බයිබලයේ දෘෂ්ටිකෝණය
අප දුක් විඳිනවා දැකීමට දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද?
විශාල ලී කුරුසයක බර දරමින් වෙහෙසෙන මිනිසෙක්, කටු ඔටුන්නක් පැළඳි සිය හිසෙන් සෙමින් රුධිරය ගලද්දී, සෙනඟ අතරින් වැටි වැටී ඇවිදියි. “මරණීය දඬුවම දෙන” ඉඩමට පැමිණි විට, ඔහුව කුරුසය මත රඳවා ඇත; ඔහුගේ අත්වලට ලොකු ඇණ ගසා තිබේ. ඇණවලින් මාංසය පසාරු කරගෙන යන විට, ඔහු වේදනාවෙන් ඇඹරෙයි. කුරුසය කෙළින් අතට තබන විට, වේදනාව ඉතා දරුණු වේ. පිලිපීන සඟරාවක් වන පැනොරාමා පවසන පරිදි පිලිපීනයේ ශුද්ධ සතිය පැවැත්වෙද්දී, එවැනි වේදනාකාරි ආගමික චාරිත්‍ර වාරිත්‍ර නොකඩවා දක්නට ලැබේ.
මේ දැන් විස්තර කළ දෙය වනාහි, යේසුස්වහන්සේගේ වේදනා විඳීමේ නවීන-දින අර්ථ දැක්වීමකි. එහෙත් මෙම මිනිසා හුදෙක් නාට්‍යයක කොටසක් රඟදැක්වීම කරනවා නොවේ. ඇණ, රුධිරය, වේදනාව—ඒ සියල්ලම සැබෑම දේවල් වේ.
වෙනත් තැන්වල, රෝමානු කතෝලික බැතිමත්තු ක්‍රිස්තුස්වහන්සේගේ වේදනා විඳීම අද්දැකීමට ආශාවෙන් ප්‍රසිද්ධියේ තමන්වම තළනු ලැබීමට ලක් කරගනිති. මන්ද? සමහරු මෙය කරන්නේ තමන් වේදනා විඳීමෙන්, අසනීප වී සිටින තම ප්‍රේමනීයයන්ව සුව කිරීම වැනි ප්රාතිහාර්යයන් සිදුවනු ඇතැයි යන මතයෙනි. වෙනත් අය එසේ කරන්නේ, තමන් බියවන පාප සඳහා තමන්ගේම රුධිරය වැගුරුවේ නැත්නම් සමාව නොලැබේය යන බියෙන් සමාව ලබාගැනීමටය. ද ෆිලිපිනෝස් මෙසේ පැහැදිලි කරයි: “වේදනාව වනාහි මනසේ සහ ආත්මයේ හොඳ පිරිසිදු කරන්නෙක් වේ. . . . පාපයෙන් පිරිසිදු කළ මෙන්ම කරදරවලින් සහනය දුන් වේදනාව තුළින් කෙනෙකු මතු විය යුතුයයි කල්පනා කෙරේ.”
කෙසේවුවද, ආත්මයට දුක් දීමේ වේදනාව පිලිපීනයේ කතෝලිකයන්ට පමණක් සීමා වූවක් නොවේ. නොයෙක් ආගම්වල සහ විවිධ රටවල ජනයා තමාටම දුක පමුණුවාගන්නාවූ වේදනාවලට, දෙවියන්වහන්සේගෙන් කමාව ලැබීමට සැලැස්විය හැකියයි විශ්වාස කරති.
උදාහරණයක් වශයෙන්, සිද්ධාර්ථ ගෞතම බුදරදහු සත්‍යය සොයා යෑමේදී, තම බිරිඳ සහ පුතුගෙන් වෙන් වී, වන ළැහැබකට ගොස්, එහි වසර හයකට තාපස ජීවිතයක් ගත කළහ. ඔහු දුෂ්කර, වේදනාකාරි තත්වයන් වින්ද අතර, පසුව දිනකට ධාන්‍ය බීජයක් පමණක් කමින් දිගු කාලපරිච්ඡේදයකට ජීවත් වූ බව පැවසේ, බෙහෙවින් කෘශ වූ ඔහු මෙසේ පැවසීය: “මගේ උදරයේ සම, පිට කටුවටම ඇළෙන තරම් විය.” එහෙත් ආත්මයට දුක් දීමේ බලවත් වේදනාව කෙතරම් වින්දත්, ඔහු සෙවූ ඥානාලෝකය ලබාගැනීමට නොහැකි විය.
එමෙන්ම, ඉන්දියාවේ හින්දු තාපසයෝ, ඇතැම්විට අතිශයින් දරුණු වද හිංසා පමුණුවාගත්හ—ගිනි මත වැතිරීම, තමන් අන්ධ වන තුරුම ඉර දෙස බලා සිටීම, බොහෝ කාලපරිච්ඡේද තුළ තනි පාදයකින් සිටගෙන සිටීම හෝ වෙනත් දුෂ්කර ඉරියව්වකින් සිටීම වේ. ඇතැම් තාපසයන්ගේ සද්ගුණවත්බව කෙතරම් මහත්දැයි සිතුවාද කිවහොත්, සතුරු ප්රහාරයන්ගෙන් නගරයක් බේරාගැනීමට ඊට හැකි විය.
එලෙසම, තම දෙවියන්ගේ අවධානය ගැනීමට ව්‍යර්ථ වෑයමක් දැරූ, “තමුන්ගේ සිරිතේ හැටියට ලේ ඇඟේ වැගිරෙන තුරු පිහියාවලිනුත් හෙල්ලවලිනුත්” තමුන්ගේ ශරීර කපාගත් බාල් නමස්කාරකයන් ගැන බයිබලය කතා කරයි.—1 රාජාවලිය 18:28.
“නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය”
යෙහෝවඃවහන්සේ තම තෝරාගත් ජාතියට “නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය” කියා තිබෙන බව සැබෑ වුවත්, මින් සාමාන්‍යයෙන් අදහස් වූයේ නිරාහාරව සිටීමය. (ලෙවී කථාව 16:31) එවැනි නිරාහාරව සිටීම දුක ප්‍රකාශ කිරීමක් හා පාපවලට පසුතැවිලි වීමක් හෝ පීඩාකාරි තත්වයන් යටතේ සිදු කිරීමක් විය. මෙබැවින්, නිරාහාරව සිටීම ආත්මයට දුක් දීමේ දඬුවමක ආකාරයක් නොවූ නමුත්, දෙවියන්වහන්සේ ඉදිරියේ කෙනෙකුගේ යටහත් පහත්භාවය පෙන්නුම් කිරීමක් විය.—එස්රා 8:21.
කෙසේවුවත්, තමාටම දුක් පමුණුවාගැනීමේදී ඇතුළත්ව තිබෙන අපහසුතාවට හොඳ විපාකයක් තිබෙන අතර, ඒ නිසාම ඔවුන්ට යමක් දීමට දෙවියන්වහන්සේ බැඳී සිටීයයි වරදවා කල්පනා කළ ඇතැම් යුදෙව්වෝ සිටියහ. එවැනි විපාකයක් නුදුරේ ඇති බවක් නොදුටු ඔවුහු, තමන් ලැබීමට සුදුසුයයි සිතූ ගෙවීම ගැන උඩඟු සිතින් දෙවියන්වහන්සේගෙන් මෙසේ ඇසූහ: “අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසා[ද?]”—යෙසායා 58:3.
එහෙත් ඔවුන්ට වැරදී තිබිණ. ශාරීරික වේදනාවට හෝ වින්ද අපහසුතාවට හොඳ විපාකයක් නොතිබෙන්නාක් මෙන්, නිසි ආගමික නිරාහාරව සිටීමට කුසගින්නෙන් ශරීරයට දුක් දීම ඇතුළත්ව නොතිබිණ. බලවත් චිත්තවේගය ඔවුන්ගේ කුසගින්න අඩු කර තිබුණා විය හැක. මනසේ ගැටලු පිරී තිබේ නම්, ශරීරය ආහාරවලට ඇල්මක් නොදැක්විය හැක. මෙමගින් නිරාහාරව සිටින්නාගේ අධිකතර හැඟීම් දෙවියන්වහන්සේට අඟවයි.
ආත්මයට දුක් දීමේ වේදනාවට දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද?
ජනයා තමුන්ටම වේදනා පමුණුවාගන්නවා බලා සිටීමෙන් ප්‍රේමනීය මැවුම්කරුවාණන් සතුටක් ලබාගනීද? ඇතැම් අවස්ථාවලදී ක්‍රිස්තියානීන්ට “ක්‍රිස්තුස්වහන්සේගේ . . . දුක් විඳීමෙහි . . . පංගුකාරයන්” වීමට අනිවාර්යයෙන් සිදුවන බව සැබෑ වුවත්, ඔවුන් ගැටලු ඇති කරගැනීමට හෝ ප්‍රාණ පූජා කරන්නෙකුගේ ඔටුන්නක් සඳහා කටයුතු කරන බවක් මින් අදහස් නොකෙරේ.—1 පේතෘස් 4:13.
ඇත්තෙන්ම, යේසුස්වහන්සේ කොහොමටවත් තාපසයෙකු මෙන් නොසිටිසේක. උන්වහන්සේගේ ගෝලයන් නිරාහාරව නොසිටි හෙයින් ආගමික නායකයන් පැමිණිලි කළ අතර, උන්වහන්සේ “කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය” කියාද ඔවුහු උන්වහන්සේට චෝදනා කළහ. (මතෙව් 9:14; 11:19) සියලු දේවලදී යේසුස්වහන්සේ මධ්‍යස්ථ බව පෙන්නුම් කළ අතර, උන්වහන්සේ තමන්ගෙන්වත්, වෙන අයගෙන්වත් සාධාරණ යමකට වඩා වැඩි යමක් ඉල්ලා නොසිටිසේක.—මාර්ක් 6:31; යොහන් 4:6.
හරියට අපගේ අවශ්‍යතාවන් හෝ ජීවිතයේ සැප පහසුකම් පවා ප්‍රතික්ෂේප කිරීමෙන් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලබනවා වාගේ, අපට ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් තපස්භාවයට කිසියම් පදනමක් සොයාගත නොහැක. එවැනි වේදනාකාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල්ගේ වචන සැලකිල්ලට ගන්න: “ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.”—කොලොස්සි 2:23.
මාර්ටින් ලූතර් පූජකයෙක්ව සිටියදී, වචනානුසාරයෙන්ම තමන්ටම වද හිංසා පමුණුවාගත්තේය. එහෙත්, ගැළවීම ලැබීමට ශුද්ධ ලියවිලිවල උගන්වා තිබෙන්නේ එකම මාර්ගයක්—එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇදහිල්ල පැවැත්වීම බැවින්, ඔවුන් උස් සහ පහත් මාර්ග ලෙසින් මාර්ග දෙකක් ගැන අදහසට දිරිගන්වනවායයි පවසමින් පසු කලකදී ඔහු එවැනි ක්‍රියාවලින් වැළකී සිටියේය. (යොහන් 17:3) අනික් අතට, ඇතැම් අය විසින් වේදනාකාරි ආගමික චාරිත්‍ර වාරිත්‍ර සලකනු ලැබුවේ ආත්ම-ගැළවීමේ ආකාරයක් ලෙසිනි.
චර්ච් හිස්ට්‍රි ඉන් ප්ලේන් ලැන්ග්වේජ් යන පොත මෙසේ පවසයි: “මුළු තාපස ජීවිතයට සහාය දැක්වීම මිනිසාගේ දෝෂ සහිත ආකල්පයකි. මළ සිරුරකට බැඳී සිටින සිරකාරයෙකු මෙන් ආත්මය මාංසයට බැඳී තිබේය යන්න පූජකයන්ගේ අදහසය. මිනිස් ජීවිතය ගැන බයිබල් ආකල්පය එය නොවේ. ආත්මයට දුක් දීමේ වේදනාවට දෙවියන්වහන්සේව සතුටු කළ හැකියි යන අදහසම ශුද්ධ ලියවිලිවලට අමුතු දෙයකි. එහි ඥානවාදී ආභාසයෙහි පදනම වශයෙන්, මාංසය හා සම්බන්ධ වී තිබෙන සෑම දෙයක්ම නපුරු බවත්, කෙනෙකුහට ගැළවීම ලබාගැනීමට නම් හැකි තරම් එයට වද හිංසා දිය යුතු බවත් සොයාගැනීමට තිබේ.
යෙහෝවඃවහන්සේට වුවමනා අප සතුටෙන් සිටිනවා දැකීමට බැවින්, එවැනි ප්‍රීතිමත් දෙවිකෙනෙකුට සේවය කිරීම තාපසයෙකු බවට පත්වීමේ කාරණයක් නොවේ. (දේශනාකාරයා 7:16) මෙබැවින්, ආත්මයට පීඩා පමුණුවාගැනීමේ එවැනි වේදනාවන් ගැන ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් අපට පවසා නැත. ඊට පටහැනිව, සියලු පාපවලින් අප පිරිසිදු කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය හා ඒ කෙරෙහි අපගේ ඇදහිල්ල තැබීමෙන් බව දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලිව පෙන්වා දෙයි.—රෝම 5:1; 1 යොහන් 1:7. g95 3/8