ඔබේ සිතුවිලි හැඩගස්වන්නේ කවුද?
“මම හිතන විදිහ ගැනවත්, දේවල් කරන විදිහ ගැනවත් වෙන අය මොකටද කරදර වෙන්නෙ! මම හිතන්නේ කරන්නේ මට ඕන විදිහට!” එතරම් අවධාරණයකින් යුතුව යමක් පවසනවා කියන්නේ ඔබට ඔබ ගැන හා ඔබේ නිගමනයන් ගැන මහත් ආත්ම විශ්වාසයක් තිබෙන බවයි. ඔබට හැඟෙන්නේ එලෙසද? ඔබ වෙනුවෙන් අනුන් තීරණ ගැනීම අවශ්‍ය නැති බව ඇත්තයි. නමුත්, හොඳ විය හැකි උපදෙසක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරුද? නැණවත් තීරණයක් ගැනීමට ඇත්තෙන්ම කාටවත් ඔබට උපකාර කළ නොහැකිද? ඔබට හොරා, වෙන කෙනෙකු ඔබේ සිතුවිලි හැඩගස්වන්නේ නැති බවට ස්ථිර වීමට ඔබට ඇත්තෙන්ම හැකිද?
උදාහරණයක් හැටියට, හිට්ලර්ගේ ප්රචාරක අමාත්‍යවරයා වූ යෝසෙෆ් ගර්බල්ස්, දෙවන ලෝක යුද්ධයට කලින් ජර්මනියේ චිත්‍රපට සංස්ථාව තම පාලනය යටතට ගත්තා. ඇයි? මන්දයත්, මෙය සියතට ගැනීමෙන් “මිනිසුන්ගේ විශ්වාසයන් හා හැසිරීමට බලපෑම් කළ හැකි” ආයුධයක් හැටියට එය යොදාගත හැකි බව ඔහුට වැටහීගියා. (ප්‍රචාරය හා ජර්මානු සිනමාව 1933—1945, ඉංග්‍රීසියෙන්) නාට්සි චින්තනය අනුකරණය කිරීම සඳහා, මිනිසුන්ව, ඒ කියන්නේ සාමාන්‍ය සාධාරණ මිනිසුන්ව තමන්ට රිසි පරිදි පොලඹවාගැනීමට ඔහු යොදාගත් මෙවැනි මාධ්‍යයන් හා වෙනත් ඒවායේ තිබූ තැතිගන්වන සාර්ථකත්වය ගැන ඔබ අසා තිබෙන්න පුළුවන.
ඇත්තෙන්ම ඔබ සිතන හා ක්‍රියා කරන ආකාරය, ඔබ ඇහුම්කන් දෙන අයගේ හැඟීම් හා මතයන්ට අනුව සැමවිටම වෙනස් වෙන්න යනවා. නමුත් ඇත්තෙන්ම මෙය නරක දෙයක් වන්නේ නැහැ. මොවුන් ඔබේ ශුභසිද්ධිය ගැන සැලකිල්ලක් දක්වන, ගුරුවරු, මිත්‍රයෝ හෝ දෙමාපියන් වැනි අය නම්, ඔවුන්ගේ උපදෙස් හා අවවාදවලින් ඔබට මහත් සෙතක් සැලසෙයි. නමුත් ඔබ ඇහුම්කන් දෙන අය සැලකිලිමත් වන්නේ තමන් ගැන පමණක් නම් හා නොමඟ ගිය සිතුවිලිවලින් දූෂ්‍ය වූ අය නම්, එවැන්නන්ගෙන් පරෙස්සම් වන්න! මන්දයත් පාවුල් විස්තර කළ ආකාරයට ඔවුන් ‘සිත් රවටන අයයි.’—තීතස් 1:10, NW; ද්විතීය කථාව 13:6-8.
එහෙයින් තම ස්ථාවරය ගැන සෑහීමකට පත් වී, තමාව රවටන්න කාටවත් නොහැකියයි සිතමින් දේවල් සැහැල්ලුවට භාරගන්න එපා. (1 කොරින්ති 10:12 සසඳන්න.) සමහරක් විට එය දැනටමත් සිදු වෙනවා ඇති. එමෙන්ම ඔබ සිතුවාටත් වඩා එය සිදු වෙනවා ඇති. තවද ඔබ එසේ වනවාද කියාවත් නොදැන සිටින්න පුළුවන්. ඔබ සාප්පු යද්දී මිල දී ගැනීමට තීරණය කරන භාණ්ඩයක් සම්බන්ධ සරල නිදසුන ගන්න. එය සැමවිටම ස්වකැමැත්තෙන්ම ගත් සාධාරණ තීරණයක් වනවාද? මිනිසුන් සමහරවිට නොදැනුවත්වම ඔබ ගන්නා තීරණයට සියුම් අන්දමින් බලපෑම් කරනවාද? පුවත්පත් කලාවේදී පර්යේෂකයෙකු වන එරික් ක්ලාක් එසේ වනවාය කියා සිතයි. “ප්‍රචාරණ මාධ්‍යයන් මගින් අපට දසතින්ම බලපෑම් කරද්දී, එය අපට දැනෙන්නේ අඩුවෙනි. නමුත් ඇත්තෙන්ම අපට එය වැඩි වැඩියෙන් බලපෑම් කරයි.” එමෙන්ම, ප්රචාරණයේ ඇති ඵලදායීබව සම්බන්ධයෙන් මිනිසුන්ගෙන් විමසූ විට, “ප්‍රචාරණය ප්‍රතිඵලදායක බව ඔවුන් විශ්වාස කළද, එය තමන්ට නම් බලනොපාන බව පවසනවා” යයි ඔහු තවදුරටත් වාර්තා කරයි. මිනිසුන් බොහෝදුරට නැඹුරු වන්නේ තමන්ට හැර අනිත් සෑම කෙනෙකුටම බලපෑම් කරනු ලබන බව විශ්වාස කිරීමටයි. “තනිව ගත් කල, හරියට පෙනෙන්නේ තමන්ට එයින් කිසිදු බලපෑමක් නොවන බවයි.”—ආශා මවන්නෝ, ඉංග්‍රීසියෙන්.
සාතන්ගේ අච්චුවට අඹනු ලැබ?
දෛනිකව සිදු වන ප්රචාරණයන්ගේ බලපෑමට හසුවීම, ඔබට බරපතළ ප්‍රතිවිපාක ඇති නොකිරීමට ඉඩ තිබෙනවා. කොහොම වුණත්, මීට වඩා බොහෝ සෙයින් භයානක වූ තවත් ආකාරයක බලපෑමක් තිබෙනවා. සාතන් ප්‍රධාන රවටන්නා බව බයිබලය පැහැදිලිව කියයි. (එළිදරව් 12:9) පාරිභෝගිකයන්ට බලපෑම් කළ හැකි මාර්ග දෙකක් ගැන පැවසූ ප්‍රචාරණ නියෝජිතයාගේ සිතුවිලිවලට ඔහුගේ දර්ශනයද සමාන වෙයි. මාර්ග දෙක වූයේ “එක්කෝ පොලඹවාගැනීම එහෙමත් නැතිනම් ඔබින ආකාරයට සකස් කරගැනීමයි.” එවන් කූට ක්රමෝපායන් මගින් ඔබේ සිතුවිලි හැඩගැස්වීමට ප්‍රචාරණ මාධ්‍යයන්ට හැකි නම්, ඒ හා සමාන උපක්‍රම යෙදීම සම්බන්ධයෙන් සාතන්ට මොනතරම් හැකියාවක් තිබෙනවා ඇද්ද!—යොහන් 8:44.
ප්‍රේරිත පාවුල් මෙය දැන සිටියා. තම සෙසු ක්‍රිස්තියානීන් අවදිව නොසිටීමෙන් සාතන්ගේ ප්‍රයෝගයේ ගොදුරු බවට පත් වේවිය කියා ඔහු භය වුණා. ඔහු මෙසේ ලීවා: “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් [ක්‍රිස්තුස්] කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.” (2 කොරින්ති 11:3) එම අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස සලකන්න. එසේ නොකළොත් බොරු ප්‍රචාරය හා ඔබින ආකාරයට සකස් කරගැනීම ප්රතිඵලදායකයයි විශ්වාස කරන “තමන්ට එයින් කිසිදු බලපෑමක් නොවන බව” කියා සිටින මිනිසුන්ට ඔබත් සමාන වෙන්න පුළුවන්. මෙම පරම්පරාවේ කැපීපෙනෙන්න සලස්වන, අපට අවට දකින්න ලැබෙන කෲරත්වය, දුෂ්චරිතය හා වංචාකාරිබවින්, සාතන්ගේ බොරු ප්‍රචාරය ප්‍රතිඵලදායක වී ඇති බැව් සනාථ වී තිබෙනවා.
එහෙයින්, “මේ ලෝකයේ ආකාරයට සමාන [නොවන්න]” කියා පාවුල් තම සෙසු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. (රෝම 12:2) පාවුල්ගේ වචන එක් බයිබල් පරිවර්තකයෙක් මෙයාකාරයට කැටි කොට දැක්වූවා: “ඔවුන්ගේ අච්චුවට ඔබව දමන්න ලෝකයාට ඉඩ නොදෙන්න.” (රෝම 12:2, ෆිලිප්ස්) ඔබව සාතන්ගේ අච්චුව තුළට දැමීමට සාතන් තමාට හැකි සෑම දෙයක්ම කරයි. එය හරියට තමාට වුවමනා කරන හැඩතලයන් ලබාගැනීම සඳහා කුඹල්කරුවෙක් මැටි ගුලියක් රැගෙන අච්චු තුළට ඔබන්නාක් මෙනි. එසේ කිරීමට ලෝකයේ දේශපාලනය, වාණිජ්‍යය, ආගම හා විනෝදාස්වාදය සාතන් සූදානම් කොටයි තිබෙන්නේ. එසේ නම් ඔහුගේ බලපෑම කොතරම් බලවත්ද? ප්‍රේරිත යොහන්ගේ දවසේ පැතිර තිබූ තරමටම එය බහුලව දක්නට තිබෙනවා. “මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව” කියා ඔහු පැවසුවා. (1 යොහන් 5:19; 2 කොරින්ති 4:4ද බලන්න.) මිනිසුන්ව රැවටීමට හා ඔවුන්ගේ සිතුවිලි දූෂණය කිරීමට ඇති සාතන්ගේ හැකියාව ගැන ඔබට සැකයන් ඇතිනම්, දෙවිට කැපව සිටි ඉශ්රායෙල් නමැති සමස්ත ජාතියටම සාතන් මෙය ඵලදායක අන්දමින් කළ ආකාරය නැවත සිහිපත් කරගන්න. (1 කොරින්ති 10:6-12) ඔබටත් එවන් දෙයක්ම සිදු විය නොහැකිද? සාතන්ගේ කූට බලපෑමට ඔබේ මනස් විවෘත කරගෙන සිටියොතින් එසේ සිදු විය හැකියි.
සිදු වන්නේ කුමක්දැයි වටහාගන්න
සාමාන්‍යයෙන් ගත් කල, මෙවන් හානිකර නමුත් සිත් ඇදගන්නා බලවේගයන්වලට ඔබ ඉඩ දුන්නොතින් පමණයි ඒවාට ඔබට බලපෑම් කළ හැක්කේ. රහසින් නම්මවාගන්නෝ (ඉංග්‍රීසියෙන්) යන තම පො තේ, වාන්ස් පැකඩ් මෙම කරුණ ගෙනහැර දැක්වූවා: “මෙවැනි රහසින් නම්මවාගන්නාවූ අයට විරුද්ධව සිටීමට අපට තවමත් ප්‍රබල ආරක්ෂක හැකියාවන් තිබෙනවා: එනම් නැමෙන්නේ නැතුව ඉන්න අපට තෝරගන්න පුළුවන්. සෑම අවස්ථාවකදීම වගේ, අපට තේරීමක් තිබෙනවා. ඒ වගේම සිදු වන්නේ කුමක්දැයි දැනගෙන සිටින විට, බොහෝදුරට නොනැමී සිටින්න අපට පුළුවන්.” බොරු ප්‍රචාරය හා ප්‍රයෝගය සම්බන්ධයෙන්ද එයම අදාළයි.
නමුත් ඇත්තෙන්ම, “සිදු වන්නේ කුමක්දැයි දැනගෙන” සිටීමට නම් හොඳ බලපෑම්වලට ඔබේ මනස් විවෘත කරමින් ඒවාට ප්‍රතිචාරය දැක්වීමට සූදානමින් සිටිය යුතුයි. සෞඛ්‍ය සම්පන්න ශරීරයකට හොඳින් ක්‍රියාත්මක වීම සඳහා හොඳ පෝෂණයක් ලැබිය යුතු වන්නා සේ, සෞඛ්‍ය සම්පන්න මනසකටද හොඳ පෝෂණයක් අවශ්‍යයි. (හිතෝපදේශ 5:1, 2) තොරතුරු නිසි ලෙස නොලැබීම, වැරදි ආකාරයක තොරතුරුවලට නිරාවරණය වීම තරම්ම මාරාන්තික විය හැකියි. නොමඟ යවන අදහස්වලින් හා දර්ශනයන්ගෙන් ඔබේ මනස ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වන්නා සේම, ඔබට ලැබෙන සියලුම උපදෙස් හා තොරතුරු සම්බන්ධයෙන් කලහකාරි හා නිෂේධාත්මක ආකල්පයක් වගා කරගැනීමෙන් වැළකීමටද උත්සාහ කරන්න.—1 යොහන් 4:1.
අවංකව කරන ඒත්තුගැන්වීම රහසින් කරන බොරු ප්රචාරයට සමාන නැහැ. ‘රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක් වෙමින් සිටින නපුරු මනුෂ්‍යයන් සහ රැවටිලිකාරයන්’ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් තිමෝතිට ඇත්තෙන්ම අනතුරු ඇඟෙව්වා; නමුත් ඔහු මෙලෙසද එකතු කළා: “එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියා . . . දැන, ඒවායෙහි පිහිටා සිටින්න.” (2 තිමෝති 3:13, 14, 15) ඔබේ මනසට ඇතුල් කරගන්නාවූ දෑ ඔබට යම් ආකාරයකින් බලපෑම් කිරීමට යන නිසා, යතුර වන්නේ ‘කොයි තැනැත්තන්ගෙන් ඒවා ඉගෙනගත්තාද කියා දැන සිටීමයි.’ එමෙන්ම ඒ අය වැඩියෙන් සැලකිලිමත් වන්නේ තමන්ගේ ශුභසිද්ධියට වඩා ඔබේ ශුභසිද්ධිය ගැන බව නිසැක කරගැනීම වැදගත් වෙයි.
තේරීම ඔබ සතුයි. ඔබේ සිතුවිලි පාලනය කිරීමට මේ ලෝකයේ දර්ශනයන් හා ප්‍රමිතීන්ට ඉඩ දීමෙන් “මේ ලෝකයේ ආකාරයට සමාන” වීමට ඔබට තෝරාගත හැකියි. (රෝම 12:2) නමුත් ඔබේ ශුභසිද්ධිය ගැන මේ ලෝකයා තකන්නේ නැහැ. ‘මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝග හා ලෝකයේ තිබෙන පණ්ඩිතකමද හිස් වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න’ කියා ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟෙව්වා. (කොලොස්සි 2:8) මෙයාකාරයට සාතන්ගේ අච්චුව තුළට දැමීමට හෝ ‘කොල්ලයක් බවට පත්වීමට’ වැඩි පරිශ්‍රමයක් අවශ්‍ය වන්නේ නැහැ. එය හරියට වක්රාකාර දුම්පානයට සමානයි. ඒ කියන්නේ එම දූෂිත වාතය ආශ්වාස කිරීමෙන් පමණක්ම ඔබ ආසාදිත විය හැකියි.
නමුත් ඔබට ඒ වෙනුවට, එම “වාතය” ආශ්වාස කිරීමෙන් වැළකී සිටිය හැකියි. (එපීස 2:2, NW) එමෙන්ම පාවුල් දෙන මෙම අවවාද පිළිපදින්න: “[දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.” (රෝම 12:2) මේ සඳහා ඇත්තෙන්ම වෑයමක් දැරීමට සිදු වෙනවා. (හිතෝපදේශ 2:1-5) යෙහෝවා නම්මවාගන්නෙක් නොවන බව මතක තබාගන්න. අවශ්‍ය සියලුම දත්ත ඔහු ලබාගැනීමට හැකි තත්වයකට පත් කරන මුත්, ඔබ එයින් ප්‍රයෝජන ගැනීමට නම් එයට සවන් දී ඔබේ සිතුවිලිවලට බලපෑම් කිරීමට ඔබ එයට ඉඩ දිය යුතුයි. (යෙසායා 30:21, 22; 1 තෙසලෝනික 2:13) දෙවිගේ ආනුභාව ලත් වචනය, එනම් ‘ශුද්ධ ලියවිල්ල’ වන බයිබලයෙහි ඇති සත්‍යයෙන් ඔබේ මනස පුරවාගැනීමට ඔබ කැමැත්තෙන් සිටිය යුතුයි.—2 තිමෝති 3:15, 16.
යෙහෝවාගේ හැඩගැස්වීමට ප්‍රතිචාරය දක්වන්න
යෙහෝවාගේ හැඩගැස්වීමේ බලපෑමෙන් ඔබ ප්‍රයෝජන ගැනීමට නම්, ස්වකැමැත්තෙන්, කීකරු ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව, කුඹල්කරුවෙකුගේ වැඩපොළක් බැහැදකින්න කියා යෙහෝවා ප්‍රොපේත යෙරෙමියාට පැවසූ අවස්ථාවේදී මනාව පැහැදිලි වුණා. තමා සෑදීමට උත්සාහ කළ එක් නිර්මාණයක් “කුම්භකාරයාගේ අතේ නරක් වූ” විට එම භාජනයට කුමක් කරනවාද යන්න සම්බන්ධයෙන් කුම්භකාරයා තම සිත වෙනස් කළා. එවිට යෙහෝවා මෙසේ පැවසුවා: “එම්බා ඉශ්රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිද . . . කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය.” (යෙරෙමියා 18:1-6) එයින් අදහස් කළේ, ඉශ්රායෙලයේ සිටි මිනිසුන් හරියට යෙහෝවාගේ අතෙහි ඇති පණ නැති මැටි ගුලි වාගේ වුණා කියන එකද? එනම් තමාට වුවමනා පරිදි එක භාජනයක් එක විදිහකටත් තවෙකක් වෙන විදිහකටත් ඇඹීමේ හැකියාව ඇතුව සිටියා කියන එකද?
මිනිසාගේ කැමැත්තට විරුද්ධව දෙයක් කිරීමට යෙහෝවා කවමදාකවත් තම සර්ව බලධාරීකම යොදාගන්නේ නැහැ. එමෙන්ම මනුෂ්‍ය කුඹල්කරුවෙකුට සමානව යෙහෝවා දෝෂ සහිත නිර්මාණයන්ට වගකිව යුත්තේද නැහැ. (ද්විතීය කථාව 32:4) යෙහෝවා ඒකාන්ත අයුරින් හැඩගැස්වීමට වෑයම් කරන විට ඔහුගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරන අයට දෝෂයන් ඇති වෙයි. මෙයයි ඔබ හා පණ නැති මැටි ගුලියක් අතර තිබෙන මහත් වෙනස. ඔබට නිදහස් කැමැත්තක් තිබෙනවා. එය පාවිච්චි කිරීමේදී, යෙහෝවාගේ හැඩගැස්වීමේ බලපෑමට එකඟව ක්‍රියා කිරීමට හෝ එය වුවමනාවෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ඔබට තෝරාගත හැකියි.
මෙනෙහි කිරීම සඳහා මෙය මොනතරම් කදිම පාඩමක්ද! “මම හිතන්නේ කරන්නේ මට ඕන විදිහට” කියා මුරණ්ඩු ආකාරයකට කියනවා වෙනුවට, යෙහෝවාගේ හඬට ඇහුම්කන් දීම කොතරම් යහපත්ද! අප සියලුදෙනාටම යෙහෝවාගේ මඟ පෙන්වන බලපෑම අවශ්‍යයි. (යොහන් 17:3) මෙසේ යාච්ඤා කළ ගීතිකාකාර දාවිත් මෙන් වන්න: “[යෙහෝවා], ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4) සාලමොන් රජ පැවසූ දේ මතක තබාගන්න: “ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය.” (හිතෝපදේශ 1:6) ඔබ ඇහුම්කන් දෙන්න යනවාද? ඔබ එසේ කරන්න යනවා නම්, ‘සිහිය ඔබව රැකවල් කරන්නේය; ඥානයද ඔබව ආරක්ෂා කරන්නේය.’—හිතෝපදේශ 2:11.