ජාතීන් සමඟ යෙහෝවඃවහන්සේගේ නඩුව
“මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ජාතීන් සමඟ නඩුවක් තිබේ.”—යෙරෙමියා 25:31.
1, 2. (අ) යොෂියා රජුගේ මරණින් පසු යුදයෙහි සිදුවූයේ කුමක්ද? (ආ) යුදයෙහි අවසාන රජු කවරෙකු වීද, තවද තම නොඇදහිලිවන්තභාවය හේතුවෙන් ඔහු දුක් වින්දේ කෙසේද?
යුදා දේශය, කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරී කාලවලට මුහුණ දෙමින් සිටියේය. යොෂියා නම් එක් යහපත් රජෙක් නිසා, යෙහෝවඃවහන්සේගේ දැවෙන උදහස පමා වී තිබුණි. එහෙත් පො.යු.පෙ. 629දී යොෂියාව මරණයට පත් කරනු ලැබීමෙන් අනතුරුව සිදුවූයේ කුමක්ද? ඔහුට පසුව පැමිණි රජවරු යෙහෝවඃවහන්සේව අගෞරවයට පත් කළහ.
2 දෙවන රාජාවලිය 24:19 පවසන ආකාරයට යොෂියාගේ හතරවන පුත්‍රයා වන, යුදාහි අන්තිම රජ වූ, ශෙදෙකියා දිගටම “[සිය වැඩිමහල් සොයුරු වූ] යෙහෝයාකිම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කෙළේය.” එහි ප්‍රතිඵලය? නෙබුකද්නෙශර් යෙරුසලමට විරුද්ධව නැගී ඇවිත්, ශෙදෙකියාව අල්ලා, ඔහුගේ පුත්‍රයන්ව ඔහුගේම ඇස් ඉදිරිපිට මරා දමා, ඔහුව අන්ධ කර, ඔහුව බබිලෝනියට ගෙන ගියේය. එපමණක්ද නොව, බබිලෝනිවරුන් දේවමාලිගාව හා නගරය ගිනිබත් කරමින්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරයේ භාවිතා කරන ලද උපකරණ, කොල්ලයක් ලෙස ඔවුහු සතු කර ගත්හ. බේරුණ අය බබිලෝනියේ වහලුන් බවට පත් වූහ.
3. පොදු යුගයට පෙර 607 යෙරුසලම් විනාශයත් සමඟ ආරම්භ වූයේ කිනම් කාල පරිච්ඡේදයද, තවද එම කාල පරිච්ඡේදය අවසානයේදී සිදුවීමට නියමිතව තිබුණේ කුමක්ද?
3 එම වසර, එනම් පො.යු.පෙ. 607, යෙරුසලමේ අන්තිම පාළු කිරීම පමණක් නොව නමුත්, ලූක් 21:24හි [NW] යොමු දක්වා ඇති ‘අන්‍යජාතීන්ගේ නියම කරන ලද කාලවල්’ ඇරඹීමද සලකුණු කළේය. අවුරුදු 2,520කින් සමන්විත මෙම කාල පරිච්ඡේදය, අපගේ ශතවර්ෂයේදී අවසන් වූයේ වර්ෂ 1914දීය. ඒ වන විට, නෙබුකද්නෙශර්ට වඩා ශ්‍රේෂ්ඨව සිටින, සිංහාසනාරූඪ කරන ලද යෙහෝවඃවහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් දුෂ්ට ලෝකය මත විනිශ්චය ප්‍රකාශ කිරීමට හා ක්‍රියාත්මක කරන්නට උන්වහන්සේහට කාලය පැමිණ තිබුණි. මෙම විනිශ්චය කිරීම යුදාහි නවීන-දින සමාන්තරය, එනම් පොළොව මත දෙවියන්වහන්සේවත් ක්‍රිස්තුස්වහන්සේවත් නියෝජනය කරන බවට කරුණු දක්වන සමාන්තරයක් සමඟ පටන් ගනී.
4. යෙරෙමියාගේ අනාවැකිය සම්බන්ධව දැන් පැනනගින්නේ කිනම් ප්‍රශ්නද?
4 යුදයේ රජවරුන් යටතේ ඇගේ අන්තිම අවුරුදු තුළ පැවති ආරවුල් හා අසල්වැසි ජාතීන්ට පවා බලපාන්නාවූ විනාශකාරී සිද්ධීන් ඇතුළුව අද දවසේ ක්‍රිස්තියානි ලෝකය තුළ තිබෙන ආරවුල් අතර සමාන්තරයක් අපට දැකිය හැකිද? ඇත්තෙන්ම අපට දැකිය හැකිය! එසේ නම්, යෙහෝවඃවහන්සේ අදදින කාරණා හසුරුවනු ඇති ආකාරය සම්බන්ධව යෙරෙමියාගේ අනාවැකියෙන් අඟවන්නේ කුමක්ද? අපි දැන් බලමු.
5, 6. (අ) වර්ෂ 1914 සිට, ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය, යුදාහි විනාශයට පෙර එහි වූ තත්ත්වයට සාදෘශ්‍ය වී ඇත්තේ කෙසේද? (ආ) නවීන යෙරෙමියා විසින් ක්‍රිස්තියානි ලෝකය වෙත ගෙනැවිත් තිබෙන පණිවුඩය කුමක්ද?
5 බ්‍රිතාන්‍ය ජාතික ගණිත විද්‍යාඥයෙකු හා දර්ශනවාදියෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් මීට වසර 40කට පමණ පෙර මෙසේ අදහස් දැක්වූයේය: “වඩාත් විශාල විනාශයක් දක්වා දෛවෝපගත හා කලින් තීරණය කරන ලද ගමන් කිරීමක් මෙන් දක්නට තිබෙන දෙය මගින් 1914 සිට, ලෝකයේ ප්රවණතා ගැන දැන සිටින සෑම කෙනෙක්ම ගැඹුරු ලෙස කලබලයට පත් වී සිටිති.” තවද ජර්මානු දේශපාලනඥ කොන්රාට් ඇඩනෝයර් මෙසේ කියා සිටියේය: “වර්ෂ 1914 සිට සුරක්ෂිතභාවය හා සන්සුන්කම මනුෂ්‍යයන්ගේ ජීවිතවලින් අතුරුදහන් වී ඇත.”
6 අදදින, යෙරෙමියාගේ දවසේ මෙන්, දේවල පිළිවෙළේ අවසානයකට සමීප වීම, සාගර ගණන් අහිංසක රුධිරය වැගිරවීමෙන් ලකුණු කෙරෙන අතර, මෙම ශතවර්ෂය තුළ සිදුවූ ලෝක යුද්ධ දෙක තුළ සිදුවූ ලේ වැගිරීම ඒ අතුරින් කැපී පෙනෙයි. එම යුධ සටන් කරනු ලැබුවේ, වැඩි වශයෙන්ම, බයිබලයේ දෙවියන්වහන්සේව නමස්කාර කරන බවට කියා සිටින ක්‍රිස්තියානි ලෝකයේ ජාතීන් විසිනි. මොනතරම් කුහකකමක්ද! යෙරෙමියා 25:5හි වදන් පවසමින්, යෙහෝවඃවහන්සේ ස්වකීය සාක්ෂිකරුවන් ඔවුන් වෙතට යවා තිබීම පුදුමයක් නොවේ. එහි මෙසේ සඳහන් වෙයි: “නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී . . . අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයල්ලා, නුඹලාගේ අත්වැඩවලින් මා කෝප නොකරල්ලා; එවිට මම නුඹලාට අනතුරු නොකරන්නෙමි.”
7. ක්‍රිස්තියානි ලෝකය යෙහෝවඃවහන්සේගේ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
7 කෙසේනමුත්, ක්‍රිස්තියානි ලෝකයේ ජාතීන් ආපසු හැරෙන්නට අපොහොසත් වී ඇත. කොරියාව හා වියට්නාමය යන රටවලදී යුද්ධයේ දෙවියන්ට ඔවුන් වැඩිමනත් පූජා ඔප්පු කිරීමෙන් මෙය නිරූපනය කරනු ලැබ තිබේ. තවද ඔවුහු මරණයේ වෙළෙන්දන් වන, යුද්ධෝපකරණ නිෂ්පාදකයන්ට දිගටම මුල්‍යාධාර සපයමින් සිටිති. එක්දහස් නවසිය අසූ ගණන් තුළ සෑම වසරක් පාසාම යුද්ධෝපකරණ වෙනුවෙන් වැය කරන ලද ඩොලර් ට්‍රිලියනයකට ආසන්න මුදල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් සපයා ඇත්තේ ක්‍රිස්තියානි ලෝකයේ රටවල්ය. වර්ෂ 1951 පටන් 1991 දක්වා, එක්සත් ජනපදයේ පමණක් හමුදා වියදම අමෙරිකානු සමාගම් සියල්ලේම ශුද්ධ ලාභය ඉක්මවා ගියේය. සීතල යුද්ධය අවසන් වූ බවට කළ බොහෝ ප්‍රසිද්ධියට පත් දැනුම් දීමේ පටන්, යල් පැන ඇති න්‍යෂ්ටික අවි අඩු කිරීමක් කර ඇතත්, වඩාත් මාරාන්තික අවිවලින් යුත් අතිවිශාල යුද්ධායුධ ගබඩා ඉතිරිව පවතින අතර ඒවා තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. යම් දිනක මේවා පාවිච්චි කෙරෙන්නට පුළුවන.
වරදට ඉඩ හරින ක්‍රිස්තියානි ලෝකයට එරෙහිව විනිශ්චය
8. යෙරෙමියා 25:8, 9හි සඳහන් වචන ක්‍රිස්තියානි ලෝකය මත ඉෂ්ට වනු ඇත්තේ කෙසේද?
8 යෙරෙමියා 25:8, 9හි ඇති යෙහෝවඃවහන්සේගේ වැඩිමනත් වචන, ධර්මිෂ්ඨකමේ ක්‍රිස්තියානි ප්‍රමිතිවලට එකඟව ජීවත් වන්නට අපොහොසත් වී ඇති, ක්‍රිස්තියානි ලෝකයට දැන් විශේෂයෙන්ම අදාළ වේ: “එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: නුඹලා මාගේ වචන නොඇසූ බැවින්, මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.” මෙසේ තමන් දෙවියන්වහන්සේගේ ජනයා යයි කියන්නා වූ, ක්‍රිස්තියානි ලෝකයෙන් පටන් ගෙන, මහත් පීඩාව, ලෝක ව්‍යාප්තව ‘වටකර සිටින්නාවූ සියලු ජාතීන්’ දක්වා විහිදයමින් ක්‍රියාත්මක වීමට පටන් ගනු ඇත.
9. ක්‍රිස්තියානි ලෝකයේ ආත්මික තත්ත්වය අපගේ කාලවලදී වඩාත් පිරිහී ඇත්තේ කිනම් ආකාරවලින්ද?
9 බයිබලයට ගෞරව කරනු ලැබූ මෙන්ම, විවාහය හා පවුල් ජීවිතය සන්තෝෂයේ ප්රභවය වශයෙන් විශ්වනීය ලෙස සලකනු ලැබූ ජනයා, උදෑසනින් නැගිට සිය දෛනික වැඩකටයුතුවලින් තෘප්තියක් අත්දුටු කාලයක් ක්‍රිස්තියානි ලෝකය තුළ තිබුණි. සන්ධ්‍යා ආලෝකයෙන් දේව වචනය කියවීමෙන් හා ඉන් ඉගෙන ගැනීමෙන් බොහෝ දෙනෙක් තමන්ව ප්‍රබෝධවත් කර ගත්හ. එහෙත් අදදින ලිංගික දුරාචාරය, දික්කසාදය, මත් ද්‍රව්‍ය අනිසි භාවිතය, බේබදුකම, අපචාරිකම, ගිජුකම, අලස සේවා පුරුදු, රූපවාහිනි ඇබ්බැහිය, හා වෙනත් දුෂ්චරිත මගින් ජීවිතය තැති ගන්වන පරිමාණයකට දූෂ්‍ය කර ඇත. මෙය නම්, ක්‍රිස්තියානි ලෝකයේ වරදට ඉඩ හරින විෂය මතට යෙහෝවඃ දෙවියන්වහන්සේ ගෙනෙන්නට යන්නාවූ විනාශයේ ප්රාරම්භක සිදුවීමක් වනු ඇත.
10. යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු ක්‍රිස්තියානි ලෝකයේ තත්ත්වය විස්තර කරන්න.
10 යෙරෙමියා 25වන පරිච්ඡේදයේ 10වන හා 11වන වගන්තිවල අපට කියවන්නට ඇති පරිදි, යෙහෝවඃවහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “මම ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළියද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි. මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය.” ක්‍රිස්තියානි ලෝකයේ සුවිසල් දේවස්ථාන හා සුඛෝපභෝගී මාලිගා, නටබුන් බවට කඩා වැටෙන විට, එය ඇත්තෙන්ම විස්මයක් වනු ඇත. මෙම විනාශය කොතරම් පුළුල්ව පැතිර යනු ඇද්ද? යෙරෙමියාගේ කාලයේ යුදා හා අසල්වැසි ජාතීන් කෙරෙහි පැමිණි විනාශය වසර 70ක් පුරා පැවති අතර, සාදෘශ්‍ය වශයෙන් මෙය සම්පූර්ණ ජීවිත කාලයක් හැටියට ගීතාවලිය 90:10 විස්තර කරයි. අදදින යෙහෝවඃවහන්සේගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීම අංග සම්පූර්ණ, සදාකාලික එකක් වනු ඇත.
මහා බබිලෝනියට එරෙහිව විනිශ්චය
11. ක්‍රිස්තියානි ලෝකය විනාශ කිරීමෙහිලා උපකරණය වනු ඇත්තේ කවුරුන්ද, මන්ද?
11 එළිදරව් 17:12-17 දක්වා පුරෝකථනය කර ඇති ආකාරයට, යෙහෝවඃවහන්සේ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය විනාශ කිරීමට ඇති “උන්වහන්සේගේ කැමැත්ත කරන්ට” වූ සිතුවිල්ල ‘අං දසයේ’—එනම් එක්සත් ජාතීන්ගේ යුධ ශක්තිය දරන සාමාජිකයන්ගේ—හෘදයන් තුළට දමන්නාවූ ස්වකීය පුදුමසහගත ක්‍රියාව පටන් ගැනීම සඳහා කාලය එළඹෙනු ඇත. මෙය සිදුවනු ඇත්තේ කෙසේද? එළිදරව් 17වන පරිච්ඡේදයේ සඳහන් “අං දසය,” එහි එළි 17 16වන වගන්තියේ දැක්වෙන ආකාරයට “වේශ්‍යාවට වෛර බැඳ, . . . ඈ මුළුමනින් ගින්නෙන් දැවීමට” හේතුකරවන ආකාර බොහොමයක් තිබේ. න්‍යෂ්ටික අවි, පොළොව මත බොහෝ අනතුරු දායක ස්ථානයන්හි සංඛ්‍යාවෙන් වැඩි වී ඇති බවත්, තවදුරටත් වැඩි වෙමින් පවතින බවත් සත්‍යයකි. එහෙත් යෙහෝවඃවහන්සේ ස්වකීය පළිගැනීම ක්‍රියාත්මක කිරීම දේශපාලකයන්ගේ හෘදයන් තුළට කෙසේ ඇතුල් කරන්නට යන්නේ දැයි අප ඉවසීමෙන් යුතුව බලා සිටිය යුතුය.
12. (අ) බබිලෝනිය විසින් යෙරුසලම විනාශ කළාට පසු බබිලෝනියට සිදුවූයේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානි ලෝකයේ විනාශයට පසුව ජාතීන්ට කුමක් සිදුවනු ඇත්ද?
12 පුරාතන කාලවල, බබිලෝනියටද යෙහෝවඃවහන්සේගේ දැවෙන උදහස අද්දැකීමට සිදු විය. ඒ අනුව, යෙරෙමියා 25වන පරිච්ඡේදයේ 12වන වගන්තියෙන් පටන් ගෙන, එම අනාවැකිය, පසුව වෙනස්වූ දෘෂ්ටි කෝණයකින් කාරණා දෙස බලයි. යෙහෝවඃවහන්සේගේ වධකයා ලෙස තවදුරටත් පෙනී නොසිටින නෙබුකද්නෙශර් හා බබිලෝනිය, මෙතැන් පටන් සියලු ලෝක ජාතීන් අතරට ඇතුළත් කර ඇත. මෙය අදදින තත්ත්වයට සමානය. එළිදරව් 17වන පරිච්ඡේදයේ “අං දසය” බොරු ආගම විනාශ කරනමුත්, එළිදරව් 19වන පරිච්ඡේදයේ විස්තර කර ඇති ආකාරයට, පසුව ඔවුන්ම “පොළොවේ රජවරුන්” සමඟ විනාශය අද්දකිනවා ඇත. යෙහෝවඃවහන්සේගේ ජනයාව ආත්මාර්ථය පිණිස යොදා ගත් “සියලු ජාතීන්” සමඟ බබිලෝනියද විනිශ්චයට යටත් කරනු ලබන ආකාරය යෙරෙමියා 25:13, 14 විස්තර කරයි. යුදාවට දඬුවම් කිරීමේදී යෙහෝවඃවහන්සේ වධකයෙකු හැටියට නෙබුකද්නෙශර්ව යොදා ගෙන තිබුණි. එහෙත් උදාහරණයක් හැටියට, යෙහෝවඃවහන්සේගේ මාලිගාවේ භාජන කෙළෙසීමෙන් නිරූපනය වූ පරිදි, ඔහු හා ඔහුට පසුව සිටි බබිලෝනියේ රජවරු, උඩඟු වී යෙහෝවඃවහන්සේට එරෙහිව තමන්වම උසස් කර ගන්නට යෙදුණි. (දානියෙල් 5:22, 23) එමෙන්ම බබිලෝනිවරු යෙරුසලම විනාශ කළ විට, යුදාගේ අසල්වැසි ජාතීහු—එනම්, මොවබ්, අම්මොන්, තීර්, ඒදොම්, හා වෙනත් ජාතීහු—ප්‍රීතියෙන් කුල්මත්ව දෙවියන්වහන්සේගේ ජනයාට සරදම් කළහ. ඔවුන්ද යෙහෝවඃවහන්සේගෙන් ලැබිය යුතු වන්දිය ලැබිය යුතුය.
“සියලු ජාතීන්ට” එරෙහිව විනිශ්චය
13. “කෝපය නමැති මුද්‍රික-පාන කුසලාන” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද, තවද මෙම කුසලානෙන් පානය කරන අයට කුමක් සිදුවේද?
13 එබැවින්, යෙරෙමියා 25වන පරිච්ඡේදයේ, 15 හා 16වන වගන්තිවල වාර්තා කොට ඇති පරිදි මෙසේ ප්‍රකාශ කරයි: “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මට කථාකොට: කෝපය නමැති මේ මුද්‍රිකපාන-කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා විසින් නුඹ යවන සියලු ජාතීන්ට එයින් පොවාපන්න. ඔව්හු බී, මා විසින් ඔවුන් අතරට යවන කඩුව නිසා වැනි වැනී යමින්, උමතුවන්නෝය.” එය ‘යෙහෝවඃවහන්සේගේ කෝපය නමැති මුද්‍රිකපාන කුසලානක්’ වන්නේ මන්ද? මතෙව් 26:39, 42හි හා යොහන් 18:11හි යේසුස්වහන්සේ, තමාට නියම වූ දෙවියන්වහන්සේගේ කැමැත්ත සංකේතවත් කරන්නාවූ ‘කුසලානක්’ ගැන කථා කළ සේක. සමානාකාරයෙන් ජාතීන් සඳහා වූ යෙහෝවඃවහන්සේගේ දිව්‍ය පළිගැනීම පානය කිරීමට වූ උන්වහන්සේගේ කැමැත්ත සංකේතවත් කිරීමට කුසලානක් යොදා ගැනේ. යෙරෙමියා 25:17-26 දක්වා වූ වගන්ති, අද දවසේ ජාතීන්ව පෙරඡායා කොට දක්වන ජාතීන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි.
14. යෙරෙමියාගේ අනාවැකියට අනුව, යෙහෝවඃවහන්සේගේ උදහසේ මුද්‍රිකපානය නමැති කුසලානෙන් පානය කරන්නට වන්නේ කාටද, තවද මෙය අපගේ දවස සඳහා සංකේතවත් කරන්නේ කුමකින්ද?
14 යුදා මෙන්, ක්‍රිස්තියානි ලෝකය “පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද” කළ පසු, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ ඉතිරිය සඳහා විනාශය නියමව ඇත. ඉන්පසුව මිසරයෙන් සංකේතවත් කරන්නාවූ, මුළු ලෝකයම යෙහෝවඃවහන්සේගේ උදහසේ මුද්‍රිකපානය පානය කළ යුතුමය! එසේය, “එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිසාවේ සියලු [රජුන්ද] පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු” රාජ්‍යයන්ද පානය කළ යුතුමය. අවසානයේ, “මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.” තවද මෙම “ෂේෂක්හි රජ” කවරෙක්ද? ෂේෂක් යනු බබිලෝනිය සඳහා සංකේතවත් නාමයක්, සැඟවුණු අරුතක් ඇති පදයක් නොහොත් සංකේතයක් වේ. සාතන් බබිලෝනිය කෙරෙහි අදෘශ්‍යමාන රජව සිටියා සේ, යේසුස්වහන්සේ විසින් සඳහන් කරන ලද ආකාරයට, ඔහු අද දවස දක්වාම “ලෝකයේ අධිපතියා” වෙයි. (යොහන් 14:30) මෙසේ, යෙරෙමියා 25:17-26 දක්වා වගන්ති, යෙහෝවඃවහන්සේගේ උදහසේ කුසලාන අතිනතට යවනු ලබන විට අනුපිළිවෙළින් සිදුවන සිද්ධීන් පැහැදිලි කිරීමෙහිලා එළිදරව් පරිච්ඡේද 18 සිට 20හි සමාන්තරයක් වෙයි. මුලින්ම බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය විනාශ විය යුතුය, අනතුරුව දේශපාලන බලවේගයන් විනාශ විය යුතුය, තවද ඊටත් පසුව සාතන්ව පාතාල ගත කරනු ලැබීමට නියමිතය.—එළිදරව් 18:8; 19:19-21; 20:1-3.
15. “සාමය හා සුරක්ෂිතභාවයේ“ හඬ ඇසෙන විට කුමක් සිදුවනු ඇත්ද?
15 සීතල යුද්ධය කෙළවරවුණු බවට පෙනුණුදා පටන්, එක් සුපිරි බලවතෙකු පමණක් ඉතිරිව සිටියදී, සාමය හා සුරක්ෂිතභාවය ගැන බොහෝ කථා තිබී ඇත. එළිදරව් 17:10හි සඳහන්ව ඇති ආකාරයට, එම සුපිරි බලවතා එනම් වනමෘගයාගේ හත්වන හිස, “ස්වල්ප කාලයක් පවතින්ට ඕනෑය.” එහෙත් එම “ස්වල්ප කාලය” එහි අවසානය කරා ළඟා වෙමින් පවතී. ඉක්මනින්ම දේශපාලනමය “සමාදානයය, අනතුරක් නැත” සඳහා වූ සියලු මොරගැසීම් ‘හදිසියෙන් ඔවුන් පිටට එන්නට යන විනාශය’ මගින් කෙළවර වනු ඇත. පාවුල් ප්‍රකාශ කරන්නේ එසේය.—1 තෙසලෝනික 5:2, 3.
16, 17. (අ) යමෙක් යෙහෝවඃවහන්සේගේ විනිශ්චයෙන් බේරීමට උත්සාහ කරන්නේ නම්, ප්‍රතිඵලය කුමක් වනු ඇත්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ කැමැත්ත මේ පොළොව මත ඉක්මනින්ම සිදුවනු ඇත්තේ විනාශකාරී කිනම් ආකාරයෙන්ද?
16 ක්‍රිස්තියානි ලෝකයෙන් පටන්ගෙන, සාතන්ගේ මුළු මහත් ලෝක පිළිවෙළම යෙහෝවඃවහන්සේගේ පළිගැනීමේ කුසලානෙන් පානය කළ යුතුය. උන්වහන්සේ යෙරෙමියා 25වන පරිච්ඡේදයේ 27 සිට 29 දක්වා වගන්තිවල ඔහුට දුන් වැඩිමනත් ආඥාව මෙය සනාථ කරයි: “නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටපල්ලාය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියන සේකැයි කියාපන්න. එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්ට අකමැතිවන්නෝ නම් නුඹ ඔවුන්ට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක—නුඹලා බොන්නහුමය. මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් නුඹලා දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේකැයි කියාපන්න.”
17 ඒවා දැඩි වදන්ය—ඇත්තෙන්ම, භය උපදවනසුලුය, මන්දයත් ඒවා පවසා ඇත්තේ විශ්වයේ පරමාධිපති ස්වාමින් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින්ය. අවුරුදු දහස් ගණනක් පුරා, ස්වකීය පරිශුද්ධ නාමය මත ගොඩගසා ඇති දේව අපහාස, නින්දාවන් හා වෛරය ඉවසීමෙන් උන්වහන්සේ විඳදරා ඇත. එහෙත් අන්තිමේදී, ස්වකීය ප්‍රේමනීය පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මිහිපිට සිටි කල උන්වහන්සේගේ ගෝලයන්ට ඉගැන්වූ යාච්ඤාවට පිළිතුරු දීමට කාලය පැමිණ ඇත: “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරපල්ලා:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) යෙහෝවඃවහන්සේගේ උදහස ක්‍රියාත්මක කිරීමෙහිලා ස්වකීය කඩුව ලෙස යේසුස්වහන්සේ ක්‍රියා කිරීම උන්වහන්සේගේ කැමැත්ත වන්නේය.
18, 19. (අ) යෙහෝවඃවහන්සේගේ නාමයෙන් ජය ගැනීම සඳහා අසු පිටින් ගමන් කරන්නේ කවුද, තවද තම ජයග්‍රහණය අවසන් කිරීමට පෙර, ඔහු බලා සිටින්නේ කුමක් සඳහාද? (ආ) දේව දූතයන්, යෙහෝවඃවහන්සේගේ උදහසේ කුණාටු සුළං මුදා හරින විට, පොළොව මත ඇති වන භයංකර සිදුවීම් මොනවාද?
18 යේසුස්වහන්සේ සුදු අශ්වයෙක් මතින් “ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත්ව” යන බව අපි එළිදරව් 6වන පරිච්ඡේදයේ පළමුවෙන් කියවමු. (එළි 6 2වන වගන්තිය) මෙය 1914 උන්වහන්සේගේ සිංහාසනාරූඪ වීමත් සමඟ ආරම්භ විය. එවක් පටන් පොළොව වනසා ඇති සම්පූර්ණ යුද්ධ, සාගත හා වසංගත සංකේතවත් කරමින්, තවත් අශ්වයන් හා අශ්වාරෝහකයන් උන්වහන්සේට පසුව එති. එහෙත් මේ දුක්කරදරකාරී සියලු තත්ත්වයන් අවසන් වනු ඇත්තේ කවදාද? ගැලවීම සඳහා ආත්මික ඉශ්රායෙල් හා සියලු ජාතීන්ට අයත් මහත් සමූහය එකතු කර ගන්නා තුරු දේව දූතයන් හතර දෙනෙක් “පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන” සිටින බව එළිදරව් 7වන පරිච්ඡේදය අපට දැනුම් දෙයි. (එළි 7 1වන වගන්තිය) ඊළඟට කුමක් සිදුවනු ඇද්ද?
19 යෙරෙමියා 25වන පරිච්ඡේදයේ 30 සහ 31වන වගන්ති තවදුරටත් මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක. මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.” මෙසේ යෙහෝවඃවහන්සේගේ උදහසේ කුසලාන බීමෙන් කිසි ජාතියකට ගැලවෙන්නට නුපුළුවන. එබැවින්, දේව දූතයන් හතරදෙනා යෙහෝවඃවහන්සේගේ උදහසේ කුණාටුව මුදා හරින්නට පෙර, හරි හදවත් ඇති සියලු දෙනා ජාතීන්ගේ දුෂ්ටකමෙන් තමන්වම වෙන් කර ගැනීම හදිසියෙන් කළ යුතු වේ. එය ඇත්තෙන්ම කුණාටුවක් හා සමානය, මන්දයත් යෙරෙමියාගේ අනාවැකිය වැඩිදුරටත් 32 හා 33 වගන්තිවල මෙසේ පවසයි:
20. යෙහෝවඃවහන්සේගේ විනිශ්චයේ දැඩි බව කිනම් බිහිසුණු දර්ශන වැලෙන් පෙනී යයිද, නමුත් මෙම ක්‍රියාව අවශ්‍ය වන්නේ මන්ද?
20 “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය. ස්වාමීන්වහන්සේගෙන් [යෙහෝවඃවහන්සේගෙන්, NW] මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.” ඇත්තෙන්ම බිහිසුණු දර්ශනයක් වනමුත්, දෙවියන්වහන්සේගේ පොරොන්දුවේ පාරාදීසය ගෙනෙන්නට පෙර, සියලු දුෂ්ටකම්වලින් පොළොව පවිත්‍ර කිරීම පිණිස මෙම ක්‍රියාව අවශ්‍ය වන්නකි.
එඬේරුන්ට කෑමොර ගැසීමට හා හැඬීමට සිදුවේ
21, 22. (අ) යෙරෙමියා 25:34-36හි, ඉශ්රායෙලයේ “එඬේරුන්” කවුරුන්වීද, තවද ඔවුන් කෑමොර ගැසීමට බල කරනු ලැබුවේ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ කෝපය ලැබීමට වටින්නේ නවීන දින කිනම් එඬේරුන්ද, තවද එතරම් පූර්ණ ලෙස එය ලැබීමට වටින්නේ මන්ද?
21 යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ගැන 34 සිට 36 දක්වා වගන්තිවල තවදුරටත් මෙසේ පැවසේ: “එඬේරුනි, කෑමොරගසා හඬාපල්ලා; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳිල්ලා. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණ වී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත. එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානින්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය. එඬේරුන්ගේ කෑගැසීමේ හඬත් රැළේ ප්‍රධානින්ගේ මොරගැසීමත් ඇසෙන්නේය! මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඔවුන්ගේ ගොදුරුබිම පාළුකරනසේක.”
22 මේ එඬේරු කවරහුද? ඔවුන් වනාහි, ඒ වන විටත් යෙහෝවඃවහන්සේගේ කෝපය පානය කර ඇති ආගමික නායකයන් නොවේ. ඔවුන් වූකලී, යෙරෙමියා 6:3හිද විස්තර කර ඇති, යුද්ධ අවි බලය ඇති එඬේරුන්ය, ඔවුහු තමන්ගේ සේනාංක විශාල රැළවල්සේ යෙහෝවඃවහන්සේට විරුද්ධව රැස් කරති. ඔවුහු වනාහි, තම පාලනයට යටත් වූවන්ගෙන් ධනවත් වූ, දේශපාලන ආණ්ඩුකාරයන්ය. මොවුන්ගෙන් වැඩි දෙනෙක් කපටි ක්‍රම උපයෝගි කරගන්නන්ය, දූෂණයේ නිපුණයෝය. අවාසිදායක තත්ත්වයන් ඇති රටවල මුළු ජනසමූහයන්ම වනසා දමා ඇති සාගතයන් නැවැත්වීමට ඔවුන් ක්‍රියා කර ඇත්තේ මන්දගාමීවය. මිය යමින් සිටින මිලියන සංඛ්‍යාත දරුවන්ව ඉතා අඩු වියදමකින් බේරා ගත හැකි වෛද්‍යාධාර හා පෝෂ්‍යදායක ආහාර සපයන්නට මැලි වන ඔවුහු, බලගතු යුද්ධ අවි වෙළෙඳුන් හා පරිසරය ගිජු ලෙස විනාශ කරන්නන් වැනි, ‘රැළේ ප්‍රධානින්ව’ පෝෂ්‍ය කරති.
23. යෙහෝවඃවහන්සේගේ විනාශකාරී ක්‍රියාවලට පසුව සාතන්ගේ බල ප්‍රදේශයේ තත්ත්වය විස්තර කරන්න.
23 ආත්මාර්ථකාමි ලෙස තමන්ට පමණක් සාමය සෙවූ මේ අය ගැන යෙරෙමියා 25වන පරිච්ඡේදයේ 37 හා 38වන වගන්ති මෙසේ පවසමින් එම පරිච්ඡේදය අවසන්වීම පුදුමයක් නොවේ: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] බලවත් කෝපය නිසා සමාදාන පිට්ටනි නිශ්ශබ්දකරනු [අප්‍රාණික කරනු, NW] ලබයි. උන්වහන්සේ සිංහයා මෙන් තමන් නිවාසය අත්හැර ගියසේක; මක්නිසාද පීඩාකරන කඩුව නිසාත් උන්වහන්සේගේ බලවත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය පාළුවක් විය.” ඇත්තෙන්ම පුදුමයක්! එහෙත්, යෙහෝවඃවහන්සේගේ දැවෙන කෝපය ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරනු ලබන්නේ, එළිදරව් 19වන පරිච්ඡේදයේ 15 හා 16වන වගන්තිවල “රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේය” යනුවෙන් විස්තර කර ඇති, යදණ්ඩකින් ජාතීන් කෙරෙහි එඬේරකම් කරන තැනැත්තා තුළින්ය. තවද ඊට පසුව කුමක් සිදු වේවිද?
24. බොරු ආගමේ සහ සාතන්ගේ ලෝකයේ සෙසු කොටස්වල විනාශයෙන් ධර්මිෂ්ඨ මිනිස් වර්ගයාට පැමිණෙනු ඇති ආශීර්වාද මොනවාද?
24 ඔබ සැඩ කුණාටුවකට හෝ චණ්ඩ මාරුතයකට මුහුණදී තිබෙනවාද? එය ත්‍රාසජනක අද්දැකීමක් වන්නට පුළුවන. එහෙත්, සෑම තැනකම කැඩී බිඳී ගිය දේවල් සහිත දසුනක් ඊළඟ උදයේ ඔබට දැකිය හැකි වුවත්, වාතය කොතරම් පැහැදිලිව හා නිශ්චලභාවය කොතරම් ප්‍රබෝධ ජනකව තිබේද කියතොත් ඔබට අසාමාන්‍ය සුන්දර දවසක් උදෙසා යෙහෝවඃවහන්සේට ස්තුති කරන්නට පුළුවන. ඒ හා සමානව, මහත් පීඩාවේ දැඩි සුළං නිසල වෙත්ම, ඔබ තවමත් ජීවත්ව සිටීම ගැනත්, පවිත්‍ර කරන ලද පොළොව මහිමාන්විත පාරාදීසයක් බවට පත් කිරීමෙහිලා යෙහෝවඃවහන්සේගේ වැඩයේ හවුල්වීමට ඔබ සූදානම්ව සිටීම ගැනත් ස්තුති පූර්වකව ඔබට පොළොව දෙස බලන්නට පුළුවන. තමන්වහන්සේගේ නාමය විශුද්ධ කරවමින්ද, මෙසියානු රාජ්‍යයේ දහස් අවුරුදු පාලනය යටතේ තමන්වහන්සේගේ කැමැත්ත පොළොව මත ඉෂ්ට වීම සඳහා මාර්ගය එළි පෙහෙළි කරමින්ද, ජාතීන් සමඟ ඇති යෙහෝවඃවහන්සේගේ නඩුව, එහි උදාර සමාප්තියට පැමිණ තිබෙනු ඇත. එම රාජ්‍යය ඉක්මනින් එනු ලැබේවා!
මෙම ලිපියේ ඡේද 5-24 දක්වා පුනරීක්ෂණය කිරීම
◻ විනිශ්චයට භාජනය වී ඇත්තේ ක්‍රිස්තියානි ලෝකයේ කිනම් කුහක මාර්ගද?
◻ යෙරෙමියා 25:12-38හි, විනිශ්චය සම්බන්ධව කිනම් පුළුල් දෘෂ්ටියක් ගෙන තිබේද?
◻ සියලු ජාතීන් වෙත යවනු ලබන කෝපයේ කුසලාන කුමක්ද?
◻ කෑමොර ගසා හඬන එඬේරු කවරහුද, තවද ඔවුන් කැළඹී සිටින්නේ මන්ද?
[18වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ, ක්‍රිස්තියානි ලෝකය විනාශ කරන උපකරණය තෝරා ගෙන තිබෙන සේක
[23වන පිටුවේ පින්තූරය]
මහත් පීඩාවේ කුණාටු සුළංවලට පසු, පිරිසිදු පොළොවක් දක්නට තිබෙනවා ඇත