යෙහෝවඃවහන්සේ වෙහෙසවූවන්ට බලය දෙනසේක
“ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය.”—යෙසායා 40:31.
1, 2. යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට උන්වහන්සේ කුමක් දෙනසේක්ද, තවද දැන් අප සැලකිල්ලට භාජන කරන්නේ කුමක්ද?
අහස් කුසෙහි පියාසර කරන වඩාත්ම බලසම්පන්න පක්ෂීන් අතර රාජාලියෝ සිටිත්. උන්ගේ පියාපත් නොගසමින් පවා සෑහෙන දුරකට නිසර්පණය වීමට උන්ට හැකිය. මීටර් දෙකකටත් වඩා දිගට විහිදෙන පියාපත් ඇති “කුරුලු රජා” වන රන්වන් රාජාලියා, “සියලු රාජාලීන් අතුරින් වඩාත් සිත්ගන්නාසුලු රාජාලියා වේ; හෙල් හා තැනිතලා ඉහළින් පියාසර කරන [ඌ], යම් කඳු වැටියක් උඩින් පැය ගණනක් පුරා පියාසර කොට, අනතුරුව, අහස් කුසෙහි කළු තිතක් වන තෙක් දඟරාකාරව ඉහළට නඟියි.”—දි ඕඩුබොන් සොසයටි එන්සයික්ලොපීඩියා ඔෆ් නෝර්ත් අමෙරිකන් බර්ඩ්ස්.
2 රාජාලියාගේ පියාසර කිරීමේ හැකියා සිහියේ තබාගනිමින්, යෙසායා මෙසේ ලීවේය: “[යෙහෝවඃවහන්සේ] ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය, යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.” (යෙසායා 40:29-31) ඉහළින් පියාසර කරන රාජාලියාගේ වෙහෙස නොවන බවක් පෙනෙන්ට තිබෙන පියාපත් සමඟින් හරියට ඔවුන්ව සන්නද්ධ කරන්නාක් මෙන්, යෙහෝවඃවහන්සේ තමන් කෙරෙහි විශ්වාස කරන අයට සාර්ථකව කටයුතු කරගෙන යෑමට ශක්තිය දෙන බව දැනසිටීම මොනතරම් සැනසිලිදායකද! උන්වහන්සේ වෙහෙස වූ තැනැත්තාට බලය දීම සඳහා ලබා දී තිබෙන සැපයුම් සමහරක් දැන් සලකා බලන්න.
යාච්ඤාව සතු බලය
3, 4. (අ) යේසුස්වහන්සේ සිය ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ කුමක් කිරීමටද? (ආ) අපේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, අපට අපේක්ෂා කළ හැක්කේ යෙහෝවඃවහන්සේ කුමක් කරන බවටද?
3 “නොමැළිව නිතර යාච්ඤාකරන්ට” යේසුස්වහන්සේ සිය ගෝලයන්ගෙන් උදක්ම ඉල්ලා සිටිසේක. (ලූක් 18:1) අපට සවිය අලුත් කරගැනීමටත්, ජීවිතයේ පීඩන දරාගත නොහැකි බවට පෙනෙන විට අත්හැරීමෙන් වැළකී සිටීමටත්, යෙහෝවඃවහන්සේ වෙත අපේ හෘදය වැගිරීම සැබවින්ම අපට උපකාරයක් විය හැකිද? එසේය, නමුත් අප සිහියේ තබාගත යුතු සමහරක් දේවල් තිබේ.
4 අපේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, යෙහෝවඃවහන්සේ කළ යුතුයයි අප අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් අප යථාර්ථවාදී විය යුතුය. ගැඹුරු විෂාදයක් තුළ ගිලී සිටි එක් ක්‍රිස්තියානි භක්තික ස්ත්‍රියක් පසුව මෙසේ නිරීක්ෂණය කළාය: “වෙනත් අසනීප සම්බන්ධයෙන් සැබෑවක් වන්නාක් මෙන්ම, යෙහෝවඃවහන්සේ මේ කාලයේ ප්රාතිහාර්යයන් සිදු කරන්නේ නෑ. නමුත් සාර්ථකව මුහුණ දීමටත්, මේ පිළිවෙළ තුළ අපට හැකි තරමට සුවය ලැබීමටත් උන්වහන්සේ අපට උපකාර කරනවා.” ඇගේ යාච්ඤා යම් වෙනසක් දැනීමට සැලැස්වූ හේතුව පැහැදිලි කරමින්, ඈ තවදුරටත් මෙසේ පැහැදිලි කළාය: “මට මුළු දවසේ පැය 24 පුරාම යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මය ලබාගත හැකිව තිබුණා.” මෙසේ, අපව විඩාවට පත් කළ හැකි ජීවිතයේ පීඩනවලින් යෙහෝවඃවහන්සේ අපට විශේෂ රැකවරණයක් නොදෙන මුත්, උන්වහන්සේ “තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය” ඉඳුරාම දෙනසේක! (ලූක් 11:13; ගීතාවලිය 88:1-3) එම ආත්මය අප මුහුණ දිය හැකි ඕනෑම පීඩාවක් හෝ පරීක්ෂාවක් හමුවේ ස්ථිරව සිටීමට අපට උපකාර කළ හැක. (1 කොරින්ති 10:13) අවශ්‍ය වේ නම්, ඉතා නුදුරෙහි වූ නව ලෝකය තුළ දේවරාජ්‍යය මගින්, පීඩිත ගැටලු සියල්ල තුරන් කරනු ලබන තාක්කල් විඳදරාගැනීමට අප තුළ “සාමාන්‍යය ඉක්ම වූ බලය” රෝපණය කිරීමට එයට හැක.—2 කොරින්ති 4:7, NW.
5. (අ) අපේ යාච්ඤා බලපෑමෙන් යුක්ත වීමට නම්, කුමන දේවල් දෙක අත්‍යවශ්‍ය වේද? (ආ) අප මාංසයේ දුර්වලකමකට එරෙහිව සටන් කරනවා නම්, අපට කෙසේ යාච්ඤා කළ හැකිද? (ඇ) අපේ අඛණ්ඩ නිශ්චිත යාච්ඤාවලින් යෙහෝවඃවහන්සේට විදහාපෙන්වනු ලබන්නේ කුමක්ද?
5 එහෙත්, අපේ යාච්ඤා බලපෑමෙන් යුක්ත ඒවා වීමට නම්, අප අඛණ්ඩ උත්සාහයක් දැරිය යුතු අතර, අප නිශ්චිත විය යුතුය. (රෝම 12:12) උදාහරණයක් වශයෙන්, ඔබ මාංසයේ දුර්වලකමකට එරෙහිව සටන් කරන නිසා, ඔබ ඇතැම්විට විඩාවට පත් වන්නෙහි නම්, හැම දවසකම ආරම්භයේදී, දවස තුළ එම නිශ්චිත දුර්වලකමට ගොදුරු වීමෙන් වැළකී සිටීමට ඔබට උපකාර කරන මෙන් යෙහෝවඃවහන්සේගෙන් අයැද සිටින්න. දවස පුරාම සහ සෑම රාත්‍රියකදීම නිදාගැනීමට පෙර ඒ හා සමානව යාච්ඤා කරන්න. ඔබ පසුබසින්නෙහි නම්, සමාව සඳහා යෙහෝවඃවහන්සේගෙන් අයැද සිටින්න, නමුත් එම පසුබෑමට මඟ පෑදූ දේ සම්බන්ධයෙන්ද, අනාගතයේ එම තත්වයන් මඟ හැරීමට ඔබට කළ හැකි දේ සම්බන්ධයෙන්ද උන්වහන්සේට කතා කරන්න. එවන් අඛණ්ඩ මෙන්ම නිශ්චිත යාච්ඤා මගින් “යාච්ඤා අසන තැනැන්වහන්[සේට]” විදහාපෙන්වනු ලබන්නේ, එම සටන ජයගැනීමට ඔබේ ආශාවේ අවංකභාවයයි.—ගීතාවලිය 65:2; ලූක් 11:5-13.
6. යාච්ඤා කිරීමට අප නුසුදුසු බව අපට හැඟී ගියත්, යෙහෝවඃවහන්සේ අපේ යාච්ඤා අසන බව අපට නිසි ලෙස අපේක්ෂා කළ හැක්කේ මන්ද?
6 කෙසේවෙතත්, සමහරවිට යාච්ඤා කිරීමට තමුන් නුසුදුසු බව විඩාවට පත් වූ ඇතැම් අයට හැඟී යා හැක. එවන් හැඟීම් සතුව සිටි ක්‍රිස්තියානි ස්ත්‍රියක් පසුව මෙසේ නිරීක්ෂණය කළාය: “මෙලෙස කල්පනා කිරීම ඉතාමත් අනතුරුදායකයි, ඇයි කිව්වොත් අපව විනිශ්චය කිරීමේ කාර්යය අප පිටටම ගෙන තිබෙන බව ඉන් අදහස් කරන නිසායි, නමුත් එසේ කිරීමට අපට අයිතියක් නැහැ.” ඇත්තෙන්ම, “දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.” (ගීතාවලිය 50:6) “අපේ සිත් අපට දෝෂාරෝපණයකරන” මුත්, “දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න” බවට බයිබලය අපට සහතික කරයි. (1 යොහන් 3:19, 20) අප යාච්ඤා කිරීමට සුදුසු නැතැයි කියා අප අපවම විනිශ්චය කරන විට, යෙහෝවඃවහන්සේට අප කෙරෙහි එවන් හැඟීමක් ඇති විය නොහැකි බව දැන සිටීම මොනතරම් සැනසිලිදායක යමක්ද! අපව එතරම්ම නුසුදුසු බව හැඟීමට සැලැස්වූවා විය හැකි ජීවිතයේ තත්වයන් ඇතුළත්ව, උන්වහන්සේ අප ගැන “සියලු දේ දන්[නා]”සේක. මීට (ගීතාවලිය 103:10-14) “බිඳුණාවූ තැළුණාවූ සිතක්” වෙතින් පැමිණෙන යාච්ඤා ඇසීමට උන්වහන්සේව පොලඹවන්නේ උන්වහන්සේගේ දයාව හා ඉතා ගැඹුරු වූ අවබෝධයයි. (ගීතාවලිය 51:17) උන්වහන්සේම “දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා” හෙළා දකින බැවින්, උපකාරය පිණිස අපේ මොරගැසීම්වලට සවන් දීමට ප්‍රතික්ෂේප කිරීමට උන්වහන්සේට හැක්කේ කෙසේද?—හිතෝපදේශ 21:13.
සහෝදරත්වයේ උණුසුම්භාවය
7. (අ) යෙහෝවඃවහන්සේ අපේ සවිය අලුත් කරගැනීමට දී තිබෙන්නේ වෙන කවර සැපයුමද? (ආ) අපේ සහෝදරත්වය ගැන කුමක් දැනසිටීම අපට ශක්තිය ගෙන දිය හැකිද?
7 ශක්තිය අලුත් කරගැනීමට අපට උපකාරවත් වන පිණිස යෙහෝවඃවහන්සේ දී තිබෙන තවත් සැපයුමකි, අපේ ක්‍රිස්තියානි සහෝදරත්වය. සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත පවුලක කොටසක්ව සිටීම මොනතරම් අනගි වරප්‍රසාදයක්ද! (1 පේතෘස් 2:17) ජීවිතයේ පීඩනවලින් අප ඇහිරී සිටින විට, අපේ සහෝදරත්වයේ උණුසුම්භාවය අපහට ශක්තිය අලුත් කිරීමට පිටුවහලක් විය හැක. ඒ කෙසේද? පීඩිත අභියෝගවලට මුහුණ දීමෙහිලා අප තනිව නොසිටින බව දැනසිටීමෙන්ම පවා ශක්තිමත් වීමට දායක විය හැක. අපේ සහෝදර සහෝදරියන් අතර, එවැනිම පීඩන හෝ පරීක්ෂාවලට මුහුණ දී ඇත්තාවූද, අපේ හැඟීම්වලට බෙහෙවින් සමාන හැඟීම් අද්දැක තිබෙන්නාවූද සමහරුන් සිටින බවට කිසිදු සැකයක් නැත. (1 පේතෘස් 5:9) අප අද්දකින දේ දුර්ලභ යමක් නොවන බවත්, අපේ හැඟීම් අසාමාන්‍ය නොවන බවත් දැනසිටීම දිරිගන්වනසුලුය.
8. (අ) අපේ සහෝදරත්වය තුළ බෙහෙවින් අවශ්‍ය වන්නාවූ උපකාර හා සැනසීම ලබාගත හැකි බවට පෙන්වන්නේ කුමන ආදර්ශද? (ආ) ‘සැබෑ මිතුරෙකු’ මගින් පෞද්ගලිකව ඔබ උපකාර හෝ සැනසීම ලබා ඇත්තේ කුමන ආකාරයකින්ද?
8 අප කනස්සලුභාවය තුළ සිටින විට, බෙහෙවින් අවශ්‍ය වූ උපකාර හා සැනසීම සැපයිය හැකි ‘සැබෑ මිතුරන්’ අපට සහෝදරත්වයේ උණුසුම්භාවය තුළ සොයාගත හැක. (හිතෝපදේශ 17:17) බොහෝදුරට කළ යුතුව තිබෙන්නේ, කාරුණික වචන කිහිපයක් පැවසීම හෝ සැලකිලිමත්භාවය පෙන්වන ක්‍රියාවල නිරත වීම පමණි. නොවටිනාභාවයේ හැඟීම් සමඟ පොරබැද සිටි ක්‍රිස්තියානි භක්තික ස්ත්‍රියක් මෙසේ සිහිකරන්නීය: “මා තුළ තිබූ නිෂේධාත්මක සිතුවිලි යටපත් කිරීමට, මා ගැන ඒකාන්ත දේවල් මාහට දැනගැනීමට සැලැස්වූ මිතුරන් සිටියා.” (හිතෝපදේශ 15:23) සහෝදරියකට, ඇගේ සිඟිති දියණියගේ වියෝවෙන් පසු, සභා රැස්වීම්වලදී ගීතිකා ගැයීම, විශේෂයෙන්ම නැවත නැඟිටීම සඳහන් කළ ගීතිකා ගැයීම දුෂ්කර යමක් විය. “එක් අවස්ථාවකදී, අනික් පැත්තේ පුටු පේළියක අසුන්ගෙන සිටි සහෝදරියක් මා අඬනවා දුටුවා,” යයි ඈ සිහිකරයි. “ඈ මා ළඟට ඇවිත්, ඇගේ අත මා වටා දමා, මාත් සමඟ ගීතිකාවේ ඉතිරි ටික ගායනා කළා. අපට උපකාර ලබාගත හැක්කේ රාජ්‍ය ශාලාවෙන් බව තේරුම්ගැනීමෙන් සිත හොඳින් පැහැදුණු මට, සහෝදර සහෝදරියන් සඳහා ඉතා පූර්ණ ප්‍රේමයක්ද, අපට රැස්වීම්වලට ඒමට හැකිවීම නිසා ඉමහත් සන්තෝෂයක්ද දැනුණා.”
9, 10. (අ) අපේ සහෝදරත්වයේ උණුසුම්භාවයට අපට දායක විය හැක්කේ කෙසේද? (ආ) විශේෂයෙන්ම සුවදායක ආශ්‍රය අවශ්‍ය වන්නේ කාටද? (ඇ) දිරිගැන්වීම අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා අපට කුමක් කළ හැකිද?
9 ක්‍රිස්තියානි සහෝදරත්වේ උණුසුම්භාවයට දායක වීම සඳහා අප සෑම කෙනෙකුටම වගකීමක් තිබෙන බවට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙසේ අපේ සහෝදර සහෝදරියන් සියලුදෙනාම ඇතුළත් වීමට අපේ හෘද “විශාල” විය යුතුය. (2 කොරින්ති 6:13) විඩාවට පත් වූ අයහට තමන් වෙත සහෝදරත්වයේ ප්‍රේමය හීන වී ඇති බව දැනෙන්ට සැලැස්වීම මොනතරම් කනගාටුදායක යමක් වනු ඇද්ද! එහෙත්, ඇතැම් ක්‍රිස්තියානීහු තනිකමත්, තමන් නොසලකා හැර තිබෙන බවත් හැඟෙන බවට වාර්තා කරත්. සත්‍යයට විරුද්ධ වන පුරුෂයෙකු සතු සහෝදරියක් මෙසේ ආයාචනා කරයි: “වර්ධනය ගෙන දෙන මිත්‍රත්වයන්, දිරිගැන්වීම හා ප්‍රේමනීය ඇසුර ප්‍රිය නොකරන්නේ කවුද? අපට අපේ සහෝදර සහෝදරියන්ව අවශ්‍ය බව ඔවුන්ට මතක් කරන්න!” එසේය, ජීවිතයේ විඩාව ඇති කිරීමට සලසන්නාවූ තත්වයන් ඇති අයට—එනම්, නොඇදහිලිකාර කලත්‍රයන් ඇති අය, තනි වූ දෙමාපියන්, නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඇති අය, වයස්ගත වූ අය හා වෙනත් අයට—විශේෂයෙන්ම සුවදායක ආශ්‍රය අවශ්‍ය වේ. ඒ පිළිබඳව අපෙන් සමහරදෙනෙකුට සිහිගැන්වීමක් අවශ්‍යද?
10 උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද? අපේ ප්‍රේමය ප්‍රකාශයට පත් කිරීමෙහිලා අපි තව තවත් විශාල වෙමු. ආගන්තුක සත්කාරය දැක්වීමේදී, දිරිගැන්වීම අවශ්‍ය අය අපි අමතක නොකරමු. (ලූක් 14:12-14; හෙබ්‍රෙව් 13:2) එවන් ආරාධනයක් පිළිගැනීමට ඔවුන්ගේ තත්වයන් මගින් ඉඩ කඩ සැලසෙන්නේ නැතැයි කියා උපකල්පනය නොකර, කොයි හැටි වුවත් ඔවුන්ට ආරාධනා කර නොබලන්නේ මන්ද? එවිට ඔවුන්ට තීරණය ගැනීමට ඉඩ දෙන්න. ඔවුන්ට එය පිළිගැනීමට බැරි වන විටදී පවා, අනුන් ඔවුන් ගැන කල්පනා කළ බව දැනගැනීමෙන් දිරිගැන්වීමක් ලබන බවට කිසිදු සැකයක් නැත. ශක්තිය අලුත් කරගැනීමට ඔවුන්ට සමහරවිට අවශ්‍ය වන්නේ එවන් දෙයක්ම විය හැක.
11. විඩාවට පත් වූ අයහට උපකාර අවශ්‍ය විය හැක්කේ කවර ආකාරවලින්ද?
11 විඩාවට පත් වූ අයට වෙනත් ආකාරවලින් උපකාර අවශ්‍ය විය හැක. උදාහරණයක් වශයෙන්, පියා නැති තම පිරිමි දරුවා කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට, තනි වූ මවකට මේරූ සහෝදරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැක. (යාකොබ් 1:27) බරපතළ සෞඛ්‍ය ගැටලුවක් ඇති සහෝදරයෙකුට හෝ සහෝදරියකට කඩ සාප්පු යෑම සඳහා නැතහොත් ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම සඳහා, යම් උපකාරයක් අවශ්‍ය විය හැක. මහලු තැනැත්තෙකු මිත්‍රත්වයක් ගොඩනැංවීමට නැතහොත් ක්ෂේත්‍ර සේවයේ යෑමට යම් උපකාරයක් ලැබීමට ආශා විය හැක. එවන් උපකාරයක් සඳහා අඛණ්ඩ අවශ්‍යතාවක් තිබෙන විට, මෙය ‘අපේ ප්‍රේමයේ සැබෑකම’ පිළිබඳ සැබෑ ‘විභාගයක්’ වේ. (2 කොරින්ති 8:8) මිඩංගු කළ යුතු කාලය හා ශ්‍රමය නිසා අවශ්‍යතා ඇති අයගෙන් ඉවත් වනවා වෙනුවට, අනුන්ගේ අවශ්‍යතාවලට සංවේදී මෙන්ම ප්‍රතිචාරය දක්වනසුලු වීමෙන්, අපි ක්‍රිස්තියානි ප්‍රේමය නමැති විභාගයෙන් සමත් වෙමු.
දේවවචනය සතු බලය
12. දේවවචනය අපට සවිය අලුත් කරගැනීමට උපකාර කරන්නේ කෙසේද?
12 ආහාර අනුභව කිරීම නතර කරන පුද්ගලයෙකුට වැඩි කල් නොගොස් සිය ශක්තිය නොහොත් බලය අහිමි වේ. ඒ හා සමානව, දිගටම කටයුතු කිරීම සඳහා යෙහෝවඃවහන්සේ අපට බලය දෙන තවත් මඟකි, අප ආත්මික ලෙස හොඳින් පෝෂණය වන බවට වගබලාගැනීම. (යෙසායා 65:13, 14) උන්වහන්සේ සපයා තිබෙන ආත්මික ආහාර කවරේද? සියල්ලට වඩා වැදගත් ලෙස, ස්වකීය වචනය වූ බයිබලයයි. (මතෙව් 4:4; සසඳන්න හෙබ්‍රෙව් 4:12.) සවිය අලුත් කරගැනීමට ඊට අපට උපකාර කළ හැක්කේ කෙසේද? අප මුහුණ දෙන පීඩන හා ගැටලු අපේ ශක්තිය කාදැමීමට පටන්ගන්නා විට, බයිබල් කාලවල විසූ විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්රීන්ගේ හැඟීම් හා සැබෑ-ජීවිත සටන් ගැන කියවීමෙන් අපට ශක්තිය ලබාගත හැක. අඛණ්ඩතාව පිළිබඳව කැපීපෙනෙන ආදර්ශ වුවද, ඔවුහු “අප සමාන ගති ඇති” මිනිස්සු වූහ. (යාකොබ් 5:17; ක්‍රියා 14:15) ඔවුහු අපේ ඒවාට සමාන පරීක්ෂා හා පීඩනවලට මුහුණ දුන්හ. ඇතැම් ආදර්ශ සලකා බලන්න.
13. බයිබල් කාලවල විසූ විශ්වාසවන්ත පුරුෂයන්ට හා ස්ත්රීන්ට අපේ හැඟීම්වලට හා අද්දැකීම්වලට බෙහෙවින් සමාන ඒවා තිබුණු බවට පෙන්වන්නේ කුමන ශුද්ධ ලියවිලිමය ආදර්ශද?
13 පිතෘමූලික ආබ්‍රහම්ට නැවත නැඟිටීම කෙරෙහි ඇදහිල්ලක් තිබුණද, ඔහු සිය භාර්යාවගේ වියෝව ගැන ඉමහත් සේ ශෝක වූයේය. (උත්පත්ති 23:2; සසඳන්න හෙබ්‍රෙව් 11:8-10, 17-19.) පසුතැවිලි වූ දාවිත්ට හැඟුණේ තම පව් නිසා තමා යෙහෝවඃවහන්සේට සේවය කිරීමට නුසුදුසු තත්වයක සිටි බවය. (ගීතාවලිය 51:11) මෝසෙස්ට තම අදක්ෂකම ගැන හැඟීම් තිබිණ. (නික්මයාම 4:10) බරපතළ අසනීපයක් නිසා ‘ස්වාමීන්වහන්සේගේ මෙහෙය’ තුළ තම ක්‍රියාකාරකම් සීමිත වූ බවට ප්‍රසිද්ධ වූ විට, එපප්‍රොදිතස් කලකිරුණේය. (පිලිප්පි 2:25-30) පහත වැටුණු මාංසයට එරෙහිව පාවුල්ට සටන් කිරීමට සිදුවිය. (රෝම 7:21-25) පිලිප්පි සභාවේ ආලේප ලත් ක්‍රිස්තියානි සහෝදරියන් දෙදෙනෙකු වූ එවෝදියා හා සින්තිකීට පෙනෙනාකාරයට එකට කටයුතු කිරීමේදී යම් දුෂ්කරතා තිබිණ. (පිලිප්පි 1:1; 4:2, 3) මේ විශ්වාසවන්ත අයට අප හා සමාන හැඟීම් හා අද්දැකීම් තිබුණු බවත්, ඒ මධ්‍යයෙහි පවා අත් නොහැර කටයුතු කළ බවත් දැනගැනීම මොනතරම් දිරිගැන්වීමක්ද! යෙහෝවඃවහන්සේ ඔවුන් සම්බන්ධයෙන්ද අත් නොහැර කටයුතු කළසේක.
14. (අ) යෙහෝවඃවහන්සේ ස්වකීය වචනයෙන් ශක්තිය ලබාගැනීමට අපට උපකාර කිරීමට භාවිත කර තිබෙන්නේ කුමන මෙවලමද? (ආ) මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල සමාජීය, පවුල් හා චිත්තවේගීය ප්‍රශ්න පිළිබඳ ලිපි අන්තර්ගත වී තිබෙන්නේ මන්ද?
14 ස්වකීය වචනයෙන් ශක්තිය ලබාගැනීමට අපට උපකාර කිරීම සඳහා, “නියම වේලාවට කෑම” අඛණ්ඩව සපයා දීමට යෙහෝවඃවහන්සේ විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය උපයෝගී කරගන්නාසේක. (මතෙව් 24:45) බයිබල් සත්‍යයට පක්ෂව කතා කිරීම සඳහාත්, මිනිසාගේ එකම බලාපොරොත්තුව වශයෙන් දේවරාජ්‍යය ප්‍රකාශ කිරීම සඳහාත්, විශ්වාස වූ දාසයා බොහෝ කලක සිට මුරටැඹ හා පිබිදෙව්! සඟරා භාවිත කොට ඇත. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළදී, දෙවියන්වහන්සේගේ ජනයාට පවා මුහුණ දීමට සිදුවන සමාජීය, පවුල් හා චිත්තවේගීය අභියෝග පිළිබඳ කාලෝචිත ශුද්ධ ලියවිලිමය ලිපි මෙම සඟරාවල අන්තර්ගත වී තිබේ. මෙවන් තොරතුරු ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ කුමන අරමුණක් සඳහාද? මෙවන් අභියෝග අද්දකින්නාවූ අයට දේවවචනයෙන් ශක්තිය හා දිරිගැන්වීම ලබාගැනීමට උපකාර කිරීමට බව සහතිකය. එහෙත් අපේ ඇතැම් සහෝදර සහෝදරියන් සමහරවිට මුහුණ දෙන දේවල් පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටද එම ලිපි අප සියලුදෙනාටම උපකාර කරයි. මෙසේ පාවුල්ගේ මෙම වදන්වලට අවනත වීමට අපි වඩාත් හොඳින් සැදී පැහැදී සිටිමු: ‘ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කරන්න, දුර්වලයන්ට ආධාරවන්න, සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින්න.’—1 තෙසලෝනික 5:14.
“සුළඟෙන් මුවාවෙන ඉඩමක්” වන වැඩිමහල්ලෝ
15. වැඩිමහල්ලන් වශයෙන් සේවය කරන අය පිළිබඳව යෙසායා පුරෝකථනය කළේ කුමක්ද, තවද මෙය ඔවුන් කෙරෙහි පමුණුවන වගකීම කුමක්ද?
15 අප විඩාවට පත් වන විට අපට උපකාර කිරීම සඳහා යෙහෝවඃවහන්සේ වෙනත් යමක් සපයා ඇත—සභා වැඩිමහල්ලෝ. මොවුන් සම්බන්ධයෙන් අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේය: එක් එක් තැනැත්තා “වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.” (යෙසායා 32:1, 2) එසේනම්, යෙහෝවඃවහන්සේ වැඩිමහල්ලන් පිළිබඳව පුරෝකථනය කළ දේට අනුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ට වගකීමක් තිබේ. ඔවුන් අනුන්ට සැනසීම හා නැවුම්බව ගෙන දෙන මූලාශ්‍ර බවට ‘ඔප්පු විය යුතු’ අතර, [NW] “එකිනෙකාගේ බර [නැතහොත්, “කරදරකාරි දේවල්”; පදගතාර්ථයෙන්ම, “බර දේවල්”] උසුලා” දැරීමට කැමැත්තෙන් සිටිය යුතුය. (ගලාති 6:2, NW, පාදසටහන) ඔවුන්ට මෙය කළ හැක්කේ කෙසේද?
16. යාච්ඤා කිරීමට තමුන් නුසුදුසු බවට හැඟී යන කෙනෙකුට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
16 කලින් සඳහන් කළ පරිදි, ඇතැම්විට විඩාවට පත් වූ පුද්ගලයෙකුට තමා යාච්ඤා කිරීමට නුසුදුසු තත්වයක සිටින බවට හැඟිය හැක. වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද? ඔවුන්ට එම පුද්ගලයා සමඟද ඔහු වෙනුවෙන්ද යාච්ඤා කළ හැක. (යාකොබ් 5:14) එම තැනැත්තාට හෝ තැනැත්තියට යෙහෝවඃවහන්සේ මෙන්ම වෙනත් අය විසින් කොතරම් ප්‍රේම කරනු ලබනවාද කියා තේරුම්ගැනීමට උපකාර කරන පිණිස, ඔහුට හෝ ඇයට ඇසෙන පරිදි, යෙහෝවඃවහන්සේගෙන් ඉල්ලා සිටීම නිසැකවම සැනසිලිදායක යමක් වනු ඇත. වැඩිමහල්ලෙකුගේ ඉතා ලැදි වූ, හෘදයාංගම යාච්ඤාව ඇසීම කනස්සල්ලට පත් තැනැත්තාගේ නිසැකකම ශක්තිමත් කිරීමට උපකාරවත් විය හැක. ඒ තැනැත්තා වෙනුවෙන් කරන යාච්ඤාවලට යෙහෝවඃවහන්සේ සවන් දෙන බවට වැඩිමහල්ලන් නිසැක වේ නම්, ඔහුට හෝ ඇයට එම නිසැකකම ඇතුව සිටිය හැකි බව තර්කයෙන් ඒත්තුගැනීමට ඒ තැනැත්තා හෝ තැනැත්තියට උපකාර කළ හැක.
17. වැඩිමහල්ලන් සංවේදනය ඇතුව සවන්දෙන්නන් විය යුත්තේ මන්ද?
17 “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමට . . . ප්‍රමාද වේවා,” යන්න යාකොබ් 1:19 පවසයි. විඩාවූ අයට සවිය අලුත් කරගැනීම සඳහා වැඩිමහල්ලන් සංවේදනය දක්වන සවන්දෙන්නන්ද විය යුතුය. ඇතැම් අවස්ථාවලදී, මේ දේවල පිළිවෙළ තුළදී නිරාකරණය කළ නොහැකි ගැටලු හෝ පීඩන සමඟ සභාවේ සාමාජිකයන් පොරබදනවා විය හැක. එසේනම්, ඔවුන්ට අවශ්‍ය වනු ඇත්තේ, ඔවුන්ගේ ගැටලුව “හරිගැස්වීමට” යම් පිළියමක් නොව, නමුත් තමුන් සමඟ කතා බහ කළ හැකි හොඳ සවන්දෙන්නෙකු පමණි—එනම් ඔවුන්ට හැඟිය යුතු ආකාරය ඔවුන්ට කියා දෙන කෙනෙකු නොව, නමුත් විනිශ්චය කරන්නේ නැතුව ඔවුන්ට සවන් දෙන කෙනෙකි.—ලූක් 6:37; රෝම 14:13.
18, 19. (අ) විඩාවට පත් වූ කෙනෙකුගේ බර තවත් පීඩාකාරි එකක් කිරීමෙන් වැළකීමට වැඩිමහල්ලෙකුට සවන් දීමට යුහුසුලු වීම උපකාරවත් විය හැක්කේ කෙසේද? (ආ) වැඩිමහල්ලන් “එකිනෙකා කෙරෙහි” “හැඟීමකින් යුක්ත” බවක් පෙන්වීමේ ප්‍රතිඵලය කුමක්ද?
18 වැඩිමහල්ලෙනි, සවන් දීමට යුහුසුලු වීමෙන් විඩාවට පත් වූ කෙනෙකුගේ බර, නොදැනුවත්වම තවත් පීඩාකාරි එකක් කිරීමෙන් වැළකීමට ඔබට උපකාරවත් විය හැක. උදාහරණයක් වශයෙන්, සහෝදරයෙකු හෝ සහෝදරියක ඇතැම් රැස්වීම් අතපසු කර ඇත්නම්, නැතහොත් ක්ෂේත්‍ර සේවය තුළ මන්දගාමී වී ඇත්නම්, සේවය තුළ ඊට වඩා කිරීම පිළිබඳව, නැතහොත් රැස්වීම්වලට නිතිපතා පැමිණීම පිළිබඳව ඔහුට හෝ ඇයට ඇත්තටම උපදෙස් අවශ්‍යද? සමහරවිට. එහෙත් ඔබට සම්පූර්ණ තත්වය ගැන අවබෝධයක් තිබේද? සෞඛ්‍ය ගැටලු වැඩිවෙමින් තිබේද? පවුලේ වගකීම් ළඟදී වෙනස් වී තිබේද? ඔහුව හෝ ඇයව පීඩාවට පත් කරන වෙනත් තත්වයන් හෝ පීඩන තිබේද? එම පුද්ගලයාට ඊට වඩා කිරීමට නොහැකි වීම ගැන ඒ වන විටත් ඉමහත් වරදසහිතභාවයේ හැඟීමකින් සිටිනවා විය හැකි බව මතක තබාගන්න.
19 එසේනම්, ඔබට එම සහෝදරයාට හෝ සහෝදරියට හෝ උපකාර කළ හැක්කේ කෙසේද? ඔබ නිගමනවලට බැසීමටත් උපදෙස් දීමටත් පෙර, සවන්දෙන්න! (හිතෝපදේශ 18:13) අදහස් විමසන ප්‍රශ්න ඇසීමෙන්, පුද්ගලයාගේ හෘදයේ හැඟීම් ඉවතට ‘ඇදගන්න.’ (හිතෝපදේශ 20:5) මෙම හැඟීම් නොසලකා නොහරින්න—ඒවා හඳුනාගන්න. යෙහෝවඃවහන්සේ අප වෙනුවෙන් සැලකිල්ල දක්වන බවත්, ඇතැම් අවස්ථාවලදී අපේ තත්වයන් නිසා අපට සීමිතව ක්‍රියා කිරීමට සිදුවන බව තේරුම්ගන්නා බවත්, දැනගැනීමට සැලැස්වීමෙන් එම විඩාවට පත් වූ තැනැත්තාගේ බිය සැක දුරු කිරීමට අවශ්‍ය විය හැක. (1 පේතෘස් 5:7) වැඩිමහල්ලන් “එකිනෙකා කෙරෙහි” එවන් “හැඟීමකින් යුක්ත” බවක් [NW] පෙන්වන විට, විඩාවට පත් වූ අය ‘තම ආත්මවලට සහනය ලබාගන්නෝය.’ (1 පේතෘස් 3:8; මතෙව් 11:28-30) ඔවුන්ට එවන් සහනයක් ලැබෙන විට, තවත් කරන්නයයි ඔවුන්ට කීම අවශ්‍ය නොවනු ඇත; යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා තමුන්ට සාධාරණව කළ හැකි සියල්ල කිරීමට ඔවුන්ගේ හෘද ඔවුන්ව පොලඹනවා ඇත.—සසඳන්න 2 කොරින්ති 8:12; 9:7.
20. මෙම දුෂ්ට පරම්පරාවේ අවසානය එතරම්ම නුදුරෙහි තිබෙන නිසා, අප කුමක් කිරීමට අදිටන් කරගත යුතුද?
20 සැබවින්ම අප මුළු මහත් මිනිස් ඉතිහාසය පුරා වෙසෙන්නේ වඩාත් පීඩාකාරි වූ කාලය තුළදීය. අප අන්තිම කාලය තුළට වඩා වඩා පිවිසෙත්ම, සාතන්ගේ ලෝකය තුළ ජීවත්වීමේ පීඩන වැඩි වෙමින් පවතී. දඩයම් කරන සිංහයෙකු මෙන්, අපව පහසු ගොදුරක් කරගැනීම සඳහා අප විඩාවට පත් වී අත්හරින අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට යක්ෂයා මාන බලා සිටින බව මතක තබාගන්න. යෙහෝවඃවහන්සේ වෙහෙස වූ තැනැත්තාට බලය දීම සම්බන්ධයෙන් අපට කොතරම් ස්තුතිවන්ත විය හැකිද! හරියට උන්වහන්සේ ඉහළට පියාසර කරන රාජාලියෙකුගේ දැවැන්ත පියාපත් අපට සපයා දෙමින් සිටියාක් මෙන්, දිගටම කටයුතු කිරීම සඳහා බලය ලැබීමට උන්වහන්සේ අපට දී තිබෙන සැපයුම්වලින් අපි පූර්ණ ප්‍රයෝජන නෙළාගනිමු. මෙම දුෂ්ට පරම්පරාවේ අවසානය එතරම්ම ළඟා වී තිබෙන බැවින්, සදාකාල ජීවනය නමැති ත්‍යාගය සඳහා අපේ ධාවන තරඟය නතර කිරීම සඳහා කාලය මෙය නොවේ.—හෙබ්‍රෙව් 12:1.
ඔබේ උත්තරය කුමක්ද?
◻ අපේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන්, අපට අපේක්ෂා කළ හැක්කේ යෙහෝවඃවහන්සේ කුමක් කරන බවටද?
◻ අපේ ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් අපට ශක්තිය ලබාගත හැක්කේ කුමන ආකාරවලින්ද?
◻ දේවවචනය අපට සවිය අලුත් කරගැනීමට උපකාර කරන්නේ කෙසේද?
◻ විඩාවට පත් වූ අයහට සවිය අලුත් කරගැනීමට උපකාර කිරීම සඳහා වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
[17වන පිටුවේ පින්තූරය]
ආගන්තුක සත්කාරය දක්වන විට, දිරිගැන්වීම අවශ්‍ය අයව අපි අමතක නොකරමු
[18වන පිටුවේ පින්තූරය]
ඔවුන්ට කොතරම් ප්‍රේම කරනවාද යන්න තේරුම්ගැනීමට විඩාවට පත්වූ අයට උපකාර කරන මෙන් යෙහෝවඃවහන්සේගෙන් ඉල්ලීමට වැඩිමහල්ලන්ට හැක