු දවස්වල දවසය. බලව, රජු පාලනය කරයි! ඔබ උන්වහන්සේගේ ප්‍රසිද්ධ නියෝජිතයෝය. එබැවින්, රජුද උන්වහන්සේගේ රාජ්‍යයද ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න.” එවන් විශාල සමුළුවලදී, නිරතුරුවම අවධාරණය කර තිබෙන්නේ දේශනා වැඩයටය. නිදසුනක් වශයෙන්, 1953, නිව් යෝර්ක් නුවර පැවති ජාත්‍යන්තර සමුළුවේදී, සියලු සභාවල ගෙයින් ගෙට පුහුණු වැඩසටහන දියත් කිරීම පිළිබඳව නිවේදනය කරන ලදි. එය ක්‍රියාත්මක කිරීම නිසා බොහෝ රටවල රාජ්‍යය දේශනා කිරීම මත බොහෝ සෙයින් ඒකාන්ත බලපෑමක් ඇති කර වීය.
ඉගැන්වීම සඳහා දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලැබ
21. එහි අරමුණ අමතක නොකරමින්, අපට භාරගැනීමට වුවමනා විය යුත්තේ කිනම් වරප්‍රසාදයද?
21 අදදින යෙහෝවඃවහන්සේට පොළොව මත පුදුමාකාර ඉගැන්වීමේ වැඩසටහනක් තිබෙන බව ස්ථිරය! ඉන් ප්‍රයෝජන ගන්නා සියල්ලන්ට දෙවියන්වහන්සේගෙන් ඉගෙනගත හැක, එසේය, ‘උගතුන්ගේ දිවක්’ දී ඇති අය අතර සිටිය හැක. දෙවියන්වහන්සේගේ පාසැලේ සිටීමට හැකි වීම මොනතරම් වරප්‍රසාදයක්ද! එහෙත්, මෙම වරප්‍රසාදය පිළිගැනීමේදී, අප එහි අරමුණ අමතක නොකළ යුතුයි. යෙහෝවඃවහන්සේ යේසුස්වහන්සේට ඉගැන්වූයේ යේසුස්වහන්සේ විසින් අන්‍යයන්ට ඉගැන්විය හැකි පරිද්දෙනි, එමෙන්ම, යේසුස්වහන්සේ සිය ගෝලයන්හට ඉගැන්වූයේ උන්වහන්සේ කළාක් මෙන් එම වැඩයම මහා පරිමාණයකින් කිරීමට ඔවුන්ට හැකි වන පරිදිය. ඒ හා සමානව, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම් උදාර වැඩසටහන තුළ අපව පුහුණු කරනු ලබමින් තිබෙන්නේ අන්‍යයන්ට ඉගැන්වීමේ අරමුණ ඇතුවය.—යොහන් 6:45; 14:12; 2 කොරින්ති 5:20, 21; 6:1; 2 තිමෝති 2:2.
22. (අ) මෝසෙස් හා යෙරෙමියාට තිබූ ගැටලුව කුමක්ද, නමුත් එය විසඳනු ලැබුවේ කෙසේද? (ආ) දෙවියන්වහන්සේ විසින් රාජ්‍යය දේශනා කිරීම ඉටු කරනු ඇති බවට වගබලා ගනු ඇතැයි අපට තබාගත හැකි සහතිකය කුමක්ද?
22 මෝසෙස් කීවාක් මෙන්, “මම ව්‍යක්තයෙක් නොවෙමි” යයි ඔබ පවසන්නෙහිද, නැතහොත්, යෙරෙමියා පැවසුවාක් මෙන්, “මම කථාකරන්ට නොදනිමි” කියා කියන්නෙහිද? යෙහෝවඃවහන්සේ ඔවුන්ට උපකාර කළාක් මෙන්, ඔබටද උපකාර කරනවා ඇත. “මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමි,” යයි උන්වහන්සේ මෝසෙස්ට කීසේක. එමෙන්ම උන්වහන්සේ යෙරෙමියාට මෙසේ කීසේක: “භය නොවන්න . . . මම නුඹ සමග සිටිමි.” (නික්මයාම 4:10-12; යෙරෙමියා 1:6-8) තම ගෝලයන්ව නිශ්ශබ්ද කිරීමට ආගමික නායකයන්ට වුවමනා වූ විට, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේය.” (ලූක් 19:40) එහෙත් එකල ගල් මොරගැසීමට අවශ්‍ය වූයේ නැත, එලෙසම, අදත් එසේ වීමට අවශ්‍ය නැත, මන්ද, ස්වකීය රාජ්‍යය පණිවුඩය රැගෙන යෑම සඳහා යෙහෝවඃවහන්සේ තමන්ගෙන් ඉගෙනගත් අයගේ දිව යොදාගනිමින් සිටිනසේක.
ඔබට පිළිතුරු දිය හැකිද?
◻යෙසායා 50වන පරිච්ඡේදයේ කැපීපෙනෙන්ට සලස්වා ඇත්තේ කිනම් අපූරු ගුරු-ශිෂ්‍ය සම්බන්ධතාවක්ද?
◻යෙහෝවඃවහන්සේ අතිපුළුල් ඉගැන්වීමේ වැඩසටහනක් පවත්වාගෙන ඇත්තේ කෙසේද?
◻යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීමේ වැඩසටහනේ සමහරක් අංගයන් මොනවාද?
◻යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීමේ වැඩසටහන තුළ හවුල් වීම උදාර වරප්‍රසාදයක් වන්නේ මන්ද?
[16වන පිටුවේ පින්තූරය]
දරුවන්ගේ හෘදයෙන්ම පළ කරන අදහස් බොහෝවිට වැඩිහිටියන්ව දිරිගන්වනසුලුය