ලෝකයේ ආලෝකය අනුගමනය කරන්න
“මා අනුගමනය කරන්නා . . . ජීවනයේ ආලෝකය හිමි කරගන්නේ ය.”—යොහන් 8:12, NW.
1. ආලෝකය කොතරම් වැදගත් වේ ද?
ආලෝකය නොමැති ව අපි කුමක් කරමු ද? අවුරුද්දේ සෑම දවසක ම අඳුරෙන් යුත් පැය 24කට අවදි වීම ගැන කල්පනා කර බලන්න. පාටවලින් තොර වූ ලෝකයක් ගැන කල්පනා කර බලන්න, මන්දයත් ආලෝකය නොමැති ව පාට නොමැති බැවිනි. ඇත්තෙන් ම, ආලෝකය නොපැවතුණා නම්, අප ද නොපවතිනවා ඇත! එසේ නොපවතින්නේ මන්ද? ඊට හේතුව නම්, ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී, හරිත පැළෑටි, අප අනුභව කරන ආහාර—එනම් ධාන්‍ය, එළවලු, සහ පලතුරු සෑදීම සඳහා ආලෝකය යොදා ගැනීම ය. යම් විටෙක අප සත්ත්වයන්ගේ මාංස අනුභව කරන බව සැබෑ ය. එහෙත් එම සත්ත්වයෝ වෙනත් පැළෑටි හෝ පැළෑටි මගින් ජීවත් වූ වෙනත් සතුන් අනුභව කළහ. මෙසේ, අපගේ මාංසික ජීවිත මුළුමනින් ම ආලෝකය මත රඳා පවතී.
2. තිබෙන්නේ කුමන ප්‍රබල ආලෝක ප්‍රභවයන් ද, ඇරත් මේවා යෙහෝවඃ වහන්සේ ගැන පවසන්නේ කුමක් ද?
2 අපගේ ආලෝකය පැමිණෙන්නේ තරුවක් වන සූර්යයා ගෙනි. අපගේ සූර්යයා අති මහත් ආලෝක ප්‍රමාණයක් නිකුත් කළ ද, එය තවමත් මධ්‍යම ප්‍රමාණයේ තරුවක් පමණි. බොහෝ තරු ඊට වඩා විශාල ය. එමෙන් ම, අප ජීවත් වන තාරකා මණ්ඩලයට [මන්දාකිනියට], එනම් ක්ෂිර පථයට, තරු බිලියන සියයකට වඩා අඩංගු වෙයි. මීට අමතර ව, විශ්වයේ මන්දාකිනි ගණන් කළ නොහැකි බිලියන ගණනක් තිබේ. මොනතරම් අති මහත් තරු රැහැනක් ද! මොනතරම් අති විශාල ආලෝක ප්‍රමාණයක් ඒවායින් නිකුත් වෙනවා ද! මේ සියල්ල ම මැවූ යෙහෝවඃ වහන්සේ, ආලෝකයේ මොනතරම් බලසම්පන්න ප්‍රභවයක් වන සේක් ද! යෙසායා 40:26 මෙසේ ප්‍රකාශ කරයි: “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලාපල්ලා, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම [ගතික ශක්තියේ බහුලත්වය NW] නිසාද ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.”
ආලෝකයේ තවත් ආකාරයක්
3. යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආත්මික ආලෝකය මොනතරම් වැදගත් ද?
3 යෙහෝවඃ වහන්සේ, ආත්මික දසුන, එනම් ආත්මික අවබෝධය අප හට ලබා ගැනීමට ඉවහල් වන්නා වූ, වෙනත් ආකාරයක ආලෝකයේ ප්රභවය ද වන සේක. එක් ශබ්ද කෝෂයක්, “ඥානාලෝකය” [enlighten] යන්න මෙසේ නිර්වචනය කරයි: “දැනුම සැපයීම; උපදෙස් දීම; ආත්මික තීක්ෂ්ණ බුද්ධිය දීම.” එය “ඥානාලෝක වූ” [enlightened] යන්න නිර්වචනය කරන්නේ, “නූගත්කමින් හා වැරදි තොරතුරු සැපයීමකින් තොර නිදහස් වූ” යනුවෙනි. යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආත්මික ආලෝකනය සැපයෙන්නේ, උන් වහන්සේගේ වචනය වන බයිබලයේ ඒකාන්ත දැනුම මගිනි. දෙවියන් වහන්සේ කවුද යන්නත් උන් වහන්සේගේ අරමුණු මොනවා ද යන්නත් දැනගැනීමට අප හට හේතු කරවන්නේ මෙයයි. “ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල [හෘදවල NW] බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.” (2 කොරින්ති 4:6) මෙසේ, දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යතාවයන්, අප ව නූගත්කමින් හා වැරදි තොරතුරු සැපයීමකින් නිදහස් කරයි. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.”—යොහන් 8:32.
4, 5. යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙන දැනුම අපගේ ජීවිතවල ආලෝකයන් මෙන් ක්‍රියා කරන්නේ කෙසේ ද?
4 සැබෑ ආත්මික ඥානාලෝකයේ ප්රභවය වන යෙහෝවඃ වහන්සේ, “දැනගැන්මෙන් සපුර්ණව සිටින” සේක. (යෝබ් 37:16) තව ද, ගීතාවලිය 119:105 හි දෙවියන් වහන්සේ ගැන මෙසේ ප්‍රකාශ කරයි: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.” එමනිසා, අපගේ ජීවිතවල ඊළඟ පියවර පමණක් නොව, නමුත් ඉදිරියේ තිබෙන මාවතට ද ආත්මික ආලෝකය දල්වන්නට උන් වහන්සේට හැකි ය. එය නොමැති ව, ජීවිතය හරියට, මෝටර් රථයක්, ඝනාන්ධකාර රාත්‍රියක රථයේ හෝ වෙනත් කොතැනකවත් ආලෝකයක් නොමැති ව වංගු සහිත කඳු පාරක පදවා ගෙන යනවා හා සමාන ය. දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආලෝකය, මෝටර් රථයේ ප්‍රධාන ලාම්පුවලින් සැපයෙන ආලෝකයට සන්සන්දනය කළ හැකි ය. අප යන්නේ කොහාට දැයි හරියට ම දැක ගත හැකි පරිදි, ආලෝකය මගින් මාවත දීප්තිමත් වෙයි.
5 සැබෑ නමස්කාරය ඉගෙන ගෙන පිළිපැදිය හැකි වන පරිදි, ආත්මික ඥානාලෝකය වුවමනා කරන්නා වූ සියලු ජාතීන්ට අයත් මනුෂ්‍යයන් ව දෙවියන් වහන්සේ අපගේ කාලයේ දී එක්රැස් කරමින් සිටින බව යෙසායා 2:2-5 හි ඇති අනාවැකිය පෙන්වයි. තුන් වෙනි පදය මෙසේ පවසයි: “උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වන සේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු.” පස් වෙනි පදය සත්‍යය සොයන්නන්ට මෙසේ ආරාධනා කරයි: “වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] එළියෙහි ගමන් කරමු.”
6. යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආලෝකය අවසානයේ දී අප ව මඟ පෙන්වන්නේ කොතැනට ද?
6 මෙසේ, යෙහෝවඃ වහන්සේ, ජීවිතයට අතිශයින් වැදගත් වන්නා වූ දෙයාකාර ආලෝකයක, එනම් භෞතික හා ආත්මික ආලෝකවල ප්රභවය වන සේක. භෞතික ආලෝකය, අපගේ භෞතික ශරීර, සමහර විට වසර 70ක් හෝ 80ක් නැතහොත් එවැනි ගණනක් ජීවත් ව තබා ගැනීමට දැන් උපකාර කරයි. එහෙත්, ආත්මික ආලෝකය, පාරාදීස පොළොවක සදාකාල ජීවිතයකට මඟ පෙන්වයි. එය, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට යාච්ඤා කරද්දී සඳහන් කළාක් වැනි ය: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ [පිළිබඳ ව NW] සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් [පිළිබඳ ව NW] ඔවුන් විසින් ඇඳිනගැනීමය [දැනුම ලබා ගැනීම ය NW].”—යොහන් 17:3.
ආත්මික අන්ධකාරයේ තිබෙන ලෝකය
7. අපට වෙන කවරදාටත් වඩා ආත්මික ඥානාලෝකය අවශ්‍ය වන්නේ මන්ද?
7 අද අපට වෙන කවරදාකටවත් වඩා ආත්මික ආලෝකය අවශ්‍ය ය. මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ සහ 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ වැනි පරිච්ඡේදවල සඳහන් අනාවැකිවලින් පෙන්වන්නේ, අප මේ දේවල පිළිවෙළේ අවසානයට ළං වී තිබෙන බව ය. මේවා සහ වෙනත් අනාවැකි, අප “අන්තිම දවස්” තුළ සිටින බවට දැනගැනීමට සලස්වමින්, අපගේ කාලයේ සිදු වී තිබෙන භයංකාර දේවල් පුරෝකථනය කළේ ය. එවන් අනාවැකි සැබෑ කරවමින්, මෙම සියවස ව්‍යසනය පිට ව්‍යසනය අත්දැක ඇත. අපරාධ සහ ප්රචණ්ඩත්වය බිහිසුණු ප්‍රමාණයන් දක්වා වැඩි වී තිබේ. යුද්ධ, මිලියන සිය ගණනකට වැඩි ජීවිත බිලි ගෙන ඇත. ඒඩ්ස් වැනි භයානක රෝග මිලියන ගණන් පසු පස්සේ යමින් ඔවුන්ට පීඩා කොට තිබෙන අතර, එක්සත් ජනපදයේ පමණක්, ඒඩ්ස් රෝගය මගින් 1,60,000ක් පමණ දැනටමත් මිය ගොස් සිටිති. පවුල් ජීවිතය බිඳ වැටී තිබෙන අතර, ලිංගික සදාචාරය දෙස බලන්නේ යල් පැන ගිය දෙයක් හැටියට ය.
8. මිනිස් වර්ගයා දැන් මුහුණ දෙන්නේ කුමන තත්ත්වයට ද, තව ද ඒ මන්ද?
8 එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් හාවීයේ පේරස් ඩේ ක්වෙයියාර් මෙසේ පැවසී ය: “දුප්පත්කම සමාජවල ඒකීය භාවය බිඳ දමමින් තිබෙන බවට ලෝක තත්ත්වය ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරයි.” ඔහු සඳහන් කළේ “දැන් බිලියනයකට වඩා වැඩි ගණනක් ජනයා දුප්පත්කමේ පතුලේ ජීවත් වන” බවත්, “මෙය, සාපරාධී ආරවුල්වලට හේතු කරවන බලවේගයන් පෝෂණය කර ඇති” බවත් ය. “මෙම මාරාන්තික විපත්, ආණ්ඩුවලට මෙහෙය විය හැකි ප්රතිකර්මවලට මහත් දුෂ්කරතා පමුණුවන්නේ” යයි ඔහු පැවසුවේ ය. බලගතු සංවිධානයක ප්‍රධානියා සහතික ලෙස කියා සිටියේ මෙසේ ය: “සමාජය මුහුණ දෙන ප්‍රධාන ප්රශ්නය නම්, එය පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වීමයි.” ගීතාවලිය 146:3 හි සඳහන් වචන මොනතරම් සැබෑ ද: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.”
9. මිනිස් වර්ගයා ගිලෙමින් සිටින අන්ධකාරය සඳහා වඩාත් වගකිව යුත්තේ කවරහු ද, ඇරත් මෙම බලපෑමෙන් අප ව මුදවා ගත හැක්කේ කාට ද?
9 අද දින තත්ත්වය යෙසායා 60:2 හි පුරෝකථනය කරන ලද්දක් වැනි ය: බලව! “පොළොව, අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය.” පෘථිවියේ වාසය කරන්නන්ගේ අති විශාල බහුතරයක් ආවරණය කරන්නා වූ මෙම අන්ධකාරය ඇති වී තිබෙන්නේ, ඔවුන් යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආත්මික ආලෝකය උරා නොගැනීම නිසා ය. තව ද ආත්මික අන්ධකාරයේ මූල හේතුව වන්නේ, ආලෝකයේ දෙවියන් වහන්සේගේ ප්‍රධාන සතුරන් වන සාතන් වන යක්ෂයා සහ ඔහුගේ භූතයන් ය. ඔවුන්, “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්” ය. (එපීස 6:12) දෙවෙනි කොරින්ති 4:4 හි පවසන්නාක් මෙන්, යක්ෂයා වනාහි “මේ ලෝකයේ [දේවල පිළිවෙළේ NW] දෙවියා” වන අතර, ඔහු “නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස . . . ඔවුන්ගේ සිත් අන්ධකළේ ය.” සාතන්ගේ බලපෑමෙන් ලෝකය මුදවන්නට කිසි පාලකයෙකුට නොහැක. එසේ කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණි.
“මහත් ආලෝකයක්”
10. අපගේ කාලයේ දී, මිනිස් වර්ගයා මත ආලෝකය දිදුළනු ඇති බව යෙසායා පුරෝකථනය කළේ කෙසේ ද?
10 එහෙත්, මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකු ව ඝණ අන්ධකාරයකින් වැසී තිබුණත්, දෙවියන් වහන්සේගේ වචනය යෙසායා 60:2, 3 හි මෙසේ අනාවැකි පළ කළේ ය: “නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදාවන සේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද . . . එනවා ඇත.” මෙය, අන්තිම දවස්වල දී ඥානාලෝක වූ යෙහෝවඃ වහන්සේගේ සත්‍යය නමස්කාරය පිහිටුවනු ලබන බවට පොරොන්දු කළා වූ යෙසායා 2 වෙනි පරිච්ඡේදයට එකඟ වන අතර, එහි 2 සහ 3 වෙනි පද මෙසේ කියයි: “සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු.” ඉන් අදහස් කරන්නේ, උන් වහන්සේ හට පිදෙන උසස් කළා වූ සැබෑ නමස්කාරයයි. එමනිසා, මෙම ලෝකය සාතන් විසින් පාලනය කරනු ලැබුව ද, දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආලෝකය බැබළෙමින් තිබෙන අතර, එමගින් බොහෝ ජනී ජනයා ව අන්ධකාරයෙන් නිදහස් කරමින් සිටී.
11. දෙවියන් වහන්සේගේ ආලෝකය පිළිබිඹු කිරීමේ ලා වඩාත් ප්‍රධාන තැනැත්තා කවරෙකු වනු ඇත් ද, ඇරත් සිමියොන් උන් වහන්සේ ව හඳුන්වා දුන්නේ කෙසේ ද?
11 දෙවියන් වහන්සේ, ස්වකීය ආලෝකය පරාවර්තනය කරවන පිණිස ලෝකයට යමෙකු ව එවනු ඇති බවට යෙසායා 9:2 හි සඳහන් අනාවැකියෙන් පුරෝකථනය විණි. එහි මෙසේ සඳහන් වෙයි: “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.” මෙම “මහත් ආලෝකය” නම්, යෙහෝවඃ වහන්සේගේ කථික නියෝජිතයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “මම ලෝකයේ ආලෝකය වෙමි. මා අනුගමනය කරන්නා, කුමන අයුරකින්වත් අන්ධකාරයේ ගමන් කරන්නේ නැත, නමුත් ඔහු ජීවනයේ ආලෝකය හිමි කරගන්නේ ය.” (යොහන් 8:12, NW) යේසුස් වහන්සේ කුඩා දරුවෙකු ව සිටිය දී පවා සමහරෙකු විසින් මෙය දැනගන්නා ලදි. “ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ” එමෙන් ම, ‘ශුද්ධාත්මය ඔහු කෙරෙහි වූ’ සිමියොන් නම් මනුෂ්‍යයෙකු ගැන ලූක් 2:25 හි පැවසේ. සිමියොන් කුඩා ළදරුවෙකු ව සිටි යේසුස් වහන්සේ ව දුටු විට, ඔහු යාච්ඤාවෙන් දෙවියන් වහන්සේට මෙසේ පැවසුවේ ය: “අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට [ජාතීන් වෙතින් කඩතුරාව ඉවත් කිරීම සඳහා NW] ආලෝකයක්ද . . . සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ ගැළවීම [ගැලවීමේ මඟ NW] මාගේ ඇස්වලින් දුටිමි.”—ලූක් 2:30-32.
12. ජනයා ව අන්ධකාරයෙන් වසා ගෙන සිටි කඩතුරාව යේසුස් වහන්සේ විසින් ඉවත් කිරීමට පටන් ගත්තේ කවදා ද, එමෙන් ම කෙසේ ද?
12 යේසුස් වහන්සේ සිය බව්තීස්මයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් මිනිස් වර්ගයා වෙතින් අන්ධකාරයේ කඩතුරාව ඉවත් කිරීමට පටන් ගත් සේක. ආත්මික අන්ධකාරයේ ගමන් කරමින් සිටි ජනයා මත දිදුළීමට පටන් ගත්තා වූ “මහත් ආලෝකය” ගැන කථා කළා වූ යෙසායා 9:1, 2 මෙයින් ඉටු වූ බව මතෙව් 4:12-16 අපට පවසයි. මතෙව් 4:17 පවසන්නේ මෙසේ ය: “එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙයල්ලා; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.” දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම මගින්, යේසුස් වහන්සේ, දේව අරමුණු ගැන ජනයා ව ඥානාලෝක කළ සේක. උන් වහන්සේ, “ශුභාරංචිය තුළින් ජීවිතය සහ දූෂණයෙන් තොර වූ භාවය මත ආලෝකය විහිදුවාලූ සේක.”—2 තිමෝති 1:10, NW.
13. යේසුස් වහන්සේ උන් වහන්සේ ගැන ම විස්තර කළේ කෙසේ ද, තව ද එවන් සහතිකයක් සමඟින් එසේ කිරීමට උන් වහන්සේට හැකි වූයේ මන්ද?
13 යේසුස් වහන්සේ ඇදහිලිවන්ත ලෙස දෙවියන් වහන්සේගේ ආලෝකය පිළිබිඹු කළ සේක. උන් වහන්සේ පැවසුවේ මෙසේයි: “මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි. . . . මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අනක් දී තිබේ. උන්වහන්සේගේ අණ [අණයෙන් අදහස් කරන්නේ NW] සදාකාල ජීවනය බවද දනිමි.”—යොහන් 12:44-50.
“උන් වහන්සේ කරණ කොට ගෙන ජීවනය විය”
14. යොහන් 1:1, 2 හි යේසුස් වහන්සේ ව හඳුන්වා දී ඇත්තේ කෙසේ ද?
14 එසේ ය, යෙහෝවඃ වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ව පොළොවට එව්වේ, ජනයා හට සදාකාල ජීවනයට මාවත පෙන්වීමට ආලෝකයක් වන පිණිස ය. මෙය, යොහන් 1:1-16 හි විශේෂ කොට හුවා දක්වා ඇති ආකාරය සැලකිල්ලට ගන්න. පළමු වෙනි සහ 2 වෙනි [NW] පද මෙසේ කියයි: “පටන්ගැන්මෙහි දී වාක්‍යයාණෝ සිටිසේක. වාක්‍යාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටි සේක, තව ද වාක්‍යයාණෝ දෙවි කෙනෙකු ව සිටි සේක.” මේ තැනැන් වහන්සේ පටන්ගැන්මේ දී දෙවියන් වහන්සේ සමඟ සිටි සේක. මෙහි දී, මිනිසත් බව ගැනීමට පෙර සිටි යේසුස් වහන්සේ ව යොහන් විසින් හඳුන්වනු ලබන්නේ, “වාක්‍යයාණෝ” වශයෙනි. යෙහෝවඃ දෙවියන් වහන්සේගේ කථික නියෝජිතයා වශයෙන් උන් වහන්සේ ඉටු කළා වූ කාර්ය භාරය මින් හඳුන්වා දෙයි. එමෙන් ම, “පටන්ගැන්මෙහි දී වාක්‍යයාණෝ සිටිසේක” යනුවෙන් යොහන් සඳහන් කරන විට, ඉන් අදහස් කරන්නේ, වාක්‍යයාණන්, යෙහෝවඃ වහන්සේගේ මැවීමේ ක්‍රියාවල ආරම්භය ව, “දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ” ව සිටි බව ය. (එළිදරව් 3:14) දෙවියන් වහන්සේගේ මැවිලි අතර උන් වහන්සේගේ පූර්ව උත්තරීතර තත්ත්වය, උන් වහන්සේ ව “දෙවිකෙනෙකු,” එනම් බලවත් කෙනෙකු වශයෙන් හඳුන්වනු ලැබීමට සැබෑ පදනමක් ලබා දෙයි. යෙසායා 9:6 හි උන් වහන්සේ ව “පරාක්‍රමවත් දෙවියන්වහන්සේ” ලෙස හඳුන්වයි, නමුත් සර්වබලධාරී දෙවියන් වහන්සේ ලෙස නොවේ.
15. යොහන් 1:3-5 හි යේසුස් වහන්සේ ගැන අපට දෙන අමතර තොරතුරු මොනවා ද?
15 යොහන් 1:3 [NW] හි සඳහන් කරන්නේ මෙසේ ය: “සියල්ල පැවැත්මට පැමිණියේ උන් වහන්සේ තුළින් ය, උන් වහන්සේගෙන් බැහැර ව එක් දෙයක්වත් පැවැත්මට පැමිණියේ නැත.” “ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති . . . [අනෙක් NW] සියල්ල උන් වහන්සේ තුළ [කරණ කොට ගෙන NW] මවන ලද්දේය” යයි කොලොස්සි 1:16 පවසයි. යොහන් 1:4 හි [NW] පවසන්නේ, “උන් වහන්සේ කරණ කොට ගෙන ජීවනය විය, තව ද ජීවනය මිනිසුන්ගේ ආලෝකය වූයේ ය” කියා ය. එමනිසා වාක්යාණන් කරණ කොට ගෙන, අනෙකුත් සියලු ආකාරයේ ජීවයන් මවන ලදි; ඇරත් ස්වකීය පුත්‍රයාණන් කරණ කොට ගෙන, පව්කාර, මිය යමින් සිටින මිනිස් වර්ගයාට සදාකාල ජීවනය ලබා ගැනීමට දෙවියන් වහන්සේ මං උදා කළ සේක. සහතික ව ම, යෙසායා 9:2 හි “මහත් ආලෝකයක්” යනුවෙන් හැඳින්වෙන යේසුස් වහන්සේ බලවත් කෙනෙක් වන සේක. තව ද යොහන් 1:5 [NW] මෙසේ කියයි: “ආලෝකය අන්ධකාරයේ බැබළෙමින් තිබේ, නමුත් අන්ධකාරය එය යටපත් කර නොමැත.” ආලෝකයෙන් නියෝජනය වන්නේ සත්‍යය සහ ධර්මිෂ්ඨකමයි, මෙය වැරැද්ද සහ අධර්මිෂ්ඨකම නියෝජනය කරන අන්ධකාරයට පටහැනි ව තිබේ. මෙසේ, අන්ධකාරය ආලෝකය පරාජය නොකරනු ඇති බව යොහන් පෙන්වයි.
16. යොහන් බව්තීස්ත යේසුස් වහන්සේගේ වැඩකටයුතුවල පරාසය ගැන යොමු දැක්වූයේ කෙසේ ද?
16 දැන් යොහන් 6 වෙනි පදයේ සිට 9 [NW] වෙනි පදය දක්වා මෙසේ තර්ක කරයි: “දෙවියන් වහන්සේගේ නියෝජිතයෙකු ලෙස එවනු ලැබූ මිනිසෙක් නැඟිටුණේ ය; ඔහුගේ නම යොහන් [බව්තීස්ත] විය. මෙම මිනිසා පැමිණියේ, සාක්ෂියක් සඳහා ය, එනම් තමා තුළින් සියලු ආකාර මිනිසුන් අදහන පරිදි, ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ය. ඔහු [යොහන්] ඒ ආලෝකය නොවී ය, නමුත් ඔහු කළ යුතු වූයේ එම ආලෝකය [යේසුස් වහන්සේ] ගැන සාක්ෂි දැරීම ය. සියලු ආකාර මිනිසුන් හට ආලෝකය දෙන සැබෑ ආලෝකය ලෝකයට පැමිණීමට නියමිත ව තිබුණි.” පැමිණෙන්නා වූ මෙසියස් වහන්සේ වෙත යොමු දක්වමින් සිටි යොහන්, තම අනුගාමිකයන් ව උන් වහන්සේ වෙතට හැරවී ය. කල් යත් ම, ආලෝකය පිළිගැනීමට සියලු ආකාර ජනයා හට ප්‍රස්තාව දෙන ලදි. එමනිසා, යේසුස් වහන්සේ පැමිණියේ හුදෙක් යුදෙව්වන්ගේ ප්‍රයෝජනය උදෙසා පමණක් නොව, නමුත්—ජාතිය කුමක් වුවත් පොහොසත් හෝ දුප්පත් වුවත්—සියලු මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය උදෙසා ය.
17. යේසුස් වහන්සේගේ දවස්වල සිටි යුදෙව්වන්ගේ ආත්මික තත්ත්වය ගැන යොහන් 1:10, 11 හි පැවසෙන්නේ කුමක් ද?
17 දහ වෙනි සහ 11 වෙනි පදවල [NW] තවදුරටත් මෙසේ සඳහන් වෙයි: “උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක, තව ද ලෝකය පැවැත්මට පැමිණියේ උන් වහන්සේ තුළිනි, නමුත් ලෝකය උන් වහන්සේ ව දැනගත්තේ නැත. උන් වහන්සේ තමන්ගේ ම නිවසට පැමිණි සේක, උන් වහන්සේගේ ම ජනයා උන් වහන්සේ ව ඇතුළට ගත්තේ නැත.” මිනිස් වර්ගයාගෙන් යුත් ලෝකය මවන ලද්දේ, යේසුස් වහන්සේ සිය පූර්ව මිනිස් පැවැත්මේ සිටි විට, උන් වහන්සේ තුළිනි. එනමුත්, පොළොව මත සිටි විට, උන් වහන්සේගේ ම අය එනම්, යුදෙව්වන් වැඩි දෙනෙකු විසින් උන් වහන්සේ ව ප්‍රතික්ෂේප කරන ලදි. තමන්ගේ නරක සහ කුහකකම හෙළි වනවා දැකීමට ඔවුන්ට වුවමනා වූයේ නැත. ඔවුහු ආලෝකයට වඩා අන්ධකාරයට වැඩි ඇල්මක් දැක්වූවෝ ය.
18. සමහරෙකුට විශේෂ ආත්මික උරුමයක් සහිත ව දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් විය හැකි බව යොහන් 1:12, 13 හි පෙන්වන්නේ කෙසේ ද?
18 යොහන් 12 සහ 13 පදවල [NW] මෙසේ පවසයි: “කෙසේ වුවද, යම් පමණ දෙනෙක් උන් වහන්සේ ව පිළිගත්තෝ ද, උන් වහන්සේ ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ අධිකාරිත්වය දුන් සේක, මන්දයත්, ඔවුන් උන් වහන්සේගේ නාමය තුළ ඇදහිල්ල පවත්වමින් සිටි බැවිනි; තව ද ඔවුන් ඉපදුණේ රුධිරයෙන් හෝ මාංසික කැමැත්තෙන් හෝ මිනිසාගේ කැමැත්තෙන් නොව, නමුත් දෙවියන් වහන්සේ වෙතිනි.” යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ආරම්භයේ දී, දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නොවූ බව මෙම පදවලින් පෙන්වයි. ක්‍රිස්තුස් වහන්සේ පොළොවට පැමිණීමට පෙර, එවන් පුත්රකමක්වත් ස්වර්ගික බලාපොරොත්තුවක්වත් මිනිසුන් හට විවෘත වී තිබුණේ නැත. එහෙත් ඔවුන් ඇදහිල්ල පැවැත්වූවා වූ, ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාවේ වටිනාකම මගින්, ඇතැම් මිනිසුන් ව පුත්‍රකමට පත් කරනු ලැබූ අතර, ක්‍රිස්තුස් වහන්සේ සමඟ දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජවරුන් වශයෙන් ජීවනයේ බලාපොරොත්තුවක් ඇතුව සිටීමට හැකි විණි.
19. යොහන් 1:14 හි පෙන්වා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ ආලෝකය පිළිබිඹු කිරීමට යේසුස් වහන්සේ හොඳ ම තත්ත්වයේ සිටින්නේ මන්ද?
19 දහහතර වෙනි පදය [NW] මෙසේ තර්ක කරයි: “එමනිසා, වාක්‍යයාණෝ මාංසවත් වී අප අතර වාසය කළ සේක, තව ද අපට උන් වහන්සේගේ තේජස්ශ්රීයේ දසුනක් ලැබී ඇත, එය නම් පියාණන් කෙනෙකු වෙතින් පැමිණි ඒක ජාතක පුත්‍රයෙකු සතු තේජස්ශ්රීයකි.” යේසුස් වහන්සේ පොළොව මත දී, දෙවියන් වහන්සේගේ පළමු පුත්‍රයාට පමණක් හැකි වූ විලසින් දෙවියන් වහන්සේගේ තේජස්ශ්‍රීය පිළිබිඹු කළ සේක. මෙබැවින්, දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණු ජනයා හට හෙළි කිරීම සඳහා, උන් වහන්සේ අද්විතීය අයුරකින් වඩාත් හොඳින් සුදුසුකම් ලැබූ සේක.
20. යොහන් 1:15 හි වාර්තා වී ඇති පරිදි, යේසුස් වහන්සේ ගැන යොහන් බව්තීස්ත අපට පවසන්නේ කුමක් ද?
20 ඊළඟට, ප්‍රේරිත යොහන් 15 පදයේ [NW] මෙසේ ලියයි: “යොහන් [බව්තීස්ත] උන් වහන්සේ ගැන සාක්ෂි දැරුවේ ය, එසේ ය, ඔහු ඇත්තට ම හඬ නගා මෙසේ පැවසුවේ ය: ‘මට පසු ව එන තැනැත්තා මට ඉදිරියෙන් පැමිණ සිටී, මන්ද උන් වහන්සේ මට පෙර පැවතුණු නිසා ය.’ ” යොහන් බව්තීස්ත ඉපදුණේ යේසුස් වහන්සේ මිනිසෙකු වශයෙන් උපත ලැබුවාට මාස හයකට පමණ පෙර ය. එහෙත් යේසුස් වහන්සේ යොහන් කළාට වඩා බොහෝ ක්‍රියාවන් කළ බැවින්, සෑම අතින් ම යොහන්ට වඩා ඉදිරියෙන් පැමිණ සිටි සේක. යේසුස් වහන්සේ හට පූර්ව මිනිස් පැවැත්මක් තිබූ හෙයින්, උන් වහන්සේ තමන්ට පෙර පැවති බැව් යොහන් පිළිගත්තේ ය.
යෙහෝවඃ වහන්සේගෙන් දීමනා
21. අප “ලබන්ට නොවටිනා තරම් කරුණාව පිට කරුණාව පවා” ලබා සිටින බව යොහන් 1:16 පවසන්නේ ඇයි?
21 යොහන් 1:16 [NW] මෙලෙස තර්ක කරයි: “අපි සියල්ලන් ම උන් වහන්සේගේ පූර්ණකමින්, ලබන්ට නොවටිනා තරම් කරුණාව පිට කරුණාව පවා ලබා ගතිමු.” ආදම්ගෙන් උරුම වූ පාපය තුළ මිනිසුන් ඉපදී සිටියත්, මේ දුෂ්ට පිළිවෙළ විනාශ කිරීම, මිලියන ගණන් ජනයා නව ලෝකය තුළට බේරී ජීවත්වීම, මළවුන්ගේ නැවත නැගිටීම, පාපය සහ මරණය ඉවත් කිරීම ප්‍රතිඵල කරවමින් පාරාදීස පොළොවක් මත සදාකාල ජීවිතය යෙහෝවඃ වහන්සේ විසින් අරමුණු කරන සේක. මෙම සියලු ආශීර්වාදයන් පව්කාර මිනිසුන් විසින් ලබන්ට වටින්නේ නැත, ඒවා ඔවුන් උපයා ගත් ඒවා නොවේ ය. ඒවා වනාහි ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන දීමනාවන් ය.
22. (අ) දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම දීමනාව කුමක් සිදු වීමට මං සලසයි ද? (ආ) බයිබලයේ අවසාන පොතේ අප හට දී තිබෙන ආරාධනය කුමක් ද?
22 මේ සියල්ල ම හැකි කරවන්නා වූ ශ්‍රේෂ්ඨතම දීමනාව කුමක් ද? “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් [මිනිස් වර්ගයාගෙන් සමන්විත] ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මෙසේ, දෙවියන් වහන්සේ පිළිබඳ සහ “ජීවනයේ අධිපතියා” වන, උන් වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳ ඒකාන්ත දැනුම, ආත්මික ආලෝකය සහ සදාකාල ජීවනය වුවමනා වන්නා වූ අයට අතිශයින් වැදගත් ය. (ක්‍රියා 3:15) සත්‍යයට ප්‍රේම කරන සහ ජීවනය වුවමනා වන සියල්ලන් හට, බයිබලයේ අවසාන පොත පහත සඳහන් ආරාධනය ඉදිරිපත් කරන්නේ එමනිසා ය: “වරෙන්න . . . අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.”—එළිදරව් 22:17.
23. බැටළු ගුණැති ජනයා ආලෝකය වෙත පැමිණෙන විට, ඔවුන් කුමක් කරනු ඇත් ද?
23 යටහත් පහත්, බැටළු ගුණැති ජනයා ලෝකයේ ආලෝකය වෙතට පැමිණෙනවා පමණක් නොව, නමුත් එම ආලෝකය අනුගමනය කරනවා ද ඇත: “බැටළුවෝද ඔහුගේ හඬ [තුළ වූ සත්‍යයේ නාදය] අඳුනන බැවින් ඔහු පස්සේ යති.” (යොහන් 10:4) ඇත්තෙන් ම, “උන් වහන්සේගේ පියවරවල් ළඟින් අනුගමනය කිරීමේ” ලා ඔවුහු ප්‍රමුදිත වෙති, මන්දයත් එසේ කිරීම ඔවුන් සඳහා ජීවනය අදහස් කරනු ඇති බව ඔවුන් දන්නා හෙයිනි.—1 පේතෘස් 2:21, NW.
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත් ද?
◻ යෙහෝවඃ වහන්සේගෙන් ගලා එන ආලෝකයේ ආකාර දෙක මොනවා ද?
◻ අද දින ආත්මික ඥානාලෝකය එතරම් වැදගත් වන්නේ මන්ද?
◻ යේසුස් වහන්සේ, “මහත් ආලෝකයක්” වූයේ කිනම් ආකාරයෙන් ද?
◻ යොහන් 1 වෙනි පරිච්ඡේදය යේසුස් වහන්සේ ගැන අපට පවසන්නේ කුමක් ද?
◻ ලෝකයේ ආලෝකය අනුගමනය කරන අයට ගලා එන දීමනාවන් මොනවා ද?
[10වන පිටුවේ පින්තූරය]
“ජාතීන් වෙතින් කඩතුරාව ඉවත් කිරීම සඳහා ආලෝකයක්” වශයෙන් සිමියොන් යේසුස් වහන්සේ ව හැඳින්වී ය